සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර උද්ඝෝෂනය

සිඞ්නි විශ්විද්‍යාලය සසප යුද විරෝධී රැස්වීම තහනම් කරයි

Sydney University blocks SEP’s anti-war meeting

ඔස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂය විසිනි ,2015 අප්‍රේල් 18

අධ්‍යාපනයෙහිලා රටේ පැරනිම හා කීර්තිමත් ආයතනයක් වන සිඩ්නි විශ්ව විද්‍යාලය, "ඇන්සැක් දිනය, මිලිටරිවාදය හුවාදැක්වීම හා තුන්වන ලෝක යුද්ධය කරා තල්ලුව” යන මැයෙන් අපේ‍්‍රල් 26දාට පැවැත්වීමට නියමිතව තිබුනු යුද විරෝධී රැස්වීම තහනම් කිරීම මගින්, ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කල පෙර නොවූ විරූ ප‍්‍රහාරයට 17දා එකතු විය.

සසප රැස්වීම වනාහි, ධනවාදයටත්, අධිරාජ්‍යවාදී යුද්ධයටත් එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සිය ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය සඳහා, ලෝකය පුරා කම්කරුවන් හා තරුනයින් අතර ගෙන යන උද්ඝෝෂනයක කොටසකි. සියලු කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ, විශ්වවිද්‍යාලය බුද්ධිමය නිදහස වෙනුවෙන් පෙනී සිටින බවට කරන ප‍්‍රකාශ විකාරයක් බවට පත්කරමින් සසප රැස්වීම තහනම් කිරීමේ එහි තීරනය ට විරුද්ධ වන ලෙසය.

"ප‍්‍රදේශවාසීන්ගේ පැමිනිලි” ගැන සඳහන් කර, තමන් ගත් පියවර යුක්තිසහගත කරමින්, සිඩ්නි නුවර බර්වුඩ් නගර සභාව, සසප රැස්වීම් ශාලාව වෙන්කරගැනීම අවලංගු කිරීමට අපේ‍්‍රල් 10දා ගෙන ඇති තීරනය මුලූමනින්ම දේශපාලන වාරනයකි. රැස්වීම කඩාකප්පල් කිරීමට විවෘතව තර්ජනය කරමින් ඉදිරිපත් කර තිබෙන "පැමිනිලි” වල සැබෑ මූලය, "ඕස්ටේ‍්‍රලියාව යලි අත්කර ගනිමු” යන අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරය සමග සම්බන්ධකම් ඇති "ශ්‍රේෂ්ඨ ඕස්ටේ‍්‍රලියානු දේශපේ‍්‍රමියා” යන ෆේස් බුක් පිටුවේ ආධාරකරුවන්ය.

සසප ඉල්ලූම් පත‍්‍රය, ශාලා වෙන්කිරීමේ කාර්යාලය තුල දින ගනනාවක් රඳවාගෙන සිටි සිඩ්නි විශ්වවිද්‍යාලය 19දා, සවස 4ට පක්ෂය ඇමතීය. එහි ප‍්‍රකාශකයෙක් පැවසුවේ, "මෙම සිද්ධිය නිසා විශ්වවිද්‍යාල පරිස‍්‍රයේ කටයුතු වලට බාධාවක් විය හැකි” බැවින් වෙන්කිරීම අවලංගු කල බවය. එහෙත් ඔහු විශ්වවිද්‍යාලයේ ආරක්ෂක විධිවිධාන ගැන කිසිවක් පැවසීම ප‍්‍රතික්ෂේප කලේය.

රැස්වීම කඩාකප්පල් "විය හැකි” බවට කල අවධාරනය සසප රැස්වීම් ශාලාවට පිවිසීම තහනම් කිරීමේ හේතුව ලෙස දැක්වේ. මෙහි අර්ථය "ඕස්ටේ‍්‍රලියාව යලි අත්කර ගනිමු” හෝ වෙනත් නම් නොකල යුදවාදී කන්ඩායමකට, සසප රැස්වීම හා ඔවුන් තර්ජනය කිරීමට තෝරාගත් වෙනත් දේශපාලන රැස්වීම් කෙරෙහි නිෂේධ බලය පවරා දී ඇතැයි යන්නය.

තව දුරටත් ප‍්‍රශ්න කිරීමේදී සිඞ්නි විශ්වවිද්‍යාල නිලධාරියා පැවසුවේ, සසප ඉල්ලූම් පත ප‍්‍රතික්ෂේප කිරීමේ තීරනය, "විශ්වවිද්‍යාල සංවිධානය තුල පුලූල් ලෙස අදහස් විමසීමේ හා විශ්ව විද්‍යාලයේ නියමිත සෑම මට්ටමකම සිදුකල සාකච්ඡාවන්හි ප‍්‍රතිපලය” බවයි.

ඒසා දුර දිග යන ඇඟවුම් සහිත තීරනයක්, වැසූ දොරවල් පිටුපස සිට ගැනීමට ඉඩ දිය නොහැකිය. පූර්න හා ප‍්‍රසිද්ධ හෙලිදරව්වක් සඳහා සසප ජාත්‍යන්තරව කම්කරුවන් හා තරුනයින් කැඳවුම් කරන අතර ඒ සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටියි. කුමන සාකච්ඡා පැවැත්වුනේ ද? ඊට සහභාගී වූවෝ කවරහු ද? පොලිසිය හෝ ඔත්තු සේවා ආයතන සම්බන්ධ වී ද? ඇබට් ආන්ඩුව හෝ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත ආන්ඩුව විමසා ඇත් ද? යනාදි වශයෙනි.

රැස්වීම තහනම් කිරීම ගැන විශ්ව විද්‍යාල ඉහල තැන්වල සාකච්ඡා කෙරුනු බව පිලිගැනීම, මෙවන් දේශපාලන වාරනයක් සඳහා දේශපාලන හා රාජ්‍ය සංස්ථාපිතයේ ඉහල මට්ටමේ මැදිහත්වීමක් තිබූ බව හෙලි කරයි. මෙය සිදුව ඇත්තේ, 1915 අපේ‍්‍රල් 25දා ගැලිපෝලි අර්ධද්වීපයට ඕස්ටේ‍්‍රලියානු හා නවසීලන්ත හමුදා (ඇන්සැක්) ගොඩබැසීමේ ශත සංවත්සර "සැමරුම” සමග අත්වැල් බැඳගත් යුදවාදී මහා ප‍්‍රචාරයක කොන්දේසි යටතේය. ආන්ඩුවේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන යුද්ධය හුවාදැක්වීමේ ව්‍යායාමය පලූදු කෙරෙන කිසිවක් හෝ, කම්කරු පන්තිය තුල පුලුල් හා ගැඹුරෙන් දැනෙන යුද විරෝධී මනෝ භාවය ප‍්‍රකාශ වීමේ තැනක් සඳහා කිසිසේත්ම ඉඩ දිය නොහැකිය යන්න දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය සැලකිල්ලට ගන්නා ප‍්‍රමුඛ කාරනයයි.

පලමු ලෝක යුද්ධය තුල ඕස්ටේ‍්‍රලියාවේ මැදිහත්වීම උත්කර්ෂයට නංවන සැමරුමේ අරමුන, නව මිලිටරි මැදිහත්වීම් සඳහා මහජන මතය සූදානම් කිරීම ද යුද විරෝධී විපක්ෂය මැඬීම ද වේ. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකාව මෙහෙයවූ සාපරාධී ආක‍්‍රමනයන්හි කොටස්කරුවෙකු වූ ඕස්ටේ‍්‍රලියානු අධිරාජ්‍යවාදය, වොෂින්ටනයේ "ආසියාවට හැරීම” හා චීනයට එරෙහි යුද සැලසුම්වල තීරනාත්මක පුරුකකි.

ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ ඕස්ටේ‍්‍රලියාවේ තත්වය, ලෝකය වටා පවතින තත්වයේ සමාන්තරයකි. ධනපති පාලක පන්තීන්, වැඩකරන ජනතාවගේ කිසිදු සමාජ අවශ්‍යතාවක් සපුරාලීමට අසමත්වන අතර යලි වතාවක් සූදානම් වන්නේ, සම්පත්, වෙලඳපොලවල් හා ලාභ මූලාශ‍්‍රයන් මුල්කරගත් විනාශකාරී යුද්ධයකටය. දේශපාලනිකව හුදෙකලාවූ ද මහජන විරෝධය කෙරේ බියෙන් ද පසුවන ඔවුන්ගේ ප‍්‍රතිචාරය වන්නේ, ජාතිකවාදය උසිගැන්වීම, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කටුගා දැමීම හා පෙර නොවූ විරූ ආකාරයෙන් නග්න ලෙස පොලිස්-රාජ්‍ය මර්දනය යොදාගැනීමය.

ඉතිහාසය යලි ලිවීමේ ද සිය අතීත යුද අපරාධ සුජාත කිරීමේ ද නිරත වෙමින් ජර්මනිය හා ජපානය යන බලවතුන් දෙදෙනාම, යලි මිලිටරි ශක්තිය ගොඩනගමින් සිටියි. කම්කරු පන්තිය බෙදීම පිනිස, යුරෝපය පුරා ස්වෝත්තමවාදී හා බෙදුම්වාදී ප‍්‍රවනතා දිරිමත් කෙරේ. ප්‍රෝඩාකාරී "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙන් ඔබාමා පාලනය විසින් ගෙනයනු ලබන සාපරාධී යුද්ධ හා ඇමරිකාව පුරා කම්කරුවන් හා තරුනයින්ගේ වඩාත්ම පීඩිත හා සූරාකෑමට ගොදුරුවී සිටින කොටස් වලට එරෙහිව පොලිස් ප‍්‍රචන්ඩත්වය යොදාගැනීම සුජාත කිරීම පිනිස නිමක් නැතිව ඇමරිකානු ජාතිකවාදය ඔජවඩවයි.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට හා යුද්ධය ද ආඥාදායකත්වය ද වැලැක්වීමට සමත් එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. දේශපාලන වාරනයට එරෙහිව සසප ගෙනයන උද්ඝෝෂනය තුල යලි වතාවක් පෙන්නුම් කර ඇත්තේ මෙම සත්‍යයයි. ඕස්ටේ‍්‍රලියාවේ හා ලෝකය පුරා කම්කරුවන් බර්වුඞ් පාලන සභාව සිය රැස්වීම් තහනම ඉවත් කල යුතු යයි ඉල්ලා සිටින අතර ඔස්ටේ‍්‍රලියාවේ දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය තුල පවතින්නේ නිහඬතාවකි.

අද දක්වාම එකදු මාධ්‍ය ජාලයක් හෝ මෙම ප‍්‍රශ්නය වාර්තා කර නැත. වඩාත් කැපී පෙනෙන කාරනය, ඇන්සැක් ශත සංවත්සරයේ සෑම කාරනයකදීම පූර්න මාධ්‍ය ආවරනය සපයන රජය සතු ඕස්ටේ‍්‍රලියානු ගුවන්විදුලි සංස්ථාව (ඒබීසී) පවත්වාගෙන යන නිහඬතාවයි. වෘත්තීය සමිති, හරිතයින්, සමාජවාදී සන්ධානය හා සමාජවාදී විකල්පය වැනි ව්‍යාජ වාම සංවිධාන මෙම වාරනය හෙලා දැකීමට හා රැස්වීම පැවැත්වීමට සසප සතු අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට අසමත්ව ඇත. ඔවුන් ජාතිකවාදයේ කරවටක් ගිලී සිටින අතර ලාභ පද්ධතියේ සේවකයින් ලෙස ද අධිරාජ්‍යවාදී යුද්ධය දෙසට වන තල්ලුව සමග ද සෘජුවම ගැටගැසී ඇත.

ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියේ තීරනාත්මක වැදගත්කම ගලා එන්නේ, යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය බලමුලූ ගැන්වීමට සටන් කරන ලෝකයේ ඇති එකම දේශපාලන ව්‍යාපාරය ජාත්‍යන්තර කමිටුවය යන කාරනයෙනි. අපේ‍්‍රල් 13දා ලෝසවෙඅ පලකල ඉදිරිදර්ශන ලිපිය තුල ජාත්‍යන්තර කමිටුව මෙසේ ප‍්‍රකාශ කලේය. "දැන් හැරිය යුත්තේ, සියලූ ජාතිකවාදී, වාර්ගික හා ප‍්‍රාදේශීය බෙදුම්කඩනයන්ට ඔබ්බෙන් කම්කරු පන්තියේ එකමුතුව දෙසටය. සෑම රටකදීම මතුවන්නේ එකම මූලික ප‍්‍රශ්නයකි. එනම්, විප්ලවවාදී, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලූ ගැන්වීමයි. අන්තර්ජාල රැලිය සඳහා ලියාපදිංචි වීමට මෙහි මෙහි ක්ලික් කරන්න.

අපේ‍්‍රල් 26දා පැවැත්වීමට නියමිතව තිබුනු සසප රැස්වීම සඳහා සිඞ්නි විශ්වවිද්‍යාලයේ ශාලාව කුලියට ගැනීම ප‍්‍රතික්ෂේප කිරීමේ සිය තීන්දුව අස්කරගන්නා ලෙස ඉල්ලන විරෝධතා ලිපි යවන ලෙස සසප සියලූ දෙනාගෙන් ඉල්ලා සිටියි. ලිපි යැවිය යුත්තේ, විශ්වවිද්‍යාලයේ විධායක තීන්දු ගැනීම පිලිබඳ වගකීම දරන උප කුලපති හා අධිපති ආචාර්ය මයිකල් ස්පෙන්ස් වෙතය. vice.chancellor@sydney.edu.au කරුනාකර සියලූ විද්‍යුත් තැපැල් පත් සසප වෙත ද යොමු කරන්න. ( sep@sep.org.au.)

බර්වුඞ් සභාව සිය ශාලා තහනම ඉවත් කල යුතු යයි සසප දිගටම අවධාරනය කරයි. ලෝසවෙඅ පාඨකයින් හා ආධාරකරුවන් තම විද්‍යුත් තැපැල්පත්, බර්වුඞ් සභාවේ ලේබර් පක්ෂ නගරාධිපති හා සභික ජෝන් ෆෙකර් වෙත mayor@burwood.nsw.gov.au යන ලිපිනයට ද බර්වුඞ් සභාවේ කලමනාකරනයට council@burwood.nsw.gov.au යන ලිපිනයට ද යැවිය යුතුය. වත්මන් බර්වුඞ් සභිකයින් හත්දෙනාගේම විද්‍යුත් තැපැල් ලිපින මෙහි දැකිය හැක.

කරුනාකර විෂය පිලිබඳ කොටසේ "විරෝධතාව” යනුවෙන් සඳහන් කර සියලූ විද්‍යුත් තැපැල් පිටපත් සසප වෙත sep@sep.org.au. යන ලිපිනයට යොමු කරන්න.

අපේ‍්‍රල් 26දා රැස්වීම පැවැත්වෙන ස්ථානය තහවුරු වූ විගසම සසප ලෝසවෙඅ හා සසප වෙබ් අඩවිය වන www.sep.org.au. හි නිවේදනය කරනු ඇත.

පහත දැක්වෙන සියක් වසරකට පෙර යන ලිපිය ද මෙයට ඈඳියක් ලෙස යොදාගත යුතුය.

වසර 100ට පෙර: මිත‍්‍ර පාක්ෂික හමුදා තුර්කියේ ගැලිපෝලි වෙත සිදුකල ව්‍යසනකාරී ගොඩබැසීම අරඹයි

හමුදාවෝ ඇන්සැක් වරායට ගොඩබැසීමට පෙර 1915 අපේ‍්‍රල් 25දා බි‍්‍රතාන්‍ය, ඔස්ටේ‍්‍රලියා හා නවසීලන්ත හමුදා, තුර්කියේ ගැලිපෝලි අර්ධද්වීපයට ගොඩබැස්ස අතර, ගැලිපෝලි මෙහෙයුම ලෙස ප‍්‍රකටව ඇති ගොඩබිම් ආක‍්‍රමනය ආරම්භ කලහ.

"නිදහස” හෝ "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” කෙසේ වෙතත් මෙම ගොඩබැසීම, 1914දී පුපුරා ගිය ව්‍යසනකාරී ලෝක යුද්ධය පුලූල් කර පවත්වාගෙන යාමේ අටියෙන් ආසියානු මහාද්වීපය බෝල්කන් ප‍්‍රදේශයෙන් වෙන් කරන පටු සමද්‍ර සන්ධිය වන ඩාඩෙනිලීස් පාලනය සුරක්ෂිත කරගැනීමේ කොල්ලකාරී ව්‍යායාමයෙහි කොටසක් විය. බොස්පෝරස් හා මාමාරා මුහුද ද ඩාඩෙනිලීස් ද කලූ මුහුද මධ්‍යධරනී මුහුදට යා කරයි.

ප‍්‍රථම ලෝක සංග‍්‍රාමයේදී නැගෙනහිර පෙරමුනෙහි ජර්මනිය හා ඔස්ට්‍රෝ හංගේරියාව සමග යුද වැදී සිටියදී සැපයුම් කපාහැරීමකට මුහුනදී සිටි රුසියානු හමුදාවට, ආම්පන්න හා මූනිස්සම් සැපයීම කල හැකිවන පරිදි රුසියානු නාවික හමුදාව වෙත සෘජු මාවතක් විවෘත වීම, ඩාඩිනිලීස්හි බි‍්‍රතාන්‍ය පාලනය පිහිටුවීමේ අරමුනයි. මධ්‍යම බලවතුන් සමග බැඳී සිටි ඔටෝමන් අධිරාජ්‍යයේ හදවතටම තර්ජනය එල්ල කිරීම ද මේ මගින් සිදුවෙයි.

ගැලිපෝලි අර්ධද්වීපයේ තුඩෙහි තැන් ගනනාවකට බි‍්‍රතාන්‍ය හමුදා ගොඩබැස්සෝය. කේප් හෙලීස්හි වෙරල තීර තුනකට ඔවුහු ප‍්‍රතිරෝධයකින් තොරවම ගොඩ බටහ. කෙසේ වුව ද තවත් වෙරල තීර දෙකකදී ඔවුහු තුර්කි හමුදාවේ ප‍්‍රතිරෝධයට මුහුනපෑහ. එක් වෙරලකදී තුර්කි මැෂින් තුවක්කු ප‍්‍රහාරයකට මුහුනපෑ බි‍්‍රතාන්‍ය හමුදා, ගොඩබිමට පා තැබීමට අසමත් වූ අතර මුහුදේදීම මරනයට පත් වූහ. එම දිනය තුල බි‍්‍රතාන්‍යයේ ජීවිත හානි 2000ක් ලෙස ගනන් බලා ඇත.

ඔස්ටේ‍්‍රලියානු හා නවසීලන්ත හමුදා සේනාංක (ඇන්සැක්) 1985දී තුර්කි ආන්ඩුව විසින් ඇන්සැක් වරාය ලෙස යලි නම්කල අර්ධද්වීපයේ එම ඒජියන් නම් ස්ථානයට ගොඩ බැස්සෝය. සැලසුම් කිරීමේ අඩුපාඩු නිසා හමුදා භටයින්ට, වෙරලෙන් ඉවත් විම පිනිස තියුනු කඳු බෑවුම් නැග යාමට සිදු විය. තුර්කි හමුදා ආරම්භක ඇන්සැක් ගමන පසුබැස්සවූහ. දරුනු සටන් සිදුව තිබුනු නමුත් එම පලමු දිනයේදී සිදුවූ ජීවිත හානි කොපමන දැයි හරියටම පැවසීම අපහසු විය. එහෙත් ඇන්සැක් වාර්තා අනුව 900කට වැඩි සංඛ්‍යාවක් මරුමුවට පත්ව ඇත. ඇන්සැක්වරු බෑවුම් සහිත භූමි ප‍්‍රදේශයේ ආරක්ෂක අගල් කැනීමෙහි යෙදුනහ. ඊලඟ මාස අට තුල ඇන්සැක්වරු කුඩා බිම් කොටසකට කොටුවී සිටි අතර සටන ව්‍යසනකාරී යුද්ධයක් බවට පත් විය.

ගැලිපෝලී මෙහෙයුම පුලූල් වශයෙන් දකිනු ලැබුනේ, පලමු ලෝක යුද්ධයේ දරුනු විනාශයන්ගෙන් එකක් ලෙසය. අවසානයේදී බි‍්‍රතාන්‍ය හමුදා 1915 දෙසැම්බර් හා 1916 ජනවාරියේදී අර්ධද්වීපයෙන් ඉවත්කරගනු ලැබිනි. ගැලිපෝලි මෙහෙයුමේදී දෙපාර්ශවයටම ජීවිත හානි දෙලක්ෂයක් සිදුව තිබුනු අතර බොහෝ මිනිසුන් මිය ගියේ බඩ එලියේ යෑමෙන් හා වෙනත් වසංගත වලිනි.

Share this article: