රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ධීවරයන් අතර වැඩෙන විරෝධය හලාවතින් යලි ප‍්‍රකාශයට පත්වේ

ක්වින්ටින් විමලසේකර හා වතුකාරගේ සෝමසිරි විසිනි, 2014 සැප්තැම්බර් 01

හලාවත මෝය කට වැලිවලින් වැසී යෑමෙන් හලාවත හා අවට ප‍්‍රදේශ ගනනාවක ධීවරයන්ට තම ධීවර රැකියාව කර ගත නොහැකි තත්වයකට පත්වීමත් සමග, ඉහිලිය නොහැකි තෙල් මිලෙන් හා ධීවර ආම්පන්නවල මිල ගනන්වලින් පහර වැදී සිටින ප‍්‍රදේශයේ ධීවරයන් අතර රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය වඩාත් ඉහල මට්ටමකට නැග තිබේ.

නිරිතදිග මෝසම් (මැයි සිට සැප්තැම්බර් දක්වා) වර්ෂාව සක‍්‍රීය වීමත් සමග බස්නාහිර හා වයඹදිග වෙරල තීරය රලූ (වාරකන්) වීමෙන් සෑම වසරකම පාහේ හලාවත මෝය කට වැසී යයි. මෝය කට රල පහරින් ආරක්ෂා වන සේ ගල්වැටියක් ඉදිකර දෙන ලෙස හලාවත ධීවරයන් දිගු කලක සිට ඉල්ලයි. එවන් ගල්වැටියක් මගින් මෝය කටේ වැලි එකතුවීම නවත්වා ගතහැකි බවත් බෝට්ටු දියත් කිරීමට පහසුවන බවත් ධීවරයන් පෙන්වා දෙයි.

නමුත් බලයේ සිටි ආන්ඩු හා බලයේ සිටින රාජපක්ෂ ආන්ඩුව හා එහි ප‍්‍රාදේශීය මැති ඇමතිවරු සුලු ධීවරයන්ගේ මෙම ඉල්ලීම් මුලුමනින් නොසලකා හැර ඇත. මේ තත්වය යටතේ සෑම වසරකම ධීවරයන්ට තම ජීවිතවලින් හා දේපල හානි මගින් වන්දි ගෙවීමට සිදු වී තිබේ. මෝයකටේ ඇතිවන අවහිරතා හේතුවෙන් බෝට්ටු පෙරලී පසුගිය වසරේ හලාවත වැල්ලේ ධීවරයන් තිදෙනෙක් මරනයට පත් වූ අතර මේ වසරේ බෝට්ටු 20 ට වැඩි සංඛ්‍යාවක් පෙරලීමෙන් දේපල හානි රැසක් සිදු වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක‍්‍රියාත්මක කරමින් ආන්ඩුව 2012 දී භූමිතෙල් ඇතුලු තෙල් මිල ගනන් දෙගුනයකින් ඉහල දැමු අතර රටපුරා දින ගනන් ඇදී ගිය ධීවර විරෝධතා අතරතුර දී පොලීසිය එල්ල කල වෙඩි තැබීම්වලින් හලාවත වැල්ල ඇන්ටනි ප‍්‍රනාන්දු ඝාතනයට ලක් වී තවත් ගනනකට බරපතල තුවාල සිදු කෙරුනි. සොච්චම් සහනාධාරයක් තුල ධීවරයන් අතර වැඩුනු විරෝධය දියකර හරිමින් ධීවර වෘත්තීය සමිති හා කතෝලික පල්ලිය එවකදී ආන්ඩුවට සහයෝගය දැක්වූහ.

පොඩි බෝට්ටු හිමියෙකුට දින තුනකට පමනක් ප‍්‍රමානවත් වූ එම ධීවර සහනාධාරය නිසි පරිදි නොගෙවු අතර පසුගිය මැයි මාසයේ සිට එය මුලුමනින්ම කප්පාදු කෙරුවේ ධීවරයන්ට දැල් ආම්පන්න ලබා දෙන බවට තවත් ප්‍රෝඩාවක් ඇද බාමිනි.

ගල්වැටී දැමීම ආන්ඩුවේ හා විපක්ෂයේ මැතිවරන පොරොන්දුවක් පමනක් බවත් තාවකාලික විසඳුම් මගින් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් හට මහජන මුදල් ගසාකෑමට අවස්ථාව සැලසී ඇති බවටත් ධීවරයෝ චෝදනා කරති. මෝය වැසීයාම තම ජීවිතවලට එල්ලවන තවත් මරුපහරක් බවත් දැන් ඒ හේතුවෙන් රැකියා කරගත නොහැකි තත්වයකට පත්ව ඇති ආකාරයත් හලාවත ධීවරයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පෙන්වා දුන්හ.

හලාවත වැල්ල ස්ටීවන් නැමති ධීවරයා මෙසේ පැවසීය: “මම අමාරුවෙන් එකතු කරගත් මුදලුත් බිරිඳගේ සහ දරුවන්ගේ රත්තරන් බඩුත් උගස් තියලා බෝට්ටුවක් ගත්තා. සේරටම ලක්ෂ හයක් පමන වියදම් වුනා. මාස දහයයි මට රස්සාව කරන්න පුලුවන් වුනේ තෙල් මිල වැඩි කලා. ඒක දරාගන්න පුලුවන් මිලක් නොවේ. ඒකයි ධීවරයෝ පාරට බැස්සේ. තෙල් මිල වැඩිවීමත් එක්ක මට බෝට්ටුව විශාල බරක් වුනා. රත්තරන් බඩු සින්න වෙන්න ආවා. මාලු අස්වැන්නට වඩා වියදම සැරයි. ගෙදර වියදම් සහ දැල් ආම්පන්න නඩත්තුව මේවා සේරම බලන විට කොහොමවත් දරාගන්න බැරිවුනා. ලක්ෂ දෙකහාමාරක් පාඩුවට සේරම විකුනලා මම දැන් වෙන අයගේ බෝට්ටුවල කුලියට රස්සාවට යනවා.”

පටු මෝය කටින් බෝට්ටුවක් දියත් කිරීමට උත්සාහ දරන ධීවරයින් පිරිසක්

බෝට්ටු දෙකක හිමිකරුවකු වන මයිකල් නැමති ධීවරයා පැවසුවේ ධීවර රැකියාව කරගත නොහැකි තත්වයට ඔවුන් පත්ව ඇති බවයි. “මමයි පුතයි බෝට්ටු දෙකේ රස්සාවට යන්නෙ උදව්වට දෙන්නෙක් අරගෙන. බෝට්ටු දෙකට දවසකට රු. 6000 ක තෙල් යනවා.” මේ දිනවල මුහුදට බෝට්ටුව දියත් කිරීමට සහ ආපසු වෙරලට එනවිට මෝයේ බෝට්ටුක් වැලි මතින් අදින්න එක් අයෙකුට රුපියල් 1000 ක් බැගින් දිය යුතු බව මයිකල් තවදුරටත් පැවසීය. “අද දවසේ රස්සාවෙන් බෝට්ටු දෙකේම අදායම රුපියල් 4000 යි. තෙල් වියදමවත් නෑ. ධීවර උදව්කරුවන්ට කොහොමද ගෙවන්නේ. අද ගෝලයන්ට මාලු හොද්දට විතරයි දුන්නේ. හෙට බෝට්ටුවලට තෙල් ගහන්න වෙන්නෙ නයට. හෙටත් මෙහෙම වුනොත් සේරම බඩගින්නේ. අද තියෙන තත්ත්වය හැටියට අවම වශයෙන් එක බෝට්ටුවකට දිනකට රුපියල් 8000 වත් ආදායමක් ලැබුනොත් තමයි අපට හැමදාම රස්සාව කරන්නට පුලුවන් වෙන්නෙ.”

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවකු සමග සාකච්ඡා කරන ධීවරයින්

මයිකල් තමා මුහුන දී ඇති දුෂ්කරතාවයන් පමනක් නොව ධීවර කර්මාන්තය ආශි‍්‍රතව ගොඩනැගී පැවතුන පීඩිත ජනතාවගේ එදිනෙදා ජීවනෝපායන් විනාශ වී යාම සම්බන්ධව ද තොරතුරු රැසක් හෙලි කලේ ය.

වෙහෙසී රැකියාවක් කල නොහැකි ඉතා දුගී පිරිමින් හා සමහර වැන්දඹුවන් දැල්වල මාලු බේරා මාලු ටිකක් හෝ යම් මුදලක් පෙරදී ලබා ගත්ත ද ජීවන වියදම ඉහලයෑම හේතුවෙන් ධීවර පවුල්වල සාමාජිකයන්ම ඒ කටයුතුවල යෙදීම නිසා ඉහත දුගීන්ගේ සොච්චම් ආදායම ද නැතිව ගොස් ඔවුන් ඉතා අසරන තත්වයට ඇද වැටී ඇති බව ඔහු පැවසීය. “ඒ වගේමයි ඉස්සර අපේ මාලු වෙලඳපොලේ විකුනන්න ගමේ වෙනම කට්ටිය හිටියා නමුත් අද එහෙම නෙමේ. දැන් මගේ මාලු විකුනන්නෙ මගේ බිරිඳ. නමුත් ඒකත් විසඳුමක් නෙමේ.”

මෝයකට ප‍්‍රශ්නය නොවිසඳීම පිලිබඳ දැඩි වෛරයෙන් පසුවන ධීවරයෙක් සිය අත්දැකීම් විස්තර කලේ මෙසේය: “කිසිම රජයකින් මේ ප‍්‍රශ්නය විසඳන්නේ නැහැ. දැන් බැකෝ යන්ත‍්‍ර දාගෙන මෝය කපනව. නගරාධිපති ලක්ෂ දහයක් වෙන්කරලා තියනවා කියලා රූපවාහිනියේ ප‍්‍රචාරය කලා. ඒවා බොරු වැඩ. දින ගනනක් කපනවා එක දවසින් වැහෙනවා. මේවා දේශපාලඥයින්ගේ හිතවතුන්ට හම්බකරගන්නට යොදන මාර්ග. මීට ටික කාලෙකට පෙර සන්ධාන රජයේ හලාවත දේශපාලන ආධරකරුවන් පිරිසක් ටිපර් රථවලින් වැලි ගෙනයන්න ආවා. ඔවුන් කීවේ වැලි ලෝඞ් එකක් ගෙනහින් ගල් ලෝඞ් එකක් ගෙනල්ලා වෙරල ආරක්ෂා කරන්න බැම්මක් අතුරනවා කියලා. නමුත් ඒක එහෙම වුනේ නැහැ. වැලි ගෙන ගියා පමනයි. පසුව ධීවරයෝ එකතුවෙලා ටිපර් ඒම නැවැත්තුවා. මේවා තමයි රජයේ හිතවතුන්ගේ වැඩ.”

සැර රල පහරට හසු වී බෝට්ටුව පෙරලීමෙන් අසරනව සිටින තොඩුවාවේ ධීවරයෙක්: “දැනට මාස 2 ට උඩදි මුහුදට ගිහින් හොඳටම හුරුල්ලන් අහු වුනා. මාලු වැඩි නිසා එදා බෝට්ටුව පෙරලුනා. ඇන්ජිම මූදට ගියා. බෝට්ටුව කෑලි කිහිපයකට කුඩු වුනා. මගේ බෝට්ටුවේ දැල් පීස් 34 තිබුනා. දැල් පීස් 8 ක් විතරයි ඉතුරු වුනේ. අපිට වාරකන් කාලෙට මේ වගේ අනතුරුවලට බහුලව මුහුන දෙන්න සිද්ධ වෙනව. මොකද අපිට වරාය පහසුකම් නෑ. ආන්ඩුව හැමදාම ඡන්දෙට විතරක් ඇවිත් බොරු කියනවා. නැංගුරම් පොලක් හදනවා වරායක් හදනවා කියල. මට රැකියාව කර ගන්ත හෝස් පවර් 25 එන්ජිමකට ලක්ෂ 3 හමාරක් ගියා. බෝට්ටුවට තවත් ලක්ෂ එකයි හැට පහක් වුනා. පූර්න වන්දි ගන්න ලියවිලි යැව්වා නමුත් තවම ලැබුන්නේ නෑ. ධීවර සමිති වලින් මොකුත් ලැබුනෙත් නෑ.”

පසුගිය ජුනි මාසයේ ලංකාවේ පැවති 18 වන ඉන්දියන් සාගර ටූනා (කෙන්දා) මත්ස්‍ය සමුලුව අමතමින් ධීවර ඇමති රාජිත සේනාරත්න ප‍්‍රකාශ කලේ දැනට මෙටි‍්‍රක් ටොන් 500,000 ආසන්නයේ පවතින රටේ මත්ස්‍ය අස්වැන්න 2016 දී මෙට්ටි‍්‍රක් ටොන් 686,000 දක්වා ඉහල නංවන බවත් ඒ සඳහා වරාය හා අනෙකුත් යටිතල පහසුකම් වර්ධනය කිරීමට පියවර ගන්නා බවත් ය. හලාවත ප‍්‍රදේශයේ ධීවරයන්ගේ කොන්දේසි වලින් පෙන්නුම් කරන්නේ රටේ ලක්ෂ තුනකට අධික ධීවරන්ගෙන් සියයට 90 ට වැඩි දුගී ධීවරයන් සම්බන්ධයෙන් ආන්ඩුවේ කවර හෝ උත්සුකයක් නොවන බවයි.

අනෙකුත් ව්‍යාපෘතිවලදී මෙන්ම දැනට ඉදි වී ඇති දික් ඕවිට ඇතුලු වරායන්වල ටූනා මැසුන් මැරීමේ නියුතු චීන නැව්වලට වැඩි වශයෙන් පහසුකම් සලසා දී තිබෙන අතර එය චීනය සමග ටූනා මසුන් සඳහා ඉන්දීය සාගරයේ තරගයක නියැලී සිටින ඉන්දියාවේ කනස්සල්ලට හේතු වී තිබේ. ලංකාවේ හා ඉන්දියාවේ නාවුක හමුදා මගින් දෙරටේ බහුදින යාත‍්‍රා ධීවරයන් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇත්තේ දෙරට අතර වර්ධනය වන මෙම ආතතීන්ය.

ලංකාවේ ජනතාවගේ දෛනික ප්‍රෝටීන් පරිභෝජනයෙන් සියයට 70 ක් මූදු මාලු මගින් සම්පාදනය කෙරේ. ලෝක ආහාර සංවිධානයේ නිර්දේශයට අනුව දෛනික ඒක පුද්ගල මුහුදු ආහාර පරිභෝජනය ග‍්‍රෑම් 60 ක් විය යුතු බව වාර්තා වේ. තෙල් මිල ඉහල දැමීම මගින් ඉහල ගොස් ඇති මාලු මිල හා ඉහල බඩුමල යටතේ සාමාන්‍ය කම්කරු පීඩිත මහජනයා මුහුන දී සිටින්නේ, දැනට පවතින්නේ යයි පවසන ග‍්‍රෑම් 45 ක දෛනික මාලු පරිභෝජනය හෝ කල නොහැකි කොන්දේසි වලට යි.

තෙල් සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව හා ධීවර කර්මාන්තයට අදාල අනිකුත් ගැටලු මුල් කර ගනිමින් බස්නාහිර මීගමුව, හලාවත සිට ත‍්‍රිකුනාමලය දක්වා ප‍්‍රදේශවල ධීවර ජනයා අඛන්ඩව අරගලවලට පිවිසියහ. නමුදු ධීවර සමිතිවල සෑම ප‍්‍රයත්නයක්ම එල්ල වී ඇත්තේ ධීවර අරගල අවශේෂ කම්කරු-ගොවි අරගලවලින් හුදකලා කොට ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතාවල සිර කර තැබීමටයි.

ධීවර වෘත්තීය සමිතිවලට එරෙහිවන ධීවරයන් “සන්සුන්” කොට ඔවුන් සමිතිවලට ගැටගසා තැබීම සඳහා සමිතිවල සහායට සෑම විටම ඉදිරිපත් වන්නේ කතෝලික පල්ලියයි. පසුගිය ජුනි මාසයේ තෙල් සහනාධාර කප්පාදුවට එරෙහි මීගමුව ධීවර උපවාසයකට පැමිනි කාදිනල් මැල්කම් රංජිත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කොට ගැටලුවලට විසඳුම් ලබා දෙන බව ප‍්‍රකාශ කරමින් උපවාසය අත්හරින ලෙස ඉල්ලා සිටියේය.

බෞද්ධ භික්ෂූන්ගේ කි‍්‍රයාකලාපය ප‍්‍රතිගාමිත්වයෙන් ඊට අඩු නොවේ. කොලඹ ගංගාරාමයේ ගලබොඩ ඥානිස්සර භික්ෂුව පසුගිය ජුලි 13 ඉරිදා ලංකාදීපයට ලියූ ලිපියක කම්කරු‐පීඩිත මහජනතාවට එරෙහි ආන්ඩුවේ පොලිස් රාජ්‍ය සැලසුම් යුක්ති සහගත කොට තිබුනේ මෙසේය: “මූදෙන් නොමිලේ ලැබෙන මාලු සම්පත රැගෙන එන්නට ඔවුහු (ධීවරයෝ) ආන්ඩුවෙන් තෙල් ටිකක් ඉල්ලති. තෙල්ටිකට සහන නැතැයි වැඩ වර්ජනය කරති. අද මිනිස්සු ඉල්ලන්නේ මේ වැනි ඉල්ලීම්. මේ රාජ්‍ය තන්ත‍්‍රය හැටියට මිනිස්සු අකටයුතුකම් කරනවා නම් ඒවාට සැරෙන් හිටියාට වරදක් නැත.”

Share this article: