ලංකාවේ පාර්ලිමේන්තුව එජා මන්ඩලයේ “ත්‍රස්ත-විරෝධී” නීති සම්මත කරයි

කවීශ හේරත් විසිනි, 2015 අප්‍රේල් 2

මාර්තු 18 දින ලංකාවේ පාර්ලිමේන්තුව, එක්සත් ජාතීන්ගේ (එජා) ආරක්ෂක මන්ඩලය සම්මත කල 1373 සහ 1267 යන ත‍්‍රස්ත විරෝධී යෝජනාවලට අදාල රෙගුලාසි ඒකච්ඡන්දයෙන් සම්මත කලේය. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය පක්ෂ පෙල ගැසුනේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂය (එජාපය) ප‍්‍රමුඛ ආන්ඩුව ගෙනයන ඇමෙරිකානු ගැති විදේශ ප‍්‍රතිපත්තියට ප‍්‍රසංශා කරමිනි. මන්තී‍්‍රන්ගේ වර්නනාවට විශේෂයෙන් ලක්වූයේ, විදේශ ඇමති මංගල සමරවීරගේ අධිරාජ්‍ය ගැති වැඩපිලිවෙලයි.

එජා ආරක්ෂක මන්ඩලයේ 1373 යෝජනාව සම්මත කලේ 2001 සැප්තැම්බර් 11 නිව් යෝක් නගරයට ප‍්‍රහාරය එල්ලවීමෙන් පසුවය. අංක 1267 දරන යෝජනාව 1999 දී සම්මත කෙරුනේ තලේබාන් සංවිධානය ඉලක්ක කර ගෙනය. එජා ප‍්‍රඥප්තීන් අනුව එහි සාමාජිකයන් තම රටවල මෙම යෝජනා අනුව රෙගුලාසි පැනවීමට බැඳී සිටී.

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයට එරෙහිව කි‍්‍රයා කිරීමේ පියවරයන් හා මූලෝපායන් සැකසීම 1373 යෝජනාවෙන් සිදු කෙරෙන බව ප‍්‍රකාශ විය. යෝජනා දෙකෙන්ම අල්කයිඩා හා තලේබාන් සංවිධානවලට මුදල් සැපයීම තහනම් කිරීම හා ඊට වරදකරුවන් වන සංවිධානවලට හා පුද්ගලයන්ට දඬුවම් කිරීම ප‍්‍රකාශයට පත්විය. 2012 දී මෙම යෝජනා ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කල අතර මාර්තු 18 දා සිදු කලේ ඒවාට අදාල පසුකාලීන සංශෝධන ද සහිතව නිකුත් කල ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවේ අනුමැතියට විදේශ ඇමතිවරයා විසින් යලි ඉදිරිපත් කිරීමයි.

මෙම ප‍්‍රතිගාමී නීතීන් ඇමෙරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් තමාගේ භූ දේශපාලනික අවශ්‍යතා ඉෂ්ට කරගැනීමට යොදා ගන්නා සැටි ඔප්පුවී ඇත්තේ ඉරාකය හා ඇෆ්ඝනිස්තානය ආක‍්‍රමනය කිරීමෙන් හා එක දිගටම මැදපෙරදිග හා අනෙකුත් කලාපවල කෙරෙන මිලිටරි මැදිහත්වීමවලින් ලක්ෂ සංඛ්‍යාත ජනයා ඝාතනයට ලක් කිරීමෙනි. අල්කයිඩා හා තලේබාන් ඇතුළු බොහෝ සංවිධාන සීඅයිඒ විසින් හදාවඩා ගත් ඇමරිකාවේ භූ දේශපාලන අවශ්‍යතා මත ය. අල් කයිඩා හා තලේබාන් සංවිධාන ඇෆ්ගන් සෝවියට් යුද්ධයේදී ඇමෙරිකාව විසින් ගොඩනගන ලද්දේ සෝවියට් සංගමයට එරෙහිවය, අයිඑස්අයිඑස් සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද්ට එරෙහිව ගොඩනගන ලද්දක් විය.

මෙම නීති ලංකාව තුල සම්මත කිරීම, ලංකාව වැනි අඩු දියනු ධනපති රටවල පාලක පන්තීන්ට අධිරාජ්‍යවාදයේ එහෙයියන් ලෙස කටයුතු කරනවා හැරෙන්නට ස්වාධීන කි‍්‍රයා කලාපයක් ඉෂ්ට කිරීමට අසමත් බව තහවුරු කල තවත් අවස්ථාවකි. මෙම රටවල පාලක පන්තීන් හා ආන්ඩු කලේ මහා බලවතුන් පිටුපස ගාල්වී එම යුද්ධ වලට සහාය දීම හා තමන්ගේ රටවල විරුද්ධවාදී කන්ඩායම්වලට එරෙහි මර්දනය උග‍්‍ර කිරීමයි. ලංකාව තුල එල්ටීටීඊයට එරෙහි යුද්ධය තීව‍්‍ර කිරීමට මේ හංවඩුවම යොදා ගැනිනි.

පෙර පැවති රාජපක්ෂ ආන්ඩුවට ත‍්‍රස්තවාදයට සම්බන්ධ යයි පවසා විවිධ සංවිධාන හා පුද්ලයන් ගැසට් මගින් හංවඩු ගැසීමට ගිය වසරේ පියවර ගත්තේ මේ එජා නීතිවලට මුවාවීගෙනය. එසේ යම් සංවිධානයක් හෝ පුද්ගලයෙකු ගැසැට් පත‍්‍රයේ නම් කිරීමට පෙර ඒවාට සාධාරන හේතු දැක්වීමක් හෝ කල නොහැකිය. රාජපක්ෂගේ එල්ලය වූයේ දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සීමේ තවත් අවියක් ලෙස මෙම තහනම යොදා ගැනීමයි.

විදේශ ඇමති සමරවීර පැවසුවේ පසුගිය රජය මෙම නීති පදනම් කර 2014 දී ආයතන 16 හා පුද්ගලයන් 427 ත‍්‍රස්තවාදයට සම්බන්ධ ලෙස දක්වා තහනම් කර තිබුනත් තමන් අසාධාරන ලෙස තහනමට ලක්වූ සංවිධාන සහ පුද්ගලයන් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කි‍්‍රයා කරන බවයි. ලංකාවේ ආන්ඩුවේ අලුත් හෙයියන්මාරුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය කැක්කුමකින් කරන එකක් නොව දෙමල ධනපති පක්ෂ සමග සන්ධානයකින් සිංහල දෙමල මුස්ලිම් කම්කරුවන්ට විරුද්ධව නව පෙල ගැස්මක් ඇති කර ගැනීමේ තැතක් මෙන්ම විදේශ ගත දෙමල ධනපතියන් ලංකාවේ ආයෝජන සඳහා හවුල් කරගැනීමේ උත්සාහයකි.

නව සංශෝධන සහිත ගැසට් පත‍්‍රය එකාවන්ව අනුමත කිරීමෙන් ලංකාවේ ධනපති පක්ෂ ඉඳහිට දෙසාබාන අධිරාජ්‍ය විරෝධයේ සළුපිලි උනා වැටුනි. වාසුදේව නානායක්කාර අත එසවූයේ ”අධිරාජ්‍ය බලයට අපි යටත් වෙන්න ඕන නෑ” යයි හීන් කෙඳිරියක් නගමිනි.

යෝජනාව පිලිබඳ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මන්තී‍්‍රවරයකු වන සුනිල් හඳුන්නෙත්ති ආන්ඩුවේ විදේශ පිලිවෙත ගැන උද්දාමය ප‍්‍රකාශ කලේ මෙසේය: “විදේශ ඇමතිවරයාට අපි සුබ පතනවා. ඔහු තම ධුරයේ වගකීම නිසි ලෙස අවබෝධ කරගෙන ඇති බවක් පෙනෙන්ට තිබෙනවා. දැන් විදේශ ප‍්‍රතිපත්තියේ යම් සම තුලිත බවක් පෙනෙන්ට තිබෙනවා. එය ප‍්‍රසංශනීයයි. ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධානවල ක‍්‍රියාකාරිත්වය පාලනය කිරීමටයි මෙම රෙගුලාසි පනවා ඇත්තේ, ඒ ගැන අපට විරුද්ධත්වයක් නැහැ.”

හඳුන්නෙත්ති සඳහන් කරන විදේශ ප‍්‍රතිපත්තියේ ඊනියා තුලනය නම් 2015 ජනවාරි ජනාධිපතිවරනයේ දී ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීමෙන් ජනාධිපති සිරිසේන බලයට පත්වීම මගින් සිදුවුනු තන්ත‍්‍ර මාරුවත් සමග ඇතිවී තිබෙන වෙනසයි. තන්ත‍්‍ර මාරුවේ එල්ලය වූයේ රාජපක්ෂ ආන්ඩුව බෙයිජිනය හා වොෂින්ටනය අතර තුලනය වෙමින් ගෙනගිය ප‍්‍රතිපත්තිය වෙනස් කර ආසියාවට හැරීමේ ඇමරිකානු පිලිවෙත තුල ලංකාව ස්ථිරව පිහිටුවා ගැනීමයි. ත‍්‍රස්තවාදයට විරුද්ධවයයි ඇෆ්ඝනිස්ථානයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කරන විට බුෂ් පාලන තන්ත‍්‍රයට ජවිපෙ ප‍්‍රසංශාව පල කලේ 2001 තරම් ඈතදීය. දැන් ජවිපෙ ආන්ඩුවේ ඉහල උපදේශක සභාව වන ජාතික විධායක සභාවේ සාමාජිකයෙකි.

ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුනසේකර මන්තී‍්‍ර සම්මාදම් වුයේ “අද ගෝලීය ත‍්‍රස්තවාදය වෙනස් මගක ගමන් කරනවා. මේ තත්වයත් අප අවබෝධ කරගෙන සිටීම වැදගත්. අද අයිඑස්අයිඑස් ගරිල්ලන්ගේ ප‍්‍රශ්නය බරපතල ගැටලුවක් යයි” පවසමිනි. අයිඑස්අයිඑස් තර කිරීමට ඇමරිකාවේ දායකත්වය මෙන්ම ඊට එරෙහි යුද්ධය නමින් එහි මිලිටරි මැදිහත්වීමේ ප‍්‍රතිගාමී උවමනාකම් ද ගුනසේකර වහංගු කලේය.

ගුනසේකරගේ පහත ප‍්‍රකාශය ඔහුගේ හා ධනේශ්වරයේ කඳවුරේ පැලපදියම් වූ පක්ෂවල දේශපාලනය පිලිබඳව කැඩපතකි: “අද ලෝකයේ න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කරන යෝධයන් දහයක් පමන ඇත. එනිසා නිරන්තර භීතියක් ඇති හෙයින් ලෝක නායකයෝ තව දුරටත් ලෝක යුද්ධවලට යාමට පැකිලෙති. මේ නිසයි අපට ලෝකයේ සාමය තියෙන්නෙ.”

ලංකාවේ දේශපාලන සංස්ථාපිතයට හා රාජ්‍යයට ගැතිකමෙන් පාරාජිකා වී සිටින කොමියුනිස්ට් පක්ෂය හා ගුනසේකර ලෝක ධනවාදී පද්ධතිය සදාකාලීනව පවතින බවට ද ලෝක යුද්ධයකට නම් ඉඩ නැති බවට ද සහතික වෙයි. මෙම වෙට්ට පිත්තල ස්ටැලින්වාදියා කියන සාමය මේ ග‍්‍රහ ලෝකයේ කොතැනක වත් නැත. අධිරාජ්‍යවාදී රටවල් යලි ලෝක යුද්ධයකට මානව වර්ගයා ඇද ගෙනයමින් සිටියි. ඊට හේතුව, තමන් මුහනදෙන ආර්ථික අර්බුදය නිසා මානව හා ස්වභාවික සම්පත් ද වෙලඳ පොලවල් ද කොල්ලකෑමට යලි හැරී සිටින නිසා ය.

ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියේ වෙනසින් ලංකාවේ ධනපති පන්තියේ සියලු කොටස් දැන් පෙල ගැසී සිටින්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනයට එරෙහිව සුදානම් කරන යුද සුදානම සමගය. මෙය ලංකාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියට ඉමහත්ම අන්තරායකාරී ප‍්‍රතිපත්තියකි.

Share this article: