ශ‍්‍රී ලංකා ආන්ඩුව කෙරෙහි සහයෝගය බිඳ වැටේ

Sri Lanka: Government support plunges in provincial election

සමන් ගුනදාස විසිනි , 2014 සැප්තැම්බර් 25

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය 20දා ඌව පලාත් සභා මැතිවරනය දිනාගත්ත ද එහි ඡන්ද තියුනු ලෙස කඩා වැටුනු අතර එය ඇඟවුම් කරන්නේ, ආන්ඩුව කෙරෙහි කම්කරුවන් ගම්බද පීඩිතයින්ගේ ගැඹුරු වන විරුද්ධත්වයයි.

එජනිස ඡන්ද ප‍්‍රතිශතය 2009 පැවති සියයට 72 සිට 51 දක්වා සියයට 21න් වැටී ඇත. එහි ප‍්‍රතිපලය වශයෙන් පලාත් සභාවේ ආන්ඩුව සතුව පැවති ආසන 6ක් අහිමිවූ අතර ආසන 34න් දැන් හිමිකරගෙන ඇත්තේ යන්තම් ආසන 19ක් පමනි. වඩාත් කැපී පෙනෙන පසුබෑම පෙන්වන්නේ පලාතේ ජනගහනයෙන් වැඩිම එක වන බදුල්ල දිස්ත‍්‍රික්කයේ ය. එහි බදුල්ල, වැලිමඩ හා හාලිඇල ආසන සන්ධානයට අහිමිවූ අතර ඌව පරනගම හා බන්ඩාරවෙල ආසන ජයගෙන ඇත්තේ ඡන්ද 200ක් තරම් අඩු බහුතරයකිනි.

ආන්ඩුවට එරෙහි ඡන්ද වලින් වාසි ලැබුවේ විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයයි. එය 2009 ලබාගත් ඡන්ද සියයට 22, සියයට 18න් ද ආසන 7 සිට 13 දක්වා ද වැඩිකරගෙන ඇත. නව සමසමාජ හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ප්‍රෝඩාකාරී වාම සංවිධාන, රාජපක්ෂ ආන්ඩුවට ප‍්‍රගතිශීලී විකල්පයක් ලෙස මෙම දක්ෂිනාංශික ව්‍යාපාරික ගැති එජාපයට සහාය දෙමින් උද්ඝෝෂනය කලහ.

ජනතා විමුක්ති පෙරමුන එක් ආසනයක් වැඩිකර ගනිමින් ආසන දෙකක් දිනාගත් අතර ඡන්ද ප‍්‍රතිශතය සියයට 5 දක්වා දෙගුනකර ගත්තේය. එම පක්ෂය සිය සමාජවාදී මවාපෑම් මුලුමනින්ම පාහේ අතහැර දමා කොලඹ දේශපාලන සංස්ථාපිතයේ පාර්ශවකරුවෙකු ලෙස, විදේශ ප‍්‍රාග්ධනය ආකර්ෂනය කර ගැනීමේ ප‍්‍රතිපත්තිය විවෘතවම වැලඳගෙන සිටියි. සිංහල වර්ගවාදයේ කරවටක් ගිලුනු ජවිපෙ, එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ ප‍්‍රබල සහකරුවෙක් විය. එජාපය මෙන්ම ජවිපෙ ඡන්ද ද බොහෝකොටම ආන්ඩුවට එරෙහි විරෝධතා ඡන්ද විය.

මැතිවරන ප‍්‍රතිපලය සැබෑ පන්ති සම්බන්ධතාවයේ විකෘති පිලිබිඹුවකි. එහෙත් ඌවේදී ආන්ඩුව ලත් පසුබෑම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කල ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන් කෙරෙහි පුලුල්ව පැතිර ඇති විරුද්ධත්වය පිලිබිඹු කරයි. අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල යාම හා අධ්‍යාපනය ද සෞඛ්‍ය පහසුකම් ද වැනි මූලික සමාජ සේවා කපා හැරීම වැඩකරන ජනතාව කෙරෙහි දැඩිව බලපා ඇත.

මොනරාගල රටේ වැඩියෙන්ම දුප්පත් දිස්ත‍්‍රික්කය වන අතර ඌව, රටේ දුප්පත්ම පලාතකි. සියයට 20ක් පමන වන දෙමල කථාකරන වතු කම්කරුවෝ දුගී බවේ ගිලී සිටිති. ගොවිතැන කිරීමේ වියදම් ඉහල යද්දී නිෂ්පාදන අලෙවිකර ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුනපා සිටින සුලු ගොවීන්ගේ තත්වය ද පිරිහී ඇත.

ජනතාවගෙන් වඩ වඩාත් හුදෙකලාවීම හා පලවන විරුද්ධත්වය ගැන සංවේදී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, තීරනාත්මක ජයග‍්‍රහනයක් ලැබීම පිනිස ඌවේදී පුලුල් මැතිවරන ව්‍යාපාරයක් දියත්කර තිබුනි. නියමිත කාලයට වඩා වසර දෙකකට කලින් ලබන වසරේ මුල, ජනාධිපතිවරනයක් හා මහ මැතිවරනයක් පැවැත්වෙන දැනුම් දීමෙන් පසුව සිය අත ශක්තිමත් කර ගැනීමට ඔහුට අවශ්‍යව තිබුනි.

කොලඹ “පාලනය පෙරලා දැමීම” සඳහා “විදේශ බලවේගයන්” හා දෙමල විදෙස්ගතවූවන් සමග විපක්ෂය කුමන්ත‍්‍රනයක යෙදී සිටින බවට රාජපක්ෂ සිය වැරහැලිවූ චෝදනාව යලි යලිත් දමා ගැසීය. බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය අවධියේ මිලිටරිය සිදුකල යුද අපරාධ ගසාකමින් එක්සත් ජනපදය, ආන්ඩුව චීනයෙන් දුරස්ත විය යුතු බවට බලපෑම් කරයි. ජත්‍යන්තර කුමන්ත‍්‍රනයක ගොදුරක් ලෙස පෙනී සිටින අතරතුර රාජපක්ෂ, කුමන්ත‍්‍රනකරුවන් කවුදැයි කියා නොසිටිනවාක් සේම එක්සත් ජනපදය සමග සම්බන්ධතා යලි පිරියම් ගැනීමේ මංමුලා සහගත උත්සාහයක නිරතව සිටියි.

ඡන්ද දායකයින්ට බලපෑම් කිරීමට හා සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ආන්ඩුව ප‍්‍රචන්ඩ ක‍්‍රියා හා බියගැන්වීම් සිදුකල බවටත්, මැතිවරන නීති උල්ලංඝනය කිරීම, රාජ්‍ය බලය හා දේපොල විවෘතව යොදගත් බවටත් චෝදනා එල්ලවී ඇත. ආන්ඩුවේ සියලු කැත උපාමාරුවලින් පසුව ද පැහැදිලිවම මැතිවරන ව්‍යාපාරයේ හුලං බැස ගියේය. ඌවේදී ලත් පසුබෑමේ ප‍්‍රවනතාවය, මෑතක පැවති අනෙකුත් මැතිවරන වලදී ද දැකගත හැකි විය. පසුගිය මාර්තුවේ පැවති බටහිර හා දකුනු පලාත් සභා ඡන්දයේදී සන්ධානයේ ආසන පිලිවෙලින් 12න් හා 5න් වැටුනි.

ඌව ප‍්‍රතිපල නිකුත් කිරීමෙන් පසුව රාජපක්ෂ, එය “ආන්ඩුවේ දැවැන්ත සංවර්ධන ක‍්‍රියාවලිය වේගවත් කිරීම පිනිස ආන්ඩුවට ලැබුනු වරමක්” බව කියා සිටිමින් අපට “මෙම කැපී පෙනෙන ජයග‍්‍රහනය ලබාදීම” වෙනුවෙන් ඡන්දදායකයින්ට ස්තුති කිරීම විකාරයකි.

සන්ධානයේ ප‍්‍රධාන ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත වඩා යථාර්තවත් තක්සේරුවක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරමින් “බදුල්ල දිස්ත‍්‍රික්කයට තරුන හා නව මුහුනු ඉදිරිපත් කිරීමට අසමත්වීම” ඡන්ද වැටීමට හේතුව ලෙස ගෙනහැර දැක්වීය. යථාර්තයේදී වැඩකරන ජනතාව, ආන්ඩුවේ “දැවැන්ත සංවර්ධන ක‍්‍රියාවලිය වේගවත් කිරීම” යනු තමන්ගේ සමාජ අයිතීන්ට තව තවත් ප‍්‍රහාර එල්ල කිරීම බව වටහාගෙන ඇත.

එල්ටීටීඊය 2009දී පරාජය කිරීමෙන් පසුව රාජපක්ෂ, සෞභාග්‍යයේ නව යුගයක් පොරාන්දුවෙමින් පලාත් සභා ඡන්දවලදී තීරනාත්මක ජයක් ලැබීය. කෙසේ වෙතත් ලෝක ආර්ථික බිඳවැටීමේ කොන්දේසි වලින් මෙරට ද බැට කද්දී යුද්ධය අවසන් වීමේ අර්ථය වූයේ වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට නොකඩවා පහර එල්ල කීරීමයි.

මැතිවරන ප‍්‍රතිපලය මගින් සමාජ නොසංසුන්තාවයේ වැඩෙන මට්ටම් පිලිබඳව මාධ්‍ය තුල කනස්සල පල කෙරෙන වාර්තා පලවීමට පටන් ගත්තේය.

අයිලන්ඩ් පත‍්‍රයේ කතුවැකියකින් කියා සිටියේ ඡන්දදායකයින් සන්ධානයට “දැඩි කනේ පාරක්” දී ඇති බවයි. එය ආන්ඩුවට මෙසේ උපදෙස් දුන්නේය. “දැන් ඌවේ ජනතාව එයට කනේ පාරක් දී ඇති අතර පයින් ගසා එලවා නොදැමුවා පමනි. අනාගතයේදී එය මැතිවරන පරාජයක් වලක්වාගන්නට නම්, ජනතාව මුහුනපා සිටින දැවෙන ප‍්‍රශ්න විසදීමේ ක‍්‍රම සොයාගත යුතුය.”

ඬේලි මිරර් කතුවැකියකින් මෙසේ කියා ඇත. “ජනතාවගේ පනිවිඩය පැහැදිලිය. පොහොසත් හා දුප්පත් අය අතර අසමානතාවය, අහස උසට නැගෙන ජීවන වියදම, ඉහවහා ගිය දූෂනය, යහ පාලනයේ බිඳවැටීම, වගකීම් විරහිත භාවය නැත්නම් විනිවිද භාවයක් නොමැතිකම හා ප‍්‍රජාතන්ත‍්‍රයේ කුලුනු වලට එල්ල කෙරෙන දැඩි ප‍්‍රහාර ගැන ඔවුහු අසතුටට හා අසහනයට පත්ව සිටිති.”

පාලක පන්තිය වෙනුවෙන් කථාකරන කතුවැකිකරුවන් ගැටලු පෙන්වාදෙන අතර ඔවුන් සියල්ලෝම, සමාජ අසමානතාවය පුලුල් කල හා බිඳ වැටෙන ජීවන තත්වයන්ට තුඩුදුන් ජාමූඅ කප්පාදු න්‍යායපත‍්‍රයට සහාය දෙති. වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහකරනයේ කප්පිත්තෙකු වන එජාප නායකත්වයෙන් යුත් ආන්ඩුවක්, ජනතා විරෝධය බිඳ දැමීම සඳහා සන්ධානය මෙන්ම එම පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන්ම යොදාගන්නවා ඇත.

මැතිවරන ව්‍යාපාරය තුලදී සමාජවාදී සමානතා පක්ෂය ප‍්‍රකාශයක් නිකුත් කරමින් බදුල්ල දිස්ත‍්‍රික්කයේ කම්කරුවන් හා තරුනයින් සමග කථාබහ කලේය.

එක් ගොවියෙක් මෙසේ පැවසීය. “මෙතෙක් කලක් ගොලුවන් බිහිරන් මෙන් සිටි ආන්ඩුව හදිසියේම සහන ද‍්‍රව්‍ය බෙදීමට පටන් ගත්තේය. දේශපාලන පක්ෂවලට ජනතාවගේ දුක පෙනෙන්නේ මැතිවරන කාලයට පමනි. අප අකමැත්තෙන් නමුත් පුරුද්දකට වාගේ ඡන්දය දෙනවා. ආන්ඩුව මාධ්‍ය මගින් රටේ සංවර්ධනය ගැන ප‍්‍රචාරය කරනවා. එහෙත් සංවර්ධනයක් ඇතොත් එය අපට දැනෙන්නට අවශ්‍යයි. ඒ වෙනුවට බඩු මිල ගනන් නිසා අපට තුන් වේලම කන්ටවත් නෑ. ගොවීන් වන අපි හිඟමනට වැටිලා.”

බන්ඩාරවෙල රෝහලේ තාක්ෂනික කම්කරුවෙක් මෙසේ පැවසීය. “මේ ආන්ඩුව ශක්තිය ලබාගත්තේ යුද්ධය දිනීමෙනුයි, ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමෙන් නෙවෙයි. අප විරෝධය පෑමට පාරවල් වලට පැමිනියාම ආන්ඩුව මුලු රටම අපට විරුද්ධව උසිගන්වනවා. ලෝකයේ කම්කරුවන් එක්සත් විය යුතුය යන්නට මම එකඟයි.”

Share this article: