ජනතා විමුක්ති පෙරමුන සිරිසේන ආන්ඩුව රැකීමට කැපවන බවට සපථ කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 අපේ‍්‍රල් 9

අධිරාජ්‍ය ගැති ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ආන්ඩුව බලයට ගෙන ඒමට කැපවී වැඩකල ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තුවට ආන්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කර ගැනීමට වියරු සහගත උද්ඝෝෂනයක් ගෙන යයි.

දහනව වෙනි ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීම වැලක්වීමට විවිධාකාරයේ කන්ඩායම් කි‍්‍රයාත්මකවන බවත් එය සම්මත කර ගැනීම වැලැක්වීමට දරන “සියලු ප‍්‍රයත්නයන්” පරාජය කලයුතු බවත් පවසමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා අනෙකුත් නායකයෝ රැස්වීම්ද පුවත් පත් සාකච්චාද එක දිගට ගෙනයති.

අපේ‍්‍රල් 7 වෙනිදා පැවති තවත් මාධ්‍ය සාකච්චාවක දී දිසානායක කියා සිටියේ “මෑත කාලීන ව රටේ ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද බලගතු ම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර ම සංශෝධනය මෙය බව” යි. ඔහු මෙසේද සඳහන් කලේය: “මේ බලගතු ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැලැක්වීම සදහා දියත් කොට තිබෙන යටිකූට්ටු වැඩ පිලිවෙල අප පරාජයට පත් කල යුතුයි.”

සශෝධනයට විරුද්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් වලට අභියෝග කරමින් ඊට පක්ෂව ජවිපෙ විසින් ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සමක් ද ඉදිරිපත් කලේය.

දහනවන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත්කිරීම ඇතුලු සිය යෝජනාවලට ආන්ඩුව එකඟ නොවන්නේ නම් ආන්ඩුවට උපදේස් දීම සඳහා පිහිටුවා ඇති ජාතික විධායක සභාවෙන් අස්වෙන බවට ජවිපෙ ආන්ඩුවට තර්ජනය කරමින් සිටියේය. අපේ‍්‍රල් 2 වෙනිදා පැවති ජාතික විධායක සභාවේ දී ජවිපෙ යෝජනා ගැන එකඟතාවයක් ඇති කර ගත් බව දිසානායක කියයි. “දැන් බෝලය තියෙන්නේ අපේ අතේ නොවෙයි. බෝලය ඇත්තේ ජනාධිපති හා අගමැතිවරයා අතේ. දැන් ඔවුන් ප‍්‍රායෝගිකව ඔප්පු කල යුතුයි ජාතික විධායක සභාවේදී ඇතිකර ගන්නා ලද එකඟතාවන් කාර්යක්ෂමව අදාල දින වකවානුව තුල ඉටු කිරීමට” වැඩි දුරටත් දිසානායක ප‍්‍රකාශ කර ඇත.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ජනාධිපති සිරිසේනගේ මැතිවරන ව්‍යාපාරයේ ප‍්‍රධාන පොරොන්දුවක් වූයේය. සිරිසේන එවන් පොරොන්දුවක් දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් 1978 දී සම්මත කර කි‍්‍රයාවට දැමු විධායක ජනාධිපති ක‍්‍රමය දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධය ඇතුලුව වැඩකරන ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ පන්ති අරගල මැඩලීමට එතැන් පටන් බලයට පැමිනි හැම ආන්ඩුවක් විසින් ම උපයෝගී කර ගත් තතු යටතේ විධායක ජානාධිපති ක‍්‍රමය කෙරෙහි පවතින මහජන විරෝධය සිය ඡන්ද ව්‍යාපාරය තුල දී ගසා කෑමේ අරමුන ඇතිවය. එය විනා “ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනයක්” ඇති කිරීමේ අරමුන ඇතිව නොවේ. ඊට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සලුපිලි ඇන්ද වීමේ කටයුත්තට ජවිපෙ ද ව්‍යාජ වම්මුන් ද ඇතුලූ විවිධ කල්ලි පෙල ගසුනාහ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, අගමැති ප‍්‍රමුඛ ඇමති මන්ඩලයකට විධායක බලතල පැවරීම හා මැතිවරන කොමිසමක් හා “ස්වාධීන” පොලිස් කොමිසමක් පත් කිරීම, වසරක් ඇතුලත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට පවතින බලතල සීමා කිරීම ඇතුලු සමහර ප‍්‍රතිසංස්කරන යෝජිත පනතට ඇතුලත් වෙයි.

කෙසේ වුව ද ජවිපෙ විසින් හුවා දක්වන යෝජිත ප‍්‍රතිසංස්කරන වැඩකරන ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමේ හා ධනපති පන්ති පාලනයට සුදුහුනු ගෑමේ දැනුවත් දේශපාලන උප්පරවැට්ටියක් පමනි. ඒවායින් මහ ජනතාවගේ මොන ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්වත් ආරක්ෂා වන්නේ නැත. උතුරු-නැගෙනහිර පලාත් මිලිටරි වාඩිලා ගැනීමකට යටත් කර තිබීම ඇතුලු මිලිටරීකරනය ද හදිසි නීතිය හා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු දරුනු මර්දන නීති අනපනත් එලෙසම පවතී.

සිරිසේන ආන්ඩුව බලයට ගෙන ආවේ එක්සත් ජනපදයේ පිටු බලය ලත් දේශපාලන කුමන්ත‍්‍රනයක් මගිනි. ඒ මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රය වඩ වඩා චීනය මත යැපෙන තතු තුල ඉන් කලාපය තුල සිය මුලෝපායාත්මක අවශ්‍යතාවයන්ට බාධාවක් වූ හෙයින් කොලඹ පාලන තන්ත‍්‍රයේ වෙනසක් ඇමරිකානු අධිරාජ්‍යවාදයට අවශ්‍ය වූ බැවිනි. එමෙන් ම සිරිසේන බලයට ඒමේ දී රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව පැසවමින් තිබු මහජන වෛරය එජාපය විසින් මැනවින් ගසා කෑවේය.

කෙසේ වුවද, “ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනයක්” හා යහපත් ජීවන තත්වයක් නව ආන්ඩුව යටතේ උදාවනු ඇතැයි වැඩකරන ජනතාව තුල යම් මිත්‍යාවක් පැවතුනි නම් මාස තුනක් ඉක්ම යාමටත් පෙර එවන් මිත්‍යාවන් බිඳ වැටී ඇතිවා පමනක් නොව; රාජපක්ෂ ආන්ඩුව මෙන් ම නව ආන්ඩුව ද සිය ජීවන තත්වයන්ට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහර දෙන තතු තුල ආන්ඩුවට එරෙහිව අතෘප්තිය සහ වෛරය වැඩකරන ජනතාව තුල මෝදු වීමට පටන් ගෙන තිබේ. ජවිපෙ සහ වෘත්තීය සමිති නිලධරය විසින් සීමා කර ඇබ ගැසීමට තැත් කරන නමුත් මෑත සති කිහිපය තුල පුපුරා ගිය කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ හා ගොවීන්ගේ විරෝධතා උද්ඝෝෂන එහි පිලිබිඹුවකි. එමෙන් ම, ඒවා මහා සමාජ පිපිරීම් පිලිබඳ පෙර ඇඟවුමකි.

ධනපති පාලක පන්තිය මෙන් ම දේශපාලන සංස්ථාපිතය හා දැඩි ව බද්ධවී සිටින පක්ෂයක් වන ජවිපෙ ද සමාජ පිපිරීමක් ගැන භීතියට පත්වී ඇත. එහෙයින්, දුෂන හා වංචා ගැන “නිසි පියවර” නො ගැනීම ගැන ආන්ඩුව විවේචනය කරන අතර ම ජවිපෙ මූලික එල්ලය වන්නේ සිරිසේන ආන්ඩුව හා ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීමය.

සිරිසේන ආන්ඩුවත් සමස්තයක් ලෙස ධනපති පාලක පන්තියත් සිටින්නේ රට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් වැඩකරන ජනයාගේ ජීවන තත්වයන් සුඛිත මුදිත කිරීමේ තැනක නොවේ; ලෝක ධනවාදී ආර්ථික අර්බුදයට සම්බන්ධිත ව, වඩ වඩා ගැඹුරු වන ආර්ථික හා දේශපාලන අර්බුදයක ගීලීගෙනය. නය ගැතිකමේ මඩ වගුරක එරී සිටින ආන්ඩුව, විදේශ නය ගෙවීම පැහර හැරීමේ අන්තරායෙන් ගැලවී ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමුඅ) ඩොලර් බිලියන 4 ක නයක් අයැදි නමුත් ජාමුඅ එය ප‍්‍රතික්ෂේප කර ඇත. එපමනක් නොව; රාජ්‍ය අංශයට රුපියල් 10,000 දීමනාවක් ගෙවීම, දුගී ගොවීන් ඇතුලු දුප්පත් ජනයාට ඇතැම් සහන දීමට පොරොන්දු වීම හා අධි සුඛෝපභෝගී භාන්ඩ සඳහා බදු පැනවීම ආදිය ජමුඅහි විවේචනයට ලක් වී තිබේ. ජාත්‍යන්තර බැංකුකරුවන් අවධාරනය කරන්නේ රාජ්‍ය වියදම් කැපීම මගින් ඔවුන් විසින් නිර්දේශිත ආකාරයට 2016 වසර වන විට රටේ අය වැය පරතරය සියයට 3.8 දක්වා අඩුකල යුතු බවයි.

එම තතු තුල ජාමුඅ විසින් යෝජිත ආර්ථික කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමමින් ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම හැර වෙනත් මගක් ආන්ඩුවට නැත. ඊට එරෙහිව පැන නගින පන්ති අරගල තලා දැමීම සඳහා වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩලනු ඇත. පොලිස් බලතල සහිත ව රටපුරා හමුදාව සීරුවෙන් තැබීමත්, අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 48 පොලිසිය තුල රඳවා ගැනීමේ නීතිය ජනාධිපති සිරිසේන විසින් යලි බලාත්මක කිරීමත්, කම්කරු පන්තියේ, ශිෂ්‍යයන්ගේ සහ අවසේස ජන කන්ඩායම්වල උද්ඝෝෂන මර්දනය කිරීම සඳහා පොලිසිය මෙහෙය වීමත් වැඩකරන ජනයා මත රුදුරු කඩා පැනීමකට ආන්ඩුව පෙර සුදානම් වන බවට පැහැදිලි සලකුනු ය.

මෙම සත්‍යය ජවිපෙත්, සිරිසේන ආන්ඩුවට පන්දම් අල්ලන නව සමසමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ව්‍යාජ වම්මු සහ වෘත්තීය සමිති නායකයන් විසින් වැඩකරන ජනතාවගෙන් දැනුවත් ව වසන් කරති.

ධනපති ආන්ඩුවට පන්දම් අල්ලන, එය රැකීමට කැපවී සිටින ජවිපෙ හෝ ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති විසින් වපුරන මිත්‍යාවන් ගෙන් වැඩකරන ජනතාව නොමග නො යා යුතු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපත් ජීවන කොන්දේසි තහවුරු කර ගත හැක්කේ ධනපති පන්ති පාලනය පෙරලා දමා කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් පමනි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සිටින බව කී ජවිපෙ 1994 තම පක්ෂ අපේක්ෂකයා ද ජනාධිපති වරනයෙන් ඉවත්කරගෙන එම කාරිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට පැවරුවේ ය. කුමාරතුංග යටතේ 2001 පරිවාස ආන්ඩුවකට සහාය වූ ජවිපෙ 2004 ඇය යටතේම හවුල් ආන්ඩුවකට ඇතුලු වූයේ ය.

ජවිපෙ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනයේ පලමු පෙලේ ආරක්ෂකයා ලෙස කි‍්‍රයා කලේ යුද්ධයට සහාය දෙමින් හා විරුද්ධවාදීන් “ත‍්‍රස්තවාදී” ලෙස හංවඩු ගසා මැඞීමට උදවු දෙමිනි. එවකදී ජවිපෙ නායකයන් ප‍්‍රකාශකලේ යුද්ධය ගෙන යාමට විධායක ජනාධිපති ක‍්‍රමය අත්‍යවශ්‍යම බවයි.

ජවිපෙ අලුත් “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” කරනම කම්කරුවන් දුගීන් වංචාවට ලක්කර ධනේශ්වර ක‍්‍රමය හා රාජ්‍යය ආරක්ෂා කිරීමේ අලුත් පෙල ගැස්මක් ඇති කිරීමට ය. එමගින්ම ජවිපෙ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ යුද මූලෝපායට සහාය දීමට සිරිසේන හා එජාපය සමග පෙල ගැසෙයි.

Share this article: