යුද්ධයට ඇදී යාමේ ආර්ථික මූලයන්

The economic roots of the drive to war

2014 ඔක්තෝබර් 10

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) හා ලෝක බැංකුව මෙම සතිය තුල නිකුත් කල, ආර්ථික වර්ධනයේ ඉහල නැගීමක් පිලිබඳ බලාපොරොත්තු දැල් නොවූ වාර්තාවන්ට අනුව ගෝලීය ධනේශ්වර පද්ධතියේ ගැඹුරුවන අර්බුදය, ප‍්‍රධාන ධනේශ්වර බලවතුන් අතර වැඩි වෙන ආතතීන් හා මිලිටරිවාදය උත්සන්න වීමේ ගාමක බලවේගයයි.

ධනේශ්වර බිඳවැටීමේ ඉතා වැදගත් ආර්ථික ප‍්‍රකාශනයන්ගෙන් එකක් නම්, ජාමූඅ හා ලෝක බැංකුවේ වාර්තාවල අවධාරනය කෙරුනු මුඛ්‍ය ආර්ථිකය තුල අවිච්චින්න පහත් ආයෝජන හා තවත් මූල්‍ය අර්බුදයකට කොන්දේසි නිර්මානය කරන නය බුබුලු මත ලෝක ආර්ථිකයේ වැඩිවන රඳාපැවත්ම යි.

මෙම සතියේ සිදුවීම් දෙකක් මෙම අන්තර් සම්බන්ධිත ක‍්‍රියාදාමය මත ආලෝක දහරාවක් එල්ල කර තිබේ. මූල්‍ය සමපේක්ෂකයින්ගේ හා බැංකුවල ලාභ පුම්බා ඇති, ආසන්න වශයෙන් ශුන්‍ය පොලී අනුපාත ඉහල නැංවීමට මහ බැංකුවට හදිසියක් නොමති බව පෙන්නුම් කරමින්, 08දා එජ ෆෙඩරල් මහ බැංකුවේ විවෘත වෙලඳපොල කමිටුවේ සටහන් නිකුත් කිරීම, එරට කොටස් වෙලඳපොල ඉහල නැංවී ය.

ඊට පෙර දිනයේ, අත්ලාන්තික් සාගරය හරහා, ජර්මානු කාර්මික නිෂ්පාදනය ජූලි මාසයේ දී සියයට 4න් වැටීම - 2009න් පසු විශාල ම පහත බැසීම - පෙන්නුම් කරමින් ද යුරෝපයේ ප‍්‍රධාන ආර්ථිකය අවධමනය කරා ගමන් කල හැකි බවට අනතුරු අඟවමින් ද වාර්තාවක් පල කෙරුනි.

මෙම සිදුවීම් එකම ක‍්‍රියාදාමයේ පැති දෙකක් සලකුනු කරයි. ලෝකයේ ප‍්‍රමුඛ නිෂ්පාදන කේන්ද්‍රයන්ගේ එකක් වන ජර්මනියේ දත්ත, “අනුක‍්‍රමික ඇන හිටීම”ලෙස හඳුන්වන දෙයෙහි වැඩිදුර ප‍්‍රකාශනයක් වන අතර එක්සත් ජනපද කොටස් වෙලඳපොලේ ඉපිලීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස වර්ධනය වී ඇති මූල්‍ය පරපුටුභාවයේ ප‍්‍රකාශනයකි. මෙම සංසිද්ධීන් දෙකම පෙන්නුම් කරන්නේ, ගෝලීය ධනේශ්වර ආර්ථිකයේ බිඳ වැටීමයි.

ප‍්‍රාග්ධනය කෘතිය තුල මාක්ස් පැහදිලි කලේ, ලාභ හා වෙලඳපොල ප‍්‍රසාරනය හරහා දේවල් හොඳින් සිදුවන තාක් දුරට, කම්කරු පන්තියේ ශ‍්‍රමයෙන් ව්‍යුත්පන්න කර ගැනුනු මුදල් බෙදා ගැනීමේදී, එකිනෙකට වෙනස් කන්ඩායම් අතර තරගය, ධනපති පන්තියේ ක‍්‍රියාකාරී සහෝදරත්වය පිලිබඳ යම් ස්වරූපයක් පෙන්නුම් කලේ ය. එහෙත් එය, ලාභ බෙදා හදා ගැනීම නො ව, හැකිලෙන වෙලඳපොල තත්වයන් තුල පාඩු මග හැරීමට උත්සාහ කිරීමේ ප‍්‍රශ්නයක් වූ විට, වෙනස් කාරනයක් විය. එවිට, හැම එකෙක් ම පාඩුව සිය තරගකරුවන් මත පැටවීමට උත්සාහ ගැනීමත් සමග තරගය, එදිරිවාදී සහෝදරයන් අතර කාකොටා ගැනීමක් වන්නේය.

මාක්ස්ගේ කාලයෙන් පසු ප‍්‍රාග්ධනයේ එකිනෙකට වෙනස් කොටස් විශාල ලෙස ප‍්‍රසාරනය වී ඇත. දැන් තරගය සිදු වන්නේ ජාතික වෙලඳපොල තුල ක‍්‍රියාකාරී වන සමාගම් අතර නො ව, සමහර අවස්ථාවල දී මුලු රටකම දල දේශීය නිෂ්පාදනයට වඩා දැවැන්ත ආර්ථික නිමවුමක් සහිත යෝධ අන්තර්ජාතික සංගත අතර ගෝලීය සටන් පෙරමුනක ය.

පසු ගිය සති කීපය අත්දුටුවේ, හැමදා නරකිනුත් නරකට හැරෙන වෙලඳපොල කොන්දේසිවලට මුහුන දීම හමුවේ ලෝකයේ ප‍්‍රමුඛ නිෂ්පාදකයින් ගෝලීය යපස් යුද්ධයක් ලෙස පමනක් විස්තර කල හැකි තත්වයකි. එය වානේ ප‍්‍රධාන සංරචකයක් වන ගෝලීය ආයෝජනයේ පහත වැටීමේ ප‍්‍රතිඵලයකි.

මෙම සතියේ දී, ගෝලීය යපස් යෝධයන්ගෙන් අයෙකු වන බීඑච්පී බිලිටන්, තියුනු ලෙස පහත යන මිල ගනන් හමුවේ - 2011දී යපස් ටොන් එකක් ඩොලර් 180ක මට්ටමේ සිට අද ඩොලර් 80ට අඩු මට්ටමට වැටී ඇත - තම ප‍්‍රතිචාරය වන්නේ, නිෂ්පාදනය අඩු කිරීම නොව එය වැඩි කිරීම මෙන් ම, ටොන් එකක නිෂ්පාදන වියදම ඩොලර් 20 දක්වා අඩු කිරීමට ඉලක්ක කල වියදම් කප්පාදු පියවර හඳුන්වා දීම බව නිවේදනය කලේ ය. මෙම පියවරේ හා රියෝ ටින්ටෝ ඇන්ඩ් වේල් වැනි අනෙකුත් යෝධ සමාගම්වල උත්සාහය, මිල ගනන් තව දුරටත් පහල දැමීම මගින් ඉන්දියාව, චීනය හා අනෙකුත් තැන්වල, වඩා ඉහල වියදම් දරන නිෂ්පාදකයින් බිත්තියට හේත්තු කිරීමය.

අමුද්‍රව්‍ය හා නිමි භාන්ඩ යන ප‍්‍රධාන භාන්ඩ නිෂ්පාදනය හා අලවිය තුල යලි පැනනැගිය හැකි මෙම ගෝලීය යුද්ධය මේ දක්වා, ආර්ථික ක්ෂේත‍්‍රයට සීමාවී ඇති නමුත් එය එහි නො නවතිනු ඇත.

පලමුවැනි ලෝක යුද්ධයේ මූලයන් ධනේශ්වර ආර්ථිකයේ මූලික ප‍්‍රතිඝතිතාවන් තුල පවතින බව අනාවරනය කරමින් ලියොන් ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේ, විසිවැනි සියවසේ පලමු දශකයේ ආර්ථික උත්පාතයේ අවසානයට මුහුන දුන් අධිරාජ්‍යවාදී බලවතුන් තම ආර්ථික පද්ධතිය තුල හටගෙන ඇති අර්බුදය විසඳීමට උත්සාහ ගත්තේ “යාන්ත‍්‍රික මාධ්‍යයන්” මගින්, එනම් ඔවුන්ගේ තරගකරුවන්ට එරෙහිව මිලිටරි ගැටුම් හරහා බව ය.

සිය වසකට පෙර ට්‍රොට්ස්කි පෙන්වා දුන් ආර්ථික කොන්දේසි, ඊටත් වඩා බලගතු ලෙස අද යලි හිස ඔසවා ඇත. ඒ අනුව, “යාන්ත‍්‍රික මාධ්‍යයන්ගේ” පිහිට පැතීමෙහි සූදානම යලි ආරම්භවී ඇත.

පල්වීම හා පූර්න පසුබෑම එන්ට එන්ටම ලෝක ආර්ථිකයේ ස්ථාවර කොන්දේසි බවට පත්ව ඇති බව හඳුනා ගැනීමත් සමග පසු ගිය වසර තුල මිලිටරිවාදයේ නැගීම අහම්බයක් විය නො හැක.

විසිවැනි සියවසේ පලමු භාගයේ දී ගනු ලැබූ මාවතට ආපසු පැමිනීම සඳහා ජර්මනිය හා ජපානය යන දෙරට ම ඔවුන්ගේ පශ්චාත් යුද විදේශ ප‍්‍රතිපත්ති දිසාවනතිය එලිපිටම ඉවත දමමින් සිටී. මෙය සිදුවන්නේ, මැද පෙරදිග ආධිපත්‍යය ගැනීමට, රුසියාවට එරෙහිව පීඩනය යෙදීමට හා චීනයට එරෙහිව එල්ල කෙරුනු ආසියාවට හැරීම තීව‍්‍ර කිරීමට එජ අධිරාජ්‍යවාදය එහි යුද ව්‍යායාමය තියුනු කිරීමත් සමග ය. ජර්මනියේ පාලක ප‍්‍රභූව, තමන්ට තව දුරටත් නිකම්ම යුරෝපීය බලයක් ලෙස ක‍්‍රියා කල නො හැකි බව ද ගෝලීය භූමිකාවක් භාර ගත යුතු බව ද අවධාරනය කරන අතර අබේ ආන්ඩුව, සිය දේශසීමාවෙන් එපිටට ජපාන මිලිටරි කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා මග සලසන පරිදි පශ්චාත් යුද ව්‍යවස්ථාව “යලි අර්ථ කතනය කරයි.”

ආර්ථික ආතති වඩ වඩාත් එලිමහනට එමින් තිබේ. එක්සත් ජනපද ආර්ථිකයට වඩාත් අවශ්‍ය උත්තේජනය සැපයීම පිනිස, යුරෝපයේ සෙසු රටවල් මත මර්දනකාරී මූල්‍ය තහංචි පැනවීමට ජර්මන් අධිකාරීන් දක්වන විරුද්ධත්වය කෙරෙහි එක්සත් ජනපදය හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැනි එහි බලපෑම යටතේ පවතින ආර්ථික සංවිධාන දිගින් දිගට ප‍්‍රතිරෝධය දක්වයි. අනෙක් අතට, ජර්මානු පාලක ප‍්‍රභූව, යුරෝපයට විනාසකාරී ප‍්‍රතිවිපාක ගෙන දුන්, 2008 අර්බුදය වේගවත් කල, එජ බැංකු හා මූල්‍ය ආයතනවල ක‍්‍රියාකාරිත්වය නුරුස්සනවා මෙන් ම, එජ මූල්‍ය ප‍්‍රාග්ධනයේ වාසිය පිනිස තමන්ගේ බැංකුවල තත්වය තව දුරටත් දුර්වල කරනු ඇතැයි ඔවුන් දැකගන්නා පියවර ගැනීමට සූදානම් නැත.

කොම්පාසුවක කටුව එක එල්ලේ චුම්භක ක්ෂේත‍්‍රයක දිසාව හෙලිකරනවාක් මෙන්, අඩු බලයක් සහිත අධිරාජ්‍යවාදී රටවල ක‍්‍රියාකාරිත්වය වර්ධනයේ මූලික ප‍්‍රවනතාව ඇඟවුම් කරයි.

ඕස්ටේ‍්‍රලියාව සැලකිල්ලට බඳුන් වන රටකි. 2011 වසරේදී එජ චීන විරෝධී ආසියාවට හැරීම තුල ඒකාබද්ධ කාර්යභාරයක් භාර ගනිමින් ඔස්ටේ‍්‍රලියාව, තවමත් පැහදිලි නො කෙරුනු එම්එච්17 මැලේසියානු ගුවන් යානය බිම දැමීම මුල්කරගෙන රුසියාවට එරෙහිව වෛරය ඇවිලවීමේදී ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කරන අතර, පසු ගිය අවුරුද්ද පුරාවටම එජ සඳහා මග පෙන්වන්නෙකු ලෙස ක‍්‍රියාත්මක වී ඇත. එසේම සිරියාවේ හා ඉන් ඔබ්බෙහි පාලන තන්ත‍්‍ර වෙනස් කිරීම එල්ල කරගත් මෙහෙයුම්වලදී මැද පෙරදිග එජ යුද ව්‍යායාමයේ ප‍්‍රමුඛ තැනක් තෙමේම හිමිකරගෙන සිටියි.

ගෝලීය ධනේශ්වර ආර්ථිකයේ බිඳ වැටීමෙන් මතුවන ප‍්‍රබල ආර්ථික බලවේග ක‍්‍රියාත්මක වෙමින් තිබේ. වානේ යපස් හා වෙනත් කාර්මික අමුද්‍රව්‍ය චීනයට අපනයනය කිරීම තුලින් ඕස්ටේ‍්‍රලියාව සාමකාමී ප‍්‍රසාරනයක් අත්විඳි කාල පරිච්ඡේදය අවසානයකට පැමින ඇත. ඉදිරියේ එලඹෙන සටනේ දී එජ ආර්ථික, මූල්‍ය හා මිලිටරි බලය සමග තමන් පෙර නොවූ විරූ ලෙස හවුල් විය යුතු බවට පාලක කවයන් අතර පවතින නැඹුරුවට හේතුව එයයි. ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදය සමග ප‍්‍රධාන බලවතුන් අතර බෙදීම පුලුල් වීමත් සමග, තමන් ස්ථාන ගත විය යුත්තේ කොතැනට දැ යි අනෙකුත් බලයන් සොයා බලමින් සිටියි.

සැබවින් ම, ආර්ථික ක‍්‍රියා සන්තතීන් හා දේශපාලනය අතර සම්බන්ධය ඍජු හා ක්ෂනික නැති අතර ඒවා සංකීර්න රූපාකාරයන් ඇතුලත් කර ගනි යි. එහෙත් වර්ධනයේ පොදු ප‍්‍රවනතාව පැහදිලි ය. ජාමූඅ වාර්තාව තුල හඳුනාගෙන ඇති නමුත් පැහදිලි නො කරන ලද, ගෝලීය ආර්ථික වර්ධනයේ සිදුවෙමින් ඇති පරිහානිය අර්ථ ගන්වන්නේ, තවත් ලෝක යුද්ධයකට කොන්දේසි නිර්මානය කරමින්, එලඹෙන කාල පරිච්ඡේදයේ දී මිලිටරිවාදී ව්‍යායාමය තීව‍්‍ර කරනු ඇති බව යි. මානව වර්ගයා මත පතිත කෙරෙන විනාසය වැලැක්විය හැක්කේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක‍්‍රියාමාර්ගය සඳහා ක‍්‍රියාකාරී දේශපාලන අරගලයක් දියත් කිරීමෙන් පමනි.

නික් බීම්ස්

Share this article: