යුද්ධයට එරෙහි සටන හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන කර්තව්‍යයෝ

සසප (එජ) තුන්වැනි ජාතික සම්මේලනයේ යෝජනාව

The Fight Against War and the Political Tasks of the Socialist Equality Party

2014 අගෝස්තු 25

එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ තුන්වැනි ජාතික සම්මේලනය අගෝස්තු 5දා ඒකමතිකව මෙම යෝජනාව පිලිගත්තේ ය. “ගාසාවේ ඊස්රායල් සංහාරයට විරුද්ධ වනු!” හා “සංක‍්‍රමනික කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරනු! උතුරු, මධ්‍යම හා දකුනු ඇමරිකානු කම්කරුවන් එක්සත් කරනු!” යන යෝජනා ද සම්මේලනය සම්මත කලේ ය.

***

1. සමාජවාදී සමානතා පක්ෂය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ “සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන” නම් පුන්සැසියේ යෝජනාව අනුමත කරයි. මෙම සම්මේලනයේ යෝජනාව ජාත්‍යන්තර කමිටුවේ යෝජනාව කැටිකර ගන්නා අතර එක්සත් ජනපදයේ සසප වැඩකටයුතුවලට උපයෝග කර ගනිමින් එය විස්තාරනය කරයි.

2. ජාත්‍යන්තර කමිටුව “අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වයේ ද මිලිටරිවාදයේ ද යලි හිස එසවීම කෙරෙහි පල කෙරෙන විප්ලවවාදී විරුද්ධත්වයේ ජාත්‍යන්තර කේන්ද්‍රය බවට පත්විය යුතුය” යි ප‍්‍රකාෂය කරන ඉල්ලීම මීට වඩා වෙන කවර දාක වත් කලෝචිත විය නො හැක. පලමුවැනි ලෝක යුද්ධය පිපිරීමෙන් වසර සියයකට පසුව හා දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමෙන් වසර 75ට පසුව එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන අධිරාජ්‍යවාදී බලවතුන් නැවත වතාවක් මානව වර්ගයා ව්‍යසනයක් කරා ඇද දමමින් සිටිති.

3. 1939 හා 1914න් පසුව 2014 තරම් ආතතිසහගත ගිම්හානයක් තිබී නැත. සම්මේලනය ආසන්නයේ දී, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය නැගෙනහිර යුකේ‍්‍රනයේ මගී ජෙට් ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලීම, රුසියානු විරෝධී මනෝභාවයන් ඇවිස්සීම සඳහා උපයෝගී කරගෙන ඇත. අසාමාන්‍ය වගකීම් විරහිත භාවයක් පෙන්නුම් කරමින් එක්සත් ජනපදය, ක්ෂනිකව මහා යුද්ධයකට තුඩුදිය හැකි රාජ්‍යතාන්ත‍්‍රික අර්බුදයක් නිර්මානය කරමින් සිටී. මේ අතර, එක්සත් ජනපදයේ සහාය ඇතිව ඊස්රායලය, මේ වන විටත් පලස්තීනුවන් සිය ගනනක් ඝාතනය කරමින් එක දිගට බෝම්බ දැමීමේ මෙහෙයුමක් සමග ගාසාව තුල මහා ප‍්‍රහාරයක් දියත් කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගෙන ඇත. ජාත්‍යන්තර අර්බුදයේ තීව‍්‍රතාව සිදුවීම්වල වේගයෙන් මැනිය හැක. පසු ගිය වසරේ දී පමනක් එක්සත් ජනපදය සිරියාව තුල සිවිල් යුද්ධයක් අවුලුවා, ඉරානයට තර්ජනය කරමින්, යුකේ‍්‍රනයේ දක්ෂිනාංශික කුමන්ත‍්‍රනය සංවිධානය කර, ඉරාකයට ආපසු මිලිටරිය මැදිහත් කර ඇත. චීනය වැටලීම හා හුදකලා කිරීම එල්ල කර ගත්, “ආසියාවට හැරීම” වේගවත් කලේ ය. ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් අතර, විශේෂයෙන් ම එක්සත් ජනපදය හා ජර්මනිය අතර විවෘත ගැටුම් මතුවීමට පටන් ගෙන ඇත.

4. අධිරාජ්‍යවාදීන් තම උත්සුකයන් ඉදිරියට ගෙන යන හා තම ගැටළු විසඳීමට උත්සාහ ගන්නා මූලික මාධ්‍යය වී ඇත්තේ යුද්ධය යි. එය තවදුරටත් ව්‍යතිරේකයක් නොවේ. යෝජනාව ප‍්‍රකාශ කරන පරිදි යුද්ධයට එරෙහි සටන, ජාත්‍යන්තර ව්‍යාපාරයේ වැඩ කටයුතුවල හරි මැද තැබිය යුතු ය. ජාත්‍යන්තර යුද සැලසුම්කරනයේ හා ප‍්‍රතිවිප්ලවයේ නියමු කුටිය වන එක්සත් ජනපදය ලෝක ධනවාදයේ කේන්ද්‍රය වන නිසා මෙ රට තුල බලගතු යුද විරෝධී ව්‍යාපාරයක් නැගී ඒමෙන් තොර ව යුද විරෝධය ලෝක පරිමානව බලමුළු ගැන්විය නො හැක. අධිරාජ්‍යවාදය හා ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම සඳහා වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයක් තුල, ඇමරිකානු කම්කරු පන්තිය තම ස්ථානය ගත යුතු ය.

5. මෙය සසප හා එහි සාමාජිකයින් මත දැවන්ත දේශපාලන වගකීමක් පවරයි. යුද්ධයට එරෙහි දැවැන්ත අප‍්‍රකට විරෝධයක් පවතින අතර මෙම විරුද්ධත්වයට ක‍්‍රියාමාර්ගයක්, ඉදිරිදර්ශනයක් හා නායකත්වයක් නොමැත. විදේශයන්හි යුද්ධ හා රට තුල සූරාකෑම අතර එනම්, අධිරාජ්‍යවාදය හා ධනවාදය අතර ඇති, අවිසර්ජනීය (වෙන් කල නොහැකි) සම්බන්ධය පිලිබඳ අවබෝධයක් කම්කරු පන්තිය හා එහි පෙරටු බල ඇනිය තුල වර්ධනය කිරීම ඉල්ලා සිටින, යුද්ධයට එරෙහි විප්ලවවාදී අරගලයක් තුල කම්කරු පන්තිය මෙහෙයවීමට සූදානම් හෝ හැකියාව ඇති වෙනත් ව්‍යාපාරයක් හජාජාක හා සසපට පිටතින් නො පවතී.

අධිරාජ්‍යවාදය හා ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික අර්බුදය

6. විසිවැනි සියවසේ පලමු භාගයේ දී, භූ-දේශපාලනික ආතතීන් හා අන්තර්-අධිරාජ්‍යවාදී ගැටුම්, යුද්ධ දෙකක් ලෙස පිපිරී ගිය අතර ඉන් ආසන්න වශයෙන් පුද්ගලයන් මිලියන 100ක් මරා දැමුනි. මෙම යුද්ධ මතුවූයේ වෙලඳපොල, අමුද්‍රව්‍ය, ශ‍්‍රම සම්පත් හා අනසක පැතිරවීම මත ප‍්‍රමුඛ බලවතුන් අතර හටගත් ගැටුම් වලිනි. මෙම කාල පරිච්ඡේදයේ දී ලෝකය පුරා ධනවාදය නැවත නැවතත් සොලවා දැමූ ආර්ථික අර්බුද සමග හටගත් මෙම ගැටුම්, ධනේශ්වර පද්ධතියට කා වැදුනු මූලික ප‍්‍රතිඝතිතාවන්ගේ ප‍්‍රකාශනයකි - නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර සහ සමාජගත නිෂ්පාදනයේ හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය අතර ප‍්‍රතිඝතිතාවන්ගේ ප‍්‍රකාශනයකි.

7. සියවසකට පසු, මෙම ප‍්‍රතිඝතිතා කවර දාක වත් නො වූ තරම් තියුනු ය. ආර්ථික ජීවිතයේ ගෝලීයකරනය ― නිෂ්පාදනයේ ලෝක පරිමාන ඒකාබද්ධතාව, අන්තර්ජාතික සංගතවල මතුවීම, දෛනික පදනමක් මත ලෝක වෙලඳපොලේ ඩොලර් ටි‍්‍රලියන ගනන් හුවමාරුවන ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක නැගීම -පිරිහී ගොස් නැති නමුත් අධිරාජ්‍යවාදී යුද්ධයේ තර්ජනය තීව‍්‍ර කර ඇත. එක් අතකින් ආර්ථික වර්ධනයේ වෛෂයික තර්කය පවතින්නේ, එක්සත් හා තාර්කිකව සැකසූ සැලැසුමක් මත සමස්ත ලෝකය ම ඒකාබද්ධ කිරීම වෙතට ය. අනෙක් අතින්, නිෂ්පාදනයේ පුද්ගලික අයිතිය හා ලෝකය තරගකාරී ජාතික රාජ්‍යවලට බෙදී තිබීම වඩ වඩාත් කඩාකප්පල් වීමේ හා ගැටුමේ අනතුර මතු කරයි.

8. ලෝක ධනවාදයේ ප‍්‍රතිඝතිතා ඒවායේ ඉතාමත් අනතුරුදායක හා සංකේන්ද්‍රිත ප‍්‍රකාශනය අත්කර ගන්නේ එක්සත් ජනපදය තුලම ය. ලෝක ආර්ථිකයේ හා ලෝක දේශපාලනයේ හැම කොටසක් ම තම උත්සුකයන්ට යටත් කිරීම, ඇමරිකානු පාලක පන්තියේ ඉලක්කය කරගෙන ඇත. මහද්වීපය කුමක් වුවත්, තම කැමත්තට දන නොනමන රටක්, ආන්ඩුවක්, කලාපයක් - යුරෝපය හා ආසියාවේ, මැද පෙරදිග, ලතින් ඇමරිකාව හා අප‍්‍රිකාවේ, සයිබර් අවකාශයේ හා අභ්‍යවකාශයේ ඇත්තේ නැත.

9. එක්සත් ජනපදය විසිපස් වසරක් තිස්සේ සැබවින් ම දිග් ගැස්සෙන හා තීව‍්‍රවන යුද්ධයක් තුල පැටලී ඇත. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීම තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සලකුනු කලේ ය. පූර්ව දශකයන් මුළුල්ලේ ප‍්‍රකාශ වී තිබූ සිය ගැඹුරු අභ්‍යන්තර ව්‍යාධීන් නො සලකා ඇමරිකානු පාලක පන්තිය, සෝවියට් සංගමයේ අවසානය “ඉතිහාසයේ අවසානය” හා ධනවාදයේ අවසාන ජයග‍්‍රහනය ලෙස අර්ථකතනය කලේය. බොහෝ අනිටු පෙර නිමිති සහිතව පාලක පන්තිය, එහි ඉතාමත් ම ප‍්‍රකට භූ-දේශපාලනික විරුද්ධවාදියාගේ විසිරයාම දුටුවේ, සිය දීර්ග කාලීන ආර්ථික පරිහානිය - එය පශ්චාත් යුද පර්යාය මැද පිහිටි අර්බුදයේ ප‍්‍රකාශනයයි - පිටුදැකීම සඳහා සිය මිලිටරි ආධිපත්‍යය ප‍්‍රයෝජනයට ගැනීමට සැලසුනු අවස්ථාවක් ලෙස ය. ස්ටැලින්වාදයේ පාවාදීම් හා අධිරාජ්‍යවාදය සමග එහි “සාමකාමී සහජීවනයේ” ප‍්‍රතිපත්තිය නො සලකා සෝවියට් සංගමයේ පැවත්ම එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් වලට බාධාවක්ව පැවතුනි. එම බාධාව තවදුරටත් පවත්නේ නැත. සෝවියට් සංගමයේ වැටීම, අසමාන ඇමරිකානු ශක්තිය මගින් සංලක්ෂනය කෙරුනු “තනි ධ‍්‍රැව නිමේෂයක” ආරම්භය සලකුනු කලේ යැයි පැවසුනි.

10. 1991දී, ස්ටැලින්වාදී නිලධරය ධනවාදයට පරිවර්තනය වීම හා සෝවියට් සංගමය තුල ජනසතු කරන ලද දේපල සම්බන්ධකම් දියකර හැරීම ආරම්භ වීමත් සමග පලමු බුෂ් ජනාධිපති, නිර්බාධිත එක්සත් ජනපද මිලිටරි ආධිපත්‍යය මත පදනම් වුනු “නව ලෝක පර්්‍යායක්” ප‍්‍රකාශ කලේ ය. ඉරාකයට එරෙහිව ගල්ෆ් යුද්ධය දියත් කිරීම තුල නව පර්යායේ ස්වභාවය හෙලිදරව් කෙරුනි. මේ මගින් එක්සත් ජනපදය මැද පෙරදිග තෙල්වලින් පොහොසත් කලාපයට සිය හිමිකම පරදුවට තැබී ය. ඇමරිකානු මිලිටරියේ ශක්තිය හා එය පාවිච්චි කිරීමට වොෂින්ටනයට පැවති අභිලාශය ප‍්‍රදර්ශනය කරමින් යුද්ධය හිතාමතාම සැලැසුම් කර අවුලූ වන ලදී. ඇමරිකානු අධිරාජ්‍යවාදී මූලෝපායඥයින්ගේ චින්තනය තුල අධිකාරය දැරූ අශිෂ්ට සංකල්පය ආක‍්‍රමනය මැද දී වෝල් ස්ටී‍්‍රට් ජර්නලය මගින් සාරාංශ කෙරුනි: “ප‍්‍රතිපත්තියේ නීත්‍යානුකූල උපකරනය බලය යි. එය වැඩ කර යි. ප‍්‍රභූව සඳහා නිකුත් කෙරෙන පනිවිඩය: ඇමරිකාවට පෙරමුන ගත හැක, මැසිවිලි නැගීම නතර කරනු, වඩා අභීතව සිතනු. අද ම මුල පුරනු” යැයි පුවත්පත පැවසී ය.

11. වසරකට පසුව 1992දී පෙන්ටගනය, “දියුනු කාර්මික ජාතීන් අපගේ නායකත්වයට අභියෝග කිරීම හෝ වඩා විශාල කලාපීය හෝ ගෝලීය භූමිකාවක් අපේක්ෂා කිරීම පවා අධෛර්යමත් කිරීම සඳහා” “ඇමරිකානු මහා මූලෝපායක්” සාරාංශ කෙරුනු ලියවිල්ලක් ඉදිරිපත් කලේ ය. එක්සත් ජනපදය මෙම මූලෝපාය යෙදාගත්තේ, නිමක් නැති හා කුරිරු මිලිටරි ශක්තිය මෙහෙයවීම පිනිස ය. ලෝකයේ සෑම කොටසක ම දේශපාලන වර්ධනය දැකගත්තේ, ඒවා ඇමරිකානු ආධිපත්‍යයට කෙසේ බලපාන්නේ ද යන්නට සම්බන්ධිතව ය. ලෝක සිදුවීම්වල පරම බේරුම්කරුවා යයි තමා විසින් ම කියා ගන්නා ඇමරිකානු පාලක පන්තියට ඍජු හා ක්ෂනික ආර්ථික උත්සුකතා තමන්ට නොතිබුනු තැන්වල පවා මැදිහත්වීමට බලකෙරුනි. එක අඩියක් පස්සට ගැනීම ගෝලීය ප‍්‍රතිවිපාක සහිත දුර්වලතාවේ සංඥාවක් ලෙස දැකගත් අතර, පරාජයක් ගැන කියනුම කවරේ ද.

12. 1980 ගනන්වල ඇෆ්ගනිස්තානය තුල සෝවියට් සංගමයට එරෙහිව බලකාරී යුද්ධය පෙලගැස්වීමට උදව් කල, හිටපු එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නීව් බ‍්‍රසෙන්ස්කි ඇතුළු එක්සත් ජනපද පාලක පන්තියේ දේශපාලන මූලෝපායඥයින් විසින් එක්සත් ජනපද උත්සුකයන්ගේ ගෝලීය ස්වභාවය පැහැදිලි කරන ලදී. 1997දී ප‍්‍රසිද්ධ කෙරුනු Grand Chessboard (මහා චෙස්පෙත) නම් ග‍්‍රන්ථය තුල යුරේසියාව, එනම් බටහිර යුරෝපයේ සිට චීනය දක්වා දිවෙන සහ මැද පෙරදිග, මධ්‍යම ආසියාව, රුසියාව හා ඉන්දියානු උපමහාද්වීපය ද ඇතුළු අතිවිශාල භූමිස්කන්ධය පාලනය කිරීමේ අවශ්‍යතාව බ‍්‍රසෙන්ස්කි පැහදිලි කලේ ය. “ඇමරිකානු ගෝලීය ශ්‍රේෂ්ටත්වය ඍජුව රඳාපවතින්නේ, යුරේසියානු මහාද්වීපය මත එහි අධිකාරය කොතරම් කාලයක් හා කොතරම් ඵලදායි ආකාරයට තිරසාර ද යන්න මත” යයි ඔහු සඳහන් කලේ ය. (1)

13. මෙම මූලෝපායට අනුකූලව යමින් එක්සත් ජනපදය, මිලිටරි මෙහෙයුම් මාලාවක් දියත් කලේ ය. ගල්ෆ් යුද්ධයට මුලින් එක්සත් ජනපදය පැනමාව ආක‍්‍රමනය කිරීම (1989), සෝමාලියාව (1992-93), හයිටි (1993-96) තුල මැදිහත්වීම් හා 1999 දී කොසෝවෝ යුද්ධය එසේ පෙල ගැසුනි. “මානව හිමිකම්” නාමයෙන් ක්ලින්ටන් පාලනාධිකාරිය විසින් දියත් කරන ලද පසුව සඳහන් කල යුද්ධය, යුගෝස්ලාවියාව විසුරුවා හැරීමට හා ඇමරිකානු බලය නැගෙනහිර යුරෝපයට හා මධ්‍යම ආසියාවට ව්‍යාප්ත කිරීමේ දශකයක් දීර්ග ව්‍යාපාරයේ කුළුගැන්වීම විය. ගල්ෆ් යුද්ධය මෙන්ම එය ද ඇමරිකානු මිලිටරි ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමක් වු අතර මෙම සිද්ධියේ දී මිලිටරි තාක්ෂනය, නිශ්චිත ඉලක්කයකට නිවැරදිව පහර දෙන නිරවද්‍ය යුද්ධෝපකරන වර්ධනය කිරීම, ගොඩබිම් හමුදා නොමැතිව එක්සත් ජනපදයට යුද්ධය ගෙන යාම පිලිබඳ හැකියාව ඇතැයි යන න්‍යාය පිලිබඳ ප‍්‍රායෝගික පරීක්ෂනයක් ද විය. සර්බියාවේ මාස දෙකක බෝම්බ දැමීමේ ක‍්‍රියාදාමය තුල දී, ඇමරිකානු මිලිටරිය සමාජ පොදුකාර්ය පහසුකම් විනාස කල අතර එක්සත් ජනපදයට කිසිවක් අහිමි නොකරමින් මිනිසුන් සිය ගනන් මරා හෙලීය.

“ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හා ඇමරිකානු අධිරාජ්‍යවාදය

14. ගෝලීය ආධිපත්‍යය පිලිබඳ මූලෝපාය පාලක පන්තියට ගැටළු රැසක් මුනගස්වා ඇත. පලමුව, ඇදහිය නො හැකි මානව, ආර්ථික හා සමාජ පිරිවැයක් දරන ලද ගෝලීය අධිරාජ්‍යවාදී සැලැස්ම මහජන විරෝධයට මුහුන දුන්නේය. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව එක්සත් ජනපදය දියත්කල යුද්ධවලින් එකක් හෝ ජනතාවගේ සහාය දිනාගැනීමට අසමත් විය. “වියට්නාම් යුද භීතිකාව” - විදේශයන්හි මිලිටරි මැදිහත්වීම් කෙරෙහි ඇමරිකානු ජනතාවගේ ගැඹුරු සංසය - ලෙස සඳහන් කෙරෙන දෙයින් පාලක පන්තිය පීඩාවට පත් විය. ලෝක ආධිපත්‍යය සඳහා යුරේසියාවේ පාලනය සියතට ගන්නා වැඩසටහන සාරාංශ කරද්දී පවා බ‍්‍රසෙන්ස්කි සඳහන් කලේ, “විදේශයන්හි පරමාධිපති වීමේ දී රට තුල පවතින්නේ ඕනෑවට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී තත්වයක්” බවය. “විශේෂයෙන් ම මිලිටරිමය බිය වැද්දීම් සඳහා ඇමරිකාව සතු බලය යොදාගැනීමේ ඉඩ කඩ” මේ මගින් සීමා විය. “රට තුල යහපත් ජීවිතයක් පිලිබඳ ජනතාවගේ මනෝභාවයට හදිසි තර්ජනයක් හෝ අභියෝගයක් එල්ල වීමේ තත්වයකදී හැරෙන්නට, බලය යොදාගැනීම ජනතාව ලැදියාවක් දක්වන දෙයක් නොවේ.” (2)

15. 2001 සැප්තැම්බර් 11දා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන්හි පසුබිම කිසි දිනක ස්වාධීන පරීක්ෂනයකට ලක් නො කෙරුනු අතර, එය “හදිසි තර්ජනයක් හෝ අභියෝගයක්” ලෙස යොදා ගැනුනි. රාජ්‍ය යාන්ත‍්‍රනයේ කොටස් වල මැදිහත්වීම මොන මට්ටමක තිබුනත්, තීරනාත්මක මූලෝපායික අරමුනු වෙනුවෙන් සේවය කල ප‍්‍රතිපත්ති යුක්ති සහගත කිරීමට ත‍්‍රස්ත ප‍්‍රහාර ප‍්‍රයෝජනයට ගැනුනි. නිමක් නැති “ත‍්‍රස්තවාදට එරෙහි යුද්ධයක්” ප‍්‍රකාශ කල දෙවැනි බුෂ් පාලනාධිකාරය, ආරම්භයේ සිට ම කඩතුරාවක් හා යෝධ බොරුවකට වැඩි දෙයක් නො වූ එම යුද්ධය පාවිච්චි කලේ, විදේශයන්හි මිලිටරි මෙහෙයුම් හා එක්සත් ජනපදය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාස කිරීමේ වැඩ පිලිවෙල යුක්ති සහගත කිරීමට ය. සැප්තැම්බර් 14දා ලෝසවෙඅ සඳහන් කල පරිදි, “ලෝක වෙලඳ මධ්‍යස්ථානය හා පෙන්ටගනයට එල්ල වූ ප‍්‍රහාර, පාලක ප‍්‍රභූවේ උග‍්‍ර දක්ෂිනාංශික කන්ඩායම් වසර ගනනාවක් තිස්සේ කෑ මොර දුන්, දුර දිග යන දේශපාලන න්‍යායපත‍්‍රය ක‍්‍රියාවට දැමීමට අවස්ථාවක් ලෙස ඩැහැගෙන ඇත.” (3)

16. 9/11 ත‍්‍රස්තවාදීන් බොහෝ දෙනා සෞදි අරාබියෙන් පැමිනි හා සෞදි රාජාන්ඩුවෙන් අරමුදල් ලබාගත් අය වීම පිලිබඳ කාරනය නො සලකා ප‍්‍රහාර උපයෝගි කර ගැනුනේ, බලශක්තියෙන් පොහොසත් කැස්පියන් මුහුදු කලාපය හා දකුනු ආසියාව යන දෙකෙහි ම මෙහෙයුම් සඳහා තීරනාත්මක භූ-දේශපාලනික කේන්ද්‍රයක් වූ ඇෆ්ගනිස්තානය වහාම ආක‍්‍රමනය කිරීමට ය. ප‍්‍රහාරයෙන් මාස හතරකට පසුව “යක්ෂයාගේ අක්ෂය” යයි තමා නම් කල ඉරානය, ඉරාකය හා උතුරු කොරියාවට එල්ල කෙරෙන යුද තර්ජන දක්වා බුෂ් එය දීර්ග කලේ ය. විභව තර්ජනයක් යැයි එක්සත් ජනපදය ඒත්තු ගනු ලබන ඕනෑ ම රටකට එරෙහිව “පූර්වභංග” යුද්ධයක් ගෙනයාමේ අයිතිය ප‍්‍රකාශ කරන ජාතික ආරක්ෂක මූලෝපාය ලියවිල්ල එය පසුපසින් පැමිනියේය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ස්ථාපිත කෙරුනු ජාත්‍යන්තර නීතියේ මූලික රාමුව - යුද්ධය ස්වයං ආරක්ෂාව සම්බන්ධයෙන් පමනක් යුක්ති සහගත වන බව - ප‍්‍රතික්ෂේප කරන ලදී. නව මූලෝපාය ආක‍්‍රමනකාරී යුද්ධ ගෙනයාම සඳහා බලපත‍්‍රයක් විය, න්‍යුරෙම්බර්ග් අධිකරනයේ දී නාසි නායකයන්ට එල්ල කෙරුනු ප‍්‍රධාන යුද අපරාධ චෝදනාව වූයේ ආක‍්‍රමනකාරී යුද්ධයක් ගෙනයාම යි.

17. “සංහාරක අවි” හා සදාම් හුසේන් ආන්ඩුව හා අල් කයිඩාව අතර නො පැවති සම්බන්ධකම් පිලිබඳ මුසාවන්ගේ පදනම මත දියත් කෙරුනු, 2003 ඉරාක ආක‍්‍රමනය තුල මෙම “පූර්වභංග” යුද ප‍්‍රවාදය ක‍්‍රියාත්මක කරන ලදී. යුද්ධයේ සැබෑ එල්ලය වූයේ අනෙකුත් බලවතුන්ගේ අනුහස පිටුදකින අතර මැද පෙරදිග තෙල්වලින් පොහොසත් කලාපයේ පාලනය සියතට ගැනීම යි. ඇෆ්ගනිස්තාන හා ඉරාක යුද්ධ සමග, ඇමරිකානු ප‍්‍රතිපත්තිය තුලට වධහිංසාව හඳුන්වාදීම, ගුවන්තනාමෝ බේ වධකාගාරය හා ලෝකය පුරා රහස් සීඅයිඒ “බ්ලැක් සයිට්” සිර කඳවුරු ස්ථාපිත කිරීම සමග අත්වැල් බැඳ ගැනුනි.

18. ලෝක ආධිපත්‍යය පිලිබඳ මූලෝපාය විසින් මතුකෙරුන දෙවැනි මූලික ගැටළුව වූයේ, එහි ස්වභාවයෙන් ම එයට ඇමරිකානු ධනවාදයේ අර්බුදය යටින් පවතින ප‍්‍රතිඝතිතාවන් විසඳිය නො හැකි වීම යි. 1999 බෝල්කන් යුද්ධ ඉක්බිත්තෙහි සසප පැහදිලි කලේ, “ඉලක්කය වෙතට මෙහෙයවිය හැකි ප‍්‍රහාර” ආර්ථික වර්ධනයේ වඩා මූලික ප‍්‍රවනතා නොසලකා හැරි බව යි. “මෙම වාසියට (ආයුධ කර්මාන්තය තුල) හෝ මෙම කර්මාන්තයේ නිෂ්පාදනයට ලෝක ආධිපත්‍යය සහතික කල නො හැකි” බව අපි සඳහන් කලෙමු. “එරට සතු අවි තොගවල විදග්ධතාව නො සලකා ලෝක ධනවාදයේ කටයුතු තුල එක්සත් ජනපදයේ අග‍්‍රගන්‍ය භූමිකාවේ මූල්‍ය - කාර්මික පදනම, අවුරුදු 50කට පෙර තිබුනාට වඩා වැදගත්කමින් අඩු ය.”(4) එක්සත් ජනපදයේ ඉරාක ආක‍්‍රමනය ආසන්නයේ, 2003දී ලෝසවෙඅ මෙසේ පෙරදුටුවේ ය:

ඇරඹී ඇති ගැටුමේ ආරම්භක අවධීන්ගේ ප‍්‍රතිඵල කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය විනාසය කරා ඇදෙන හමුවක් නියම කර ගෙන ඇත. එයට ලෝකය ජයගත නො හැක. එයට මැද පෙරදිග ජනතාව මත යටත් විජිත බන්ධනය යලි ආරෝපනය කල නො හැක. එයට යුද්ධයේ මාධ්‍ය හරහා සිය අභ්‍යන්තර ව්‍යාධීන්ට ශඛ්‍ය විසඳුමක් සොයා ගත නො හැකි වනු ඇත. ඊට වෙනස්ව, යුද්ධය මගින් ජනිත කෙරුනු අනපේක්ෂිත දුෂ්කරතා හා නැගී එන විරුද්ධත්වය ඇමරිකානු සමාජයේ අභ්‍යන්තර ප‍්‍රතිඝතිතා සියල්ල තීව‍්‍ර කරනු ඇත.(5)

19. මෙම පෙරදැක්ම මුළුමනින් ම තහවුරු කෙරී ඇත. ජාත්‍යන්තර කමිටුව පෙර දුටු පරිදි, එහි සියළු මිලිටරි ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵලය විනාශකාරී වී ඇත. මෙය ඉරාකයේ දී තරම් වෙන කිසි ම තැනක දී සැබෑ නැත, මෙහි දී, පාලක පන්තියේ මූලෝපායික දෘෂ්ටි කෝනයෙන් පවා එක්සත් ජනපදය සිය අරමුනු කිසිවක් ජයගැනීමට අසමත් වී ඇත. සදාම් හුසේන්ගේ ආන්ඩුව පෙරලා දැමූ බූෂ් පාලනාධිකාරයේ නීතිවිරෝධී ආක‍්‍රමනකාරී යුද්ධයෙන් දශකයකටත් වැඩි කාලයක දී, හා ඉරාක ජාතිකයන් මිලියනයකට වඩා මියගියාට පසුව ද රට සිවිල් යුද්ධයක් තුල ගිලෙමින් තිබේ. වොෂින්ටනයේ බෙදා පාලනය කරනු මූලෝපාය මගින් ගිනිමොලවන ලද නිකායික ගැටුම් ඊටත් වඩා විශාල විනාසයක් ගෙන එමින් මුළු මැද පෙරදිග ම කලාපීය යුද්ධයකට ඇද දැමීමට තර්ජනය කරයි.

20. විදේශයන්හි මිලිටරිවාදී ප‍්‍රචන්ඩතා ඇමරිකානු හා ලෝක ධනවාදය යටින් පවතින ප‍්‍රතිඝතිතා විසඳීමට අසමත් වී ඇත. පසු ගිය දශක දෙක තුල පැතිර යන මූල්‍ය කුනාටු අත්දුටුවේය: 1997 ආසියානු ආර්ථික අර්බුදය, 1998දී දීර්ගකාලීන ප‍්‍රාග්ධන කලමනාකරනයේ ඇදවැටීම හා රුසියානු නය පැහැරහැරීම, 2001දී ඩොට්.කොම් බුබුල පිපිරීම, 2008 අවමුඛ උකස් වෙලඳපොල දියවී යාම හා ලෝක පරිමාන මූල්‍ය අර්බුදය. ඇමරිකානු ධනවාදයේ ආර්ථික පදනම දිගටම පරිහානියට ගොස් ඇත; එහි ලෝක තත්වය දිගටම ඇදවැටී ඇත. මෙම ආර්ථික අර්බුද මධ්‍යයේ, 2005 කැත‍්‍රිනා කුනාටුවේ ව්‍යසනය, එක්සත් ජනපදයේ පොදුකාර්ය පහසුකම් ඛාදනය වීම හා දරිද්‍රතාවේ ද සමාජ අසමානතාවේ ද දැවන්ත මට්ටම ලෝකයට හෙලි කලේ ය.

21. ලෝක ධනවාදයේ අර්බුදය ගැඹුරුවීම සමග ඇමරිකානු අධිරාජ්‍යවාදය මිලිටරි බලය මත වාරුවීම වැඩිවී ඇතිවා පමනි. 1928දී ට්‍රොට්ස්කි සටහන් කල පරිදි, “අර්බුද කාලපරිච්ඡේදයේ දී එක්සත් ජනපදයේ ආධිපත්‍යය උත්පාත කාලපරිච්ඡේදයට වඩා සම්පූර්නව, වඩා විවෘතව හා වඩා කුරිරු ලෙස ක‍්‍රියාකරනු ඇත.” යුද්ධය ඇමරිකානු ප‍්‍රතිපත්තියේ ස්ථීර ලක්ෂනයක් වී ඇත. ඔබාමා පාලනාධිකාරය යටතේ එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානය තුල යුද්ධය තීව‍්‍ර කර ඇති අතර එය පකිස්තානයට ද ව්‍යාප්ත කලේ ය, ලිබියාවට එරෙහිව යුද්ධ කලේ ය, දැන් ඉරාකයට යලි හමුදා රිංගවමින් සිටී. සුඩානය, යේමනය, පකිස්තානය, ඉරානය, සිරියාව හා යුකේ‍්‍රනය ඇතුළු සැමදා වැඩිවන රටවල් ගනනාවක්, මිලිටරි මැදිහත්වීම්, මිසයිල හා ඩ්‍රෝන් ප‍්‍රහාර හෝ පාලන තන්ත‍්‍ර පෙරලා දැමීමේ කුමන්ත‍්‍රනකාරී මෙහෙයුම් සඳහා ඉලක්ක කෙරී ඇත. සිය පාලනාධිකාරයේ මුල දී, නොබෙල් සාම ත්‍යාගය පිලිගනිමින් කල කතාවක දී ඔබාමා, එක්සත් ජනපදයේ ඒකපාර්ශ්වීය මිලිටරි ක‍්‍රියාවන්ගේ අයිතිය “ස්වයං ආරක්ෂාවෙන් එහාට හෝ ආක‍්‍රමනිකයෙකුට එරෙහිව එක ජාතියක ආරක්ෂාවෙන් ඔබ්බට ව්‍යාප්ත කරන” බවට සහතික විය. ඔහුගේ පුරෝගාමීන්ටත් වඩා දුර යමින් ඔබාමා, සිය “කේන්ද්‍රීය උත්සුකයන්” පරදුවට තැබෙන ඕනෑ ම අවස්ථාවක එක්සත් ජනපදයට, මිලිටරිමය වශයෙන් මැදිහත්වීමේ අයිතිය සහතික කර ඇත.

22. තම ඉලක්කයන්ගේ තර්කනය එක්සත් ජනපදයට බල කරන්නේ, සිය අවධානය වැඩි වශයෙන් තම ප‍්‍රධාන තරගකරුවන් වෙතට හැරවීමට ය. ඇමරිකානු ආර්ථික තත්වය තව තවත් ඛාදනය වන තතු හමුවේ එය වඩ වඩාත් අවශ්‍ය කෙරෙන මාරුවකි මෙය. මෙම මාරුව චීනය වැටලීම ඉලක්ක කෙරුනු මිලිටරි සම්බන්ධකම් හා ගිවිසුම් වැලක් සම්බන්ධවන ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” සලකුනු කරයි. චීන ආර්ථිකය ඉක්මනින් ම එක්සත් ජනපද ආර්ථිකයේ ප‍්‍රමානය ඉක්මවා යනු ඇතැයි යන ඇමරිකානු අධිරාජ්‍යවාදී මූලෝපායඥයින් පුරෝකතනය කර ඇති අතර එය ඔවුන් පිටුදැකීමට අධිෂ්ඨාන සහගතව සිටින ප‍්‍රවනතාවකි. චීනයේ නැගීම දකින්නේ එක්සත් ජනපදයේ ආසියානු අවශ්‍යතාවන්ට පමනක් නො ව ලෝකය පුරාම සිය අවශ්‍යතාවන්ට තර්ජනයක් ලෙස ය. ඒ අතර සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු පවා, රුසියාව දැකගන්නේ නැගෙනහිර යුරෝපයේ හා මැද පෙරදිග කලාපයන්හි සිය ප‍්‍රතිපත්ති පැනවීමේ එක්සත් ජනපද හැකියාවට තර්ජනයක් ලෙස ය, 2013 ගිම්හානයේ දී සිරියාවට බෝම්බ දැමීමේ සැලැස්මෙන් ඔබාමා පාලනාධිකාරයේ නින්දා සහගත පසුබැසීම මගින් තහවුරු කලේ මෙම උත්සුකය යි. රුසියාව පිටුදැකීමට මෙම වසරේ පෙබරවාරියේ දී එක්සත් ජනපදය හා ජර්මනිය යුකේ‍්‍රනයේ රුසියාවට පක්ෂපාතී ආන්ඩුව පෙරලා දැමීමට හා වොෂින්ටනයට ගැති ආන්ඩුවක් ස්ථාපිත කිරීමට ෆැසිස්ට් හමුදාවන්ට නායකත්වය දුන් කුමන්ත‍්‍රනයක් අවුලුවමින් එයට උදව් කලහ.

23. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අතෘප්තිමත් විජිගීෂාවන් අනිවාර්යයෙන්ම රුසියාව හා චීනය සමග “එක්සත් ජනපදය විසින් නව යටත් විජිත තත්වයට ඇද දැමීමට උත්සාහ කරන රටවල්” පමනක් නො ව යුරෝපයේ හා ආසියාවේ ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමග ද ගැටුම් ඇති කිරීමට තර්ජනය කර යි. ඇමරිකානු අධිරාජ්‍යවාදය ක‍්‍රියාකරන්නේ භූ-දේශපාලනික රික්තයක් තුල නොවේ. ඉරාකය තුල විනාසය තමන්ගේ ම මූලෝපායන් නැවත ඇගයීමට හා තමන්ගේම ස්වාධීන උත්සුකයන් අවධාරනය කිරීමට අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් පොලඹවනු ලබයි. අධිරාජ්‍යවාදී බලවතුන් අතර මොන ආකාරයේ තාවකාලික සන්ධාන තිබුනත් ජාත්‍යන්තර කමිටු ප‍්‍රකාශනය සඳහන් කරන පරිදි ඔවුන් අතර උත්සුකයන්ගේ ස්ථීර සම්පතනයක් ඇත්තේ නැත.

24. බර්ලිනයේ එක්සත් ජනපද ඔත්තුකරුවන් පිලිබඳ සෝලියක් මගින් අවුළුවන ලද ජර්මනිය හා එක්සත් ජනපදය අතර විරසකයේ හදිසි මතුවීම පිටුපස පවතින්නේ, මෙම සලකාබැලීම් ය. ජර්මන් අධිරාජ්‍යවාදය එක්සත් ජනපදය දකින්නේ නැගෙනහිර යුරෝපයේ හා වැඩිවෙන වැදගත්කමකින් යුත් කලු මුහුදු ප‍්‍රදේශය මෙන් ම රුසියාව හා චීනය තුල තමන්ගේ මූලෝපායික තරගකරුවෙකු ලෙස ය. එක්සත් ජනපදයේ අදූරදර්ශී හා අසාර්ථක මෙහෙයුම් වලට තමන්ගේම උත්සුකයන් යටත් කිරීම සම්බන්ධයෙන් ජර්මානු පාලක පන්තියේ මුලෝපායඥයෝ වඩ වඩාත් නො ඉවසිලිමත් වෙති. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දුර්වලකම් ඉස්මතු වන විට අනෙකුත් අධිරාජ්‍යවාදී බලයෝ තමන්ගේම ස්වාධීන ප‍්‍රතිපත්තියක් සලකුනු කර ගනිති. ආසියාවේ දී ජපානය, එක්සත් ජනපදයේ සහාය ඇතිව නැවත මිලිටරීකරනය වෙමින් සිටින අතර සිය ව්‍යවස්ථාවේ ශාන්තිකර වගන්තිය අහෝසි කර දමමින් සිටියි. එහෙත් ජපානයට ද ස්වාධීන උත්සුකයන් ඇත. විසිවැනි සියවසේ පලමු භාගයේ ලෝක යුද්ධ දෙකක දී පිපිරුනු මූලික අධිරාජ්‍යවාදී ගැටුම් ඉවත්ව ගොස් නැත, ඒවා හුදෙක් නව රූපාකාරයන් ගෙන ඇතිවා පමනි.

මූල්‍ය ප‍්‍රාග්ධනය, අධිරාජ්‍යවාදය සහ සමාජ ප්‍රතිවිප්ලවය

25. ඇමරිකානු ධනවාදයේ පසුබෑම අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වය සමග සෘජු ලෙසින්ම බැඳුනු එජ තුල පවතින වෙනත් සමාජ පරිවර්තනයක් සමග සම්බන්ධිතය: ඒ මූල්‍ය ප‍්‍රාග්ධනයේ තර වන ආධිපත්‍යය යි. වෝල් වීදියේ සහ මූල්‍ය වෙලඳපොලේ උත්සුකයන්හි පෙලඹවීම යටතේ ඇමරිකානු පාලක පන්තිය, එන්ට එන්ටම, කම්කරු පන්තිය දිනාගෙන ඇති සියලු අතීත ජයග‍්‍රහන ආපසු හැරවීමට වෑයම් කරමින්, රැකියා කප්පාදුවේ සහ සංගත බද්ධ කිරීමේ වියරුවක් දියත් කර තිබේ. නිශ්පාදනය ඇමරිකාවෙන් පිටතට හරවා යවද්දී, රට තුල ධන සමුච්ඡයනය, වඩ වඩාත් නිශ්පාදන ක‍්‍රියාවලියේ ආයෝජන වලින් ද ඊනියා තථ්‍ය ආර්ථිකයෙන් ද වෙන්වී ගියේය. 1980 දී මූල්‍ය කර්මාන්තයෙන් උපුටා ගත් සංගත ලාභ සියයට 6ක් පමනක් වුව ද අද එය සියයට 40ක් වී තිබේ.

26. “මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආධිපත්‍ය හෙවත් ධනවාදයේ ඉහලම අවධිය වන අධිරාජ්‍යවාදය යටතේ, මූල්‍ය ප‍්‍රාග්ධනය නිශ්පාදන ප‍්‍රාග්ධනයෙන් වෙන් කිරීමේ මෙම ක‍්‍රියාවලිය ඉමහත් පරිමානයෙන් සිදුව තිබේ. ප‍්‍රාග්ධනයේ අන් සියලු රූපාකාරයන් මත මූල්‍ය ප‍්‍රාග්ධනයේ බලපරාක‍්‍රමයෙහි තේරුම, බදුකාරයාගේ හා මූල්‍ය කතිපයාධිකාරයේ අධිකාරයයි: එහි අර්ථය නම්, මුල්‍යමය ලෙස ‘සවිමත්’ රාජ්‍ය කුඩා සංඛ්‍යාවක් අනෙක් සැමටම ඉහලින් වැජඹීම” යයි ලෙනින් ලියා ඇත.(6) පලමු ලෝක යුද්ධයේ මූලාරම්භය සහ ස්වභාවය සම්බන්ධයෙන් කරන ලද මෙම විශ්ලේෂනය, එක්සත් ජනපද ලෝක මූල්‍ය මධ්‍යස්ථානය ලෙස පිහිටා තිබෙන තතු තුල ගෝලීය ධනවාදයේ වර්තමාන තත්වයට බොහෝ සෙයින්ම ගැලපේ.

27. සිය භූ-දේශපාලන උවමනාවන්ට අමතරව ඇමරිකානු පාලක පන්තියේ ඉවරයක් නැති යුද පිලිවෙත අසාමාන්‍ය පරිමාවකින් පෙරට තල්ලු කරන්නේ, එජ තුලම පවතින සමාජ සහ ආර්ථික අර්බූදයේ ඇඟවුම් පිලිබඳ භීතිය මගින්ය. මිලිටරිවාදය සහ යුද්ධය, සමාජ ආතතීන් පිටතට හැරවීමේ මාවතක් ලෙස දැකගනු ලබයි. මූල්‍ය වංශාධිපතිත්වය නැගී සිට ඉන්නේ සමාජ වෙඩිබෙහෙත් හෙප්පුවක් මතය. සමාජ අසමානතාවය මහා අවපාතයට පසු නොදුටු විරූ මට්ටම් වලට පැමින තිබේ. එමෑනුවල් සෑස් සහ ගේබි‍්‍රයෙල් සුක්මන් අපේ‍්‍රල් මාසයේ පල කල වර්තාවකට අනුව, ඇමරිකාවේ ඉහල ආදායම් ලබන සියයට 0.5 සතු ධන සම්භාරය 1978 තිබූ සියයට 17 සිට අද වනවිට සියයට 35ට මඳක් අඩුවන මට්ටමට ඉහල ගොස් තිබේ. [7] ඉහල සියයට 0.1 ඇඟ හිරිවට්ටන තරමේ සියයට 20ක පංගුවකට හිමිකම් කියයි. රටේ ධනයෙන් වැඩි කොටස මත අධිකාරය දරන්නේ, බැංකු, සමපේක්ෂකයින් සහ වෝල් වීදියේ වෙලඳුන් විසිනි.

28. ලොව විශාලතම ආර්ථිකය තුල ජනතාවගෙන් අතිවිශාල බහුතරයකගේ ජීවන තත්වයන් ව්‍යසනයකට මුහුනපා ඇත. ආර්ථික පල්වීමෙන්, විශාල විරැකියාවෙන් සහ දුගීබවින් ඇමරිකාව ඔත්පලව සිටී. සියලු සම්පත් වෝල් වීදිය අතට පත් කිරීමේ ව්‍යායාමය තුල කම්කරු පන්තිය විසින් පෙර යුගයන්හි දී දිනාගනු ලැබූ සියලු සමාජීය වස්තුව විනාශ කෙරෙමින් තිබේ. ඔබාමා පරිපාලනයේ සෞඛ්‍ය ආරක්ෂන වැඩපිලිවෙල, සේව්‍යයා විසින් ගෙවන ලද සහන මෙන්ම වෛද්‍ය පහසුකම් හා වෛද්‍යාධාර අතුගා දැමීමේ මුල් පෙරමුනයි. රජයේ අධ්‍යාපන ආයතන ලාභ සඳහා වන මෙහෙයුම් මගින් විස්ථාපනය කෙරෙමින් තිබේ. කලෙක ඇමරිකානු සහ ලෝක රථවාහන නිශ්පාදනයේ මධ්‍යස්ථානය මෙන්ම රටේ ඉහලම ඒක පුද්ගල ආදායමට හිමිකම් කියූ ඩෙට්ට්‍රොයිටය බංකොලොත් බවට ඇද දමා තිබේ. ඡන්දයෙන් තේරී පත් නොවූ මහා බලසම්පන්න මූල්‍ය කලමනාකරුවකු එහි මූලිකත්වය දරන අතර ඔහු විශ‍්‍රාම වැටුප් සහ සෞඛ්‍ය සහන විනාශයට, නගරයේ වත්කම් විකුනා දැමීමට සහ දහස් ගනන් ජනයාගේ අති මූලික අවශ්‍යතාවයක් වන පානීය ජල සැපයුම කපා දැමීමට අන කරමින් සිටී. රට පුරා තරුන තරුනියන්ගේ තත්වය ව්‍යසනකාරීය ය. සමස්ත පරම්පරාවක්ම මුහුන දී සිටින්නේ, ගැලපෙන රැකියාවක් පිලිබඳ කිසිදු බලාපොරොත්තුවකින් තොරව නිමා නොවන නය බරක සහ ආර්ථික අස්ථාවරත්වයකට ය.

29. රජයේ සියලු ආයතන ගැඹුරින්ම අපකීර්තියට පත්ව තිබේ. මෑතකදී කල ගැලප් විමසුමකදී ආයතනයක් ලෙස ජනාධිපති සේවය පිලිබඳ විශ්වාසය සියයට 29 දක්වා පහල ගොස් තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරනයේ තත්වය සියයට 30ක් විය. කොන්ග‍්‍රසය පිලිබඳ විශ්වාසය ඊට ද පහල සියයට 7ක් වූ අතර එය ඉතිහාසයේ පහලම මට්ටම සලකුනු කලේය. ජුලියේ පැවැත්වූ වෙනත් විමසුමකදී වයස 18-26 අතර බහුතරය පවසා තිබුනේ වැදගත් දේශපාලන ගැටලු සියල්ලකදීම පාහේ තමන් දෙකෙන් එක පක්ෂයක්වත් විශ්වාස නොකරන බව ය. ඇමරිකානු පාලක පන්තිය තවදුරටත් පන්ති ආතතීන් සමහන් කිරීමට මැදිහත්වීමේ සම්ප‍්‍රදායික ක‍්‍රම අනුගමනය නොකරයි. කිසිදු හෝ වැදගත් සමාජ ප‍්‍රතිසංස්කරනයක් වසර 50කින් මෙපිට සිදුකර නොමැත. නිව් ඞීල් සහ ශ්‍රේෂ්ඨ සමාජය වැඩපිලිවලවල් අයත් වනුයේ පෙර යුගයට වන අතර ඒවායින් ඉතුරුවූ යමක් වේ ද ඒවා ද බිඳ දමමින් තිබේ. බොහෝ කලකට පෙර කම්කරු පන්ති සංවිධානවල තත්වයෙන් බැහැරවූ වෘත්තීය සමිති අද සංගතවල සහ රාජ්‍යයේ උපස්ථම්බක ඒජන්සි ලෙස කි‍්‍රයා කරන අතර ඒවායේ ප‍්‍රධාන භූමිකාව බවට පත්ව ඇත්තේ, කම්කරු පන්තිය මත පාලක පන්තියේ ඉල්ලීම් පැටවීම ය. සමාජ ආතතීන් මර්දනයට පාලක පන්තිය විසි ලක්ෂයක් පමන ජනතාව සිරභාරයේ තබමින්, මරනීය දන්ඩනයේ වනචාරී පිලිවෙත පවත්වාගෙන යමින් හා එය පුලුල් කරමින් ද ප‍්‍රාදේශීය පොලිස් දෙපාර්තමේන්තු පැරා මිලිටරි බලකායන් බවට පරිවර්තනය කරමින් ද වැඩි වැඩියෙන් පොලීසි සහ සිරගෙවල් දෙසට හැරෙමින් ද සිටී.

30. විදෙස් පිලිවෙත පිලිබඳ මූල්‍ය ප‍්‍රාග්ධනයේ මෙහෙයුම් ස්වභාවය වන්නේ, විදේශයේදී අධිරාජ්‍යවාදී මිලිටරි ආක‍්‍රමනය සහ කොල්ලකෑම යි. දේශීය පිලිවෙතේදී එය, සමාජ ප‍්‍රතිවිප්ලවය සහ ඒකාධිපතිත්වය වේ. රුඩොල්ෆ් හිල්ෆර්ඩින් උපුටා දක්වමින් ලෙනින් පැවසුවේ: “මූල්‍ය ප‍්‍රාග්ධනය වලිකන්නේ නිදහස සඳහා නොව ආධිපත්‍යය සඳහා ය. අධිරාජ්‍යවාදයේ සංලක්ෂිත ස්වරූපය වනුයේ සෑම සියලුතන්හිදී දේශපාලන ප‍්‍රතිගාමිත්වය යි”. “දැවැන්ත පරිමානයේ දූෂනය, පගා ගැසීම සහ සියලු ආකාරයේ වංචාවන්” ඊට ඇතුලත් බව ලෙනින් තවදුරටත් පැවසීය. (8)

31. ජනාධිපති සේවය, කොන්ග‍්‍රසය, උසාවි සහ මාධ්‍ය යන මේ සියල්ල පාලනය කරන්නේ මූල්‍ය වංශාධිපතිත්වය විසින් වන අතර ඒ බව ජනතාවගේ පලල් කොටස් වඩ වඩාත් අවබෝධ කර ගනිමින් සිටිති. ආර්ථික දිවියේ සියල්ලම වෝල් වීදියේ සහ කොටස් වෙලඳපොලේ අනට යටත් වන අතර 2008 අර්බූදය මුවවිටදී පමන මෙවන් තත්වයක් නැගී ආවේය. ආර්ථිකය බංකොලොත් කල මූල්‍ය කතිපයාධිකාරය තමන්ම නිර්මානය කල අර්බූදය පාවිච්චි කරමින් තමන්ගේ අතට ඉතිහාසයේ නොවූවිරූ තරම් ධනයක් ගලා එන මග පාදාගත්තේ ය. ඔබාමා පරිපාලනයෙන් සහ පෙඩරල් මහ බැංකුවෙන් නොමිලයේ ම පාහේ ලැබෙන ටි‍්‍රලියන ගනන් ඩොලර් වලින් සංගත ලාභ කිසි දා නොවූ තරම් ඉහල නැග ඇති අතර වෝල් වීදිය මූල්‍ය කඩාවැටීමට මග පෑදූ මාදිලියේ වියරු සමපේක්ෂනයකට යලි හැරී සිටී.

32. මෙම තත්වයන් යටතේ පාලක පන්තිය යුද්ධය රාජ්‍යයේ දෘෂ්ටිවාදාත්මක පදනම් තහවුරු කර ගැනීමේ සහ විරුද්ධ මත දැරීම සාපරාධීකරනය යුක්තිසහගත කිරීමේ යාන්ත‍්‍රනයක් ලෙස දකී. මිලිටරිමය ප‍්‍රචන්ඩත්වයේ සහ ආන්තික සමාජ අසමානතාවේ සමාජීයව විෂඝෝර සංයෝගය එජ තුල ප‍්‍රජාතන්තී‍්‍රය ආකෘතීන්හි බිඳවැටීමෙන් ප‍්‍රකාෂයට පත්වෙයි. පසුගිය වසර මුලුල්ලේ ජාතික ආරක්ෂක ඒජන්සියේ තොරතුරු එලිකල එඞ්වඞ් ස්නෝඩන් සමස්ත ජනතාවගේම දේශපාලන සහ සමාජ කටයුතු හා සබඳතා සුපරීක්ෂාව පිනිස සියලුම ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන මාධ්‍ය වලට නීතිවිරෝධී ලෙස පිවිසීම එලිදරවු කිරීමට දායක විය. ජනාධිපති ඔබාමා ඇමරිකානු පුරවැසියන් කිසිදු අධිකරන කි‍්‍රයාවලියකින් තොරව ඝාතනය කිරීමේ අයිතිය පවරාගෙන සිටින අතර එය එසේ බව පිලිගනී.

33. රටේ නිශ්පාදන ධාරිතාවයෙන් විශාල කොටසක් ගිල දමමින් නීතිය අතට ගෙන කි‍්‍රයා කරන දැවැන්ත සහ කිසිවකුට වග නොකියන මිලිටරි-රහස් ඔත්තු-පොලිස් මෙවලමක් කි‍්‍රයාත්මකව පවතී. වසර 53කට පෙරාතුව ජනාධිපති අයිසන්හවර් “මිලිටරි කර්මාන්ත සංකීර්නයේ” බලය පිලිබඳ අනතුරු ඇඟවූ කලට වඩා අද, යුද කර්මාන්ත යේ පරිමාව බොහෝ සෙයින් විශාලය. එක්සත් ජනපදය මිලිටරි-ඔත්තු සේවා මෙවලම වෙනුවෙන් ඩොලර් ටි‍්‍රලියනයක් පමන නැතහොත් රටේ සමස්ත දල ජාතික නිශ්පාදනයෙන් සියයට 7කට ආසන්න මුදලක් වැය කරයි. විනාශයේ අරමුනු වෙනුවෙන් යෙදවෙන මෙම සම්පත් එක්සත් ජනපදය තුල කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතා වල වියදම මතින් ගලා එයි.

“මානව අයිතීන්” පිලිබඳ අධිරාජ්‍යවාදයේ නැගීම

34. ඇමරිකානු පාලක පන්තිය “ත‍්‍රස්ත විරෝධී යුද්ධය” විදේශවල යුද්ධ සඳහා ජනතා සහාය පෙල ගස්වා ගැනීමේ දෘෂ්ටිමය ප‍්‍රයෝගයක් ලෙස දැක ගනියි. එහෙත්, නිරන්තර යුදවාදී ප‍්‍රචාර මධ්‍යයේ පවා සියලූ මත විමසුමක්ම පෙන්නුම් කලේ, යුද්ධය ට ගැඹුරින්ම පවතින අප‍්‍රසාදය යි. “වෙනස” සඳහා අපේක්ෂකයා සේ අලෙවි කරනු ලැබූ ඔබාමාගේ 2008 මැතිවරන ජයග‍්‍රහනය බොහෝ කොටම බුෂ් පරිපාලනයේ යුද පිලිවෙත් කෙරෙහි පලවූ ජනතා වෛරයේ ප‍්‍රතිපලයකි. කෙසේවෙතත්, පවතින දේශපාලන ව්‍යුහය තුල කිසිම දෙයක් වෙනස් කිරීමට මහජනයා සඳහා මොනම යාන්ත‍්‍රනයක්වත් නැතිබව පසු ගිය සය වසරේදී තීරනාත්මක ලෙසින් පෙන්නුම් කර ඇත. ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකානුවන් මූල්‍ය වංශාධිපතිත්වයේ දේශපාලන පිලිවෙත් වලට එකසේ කැපවී සිටිති. මාධ්‍ය තුලින් දේශපාලන සංස්ථාපිතයේ බොරු බේගල් කිසි දා ප‍්‍රශ්න කරන්නේ හෝ එලි කරන්නේ නැත.

35. යුද්ධය සුජාත කරනයේ සහ විපාක්ෂිකයන් කොටුකර තැබීමේ දී බුරුතු පිටින් ව්‍යාජ-වාම සංවිධාන තීරනාත්මක භූමිකාවක් ඉටුකරන අතර මොවුන් බොහෝ දෙනකුගේ මූලයන් පවතිනුයේ 1960 ගනන් අග යුද විරෝධී ව්‍යාපාරය තුලය. මොවුන් සපයන සුවිශේෂිත දායකත්වය නම්, ඇමරිකානු අධිරාජ්‍යවාදය ප‍්‍රගතිශීලී මානුශීය බලවේගයක් ලෙස හුවා දක්වමින්, නග්න ආක‍්‍රමනශීලීත්වය “මිනිස් අයිතිවාසිකම්” රැකීමක් සේ ඇසුරුම් කර අලෙවි කිරීම ය. වසර එකොලහකට පෙර ඉරාක යුද්ධය මුවවිටදී එක්සත් ජනපදය ඇතුලු ලොව පුරා ප‍්‍රධාන නගර වල කෝටි ගනන් ජනයා ඒකීභූත ගෝලීය විරෝධතා වල නියැලුනහ. පසුගිය දශකය තුල මිලිටරිවාදයේ දැවැන්ත උත්සන්න වීම් දැකගත හැකි විය. කෙසේවතුදු, බොහෝ කොටම 2003 පෙබරවාරි විරෝධතා මෙහෙයවූ මධ්‍යම පන්තික සංවිධාන යුද විරෝධී මනෝභාවයන්හි හුස්ම හිරකර ඒවා යලි දේශපාලන සංස්ථාපිතයේ තුරුලට හරවා යැවීමට ක‍්‍රමානුකූලව කටයුතු කලේය.

36. මෙම දේශපාලන ප‍්‍රවනතාවන් අධිරාජ්‍යවාදයේ කඳවුරට සේන්දු වීම මූලික පන්ති ප‍්‍රශ්න සමග බැඳී තිබෙන දේශපාලන යලි පෙලගැසීම්වල ම ප‍්‍රකාශනයකි. 1960 ගනන් වල යුද විරෝධී ව්‍යාපාරය නැගී එද්දී එය මත අධිකාරය දැරුවේ රැඩිකල් මධ්‍යම පන්තික කොටස්ය. 1973 දී අනිවාර්ය මිලිටරි සේවය අවසන් කෙරුනේ විරෝධතා සිඳ දැමීම සහ කම්කරු පන්තියට සෘජුව පහරදීමට පහසුකම් සලසා ගැනීම පිනිස මධ්‍යම පන්තියෙන් කොටසක් වෙන්කර ගෙන ඔවුන් දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ කරගැනීමේ වඩා පලල් මූලෝපායක කොටසක් ලෙසය. මෙම සන්තතියේදී අනන්‍යතා දේශපාලනය ප‍්‍රධාන භූමිකාවක් ඉටු කලේය. පසුව එලඹුන දශක තුලදී මධ්‍යම පාන්තික යුද විරෝධී ව්‍යාපාරයට නායකත්වය දුන් කොටස්, විදේශ සහ දේශීය පිලිවෙත් දෙකෙහිදීම පාලක පන්තියේ දක්ෂිනාංශික ප‍්‍රක්ෂේපනය පසුපස යමින් තියුනු ලෙස දකුනට ගමන් කලේය.

37. දේශපාලන සංස්ථාපිතයේ ආධිපත්‍යය දරන සංගත සහ මූල්‍ය වශාධිපතීන්ට ඔබ්බෙන් කොටස් වෙලඳ පොලට සහ දේපල වෙලඳාම සමග බැඳුන වරප‍්‍රසාදිත මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසක් - ඉහල සියයට 5 හෝ 10 - සිය ධනය මේ කාලයේදී සැලකිය යුතු අයුරින් වැඞී යනු අත් දුටුවේය. කෙසේ වෙතත් එක්සත් ජනපද කොටස් වෙලඳපොලේ ශක්තිය, ඇමරිකානු ධනවාදයේ අධිපතිවාදී ගෝලීය ස්ථාවරය සහ දේශීයව කම්කරු පන්තිය සූරාකෑම උත්සන්න කිරීම මත රඳා පවතී. එලෙස, අධිරාජ්‍යවාදය සඳහා නව ක්ෂේත‍්‍රයක් වර්ධනය කෙරින. ප‍්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ ක්ලින්ටන් පරිපාලනය විසින් “මිනිස් අයිතිවාසිකම්” සඳහා යුද්ධ ලෙස හුවා දැක්වුන 1990 ගනන් වල බෝල්කන් යුද්ධයන් ය. එකල ලෝසවෙඅ ලියූ පරිදි:

වෛෂයික කි‍්‍රයා මාර්ග සහ දිග් ගැස්සුන කොටස් වෙලඳපොල උත්පාතයේ බලපෑම්, අධිරාජ්‍යවාදයට අලුත් සහ කැපවීමෙන් යුතු කන්ඩායමක් ඉහල මධ්‍යම පාන්තික කොටස් අතරින් ගොනු කර ගැනීමට හැකියාව ලබා දුන්නේය. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පවතින ප‍්‍රතිගාමී, සම්මුතිවාදී සහ තුච්ච බුද්ධිමය වටපිටාව -මාධ්‍ය මගින් හුවා දක්වන සහ අතිශයින් නීච සහ දූෂිත ශාස්ත‍්‍රාලයීය ජන සමූහය අනුගත වී සිටින- තමන් අලුතින් උපයාගෙන ඇති ධනයේ ආර්ථික හෝ දේශපාලන පදනම් විචාරාත්මකව විමර්ෂනය කිරීමට දිරිගැන්වීමේ කිසිදු උනන්දුවක් නැති ඉහල වරප‍්‍රසාද සහිත ජන ස්තරයක සමාජ දර්ශනය පිලිබිඹු කරයි. (9)

38. ඉහල මධ්‍යම පන්තියේ කොටස් සහ ශාස්ත‍්‍රාලික ව්‍යජ වාම රාජ්‍ය ධනවාදීන් සහ පැබ්ලෝවාදී සංවිධාන සමග එක පෙලට සිටිමින් ඔබාමා පරිපාලනයේ සහ අනන්‍යතා දේශපාලනයේ මෙවලම් තුලින් තමන්ම අධිරාජ්‍යවාදය සමග සංහිඳියාවකට පමනක් නොව “මානව හිමිකම්” පිලිබඳ අධිරාජ්‍යවාදයේ ඉතා උනන්දු සහගත අද්වකාත්වරු බවට ද පත්ව සිටී.

39. පසුගිය සය වසර මුලුල්ලේ මෙම සංවිධාන ඇමරිකානු මිලිටරියේ සහ ඔත්තු ඒජන්සි වල පෙර නොවූ විරූ සෘජු භූමිකාවක් ඉටු කලේය. ඊජිප්තුවේදී පලමුව මිලිටරියේ ”ප‍්‍රජාතන්තී‍්‍රය” භූමිකාව පිලිබඳ මිත්‍යාව වපුරමින් ද අනතුරුව මුස්ලිම් සහෝදරත්වය පිටුපස ගාල් කරමින් ද අවසානයේදී මිලිටරිය සෘජුව යලි දේශපාලනය බලයට ගෙන ආ කුමන්ත‍්‍රනය පිටුපස ගාල් කරමින් ද ජනතා විප්ලවවාදී ව්‍යාපාරය පීලි පැන්නවීමට ඔවුහු දායක වූහ. සිවිල් ජන ජීවිත රැුකගැනීමට අවශ්‍ය පියවරක් ලෙස ඉදිරිපත් කරමින් ඔවුහු ලිබියාවේදී මුවම්මර් ගඩාපි ගේ ආන්ඩුව පෙරලීමට නේටෝ වේ මැදිහත් වීමට හුරේ දැම්මෝය. සිරියාවේදී, අල් කයිඩා සහ අනෙකුත් මූලධර්මවාදී සංවිධාන විසින් නායකත්වය දුන් සීඅයීඒ පිටුබලය සහිතව සිදුවූ සිවිල් යුද්ධය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ව්‍යාපාරයක් යයි කියමින් එය ආවරනය කිරීමට උදව් කාරක වීය. ඕස්ටේ‍්‍රලියාවේ ව්‍යාජ වමේ එක් මූලික නායකයකු මෙම ස්තරවලට වඩා පුලූල්ව හැෙඟන සංවේදිතාවය ප‍්‍රකාෂයට පත් කරමින් සිරියාවේ අධිරාජ්‍යවාදී මෙහෙයුම් වලට සහාය දීම යුක්ති සහගත කිරීමේ කොටසක් ලෙස ”ප‍්‍රතීක අධිරාජ්‍ය විරෝධය” හෙලා දැක්කේය.

40. ආරම්භයේ සිටම ඇමරිකාවේ සහ ජර්මනියේ සහාය ලද යුකේ‍්‍රනය තුල අධිරාජ්‍යවාදයේ පිටුබලය සහිතව සිදුවූ පාලනය පෙරලා දැමීමේ මෙහෙයුමේදී යුදවාදී ශාස්ත‍්‍රාලිකයින් සහ ව්‍යාජ වාම සංවිධාන ෆැසිස්ට් කුමන්ත‍්‍රනය වසං කිරීමේ උත්සාහයට සිය සේවාව දිගු කල අතර එය ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා කැරැුල්ලක්” ඤප‍්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂයේ වචන වලින්% සහ ”යනුකොවිච් පාලනය පෙරලා දැමූ ජනතා නැගිටීමක්” ඤඇමරිකාවේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය ට අනුව% බව පැවසුවෝය. මෙම මෙහෙයුමට සහාය දීමෙදී එම සංවිධාන නාසීන් සමග එක්ව වැඩ කල සහ ජන සංහාරයට සම්බන්ධිත යුකේ‍්‍රන ජාතිකවාදී හමුදා උත්කර්ෂයට නංවන දක්ෂින නිකාය සහ ස්වබෝදා ඇතුලූ ෆැසිස්ට් කල්ලි සමග සෘජුවම පෙලගැසී සිටිති. රුසියානු සමාජවාදී ව්‍යාපාරයේ ඉල්යා බුද්රයිස්කිස් පැසිස්ට්වාදීන් සමග වැඩ කිරීම පැහැදිලිවම යුක්ති යුක්ත කරනුයේ, ඔවුන් නොමැතිව ”රුශෙවුස්කෝවෝ මොනම බැරිකේඩයක්වත් ‘විප්ලවයේ මූලස්ථානය’ බවට පත්වූ වාඩිලාගත් අමාත්‍යාංශවත් කිසිවිටෙක නොපවතිනු ඇත” යනුවෙන් ප‍්‍රකාශ කරමිනි.

41. ව්‍යාජ වාම බලවේග විසින් ඇමරිකානු සහ යුරෝපා ආක‍්‍රමනකාරිත්වය සුජාත කිරීමට වෙර දරන එක් යාන්ත‍්‍රනයක් වන්නේ, සාවද්‍ය ලෙස රුසියාව සහ චීනය ‘අධිරාජ්‍යවාදී’ රටවල් බවට කරන ගුනාංගීකරනය යි. සියලූ ඓතිහාසික සන්දර්භයන්ගෙන් රුසියාව සහ චීනය ඉවතට ඇද දමන මෙම ගුනාංගීකරනය ඉලක්ක කරගෙන ඇත්තේ, ආසියාව සහ නැගෙනහිර යුරෝපය යන දෙතැන්හිම අධිරාජ්‍යවාදී බලයන්ගේ කිසිදා නොවූ තරමේ අනතුරුදායක ප‍්‍රකෝපකරනයන්ට මහජන මතය යටත් කිරීම ය. එය සෝවියට් සංගමය සහ 1949 විප්ලවයෙන් පසු චීනය ‘රාජ්‍ය ධනවාදී’ වූ බවත් ධනවාදය පුනස්ථාපනයෙන් පසුව සිදුවූ දැවැන්ත පරිවර්තනය පාලන තන්ත‍්‍රයේ සමාජ පදනමෙහි කිසිදු වෙනසක් ඇතිකර නැතැයි යන න්‍යාය සමගත් බැදී තිබේ. දෙරටෙහිම ජනසතු දේපල සබඳතා විනාශ කර දැමීම සම්බන්ධ වන්නේ, ඒවා විජිත තත්වයට ලඝු කිරීමේ මූල්‍ය ප‍්‍රාග්ධනයේ ව්‍යායාමය සමග මිස ඒවා අධිරාජ්‍යවාදී බලයේ නව මධ්‍යස්තාන ලෙස නැගී ඒම සමග නොවේ.

42. ලියොන් ට්‍රොට්ස්කි 1929දී සෝවියට් සංගමයේ ධනවාදය පුනස්ථාපනයෙන් බලාපොරොත්තු විය හැකි සමාජ ආර්ථික ප‍්‍රතිපල තියුනු පෙරදැක්මකින් යුතුව ප‍්‍රකාශයට පත් කලේය. ඔහු පැවසුවේ ‘අධිරාජ්‍යවාදී’ වෙනවා තබා ”ධනවාදී රුසියාවකට දැන් ලෝක යුද්ධයේ ගමන් මගෙන් නිර්නයවීමට තිබූ සාර් රුසියාවේ තුන් වන රේට්ටුවේ තත්වයවත් ලබා ගැනීමට නොහැක” යනුවෙනි. ”අද රුසියානු ධනවාදය කිසිදු අනාගතයක් නැති අනුන්මත යැපෙන, අර්ධ-යටත් විජිත ධනවාදයක් වනු ඇත.” (10* සමාජවාදී සමානතා පක්ෂය චීනය සහ රුසියාව යන දෙතැන්හිම වන ධනේශ්වර පාලනයන්ට ක්ෂමා විරහිතව විරුද්ධ ය. ධනපතීන් සහ කතිපයාධිකාරීන් තුනී ස්තරයක උවමනාවන් නියෝජනය කරන ඔවුනට අධිරාජ්‍යවාදයෙන් කිසිදු අව්‍යාජ ස්වාධීනත්වයක් නැති අතර ඔවුන් ඇමරිකාවේ සහ යුරෝපයේ කූටෝපායයන් ට මූලධර්මාත්මකව විරුද්ධත්වය පෑමට අපොහොසත් ය. කෙසේ වෙතත් මෙම පාලනයන් කෙරෙහි අපගේ විරුද්ධත්වය පිහිටන්නේ සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස බලමුලූ ගන්වා ගැනීමේ සටන තුලය.

43. පාලක පන්තියේ සියලු ඒජන්තයන්ට එරෙහි අනුකම්පා විරහිත විචාරත්මක විශ්ලේෂනයක් හරහා සියලූ ධනේශ්වර සහ සුලූ ධනේශ්වර දේශපාලන බලවේග වලට විරුද්ධව තමන්ගේම දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීමෙන්ම පමනක් කම්කරු පන්තියට අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධවීමට මාවතක් සොයන සියලූ දෙනා තම පාර්ශ්වයට දිනා ගත හැකිවනු ඇත. එක්සත් ජනපදය තුල කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය උදෙසා ඩිමොක‍්‍රැටික් සහ රිපබ්ලිකන් පක්ෂ ඤමහ ව්‍යාපාරිකයන්ගේ ප‍්‍රධාන පක්ෂ දෙක% සහ මෙම පක්ෂ දෙකේ කක්ෂය වටා සැරිසරන සහ සිය දේශපාලන ආධිපත්‍යය පවත්වා ගැනීමට මාන බලන අනෙකුත් සියලූ සංවිධාන වලට එරෙහි නිර්දය අරගලයක් අවශ්‍ය කැරේ.

සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගනු!

44. අධිරාජ්‍යවාදී යුද්ධයට තුඩු දෙන ප‍්‍රතිවිරෝධතාවන් ම පන්ති අරගලයේ දැවැන්ත උත්සන්න වීමක් ද ඇති කරයි. ලෝක ධනවාදයේ සමහන් කල නොහැකි අර්බූදයට තනි ආධිපත්‍යයක් යටතේ ලෝක ආර්ථිකය එක්සත් කිරීමට වලිකන මූල්‍ය වංශාධිපතිත්වයේ විසඳුම වන අධිරාජ්‍යවාදය යනු කොල්ලකාරී විසඳුමක් වන්නේය. මේ යුද්ධයේ මාවතයි. සමාජවාදී විප්ලවය එම අර්බූදයට තිබෙන ප‍්‍රගතිශීලී විසඳුමයි, එය කම්කරු පන්තියේ විසඳුමයි. ගැටලූව වනුයේ: ඉක්මනින් වර්ධනය වන්නේ කුමක්ද, යුද්ධය දෙසට වන ප‍්‍රවනතාවය ද නැතිනම් සමාජ විප්ලවය දෙසට වන ප‍්‍රවනතාවය ද? පාලක පන්තියේත් එහි සමාජ පද්ධතියේත් ම්ලේච්චත්වය ද නැතිනම් කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලන බලමුලූ ගැන්වීම ද? මෙම පැනයට පිලිතුර දේශපාලන විෂය ක්ෂේත‍්‍රයේදී නිර්නය වනු ඇත. දෙවන ලෝක යුද්ධය මුවවිටදී ට්‍රොට්ස්කි පැවසූ පරිදි මානව වර්ගයාගේ අර්බූදය විප්ලවවාදී නායකත්වයේ අර්බූදය බවට සිඳී තිබේ. මෙම අර්බූදයේ විසඳුම පක්ෂයේ කටයුතු සහ තීන්දු මත රඳා පවතිනු ඇත.

45. අධිරාජ්‍යවාදයට විරුද්ධ අරගලය න්‍යායිකව, දේශපාලනිකව සහ සංවිධානාත්මකව කම්කරු පන්තිය තුල මුල් බැසගත යුතු බව සමාජවාදී සමානතා පක්ෂය තරයේ කියා සිටී. පාලක පන්තියේ ආර්ථික අර්බූදය සහ යුද පිලිවෙත් යන දෙකින්ම බැට කන්නේ කම්කරු පන්තියයි. ධනපති පද්ධතිය ට විරුද්ධව සටනට කම්කරු පන්තිය යොමු කරන්නේ එහි උවමනාවන් විසින් ය. සියල්ලටත් වඩා කම්කරු පන්තිය, තමන්ගේ උවමනාවන් අතින් සියලූ ජාතික සීමාවන් ඉක්මවා ගිය ජාත්‍යන්තර පන්තියකි. වසර 150කටත් වඩා එපිටදී මාක්ස් සහ එංගල්ස් ”වැඩකරන මිනිසාට රටක් නැත” යයි පැහැදිලි කලෝය.

46. සසප කම්කරු පන්තියේ ඉතාම දියුනු කොටස් වල විඥානය ඉහල දැමීමට සහ ඔවුන් උගන්වා ගැනීමට අධිශ්ඨානශීලී දේශපාලන වැඩ කටයුතු හරහා අරගල කල යුතුය. එසේ කිරීමේදී මාධ්‍ය හා පාලක පන්තියේ හොරනෑ වලින් ගලා එන මුසාකරන දහරා සහ ප‍්‍රචාර සමග නිමක් නොමැතිව සටන් කල යුතුය. සෑම රටකම කම්කරු සටන්වලදී සහයෝගිතාවය දිරිමත් කරමින් කම්කරුවන් සියලූ ආකාරයේ ජාතිකවාදයන් සහ ස්වෝත්තමවාදයට එරෙහිව ප‍්‍රතිශක්තිකරනය කිරීමට වග බලාගත යුතුය. අධිරාජ්‍යවාදය පරාද කිරීම කල හැකි වනුයේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් තුලින් පමනක් වන අතර ජාත්‍යන්තර පක්ෂයක් ගොඩනැගීම යනු කම්කරු පන්තිය ජාත්‍යන්තර වැඩපිලිවෙලකට සහ ඉදිරිදර්ශනයකට දිනා ගැනීමට සෑම රටක් තුලම සටන් කිරීම ය.

47. කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමට කරන සටනේදී ව්‍යාජ වම සහ ජාත්‍යන්තර කමිටු යෝජනාවේ වචන වලට අනුව, යුද්ධය පිටුපස පෙල ගැසී සිටින ”ගනන් නැති හිටපු සාමවාදීන්, ලිබරලූන්, හරිතයන් සහ අරාජිකවාදීන්” ක‍්‍රමානුකූලව එලිදරවු කිරීම අවශ්‍යය. ”මානව අයිතීන්” සහ අනන්‍යතා දේශපාලනය අධිරාජ්‍යවාදී ආක‍්‍රමනකාරිත්වය යුක්තිසහගත කිරීමට යොදාගෙන ඇති ආකාරය ගැන කම්කරු පන්තියට උගැන්විය යුතුය. අධිරාජ්‍ය විරෝධී සටනට සෑම විටම තියුනුම දේශපාලනික වෙන්වී ගැනීමක් අවශ්‍යය. 1916 දී ලෙනින් ”අවස්ථාවාදයට එරෙහි සටන සමග අවියෝජනීයව බැඳී නැත්නම් අධිරාජ්‍යවාදයට විරුද්ධ අරගලය විහිලූවක් සහ විකාරයක් වෙයි” යනුවෙන් ලිවීය. ලෙනින්ගේ කාලයේදී ලෝක යුද්ධයට සහාය දෙන ”සමාජවාදීන්” යයි කියාගන්නා සියල්ලන්ගෙන් සහ ඔවුන්ට ආවරනය සැපයූ සියල්ලන්ගෙන් කැඞී වෙන්වීම සහ ඔවුන් එලිදරවු කිරීම අවශ්‍ය විය. අද එය, අධිරාජ්‍යවාදයට සහය දෙන සියල්ලන්, විශේෂයෙන්, වෘත්තීය සමිති වල සිට නේශන් සඟරාව දක්වා, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය දක්වා, සමාජවාදී විකල්පය සහ ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්තර වෙනුවෙන් හඬ නගන ඩිමොක‍්‍රටික් පක්ෂයේ උපස්තම්භක සංවිධාන වලට එරෙහි සටනකි.

48. යුද්ධයට එරෙහි අරගලය, පක්ෂයේ වැඩ කටයුතුවල සියලු අංගයන්හි අත්‍යවශ්‍ය සාධකයක් විනා ඉන් වෙන්ව පවතින යමක් නොවේ. දෙවන ලෝක යුද්ධය අද්දර එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය තහවුරු කර ගත්තේ: ”වර්තමාන කාල පරිච්චේදයේ ගති ස්වභාවය මගින් පක්ෂයේ ප‍්‍රධාන කර්තව්‍යය පැහැදිලිව පෙන්නුම් කරයි: යුද්ධයට එරෙහි අරගලය සඳහා... අවශ්‍යවන්නේ තාවකාලික හෝ වරින්වර කරන උද්ඝෝශනයක් නොව තිරසාර, සිතා මතා කරන කල්පවත්නා පිලිවෙතකි.” එය අද ද එසේම විය යුතුය. යුද්ධයට එරෙහි අරගලය කම්කරු පන්තියේ සියලූ සමාජීය සහ දේශපාලනික අයිතීන් රැුක ගැනීමට කම්කරු පන්තිය බලමුලූ ගන්වා ගැනීම සඳහා පක්ෂය කරන සටනට සම්බන්ධ කල යුතුය.

49. අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය ධනවාදයට එරෙහි අරගලයකි. නිත්‍යක හමුදාව විසුරුවා හැරීම, සියලූ ඇමරිකානු හමුදා විදේශ රටවලින් වහාම ආපසු කැඳවීම, මිලිටරි-ඔත්තුසේවා මෙවලම විසුරුවා හැරීම වැනි යුද්ධයට විරුද්ධ වීමට සම්බන්ධ සියලූ ඉල්ලීම්, බලය අතට ගෙන සමාජවාදී වැඩසටහනක පදනම මත - උ.දා ලාභය නොව සමාජ අවශ්‍යතා සඳහා තාර්කික සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැලැස්මකට අනුව ලෝක ආර්ථිකය යලි සංවිධානය කිරීම - කම්කරු පන්තිය ස්වාධීනව, දේශපාලනිකව සහ විප්ලවවාදීව බලමුලූ ගැන්වීමේ අවශ්‍යතාවය මතු කරයි.

50. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ ශක්තිය ගලා එන්නේ එහි වැඩපිලිවෙල ලෝක ආර්ථිකයේ තර්කනයට අනුකූල වීම සහ කම්කරු පන්තියේ උවමනාවන් ප‍්‍රකාශයට පත් කිරීම යන කාරනා වලිනි. පක්ෂයේ වර්ධනය වෛෂයික සන්තතියක සවිඥානක ප‍්‍රකාශනයකි. කෙසේ වෙතත් මෙම වර්ධනය ස්වයංකී‍්‍රයව සිදුවූවක් නොවේ. විප්ලවවාදී වැඩපිලිවෙලට සටන් කල යුතුය. කම්කරු පන්තියේ එලඹෙන අරගල වලට න්‍යෂ්ටිය සහ නායකත්වය වර්ධනය කරනු පිනිස ඉතාම වැදගත් ෆැක්ටරි වල, වැඩ බිම් වල, පාසල් වල සහ සරසවි වල සසප පදනම් කිරීම, පක්ෂයේ රාමුව තුල කි‍්‍රයා කරන සියලූ සාමාජිකයන්ගේ කර්තව්‍යය යි. ජාත්‍යන්තර කමිටු යෝජනාව නිගමනය කල පරිදි: ”ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම ප‍්‍රධාන මූලෝපායික ගැටලූව යි. ඇමරිකාවේදී මෙහි අදහස සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමය.

අධෝ ලිපි:

1. ස්බිග්නිව් බ්‍රෙසෙන්ස්කි, Grand Chessboard (මහා චෙස් පෙත), 1997, පි 30

2. එම; පිටු 35

3. බුෂ් පරිපාලනයට යුද්ධය අවශ්‍ය මක් නිසා ද? ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ලෝ.ස.වෙ.අ කතෘ මන්ඩලය, සැප්තැම්බර් 14, 2001.

http://www.wsws.org/sinhala/2001/oct2001/bswr-o10.shtml

4. සංහාරයෙන් ඉක්බිති: බෝල්කන් යුද්ධයේ දේශපාලන පාඩම්, ඬේවිඞ් නෝත්, 1999, ජුනි 14

http://www.wsws.org/sinhala/1999/jul 1999/blk-j02.shtml

5. ඇමරිකානු ධනවාදයේ අර්බූදය සහ ඉරාකයට එරෙහි යුද්ධය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2003 මාර්තු 21, ඬේවිඞ් නෝර්ත්

http://www.wsws.org/sinhala/2003/may2003/dniq-m26.shtml

6. අධිරාජ්‍යවාදය, ධනවාදයේ ඉහලම අවධිය, වී අයි ලෙනින්, එකතුකල කෘති, වෙලූම 22

7. එමෑනුවල් සැයස් සහ ගේබි‍්‍රයල් සුක්මන්, The Distribution of US Wealth, Capital Income and Returns since 1913, ( ඇමරිකාවේ ධනය බෙදී යාම, 1913 සිට ප‍්‍රාග්ධන ආදායම සහ ලැබීම්* 2014 මාර්තු.

8. Imperialism and the Split in Socialism (අධිරාජ්‍යවාදය සහ සමාජවාදයේ බේදය), වී. අයි. ලෙනින් එකතුකල කෘති, වෙලූම 23

9. සංහාරයෙන් ඉක්බිති: බෝල්කන් යුද්ධයේ දේශපාලන පාඩම් , ඬේවිඞ් නෝත්.

10. “පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෝවියට්වල තැන ගැනීමට ඉඩ තිබේ ද?”, Writings of Leon Trotsky 1929 (ලියොන් ට්‍රොට්ස්කි ගේ ලියවිලි), 1929, පිට 55.

Share this article: