ඇමරිකානු අධිරාජ්‍යවාදී අර්බුදයේ තීරනාත්මක සන්ධිස්ථානයක්

A decisive turning point in the crisis of American imperialism

2015 අපේ‍්‍රල් 01

රටවල් 40ක් පමන, චීනයේ පිටුබලය සහිත ආසියාවේ යටිතල ව්‍යුහ ආයෝජන බැංකුවට බැඳීමට තීරනය කිරීම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික පරිහානිය පිලිබඳ තීරනාත්මක සලකුනකි.

චීනයේ පිටුබලය සහිත ආසියාවේ යටිතල ව්‍යුහ ආයෝජන බැංකුවට බැඳීම පිනිස රටවල් වලට දී තිබුන අවසන් දිනය මාර්තු 31න් අවසන් විය. එය ඉතිහාසය තුල සනිටුහන් කරනු ඇත්තේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය විදේශ පිලිවෙත හා මූලෝපායික අරමුනු වලට අත්වූ සැලකිය යුතු පරාජයක් ලෙසය.

වොෂින්ටනයේ දැඩි විරුද්ධත්වයට එරෙහිව රටවල් 40ට වැඩි සංඛ්‍යාවක් දැන් එම බැංකුවේ කොටස්කරුවන් වීමට අවශ්‍ය බව තීරනය කර ඇත. ඒ අතර බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්සය හා ජර්මනිය වැනි ප‍්‍රමුඛ යුරෝපීය බලවතුන් මෙන්ම නෝර්වේ, නෙදර්ලන්තය හා ඩෙන්මාර්කය ද වේ. චීනය සිය ප‍්‍රධාන වෙලඳ හවුල්කරුවා බවට පත්ව ඇති, ගිනිකොන දිග ආසියාවේ සෑම රටක්ම පාහේ එයට බැඳී ඇත. තායිවානය මෙන්ම ඉන්දියාව ද ඒ අතර වේ.

මාර්තු 12දා එම බැංකුවට බැඳෙන බව නිවේදනය කල, යුරෝපයේ ප‍්‍රධානම ඇමරිකානු සහචරයා වන බි‍්‍රතාන්‍ය, ඇමරිකාවට එරෙහි වඩාත්ම ප‍්‍රබල පහර එල්ල කලේය. එය අනෙක් රටවලට ඒ අනුව යාමට දොරවල් විවර කල අතර ඊට ආසියානු පැසිෆික් කලාපයේ තවත් ප‍්‍රබල සහචර රටවල් දෙකක් වන ඕස්ටේ‍්‍රලියාව හා දකුනු කොරියාව ඇතුලත් විය. ජූනි මාසය වන විට බැංකුවට සම්බන්ධ වීමට හැකිවනු ඇති බවට ජපානය විශ්වාසය පල කල බව වාර්තා විය.

ඓතිහාසික ඉදිරිදර්ශනයක තබා විමසන කල ඇමරිකාවේ පරාජයෙහි මුලූමහත් වැදගත්කම ද එහි දුරදිග යන ඇඟවුම් ද වඩාත් පැහැදිලිව දැකගත හැකිය.

නව බැංකුව කෙරෙහි පලවූ ඔබාමා පාලනයේ එක් ප‍්‍රධාන විරුද්ධත්වයක් වූයේ, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ලෝක බැංකුවට වල කපනු ඇති බවට පැවති බියයි. 1944 බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම සමගින් ඒ බැංකු දෙක, 1920 හා 30 ගනන්වල ව්‍යසනයෙන් හා එමගින් මුදාහල යුද්ධ හා විප්ලවවාදී අරගල වලින් පසුව, ලෝක ධනවාදය යලි ගොඩනැගීීමෙහිලා ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකල අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව විසින් පිහිටුවන ලද ගෝලීය ආර්ථික පර්යායේ ප‍්‍රධාන කුලුනු දෙක විය.

සත්තකින්ම මෙම ආයතන දෙක, යුද්ධයෙන් බිඳ වැටුනු යුරෝපය යලි නගාසිටුවීම පිනිස ඇති කල මාර්ෂල් සැලැස්ම සමගින් ක‍්‍රියාත්මක වූයේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික හා මූලෝපායික වාසිය වෙනුවෙන්ය.

එහෙත් ඇමරිකාව පශ්චාත් යුද්ධ පර්යායෙන් ඉමහත් වාසි සලසා ගනිද්දී, එය සිදු වූයේ පටු ආකාරයෙන් නොවේ. ඇමරිකානු ධනවාදයට නොනැසී පවතින්නට නම්, එරට තමන් සතු දැවැන්ත සම්පත් යොදාගනිමින් අනෙකුත් ධනේශ්වර බලවතුන්, සියල්ලටත් වඩා ඇමරිකාව දරුනු ගැටුමකට පැටලුනු රටවල, වර්ධනය හා ප‍්‍රසාරනය සහතික කරගත යුතු බවට පිලිගැනීමක්, පාලක දේශපාලන හා ආර්ථික සංස්ථාපිතය තුල පැවතුනි.

පශ්චාත් යුද්ධ ප‍්‍රති නිර්මානය තුල, ජර්මනියේ ප‍්‍රසාරනයක් අත්කරගත හැකිවූ අතර එය යලි වතාවක් යුරෝපයේ කාර්මික බලවතා බවට පත් කලේය. ඒ සමගම ජපානයේ යෙන් මුදල ඩොලරයකට යෙන් 360ක් වන සේ ගැටගැසීම මගින් එරට මුදලේ වටිනාකමට සහන පිරිනැමුනු අතර එහි කර්මාන්ත සඳහා නිර්යාත වෙලඳපොලවල් විවෘත කෙරුනි. කොරියානු යුද්ධය අවධියේ ට‍්‍රක් රථ හා අනෙකුත් මිලිටරි ආම්පන්න නිෂ්පාදනය කිරීමේ තීරනය, ජපානයේ මෝටර් රථ කර්මාන්තයේ දියුනුව සඳහා අත්තිවාරම දැමූ අතර එවකට ඇමරිකාව තුල පිහිටුවා තිබූ දියුනු නිෂ්පාදන තාක්ෂනය සමග ඒකාබද්ධ වෙමින් පසුව ජපානය වර්ධනය අත්කර ගත්තේය.

ඇමරිකාවේ ආර්ථික පරිමාව, කොරියානු යුද්ධය සම්බන්ධ කාරනයේදී මෙන්, ප‍්‍රතිගාමී රූපාකාරයන් ගනිද්දී පවා, පශ්චාත් යුද්ධ උත්පාතය ලෙස සැලකෙන, ගෝලීය ධනේශ්වර ප‍්‍රසාරනය පිලිබඳ නව අදියරකට දායක කරගනු ලැබින.

වත්මන් තත්වයට වඩා කෙතරම් වෙනසක් ද! ඇමරිකානු ධනවාදය තවදුරටත්, සමස්තයක් ලෙස ධනවාදී ආර්ථිකයේ ප‍්‍රසාරනය සහතික කල හැකි නිෂ්පාදන බලාගාරයක් නොවේ. ඒ වෙනුවට, එරට බඩජාරී බැංකු හා ආයෝජන සමාගම් ද ආරක්ෂිත අරමුදල් ද ලාභදායක අවස්ථා වෙනුවෙන් ලෝකය සිසාරා යද්දී, එරට සාපරාධී හෝ අර්ධ සාපරාධී මෙහෙයුම් හරහා නිතරම පාහේ ක‍්‍රියාත්මක වන්නේ, අලූතින් ධනය ඉපයීමේ නිෂ්පාදනයට සම්බන්ධ වීමෙන් නොව, වෙනත් තැන්වල නිර්මානය වන ධනය පැහැර ගැනීමේ ගෝලීය පරපුටු නායකයා ලෙසය.

ආර්ථික සීමා බාධක හා 1930 ගනන්වල අසල්වැසියා හිඟමනට දමනු ප‍්‍රතිපත්ති මගින් නිර්මානය කරන ලද ව්‍යසනය හඳුනා ගනිමින් එක්සත් ජනපදය, පශ්චාත් යුද්ධ අවධිය ආරම්භයේදීම වාගේ, නිදහස් වෙලඳාම පිලිබඳ දැනමුත්තා ලෙස කටයුතු කලේය. අද දිනයේදී වොෂින්ටනය, යුරෝපය සම්බන්ධයෙන් ගත් කල සූදානම් කරමින් සිටින්නේ, අන්තර් පැසිෆික් හවුල්කාරිත්වය වැනි වැඩපිලිවෙලවල් හා එවැනි තවත් පියවර තුලින්, ඇමරිකානු සංගතවල ඒකාධිකාරී තත්වය සුරක්ෂිත කිරීමේ අරමුන සහිත, අනෙකා බැහැර කරන ගිවිසුම් ඇතිකර ගැනීමටය. ඔබාමා පවසා ඇති ආකාරයට ඇමරිකාව, 21 වන සියවසේ වෙලඳාම හා ආයෝජනය සඳහා ගෝලීය නියමයන් කෙටුම්පත් කල යුතුය.

පශ්චාත් යුද්ධ කාලපරිච්ඡේදයේ ඇමරිකානු බලපෑම ක්ෂනික ආර්ථික එල්ලයන්ට සීමා නොවීය. එහි සියලු අසාමාන්‍ය අංග ලක්ෂන තිබියදී වුවත් ඇමරිකානු සමාජය, දශක ගනන් පැවති යුද්ධ, ෆැසිස්ට්වාදය හා මිලිටරි රූපාකාරයන් සහිත පාලනයන් සමග ආර්ථික ව්‍යසනයෙන් ද බැටකා තිබුනු සමස්ත ලෝකයටම පිලිගැන්වීම සඳහා යමක් තිබුනු බව පෙන්නුම් කලේය.

යලිදු වත්මන් තත්වය හා සමග ගත් කල මෙම වෙනස, ඊටත් වඩා නරක් විය නොහැකි තැනකට පත්ව ඇත. වරෙක අවශේෂ ලෝකයේ පහන්තරුව ලෙස සලකන ලද ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, එහි පූර්ව විකට රූපය අහිමිකරගෙන, මූල්‍ය හා සංගත ප‍්‍රභූවේ ආඥාදායකත්වය ලෙස පෙනී සිටීම තවදුරටත් වසං කල නොහැකිය.

සමාජ තත්වයන් සංලක්ෂිත වන්නේ, අග හිඟකම හා රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය මගිනි. එය දිනපතා සිදුවන පොලිස් ඝාතන තුල නොඅඩුව පිලිබිඹු වේ. ඇමරිකාව සිරගෙවල් තුල ලගින වැඩිම දෙනා සිටින රටයි. වරෙක ඉහලම වැටුප් ගෙවන ලද ඇමරිකානු කාර්මික ආර්ථිකයේ මධ්‍යස්ථානය බවට පත්ව තිබූ ඩෙට්‍රොයිට්හි ජල සැපයුම කපාහැර ඇත. ඇමරිකානු ආන්ඩුව ලෝකය පුරා ද තම රටේම ජනතාවට ද එරෙහිව ඔත්තු බැලීම් හා වධ බන්ධන, පැහැරගෙන යාම් හා ඝාතන සිදුකරයි. සිදුකරන අපරාධ පිලිබඳව වගවීමට ලක් කල නොහැකි අපරාධකරුවන් විසින් එරට පාලනය කරයි.

1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීම හා තම ගෝලීය එදිරිවාදියා දර්ශනපථයෙන් ඉවත්වීම හමුවේ ඇමරිකානු පාලක පන්තිය, තමන්ගේ ආර්ථික තත්වය දරුනු ලෙස දුබලවී තිබුන තතු හමුවේ -1987 කොටස් වෙලඳපොල බිඳවැටීම එලඹීමට නියමිත දේ පිලිබඳ නිමිත්තක් විය- ඇමරිකානු ආධිපත්‍යය මිලිටරි බලය මතින් හැර පවත්වාගෙන යා නොහැකිය යන අදහසට එලඹ ගත්තේය.

“බලයේ න්‍යාය” ගැන පලවූ තවත් ප‍්‍රකාශයක් ප‍්‍රතික්ෂේප කරමින් ෆෙඩි‍්‍රක් එංගලස් මීට පෙර පැහැදිලි කර ඇත්තේ, කර්මාන්තයේ, නය හා වෙලඳාමේ දියුනුව යන, ආර්ථික වර්ධනය පිලිබඳ සංකල්පය හා ඒවායින් මතුව ආ ප‍්‍රතිවිරෝධයන් “ක‍්‍රප් තුවක්කු හා මවුසර් රයිෆල්” යොදාගෙන “සුන්කර දැමිය” හැකිය යන්න මිත්‍යාවක් බවය.

ඇමරිකානු විදෙස් පිලිවෙතේ පසුගිය 25 වසර පුරාවට, මුසාවාද මත පදනම්වූ ආක‍්‍රමන හා පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් සමග අත්වැල් බැඳගෙන මිසයිල් හා ඩ්‍රෝන් යානා යොදාගැනීම තුලින් ඇතිවී තිබෙන්නේ, එකකට පසුව තවෙකක් වශයෙන් පැමිනි ව්‍යසනයන්ය.

දැන්, අනෙකුත් ලොකු කුඩා ධනපති බලවතුන්, ඇමරිකානු හඬට නැමීම ව්‍යසනය කරා නොවරදින මාවත බව අවබෝධ කර ගැනීමත් සමග, ශාපය ආපසු වැදෙන්නට පටන්ගෙන ඇත. ආසියාවේ යටිතල ව්‍යුහ ආයෝජන බැංකුවට එක්වීමට ඔවුන් ගත් තීරනයේ ඓතිහාසික වැදගත්කම එයයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය කෙසේ ප‍්‍රතිචාර දක්වනු ඇත් ද? සිය මිලිටරි ප‍්‍රකෝපකරන උත්සන්න කිරීම, ලෝකය යලි වතාවක් යුද්ධයකට ඇද දැමීම මගින්ය.

1920 ගනන්වල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නැගීම ප‍්‍රස්ථාරගත කරමින් ලියොන් ට්‍රොට්ස්කි, අර්බුදයේ අවධියකදී එරට ආධිපත්‍යය ක‍්‍රියාත්මක වනු ඇත්තේ, “උත්පාත අවධියකදී මෙන් නොව වඩාත් විවෘතව හා වඩාත් නිර්දය ලෙස” බවත්, සිය ප‍්‍රතිවාදීන්ගේ වියදමෙන්, අවශ්‍ය නම් යුද්ධය මාධ්‍ය කරගෙන හෝ, තම දුෂ්කරතාවන්ගෙන් ද ව්‍යාධීන්ගෙන් ද මිදීම සඳහා උත්සාහ දරනු ඇති බවත් සඳහන් කලේය.

කෙසේ වෙතත්, අවසාන විග‍්‍රහයේදී තීරනාත්මක වන, තවත් දෙයක් ඇත. එනම්, පෙර දිනයේ සිදුවීම් මගින් බලගතු ලෙස ප‍්‍රකාශිතවූ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික පරිහානිය පිලිබඳ කාරනයයි.

ඇමරිකාවේ හොඳම කාලය එලඹෙනු ඇත්තේ ඉදිරියේදී යයි ඇඟවුම් කල, එරට අඛන්ඩව නැගෙන බලවතෙක්ය යන අදහස මගින්, දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු කම්කරු පන්තිය නොමග යවනු ලැබ තිබුනි. දැන්, යථාර්තය වඩ වඩාත් දැඩි වන බලයක් සහිතව පෙරලා සියරට පැමිනෙමින් තිබේ.

සිදුවීම් විසින්, අතීතයේ පැවති මිත්‍යාවන් කුඩුපට්ටම් කරමින් ද ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටන තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගීීමේ කොන්දේසි නිර්මානය කරමින් ද ඇමරිකානු කම්කරු පන්තිය විප්ලවවාදී අරගල වලට ඇද දමනු ඇත.

නික් බීම්ස්

Share this article: