ජනරළ ලියුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිරිසේනගේ වැඩපිලිවෙල වටා රැලිව සිටින බව සනාත කරයි

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2015 අපේ‍්‍රල් 18

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිරිසේන ආන්ඩුවේ දින 100 වටා රැලිවෙයි” යන මාතෘකාවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සිංහල අංශයේ පෙබරවාරි 13 වෙනි දා පල කෙරුනු” ලිපිය “අනෙකාගේ අදහස පිලිබඳ විකෘති රූපාකාරයක් ප‍්‍රබන්ධ ගත කිරීම” මගින් නිර්මානය කරන ලද්දක් යයි ජනරළ පුවත්පතේ රවිඳු පෙරේරා නමැති ලියුම්කරුවෙකු විසින් විවේචනයට ලක් කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පල කෙරෙන ජනරළ පුවත්පතේ “හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්වාදී ද” යන අභූත මාතෘකාවක් යටතේ මාර්තු 1 පල වූ පෙරේරාගේ ඊනියා විවේචනයෙන් අප කරන ලද හෙලිදරව්ව මුලුමනින්ම සනාථ කර ඇත. තවද, පෙරේරාගේ ලිපිය පෙසප බඳු ව්‍යාජ වාම වෙස්ගත් මධ්‍යම පන්තික කන්ඩායම්වල ධනපති ක‍්‍රමයට හා අධිරාජ්‍යවාදයට අනුගත වීමේ දේශපාලනය ද කඨෝර අනුභූතිවාදය ද පිලිබඳ කදිම උදාහරනයකි.

පෙසප නායකයෙකු වන පුබුදු ජාගොඩ කොලඹ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී “ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහ පාලනය සම්බන්ධව (ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන) ඉදිරිපත් කර ඇති දින 100 වැඩපිලිවෙල සාධනීය එකක්” ලෙස හැඳින්වීම ද “මහජන නියෝජිතයන්” පත් කර ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවන්නේ නම් ඊට සහයෝගය දෙන බව සහතික වීම ද ආදී වශයෙන් කල ප‍්‍රකාශ කිහිපයක් අපගේ ලිපියේ උපුටා දක්වුනි. පෙසප විසින් පාලනය කෙරෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) කැඳවුම්කරු, නජිත් ඉන්දික ජනාධිපති සිරිසේනට යැවූ කන්නලව් ලිපියක් පිලිබඳව ද අපි සඳහන් කලෙමු.

පෙරේරා පෙනය පුප්පා ඇත්තේ අප ජාගොඩ කියූ දෑ “සන්දර්භයෙන් කඩා” ලොකු විකෘතියක් කර ඇති බව ප‍්‍රකාශ කරමිනි. “යම් අදහසක් වටහා ගත යුත්තේ එයට අදාල සන්දර්භයේ තබමිනි” යි පෙරේරා අපට අවවාදයක් ද දෙයි.

පෙරේරාගේ ඊනියා සන්දර්භය සැදී ඇත්තේ ජාගොඩගේ ප‍්‍රකාශයන් ගෙනි. දින සියයේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් ගත් කල ඊට අදාල වන්නේ ඒවා ඉටුවේ ද නැද්ද ඒ ගැන මහජනයාගේ මනෝභාවයන් මොනවාද යනාදී වූ ජාගොඩගේ සමපේක්ෂන හා සම්මුතිවාදී ප‍්‍රකාශ ය. “ව්‍යවස්ථා සංශෝධනය සතරකන් මන්ත‍්‍රනයකට සීමා කිරීමේ උත්සාහයක්” ඇත. එය අසාධාරනය. එසේ නොව ආන්ඩුව ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවිය යුතු ය. ආන්ඩුව එලෙස කි‍්‍රයා නො කරන හෙයින්, ජාගොඩ මෙම කරුනු පෙන්වා දී සිදු කර ඇත්තේ ආන්ඩුවේ වැඩපිලිවෙලේ “සීමාකාරී බව” පැහැදිලි කිරීම ය. ඒ රමිඳු පෙරේරාගේ තර්කයන් ය.

සිරිසේන ආන්ඩුවේ වැඩපිලිවෙල ගැන කරන මේ සංවාදය එය වටා රැලිවීමක් නොවේ නම් වෙන කුමක් ද? දින සියයේ වැඩපිලිවෙල වටා රැලි වු අනෙකුත් මධ්‍යම පන්තික කන්ඩායම්වල කන්නලවු, ආඩපාලි හා විවේචන ජාගොඩගේ “සීමාකාරී බව පෙන්වීමට” වඩා වෙනස් නැත.

ජාගොඩ සිරිසේනගේ “සන්දර්භයට” අඩංගුවී ඇත. මාක්ස්වාදීන් ලෙස අප කලේ දින සියයේ වැඩපිලිවෙල ද ජාගොඩ හා පෙසප ද ඇතුලුව ඒ පිලිබඳව ප‍්‍රතිචාර දැක්වූවන් සැබෑ දේශපාලන සන්දර්භයේ තැබීම යි.

දින සියයේ වැඩපිලිවෙල අහසින් කඩාපාත් වූවක් නොවේ. දින වකවානුවලින් පලිප්පු දමා එය ඉදිරිපත් කරන ලද්දේ රාජපක්ෂ ආන්ඩුව විසින් ධනපති අර්බූදය පැටවීම හා ඒ සඳහා යොදා ගත් වර්ගවාදී යුද්ධයේ දී වැඩිදියුනු කල මිලිටරි-පොලිස් විධික‍්‍රම උසි ගන්වමින් කම්කරුවන්ගේ, දුගීන්ගේ හා ශිෂ්‍යයන්ගේ අරගලවලට පහර දීම කෙරෙහි ඇතිව තිබු විරෝධය අතිශය ප‍්‍රතිගාමී න්‍යාය පත‍්‍රයක් කි‍්‍රයාවට දැමීමට ගසාකෑම සඳහා ය. එනම්, ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ භූදේශපාලන උවමනාවන් වෙනුවෙන් කොලඹ පාලන තන්ත‍්‍ර මාරුවක් ඇති කිරීමට එම විරෝධය යටිමඩි ගැසීම සඳහා ය.

ඇමරිකාවේ භූ-දේශපාලන උවමනාකම් චීනයට එරෙහිව මිලිටරි සූදානම සමග බැඳී පවතී. මෙලෙස, තුන්වන ලෝක යුද්ධයක් වෙතට යලි මානව වර්ගයා තල්ලු කිරීමට අධිරාජ්‍යවාදී බලයන්ගේ වෛෂයික ධාවනය පෙසප මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කරයි. ලංකාවේ තන්ත‍්‍ර මාරුව ලෝක ධනවාදයේ අර්බූදයෙන් ඔද්දල් වූ ලංකාවේ ධනපති අර්බූදය මහජනතාවන් මත පැටවීම සඳහා රාජපක්ෂගෙන් තවත් ඉදිරියට යන දරුනු කප්පාදු වැඩපිලිවෙලක් කි‍්‍රයාවට දැමීමේ සූදානම සමග බැඳී ඇත.

ජාගොඩට හෝ පෙසපට (පෙරේරාට ද) මෙම සැබෑ සන්දර්භය අදාල නැත. ධනපති ක‍්‍රමයට අනුගත වී එයින් සහන බලාපොරොත්තු වන ඉහල මධ්‍යම පන්තික තට්ටුවල අවශ්‍යතා නියෝජනය කරන ඔවුහු සැබෑ වෛෂයික සත්‍යය ආවරනය කරති.

නව සම සමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා ඇතැම් කලාකරුවන්ගේ ව්‍යාපාර ඇතුලු විවිධ සිවිල් සංවිධාන එක රොත්තට රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය හුවාදැක්වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ දූෂිත ඥාති සංග‍්‍රහය අහෝසි කිරීම ආදී පාඨ ලියා සිරිසේන එස වූ කොඩිය වටා රොක් වෙමිනි. එසේ කලේ වැඩ බෙදා ගෙනය: නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න කෙලින්ම සිරිසේන-එජාප සංවිධානය කල වේදිකාවට නැග්ගේ ය. එසප නායකයා ජනාධිපති තරගයට ඉදිරිපත් වෙමින් කලේ රාජපක්ෂ පරාජය කිරීම අංක එකේ කටයුත්ත බවට ප‍්‍රකාශ දෙන අතරම සිරිසේන ගැන පුහු විවේචනය කරමින් ඔහුගේ ව්‍යාපාරය සමග පෙල ගැසීම යි.

කල යුත්තේ ධනවාදී ප‍්‍රතිපත්ති (ධනවාදය නොව) පරාජය කිරීමයි ආදි පූච්චානම්වලට මුවා වී පෙසප දුමින්ද නාගමුව අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් ඒකාධිපති රාජපක්ෂ තන්ත‍්‍රය පෙරලා දැමීම මූලික අවශ්‍යතාව බව පිලිගන්නවා යයි කියා සිටියේ ය. ඒ හෝ මේ ආකාරයෙන් කොලඹ තන්ත‍්‍ර මාරුව සමග මේ පක්ෂ පෙල ගැසුනේ ධනපති පක්ෂවලින් හෝ ධනපති පන්තියෙන් ස්වාධීන මොනම කි‍්‍රයාමාර්ගයක් හෝ තමන්ට නැති බව පෙන්නුම් කරමිනි.

දින සියයයේ වැඩ පිලිවෙලට කරබදු වීම

මැතිවරනයෙන් පසුව, දින සියයේ වැඩපිලිවෙලට පෙසප කරබදු වූ ආකාරය පෙරේරා මෙසේ පෙන්වා දෙයි: “ජාගොඩ මාධ්‍ය හමුව කැඳවූයේ සිරිසේන බලයට පත් වී මුල් සතිය තුල ය. දින සියයේ වැඩපිලිවෙල සහ එමගින් කරන්නට යන අපේක්ෂා කරන දෑ පිලිබඳව අපේක්ෂා ප‍්‍රමානයක් ඒ වන විට ගොඩ නගා තිබුනි. පොදුවේ සමාජය තුල තිබුනේ, දැනටත් යම් ප‍්‍රමානයකට තිබෙන්නේ සුබවාදී අදහසකි. දේශපාලන ව්‍යාපාරයක් ස්වකීය මතය සමාජය තුල හෙජමොනික කිරීමේ දී මුහුන දෙන එක් අභියෝගයක් වන්නේ ස්වකීය අදහස මහජන පරිකල්පනය [විඥානය] තුල තහවුරු කිරීමයි. මේ නිසා ආමන්ත‍්‍රනය කල යුතු වන්නේ සුබවාදී අපේක්ෂා තබා ගෙන සිටින මහජන මනෝභාවයකට ය.”

පෙරේරා මහජනයා තුල ඇති කෙරුනු “සුබවාදී අපේක්ෂා” ලෙස නම් කරන මිත්‍යාවන් පැතිරවීමට හවුල්වුවෝ කවු ද? සිරිසේන වටා එක් වු ධනපති පක්ෂ සමග ඊට විවිධාකාරයෙන් දායක වූයේ පෙසප ඇතුලු ඉහත කී කන්ඩායම් ය. “මහජන මනෝභාවයට” ආමන්ත‍්‍රනය කිරීමේ යනුවෙන් ප‍්‍රකාශ කරන්නේ තමන් ද දායක වී පැතිර වූ මෙම මිත්‍යාවන් තව තවත් තද කිරීමට හවුල්වීමයි. ස්වකීය මතය සමාජය තුල ආධිපත්‍ය ගැන්වීමේ නමින් පෙසප දැන් කරන්නේ කුමක්ද? කම්කරුවන් හා තරුනයන් ආන්ඩුවට බලපෑම් දැමීමේ කි‍්‍රයා මාර්ගවල හිර කිරීමට කි‍්‍රයා කිරීම යි. ව්‍යවස්ථා සංශෝධනය සතර කන් මන්ත‍්‍රනයට සීමා නො කර ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවනු ආදී වශයෙන් පෙසප සිරිසේන ආන්ඩුවට බලපෑම් දැමීමේ ඉල්ලීම් රොත්තක්ම ඉදිරිපත් කරයි.

කම්කරුවන් හා තරුනයන් බලපෑම් දැමීමේ කි‍්‍රයාවන්ට හිර කිරීම සඳහා පෙරේරා “න්‍යායික” අටුවාවක් සම්පාදනය කර ඇත. ඒ මෙසේ ය: “මහජන පරිකල්පනය නමැති කරුන සැලකිල්ලට ගත යුතුය. එය සැලකිල්ලට නො ගෙන කෙරෙන හුදු විවේචනයක් මගින් ඇති විය හැකි අනතුර වන්නේ මහජන පරිකල්පනයෙන් අදාල දේශපාලන ව්‍යාපාරය ඉවතට වී යෑමයි. විවේචනයේ ස්වරය හා ස්වභාවය සීරුමාරු කර ගැනීම ඒ අනුව නිර්මානාත්මක අභියෝගයකි.” සීරු මාරුව මෙසේය: “සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන බවට දුන් ප‍්‍රතිඥාවල මායාව බිඳිය හැකි වන්නේ ඒ කතිකාව තුලින්ම ‘එම කතිකාවේ සීමාව මහජනතාවට ඒත්තු ගැන්වීම මගිනි’.”

තාර බර අයින් කල විට මේ සූත‍්‍රවලින් කියැවෙන්නේ මහජනයා මිත්‍යාවන්ගේ මඩ වලට ඇද දැමීමට දායකවීමෙන් පසු තමන් ද එම මඩ වලට බැස පීනීමට කියා දිය යුතු බවය. මෙබඳු අවස්ථාවාදී ව්‍යාපාර “ප‍්‍රායෝගිකත්වය” නමින් ඉදිරිපත් කරන්නේ ද තම අවස්ථාවාදී කි‍්‍රයා යුක්ති යුක්ත කරන්නේ ද මහජනයාගේ මනෝභාවයන් සැලකිල්ලට ගැනීම, මහජනයා සමග එකට සිටීම, මහජනයා අතරට යෑම ආදී සුත‍්‍ර යොදා ගෙන ය. ඔවුන් සත්‍යය ප‍්‍රකාශ කිරීමට ගරහන්නේ නිකායවාදී, කට්ටිවාදී හා වියුක්ත විවේචන ඉදිරිපත් කිරීමක් ලෙස ය.

සසප ප‍්‍රවිෂ්ටය

අප මාක්ස්වාදීන්ගේ ආස්ථානය පැහැදිලි කල යුතු ය. ඒ පෙසපට හෝ ජාගොඩට මග පෙන්වීමට නොවේ. ඔවුන්ට මාක්ස්වාදය හා සමාජවාදය සමග මොනම සම්බන්ධයක් වත් නැත. ඔවුන් ඉඳහිට තමන්ට වාම වෙස් දමා ගැනීමට මාක්ස්වාදයේ වචන උරුහම්බානවා පමනකි. අපට උවමනා මොවුන්ගේ ජේත්තුවෙන් නොමග ගිය ශිෂ්‍යයන් හා තරුනයන් වෙත් නම් ඔවුන්ට මාක්ස්වාදය වෙතට හැරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කිරීම ය.

ඉහත කී ප‍්‍රායෝගිකවාදී තත්කාර්යවාදී ප‍්‍රවේශයට එරෙහිව ලෙනින් කීවේ කුමක් ද? “මෙවන් අවස්ථාවාදීන් ආයුධ සන්නද්ධව නැගී සිටින්නේ ‘පොතේගුරුවාදය,’ ‘න්‍යායවාදය,’ ‘චින්තනය බලෙන් අවහිර කිරීමේ ප‍්‍රතිවිපාකය වන පක්ෂය දරදඬුවීම’ යන සතුරන්ට විරුද්ධවය” යි ඔහු සඳහන් කලේය. “විප්ලවවාදී න්‍යාය නොමැතිව විප්ලවවාදී ව්‍යාපාරයක් තිබිය නොහැක. ඉතාමත් පටු ප‍්‍රායෝගික කි‍්‍රයාකාරීත්වයේ මෝහනයත් සමග අතිනත් ගෙන, අවස්ථාවාදයේ හැඩකාර දේශන පැවැත්වීම කෙරෙන මෙවැනි කාලයක මෙම අදහස කොතරම් අවධාරනය කලත් වැඩි නැත.” (1) ඔහු තව දුරටත් සඳහන් කලේ, මෙම විප්ලවීය ව්‍යාපාරය වනාහි ජාත්‍යන්තර ව්‍යාපාරයක් ද වැඩි දියුනු න්‍යායෙන් එනම් මාක්ස්වාදයෙන් මග පෙන්වන පක්ෂයක් ද වන බවයි.

සසප ප‍්‍රවිෂ්ටය ඓතිහාසික හා ජාත්‍යන්තරවාදී ය. සියලු ප‍්‍රපංචවල සන්දර්භය දකින්නේ ද මේ ප‍්‍රවිෂ්ටයෙනි. මේ පදනම් මත වෛෂයික දේශපාලන වර්ධනයේ සියලු අවස්ථා ඓතිහාසික භෞතිකවාදී පදනම් මත විශ්ලේෂනය කරන මාක්ස්වාදියා කම්කරු පන්තියට සත්‍යය පෙන්වා දෙයි; ඔහු මතුපිට පෙනෙන තත්වයෙන් ප‍්‍රකාශිත පීඩනයන්ට කම්කරුවා අනුගත කිරීමට නොව ඒවා කපා හෙලා කම්කරු පන්තියේ ඓතිහාසික කාර්යභාරය ඉෂ්ට කිරීමේ කි‍්‍රයාමාර්ගයකින් සන්නද්ධ කිරීමට අරගලය කරයි.

“මහජන පරිකල්පනයේ අවකාශයෙන්” තමන් ඉවතට විසිවීම ගැන භීතියෙන් තමන් ද කම්කරුවන් ද පවත්නා තත්වයට අනුගත කිරීම ලෙනින් පෙන්වා දෙන්නාක් මෙන් මාක්ස්වාදියාගේ කටයුත්ත නොවේ. ස්වයං සිද්ධ “මහජන පරිකල්පනය” ධනේශ්වර දෘෂ්ටිවාදයේ ප‍්‍රකාශනයක් අත්පත් කර ගන්නා බව ලෙනින් පෙන්නුම් කලේ ය. අවස්ථාවාදය මෙම ධනේශ්වර දෘෂ්ටිවාදය ශක්තිමත් කරයි.

ට්‍රොට්ස්කි 1938 සංක‍්‍රමන කි‍්‍රයාමාර්ගය පිලිබඳ පූර්ව සම්මේලන සාකච්ජාවේ දී මහජන මනෝභාවයන්ට එරෙහිව සත්‍යය පෙන්වාදීමේ වැදගත්කම මෙසේ ප‍්‍රකාශ කලේ ය: “දැන් තත්වය බරපතල ලෙස වෙනස්ව ඇත. මෙම තත්වය තුල විප්ලවවාදී පක්ෂයට කල හැක්කේ කුමක් ද? පලමුවෙන්ම කල යුත්තේ කම්රුවන් අද දින මෙය වටහා ගැනීමට පරිනත ද නැද්ද යන්න නොතකාම වෛෂයික තත්වය ද එම තත්වයෙන් ගලා එන ඓතිහාසික කර්තව්‍යයන් ද පිලිබඳ පැහැදිලි චිත‍්‍රයක් ලබා දීමයි. අපගේ කර්තව්‍යයන් කම්කරුවන්ගේ මානසිකත්වය මත රඳා නොපවතී. කර්තව්‍යය වන්නේ කම්කරුවන්ගේ මානසිකත්වය වර්ධනය කිරීම යි. කි‍්‍රයාමාර්ගය සූත‍්‍රගත කර දියුනු කම්කරුවන් වෙත ඉදිරිපත් කල යුත්තේ ද එලෙස යි.”(2)

“සමහරුන් එය විද්‍යාත්මක හා වෛෂයික තත්වයට ගැලපෙන කි‍්‍රයාමාර්ගයක්” වන නමුත් “කම්කරුවන් එය නොපිලිගන්නේ නම් එය පිලිනු වනු ඇතැයි” තර්ක කල හැකි බව ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේ ය. එය එසේ විය හැකි නමුත් වෛෂයික තත්වයට සරිලන කි‍්‍රයාමාර්ගයකින් සන්නද්ධ නොවූ විට සිදු වනු ඇත්තේ කම්කරු පන්තිය තලා මැඩලා දැමීමට ලක් වීම බවට ට්‍රොට්ස්කි අනතුරු ඇඟවූයේ ය. මන්දයත් අර්බූදය විසඳිය හැක්කේ සමාජවාදී විප්ලවයෙන්ම පමනක් හෙයිනි. “කම්කරුවන්ට සත්‍යය කිව යුතු ය; එවිට අප හොඳම කොටස් දිනා ගනු ඇත.”(3)

සසප අරගලය පාදක වන්නේ මේ මහා චින්තනයන් මතය. අප පක්ෂය වනාහි සමාජවාදී විප්ලවයේ පක්ෂයයි.

පෙසප සමාජවාදී විප්ලවය සඳහා කම්කරුවන් හා තරුනයන් සූදානම් කෙරෙන අරගලයට සතුරු ය. ඔවුන් මෙම අරගලය හඳුන්වන්නේ “කට්ටිවාදී” හෝ “නිකායවාදී” එකක් ලෙස ය. “සසප හා විකොස ලංකාවේ වාමාංශික දේශපාලන සාහිත්‍යයට එකතු කල දෑ බොහෝ ය” යයි පෙරේරා උද්ධච්චයෙකු ලෙස සහතිකයක් දෙයි. ඔහුට කිව යුත්තේ අප පක්ෂය වාමාංශික පක්ෂ අතර තිබෙන තවත් වාමාංශික පක්ෂයක් නොවන බවයි. එය දේශපාලන සාහිත්‍යයට ඔහේ දේවල් එකතු කරන තවත් පක්ෂයක් ද නොවේ. එය වනාහි හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පක්ෂයක් ලෙස මාක්ස්වාදී න්‍යාය ද දේශපාලන ඉදිරිදර්ශන ද වර්ධනය කරමින් සමාජවාදී විප්ලවය සාක්ෂාත් කිරීමට ලංකාවේ ද කලාපයේ ද සටන් කරන පක්ෂය යි.

පෙසප ධනපති හා අධිරාජ්‍යගැති දේශපාලනයේ එක් නිශ්චිත ප‍්‍රකාශනයක් නම් එය විසින් ගී‍්‍රක සිරිසා, ස්පාඤ්ඤයේ පොදෙමෝ, ජර්මනියේ දේ ලින්කේ ආදී සංවිධාන වන්දනාමාන කිරීම යි. සිරිසා මොඩලයෙන් “පාඩම් උගෙනීම” සඳහා පෙසප නව නගර ශාලාවේ දේශනයක් සංවිධානය කලේ පක්ෂය දියත් කර යන්තම් මාස තුනකට පසු 2012 ජූනි 21දා ය. එය සිරිසා හැඳින්වූයේ “රැඩිකල් වමක සුන්දර බලාපොරොත්තුව” ලෙස යි. 2015 ජනාවාරි 25 දා, ගී‍්‍රක මැතිවරනය පිලිබඳව ජනරළ ලීවේ “ගෝලීය දේශපාලනයේ සයිරිසා මොහොත” යන උද්දාමයෙන් පිරීගිය මාතෘකාවකිනි.

මෙම සංවිධානයේ “සුවිශේෂත්වය” නම් එය “පහල සිට ඉහලට ගොඩ නැගී තිබීම” යයි එම ලියුම්කරු පම්පෝරි ගැසීය. ඔහු ඊට මෙසේ ද එකතු කර තිබුනි: “සයිරීසා බඳු සංවිධාන තුල සහ ඊට පිටින් කි‍්‍රයාත්මක වන මාක්ස්වාදීන් කල යුත්තේ මෙම ව්‍යාපාරයට ගැට ගැසී තිබෙන නිර්ප‍්‍රභූ බහුජන කි‍්‍රයාකාරීත්වයෙන් දුරස්ත නොවී ඒවා සමග විවේචනාත්මකව අභිමුඛ වෙමින් එම ව්‍යාපාරවල චින්තන ක්ෂිතිජය පුලුල් කිරීම ය.”

“හුදු වියුක්ත විවේචන මගින් ඇතිවිය හැකි අනතුර” මග හරවා ගෙන උපායාත්මකව කි‍්‍රයා කිරීම ලෙස පෙරේරා ලංකාවට පරිවර්තනය කර ඇත්තේ ගී‍්‍රසියේ සිරිසා වැඩ පිලිවෙලම යි. මෙ මගින් සිරිසා ප‍්‍රමුඛව දක්ෂිනාංශික අන්තවාදීන් සමග සභාග ආන්ඩුවක් බලයට ගෙන ඒමට පන්දම් ඇල්ලූ පෙසප ලංකාවේදී සිරිසේන ආන්ඩුව බලයට ගෙන ඒමට දායක වී එම උගුලේ ම කම්කරුවන් සහ තරුනයන් හිරකර තැබීමට දින සියයේ වැඩපිලිවෙල කි‍්‍රයාත්මක කරනු! යි බල කිරීමෙහි යෙදී සිටී.

සිරිසා දැන් ජර්මනිය ප‍්‍රමුඛ යුරෝපීය ධනපති ආන්ඩු හා අධිරාජ්‍යවාදී බැංකුකරුවන් ඉදිරියේ හතරගාතෙන් වැටී කම්කරු පන්තියේ අයිතීන් මැඩීමේ රුදුරු කප්පාදු වැඩපිලිවෙලකට ප‍්‍රතිඥා දී ඇත. පෙසප “සීරුමාරු” උපායාත්මක වැඩපිලිවෙල ගී‍්‍රසියේ දී මෙන් ලංකාවේ දී ද කි‍්‍රයාත්මක වන්නේ ධනේශ්වර ක‍්‍රමය රැකීමට මෙන්ම දක්ෂිනාංශය ශක්තිමත් කිරීමට ය.

ජාගොඩගේ මාධ්‍ය සාකච්ඡාවේ සමස්ත සන්දර්භය මෙයයි. එය ජාගොඩගේ ප‍්‍රවෘත්ති සාකච්ඡාව ගැන පෙරේරාට ඇති අනුභූතිය හෝ සිරිසේනගේ දින සියයේ වැඩපිලිවෙල ගැන ජාගොඩට ඇති අනුභූතිය නොවේ. අප ජාගොඩගේ අදහසේ “හරයට සම්මුඛ” වී ඇත්තේ මාක්ස්වාදී ඓතිහාසික භෞතිකවාදී විධික‍්‍රමයට අනුව ය.

පෙසප 2013 නොවැම්බර් මාසයේ “වාමාංශික” සංවිධානවල සාකච්ඡාවකට එන ලෙස සමාජවාදී සමානතා පක්ෂයට (සසප) ද ආරාධනා කලේය. එය ප‍්‍රතික්ෂේප කරමින් සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් යැවූ ලිපියේ මෙසේ සඳහන් කර ඇත: “මෙම යෝජිත රැස්වීමේ අරමුන වනාහි විවිධ ධනේශ්වර හා සුලු ධනේශ්වර සංවිධානවල යලි කාන්ඩ ගැසීමකට පදනම දැමීම යි. එවැනි යලි කාන්ඩ ගැසීමක් වුවහොත් එය කම්කරු පන්තිය සඳහා තවත් දේශපාලන උගුලක් වනු ඇත්තේ ය.” පෙසප දේශපාලනය යොමුවී ඇත්තේ මෙම උගුල් ඇටවීමට ය.

ස්ටැලින්වාදී විකෘතය

අප ලිපිය “ස්ටැලින්වාදී සම්ප‍්‍රදායට අයත්” බව ප‍්‍රකාශ කරන පෙරේරා ඔහුගේ ලිපියට මාතෘකාව ලෙස යොදා ගෙන ඇත්තේ “හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්වාදී ද?” යන අභූතය බව කලින් සඳහන් කලෙමු. මින් හෙලිදරව් වන්නේ “ස්ටැලින්වාදී සම්ප‍්‍රදාය”, හතරවන ජාත්‍යන්තරය හා ට්‍රොට්ස්කිවාදය පිලිබඳව පෙරේරාට ඇති මුග්ධත්වයට වඩා වැඩිදෙයකි.

ජාගොඩ පුවත්පත් සාකච්ඡාවේදී පලකල අදහස් අපගේ ලිපියෙන් විකෘත කර ඇත්තේ නොනවතින විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ න්‍යාය “ස්ටැලින්වාදී සාහිත්‍යය” තුල ගොවි ජනාතාවගේ භූමිකාව නොසලකා හැරීමක් ලෙස විකෘති කර ඇති ආකාරයෙන් යයි පෙරේරා උදාහරනයක් ද දී ඇත. මෙය ස්ටැලින්වාදීන් විසින් “ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රවනතා ඉදිරිපත් කරන අදහස්වල හරය සමග සම්මුඛ නොවී එම අදහස විකෘත කොට ඉදිරිපත් කිරීම හා ඊට විචාර සැපයීමේ ක‍්‍රමයකි,” යි ඔහු කියයි. ස්ටැලින් හා නිලධරය යෙදී සිට ඇත්තේ වැරදි, එහෙත් මොන තරම් නම් අහිංසක කි‍්‍රයාවක ද!

ස්ටැලින්වාදී නිලධරය නිරත වී සිටියේ ට්‍රොට්ස්කිගේ “අදහස්වල හරය සමග සම්මුඛ නොවී එහි හරය විකෘත කොට විචාර සැපයීමේ ක‍්‍රමයක” යයි ප‍්‍රකාශ කිරීම ස්ටැලින්වාදය කොක්කෙන් ගලවා යැවීමේ අන්ත විකෘතියකි. “සන්දර්භය” ගැන මැත දොඩවන පෙරේරා ට්‍රොට්ස්කිවාදය ද මාක්වාදයේ ප‍්‍රතිවිරුද්ධයක් ලෙස ජරාජීර්න වන ධනවාදයේ පීඩනය පිලිබිඹු කෙරනු ස්ටැලින්වාදය ද ඓතිහාසික සන්දර්භයෙන් උපුටා මේ විකෘතිය සිදු කරයි.

ස්ටැලින්වාදී නිලධරයේ මුසාකරන ගැන ට්‍රොට්ස්කි ප‍්‍රකාශ කලේ මෙසේ ය: “‘ට්‍රොට්ස්කිවාදයට’ එරෙහිව ඊනියා අරගලය වර්ධනය වූයේ ඔක්තෝබර් විප්ලවයට එරෙහි නිලධාරීවාදී ප‍්‍රතිකි‍්‍රයාවෙන් සහ ජාතික සංහිඳියාවක් පිලිබඳ ආසක්තයෙනි. අතීතය මුසාකරනය කෙරුනේ සහ වෙනස් කෙරුනේ කිසිසේත්ම පුද්ගලික යටිකුට්ටුවක් ලෙස නො වනවාක් මෙන්ම වඳ ධනේශ්වර ඉතිහාසකාරයන් පොදුවේ චිත‍්‍රනය කරන්නාක් මෙන් කල්ලිවාදී කා කොටා ගැනීමක ප‍්‍රතිපලයක් ලෙස ද නොවේ. ... විප්ලවවාදී පන්තියෙන් ඉහලට තමන්ව ම ඔසවා ගත් සෝවියට් නිලධරය ස්වාධීන ආස්ථානයන් තුල පැලපදියම් වීමට සමානුපාතිකව සිය සුවිශේෂි තත්වයන් යුක්ති යුක්ත කර ගැනීම සඳහා ද පහලින් එල්ල වන අසන්තෘප්තියෙන් ආරක්ෂා වීමට ද එවන් දෘෂ්ටිවාද තනා ගැනීමේ උවමනාවෙන් පෙලෙයි.. ”(4)

පෙරේරාට ට්‍රොට්ස්කිවාදය හා ස්ටැලින්වාදය අතර ගැටීම විචාර හරඹයකි: “වාම විරුද්ධ පාර්ශ්වය සහ පසුකාලීන විසම්මුතිකයන් මැඩ පැවැත්වීමේ දී ස්ටැලින් අනුගමනය කලේ සරල රීතියකි. එනම් විසම්මුතිකයන් මතු කරන ප‍්‍රශ්නවල හරය සමග සම්මුඛ නොවී පහසුවෙන් ඔවුන් ‘ෆැසිස්ට්වාදයට ආවඩන්නන්’ හෝ ‘ප‍්‍රතිවිප්ලවවාදීන්’ ලෙස ලේබල් කොට පසෙකට කොට දැමීම යි.”

මේවා ගැන අවම වශයෙන් කිවයුත්තේ ස්ටැලින්වාදී නිලධරයට හා ස්ටැලින්වාදයට සුදු හුනු ගාන්නෙකුගේ ප‍්‍රකාශ බවය. ට්‍රොට්ස්කිවාදය හා ස්ටැලින්වාදය අතර ඇත්තේ විප්ලවය හා ප‍්‍රතිවිප්ලවය අතර පවතින පරතරයයි. ට්‍රොට්ස්කිවාදය නියෝජනය කරන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය හා අරගලයයි. ස්ටැලින්වාදය හා නිලධරය, ට්‍රොට්ස්කි නිවැරදිව හඳුනාගත් පරිදි “විප්ලවයේ මීනිවල කනින්නා” බව ඔප්පු කෙරුනේ ලෝකයේ ප‍්‍රථම කම්කරු රාජ්‍යය වූ සෝවියට් සංගමය පිරිහෙලා අවසානයේ එය දිය කර දැමීමට මග පෑදීමෙනි. මෙම මිනීවල හැරීම සඳහා ස්ටැලින් හා නිලධරය විසම්මුතිකයන් “පසෙකට කොට දැමුවා” නොව, ඔක්තෝබර් විප්ලවයේ බෝල්ෂේවික් නායකයන්ගෙන් ලෙනින් හැර අන් සියල්ලන් ද සියලු බෝල්ෂේවිකයන්, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්, බුද්ධිමතුන් ඇතුලු තමන්ට සතුරු බව පෙනුනු සියලු දෙනා ද මරා දැමුවේ ය.

සමාජවාදී සමානතා පක්ෂයට (සසප) පෙසප සමග ඇත්තේ විචාර හරඹ ප‍්‍රශ්නයක් නොවේ. පෙසප ගෙන යන ප‍්‍රතිමාක්ස්වාදී දේශපාලනය හෙලිදරව් කිරීම ධනවාදයේ මුක්කුවකට දෙන ප‍්‍රහාරයකි. ඔවුන්ගේ ප‍්‍රතිමාක්ස්වාදී දේශපාලනය ආවරනය කර ගැනීම සඳහා පෙසප දරා ඇති තවත් එක් මංමුලා සහගත වෑයමකි, ටෙරී ඊගල්ටන්ගේ “මාක්ස් නිවැරදි ඇයි?” යන කෘතිය පල කිරීම. ඊගල්ටන් මාක්ස්වාදියෙකු නොවේ. ධනේශ්වර බුද්ධිමතෙකි. ඊගල්ටන් වැනි මාක්ස්ට පක්ෂපාතිත්වය පෙන්නුම් කරන කෘති ලියු තවත් බුද්ධිමත්තු ද වෙති. මෙවැනි කෘති ද සැබෑ මාක්ස්වාදය නොවේ. මාක්ස්වාදය වනාහි ධනවාදය පෙරලා දැමීම සඳහා භාවිතාවට මගපෙන්වන න්‍යායකි, විධික‍්‍රමයකි, ඉදිරි දර්ශනයකි.

පෙසප ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) අංකුරයකි. ජවිපෙ 1960 ගනන් අග බිහිවූයේ ස්ටැලින්වාදයේ හා සිංහල ස්වෝත්තමවාදයේ සම්මිශ‍්‍රනයක් දෘෂ්ටිවාදය කරගත් සංවිධානයක් ලෙස ය. එය අද ලංකාවේ පාලක සංස්ථාපිතයට සවි වූ විශේෂයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදී පරිපාලනය සමග සම්බන්ධකම් පෝෂනය කර ගත් සංවිධානයකි. පෙසප නායකයන් ජවිපෙ සියලු දේශපාලන අපරාධයන් සමග එකට සිට, 2012 ඉන් වෙන් වී වෙනම පක්ෂයක් ලෙස නම් කර ගත්ත ද මව් සංවිධානයේ දේශපාලනයෙන් මොනම මූලික බෙදීමක් වත් සිදුකර ගෙන නැත. අප විභාග කල ප‍්‍රශ්නවලින් ඔප්පු වන්නේ එයයි.

පෙසප විකල්පයක් ලෙස සලකන ශිෂ්‍යයන්, තරුනයන් හා කම්කරුවන් සිටිත් නම් අප ඔවුන් ගෙන් ඉල්ලා සිටින්නේ ධනපති පන්තියේ වාම දෙඩවිලිකාරයන්ගේ උගුලෙන් වෙන්වන ලෙසයි. ඔවුන් එක් විය යුත්තේ සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය සමග ය.

සටහන්:

1. ලෙනින්, තෝරාගත් කෘති වෙළුම් දොලහ 1 (සිංහල පරිවර්තන, ප‍්‍රගති ප‍්‍රකාශන 1979), පිටු- 136.

2. The Transitional Program for Socialist Revolution -Preconference Discussion,සමාජවාදී විප්ලවයේ සංක්‍රමන ක්‍රියාමාර්ගය-පූර්ව සම්මේලන සකච්ඡා (පාත්ෆයින්ඩර් ප්‍රෙස්, 1983), 155 පිට.

3. එම,

4. The Stalin School of Falsification, මුසාකරනයේ ස්ටැලින් ගුරුකුලය, රුසියානු සංස්කරනයට පෙරවදන (නිව් පාර්ක් පබ්ලිකේෂන්, 1974) , xvi පිට.

කර්තෘ අනුමත කරන ලිපියකි,පෙරටුගාමී සමාජවාදී පක්ෂ: නව දක්ෂිනාංශික ව්‍යාජ වාම කන්ඩායමක්

Share this article: