නැඟී එන එක්සත් ජනපද-තුර්කි ආතතීන් හමුවේ ඔබාමා, අයිසිස් විරෝධී “හවුල” හමුවෙයි

Obama meets anti-ISIS “coalition” amid rising US-Turkish tensions

බිල් වෑන් ඕකන් විසිනි , 2014 ඔක්තෝබර් 15

ධවල මන්දිරයේ හා පෙන්ටගනයේ නිලධාරීහු, රැස්වීමට පෙරාතුව, සහභාගී වන අයගෙන් අලුත් පොරොන්දු හෝ තීන්දු කිසිවක් අපේක්ෂා නොකරන බව දැනුම් දුන්හ. රැස්වීමේ මූලාසනය දැරූ ඒකාබද්ධ මෙහෙයුම් මන්ඩලයේ සභාපති ජෙනරාල් මාටින් ඩැම්සේ ප‍්‍රකාශකයෙකු අමතා පැවසුවේ, “මෙය වනාහි, දැක්ම, අභියෝග, ඉදිරි මාවත පිලිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීමක් පමනක්” බවය.

එසේම, එජ ජාතික ආරක්ෂක මන්ඩලයේ ප‍්‍රකාශකයෙකු වන ඇලිස්ටෙයාර් බ්ලැක්ලි ද රැස්වීම විස්තර කලේ, “මෙය වනාහි, මේ දක්වා හවුලේ ප‍්‍රගතිය මැන බැලීම හා හවුල්කරුවන්ගේ සැබෑ හැකියාවන් පූර්න වශයෙන් ඒකාග‍්‍ර කිරීම හා දිගටම සම්බන්ධය පවත්වාගැනීමේ අවස්ථාවක්” ලෙසය.

වොෂින්ටනය සමීපයේ ඇති ගුවන් කඳවුරේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පෙනී සිටිමින්, ඔබාමා ද පොරොන්දුවක් නොවන ප‍්‍රකාශයක් කලේය. “මෙය දිගු කාලීන ව්‍යායාමයක් වනු ඇත. ප‍්‍රගතියේ අවධීන් මෙන්ම පසුබෑමේ අවධීන් ද මෙහිදී දැකගත හැකිවේ” යයි ඔහු පැවසීය.

සිරියාවේ අයිසිස් සටන්කරුවන්, තුර්කි දේශසීමාවේ පිහිටි බොහෝකොටම කුර්දි නගරයක් වන කොබානි වෙතින් පලවා හැරීමට හෝ ඔවුන්ගේ අනුචරයින් මුලුමනින්ම පාහේ සුන්නි මුස්ලිම් ජනගහනයක් සහිත ඇන්බා පලාත සිය ග‍්‍රහනයට ගනිමින්, අනෙකුත් අතුරු ප‍්‍රදේශ මෙන්ම බැග්ඩෑඩ් ගුවන් තොටුපලට ද තර්ජනය කිරීම වැලැක්වීමට, පසුගිය දින ගනනාව තිස්සේ එජ එල්ල කල සීමිත ගුවන් ප‍්‍රහාරයන්ට නොහැකි වීමත් හමුවේ, දෙවෙනියට කල ප‍්‍රකාශය වඩාත් කැපී පෙනෙයි.

රැස්වීමට දින ගනනාවකට පෙර පටන් ගුවන් හමුදා කඳවුරෙහි රඟදැක්වූ, උත්කර්ෂවත් රූගත කිරීම් මගින්, කලාපයේ සිය සහචරයා වන තුර්කිය හා ඔබාමා පාලනය අතර හටගෙන ඇති විවෘත හා විසකුරු නොඑකඟතාවන් පිලිබඳ කාරනය වසං කිරීමට, වොෂින්ටනය අසමත් විය.

ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශක සුසාන් රයිස්, දල වශයෙන් 5000ක් පමන එජ මිලිටරි සාමාජිකයින් ස්ථානගතකර ඇති, දකුනු තුර්කියේ ඉන්සලික් ගුවන් කඳවුරේ සිට ඉරාකය හා සිරියාව යන දෙරටටම එරෙහිව ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගැනීමට එජ ඉල්ලීම පරිදි ඇන්කාරාව එකඟවූ බව 12දා නිවේදනය කලාය.

පැය විසිහතරක් ගතවිමටත් පෙර තුර්කි නිලධාරීහු, එවන් එකඟත්වයක් පිලිබඳව පලවූ ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්ෂේප කලහ. “මැදහත් සිරියානු කැරලිකරුවන්” අයිසිස්ට මෙන්ම යම් අවස්ථාවක ජනාධිපති බෂිර් අල්-අසාද්ගේ සිරියානු ආන්ඩුවට ද එරෙහි ගොඩබිම් හමුදාවක් බවට හැරවීම සඳහා සන්නද්ධ කර පුහුනු කිරීමට තුර්කියේ සහභාගිත්වය ඉල්ලා සිටීමේ කාරනය පිලිබඳව පවා තවමත් අවසන් තීරනයකට එලඹ නැති බව ද ඔවුහු පැවසූහ. සැබවින්ම වසර තුනකට පමන පෙර සිරියාව තුල සන්නද්ධ කැරැල්ලක් දියත් කල තැන් පටන් තුර්කිය, සීඅයිඒ සංවිධානයේ ද සහභාගිත්වයෙන් සිරියානු දේශ සීමාව අසල කඳවුරක් ගොඩනගා, අයිසිස් හා අල් කයිඩාව සමග බැඳුනු අල් නුස්රා පෙරමුන ද ඇතුලු ඊනියා කැරලිකරුවන්ට, ආධාර හා රැකවරන සලසා දුන්නේය.

කලාපය තුල සිය අධිරාජ්‍යවාදී මැදිහත්වීමට ජාත්‍යන්තර පිටුබලය හා ශක්තිය ලැබෙන බව පෙන්නුම් කිරීමේ අරමුන සහිතව ඔබාමා පාලනය, මෙම එකඟත්වය නිවේදනය කලේය. ඇන්කාරාව එය ප‍්‍රතික්ෂේප කිරීමත් සමග සිදුව ඇත්තේ හරියටම එහි ප‍්‍රතිවිරුද්ධයයි.

තුර්කිය ද ඇතුලු ගල්ෆ් කලාපයේ ආඥාදායක සුන්නි අරාබි රාජාන්ඩු, කිසිදු මිලිටරි ක‍්‍රියාවකින් වැලකී සිටින ජර්මනිය, ප‍්‍රන්සය, අඩු මට්ටමේ යුරෝපීය බලවතුන් හා වොෂින්ටනයේ සමීප අනුචරයින් වන කැනඩාව හා ඔස්ටේ‍්‍රලියාව යන ඔබාමා කියා සිටින හවුල සෑදී ඇත්තේ, ප‍්‍රතිවිරුද්ධ හා එකිනෙකට ගැටෙන අවශ්‍යතා සහිත විවිධ මූලාශ‍්‍රයන්ගෙන් බව හෙලිදරව් විය.

බොහෝකොටම සුන්නි ඉස්ලාමීය මිලිෂියාවන්ගේ එකතුව අතර සිටින ආන්ඩු විරෝධී ප‍්‍රබලම සන්නද්ධ කන්ඩායම ලෙස මතුව ඇත්තේ අයිසිස් ය. වොෂින්ටනය මෙන්ම තුර්කිය ද සිරියාවේ පාලන තන්ත‍්‍ර වෙනස සඳහා ගෙන යන මොවුන්ගේ යුද්ධයට පිටුබලය දෙති. සිරියාවේ තන්ත‍්‍ර වෙනස ද ඇතුලු අයිසිස්ට එරෙහි ව්‍යාපාරය දැන් ඔබාමා පාලනය විසින් යොදාගන්නේ කලාපය තුල එජ ආධිපත්‍යය යලි තහවුරු කරගැනීමේ මාධ්‍යයක් ලෙසය. උපායන් හා කාල වකවානු සම්බන්ධයෙන් එය, තුර්කිය සමග මතභේදයකට තුඩුදී ඇත.

එජ මෙහෙයවන යුද්ධයේදී තම සහභාගිත්වය වෙනුවෙන්, සිරියානු භූමි භාගයන්ට ඉහලින් පියාසර මුක්ත කලාපයක් හා එරට තුල බෆර් තීරුවක් පිහිටුවිය යුතු බවට වොෂින්ටනය එකඟ විය යුතු බව, ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගන්ගේ තුර්කි ආන්ඩුව වොෂින්ටනයට කියා ඇත. මෙම යෝජනාවන්හි පලමු අරමුන වන්නේ, පීකේකේ හෙවත් තුර්කියේ කුර්දි ජාතිකවාදී ව්‍යාපාරය සමග සන්ධානගත සිරියානු කුර්දිවරුන්, දේශසීමාව දිගේ පිහිටුවාගෙන සිටින ස්වාධීන කලාපය අහෝසි කිරීම හා එජ යුද්ධය වහාම අසාද් ආන්ඩුව පෙරලා දැමීම වෙත යොමුකරවීමයි.

වොෂින්ටනය අවධාරනය කරන්නේ, තමන් “ඉරාකය පලමුවෙන්” යන මූලෝපාය මත පිහිටා කටයුතු කරන බවයි. සිය මැදිහත්වීම මාධ්‍යගත කර ඇත්තේ ඉරාකය තුල අයිසිස් “බලය බිඳහෙලා විනාශ කිරීම” හා ඩැමස්කස්හි ආන්ඩුව “නීති විරෝධී” යයි කියා සිටින අතර පවා තමන්, අසාද් තන්ත‍්‍රයේ අනුමැතිය ඇතිව සිරියාව තුල සීමිත මෙහෙයුම් ගෙන යාම බව ද වොෂින්ටනය කියයි.

එර්ඩොගන් 13දා පෙරලා පැමිනියේ ගැඹුරු නොඑකඟතාවන් රැසක් ද සමගිනි. ඔහු ප‍්‍රහාර එල්ල කරන ලෙස තුර්කි ගුවන් හමුදාවට නියෝග කල අතර ඒ සිරියාවේ අයිසිස්ට එරෙහිව නොව, ඉරාක හා සිරියානු කුර්දි මිලිෂියාවන් සමග උරෙනුර ගැටෙමින්, දෙරටෙහිම අයිසිස් පෙර ගමනට සැලකිය යුතු අභියෝගයක් එල්ල කරන එකම ගොඩබිම් හමුදාව වන ඉරාකයේ හා සිරියාවේ පීකේකේ කුර්දි හමුදාවන්ට එරෙහිවය. එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව විදේශ ත‍්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කර ඇති නමුත් ඉරාකයේදී ඔවුන් ක‍්‍රියාත්මක වන්නේ, එජ මිලිටරි “උපදේශකයින්” සමග මනා සම්බන්ධීකරනයක් ඇතිවය.

ගිනිකොන දිග තුර්කියේ ගුවන් ප‍්‍රහාර, තුර්කියේ මිලිටරි කඳවුරු වෙත පීකේකේ හමුදා එල්ල කල ප‍්‍රහාරයන්ට පලිගැනීම පිනිස එල්ල කල ඒවා බව තුර්කි ආන්ඩුව පැවසුව ද පීකේකේ එය ප‍්‍රතික්ෂේප කරයි. පීකේකේ හා ආන්ඩුව අතර දෙවසරක් තිස්සේ ගෙන යන සාම සාකච්ඡා අතර තුර සිදුවූ පලමු ප‍්‍රහාරය මෙය වන අතර ජනගහනයෙන් සියයට 20ක් පමන වන තුර්කි කුර්දිවාසීන්, වටලා ඇති කොබානි නගරය වෙත පිවිසීම ඇන්කාරාව විසින් තහනම් කිරීමට එරෙහිව විරෝධය පලකිරීමට වීදි බට, අවම තරමින් පුද්ගලයින් 35 දෙනෙක් මියගිය ප‍්‍රචන්ඩ ගැටුම් වලින් පසුව මෙය ක‍්‍රියාත්මක කර තිබේ.

තුර්කි හමුදා, කොබානි වෙත කුර්දි සටන්කරුවන්, ආයුධ හා වෙඩි උන්ඩ ගෙනයාම අවහිර කලා පමනක් නොව, නගරයේ සිට පැමිනෙන කුර්දි තුවාලකරුවන් ඇතුල්වීම පවා තහනම් කල බවත්, ඔවුන් දේශසීමාවේ මියයාමට අතහැර දමා ඇති බවත් මේ සතියේ තුර්කි ජන මාධ්‍ය වාර්තාකර තිබුනි.

අලූත්ම ගුවන් ප‍්‍රහාර, දශක තුනක කාලයක් පුරා ජීවිත 40000ක් බිලිගත් සිවිල් යුද්ධය යලි ඇවිල යාමට ඉඩ සලසමින්, ඇන්කරා හා පීකේකේ අතර සාම කථා කඩාකප්පල් වීමේ තර්ජනය මතුකර තිබේ.

තුර්කිය මුහුන දෙන ප‍්‍රධානම තර්ජනය “නව ලෝරන්ස්ගේ ඇරබියාස්” කලාපය අස්ථාවර කිරීම බව ඒර්ඩොගන් 13දා ඉස්තාන්බුල්හි මර්මරා විශ්ව විද්‍යාලයේදී කථාකරමින් පැවසීය. ඔහු සඳහන් කලේ, පලමු ලෝක යුද්ධය අවධියේ ජර්මනිය සමග සන්ධානගතව සිටි ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට එරෙහිව අරාබි කැරැල්ලක් සංවිධානය කිරීමට දායකවූ ටී ඊ ලෝරන්ස් නමැති බි‍්‍රතාන්‍ය නිලධාරියා ගැනය.

පීකේකේ, මාධ්‍යවේදීන් හා දේශපාලන විරුද්ධවාදීන්ට පහර දුන් එර්ඩොගන්, අයිසිස් ගැන කිසිදු සඳහනක් නොකලේය. ඒ වෙනුවට ඔහු අනතුරු ඇඟවූයේ මෙම බලවේග, “පුවත්පත් නිදහස පිටුපස සැඟවෙමින්, නිදහස හෝ ජිහාඩ් යුද්ධයක් සඳහා සයික්ස්-පිකොට් ගිවිසුම යොදාගනිමින් සිටී” යනුවෙනි.

1916 අත්සන් කල සයික්ස්-පිකොට් ගිවිසුම මගින් ඔටෝමන් අධිරාජ්‍යය හිමිකරගෙන සිටි, ඉරාකය හා සිරියාව ද ලෙබනනය, ජෝර්දානය හා පලස්තීනය ද ඇතුලු පැරනි අරාබි පලාත්, බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්ස අධිරාජ්‍යවාදයේ යටත් විජිත ලෙස ඈඳා ගැනුනි. ගිවිසුම මගින් කලාපය තුල, වෙන් වෙන් ජාතික රාජ්‍ය වශයෙන් අධිරාජ්‍යවාදී බෙදීමක් අටවමින්, කෘතීම දේශසීමා නිර්මානය කෙරින. එම පද්ධතිය දැන්, ඒවායේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවන්හි බරෙන් ද කොල්ලකාරී ඒ ඒ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වල නිර්දය පීඩනය යටතේ ද බිඳවැටීමේ අද්දරකට පැමින ඇත.

“මේ කලාපයේ සෑම ගැටුමක්ම සැලසුම් කරන ලද්දේ සියවසකට පෙරය. මෙය නතර කිරීම අපගේ රාජකාරිය වී ඇත.” ඒර්ඩොගන් එසේ පැවසීය.

එර්ඩොගන් වඩාත්ම බිය වන්නේ ස්වාධීන කුර්දිස්තානයක් බිහිවීම පිලිබඳවය. ඔහුගේ තන්ත‍්‍රය කොබානි නගරයට මුද‍්‍රා තබා, එහි කුර්දි ආරක්ෂකයින්ට පහර දීම සඳහා අයිසිස්ට ඉඩ හැර ඇත්තේ එබැවිනි. ඩැමස්කස්හි සුන්නි ඉස්ලාම්වාදීන්ගේ තන්ත‍්‍රයක් ඇටවීමත් සමග ආරම්භ කෙරෙන, කලාපය පුරා තුර්කි ආධිපත්‍යය පුනර්ජීවනය කිරීම, ඔහුගේ ප‍්‍රතිගාමී පිලිතුර බව පෙනී යයි.

පසුගිය සතියේදී මෙම මූලෝපාය හෙලාදකිමින්, අරාබි හා අප‍්‍රිකානු කටයුතු පිලිබඳ ඉරාන නියෝජ්‍ය විදේශ ඇමති හොසේන් අමීර් අබ්දොල්ලාහියන්, එර්ඩොගන් ආන්ඩුව “මැද පෙරදිග තුල නව ඔටෝමන්වාදයක්” පිලිබඳ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, තම ලොකුම අරාබි සහචරයා වන සිරියානු ආන්ඩුව පිටස්තර බලවේගයන් විසින් පෙරලා දමන තෙක් බලා නොසිටින බවත් ප‍්‍රකාශ කලේය. ඉරානය කොබානි හි කුර්දිවරුන්ට ආධාර කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. එය තුර්කිය තුලම කුර්දි ත‍්‍රස්තවාදය යලි පනගැන්වෙන කල ඉරානයේ පිටුබලය ඊට ලැබෙන බවට නිමිත්තක් විය හැකිය.

එජ විසින් මෙහෙයවනු ලබන, ඉරාකයේ හෝ සිරියාවේ අයිසිස් විරෝධී යුද්ධයේ සැලකිය යුතු ප‍්‍රගතියක් අත්කරගෙන නැති තත්වය තුල එය, සමස්ත කලාපයම හා ඉන් ඔබ්බට ද පැතිර යා හැකි ගැටුමකට කොන්දේසි මේවන විටත් නිර්මානය කර තිබේ.

Share this article: