ගාසාවේ ඊස්රායල ප්‍රහාර වලට විරුද්ධවනු!

සසප තුන්වන ජාතික සමුලුවේ යෝජනාව

Oppose the Israeli assault on Gaza!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2014 අගෝස්තු 9

අගෝස්තු 6 දා එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ තුන් වන ජාතික සමුලුවේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගන්නා ලදී.

1. සමාජවාදී සමානතා පක්ෂයේ මෙම සමුලුව ගාසාවේ ඇමරිකානු පිටුබලය ලබන ඊස්රායල යුද්ධය, මිලියන 1.8ක අනාරක්ෂිත පලස්තීන ජන සමූහයකට එරෙහි යුද අපරාධයක් ලෙස හෙලා දකී.

2. මීට පෙර මෙම දිලිඳු භූමි ප‍්‍රදේශය වෙත 2009 දී සිදු කල කාස්ට් ලීඞ් මෙහෙයුමේදී, මාරාන්තික ඊස්රායල ප‍්‍රහාර වලින් සිදු කල ජීවිත හානි දැනටමත් ඉක්මවා ගොස් තිබේ. දල වශයෙන් මසක් තුල, මරුමුවට හෝ ආබාධිත බවට පත් කරන ලද අති මහත් බහුතරය සිවිල් වැසියන් වන, පිරිමි, ගැහැනු හා ලමුන් දස දහස් ගනනකි. නිවාස සහ අත්‍යවශ්‍ය යටිතල ව්‍යුහය සුන්බුන් බවට පත්වෙද්දී ජලය, ආහර සහ විදුලිය සමස්ත ජනතාවටම අහිමි කර තිබේ.

3. ගාසාව ලොව පුරා කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. ම්ලේච්ච ඊස්රායල ප‍්‍රහාරය පිලිබිඹු කරන්නේ, ලෝක ධනවාදයේ බිඳවැටීම මගින් ජනනය කර ඇති දැවැන්ත ආතතීන් ය. එසේම, වොෂින්ටනයෙන් සහ අනෙකුත් ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් ඊස්රායලයට සහාය දීම තුලින් ප‍්‍රකාශයට පත් වන්නේ කම්කරු පන්තියෙන් එන ඕනෑම බැරෑරුම් අභියෝගයකට එරෙහිව මේ හා සමාන මිනීමරු ප‍්‍රචන්ඩත්වයක් යොදා ගැනීම සඳහා වන ඔවුන්ගේ සූදානම ය.

4. එජ අධිරාජ්‍යවාදයෙන් නොමඳව ලැබෙන සහායෙන් තොරව ඊස්රායලය යුද්ධය ගෙන යාමට අසමත් වනු ඇත. තව තවත් ඝාතන සඳහා ඊස්රායල මිලිටරි යාන්ත‍්‍රනය ශක්තිමත් කරන ගමන් පලස්තීනුවන්ගේ දුක් පීඩා ගැන ඔබාමා පරිපාලනය දක්වන සංවේගය පිලිබඳ පුහු කථා, කලාතුරකින් දැකිය හැකි දෙබිඩි කුහකත්වයට උදාහරනයකි.

5. සිය අපාලිත අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා සමහන් කරගැනීමේ සියොන්වාදී ව්‍යාපෘතියේ ඓතිහාසික අසාර්ථකත්වය සහ එම ව්‍යාපෘතිය ද කොටසක් වන අධිරාජ්‍යවාදය විසින් මැදපෙරදිග බලෙන් අටවන ලද සමස්ත රාජ්‍ය පද්ධතියේ ම බිඳ වැටීම, ගාසාවේ සමූල ඝාතනය මගින් ප‍්‍රකාශයට පත් කරයි. යුද්ධය පවතින්නේ ගාසාවේ පමනක් නොවේ. පලමුවන ලෝක යුද්ධයේදී සයික්ස් පිකට් ගිවිසුමෙන් පසුව අඳින ලද කෘතීම රේඛා ඔස්සේ ද සිදුවන ප‍්‍රහාර, සිරියාව සහ ඉරාකය වෙලා ගනිමින් ලෙබනනය සහ ජෝර්දානය ද ඇදී ඒමේ අනතුර ද මින් මතුව ඇත. අවසානයේදී ඊස්රායලය, මෙම අරාබි රටවල් වලට වඩා ශක්‍ය නොවන බව පෙන්නුම් කරනු ඇත.

6. මැද පෙරදිග පුරා පවතින අර්බූදය, ධනපති ආර්ථික අර්බූදය තුලින් ඉමහත් ලෙස උත්සන්න කෙරුනු ගෝලීය ආර්ථිකය හා ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය අතර ගැටුම, සුවිශේෂී තියුනු භාවයකින් ප‍්‍රකාශයට පත්වීමකි.

7. පලස්තීනුවන් පලවා හැර ඔවුන්ගේ ඉඩම් අත්පත් කරගැනීම හරහා ඊස්රායලය නිර්මානය කර වසර හැට හයකට පසුව ද බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ ගෝලාන් කඳුකරය ආක‍්‍රමනය කර වාඩිලාගත් 1967 ජුනියේ සය දින යුද්ධයෙන් 47 වසරකට පසුව ද ඊස්රායලය තවමත් යුද්ධයේ සහ මර්දනයේ නිමක් නොමැති චක‍්‍රයක හිරවී සිටී.

8. හිට්ලර් ගේ අපරාධ නිසා යුදෙව්වන්ට ලැබුන දෙව් ලොවක් යයි සිය පැවැත්ම යුක්ති සහගත කල මෙම රාජ්‍යය, අන් කිසිවකටත් වඩා වෝර්සෝහි ගෙටෝවල (යුදෙව් සිර කඳවුරු) නාසීන් සිදු කල අපරාධ හා සමාන සමූහ දන්ඩනයේ විධි ක‍්‍රම ගාසාවේ යොදා ගැනීම ඛේදජනක අපූර්වත්වයකි.

9. ලොව පුරා වැඩකරන ජනතාව, ඉවක් බවක් නැතිව ගාසාවේ අහිංසක සිවිල් වැසියන් මරාදැමීම පිලිබඳව සන්ත‍්‍රාසයට සහ කෝපයට පත්ව සිටිති. වර්තමාන ජාතික රාජ්‍ය සැකැස්ම මත පදනම්ව කිසිසේත්ම විසඳීමට නොහැකි ගැටුමක්, සියොන්වාදී රාජ්‍යය විසින් විසඳීමට යාමේ ප‍්‍රතිගාමී ප‍්‍රයත්නයෙන් මෙම ප‍්‍රචන්ඩත්වයේ වියරුව පැන නගියි. එම කාරනාවේදී, ඊනියා “රාජ්‍ය දෙකක විසඳුම” තුලින් සොයාගත්, නව අර්ධ පලස්තීන - රාජ්‍යයක් නිර්මානය කිරීමෙන් ඒවා විසඳිය හැකි වන්නේ ද නැත.

10. ඊස්රායල සහ අරාබි කම්කරුවන් සහ තරුනයන් පොදු අරගලයකට ඒකාබද්ධකිරීමෙන් මෙපිට මෙම ලේවැකි ගොහොරුවෙන් ගොඩ ඒමක් නැත.

11. ජර්මනියේ හිට්ලර්වාදී ෆැසිස්ට්වාදයේ ජයග‍්‍රහනයෙන් කම්කරු පන්තියට අත්වූ ව්‍යසනකාරී පරාජය සහ නාසි තන්ත‍්‍රය ඉන් අනතුරුව කල සමූල ඝාතන අපරාධවල ප‍්‍රතිපලයක් ලෙස, ඓතිහාසිකව සියොන්වාදය ජනතා අනුගාමිත්වයක් දිනා ගැනීමට සමත් විය. මෙම කරුන ස්ටැලින්වාදය විසින් කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල පාවාදීම සමග අත්වැල් බැඳගෙන, යුදෙව් ජනයාට ඇති එකම පිලිසරන පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම යයි කියා පෑමට සියොන්වාදීන්ට ඉඩ කඩ සැලසීය. එය සෑම විටම අසුභවාදයෙන් හා ප‍්‍රතිගාමිත්වයෙන් පෝෂනය වූ ව්‍යාපාරයක් විය.

12. සිය අපරාධ සඳහා නෙතන්යාහු පාලනයට ජනතා සහාය ලබාගැනීමට හැකිව ඇති වර්තමාන ඊස්රායල දේශපාලනය, ජාත්‍යන්තරව මෙන්ම ඊස්රායලය තුලමත් සිදුවන වර්ධනයන් සමග බැඳුනු, පුලුල් දේශපාලන අවමංගතවීමක ප‍්‍රකාශනයකි.

13. ඊස්රායලයේ නාමික “වම”, යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ජාත්‍යන්තරව ද ක‍්‍රියාත්මක වන ව්‍යාජ වාම ප‍්‍රක්ෂේපනයම අනුයන අතර ගාසාවේ ප‍්‍රහාරයට සෘජුව නැතිනම් වක‍්‍ර ලෙස සහයෝගය දෙමින්, අවශේෂ සියොන්වාදී දේශපාලන සංස්තාපිතය ද සමග දකුනට ගමන් කර තිබේ.

14. වර්තමාන සිදුවීම් වලදී, ඊජිප්තු විප්ලවය තාවකාලිකව පීලි පැනීම වැදගත් සාධකයක් වන්නේ ය. මෙය ගාසාවේ පලස්තීනුවන් තවදුරටත් හුදෙකලා වීමට පමනක් නොව, සිය දොරකඩ සිදු කෙරෙන සාර්ථක සමාජ විප්ලවයක් මගින් ඒකාබද්ධ අරගලයක ඉඩකඩ විවෘත වීම පිලිබඳ හැගීම් ඊස්රායල කම්කරු පන්තිය තුල ඇතිකරලීමේ අවස්ථාව අහිමි වීමට ද හේතු විය.

15. එසේ නමුත්, සියලු රටකම සංලක්ෂිතව තිබෙන වෛෂයික පන්ති ගැටුම්වලින් ම වෙලී සිටින කම්කරු පන්තියක් ඊස්රායලයේ ද සිටී.

16. සියොන්වාදී රාජ්‍යය පාලනය කරන මිලිටරි කල්ලිය, අරාබි ජනයාට එරෙහි යුද්ධය සහ මර්දනය, රට තුල පවතින ඉමහත් ආතතීන් පිටතට හරවා යැවීමේ මාර්ගයක් ලෙස යොදා ගනියි. මැක්සිකෝවටත් වඩා වැඩි දරිද්‍රතා අනුපාතයක් සහිත ඊස්රායලය, සමාජ ධ‍්‍රැවාන්තගතවීමේ ඉහලින්ම ඇති රටවලින් එකකි. ඒ සමගම එය, ලොව වැඩිම ඒක පුද්ගල ප‍්‍රකෝටිපතියන් සංකේන්ද්‍රනය වී ඇති රටවලින් එකක්ද වේ.

17. 2011 දී ඊජිප්තුවේ හොස්නි මුබාරක් පලවා හරින කල, සමාජ අසමානතාව සහ ආන්ඩුවේ පෞද්ගලීකරන වඩපිලිවෙල හෙලා දකිමින් එරට ඉතිහාසයේ විශාලතම විරෝධතාවන්ට ලක්ෂ ගනන් ඊස්රායල්වරු සහභාගී වූහ. ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එරෙහිව ද ගාසාවේ ප‍්‍රහාරයන්ට ද පෙල ගස්වාගත් අන්ත දක්ශිනාංෂික බලවේග මුදාහැරීම, සියලු විරුද්ධතාවන්ට එරෙහිව ද යොදා ගනු ඇත.

18. එක්සත්, ස්වෝත්තමවාදී, අරාබි විරෝධී, ජන කොටසක් ලෙස ඊස්රායල ජනතාව පින්තාරු කිරීමට පෙල ගැසී සිටින සියොන්වාදීන් හා අරාබි ධනේශ්වරය යන දෙකොටස ද ව්‍යාජ වමේ කොටස් ද සසප විසින් ප‍්‍රතික්ෂේප කරයි. මතුව තිබෙන කේන්ද්‍රීය ගැටලුව වනුයේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමය. ඊස්රායල කම්කරුවන් අතහැර දමන අය, අන් කිසි තැනක හෝ එවන් ව්‍යාපාරයක් ගොඩ නැගීමේ හැකියාව ප‍්‍රතික්ෂේප කරති.

19. පල්ස්තීන ජනතාවගේ දැවැන්ත දුක් පීඩා, ධනේශ්වර ජාතිකවාදයේ පදනම මත සිදුකල ඓතිහාසික පාවාදීම් සමග බැඳී පවතී. පෙර යුගයක පලස්තීන විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රෝඩාකාරී ලෙස කියා සිටි අරාබි පාලක පන්ති අද, ඊස්රායලයේ සහචරයින් ලෙස විවෘතව කි‍්‍රයා කරති. එයින් ප‍්‍රධාන වනුයේ ඊජිප්තුවයි. 2011 පෙබරවාරියේදී පුපුරා ගිය විප්ලවවාදී අරගල කුඩු පට්ටම් කිරීමේ ඊජිප්තු ධනේශ්වරයේ දිග් ගැස්සුනු වෑයමේ අවසාන ප‍්‍රතිපලය මිලිටරි බලවතා වන ජෙනරල් ඇබ්ඩෙල් අල්-සිසි ගේ රජය යි.

20. පලස්තීන විමුක්ති සංවිධානය සහ මොහමඞ් අබ්බාස් ගේ පලස්තීන අධිකාරිය ද ඒ හා සමාන භූමිකාවක් ඉටුකලේ ය. රාජ්‍ය දෙකක විසඳුමේ අපකීර්තිමත් ධජය යටතේ සහ ඉහල නිලධාරීන් ස්තරයක් ධනවත් කිරීමට හිලව් වශයෙන් ඔවුහු, පදිංචිකරුවන් ආරක්ෂක මාවත් සහ තාප්ප වලින් බෙදා වෙන් කල බටහිර ඉවුරේ පොලිස්කාරකම බාරගත්හ. ගාසාවේ ද එම භූමිකාවම රඟ දැක්වීමේ බලාපොරොත්තුවෙන් ඔවුහු, වර්තමාන යුද්ධයේදී ඊස්රායලයේ හවුල් කරුවන් ලෙස සේවය කලහ.

21. නිමක් නැති ඝාතන සහ ප‍්‍රහාර වලට ලක්ව සිටින ගාසාවේ හමාස් ව්‍යාපාරය ද සියොන්වාදය, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ඔවුන්ගේ අරාබි අනුචරයින් පරාජය කිරීමේ ඉදිරි දර්ශනයක් නැත. ඔවුන්ගේ ඉස්ලාමීය දෘෂ්ටිවාදය පලස්තීන ධනේශ්වරයේ කොටසකගේ උවමනාවන් නියෝජනය කරයි.

22. බොහෝ සුලු ධනේශ්වර ව්‍යාජ වාම කොටස්වල ද සහාය ලබන මග හැරීම, අනුයෝජනය සහ සම්බාධක ව්‍යාපාරය (බීඞීඑස්) දේශපාලනිකව බන්කොලොත් දෙයක් ලෙස අපි ප‍්‍රතික්ෂේප කරමු. ඊස්රායලයෙන් නවතින්නේ ඇයි? ගාසාවේ ඝාතන පමනක් නොව ලොව පුරා අපරාධ පිටුපස සිටින ඇමරිකාව ගැන නැත්තේ ඇයි? මෙම ව්‍යාපාරයේ අරමුන රාජ්‍ය දෙකේ විසඳුම පෙරට ගැනීමය, නිදසුනක් ලෙස, පලස්තීනුවන්ට සිරගෙයක් පමනක් විය හැකි අභව්‍ය අර්ධ රාජ්‍යයක් ඇටවීම.

23. පලස්තීනයේ සහ සමස්තයක් ලෙස අරාබිකරයේ ජනතා අරගල වල ඉරනම විසින් ලියොන් ට්‍රොට්ස්කි ගේ නොනවතින විප්ලව ඉදිරිදර්ශනය දැඩි ලෙස තවවුරු කර ඇත. පෙර අවධි වලදී ධනේශ්වරයේ නැගී ඒම සමග සම්බන්ධව තිබූ පීඩිත ජාතීන්ගේ මූලික ප‍්‍රජාතන්තී‍්‍රය සහ ජාතික කර්තව්‍යයන්, අධිරාජ්‍යවාදී යුගයේදී දිනා ගත හැක්කේ කම්කරු පන්තිය සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක පදනම මත, දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීම තුලින් පමනක් බව එය තහවුරු කලේය.

24. ගාසාවේ බිහිසුනු සිදුවීම්, සියොන්වාදයට, අධිරාජ්‍යවාදයට සහ අරාබි ධනේශ්වරයට එරෙහි අරගලයට සහ ලෝක පරිමානව ධනවාදය අවසන් කර දැමීමේ අරගලයේ කොටසක් ලෙස මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සියලු ජාතික සහ කල්ලිවාදී බාධකයන්ට ඉහලින්, අරාබි සහ යුදෙව් දෙකොටසේම කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයක හදිසි අවශ්‍යතාව මතුකරයි. මෙම ඉදිරි දර්ශනය සඳහා අරගලයට මැදපෙරදිග පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩ නැගීම අවශ්‍ය වේ.

25. ගාසාවෙන් ඊස්රායල ආරක්ෂක හමුදා වහාම ඉවත්කර ගන්නා ලෙස, සියලු බෝම්බ සහ ෂෙල් ප‍්‍රහාර අවසන් කරන ලෙස සහ පසුගිය සත් වසර පුරා ගාසා ජනතාව සිරකර කුසගින්නේ තැබූ ඊස්රායල-ඊජිප්තු බාධක ඉවත් කරන ලෙස මේ සම්මේලනය ඉල්ලා සිටී. ඊස්රායල රාජ්‍යයට දෙන සියලු ආධාර නවතා දමන ලෙස, මැද පෙරදිගින් සියලු එක්සත් ජනපද හමුදා ඉවත් කරන ලෙස සහ පලස්තීන ජනතාව සඳහා දැවැන්ත හදිසි මානුෂීය සහ ආර්ථික ආධාර වැඩසටහනක් ඉල්ලා සිටින ලෙස අපි ඇමරිකානු කම්කරු පන්තියට කියා සිටින්නෙමු.

Share this article: