ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ ධනසම්භාරය ඩොලර් ටි‍්‍රලියන 7.3කි

Wealth of world’s billionaires: $7.3 trillion

2014 සැප්තැම්බර් 19

වෙල්ත් x හා යූබීඑස් බැංකුව විසින් 18දා නිකුත් කල වාර්තාවකට අනුව, ලෝක බිලියනපතියන්ගේ ධනය දැන් ඩොලර් ටි‍්‍රලියන 7.3ක් වන අතර එය පසුගිය වසරට වඩා සියයට 12ක වැඩිවීමකි. මූල්‍ය බිඳවැටීමේ පලමු වසර වන 2009දී 1360ක්ව සිටි ප‍්‍රකෝටිපතියන් සංඛ්‍යාව 2013දී 2170ක් බවට පත්වී මේ වන විට 2325 දක්වා වැඩිවී ඇත.

ඔවුන්ගේ සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් සියයට 0.000033ක් හෙවත් මිලියන තුනකට එක් අයෙකි. එසේම මෙම ඉතා තුනී තට්ටුව බිලියන 3.5ක් වන ලෝක ජනගහනයෙන් අඩකට හිමිවන ධනය මෙන් 4.5 ගුනයක් හිමිකර ගනියි.

මෙම සංඛ්‍යා ඉදිරිදර්ශනයක තැබීම සඳහා වෙනත් සැසඳීම් ද යොදාගත හැකිය. පුද්ගලයින් සිය දහස් නොව සමහර විට ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගැනීමේ හැකියාව ඇතිකල ඉබෝලා වසංගතය මගින් බැට කන සියරා ලියොන් හා ලයිබීරියාවේ, වසරක් තුල නිමවන සියලූ භාන්ඩ හා සේවාවන්ගේ වටිනාකම වන දල දේශීය නිෂ්පාදිතයේ අගය, යන්තම් ඩොලර් බිලියන 7ක් හෙවත්, මෙම ප‍්‍රකෝටිපතියන් 2325කගේ වත්කමෙන් දහසකින් එකකි.

බංකොලොත්කමේ ක‍්‍රියාවලියක කොටසක් ලෙස, තමන්ගේ ජල සැපයුම හා විශ‍්‍රාම ගෙවීම් කපා හැරීමට මුහුනපා සිටින මිචිගන් ප‍්‍රාන්තයේ ඩෙට්‍රොයිට්හි, මිලියන 330ක් වන අයවැය හිඟය විසි දහස් වාරයකින් පියවීමට තරම් මොවුන් සතු ධනසම්භාරය විශාල වේ.

ලෝක බිලියනපතියන්ගේ ධනය පිටුපස ඇති ගාමක බලය වන්නේ කොටස් වෙලඳපොල හා මූල්‍ය ප‍්‍රාග්ධනයයි. වෙල්ත් x වාර්තාවට අනුව, ප‍්‍රකෝටිපති ජනගහනයෙන් සියයට 20කගේ ධනය ගලා එන්නේ “මූල්‍ය, බැංකු හා ආයෝජන” වලිනි. කාර්මික මහා ව්‍යවසායන්ගෙන් සියයට 12ක් හා දේපොල හිමිකාරිත්වයෙන් සියයට 7කි. බිලියනපතියන්ගෙන් හයෙන් එකකටත් වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ, ලෝකයේ ප‍්‍රධාන මූල්‍ය මධ්‍යස්ථාන වන නිව් යෝර්ක්, මොස්කව්, හොංකොං නැත්නම් ලන්ඩන් නගර වලය.

ධනේශ්වර ක‍්‍රමයේ ක‍්‍රියාකාරිත්වය සඳහා නැතිවම බැරි සමාජ සම්බන්ධතාවය, මේ සංඛ්‍යාවන්ට පිටුපසින් පවතියි. ප‍්‍රමුඛ ධනපති ආන්ඩු හා මහ බැංකු විසින් ආධාර කර පෝෂනය කරන ධනයේ දැවැන්ත යලි බෙදාහැරීමෙන්, සංගත හා මූල්‍ය පැලැන්තිය වාසි ලබති. හුදෙක් මේ දැවැන්ත ධන සම්භාරය යෝධ දුප්පත්කම පසෙකින් පවතිනවා පමනක් නොව එකක් අනිකේ සෘජු නිමැවුමක් ද වන්නේය.

ඇමරිකානු ධනවාදය, පාලක පන්තිය විසින් සංවිධානය කරන සමාජ ප‍්‍රතිවිප්ලවය හා ලෝක ආර්ථික අර්බුදය යන දෙකේම මධ්‍යස්ථානය ද වන්නේය. ඔබාමා පාලනය යටතේ සිදුවන මග පෙන්වීම සහිතව 2008 වසරේ පටන්, එක්සත් ජනපද භාන්ඩාගාරයේ හා මහ බැංකුවේ සම්පත්, පෙර නොවූ විරූ සමපේක්ෂනයේ නාඩගමක යෙදී සිටින වෝල් වීදිය සඳහා විවෘත කරන ලදී. බැංකු ඇපදීම්, බිංදුවට ආසන්න පොලී අනුපාත හා ”ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම” එක්සත් ජනපදයට සමාන්තරව ජාත්‍යන්තරව ද විශේෂයෙන්ම, යුරෝපයේ ද ක‍්‍රියාවට නැගේ.

අර්බුදයේ වසර හයක් ගෙවී යද්දී කොටස් වෙලඳපොලවල්, වාර්තාගත ඉහලකට නැගී තිබේ. එක්සත් ජනපදයේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 500 හා ඩව් ජෝන්ස් කාර්මික දර්ශකයන්හි පාදක සංඛ්‍යා, 18දා වන විට පූර්ව වාර්තා බිඳ හෙලීය. මෙම අවසන් නැගීම සිදුවූයේ, බැංකු වලට අත්‍යවශ්‍ය නොමිලේ මුදල් සැපයීම හෙවත් ශුන්‍යයට ආසන්න පොලී අනුපාත, ”සැලකිය යුතු කාලයක් සඳහා” නොවෙනස්ව පවත්වාගෙන යන බවට ෆෙඩරල් මහ බැංකු අධිපති ජැනට් යෙලන් දුන් සහතිකයෙන් පසුවය.

මේවායේ ප‍්‍රතිපල වශයෙන් ඇමරිකානු බිලියනපතියන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 57න් ඉහල ගියේය. ගෝලීය බිලියනපති ජනගහනයෙන් සියයට 25ක් පමන වන එරට ධනකුවේරයන්ගේ ගනන 571කි. එය වෙනත් ඕනෑම රටක සංඛ්‍යාව මෙන් තුන් ගුනයකට වැඩි ගනනකි.

මේ අතර ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජනගහනයේ බහුතරයකගේ ආදායම පිරිහෙමින් තිබෙන බව කලින් වාර්තා කර තිබේ. ඔබාමාගේ “ප‍්‍රකෘතියේ” අවධිය වන 2010-13 අතර කාලයේ ජනගහනයේ පහලම සියයට 20කගේ සාමාන්‍ය ආදායම සියයට 8න් පහත වැටී තිබේ. ඒ අතර ජනගහනයේ ඉහලම සියයට 10 ආදායම සියයට 10න් ඉහල ගියේය. ඉන් වැඩි පංගුවක් ඇදී ගියේ අතිශයින්ම පොහොසත් ස්ථරය වෙතය. බැංකු වලට ලබාදී ඇති මුදල්, සමාජ වැඩසටහන් විනාශ කිරීම මගින් ද කම්කරු පන්තියේ ජීවන තතු ඓතිහාසික පරිමාවකින් ආපසු හැරවීම මගින් ද පියවා ගනු ලැබේ.

අර්බුදයට දැක්වුන පාලක පන්තියේ ප‍්‍රතිචාරය සමාජ අසමානතාවයේ පුපුරන සුලු වර්ධනයකට තුඩු දුන්නා පමනක් නොව, වඩාත් ව්‍යසනකාරී ආර්ථික අර්බුදයකට කොන්දේසි ද නිර්මානය කර තිබේ.

වඩාත් නිරීක්ෂනාත්මක අටුවාකාරයින් කනස්සලු සහගතව සඳහන් කර ඇත්තේ, ගෝලීය කොටස් වෙලඳපොලවල් පිම්බීම හා “සමස්ත ආර්ථිකයේ” තත්වය අතර අරුම පුදුම අසම්බන්ධය ගැනය. 18දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයේ ජේ. පිලොස්කි සඳහන් කර ඇති පරිදි “ගෝලීය ආර්ථිකයේ තත්වය, පිටත තෙරපුම නිසා ඇතුලත සිදුවන බිඳ වැටීමක අද්දර පවතින, සුමුදු බවකට වඩා වෙනත් යමකට සමාන නොවේ.” ඔහු අනතුරු ඇඟවීමේ සලකුනු ගනනාවක් පෙන්වා දෙයි. “එක්සත් ජනපද පාරිභෝගිකයා අකර්මන්‍යව සිටියි, යුරෝපය එකතැන පල් වෙද්දී ආසියාවේ වේගවත් ආර්ථික ප‍්‍රකෘතියක් කුලූගැන්වීම පිනිස එහි මුදාහල නය මට්ටම්වල නාටකාකාර ඉහල නැගීම, ගෝලීය ඉල්ලුම නොසෑහෙන තරම් පහත වැටී තිබීම.”

කොටස් වෙලඳපොලවල් නැගීමට පටන්ගෙන තිබියදී ආර්ථික අනාවැකි කප්පාදු කෙරෙමින් ඇත. සියලු ප‍්‍රධාන ආර්ථිකයන්හි 2014 හා 2015 ගැන පලවූ ආර්ථික වර්ධනය ගැන සිය පූර්ව ගනන් බැලීම් ඕඊසීඞී සංවිධානය විසින් මේ සතියේදී පහත හෙලනු ලැබීය.

බිලියනපතියන් අතර පවා වැඩෙන කනස්සල්ලක් පවතියි. ශුද්ධ අගය ඩොලර් බිලියන 4.8ක් වන ඉක්විටි ගෲප් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ සභාපති සෑම් සෙල් මේ මාසය මුලදී මෙසේ පැවසීය. “කොටස් වෙලඳපොලවල් පෙර නොවූ විරූය, එහෙත් ආර්ථික ක‍්‍රියාකාරිත්වය එසේ නොවේ. “ආයෝජකයින්ට ”තම මුදල් යෙදවීමට වෙනත් තැනක් ඇත්තේ නැති අතර කොටස් වෙලඳපොල එයට හිමි ප‍්‍රමානයට වඩා වැඩි පංගුවක් හිමිකර ගනියි. මෙතැනට යමක් කල යුතු වනවා සේය.”

වෝල් වීදියේ ආයෝකයින් හුදෙක් කොටස් මිලට ගන්නවා පමනක් නොවේ. සංගත නිෂ්පාදනය ඉහල නංවනවා වෙනුවට තමන් සතු මුදල් තොග වාර්තාගත අයුරින් වෙලඳපොලට පොම්ප කරයි. මේ වසරේ මුල් හය මාසය තුල එක්සත් ජනපද සමාගම්, 2007න් පසු අවධියේ ඕනැම හය මාසයකට වඩා, තමන්ගේම කොටස් යලි මිලට ගත් අතර එහි වටිනාකම ඩොලර් බිලියන 338ක් තරම් විය.

ලෝක ධනවාදයේ යථා තත්වය මෙයයි. එක් අතකින් නිමක් නැති මුදල් ප‍්‍රවාහයකින් සහන සලසාගන්නා ගමන් සමපේක්ෂනයට නැඹුරුවූ මූල්‍ය වංශාධිපතියන් විසින් අනෙක් අතට, වැඩකරන ජනතාවට අනවරතයෙන් එල්ල කරන ප‍්‍රහාරයයි, එය යොමුවී ඇත්තේ තවත් හා ඊටත් වඩා විශාල බිඳවැටීමක් දෙසටය.

අත්‍යන්තයෙන්ම අස්ථාවර ආර්ථික තත්වය හා එහි සුක්කානම අතැතිව සිටින පාලක පන්තියේ පරපුටුකම, යුද්ධය හා ආඥාදායකත්වය යන දෙකම කරා තල්ලුවීම පිටුපස ඇති ප‍්‍රධාන කාරනාය. ලාභ සූරාකෑමේ පද්ධතියෙහි අර්බුදයෙන් ගැලවීමට මඟක් නැති, ඇමරිකානු මූල්‍ය වංශාධිපතිත්වය විසින් මෙහෙයවනු ලබන පාලක පන්තිය, විදේශයන්හි යුද්ධය වෙත ද රට තුල මර්දනය කරා ද වඩ වඩාත් හැරෙමින් සිටිති.

ඓතිහාසික ආවෘත අන්තරයකට මුහුනපා සිටින පාලක පන්තිය විසින් ක‍්‍රියාවට නගන්නේ එවන් පියවරයන්ය. ජත්‍යන්තර කම්කරු පන්තිය අර්බුදයට තමන්ගේම විසඳුම වන සමාජවාදී විප්ලවයෙන් මෙයට මුහුන දිය යුතුය.

ජෝසෆ් කිෂෝර්

Share this article: