ශ‍්‍රී ලංකාවේ ඌව පලාත් සභා මැතිවරනය: අධිරාජ්‍යවාදී යුද්ධය කරා තල්ලුවට හා කප්පාදු පිලිවෙතට විරුද්ධ වනු

Sri Lankan provincial election: Oppose the drive to war and austerity

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය, 2014 සැප්තැම්බර් 12

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ඌව පලාත් සභා මැතිවරනය සැප්තැම්බර් 20 දින පවත්වන බව නිවේදනය කර ඇත.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලූ සමස්ත දේශපාලන සංස්ථාපිතයම, ගෝලීය ධනවාදයේ බිඳ වැටීම මගින් අවුලුවා ඇති සමාජ ප‍්‍රතිවිප්ලවයේ හා යුද්ධයේ අන්තරාය, කම්කරුවන් හා තරුනයින්ගෙන් වසං කර ඔවුන් මුලා කිරීම එල්ල කරගත් ජාතිකවාදී හා වර්ගවාදී ව්‍යාපාරයක් දියත් කර ඇත.

වසර 100කට පෙර පුපුරා ගිය ප‍්‍රථම ලෝක සංග‍්‍රාමයට හා 75 වසරකට පෙර ආරම්භවූ දෙවන ලෝක සංග‍්‍රාමයට තුඩු දුන් අති මූලික පරස්පර විරෝධයන් කිසිවක් විසඳී ඇත්තේ නැත.

එක්සත් ජනපද හා අවශේෂ අධිරාජ්‍යවාදී බලවතුන් මොලවා තිබෙන භූ දේශපාලනික අග්නි ජලාව තුලට අනෙකුත් රටවල් මෙන්ම ශ‍්‍රී ලංකාව ද ඇද ගනිමින් තිබේ. ජාත්‍යන්තර කම්කරු පන්තිය, ලෝක ධනවාදය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම සඳහා සටන් වදිමින් මැදිහත් නොවුනහොත්, මේ වතාවේ මෙම ආතති සහගත තත්වය අනිවාර්යයෙන්ම ඇදී යනු ඇත්තේ, න්‍යෂ්ටික අවි හරඹ කරන තුන්වන ලෝක යුද්ධයක් කරා ය.

ෆැසිස්ට්වාදී කුමන්ත‍්‍රනයක් තුලින් යුකේ‍්‍රනයේ අන්ත දක්ෂිනාංශික පාලන තන්ත‍්‍රයක් ඇටවීමට මග පාදමින් අදූරදර්ශී ලෙස රුසියාව සමග ගැටුමක් ඇවිලවීමට එක්සත් ජනපදය හා ජර්මනිය යුරෝපය තුල මැදිහත් විය. වොෂින්ටනයේ අවසන් අරමුන, රුසියාව කැබලි කර එය අර්ධ යටත් විජිත සමූහයක් බවට පිරිහෙලීමයි.

ආසියාවේදී එක්සත් ජනපදය, චීනය සම්බන්ධයෙන් ද එවැනිම පිලිවෙතක් අනුගමනය කරයි. ජනාධිපති ඔබාමාගේ “ආසියාවට හැරීම,” ඉන්දු-පැසිෆික් කලාපයේදී විශේෂයෙන්ම ජපාන හා ඔස්ටේ‍්‍රලියානු අධිරාජ්‍යවාදීන් සමග එක්ව, මිලිටරි බලය තරකිරීම හා සන්ධාන හා මූලෝපායික හවුල්කාරකම් සවිමත් කිරීම තුලින් මිලිටරිමය වශයෙන් චීනය වැටලීම හා එරටට වල කැපීම ඉලක්ක කරගෙන ඇත.

මැද පෙරදිගදී එක්සත් ජනපදය, ගාසා තීරුවේ පලස්තීනුවන්ට එරෙහි ඊස්රායලයේ මිනීමරු යුද්ධයට පිටුබලය දෙමින්, ඉරාකය හා සිරියාව තුල දැන් නව යුද්ධයක් පෙල ගස්වමින් සිටියි. ලොව වටා ඇති මෙම ඕනෑම ජ්වලන කේන්ද්‍රයක් වඩා පුලුල් සංග‍්‍රාමයක් ඇවිල යාමේ තර්ජනය මතු කරයි.

සමස්තයක් වශයෙන් දකුනු ආසියාව, මෙම භූදේශපාලන ආතතීන්ගෙන් වෙලී පවතියි. ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද මෙහෙයවීම යටතේ ගෙනයන යුද්ධයෙහි පැටලී සිටින පකිස්ථානය, තමන්ගේම පුරවැසියන්ට එරෙහිව ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල කිරීමට පිටුබලය දෙන අතර චීනය සමග බැඳීම් එලෙසම පවත්වාගැනීමට වෑයම් කරයි. ඉන්දියාව තම නොබැඳි පිලිවෙත දිගු කලකට පෙරම අත්හැර දැමූ අතර චීනයට එරෙහිව යොමුකෙරෙන, එක්සත් ජනපදය සමග ගොඩනගාගෙන ඇති සිය මූලෝපායික හවුල පුලුල් කරමින් සිටියි.

මෙම ලෝක කලබැගෑනියෙන් කුඩා දිවයිනක් වන ශ‍්‍රී ලංකාව ඉවත්කර තැබීමේ අරුම පුදුම ව්‍යායාමයක නිරතව සිටින ජනාධිපති රාජපක්ෂ ඒ අතර වාරයේ, සිය ආන්ඩුව “බටහිර කුමන්ත‍්‍රනයක” ගොදුරක් වී ඇති බව ද පවසයි.

කුමන්ත‍්‍රනය මොකක් ද? බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට පිටුබලය දුන් හා ඔහුගේ යුද අපරාධ නොදුටුවාක් මෙන් සිටි එක්සත් ජනපදය හා එහි අනුචරයෝ, චීනය සමග සබඳතා අත්හරින ලෙස ඔහුට බලකිරීම පිනිස යුද අපරාධ පිලිබඳ ප‍්‍රශ්නය ගසා කෑමට උත්සාහ දරති. චීනය මත වාරුවී සිටිමින්ම වොෂින්ටනය සමග මිත‍්‍ර වීමේ මංමුලා සහගත උත්සාහයක නිරතව සිටින රාජපක්ෂ, ඒ නිසාම කිසිවිටෙකත් කුමන්ත‍්‍රනකරුවන් කවුරුන්දැයි හෙලි නොකරයි.

රාජපක්ෂගේ උපාමාරු, ජපන් අගමැති ෂින්සෝ අබේ මෑතකදී කොලඹට පැමිනීම මගින් ද සලකුනු කෙරේ. වොෂින්ටනයට හා එහි අනුචරයින්ට ශ‍්‍රී ලංකාවේ ඇති වැදගත්කම, ඔවුන්ගේ ඒකාබද්ධ ප‍්‍රකාශය මගින් එලි දැක්වින. එහි මෙසේ සඳහන් විය. “ආසියාව හා අප‍්‍රිකාව අරා විහිද යන සාගර මුහුදු මාර්ග මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ මූලෝපායික භූ-දේශපාලන පිහිටීම” නායකයින් දෙපල, සමීප නාවික සම්බන්ධතා දෙසට තැබූ පියවරක් ලෙස නාවික ආරක්ෂක සංවාදයක් පවත්වාගෙන යාමට එකඟ වූහ.

එලඹෙන සතියේදී රාජපක්ෂ, චීන ජනාධිපති සී ජින්පින් පිලිගන්නා අතර එය, මූලෝපායික හම්බන්තොට වරාය ද ඇතුලු චීන ආයෝජන පරදුවට තැබෙන පරිදි කොලඹ, වොෂින්ටනය හා ටෝකියෝව දෙසට පැද්දීම පිලිබඳ චීනයේ කනස්සල්ල දුරුකිරීමේ උත්සාහයක් වනවා නොඅනුමානය.

කෙසේ වෙතත් දෙපැත්තේ තුලනය වීම සඳහා රාජපක්ෂ දරන අඩමාන වෙට්ටුව වඩ වඩාත් කොර ගැසීමට පටන්ගෙන ඇත. කොලඹ කෙරෙහි වොෂින්ටනය දක්වන නොඉවසිල්ල, අවසානයේදී ජනාධිපති රාජපක්ෂ ද ඇතුලු මෙරට නායකයින් අධිකරනයක් හමුවට පැමිනවිය හැකි, මෙරට සිදුවූ යුද අපරාධ හා මානව අයිතීන් කඩකිරීම පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට එය සහාය දැක්වීම මගින් සලකුනු කෙරින.

තම බටහිර විරෝධී පුරසාරම් පිටුපසින් රාජපක්ෂ, වොෂින්ටනය සමග බැඳීම් පිරියම් කර ගැනීම කෙරෙහි යොමුවී සිටියි. ඔබාමා හා එක්සත් ජනපද කොන්ග‍්‍රසය කෙරෙන් සහනශීලී ප‍්‍රතිචාරයක් දිනා ගැනීම පිනිස ඔහු, එක්සත් ජනපද මහජන සම්බන්ධතා ආයතන කුලියට ගැනීම සඳහා ඩොලර් මිලියන ගනන් රජයේ මුදල් විදයදම් කරයි. ඊස්රායලයේ ආක‍්‍රමනකාරී යුද මෙහෙයුම් පිලිබඳව පලස්තීනයේ හමාස් පාර්ශවයට දොස් පවරමින් ගාසාව පිලිබඳව නිකුත්කල ප‍්‍රකාශය තුලින් පලස්තීන හිතවාදී රංගනය ඔහුගේ ආන්ඩුව විසින් අතහැර දමා ඇත. ඒ සමගම යුකේ‍්‍රනයේ ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ කුමන්ත‍්‍රනය පිලිබඳව ප‍්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තම විදේශ ඇමතිවරයාට අනතුරු අඟවා ඇත. මක්නිසා ද යත් එවැන්නක් බටහිර විරෝධී හා රුසියාවට පක්ෂ එකක් ලෙස අර්ථදැක්වීමේ හැකියාව පවතින බැවිනි.

මෙරට විරුද්ධ පක්ෂ දැනටමත් වොෂින්ටනයේ ඔඩොක්කුවට පැනගෙන ඇත. දීර්ග කාලයක පටන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හෙංචයියෙක්ව සිටින දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, “මානව අයිතීන්” පිලිබඳ එක්සත් ජනපද ඉල්ලීම් වලට ඇහුන්කන් දෙන ලෙස ආන්ඩුවට කියා ඇති අතර යථාර්තයේදී එහි අර්ථය, මෙරට චීනයෙන් ඈත්විය යුතු බව කියා සිටීමයි. එල්ටීටීඊයට එරෙහි ආන්ඩුවේ යුද්ධය අවධියේ එහි අතිශය ඝෝෂාකාරී සහචරයෙක් වූ ජවිපෙ, මානව හිමිකම් කඩකරමින් එක්සත් ජාතීන්ගේ පරීක්ෂනයකට මග පෑදු බවට දැන් ආන්ඩුවට චෝදනා කරයි. මුලින් එහි අධිරාජ්‍ය විරෝධී වාචාලකම ගැන ප‍්‍රකට ජවිපෙ මෙහිදී, තමන් වොෂින්ටනයේ තානයට නැටීමට සූදානම් බවට ඉඟිකර ඇත.

නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ප්‍රෝඩාකාරී වාම සංවිධාන, මෙරට “ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්” නගාසිටුවීමක් ලෙස පෙන්වමින් එක්සත් ජනපද මානව හිමිකම් ප්‍රෝඩාව සඳහා නිර්ලජ්ජිත ලෙස තම සහාය පුද කරති. ඒ අතර සිය ජාත්‍යන්තර අනුචරයින් මෙන්ම ඔවුන් ද උත්සාහ කරන්නේ, අධිරාජ්‍යවාදය යටතේ ගෝලීය සාමය රජයන බවත් ලෝක යුද්ධයක් පිලිබඳ කිසිදු තර්ජනයක් නොමැති බවත් කියා සිටිමින් කම්කරු පන්තිය නිද්‍රෝපගත කිරීමට ය.

වැඩකරන ජනතාවගේ ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ කොටසක් ලෙස අධිරාජ්‍යවාදී යුද ව්‍යායාමයට මෙරට කම්කරුවන් හා තරුනයන් සිය විරෝධය පල කල යුතුය. එවන් ව්‍යාපාරයක් ගොඩනැංවිය හැක්කේ, ධනපති පන්තියේ සියලු කොටස් වලට විරුද්ධවය. මෙයට, ධනේශ්වර පුනස්ථාපන ක‍්‍රියාවලිය තුලින් පොහොසතුන් බවට පත්ව ඇති ධනවත් කතිපයාධිකාරයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පාලන තන්ත‍්‍රයන් සහිත චීනය හා රුසියාව ද ඇතුලත්ය. යුද්ධය වැලැක්විය හැකි එකම මග ලෝක සමාජවාදී විප්ලවයයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක් මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කරන සංවිධානය වේ.

මෙරට තුල ශ‍්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා ද දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා ද අරගලය වටා ඒකරාශී වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය මෙම කලාපයේම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

යුද්ධය කරා තල්ලුව, සෑම රටකම වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කරන අනවරත ප‍්‍රහාර සමග එකට ගමන් ගනියි. 2008 හටගත් ලෝක ධනවාදයේ දිග්ගැස්සෙන අර්බුදය හමුවේ, මෙරට ද ඇතුලු එක්සත් ජනපද, යුරෝපයේ හා ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සෑම රටකම අඛන්ඩ සමාජ ප‍්‍රතිවිප්ලවයක් සඳහා පරපුටු මූල්‍ය වංශාධිපතිත්වය වෙතින් කෙරෙන ඉල්ලීම් දැඩිවී ඇත.

2009 පටන් රාජපක්ෂ ආන්ඩුව, මේ වසරේදී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.2ක් ද ලබන වසරේදී 3.8ක් ද යන ඉලක්කයන් සහිතව අයවැය හිඟය කපාහැරිය යුතුය යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක‍්‍රියාත්මක කරමින් සිටියි. මෙහි ප‍්‍රතිපල වශයෙන් අධ්‍යාපනයේ, සෞඛ්‍ය සේවයේ හා ශුභසාධක සේවාවන්හි නිමක් නැති කප්පාදුවක් ද මිල සහන කපාහැරීමක් ද සිදුවනු ඇත. ඒ සමග ම ආන්ඩුව, සියල්ලටත් වඩා වැඩකරන ජනතාවට එරෙහිව යොමු කල දැවැන්ත මිලිටරි-පොලිස් යාන්ත‍්‍රනයක් පවත්වාගෙන යයි.

වැඩෙන සමාජ නොසංසුන්තාවය ගැන රාජපක්ෂ බෙහෙවින් බියපත්ව සිටියි. 50,000කට වැඩි සෞඛ්‍ය සේවකයින් මෑතකදී වැඩවර්ජනයකට එලඹුනු අතර එය නතර කර ගත්තේ වෘත්තීය සමිති වල ද්‍රෝහිත්වයට පින්සිදුවන්නට පමනකි.

කොලඹ නගරය වානිජ්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ සැලසුම්වල කොටසක් වශයෙන් ආන්ඩුව, පවුල් ලක්ෂයක් පලවා හැරීමට කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා මිලිටරිය යොදා ගනියි. දැරිය නොහැකි නය බරකට කරගසා සිටින ආර්ථිකය ගලවා ගැනීම සඳහා ආන්ඩුව ආයෝජන ආකර්ෂනය කරගැනීමට මංමුලා සහගත උත්සාහයක නිරතව සිටියි. දදේනියෙන් සියයට 59ක් වන විදේශ නය අතින් මෙරට ආසියාවේ ඉහලම තැන වැජඹෙන අතර දෙවැනි වන්නේ මොන්ගෝලියාවට හා පැපුවා නිව්ගිනියාවට පමනි.

ඌව පලාතේ මොනරාගල හා බදුල්ල දිස්ත‍්‍රික්ක, වැඩකරන ජනතාව මුහුනපා සිටින සමාජ අර්බුදය සංකේතවත් කරයි. එහි ජනගහනයෙන් සියයට 15ට වැඩි කොටසක් දිනකට ඇඩො 1ට අඩු හා සියයට 30ට වැඩි කොටසක් දිනකට ඩොලර් 2ට අඩු, දරිද්‍රතා රේඛාවෙන් පහල ජීවිකාව ගත කරති. බදුල්ල දිස්ත‍්‍රික්කයේ වැඩි දෙනෙක් දුගී දෙමල කම්කරුවන් වන අතර මොනරාගල දිස්ත‍්‍රික්කයේ ජනගහනයෙන් බහුතරය ගම්බද දුගී ගොවීහු වෙති.

මෙම සමාජ අර්බුදය බැරෑරුම් ලෙස විසඳීමට අසමත් රාජපක්ෂගේ පාලක පක්ෂය, සිය මැතිවරන ව්‍යාපාරය සඳහා නීතිවිරෝධී ලෙස රජයේ මුදල් යොදාගන්නා අතර දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මැරබලය මත වාරුවෙයි. ප‍්‍රචන්ඩත්වය කෙතරම් පැතිර පවතී ද යත්, මැතිවරනය කල් දැමීමට සිදුවන බවට අනතුරු ඇඟවීමට මැතිවරන කොමසාරිස්ට බල කෙරුනි.

විපක්ෂයේ එජාප හා ජවිපෙ, ආන්ඩුව ක‍්‍රියාත්මක කරන වෙලඳපොල ගැති න්‍යායපත‍්‍රය බෙදාහදා ගනිති. එජාප දේශපාලඥයින් වැඩකරන ජනතාව මුහුනදෙන ආර්ථික දුෂ්කරතා ගැන කිඹුල් කඳුලු හෙලන නමුත් බලයේ සිටියදී ව්‍යාපාරික ධනේශ්වරය නියෝජනය කරන මෙම පක්ෂය ද ජීවන තත්වයන්ට පහර දීම සම්බන්ධයෙන් කුප‍්‍රකටය. ජවිපෙ සම්බන්ධයෙන් ගත් කල, පූර්වයෙන් එය පවත්වාගෙන ගිය සමාජවාදී වාචාලකම් අතහැර දමා විදේශ ප‍්‍රාග්ධනය මෙරටට ගෙන්වා ගැනීම තම අරමුන යයි කියා සිටිති.

රාජපක්ෂගේ සභාග ආන්ඩුවෙහි හවුල්කරුවන් වන සීඩබ්ලිව්සීය හා අනෙකුත් දෙමල පක්ෂ, “දෙමල නියෝජිතයින්” පත්කර ගැනීම වතු කම්කරුවන්ට වාසිදායකය යන ප්‍රෝඩාව වපුරති. මොවුන් සියලුදෙනා, දෙමල හා සිංහල කම්කරුවන් බෙදීමේ දෙමල වර්ගවාදී දේශපාලනය වැලඳගෙන සිටින අතර වතු සමාගම්වල ඉල්ලීම් වන සේවා කොන්දේසි හා වැටුප් කපා හැරීම් ක‍්‍රියාත්මක කිරීමට වගකිව යුතුය.

ප්‍රෝඩාකාරී එක් වාම කන්ඩායමක් වන එසප මොනරාගල දිස්ත‍්‍රික්කයට තරග වදින නමුත් කිසිදු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් මෙතෙක් පලකොට නැත. එහි ආස්ථානය මවිතකර නැත. නසසප හා එක්ව එසප ද දක්ෂිනාංශික හා ව්‍යාපාරික ගැති එජාප, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ගේ ආරක්ෂකයෙක් ය යන ප්‍රෝඩාව හුවා දක්වයි. පාලක පන්තිය වෙනුවෙන් මෙම ව්‍යාජ වාම සංවිධාන දෙකම ඉටුකරන ප‍්‍රධාන භූමිකාව, ජාත්‍යන්තරවාදය මත පදනම්වූ වැඩකරන ජනතාවගේ කුමන හෝ ස්වාධීන ව්‍යාපාරයක් වැලැක්වීමයි.

සසප පලාත් සභා මැතිවරනයට තරග නොකරන නමුත් යුද්ධයට හා සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව වෙහෙස නොබලා උද්ඝෝෂනයේ යෙදී සිටියි. සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට පත්කරමින් ධනවාදය අහෝසි කිරීමේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා ගම්බද පීඩිතයින්ගෙන් ඉල්ලා සිටිමු. සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය යුද්ධයේ තල්ලුවට විරෝධය දැක්වීමටත් එය පැහැදිලි කිරීමටත් රැස්වීම් මාලාවක් ගොඩනගයි. අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන ලෙසත් අපගේ ක‍්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය හදාරමින් සසප හා එහි තරුන සංවිධානයට බැඳෙන ලෙසත් ය.

Share this article: