අවස්ථාවාදී ව්‍යාපාරයකට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂයෙන් පිලිතුරක්

2014 ඔක්තෝබර් 13

සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය,

කෝට්ටේ ශ‍්‍රී නාග විහාරය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා දාහත්වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා ඔබ සංවිධානය ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙල පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නිල ස්ථාවරය දන්වන ලෙස ඉල්ලා 2014 ඔක්තෝබර් 10 දින එවුනු ආරාධනා පත‍්‍රය ලැබුනි.

මෙම ආරාධනය සාකච්ඡාවට භාජනය කල සසප දේශපාලන කමිටුව ඔබ සංවිධානයේ අරමුනු හා ඒ සඳහා ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙල එකහෙලාම ප‍්‍රතික්ෂේප කිරීමට තීන්දු කල බව ප‍්‍රථමයෙන්ම සටහන් කරනු කැමත්තෙමි. ඊට හේතු:

සංක්‍ෂිප්තව සටහන් කරතොත්, ඔබ සංවිධානය, “විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා දාහත්වන ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කිරීම” යන අරමුනු ඉෂ්ට කර ගැනීම සඳහා “කෙටිකාලීන වැඩ පිලිවෙලක් මත” ජනාධිපතිවරනයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ජයග‍්‍රහනය කරවීම පිනිස පෙනී සිටින බව සඳහන් කරයි. මෙම කෙටිකාලීන වැඩපිලිවෙලේ දිගුවක් ලෙස ඉනික්බිතිව අමුනා ඇත්තේ, “සමාජ සාධාරනත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය රජයන, සෑම පුරවැසියෙකුටම සමාජ අයිතිවාසිකම් සහතික කෙරෙන ශිෂ්ඨ සම්පන්න රටක් බවට මේ රට පත් කිරීමට මේ පියවර මනා පිටුවහලක් වනු ඇති බව පැහැදිලිය” යන්න යි. මෙම දෙවැනුවට යොදා ඇති දිගුව, පලමුව සඳහන් “කෙටිකාලීන” උගුලට නොබැරෑරුම් ශ‍්‍රාවකයන් කුදලා ගැනීම පිනිස සඳහන් කෙරුනු ප‍්‍රලාපයකි.

මේ බැව් සනාථ වන්නේ එම අරමුනු දිනාගැනීමට කිසිදු ආකාරයකින් ඉවහල් වනු නැති පියවර ගනනාවක් “සංයුක්ත ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති වැඩ පිලිවෙල” ලෙස ඉදිරිපත් කර තිබීමෙනි. එපමනක් නොව, ඒ පියවර සියල්ලක්ම පවතින මහජන විරෝධී ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ රැකවරනය පිනිස වන ඒවා ය.

කෙටියෙන් කිවහොත්, ඔබ සංවිධානය පෙල ගස්වමින් සිටින්නේ සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රමුඛ පුද්ගලයා එනම්, බෞද්ධ භික්ෂුවක වන හා සිංහල වර්ගෝත්තමවාදයේත් දෙමල විරෝධී කුරුරි යුද්ධයේත් උද්ඝෝෂකයෙකු වූ මාදුලුවාවේ සෝභිත ජනාධිපති කරවීම සඳහා කැපවන්නවුන් ය. මෙය, අතිශය ප‍්‍රතිගාමී වන කූට ප‍්‍රයත්නයක් ලෙස අපි හඳුනා ගන්නෙමු.

මහජනයා අද අතිශය බිහිසුනු අධිරාජ්‍යවාදී යුද තර්ජනයකට ද තම ප‍්‍රජාතන්ත‍්‍රීය හා සමාජ අයිතීන් සමතලා කර දැමෙන ප‍්‍රහාරයකට ද මුහුන දී සිටී. මේ සියල්ල ශ‍්‍රී ලංකාවේ ධනේශ්වර ක‍්‍රමය ගැට ගැසී පවතින භූගෝලීය අධිරාජ්‍යවාදී ධනපති පද්ධතියේ ප‍්‍රගාඪ පරස්පර විරෝධයන්ගෙන් පැන නංවන්නේ ය. පසුගිය සියවසේදී පලමුවන හා දෙවන ලෝක යුද්ධ දෙකක් ද ෆැසිස්ට්වාදී හා මිලිටරි ඒකාධිපතිත්වයන් ද යටතේ මහජනතාවන්ට විනාශය එලැඹවූ ලෝක ධනේශ්වර පද්ධතියේ මෙම පරස්පර විරෝධයන් අද දින තවත් සිය ගුනයකින් උග‍්‍ර වී පැන නැග තිබේ.

වැඩකරන ජනතාවන් හා තරුනයන් මුහුන දී සිටින්නේ මේ ජනඝාතක තර්ජනයන් දූරීභූත කර දැමීමේ අවශ්‍යතාවට ය. ඒ සඳහා එකම ප‍්‍රගතිශීලී විසඳුම වන්නේ, 1917 ඔක්තෝබරයේදී ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ බොල්ෂෙවික් පක්ෂය විසින් සාක්ෂාත් කෙරුනු, රුසියානු විප්ලවය මගින් පෙන්වා දෙන ලද ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය මත සටන් වැදීම යයි අපි විශ්වාස කරමු. 20 වැනි සියවසේදී දුර්නායකත්වයන්ගේ ද්‍රෝහීත්වය හේතුකොට පරිපූර්නව සාක්ෂාත් කරගත නොහැකිවූ එම දේශපාලන ඉදිරිදර්ශනය හා වැඩ පිලිවෙල මත මිස මහජනතාවන්ගේ එකදු ප‍්‍රශ්නයකට හෝ විසඳුමක් ලද නොහැකි ය.

මෙයින් පිටත “කෙටිකාලීන වැඩපිලිවෙල” ලෙස තොරොම්බල් කෙරෙන්නේ ධනේශ්වර ක‍්‍රමයේ මරනය කල්දමා එය රැකදීමට කැපවූ මර උගුල් ය. 1964දී ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය අගමැති සිරිමා බන්ඩාරනායක සමග හවුලකට ගාල්වී ගෙන මහජනතාව අතර වැපිරුවේ මේ “කෙටිකාලීන වැඩපිලිවෙල” පිලිබඳ ප්‍රෝඩාව යි. 2004 දී ජනතා විමුක්ති පෙරමුන චන්ද්‍රිකා කුමාරතුංග සමග පරිවාසයක ලගිමින් ද මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීමට 2005දී දරදිය අදිමින් ද පෙරට වැඩමවුවේ ද “කෙටිකාලීන” විසඳුම් ප‍්‍රලාපය යි.

මේ සියලු ඇස්බැන්ඳුම් වැඩපිලිවෙලවල්වල විනාශකාරී ප‍්‍රතිවිපාක මේ දක්වාම විඳවන්නේ මහජනතාව යි. අද ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය යනාදී විවිධ වංචනික වාමාංශික නඩ ඉව අල්ලන්නේ ඒ හෝ මේ ධනපති පඩංගුවක ලැග ගැනීමට ය. මෙවැනි අවස්ථාවාදී කුනපයන්ට ඔබගේ සංවිධානයේ කෙටි කාලීන වැඩපිලිවල ද ක්ෂේම භූමියක් ලෙස පෙනෙනු ඇත.

මාක්ස්වාදී දෘෂ්ටිය මත පිහිටා සමාජවාදී වැඩපිලිවෙල මගින් ලෝක ධනේශ්වර පද්ධතිය විස්ථාපනය කිරීමට සටන් වදින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ මිහිතලයේ කොතනක වුව මතුවන සියලු අවස්ථාවාදී වංචනික දේශපාලනයට එරෙහිව සම්මුති විරහිතව සටන් වැදීමට කැපවී සිටී.

ලොව පුරා මෙන්ම ලංකාවේ ද මහජනතාව අද මුහුන දී සිටින අභියෝගය වන්නේ විප්ලවවාදී පෙරටු බලඇනිය වන කම්කරු පන්තිය, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයෙන් ද ඊට කැපවූ නායකත්වයෙන් ද සන්නද්ධ කර පීඩිත ජනතාවන් හා තරුනයන් ඒ වටා විප්ලවවාදී ලෙස පෙල ගස්වා ගැනීම ය. එවන් ව්‍යාපාරයක අරමුන වන්නේ, ධනපති පාලනයට පාර්ලිමේන්තුවාදී පැලස්තර ඇලවීම නොව එම පාලනය පෙරලා දැමීමේ විප්ලවවාදී අරගලයට පිවිස ගැනීම ය. එම ඉලක්කය ජයගැනීමේදී, ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාරාජිකාවූ පාර්ලිමේන්තු ක‍්‍රමයට මාරුවීම නොව, මහජන ඡන්දයෙන් පත් කර ගන්නා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් මගින් සියලු මර්දනකාරී නීති අහෝසි කර කම්කරුවන්ගේ හා සියලු පීඩිතයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් තහවුරු කරන නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට සටන් වැදිය යුතු යි.

අර්බුදයට ගිය ධනේශවර දේපල ක‍්‍රමය සමග අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ යහපාලනය කොයි ලෙසකින්වත් ගැලපිය නොහැකි ය. කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කරගත හැකි වන්නේ, ධනේශ්වර ක‍්‍රමය වෙනුවට සමාජවාදී ක‍්‍රමයක් ස්ථාපිත කරගැනීමෙනි. නිෂ්පාදනය, ධනපති ව්‍යාපාරිකයන් අතලොස්සකගේ ලාභය සඳහා නොව සමාජ සුභ සාධනය සඳහා විය යුතු ය.

මෙවන් සමාජවාදී ක‍්‍රමයක් ක‍්‍රියාවට නැගීම ජාත්‍යන්තරවාදී පදනමක සාක්ෂාත් කල යුතු කර්තව්‍යයකි. සසප, ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක්, දකුනු ආසියානු හා ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ස්ථාපිත කර ගැනීමේ සටනට උරදී සිටින්නේ එහෙයිනි.

ඔබගේ ද ඔබ හා පෙල ගැසෙන සියල්ලන්ගේ ද “ව්‍යාපාර” මෙම ඓතිහාසික සක්‍ය වැඩපිලිවෙලට එරෙහිව කෙටිකාලීන උගුල් ඇටවීම අරමුනු කරගත් ඒවා ය. ඊට සහභාගී වීම අපගේ පක්ෂය ප‍්‍රතික්ෂේප කරන්නේ එහෙයිනි. එවැනිම වන අනෙකුත් ප්‍රෝඩාවන් ද හෙලිදරව් කරමින්, ලෝක සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටනට ලංකාවේ කම්කරුවන්, පීඩිතයන්, ගොවීන්, තරුනයන් හා ශිෂ්‍යන් බඳවා ගෙන පුහුනු කිරීම සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍ය යි.

මීට විස්වාසී,

විජේ ඩයස්, සමාජවාදී සමානතා පක්ෂයේ ලේකම්

Share this article: