නව වාර්තාවකින් එක්සත් ජනපදයේ සාගිනි අර්බුදයේ ගැඹුර හෙලිදරව් කරයි

New report details depth of hunger crisis in the United States

ෂැනන් ජෝන්ස් විසිනි, 2014 අගෝස්තු 19

"2014 වසරේ ඇමරිකාවේ සාගින්න " නම් වාර්තාවට අනුව, ජනගහනයෙන් 7 දෙනෙකුගෙන් එක් අයෙක් ,එනම් මිලියන 46ක් වන ජනතාවක්, තමාට සහ පවුලේ අයට ආහාර සපයා ගැනීම සඳහා ආහාර බැංකු මත යැපේ. මෙම සංඛ්‍යාවට ලමුන් මිලියන 12ක් ද , මිලියන 7ක් වන ජේෂ්ඨ (වයස්ගත) පුරවැසියන් ද අයත්ය. ෆීඩින් ඇමරිකා සංවිධානයට අනුබද්ධ ආහාර බැංකු 200කින් අහාර ආධාර ලබන 60,000 ක ගෙන් ලත් ප‍්‍රතිචාර මත වාර්තාවේ සොයා ගැනීම් පදනම් වේ.

සමීක්ෂනය 2013 අපේ‍්‍රල්-අගෝස්තු මාස අතරතුර සිදුකල බැවින් ආහාර මුද්දර ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන පෝෂන සහන සැපයීමේ වැඩ සටහනේ (එස්එන්ඒපී) ඔබාමා පරිපාලනය වඩා මෑතකදී සිදුකල කප්පාදුවල බලපෑම පිලිබිඹු නොකරයි. මධ්‍යම රජයේ ආහාර මුද්දර වැඩසටහන අවුරුදු දහයක කාලයක් තුල, ඩොලර් බිලියන 8.7කින් කපා හරින නීති සඳහා පසුගිය පෙබරවාරියේදී ඔබාමා තම අනුමැතිය දුන්නේය. ඊට පෙරද, පසුගිය නොවැම්බර් මාසයේදී, තිදෙනෙකුගෙන් සමන්විත සාමාන්‍ය පවුලක් සඳහා වසරකට ඩොලර් 319කින් ආහාර සහනාධාර කප්පාදු කරන ලදී.

ඇමරිකානුවන් වාර්තාගත සංඛ්‍යාවක්, එනම් මිලියන 47කට වඩා වැඩි සංඛ්‍යාවක්, ආහාර මුද්දර ආධාරමත යැපෙන බව පසුගිය වසරේ එක්සත් ජනපද ආන්ඩුවම වාර්තා කලේ ය. ෆීඩින් ඇමරිකා පවසන පරිදි, තමන්ට අනුබද්ධ ආහාර බැංකුවලින් ආධාර ලබන්නන්ගෙන් සියයට 55 ක්වන ප‍්‍රමානයක් පමනක් ආහාර මුද්දර හෙවත් එස්එන්ඒපී වැඩ සටහනට ලියාපදිංචි වී ඇත.

2008-2009 ආර්ථික කඩා වැටීමෙන් අවුරුදු 5කට වැඩි කාලයක් ගත වූ පසුව ද දිගින් දිගටම ඉහල මට්ටමක පවත්නා ආහාර අනාරක්ෂිතතාවය, ආර්ථිකයේ ප‍්‍රකෘතිය පිලිබඳ කතාවල වංචනිකබව හෙලිදරව් කරයි. ඇත්ත තත්වය නම් රැකියා කරන්නන් සහ පාසැල් ලමුන් ඇතුලු ජනගහනයේ පුලුල් ස්ථරයන්ගේ දුෂ්කරතා වර්ධනය වන බවයි.

ඇමරිකාව තුල කුසගින්න පිලිබඳ ගැටලුව, ආහාර මුද්දර සඳහා ලියාපදිංචි වී සිටින සංඛ්‍යාවෙන් පෙන්නුම් කරනවාට වඩා පුලුල් බවත්, එය එක්සත් ජනපද ජනගහනයෙන් සියයට 20ක් පමන විය හැකි බැව්, සමීක්ෂනයෙන් ඉදිරිපත්කරන සංඛ්‍යා ඉඟිකරයි.

ෆීඩින් ඇමරිකා පරීක්ෂනයෙන් විශ්මය ජනක කරුනු ගනනාවක් එලිදරව් විය. සමීක්ෂනයේදී අදහස් දැක්වූ අයගෙන් සියයට 69 ක් පැවසුවේ, මුදල් වියදම් කිරීමේ දී තමන්ට, ආහාර සහ සේවා (ජලය, ගෑස්, විදුලිය ආදී) අතරින් එකක් තෝරා ගැනීමට සිදු වී ඇති බවය. සියයට 66කට ආහාර සහ වෛද්‍ය පහසුකම් අතරින් ද තවත් සියයට 31 කට ආහාර සහ අධ්‍යාපනය අතරින් ද එකක් තෝරාගැනීමට බලකෙරී ඇති බව වාර්තාව සඳහන් කරයි.

පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් ආහාර ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුනපා සිටින අයගෙන් වැඩි දෙනෙක් මුදල් පිරිමසා ගැනීම සඳහා, සෞඛ්‍යයට එතරම් හිතකර නොවන, මිල අඩු ආහාර මිලදී ගනිති. බොහෝ විට ලුනු (සෝඩියම්) සහ සීනි ඉහල මට්ටමින් ඇති මෙවන් ආහාර, ස්ථූලතාව, හෘද රෝග සහ දියවැඩියාව ආදී සෞඛ්‍ය ගැටලු රැසකට දායක විය හැක.

ආහාර ආධාර ලබන්නන් අතර සෞඛ්‍ය ගැටලු ඇති අය බහුල බව සමීක්ෂනය සඳහන් කරයි. තොරතුරු සැපයූ අයගෙන් සියයට 47 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල හෝ සාමාන්‍යයයි පැවසූහ. කුටුම්බයන්ගෙන් සියයට 58 ක අධි රුධිර පීඩනයෙන් පෙලෙන අයෙකු ද, සියයට 38 ක දියවැඩියාවෙන් පෙලෙන අයෙකු ද සිටි බව සමීක්ෂනය පෙන්වා දෙයි. තවද පවුලේ කිසි අයෙකුට මෙඩි කෙයා, මෙඩි කෙයාඩ් ආදී කුමන හෝ වෛද්‍ය රක්ෂනයක් නොමැති කුටුම්බ සියයට 29ක් වූ බව සමීක්ෂනය පෙන්වා දෙයි.

සමීක්ෂනයට අනුව අවම වශයෙන් එක ලමයෙක් හෝ සිටින පවුල් ප‍්‍රමානය සියයට 39 ක් වූ බව වාර්තාව සඳහන් කරයි. එය සාමාන්‍ය ජනගහනයේ ප‍්‍රතිශතය වන 32ට වඩා වැඩි අගයක් ගනී. ලමයින් හා වයස්ගතවූවන් ද සිටින කුටුම්බ සංඛ්‍යාව සියයට 6ක් විය.

අධ්‍යයනයෙන් හෙලිදරව් වූ තව ද සැලකිය යුතු කරුනක් වූයේ, පසුගිය වසර තුල රැකියාවක් කල එක් සාමාජිකයෙකු පමනක් සිටි කුටුම්බයන් සියයට 54 ක් බවය. ලමයින් සහිත කුටුම්බ වල මෙය සියයට 71 ක් තරම් ඉහල අගයක් ගනී. මීට අමතරව බොහෝ කුටුම්බයන්හි ද්වීතියීක මට්ටමට හෝ ඉන් ඉහලට අධ්‍යාපනය ලැබූ අය සිටින අතර දෑ අවුරුදු හා සිව් අවුරුදු උපාධිධාරීන් ද ඒ අතර විය. සියයට 21 ක් පමන විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරා හෝ උපාධි ලබා ඇති බව සඳහන් වේ.

ෆීඩින් ඇමරිකා දායකයින් අතරින් සියයට 43 ක් සුදු ජාතිකයන් වූ අතර, සියයට 26 අප‍්‍රිකා ඇමරිකානුන් ද සියයට 20 ක් ලැටිනෝ හෙවත් ලතින් ඇමරිකානු සම්භවයක් ඇති පුද්ගලයන්ගෙන් සමන්විත වූ අතර, සියයට 15 පමන මිශ‍්‍ර වාර්ගිකත්වයක් ඇති අය වූහ.

බොහෝ කම්කරු පන්තික තරුනයින්ගේ අවසාන රැකියා බලාපොරොත්තුව එක්සත් ජනපද මිලිටරියට බැඳීමයි. එහි සේවය කරන්නන් අතරින් පවා ආහාර අධාර සඳහා ඉල්ලීම් වැඩි වෙමින් තිබේ. ෆීඩින් ඇමරිකා වැඩ සටහනට ඇතුලත් කුටුම්බයන් ගෙන් 620,000 කම අවම වශයෙන් පවුලේ එක් සාමාජිකයෙක් දැනට ඇමරිකානු මිලිටරි සේවයේ යෙදී සිටින බව අධ්‍යයනය අනාවරනය කරයි. මෙම සංඛ්‍යාව එජ මිලිටරි භටයින් සිටින පවුල් අතරින් සියයට 25කි.

ආහාර ආධාර බලාපොරොත්තුවන උසස් අධ්‍යාපනයේ නිරත සිසුන්ගේ විශාල සංඛ්‍යාව පිලිබඳ සිත් කාවදින කරුනක් වාර්තාව සඳහන් කරයි. වැඩිහිටි ආධාර ලාභීන්ගෙන් සියයට 10 ක් ම එනම්, මිලියන 2ක පූර්න කාලීන හා එක් මිලියනයක් අර්ධ-කාලීන සිසුන් ඇතුලු ශිෂ්‍යයන්ගෙන් සමන්විතවන බවයි. ෆීඩින් ඇමරිකා වැඩසටහනේ සාමාජිකයන් අතරින් පූර්න කාලීනව පාසැල් යන සිසුන් මිලියන 2ක්වන බව ද වාර්තාව සඳහන් කරයි.

සැලකිය යුතු වැටුපක් ලැබෙන රැකියාවක් සොයා ගැනීමට නොමැති කම නිසා හා ඉමහත් සිසු නය බරින් මිරිකීයාම නිසා උසස් අධ්‍යාපනයේ නිරත බොහෝ සිසුහු ආහාර කුස්සි වෙත යොමුවී සිටිති. ඇත්ත වශයෙන් ම, සිසුන් අතර වර්ධනය වන ආහාර අනාරක්ෂිතභාවය පිලිබඳ ගැටලුවට ප‍්‍රතිචාර වශයෙන්, ආහාර සැපයුම් ස්ථාන ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන ආයතන වඩ වඩාත් කටයුතු කර ඇත.

මනස එක් අරමුනක රඳවා ගැනීමේ හැකියාව මෙන් ම ධාරන ශක්තිය හීන කිරීම මගින් කුසගින්න, ඉගෙනීම කෙරේ, විවිධාකාර නිෂේධනාත්මක බලපෑම් ඇති කරයි. ආහාර සඳහා වියදම් කිරීම පිනිස සමහර සිසුන්ට අධ්‍යාපන පාඨ ග‍්‍රන්ථ මිල දී ගැනීම පවා අත් හැරීමට බල කෙරී ඇත.

ඔරිගන් ප‍්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පරියේෂකයින්ට අනුව, ඔරිගන් ප‍්‍රාන්තයේ මොන්මත්හි පිහිටා ඇති ලිබරල් කලා පීඨයක් වන, බටහිර ඔරිගන් විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් සියයට 59ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුනපා සිටිති. නිව්යෝක් සිටි විශ්ව විද්‍යාලයේ 2011දී සිදුකරන ලද සමීක්ෂනයකට අනුවල පද්ධතියට අතුලත් 250,000ක් වන උපාධි අපේක්ෂකයන්ගෙන් සියයට 39.2 ක් පසුගිය අවුරුද්දේ කිසියම් අවස්ථාවක අහාර අනාරක්ෂිතභාවයට ගොදුරුවී ඇත.

2012 ක්‍රොනිකල් හයර් එඩියුකේෂන් නම් උසස් අධ්‍යාපනය පිලිබඳ වාර්ෂික ලිපි සංග‍්‍රහයේ පලවූ වාර්තාවට අනුව, 2007 සිට 2011 දක්වා ආහාර මුද්දර ලාභීන් අතර ආචාර්ය උපාධිධාරින් සංඛ්‍යාව තුන්ගුනයකින් වැඩි වී ඇත. මිචිගන් ප‍්‍රාන්ත විශ්ව විද්‍යාලයේ , සරසවි පරිශ‍්‍රයේ සහනාධාර ආහාර සපයන ස්ථාන වාර්තා කරන පරිදි, ඔවුන්ගේ සේවාලාභීන්ගෙන් සියයට 50කට වැඩි ප‍්‍රමානයක් උපාධිධාරී ශිෂ්‍යයන්ය.

Share this article: