යානිස් වාරූෆාකිස්ගේ ප‍්‍රති මාක්ස්වාදය

The anti-Marxism of Yanis Varoufakis

නික් බීම්ස් විසිනි, 2015 පෙබරවාරි 28

මෑතකදී සිරිසාවේ නායකත්වයෙන් යුත් ග‍්‍රීක ආන්ඩුවේ මුදල් ඇමති යානිස් වාරූෆාකිස්ස්, මාක්ස් ද ඇද ගනිමින් ගාඩියන් පුවත්පතේ පලකල ලිපිය, සිරිසාවේ හා එය ද නියෝජිතයෙක් ලෙස සිටින ව්‍යාජ වාම ප‍්‍රවනතාවන්හි පන්ති ස්වභාවය මොනවට හෙලිදරව් කර ඇත.

ඊනියා “අනියත මාක්ස්වාදියෙක්” ලෙස පෙනී සිටින වාරූෆාකිස්ගේ මුඛ්‍ය තර්කය වන්නේ, තමන්ගේ කර්තව්‍යය ධනවාදය ඒ තුලින්ම මුදාගැනීමය. මක්නිසා ද යත්, එය පෙරලා දමන ඕනෑම අරගලයක් අසාර්ථක වීමට නියමිත වනවා පමනක් නොව, එය අන්ත දක්ෂිනාංශයට හා ෆැසිස්ට්වාදයට පවා දොර විවර කරන බැවිනි.

වාරූෆාකිස් සිය දේශපාලන දිශානතිය යුක්තිසහගත කිරීමට උත්සාහ කරන්නේ, මාක්ස්ගේ සොයාගැනීම් වෙනුවෙන් ප‍්‍රශංසාව පල කිරීමේ හා ඔහු කියන ආකාරයට මාක්ස්ගේ අත්හැරීම් හා පැවරීමේ පාපයන් හෙලිදරව් කිරීම යන දෙකේ සංයෝජනයකිනි.

ඔහු ලියන සියල්ල එක්කෝ මාක්ස් පිලිබඳ මුලුමනින්ම විකෘතියකි, ව්‍යාකූල අවුල් ජාලයකි, නැත්නම් පරිපූර්න මනස්ගාතයකි. එසේ වුව ද ඔහුගේ ලිපිය විමර්ෂනය කිරීම දෙපැත්තකින් වැදගත්ය.

පලමුව එහි විතන්ඩනය මාක්ස්ගේ විශ්ලේෂනයෙහි අතිශයින්ම මූලික සමහර කරුනු පැහැදිලි කිරීමට උපකාරී වේ, ඒවා වාරූෆාකිස්ගේ විකෘතිකිරීම් හා මුසාකරනයන්ට සපුරා පටහැනිය. දෙවැනුව, වාරූෆාකිස් ප‍්‍රචාරකයා බවට පත්ව ඇති ව්‍යාජ වාම ප‍්‍රවාහයේ අත්‍යවශ්‍ය දිසාවනතිය වෙත ඉන් ආලෝකයක් විහිදීමයි.

මාක්ස්ගේ විවේචකයන් වියහැකි අනෙක් බොහෝ දෙනෙක් මෙන්ම වාරූෆාකිස් ද පටන්ගන්නේ, ධනේශ්වර ක‍්‍රමයේ ක‍්‍රියාකාරිත්වය පිලිබඳව විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ විසින් සපයා ඇති විමර්ෂන අගය කිරීමෙනි. එසේ කිරීමේදී ඔහු, එක්කෝ මාක්ස් පිලිබඳව කිසිවක් වටහාගෙන නැති බව හෝ ඔහු විකෘති කිරීමට සිතාමතා යොමුවී සිටින බව හෙලිදරව් කරයි.

වාරූෆාකිස්ට අනුව මාක්ස්, “ධනවාදය පිලිබඳ කුමන හෝ වැදගැන්මකට ඇති විශ්ලේෂනයක හදවතේම පවතින්නාවූ දේ සොයාගත්තේය. එනම්, මානව ශ‍්‍රමයේ පතුලෙහි ඇති ද්විත්ව විපක්ෂය සොයාගැනීමයි.” ශ‍්‍රමයට එකිනෙකට වෙනස් ස්වභාවයන් දෙකක් ඇති බව මාක්ස් හෙලිදරව් කල බව වාරූෆාකිස් අවධාරනය කරයි. එය වනාහි “වටිනාකම් නිර්මානය කරන ක‍්‍රියාවලියකි. එය කිසිවිටෙකත් කල්තියා ප‍්‍රමානකරනය කල නොහැකිය. (එබැවින් භාන්ඩයක් බවට පත්කල නොහැකිය. එසේම ප‍්‍රමානයක්, නිදසුන් ලෙස වැඩකල පැය ගනන, අලෙවිය සඳහා තිබෙන අතර ඊට මිලක් ලැබේ.”

වාරූෆාකිස්ගේ සූත‍්‍රයන්හි පූර්න ව්‍යාකූලතාවය සංලක්ෂිත වන්නේ ද මාක්ස් මුලුමනින්ම විකෘත කිරීම ආරම්භ වන්නේ ද මෙතැනින්ය.

වඩාත්ම සැලකිල්ලට බඳුන් වන ඇඩම් ස්මිත් හා ඬේවිඩ් රිකාඩෝ වැනි සම්භාව්‍ය ඉංග‍්‍රීසි දේශපාලන අර්ථශාස්ත‍්‍රඥයින්ගේ ඉගැන්වීම් පෙරට ගෙන යමින් හා ගැඹුරු කරමින් මාක්ස්, භාන්ඩයක වටිනාකම තීරනය වන්නේ, කාලය මගින් මනිනු ලබන, සමාජීයව අත්‍යවශ්‍ය ශ‍්‍රම ප‍්‍රමානය අනුව බව තහවුරු කලේය. ධනේශ්වර ආර්ථිකයේ වැටුප්, ලාභ, බදුකුලී යනාදී සියල්ල අවසාන වශයෙන් උපුටා ගන්නා ප‍්‍රකාශිත රූපාකාරයන්ගේ වටිනාකම පිලිබඳ නියාමය මෙයයි.

එහෙත් මාක්ස්ගේ විශ්ලේෂනය පදනම් කර ඇත්තේ, ඔහුගේ සියලු පූර්වගාමීන් අපහසු තාවයට පත් කල ප‍්‍රශ්නයකට පිලිතුර සම්පාදනය කල තීරනාත්මක සොයාගැනීමක් මතය. එනම්, ලාභයේ සම්භවය කුමක් ද යන්නයි.

ප‍්‍රශ්නය මතු වූයේ පහත දැක්වෙන න්‍යායික රූපයෙනි: ශ‍්‍රමය වටිනාකමේ මූලාශ‍්‍රය වන්නේ නම් හා භාන්ඩ හුවමාරු කරන්නේ ඒ තුල අන්තර්ගත ශ‍්‍රම ප‍්‍රමානයේ පදනම මත නම්, සමාන දේ සමාන දේ සඳහා හුවමාරු වෙයි, එසේ නම් ලාභය හටගන්නේ කෙසේ ද?

නැතිනම් ප‍්‍රශ්නය වෙනත් ආකාරයකට මතුකල හොත්, වටිනාකමේ මූලාශ‍්‍රය ශ‍්‍රමය නම්, “ශ‍්‍රමයේ වටිනාකම” සැදුම්ලත්තේ කුමකින් ද? එය වෙලඳපොලේ දී මිලට ගැනීමත් විකිනීමත් සිදුවන්නේ වැටුප් ගෙවීමේ රූපයෙන් ද? භාන්ඩයක් වන ශ‍්‍රමයේ වටිනාකම ඒ තුල අඩංගු ශ‍්‍රමය මගින් තීරනය කරන බව පැවසීමෙන් කිසිවකටත් පිලිතුරු නොලැබෙයි.

සම්භාව්‍ය දේශපාලන අර්ථශාස්ත‍්‍රඥයෝ මේ ප‍්‍රශ්නය වටා රවුමේ ගමන් කලහ. නිදසුනක් ලෙස ඇඩම් ස්මිත් නිගමනය කලේ, වටිනාකම පිලිබඳ නියාමය අදාල වන්නේ සරල භාන්ඩ නිෂ්පාදන සමාජයකට මිස ධනවාදයට නොවන බවය. එහෙත් මාක්ස් පෙන්වාදෙන ආකාරයට, ධනවාදය නැගී ආවේ භාන්ඩ නිෂ්පාදනය කිරීමේ පදනම මතය. මෙහිදී ස්මිත් අඩිය පසුපසට ගනිමින් එහි නියාමයන් පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් සඳහා ගවේෂනය අතහැර දැමීය.

මාක්ස්ගේ තීරනාත්මක ජයග‍්‍රහනය වූයේ, කම්කරුවා වෙලඳපොලේදී අලෙවි කරන වෙලඳ භාන්ඩය, ශ‍්‍රමය නොව ශ‍්‍රම ශක්තිය, එනම්, වැඩකිරීමේ ධාරිතාව, බව සොයාගනිමින්, අතිරික්ත වටිනාකම හා එය ලාභය ලෙස ප‍්‍රාදුර්භූත වීමේ රහස හෙලිදරව් කිරීමයි.

අනෙකුත් වෙලඳ භාන්ඩයන්හිදී මෙන්ම එහි ද වටිනාකම තීරනය වන්නේ එය [ශ‍්‍රම ශක්තිය] ප‍්‍රතිනිර්මානය කිරීමට අවශ්‍ය ශ‍්‍රම ප‍්‍රමානය මගිනි. ඒ අනුව ශ‍්‍රම ශක්තියේ වටිනාකම තීරනය වන්නේ, කම්කරුවා හා ඔහුගේ පවුල ජීවත් කරවීමට අවශ්‍ය ශ‍්‍රම ප‍්‍රමානය මගිනි. මෙය වැඩකරන දිනයකදී කම්කරුවා වැඩෙහි යෙදීම මගින් නිර්මානය කරන ඒ ශ‍්‍රම ප‍්‍රමානයටම සමාන නොවේ. අතිරික්ත වටිනාකමේ මූලාරම්භය වැටී ඇත්තේ, නිෂ්පාදන ක‍්‍රියාවලියේදී ධනපතියාට කම්කරුවා විසින් සපයන දිනක ශ‍්‍රමය, කම්කරුවා හා ඊලඟ පරම්පරාව ජීවත් කරවීමට අවශ්‍ය භාන්ඩ සැපයීමට දිනක් තුල වැයකරන ශ‍්‍රමයට වඩා අඩුවෙන් වැයවන්නේය යන කරුන තුලය.

වෙනත් වචන වලින් කිවහොත්, කම්කරුවා විසින් ධනපතියාට අලෙවි කරන භාන්ඩයේ වටිනාකම, එනම් ශ‍්‍රම ශක්තිය, නිෂ්පාදන ක‍්‍රියාවලිය අවසානයේදී බිහිවන භාන්ඩ තුල අන්තර්ගත, වැඩකරන දිනය තුලදී කම්කරුවා එකතුකරන වටිනාකමෙන් මුලුමනින්ම වෙනස් වන්නේය. වැඩකරන දිනයක කොටසක් තුල කම්කරුවා ඔහුගේ හෝ ඇගේ ශ‍්‍රම ශක්තියේ වටිනාකම ප‍්‍රතිනිර්මානය කරයි. වැඩකරන දිනයේ ඉතිරි කොටස තුල ඔහු හෝ ඇය ධනපතියා වෙනුවෙන්, කිසිදු ගෙවීමක් නොලැබ අතිරික්ත වටිනාකමක් අත්කර දෙයි.

ශ‍්‍රමයේ ධාරිතාවය හැරෙන්නට විකිනීමට කිසිවක් නැති හා නිෂ්පාදන මාධ්‍යයෙන් වෙන් කරන ලද නව පන්තියක්, එනම් කම්කරු පන්තිය නිර්මානය කරන ලද ඓතිහාසික වර්ධනයේ සමස්ත දම්වැලේ පුරුකක් ලෙස, වෙලඳ භාන්ඩයක් ලෙස ශ‍්‍රම ශක්තිය මතුව ඒමත් සමග, එක් පන්තියකගේ ශ‍්‍රම ශක්තිය තවත් පන්තියක් විසින් අත්කරගැනීම හෙවත් සූරාකෑම ආරම්භ වූයේ, වටිනාකම පිලිබඳ නියාමය හා සමාන වටිනාකම් ඇති දේ හුවමාරු වීම, -ඇය හෝ ඔහු විසින් විකුනනු ලබන ශ‍්‍රම ශක්තිය නමැති භාන්ඩයේ මුලු වටිනාකම කම්කරුවාට නොගෙවන්නේ ය යන, මාක්ස් දිගටම උපකල්පනය කල දෙය- උල්ලංඝනය කරමින් නොව, එයට අනුකූලවය.

සිය ලිපිය පුරාවටම වාරූෆාකිස්, මෙම තීරනාත්මක ප‍්‍රශ්න ව්‍යාකූල කර පටලවයි. එක් අවස්ථාවකදී ඔහු “විදුලි බලය හා ශ‍්‍රමය වෙලඳ භාන්ඩ වන බව සිතාගත හැකිය” යයි ලියමින්, වටිනාකමේ මිම්ම වන ශ‍්‍රමය හා කම්කරුවා විසින් ධනපතියාට විකුනනු ලබන, වෙලඳ භාන්ඩයක් වන ශ‍්‍රම ශක්තිය අතර සුවිශේෂී වෙනස මුලුමනින්ම අකා මකා දමයි.

එම ඡේදය තුලම ඔහු, “අනාගත ශ‍්‍රමිකයින් සිය ශ‍්‍රම බලය වෙලඳාම සඳහා පරිවර්තනය කිරීමේ හැඟීම් බර උත්සාහය තුලදී මිරිකීමක් හරහා ගමන් කරයි.” සැබෑව නම් ශ‍්‍රම ශක්තිය දැනටමත් වෙලඳ භාන්ඩයක් බවට පරිවර්තනය කර තිබීමයි. එවිට නිෂ්පාදන ක‍්‍රියාවලිය තුලදී ධනපතියා, අතිරික්ත හෝ අමතර වටිනාකම මතුවීමට ඉඩ සලසමින් එය පරිභෝජනය කරයි.

ව්‍යාකූලතාවය ගොඩගසමින් වාරූෆාකිස් මෙසේ ලියයි. “කම්කරුවන් හා හාම්පුතුන් ශ‍්‍රමය (දැන් ශ‍්‍රමය, ශ‍්‍රම බලය නොවේ) මුලුමනින්ම වෙලඳ භාන්ඩයක් බවට හැරවීමේදී කුමන හෝ සාර්ථකත්වයක් අත්කරගතහොත්, ධනවාදය මියෑදෙයි.”

මෙයින් කිසියම්ම හෝ දෙයක් වටහාගත හැකි නම්, ඉන් අඟවන්නේ, සූරාකෑම ලිහිල් කල හැකි, යම් වර්ගයක ප‍්‍රතිසංස්කරනවාදී න්‍යායපත‍්‍රයක හැකියාවයි. මක්නිසා ද යත්, ධනවාදය පූර්න වානිජ්‍යකරනය අත්කරගතහොත්, එය බිඳ වැටෙන නිසාය.

“ශ‍්‍රමය වානිජ්‍යකරනය” කරා වන ධනේශ්වර තල්ලුව ගැන කරන සඳහනේ තවත් අරමුනක් ඇත. ඔහු මෙසේ ලියයි. “ධනේශ්වර අර්බුදය පිලිබඳ සාරය තුලට එබී බැලීමේ මාක්ස්ගේ විශිෂ්ඨ දැක්ම වූයේ, ශ‍්‍රමය වෙලඳ භාන්ඩයක් බවට හැරවීමේදී ධනවාදය ලබන සාර්ථකත්වය වැඩි වත්ම, එයින් නිර්මානය කෙරෙන සෑම නිමැවුම් ඒකකයකම වටිනාකම අඩුවෙයි, ලාභ අනුපාතිකය පහත වැටෙයි, අවසාන වශයෙන් ක‍්‍රමයක් ලෙස ආර්ථිකයේ ඊලඟ පසුබෑමට වඩා සමීප වෙයි, යන්නය.

“මෙහිදී ඔහු සඳහන් කරන බව පෙනී යන්නේ, ධනේශ්වර නිෂ්පාදනයේ ඓතිහාසික ගමන් මගයි. එහිදී ප‍්‍රාග්ධනය, අද දවසේ පරිගනකකරනයේ වර්ධනය නිරන්තරයෙන් සම්බන්ධ වන ආකාරයට, කම්කරුවාගේ ජීවමාන ශ‍්‍රමය යන්ත‍්‍රයකින් විස්ථාපනය කිරීමේ කොන්දේසි නිර්මානය කිරීමට තල්ලුවී යයි. මෙම තල්ලුව ලාභ අනුපාතය මත මෙන්ම, ධනේශ්වර සමුච්ඡයකරන ක‍්‍රියාවලිය තුලම ඇතිකරන බලපෑම නිසා ප‍්‍රචන්ඩ අර්බුදයකට තුඩුදෙයි.

ප‍්‍රාග්ධන සමුච්ඡයකරනය සඳහා පදනම සකසන අතිරික්ත වටිනාකමේ එකම මූලය, කම්කරු පන්තිය සූරාකෑමයි. මෙය ධනවාදයේ ආත්මීය ධාවනයේ නිමැවුමක් නොව, නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික හිමිකාරිත්වය හා ශ‍්‍රම ශක්තිය මිලට ගැනීම හා විකිනීම මත පදනම්ව තිබෙන වෛෂයික සමාජ සම්බන්ධතාවන් තුල මුල් බැස තිබෙන දෙයකි.

ප‍්‍රාග්ධනය මූලිකාංග දෙකකින් සමන්විත වන්නේය. අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරන වැනි නිෂ්පාදන මාධ්‍යයන් මත ප‍්‍රාග්ධනය යොදවනු ලබන අතර ශ‍්‍රම ශක්තිය මිලට ගැනීම පිනිස ද යෙදවේ. එහෙත් අතිරික්ත වටිනාකම උපදින්නේ ප‍්‍රාග්ධනයේ එක් කොටසකින්, එනම් ශ‍්‍රම ශක්තිය මත යෙදෙන කොටසින් පමනි. එහෙත් සමුච්ඡයකරනය සමස්තයක් ලෙස ප‍්‍රාග්ධන තටාකයේම ප‍්‍රසාරනයට සම්බන්ධ වෙයි. ජීවමාන ශ‍්‍රමය, නිෂ්පාදන ක‍්‍රියාවලියේ හීනවන මූලිකාංගයක් බවට පත්වන්නේ නම්, ඒ තාක් දුරට, ප‍්‍රාග්ධනයේ මුලු ප‍්‍රමානයට, අතිරික්ත වටිනාකමේ අනුපාතය විසින් තීරනය කරනු ලබන ලාභ අනුපාතිකය කෙරෙහි ආවේනික ප‍්‍රවනතාවයක් එනම්, පහත වැටීම බලපායි.

මෙම ප‍්‍රවනතාවය ජය ගැනීමට ප‍්‍රාග්ධනය උත්සාහ කරන එක් තීරනාත්මක ක‍්‍රමයක් නම්, ශ‍්‍රම පලදායිතාවය තව තවත් වර්ධනය කිරීමයි. ජීවමාන ශ‍්‍රමය, ශ‍්‍රම ශක්තිය ප‍්‍රති නිර්මානය කරන වැඩකරන දිනයේ පංගුව අඩුකරමින්, ප‍්‍රාග්ධනය වෙනුවෙන් යොදවන අතිරික්ත ශ‍්‍රමයේ වැඩකරන දින පංගුව වැඩිකර ගැනීමට උත්සාහ කරයි. මෙය කරනු ලබන්නේ, නව තාක්ෂනය වර්ධනය කිරීම තුලින්ය. මේ අනුව වරෙක ජීවමාන ශ‍්‍රමය විසින් කරන ලද ක‍්‍රියාවලීන්, යන්ත‍්‍ර සූත‍්‍ර මගින් සිදුකරනු ලබයි.

එහෙත් මෙම ක‍්‍රියාවලියට ආවේනික සීමාවන් පවතී. නිදසුනක් ලෙස වැඩකරන දිනය පැය අටක් හා ශ‍්‍රම ශක්තියේ ප‍්‍රතිනිර්මානය පැය හයක් ද වන්නේ නම් එවිට පැය දෙකක අතිරික්ත ශ‍්‍රමයක් ඉතිරි වේ. ශ‍්‍රමයේ පලදායිතාවය දෙගුන කල හොත් ශ‍්‍රම ශක්තියේ වටිනාකම පැය තුනකදී ප‍්‍රතිනිර්මානය කරන අතර වැඩකරන දිනය තුල උපුටා ගන්නා අතිරික්ත ශ‍්‍රමය පැය දෙකේ සිට පහ දක්වා වැඩිවෙයි. මෙම ක‍්‍රියාවලිය යලි සිදුවුවහොත් ශ‍්‍රම පලදායිතාව යලිත් දෙගුන වේ. එවිට ශ‍්‍රම ශක්තියේ වටිනාකම පැය 1.5කදී ප‍්‍රතිනිර්මානය වන අතර ශ‍්‍රමයේ අතිරික්තය වැඩිවන්නේ පැය 5 සිට 6.5 දක්වා පමනි. වැඩිවන්නේ කුඩා ප‍්‍රතිශතයක් පමනි.

සමස්ත ඓතිහාසික අවධියක් තිස්සේම ශ‍්‍රමයේ පලදායිතාවය වඩ වඩාත් වර්ධනය වී ඇති බැවින් ශ‍්‍රමයේ පලදායිතාවය වැඩිකිරීම තුලින් ලාභ අනුපාතිකයේ වැටීම වැලැක්වීම වඩා දුෂ්කරවී තිබේ.

ශ‍්‍රම ශක්තියේ වටිනාකම ප‍්‍රති නිෂ්පාදනය කිරීමට ගතවන කාලය මෙසේ අඩුවී යාම, මානව සමාජයේ දියුනුව සඳහා පදනම වන ශ‍්‍රමයේ සමාජ පලදායිතාවය හා නිෂ්පාදන බලවේගයන්හි වර්ධනයේ ප‍්‍රතිපලය මිස, අන් කිසිවක් නොවේ. එහෙත් ලාභ අනුපාතිකය මත එය ඇතිකරන බලපෑම, එනම් ප‍්‍රාග්ධන සමුච්ඡකරනය හා ප‍්‍රසාරනය වීමේ අනුපාතය, මාක්ස් කියන පරිදි ප‍්‍රාග්ධනය ලෙස එහි ස්වයං සාක්ෂාත්කරනය, ශ‍්‍රමයේ සමාජ පලදායිතාවයේ වර්ධනය, නැගී එන අර්බුදයන් ලෙස සිය ප‍්‍රකාශනය අත්කරගන්නා, ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයන් තුල ඓතිහාසික අර්බුදයක් නිර්මානය කරයි.

“සමාජයේ පලදායිතා වර්ධනය හා එබැවින් නිෂ්පාදනයේ පවත්නා සම්බන්ධතා [නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය හා ශ‍්‍රම ශක්තිය මිලට ගැනිම හා විකිනීම මත පදනම් වන] අතර එන්ට එන්ට වැඩිවන නොපෑහීම, තෙමේම ප‍්‍රකාශයට පත්වන්නේ, කටුක ප‍්‍රතිඝතිතා, අර්බුද හා භ‍්‍රාන්තිය තුලය. මාක්ස් ලිවීය.

මෙම අර්බුද, ගැඹුරුවන ආර්ථික පල්වීම, සමුච්ඡයකරන ක‍්‍රියාවලිය මන්දගාමී නැතිනම් නතරවීම හා පසුබෑම, අවපාත හා මිලිටරි ගැටුම් තුලින්, නිෂ්පාදන බලවේගයන්ගේ සමස්ත පදාසයන්ම විනාශ වීමට තුඩුදෙයි.

සමුච්ඡකරන ක‍්‍රියාවලිය පවත්වාගැනීමේ අටියෙන් ප‍්‍රාග්ධනයේ සමස්ත ක්ෂේත‍්‍රයන්ම විනාශ කිරීම සිදුවන්නේ, [ප‍්‍රාග්ධනයේ] ශේෂවී ඇති කොටස සඳහා අතිරික්ත වටිනාකම ශක්‍ය කිරීමටය. කම්කරු පන්තිය වැටුප් හා සමාජ සේවා කප්පාදුව තුලින් දරිද්‍රතාවට ඇද වැටීම, අවසාන විග‍්‍රහයේදී නියෝජනය කරන්නේ, ප‍්‍රාග්ධනය සඳහා පවතින අතිරික්ත වටිනාකමෙන් අඩුකර ගැනීම, කපා හැරීම හෝ අහෝසි කිරීමය.

මෙහිදී සිහියේ තබාගත යුතු අතිශයින්ම වැදගත් දෙය වන්නේ, මෙම ව්‍යසනය පැන නගින්නේ, ශ‍්‍රමයේ සමාජ පලදායිතාවය පහත වැටීමෙන් නොව, ඉහල නැගීමෙන් බවය. වෙනත් වචන වලින් කිවහොත්, මානව ශිෂ්ඨාචාරය දියුනුවීමේ පදනම සකස් කරන ශ‍්‍රම පලදායිතාවයේ එම වර්ධනයම, ප‍්‍රාග්ධනයේ විනාශය තුලින් විසඳා ගැනීමට උත්සාහ කරන ලාභ පද්ධතියේ, ගැඹුරුවන අර්බුදයක් නිර්මානය කරමින් මහා විරැකියාව හා දුප්පත්කම වැඩි වර්ධනය කරමින්, යුද්ධය සඳහා කොන්දේසි සකසයි.

මාක්ස් නිශ්චිතවම පැහැදිලි කලේ, “එයම සුරක්ෂිතවීමේ කොන්දේසියක් ලෙස මිස, ඊට පිටතින් ඇති සම්බන්ධතාවන්ගෙන් පැන නොනගින, ප‍්‍රාග්ධනයේ ප‍්‍රචන්ඩ විනාශය, සමාජ නිෂ්පාදනයේ වඩා ඉහල රූපාකාරයක් සඳහා මාර්ගය ඉඩ හරින ලෙස ඊට දෙන අතිශයින්ම කැපී පෙනෙන උපදේශය වන්නේය.” යනුවෙනි. [කාල් මාක්ස්: The Grundrisse, ගෘන්ඞ්රීස්, පි. 749-750]

මාක්ස් මෙහිදී කථා කරන්නේ ඓතිහාසික ක‍්‍රියාවලියක් ගැන මිස හුදෙක් ව්‍යාපාර චක‍්‍රයේ උස් පහත්වීම් ගැන නොවන බව අවධාරනය කල යුතුය. සිය පැවැත්ම රැකගැනීමට දරන ලද මංමුලා සහගත උත්සාහයේදී, 20 සියවසේ ගමන් මග තුල ප‍්‍රාග්ධනය, දැනටමත් ප‍්‍රචන්ඩ පිපිරීම් හා ව්‍යසනයේ රැලි සහිත වකවානු තුලින් ගමන්කර ඇත. මෙම පිපිරීම්වල ප‍්‍රතිපල වශයෙන්, කියා නිමකල නොහැකි ආකාරයේ මනුෂ්‍ය සමාජයේ කාලකන්නිකම හා පරිහානිය ගෙනදී ඇති අතර මානව ශිෂ්ඨාචාරය තෙමේම වැනසී යාමට තර්ජනය කරයි.

20 වන සියවසේ කුනාටු සහගත ගමන් මගේදී කම්කරු පන්තිය නැවත නැවතත් ධනවාදය විප්ලවකාරී ලෙස පෙරලා දැමීමේ අරගලයන්ට අවතීර්න වී ඇත. එහෙත් රුසියානු විප්ලවය හැරෙන්නට අනෙකුත් විප්ලව ඒවායේ නායකත්වයේ පාවාදීම හේතුකොටගෙන අසාර්ථක විය. තවත් බොහෝ අය මෙන්ම වාරූෆාකිස් ද මෙම ඓතිහාසික අත්දැකීමෙන් උකහාගෙන ඇත්තේ, ධනවාදය පෙරලා දැමීමට බැරි තරම් ශක්තිමත් හා කම්කරු පන්තිය ඓන්ද්‍රියවම සිය ඓතිහාසික කර්තව්‍යයන් ඉටුකිරීමට අසමත් බවත් ය.

දැන් තවත් බිඳවැටීමක් සිදුවෙමින් පවතින තතු හමුවේ, ශිෂ්ඨාචාරයේම පැවැත්ම සහතික කරන පූර්ව කොන්දේසියක් ලෙස යලි වතාවක් න්‍යායපත‍්‍රයට ඇතුලුව තිබෙන්නේ, මෙම යල්පැනගිය සමාජ හා ආර්ථික පර්යාය පෙරලා දැමීමේ කර්තව්‍යයයි.

එහෙත් “ඉවත්ව යන ලෙසට ඊට දී ඇති උපදේශය” කෙතරම් බලගතු වුවත් ධනවාදය, එහිම කැමැත්තෙන් අතුරුදහන්වී නොයන්නේය. මෙම කර්තව්‍යය ඉටුකිරීමේ ඓතිහාසික අවශ්‍යතාව ගැබ්කරගත් ධනවාදය විසින්ම නිර්මානය කර තිබෙන සමාජ බලවේගය විසින් එය පෙරලා දැමිය යුතුව තිබේ. මෙය වනාහි ඉතා දැනුවත් ක‍්‍රියාන්විතයකි.

එම සමාජ බලවේගය වනාහි ජාත්‍යන්තර කම්කරු පන්තියයි. මෙහිදී යලි වතාවක්, ශ‍්‍රමය හා ශ‍්‍රම ශක්තිය අතර විශේෂත්වය මත වාරූෆාකිස් විසින් නිර්මානය කර ඇති ව්‍යාකූලතාවය ලිහා ගැනීම අවශ්‍ය වේ. ප‍්‍රාග්ධනය විසින් නිර්මිත කම්කරු පන්තිය, ශ‍්‍රම ශක්තිය නමැති එම භාන්ඩය විකුනනු ලබයි. එහි සමාජ අනන්‍යතාවය, අනන්‍යතා දේශපාලනයේ යෙදී සිටින අය සිතාමතාම යොමුවී සිටින, වර්ගය, ලිංගිකත්වය, ලිංගික දිශාවනතිය හෝ වෙනත් ප‍්‍රවර්ග මත තීරනය නොවේ. ශ‍්‍රම ශක්තිය විකුනන්නා ලෙස එය ප‍්‍රාග්ධනයේ ප‍්‍රතිපක්ෂ ධ‍්‍රැවය බවට පත්වෙයි. ධනේශ්වර ආර්ථිකය තුල එය ඉටුකරන වෛෂයික ක‍්‍රියාකලාපය නිසා වෙනත් සමාජ බලවේගයකට ඊට ආදේශ විය නොහැකිය.

අද, ධනවාදී වර්ධනයේ නවතම අදියරේදී, එහි නොවිසඳිය හැකි ප‍්‍රතිවිරෝධයන් ජයගැනීමට දරන මංමුලා සහගත තල්ලුව විසින් ඉදිරියට යාමේ ප‍්‍රතිපලය ලෙස, නිෂ්පාදනයේ ගෝලීයකරනය හා ශ‍්‍රම ශක්තිය සඳහා සැබවින්ම ගෝලීය වෙලඳපොලක් බිහිකර තිබේ. කම්කරු පන්තිය ලෝක ජනගහනයේ අති මහත් බහුතරය බවට පත්ව තිබෙන අතර වෛෂයික අර්ථයකින් එය, න්‍යාය විරෝධී ගෝලීය ප‍්‍රාග්ධනයට එරෙහි ගෝලීය එකමුතුව බවට පත්ව තිබේ.

එහි වෛෂයික සමාජ ස්වභාවය නිසාම මෙම ගෝලීය පන්තිය, එනම් කම්කරු පන්තියට, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය හා පෞද්ගලික සමුච්ඡකරනය මත පදනම්වූ සමාජ පද්ධතිය පෙරලා දැමීමෙන් තොරව, තමා ව්‍යසනයකට ඇද නොවැටී ගැලවී ගැනීමට හා සිය විමුක්තිය වෙනත් කොතැනකදී හෝ සාක්ෂාත් කල නොහැකිය. අවශ්‍යතාවය පිලිබඳ කාරනයක් ලෙස, තමන් විසින්ම නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේගවල පාලනය සියතට ගැනීම ආරම්භක ලක්ෂය ලෙස ගෙන, සමාජය නව, සමාජවාදී පදනම් මත ප‍්‍රතිනිර්මානය කිරීමට එයට බලකෙරේ. කෙටියෙන් කිවහොත්, මාක්ස් පෙරදුටු පරිදි, “අති මහත් බහුතරයකගේ අවශ්‍යතා තුල, අති මහත් බහුතරයකගේ ආත්ම සවිඥානක, ස්වාධීන ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය” වන්නේය.

ධනපති ක‍්‍රමය ප‍්‍රචන්ඩ පිපිරීම්වල නව අවධියකට දැනටමත් ඇතුලුවී සිටින බව වාරූෆාකිස් හොඳින්ම දැන සිටියි. එහෙත් ඔහුගේ ඉදිරිදර්ශනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප‍්‍රතිවිප්ලවවාදීය.

ඔහු ධනපති පන්තියට හා එහි නියෝජිතයින්ට උපදෙස් දෙන්නේ, මාක්ස් කෙරෙහි ද තම පද්ධතිය ගමන් කරන්නේ කොහාට ද යන්න හා ව්‍යසනයක් වලක්වා ගැනීමට සිය ගමන් මාවත වෙනස් කිරීමේ උත්සාහයක් දැරීම කෙරෙහි ද යම් අවධානයක් යොමුකල යුතු බවයි. මෙම උපදේශය දෙනු ලබන්නේ, ෆැසිස්ට්වාදය වැලැක්වීමට නම් ඇති එකම යථාර්තවත් ඉදිරිදර්ශනය වන්නේ, ධනවාදය රැකගැනීම බව අවධාරනය කිරීම මගින් කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමේ අරමුන ඇතිවය.

කෙසේ වෙතත්, කිසියම් මනෝරාජික පරමාදර්ශයක් වන්නේ, සමාජය ප‍්‍රතිනිර්මානය කරන සමාජවාදී විප්ලවය නොව, ධනවාදයේ ආකෘතිය තුලින්ම ව්‍යසනයක් අඩපන කිරීම හෝ වැලැක්වීමට කෙසේ හෝ උත්සාහ දැරිය යුතු යයි ඉදිරිපත් කරන වාරූෆාකිස්ගේ දේශපාලන න්‍යායපත‍්‍රයයි.

එය එසේ වන්නේ, මාක්ස් විසින් ගෙනහැර දැක්වූ ධනවාදී ආර්ථිකයේ විනාශකාරී තර්කනය මුල්බැස ඇත්තේ, ධනපති පන්තියේ හෝ එහි දේශපාලන නියෝජිතයන්ගේ ආත්මීය දැක්ම තුල නොව, ලාභ පද්ධතියේ නොවිසඳිය හැකි පරස්පර විරෝධතා තුලම නිසාය. ඔවුන්ගේ න්‍යායපත‍්‍ර, ප‍්‍රාග්ධනයේම වෛෂයික ධාවනය, දේශපාලනය බවට පරිවර්තනය වීමකි.

එබැවින් කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක ප‍්‍රශ්නය වනනේ, තමන් මාක්ස්වාදී ඉදිරිදර්ශනය හා ක‍්‍රියාමාර්ගය මත පදනම් වෙමින් ඓතිහාසිකව යල්පැනගිය හා ප‍්‍රතිගාමී ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමේ ස්වාධීන දේශපාලන අරගලය වර්ධනය කිරීමයි.

ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය විසින් කම්කරු පන්තිය, දැනටමත් ආරම්භක ලක්ෂන මතුවීමට පටන්ගෙන තිබෙන, දැවැන්ත සමාජ හා දේශපාලන අරගල තුලට ඇද දමනු ලබයි. එහෙත් ඒවායේ පරිමානය හා තීව‍්‍රතාව කෙතරම් විශාල වුවත්, ධනවාදය පෙරලා දැමීමේ අවශ්‍ය ක‍්‍රියාමාර්ගය මෙම අරගල තුලින් ස්වයංසිද්ධව පැන නොනගියි. ධනපති ක‍්‍රමය පෙරලා දැමීමට තුඩුදෙන ඓතිහාසික කරුනු කාරනා පිලිබඳ දම්වැලෙහි තීරනාත්මක පුරුක, එම කර්තව්‍යය සඳහා ඉදිරිදර්ශනය හා ක‍්‍රියාමාර්ගය සම්පාදනය කරන විප්ලවවාදී පක්ෂයේ ක‍්‍රියාකලාපයයි, එනම් අවශ්‍ය විප්ලවවාදී නායකත්වයයි.

ධනවාදය ඒ තුලින්ම රැකගතහැකි පරිදි ඔහු ගෙනහැර දක්වන ඔහුගේ භූමිකාව ගැන සලකන කල වාරූෆාකිස්, මේ අතිශයින්ම වැදගත් ප‍්‍රශ්නයේදී සිය විවේචනය මාක්ස් වෙත එල්ල කිරීම මවිතකර නොවේ.

සිය ලිපිය අවසන් හරියේදී ඔහු, තමා “මාක්ස් සමග බෙහෙවින් කෝප වන්නේ” මන්දැයි පැහැදිලි කරන අතර තෙමේම සලකා ගන්නේ, “අස්ථාවර හා නොමග යන මාක්ස්වාදියෙක්” ලෙසය. විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ වරයා, “අති විශේෂ වැරදි දෙකක් සිදුකරයි, එකක් අතහැරීමේ වරදයි, අනෙක් වරද පැවරීමයි.”

අතහැරීමේ වරද, ලෝකය පිලිබඳ තමන්ගේම න්‍යායන්ගේ බලපෑම ගැන සැලකිය යුතු පරිදි සිතා නොබැලීම තුල පවතින බව ඔහු අදහස් කරයි. “අනුහස පැතිරවීමේ තත්වයන් අත්කර ගන්නා, තමන්ගේම බල වැයික්කි ගොඩනැගීමට අනෙකුත් සහෝදර වරුන් අයථා ලෙස යොදාගැනීමේ අරමුනෙන්, මාක්ස්ගේම අදහස් හරහා තමන්ට පැවරී ඇති බලය යොදාගෙන, මෙම බලගතු අදහස් සාමාන්‍ය කම්කරුවෙකුට වඩා හොඳින් වටහා ගත් මිනිසුන් වන තමන්ගේ අනුගාමිකයන් ගැන මාක්ස් උනන්දුවක් නොදැක්වීය.”

වෙනත් වචන වලින් පැවසුවහොත්, කම්කරු පන්තියට සිය විමුක්තිය අත්කර ගැනීම පිනිස න්‍යායික අවි සම්පාදනය කරනු වෙනුවට මාක්ස්, සැබවින්ම වර්ධනය කලේ, කම්කරු පන්තිය මත බලය පවත්වාගෙන යාම පිනිස බුද්ධි ජීවීන් විසින් යොදාගනු ලබන න්‍යායක් වර්ධනය කිරීමයි. මෙය වනාහි ඉතා පැරනි තේමාවක හුදු විචල්‍යයකි: මාක්ස්වාදය හා මාක්ස්මත් කම්කරුවන් පාවාදුන් අයගේ අපරාධ වෙනුවෙන් කෙසේ හෝ වගකිව යුතු බවයි.

සිය කියාපැම් සනාථ කරන ඓතිහාසික වාර්තාව පිලිබඳ සංයුක්ත විමසුමක් වාරූෆාකිස් ඉදිරිපත් නොකරයි. ඔහුට එය කිරීමට ද නොහැකිය. මක්නිසා ද යත්, ඉතිහාසය පෙන්නුම් කරන්නේ, ඔහුගේ ප‍්‍රවාදයේ පරිපූර්න ප‍්‍රතිවාදය නිසාය.

ඔක්තෝබර් විප්ලවයෙන් පසුව 1920 ගනන්වල සෝවියට් සංගමය තුල, කම්කරු පන්තිය වෙතින් දේශපාලන බලය පැහැරගත්, ස්ටැලින්වාදී නිලධරයේ නැගීම සලකා බලන්න. කම්කරු පන්තිය මත එහි බලය පතුරුවා ගැනීම ඔවුන් මාක්ස්වාදී න්‍යාය වඩා හොඳින් ග‍්‍රහනය කිරීමේ ප‍්‍රතිපලය නොවීය. එය, නිලධාරිවාදී කුලයක ඉස්මතුවීමට තුඩුදුන්, ආර්ථික පසුගාමිත්වයේ ද ද්‍රව්‍යමය සම්පත්වල හිඟය ද වැනි කොන්දේසි හමුවේ සෝවියට් සංගමය හුදෙකලාවීමේ නිමැවුමක් විය.

ස්ටැලින්වාදයේ දෘෂ්ටිමය අත්තිවාරම මාක්ස්වාදී න්‍යාය මත පදනම් නොවූ අතර එය, මාක්ස් විසින් දිගු කලකට ඉහතදීම පිලිකෙව් කොට තිබුනු ධර්මතාවක් වන “තනි රටක සමාජවාදය” පිලිබඳ ප‍්‍රතිමාක්ස්වාදී ජාතිකවාදී න්‍යාය පදනම්කර ගත්තේය.

සිය ඓතිහාසික භෞතිකවාදී න්‍යාය විස්තාරනය කිරීමට පටන්ගෙන තිබුනු 1845-46 කාලයේ ජර්මානු දෘෂ්ටිවාදය (German Ideology) කෘතිය තුල මාක්ස්, කොමියුනිස්ට්වාදය පූර්වාපේක්ෂා කලේ ද එය නැගී ආවේ ද ලෝක වෙලඳපොලේ වර්ධනයෙන් බව පැහැදිලි කලේය. එහිදී ”කම්කරු පන්තිය පැවතිනු ඇත්තේ ලෝක ඓතිහාසිකවය, කොමියුනිස්ට්වාදයට මෙන්ම එයට ද කටයුතු කල හැක්කේ, ‘ලෝක-ඓතිහාසික’ පැවැත්මක ය.”

තවදුරටත් ඔහු, නිෂ්පාදන බලවේග ලෝක පරිමානයකින් වර්ධනය වීම කොමියුනිස්ට්වාදය සඳහා පූර්වාවශ්‍යතාවක් බව පෙන්වා දුන්නේය. මක්නිසා ද යත්, “අවශ්‍යතාවය සමග බෙදාහැරීම ද හුදෙක් පොදු දෙයක් විය යුතු වුව ද එය නොමැතිව, අවශ්‍යතාවන් සඳහා කාකොටා ගැනීම හා සියලුම පැරනි කසල ව්‍යාපාරය අවශ්‍යයෙන්ම ප‍්‍රතිනිෂ්පාදනය වනු” ඇත. [German Ideology, ජර්මානු දෘෂ්ටිවාදය, 46-48 පිටු]

මෙම මාක්ස්වාදී පදනම් මතය ලියොන් ට්‍රොට්ස්කි, සිය විප්ලවය පාවාදෙයි [The Revolution Betrayed] යන විශිෂ්ඨ කෘතිය තුල ස්ටැලින්වාදී නිලධරයේ -“සියලු පැරනි කසල ව්‍යාපාරය”- නැගීම පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනය සම්පාදනය කලේ. එහිදී ඔහු, ආර්ථික පසුගාමිත්වයත්, බටහිර යුරෝපයේ කම්කරු පන්තිය ලත් පරාජයන්ගේ ප‍්‍රතිපල වශයෙන්, සෝවියට් සංගමය ලෝක ආර්ථිකයෙන් හා ජාත්‍යන්තර ශ‍්‍රම විභජනයෙන් හුදෙකලා වීමත් යන කොන්දේසි යටතේ, සමාජ අසමානතාවයේ පොලිස්කාරයා ලෙස නිලධරයේ මතුවීම පෙන්වා දුන්නේය.

නැගී එන නිලධරය, බුද්ධිජීවීන්ගේ මාක්ස්වාදය පිලිබඳ විශිෂ්ඨ දැනුම මත පිහිටමින් බලය කරා එසවුනාට වඩා, මාක්ස්වාදයට එරෙහි නිර්දය යුද්ධයක් තුලින් බලය කරා නැගී ආවේය. දෘෂ්ටිමය පෙරමුනේ ආරම්භවූ මෙම යුද්ධය, 1940දී ට්‍රොට්ස්කි මරා දැමීමෙන් කුලුගැන්වුන, මාක්ස්වාදී පෙරටු බල ඇනියේ මහා ඝාතනයන්ට තුඩු දුන්නේය.

තත්වය වාරූෆාකිස් විස්තර කල දෙයෙහි පරිපූර්න ප‍්‍රතිවිරුද්ධයයි. වඩාත්ම දැඩිව මාක්ස්වාදී න්‍යාය ග‍්‍රහනය කරගත් හා එම දැනුම සිය ඓතිහාසික කර්තව්‍යයන් ඉටුකිරීම සඳහා කම්කරු පන්තියට මග පෙන්වීමට යොදාගත්, අතිශය බලගතු හා දුර දක්නා චින්තකයින් වූ මාක්ස්වාදී කේඩරයේ පුෂ්පය, වටහාගත් නිලධරය, ප‍්‍රතිමාක්ස්වාදී සංකල්ප හරඹ කරමින්, තමන් සඳහා තානාන්තර, අනුහස හා වරප‍්‍රසාද සුරක්ෂිත කර ගන්නා අතරතුර, විනාශ කර දැමීය. මෙම බුද්ධිමය සංහාරයේ ප‍්‍රතිවිපාක, පැරනි සෝවියට් සංගමයේ විසකුරු දේශපාලන හා බුද්ධිමය වාතාවරනය තුල පමනක් නොව, කම්කරු පන්තිය තුල පැතිර පවතින ව්‍යාකූලතාවය හා අවමංගතවීම තුල අද දවසේ ද පවතින්නේය.

මාක්ස්වාදයේ පදනම මත ට්‍රොට්ස්කි, නිලධරයේ මූලයන් හා එය බලය කරා නැගීම පැහැදිලි කලා පමනක් නොව, කම්කරු පන්තිය විසින් නිලධරය පෙරලා නොදැමුවහොත්, අනිවාර්යයෙන්ම එය ධනවාදය පුනස්ථාපනය කිරීම කරාම මෙහෙයවෙනු ඇතැයි අනතුරු ද ඇඟවිය. මෙම ඉදිරිදර්ශනය, සෝවියට් සංගමය සදාකාලයටම පවතින්නේ යයි කියා සිටි, ස්ටැලින්වාදයේ ක්ෂමාලාපක විවිධාකාර ධනේශ්වර බුද්ධිමතුන්ට එදිරිව, ඛේදජනක ලෙස සනාථවී තිබේ.

වාරූෆාකිස් පවසා ඇති පරිදි, පැවරීම පිලිබඳ මාක්ස්ගේ වැරැද්ද ඊටත් වඩා නරකය. “ධනවාදය පිලිබඳ සැබෑව, ඔහුගේ ගනිතමය ආකෘතීන් තුල සොයාගත හැකි ය යන සිතාගැනීම [වාරූෆාකිස්]” තුල මුල්බැස තිබේ.

සිය කටයුතු වලදී මාක්ස් නිසැකවම ගනිතය ව්‍යවහාර කලේය. එහෙත් ඔහු, ධනේශ්වර අර්ථශාස්ත‍්‍රඥයින් කරන ආකාරයට “ගනිතමය ආකෘතීන්” වර්ධනය කලේ නැත. ඒ වෙනුවට මාක්ස්, ධනවාදය පිලිබඳ ඓතිහාසික විශ්ලේෂනයක් විස්තාරනය කර, එහි චලනයේ මූලාශ‍්‍රය වන, ඒ තුල ඇති ප‍්‍රතිවිරෝධතා ගෙනහැර දක්වා, මානව වර්ගයා සිය ප‍්‍රගමනය අත්කර ගත යුත්තේ නම්, නොවැලැක්විය හැකි ලෙසම, එය පෙරලා දැමීමේ අවශ්‍යතාවය මතුකල, වර්ධනයන් ගෙනහැර දැක්වීය.

කෙසේ වෙතත් ගනිතය ව්‍යවහාර කිරීම මත මාක්ස්ට පහර දීම, හුදු ප‍්‍රාථමික ප‍්‍රහාරයකි. සැබෑ ඉලක්කය, ධනපති ආර්ථිකයේ චලනය පිලිබඳ නියාම ගෙනහැර පෑමට මාක්ස් දැරූ උත්සාහයයි.

“නියමාකාර ආර්ථික න්‍යායක්, අතීරනාත්මක නීති ඒවායින්ම අතීරනාත්මක වන්නේය යන අදහසට ගරුකල යුතුය”යන්න නොතකා හරිමින් මාක්ස් කටයුතු කලේයයි වාරූෆාකිස් කියයි.

කෙටියෙන් කිවහොත් වෙලඳපොල ක‍්‍රියාත්මක වන නිමක් නැති අනතුරු මාලාව තුලින් ඇතිවන ඉහල පහල යැම් ගැන කල් තබා කිසිවක් පැවසිය නොහැකිය. ඒවා නිර්මානය කරන ගාමක බලවේගයන් ඇත්තේ නැති අතර ඒ නිසා ඊට බලපාන කිසිදු නීතියක් සොයගත නොහැකිය.

ධනපති ආර්ථිකය වැඩකරන ක‍්‍රමය පිලිබඳ කිසිදු විද්‍යාත්මක ඥානයක් හා එම දැනුම මත පදනම්වන භාවිතයක් වර්ධනය කල නොහැකිය. සියල්ල අභිරහසක් ලෙස පවතින අතර කම්කරු පන්තිය හුදෙක් එහි ඉරනමට අතහැරිය යුතුය.

මානව වර්ගයාගේ බුද්ධිමය අනුහසට කෙරෙන මොන තරම් අපහාසයක් ද යන්න මාක්ස්, පාර්සන් මෝල්තස් ගැන පල කල අදහසකි. මිනිසාට විශ්වයෙන් බැහැර දේ පිලිබඳ දැනුමක් අත්කරගත හැකිය, පරමානුවේ හදවතටම හා ඉන් ඔබ්බට ද විනිවිද යා හැකිය, ඩීඑන්ඒ හා මානව ජාන ව්‍යුහය තුල ජීවිතයේ රහස් හෙලිකරගත හැකිය, එහෙත් තමාම නිර්මානය කල හා වර්ධනය කල, තමන්ගේම සමාජ ආර්ථික සංවිධානය ගැන දැනුම පවත්නේ අන්ධකාරයේ ය.

ධනවාදය පිලිබඳ විද්‍යාත්මක වැටහීමක් ලබාගැනීමේ හැකියාවටම පහර දීම මගින් සේවය කරන දේශපාලන අරමුන ඊලඟ ඡේදයේදී පැහැදිලිව එලිමහනට එයි. වාරූෆාකිස්ට අනුව මාක්ස් විසින් හඳුනාගත් හා සමකාලීන මාක්ස්වාදීන් විසින් අර්ථ දැක්වූ ඔහුගේ “නීති” සදාකාලික නොවන්නේය යන්නෙහි අර්ථය, “ඔහුගේ න්‍යාය අනියත හා ඒ නිසාම ඔහුගේ ප‍්‍රකාශ පරම හා නිශ්චිතවම නිරවද්‍ය නොවන්නේය, ඒවා සදහටම තාවකාලිකය යන එකිනෙකට පටහැනි හඬවල් වෘත්තීය සමිති ව්‍යාපාරය තුල පවතින අතර” ඒවා එලිදැක්වීමය.

මෙහිදී වාරූෆාකිස්, ඉතිහාසයේ “පැවැත්ම හා ඥානය වටහාගැනීමේ ආඛ්‍යානයන්” ඇත්තේ නැති බව ද සොයාගත යුතු වෛෂයික සත්‍යයක් ඇත්තේ නැති බව ද අවධාරනය කරන සමස්ත පශ්චාත් නූතනවාදී ගුරුකුලයේම මුසාකරනයන්ට ඇති සිය සම්බන්ධය එලිමහනට ගෙන එයි.

ධනේශ්වර ආර්ථිකය පිලිබඳ විද්‍යාත්මක වැටහීමක හැකියාවටම පහර දීමේ ඔහුගේ දේශපාලන අරමුන, වෘත්තීය සමිති යාන්ත‍්‍රනයන් හා සිරිසා වැනි ව්‍යාජ වාම පක්ෂවල පාවාදීමට එරෙහිව දේශපාලන අරගලයක් ගෙනයාම පිනිස කම්කරු පන්තියට කිසිදු පදනමක් ඇත්තේ නැති බව අවධාරනය කිරීමය. මක්නිසා ද යත්, සෑම දෙයක්ම අනියත බැවිනි. බොහෝ සත්‍යයන් පවතින්නේය, එබැවින් සත්‍යය නොපවතින්නේය. වාරූෆාකිස් කර්කෂ ආකාරයකට මෙම සංකල්ප ආරක්ෂා කිරීම, ඔහු ආරක්ෂා කරන සමාජ බලවේග සඳහා එහි වැදගත්කම පිලිබඳ ඇඟවුමකි.

“පරිපූර්න, නිමාවුනු කථාව හෝ ආකෘතිය පවත්වාගැනීමේ මෙම අධිෂ්ඨානය, මට මාක්ස්ට සමාව දිය නොහැකි යමකි. අනෙක් අතට එය, දෝෂ මහා තොගයකට හා වඩාත් වැදගත්, ආඥාදායකත්වයකට වගකිව යුතු බව සනාථ කරයි.” ඔහු එසේ ලියයි.

ආඥාදායකත්වයට දොර විවර කිරීම වෙනුවෙන් වාරූෆාකිස් මාක්ස්වාදය හෙලා දැකීමේදී එහි නිශ්චිත දෘඪ බවක් ඇත. ඔහු මුදල් ඇමතිකම දරන සිරිසා ආන්ඩුව බලයට පත්වී සති පහක කාලය තුල එය, සිරිසාව තමන් බලයට පත්කලාවූ එම ක‍්‍රියාමාර්ගයම කටුගා දැමිය යුතු යයි ද ග‍්‍රීක කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාර උත්සන්න කල යුතු යයි ද කියා සිටි යුරෝපීය මූල්‍ය ප‍්‍රාග්ධනයේ නිර්දය ආඥදායකත්වයට ගොදුරු විය.

සති කිහිපයක කාලය තුල සිරිසාව මෙම ධනපති ආඥාදායකත්වයට තුච්ඡ හා බියගුලු ආකාරයකට දන ගැසීය. ඊලඟ අවධිය තුල සිරිසාව හා ඔහු ආන්ඩුව තුල රැඳී සිටියහොත් වාරූෆාකිස්ම, නොවැලැක්විය හැකි පරිදිම කම්කරු පන්තියෙන් මතුවිය හැකි විරුද්ධත්වය දරුනු ලෙස මැඬීම පිනිස ධනේශ්වර රාජ්‍යයේ ප‍්‍රචන්ඩත්වය යොදාගන්නා ආකාරය දැකගත හැකි වනු ඇත.

මූල්‍ය කතිපයාධිකාරයේ දේශපාලන නියෝජිතයින්ට ඔහු අමතන්නේ, “සගයින්” හා “හවුල්කරුවන්” යනුවෙනි. විද්‍යාත්මක මාක්ස්වාදී විශ්ලේෂනයක් මත පදනම්ව වාරූෆාකිස්ගේ යටත්වීම හා සිරිසා ආන්ඩුවේ පාවාදීම හෙලාදකින කම්කරුවන් හා බුද්ධිමතුන්ට, ආඥාදායකත්වයට මග පාදන බවට පහර ගසයි.

වාරූෆාකිස්ගේ ලිපිය, ඔහුගේ හා ඔහු සේවය කරන ආන්ඩුවේ ඉදිරි දර්ශනයේ පන්ති ස්වභාවය හෙලිදරව් කිරීමේ අර්ථයෙන් වැදගත්ය. ඊටත් වඩා වැදගත් වන්නේ, එය ද කොටසක් වන ව්‍යාජ වාම ප‍්‍රවනතාවන්ගේ පාවාදීමට එරෙහි සටන ඉන් ඉස්මතු කර තිබීමයි. එහි හරි මැද පිහිටන්නේ, මාක්ස්වාදයේ විද්‍යාත්මක විශ්ලේෂනයට එල්ල කරන එහි ප‍්‍රහාරයට එරෙහිව පශ්චාත්නූතනවාදී මුසාකරනයේ සමස්ත ගුරුකුලයට විරුද්ධ න්‍යායික අරගලයයි. එම ගුරුකුලයම ක‍්‍රියාත්මක වන්නේ, මූල්‍ය කතිපයාධිකාරයේ න්‍යායික අත්ගෙඩියකට නොඅඩු දෙයක් ලෙසය.

Share this article: