සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුව ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රහාර අරඹයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2015 අප්‍රේල් 2

විරෝධතාවට විශ්ව විද්‍යාල රැසකින් සිසුහු දහස් ගනනක් සහභාගී වූහ

පාසල් තුල මුදල් අයකිරීම නීතිගත කල නව චක්‍රලේඛය අහෝසි කිරීම, පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීම, විවෘත විශ්ව විද්‍යාලයේ සිසු ගැටලුවලට විසඳුම් ලබාදීම ඇතුලු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් මාර්තු 31දා කොලඹ පැවති විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවට, සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුව විසින් එල්ල කල මෘග පොලිස් ප්‍රහාරයෙන් සිසුන් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනි. මීට අමතරව සිසුන් පස් දෙනෙකු අත් අඩංගුවට ගත් පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇප මත මුදා හලේ ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබමය) විසින් සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතාවට විශ්ව විද්‍යාල රැසකින් සිසුහු දහස් ගනනක් සහභාගී වූහ. අගමැති කාර්යාලය තෙක් ගමන් කිරීමේ අරමුන ඇතිව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලින් ඇරඹුන විරෝධතා පාගමන කොල්ලුපිටිය මංසන්ධිය අසලදී කැරලි මර්දන ඒකකය විසින් මාර්ග බාධක යොදා හරස් කරන ලදි. මාර්ග බාධක පෙරලා දමමින් සිසුන් ඉදිරියට යාමට ගත් උත්සාහයේදී පොලීසිය විසින් ජලවිදින සහ කඳුලු ගෑස් යොදාගනිමින් සිසුන් විසුරුවා හැරීමට කටයුතු කලේ ය.

පොලීසිය යොදවා පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම්වලින් එම මර්දනය සමන්විත විය.

2005 වසරේ බලයට පත් මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ විශ්ව විද්‍යාල ඇතුලු සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුලම දිගින් දිගටම සිදු කෙරුනු කප්පාදු පියවරයන්ට එරෙහිව සිසුන්ගෙන් මතු වූ විරෝධතාවන් රුදුරු ලෙස මර්දනය කරන ලදි. පන්ති තහනම් කිරීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, පොලීසිය යොදවා පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම්වලින් එම මර්දනය සමන්විත විය.

එක්සත් ජනපදයේ පිටුබලය ලත් තන්ත්‍ර මාරුවකින් පසුගිය ජනවාරි 8 දා බලයටපත් සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුව, බලයට පත්ව මාස තුනකටත් අඩු කාලයක් තුලදී රාජපක්ෂට නොදෙවෙනි ප්‍රහාරයක් සිසුන්ට එරෙහිව මුදාහැරීමෙන් පෙන්නුම් කර ඇත්තේ ඉදිරි කාලයේදී කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව එල්ල කිරීමට නියමිත ප්‍රහාරයේ පරිමාව යි.

ලොව පුරා පාලක පන්තීන් මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය අභිමුව සෑම රටකම අධ්‍යාපනය ඇතුලු සුබසාධනයට රජයෙන් වෙන් කෙරෙන කොටස සීඝ්‍රයෙන් පහල දැමෙමින් තිබේ. එම ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුවට ද කප්පාදුව සහ එයට එරෙහි වෙන කම්කරුවන්, සිසුන් සහ පීඩිතයන්ට එරෙහිව බලගතු මර්දනය මුදාහැරීම හැර අන් විකල්පයක් නැත. 2009 දී දල ජාතික නිපැයුමෙන් සියයට 9.9ක්ව තිබූ අයවැය පරතරය රාජපක්ෂ ආන්ඩුව යටතේ සියයට 5.8 දක්වා අඩුකරනු ලැබූ අතර මේ වසර අවසන් වන විට එය සියයට 4.4 දක්වා පහල දමාගැනීම සිරිසේන ආන්ඩුවේ ඉලක්කය යි.

රාජපක්ෂ ආන්ඩුව ඉහල පොලී අනුපාතික යටතේ චීනයෙන් ලබාගත් නය ආපසු ගෙවීම සඳහා යැයි පවසමින් සිරිසේන ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඉල්ලා සිටි ඇ.ඩො. බිලියන 4ක සහන නය මුදල ලබාදීම ජාමූඅ විසින් ප්‍රතික්ෂේප කරනු ලදි. ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාමූඅ සිරිසේන ආන්ඩුවට කරන ලද නිර්දේශය වූයේ, මැතිවරන වාසි බලාපොරොත්තුවෙන් සිදුකල වැටුප් වැඩි කිරීම් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගේ මිල අඩුකිරීම් නතර කොට ඉහත සඳහන් කප්පාදු මගින් අයවැය පරතරය පහල දමාගැනීමට උත්සුකවීම යි. බලයට පත්වී ඉතා කෙටි කලක් තුලදීම සිසුන්ට එරෙහි මෙවන් ප්‍රහාරයකට ගමන් කිරීම පිටුපසින් පවතින්නේ එම උත්සුකය යි.

අත්සන්කල පසු කප්පාදු කල මහපොල ආධාර ලේඛනය

ඊනියා දූෂනය වැලැක්වීමේ කඩතුරාවට මුවා වෙමින් රජයේ පාසල් තුල මුදල් අය කිරීම නීතිගත කරමින් "පාසල් තුල අවිධිමත් අයුරින් මුදල් එකතු කිරීම තහනම් කිරීම" යන තේමාව යටතේ ගෙන ආ නව චක්‍රලේඛයෙන් වත්මන් ආන්ඩුව තම ප්‍රහාරයට ඇරඹුම ලබාගත්තේ ය. ආන්ඩුවේ කප්පාදු පියවරයන් බලගතු ලෙස හෙලිදරවු කෙරෙන මෑතම සිදුවීම වන්නේ මහපොල ශිෂ්‍යාධාරය පහත හෙලීම යි. මහපොල ශිෂ්‍යාධාර හිමි සිසුන්ගේ නම් සහ වාරිකයේ අගය සටහන්කොට එම වාරිකය භාරගත් බවට සිසුන්ට සිය අත්සන් යෙදීමට පෙබරවාරි මස මුලදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුබසාධන අංශය තුල තබා තිබූ ලැයිස්තුවෙහි පෙබරවාරි මාසය සඳහා සිසුන්ට හිමි මහපොල වාරිකය ලෙස රු. 4000ක් සටහන්ව තිබුනි. එනමුත් ශිෂ්‍යයන් සියල්ලන්ම පාහේ එහි අත්සන් යෙදූ පසු එම සියලු වාරිකයන්ගේ අගය රු. 2500 ලෙස සංශෝධනය කර තිඛෙන ආකාරය සිසුන්ට දක්නට ලැබුනි. පසුව දැනගත හැකි වූයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් විශ්ව විද්‍යාලය වෙත යොමුකර තිබූ ලිපියකින් මහපොල වාරිකය එලෙස සංශෝධනය කල යුතු බව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය වෙත දැනුම් දී තිබෙන බව යි. නමුදු සිරිසේනගේ මැතිවරන ප්‍රකාශනයෙහි සඳහන් වූයේ, එතෙක් රු. 2500 ක්ව පැවති මහපොල වාරිකය රු. 5000 දක්වා ඉහල දමන බවකි.

පැවති රාජපක්ෂ ආන්ඩුව යටතේ අඛන්ඩව සිදුවූ මර්දනයන් හා බාධා කිරීම් නොතකා ශිෂ්‍යයන් මෙලෙස යලි යලිත් විරෝධතාවලට එක්වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ධනේශ්වර ආන්ඩුවලට එරෙහිව වර්ධනය වන වෛරය හා ශිෂ්‍යයන් අතර වැඩෙන සටන්කාමිත්වය යි. කෙසේ නමුත්, මෙම සිසු විරෝධය ගසාකමින් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා පොලිස් රාජ්‍ය සැලසුම් අභිමුව සිසුන් දේශපාලනිකව නිරායුධ කොට ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතා ව්‍යාපාර තුල සිරකොට ඇත්තේ ධනේශ්වර ගැති, ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අවිශිබමය යි. ඊනියා සත්‍යග්‍රහතුල සිසුන්ගේ සටන්කාමී විභවය දියකොට හරින අවිශිබමය සිසුන්ගේ ජිවිතාරක්ෂාව ද දැන දැනම ඉමහත් අන්තරායකට අභිමුඛ කොට ඇත.

පොලිස් ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන තුරු එම ස්ථානයේ සිසුන් රැඳී සිටින අතරවාරයේ අවිශබම කැඳවුම්කරු නජිත් ඉන්දික මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව ආන්ඩුවේ මෙම ප්‍රහාරය ගැන මෙසේ පැවසීය. "පහුගිය මාස දෙකහමාර තිස්සෙම මේ ප්‍රශ්නවලට අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කරල බැරිම තැනයි පාරට බැස්සේ.මේ ආන්ඩුවත් රාජපක්ෂ උන්නැහේ නවත්තපු තැනින්ම පටන් ගත්තා. මේ කරන්නේ කලින් වැඩේමයි. වෙනසකට තියෙන්නේ ඒක කලින්ට වඩා වේගෙන් වෙනවා. රාජපක්ෂ ශිෂ්‍යයින්ට ගහන්න කාලයක් ගත්තා. සිරිසේනලා වික්‍රමසිංහලා පලවෙනි පාගමනටම ගැහුවා."

සිරිසේනලා වික්‍රමසිංහලා බලයට ගෙන ඒම සඳහා දරදිය ඇද්දේ දැන් මෙලෙස පුහු බෙරිහන්දීමක යෙදෙන ඉන්දික ප්‍රමුඛ අවිශිබමයි. ජනාධිපතිවරන සමයේ අවිශිබමය සිදු කලේ, සිරිසේන කඳවුරේ උද්ඝෝෂකයන් වන සරත් විජේසූරිය වැනි ආචාර්යවරුන්ට සරසවි සිසුන් ඇමතීම සඳහා වේදිකාව සකසමින් සිරිසේන ජයග්‍රහනය කරවීමට සෘජුවම හවුල්වීම යි.

සිරිසේන ආන්ඩුවේ "ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය" පිලිබඳ ප්‍රෝඩාව තුල සිසුන් වඩ වඩාත් රඳවා තබනුවස් අවිශිබම කැඳවුම්කරු සිය නමින් නව ජනාධිපතිවරයාට ඉදිරිපත් කල ලිපියේ සඳහන් කර තිබුනේ "අපි ඔබ තුමාගේ තාවකාලික ආන්ඩුව මගින් යම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු" යනුවෙනි.

අවිශිබමය මෙවන් ආකාරවලින් සිරිසේන ආන්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කලේ, තමාට නායකත්වය දෙන පෙසපයේ ආදර්ශ මත අකුරටම පිහිටා සිටිමිනි. පෙසප මැතිවරන සමය පුරාවටම සිරිසේනගේ දින 100 වැඩපිලිවෙලේ "සාධනීය" බව පවසමින් එය වටා රොක්වී සිටියේ ය. රාජපක්ෂ බලයෙන් පහකොට සිරිසේන බලයට ගෙන ඒම අධිරාජ්‍යවාදී යුද කරත්තයට ලංකාව ද ගැට ගසාගැනීමේ තැතක කොටසක් බව පෙන්වා දුන්නේ සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල පමනක්මවූ අතර එම කරුන ශිෂ්‍යන්ගෙන් මෙන්ම කම්කරු පීඩිත මහජනතාවගෙන් වසන් කොට තැබීමට පෙසප දැනුවත් උත්සාහයක යෙදුනි.

කප්පාදු පියවරයන් ඇතුලු සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකට අවිශිබමය, එහි නායකත්වයේ සිටින පෙසප ඇතුලු සියලු ව්‍යාජ වාම පක්ෂ මුළුමුනින්ම සතුරු ය. ශිෂ්‍යයන්ට වෙනම දේශපාලනයක් ඇතැයිද, ශිෂ්‍යයන්ගේ අරගල තුලින් ආන්ඩුවලට කෙරෙන බලපෑම් හරහා ශිෂ්‍ය අයිතීන් දිනාගත හැකියැයිද යන බේගලය දෙසාබාන පෙසපය ප්‍රමුඛ අවිශිබමය, සිසුන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගැන්වීමෙන් වලකා, විවිධ ධනපති කොටස් හා නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන් පිටුපස ගාල් කිරීමට "සිසු - ජන පෙලගැස්ම" නමැති උගුලක් අටවා ඇත.

අධ්‍යාපනයට එරෙහි ප්‍රහාරය, තුන්වන ලෝක යුද්ධයක් කරා දිවෙන ධනේශ්වර ක්‍රමයේ පෙර නොවූ විරූ අර්බූදය මධ්‍යයේ ලොව පුරා පාලක පන්තීන් විසින් කම්කරු පන්තියට එල්ල කරමින් පවත්නා සමස්ත ප්‍රහාරයෙන් වෙන්කොට ගත හැක්කක් නොවේ. ශිෂ්‍යයන්ට තම අධ්‍යාපන අයිතිය දිනාගත හැක්කේ අවිශිබමයේ ප්‍රෝඩාකාරී "ශිෂ්‍ය දේශපාලනය" මත නොව, ලාභ ගරන ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් වැදීමෙන් පමනි.

Share this article: