ශ‍්‍රී ලංකාවේ ජනාධිපති රාජපක්ෂ අගමැති වීම වැලැක්වීමට සූදානම් වෙයි

Sri Lankan president to block Rajapakse as prime minister

වසන්ත රූපසිංහ විසිනි , 2015 අගෝස්තු 15

ශ‍්‍රී ලංකාවේ මහ මැතිවරනයට යන්තම් දින හතරක් තිබිය දී, රාජපක්ෂගේ ශ‍්‍රීලනිප හා ඔහුගේ ආධාරකරුවන් පාර්ලිමේන්තු ආසන බහුතරයක් ජය ගත්තත්, තමා හිටපු ජනාධිපති අගමැති වශයෙන් පත් නො කරන බව යලි පවසමින් ජනාධිපති සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දීර්ග ලිපියක් යැව්වේ ය.

සිරිසේනගේ ලිපිය ප‍්‍රතිවාදී එක්ස්ත් ජාතික පක්ෂයේ මැතිවරන අපේක්ෂා ශක්තිමත් කරන අතර මැතිවරන ව්‍යාපාරය වෙලාගෙන ඇති ගැඹුරු දේශපාලන අර්බුදය ඉස්මතු කර යි. කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල කටුක අභ්‍යන්තර කන්ඩායමික ගැටුම්, වැඩෙන භූ-දේශපාලනික ආතතීන් හමුවේ තීව්ර වෙමින් ඇත. චීනයට එරෙහි “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස එක්සත් ජනපදය, කලාපය පුරා චීන අනුහස අඩාල කිරීම අරමුනු කරගත් කුමන්ත‍්‍රන හා රාජ්‍යතාන්ත‍්‍රක කූඨෝපායන්හි යෙදී සිටියි.

චීනය සමග රාපක්ෂගේ කිට්ටු බැඳීම්වලට සතුරු එක්සත් ජනපදයේ අනුග‍්‍රහය හා ඉන්දියාවේ පිටුබලය ලත් තන්ත‍්‍ර මාරු කිරීමේ මෙහෙයුමකදී, ජනවාරි 8 ජනාධිපතිවරනයේ දී සිරිසේන රාජපක්ෂ පරාජය කලේ ය. රාජපක්ෂට එරෙහිව ජනාධිපති තරඟයට පිවිසීම සඳහා සිරිසේන ආන්ඩුවෙන් ඉවත් විය. වොෂින්ටනය සමග කිට්ටු සම්බන්ධකම් ඇති හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ඊට සහාය දුන්හ.

ජනවාරියේ දී රාජපක්ෂ ඉවත් කිරීම සැලසුම් කරන ලද එක්සත් ජනපදයට අගමැති වශයෙන් ඔහු යලි පත්වීම දිරවාගත නොහැකිය. තමා රාජපක්ෂ අගමැති වශයෙන් පත්කරන්නේ නැත යන සිරිසේනගේ ප‍්‍රකාශය, කොලඹ ඇමරිකානු ගැති කොටස් බලය අල්ලාගෙන සිටින සිය අත ශක්තිමත් කර ගැනීමට යා හැකි දුර පිලිබඳ ඇඟවුමකි. රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන්ට එරෙහි සිය තර්ජනය ක‍්‍රියාත්මක කිරීම සඳහා සිරිසේනට රාජ්‍යය හා ආරක්ෂක හමුදා මෙහෙයවීමට සිදුවනවා ඇත.

විරුද්ධවාදියෙකුගේ මග වැලකීම පිනිස ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස සිය ජනාධිපති බලතල ප‍්‍රයෝජනයට ගැනීමට ඇති සිරිසේනගේ කැමත්ත අවධාරනය කරන්නේ ජනවාරියේ ඔහු වටා පැවති ව්‍යාපාරයේ ව්‍යාජ ස්වභාවය යි. ඔහුගේ ආධාරකරුවෝ රාජපක්ෂගේ “ෆැසිස්ට් ඒකාධිපතිත්වය” හෙලා දුටුවෝ ය. සිරිසේන ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස හුවාදැක්වූ ඔවුහු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙස කෑමොර ගැසූහ. v

පාලක පන්තියේ කන්ඩායම් දෙකම විරුද්ධවාදීන්ට එරෙහිව පමනක් නොව, විශේෂයෙන් ම කම්කරු හා පීඩිත ජනතාවට එරෙහිව එකසේ කුරිරු වෙති. එක් කන්ඩායමක් වත් මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා නො කරයි. සිරිසේන ඇමරිකාව සමග කිට්ටු සම්බන්ධකම් අපේක්ෂා කරන කන්ඩායම නියෝජනය කරන අතර රාජපක්ෂ කතා කරන්නේ චීනය සමග ආර්ථික සබඳතා අවශ්‍ය කන්ඩායම වෙනුවෙනි.

ශ‍්‍රී ලංකා දේශපාලනයේ පලුදුවී ගිය ස්වභාවය, සිරිසේන හා රාජපක්ෂ තවමත් එකම පක්ෂයට, එනම් ශ‍්‍රීලනිපයට අයත් ය යන කාරනයෙන් පෙන්නුම් කරයි. රටේ ජනාධිපති ලෙස සිරිසේන ශ‍්‍රීලනිප නාමික නායකත්වය දැරුවත්, එහි පාලනය හිමි කර ගෙන ඇත්තේ රාජපක්ෂ විසිනි. රාජපක්ෂ ඇමතූ ලිපිය පුරාම සිරිසේන ඇමරිකානු ගැති එජාපයට වක‍්‍රව සහයෝගය පුද කරන අතර ශ‍්‍රීලනිප සාමාජිකයින්ගේ ගැලවුම්කාරයා ලෙස ද පෙනී සිටියි.

ශ‍්‍රීලනිප ඡන්ද දායකයින්ට ස්තුතිවන්නට රාජපක්ෂ 2005 හා 2009 මැතිවරනය ජය ගත් බව පිලිගන්නා අතර ම සිරිසේන ප‍්‍රකාශ කරන්නේ, ඔහු “විරුද්ධ පාර්ශ්වයේ පොදු අපේක්ෂකයා” ලෙස ජය ගත්තේ, රාජපක්ෂට විරුද්ධව ගොඩනැගෙමින් පැවතුන විරුද්ධත්වය හමුවේ “ඔහුට ජනතාවගේ වරම සංවිධානය කල හැකි වූ” නිසා බව යි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා ජීවන තත්වයන්ට එරෙහි රාජපක්ෂගේ ප‍්‍රහාර මධ්‍යයේ නැගෙමින් පැවති කෝපය ගසා කෑමට ඔහුට හැකි වූ අතර සිරිසේනගේ ජයග‍්‍රහනය, ශ‍්‍රීලනිප ඡන්ද කැඩීමට හා හිටපු සෞඛ්‍ය ඇමති පිටුපස එජාප හා අනෙකුත් සහචරයන් පෙල ගැස්වීමට ප‍්‍රවේසමෙන් මෙහෙය වන ලද මෙහෙයුමක කොටසකි. නොයෙකුත් ඉහල මධ්‍යම පන්තික රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය හා ශාස්ත‍්‍රාලික කන්ඩායම්, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම සංවිධාන සිරිසේන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අරක්ෂකයා ලෙස උද්යෝගයෙන් යුතුව බදා ගත්හ.

මාස හතකට පසුව සිරිසේන හා ඔහු විසින් පත්කරන ලද එජාප ආන්ඩුව, ඔවුන්ගේ පොරොන්දු කඩ කර ඇති නිසා අසහනය වර්ධනය වී ඇත. රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් තමා කොන් කර ඇති බව තේරුම් ගනිමින් සිරිසේන උත්සාහ කරන්නේ, ශ‍්‍රීලනිපයට ඔහුගේ පක්ෂපාතිත්වය ප‍්‍රකාශ කරමින් පක්ෂයේ පාලනය අත් කර ගැනීමට ය.

ජනවාරි 8වැනිදා මැතිවරනයේ දී ජනාධිපති ලෙස පත්වීමෙන් පසු ඔහු පශ්චාත් මැතිවරන ප‍්‍රචන්ඩකම් නතරකර, ශ‍්‍රීලනිප ආධාරකරුවන් හිංසාවට ලක්වීමෙන් ආරක්ෂා කල බව සිරිසේන කියයි. ඔහු මෙසේ ලිය යි: “ඔබට විරුද්ධව වෙනත් අයෙකු පොදු අපේක්ෂකයා ලෙස පැමින තිබුනේ නම් හා මැතිවරනය ජය ගත්තේ නම්, ඔබට හා ශ‍්‍රීලනිප සාමාජිකයන්ට සිදුවන්නට තිබුනේ කුමක් දැ යි සිතන ලෙස මම ඔබට මතක් කිරීමට කැමත්තෙමි.”

ලිපිය පුරා, සිරිසේන උත්සාහ කරන්නේ අගෝස්තු 17වැනිදා මැතිවරනයෙන් අත් විය හැකි පරාජයක් සඳහා රාජපක්ෂ වග කිව යුතු බව පෙන්වා දීමට ය. සිරිසේනගේ ලිපිය හෙලිකරන්නේ මැතිවරනය තරඟ කිරීමෙන් රාජපක්ෂ වැලක්වීමට අසමත්වීම පිලිබඳ ඔහුගේ ඉච්ඡාභංගය යි. අවස්ථා ගනනාවක දී ම තරඟ නො කරන්නැ යි තමා ඉල්ලූ බව මතක් කර දෙමින් සිරිසේන මෙසේ ලිය යි. “මෙම මැතිවරනයට ඔබ තරඟ නො කලේ නම්, (ඡන්දදායකයින්- බොහෝ කන්ඩායම්වල විශ්වාසය ...ආපසු ශ‍්‍රීලනිපයට දිනා ගැනීමේ ආරම්භකත්වය මට ගත හැකිව තිබුනි.”

ඇමරිකානු ගැති එජාප හා ජාතික හෙල උරුමය වැනි සිංහල ජාත්‍යෝන්මාදවාදීන් සමග අත්වැල් බැඳගත් සිරිසේන මංමුලා සහගත ලෙස උත්සාහ කරන්නේ, තමා සැබෑ ජාතික වීරයෙකු ලෙස පෙන්වා ගැනීමට ය. රාජපක්ෂ යටතේ පසුකාලීනව හුදෙක් “සිංහල-බෞද්ධයින්” නියෝජනය කරන පක්ෂයක් බවට පත් වුව ද, ශ‍්‍රීලනිපය “සමස්ත ශ‍්‍රීලාංකික ජාතියම” නියෝජනය කරන පක්ෂයක් ලෙස ඔහු ව්‍යාජ ලෙස පින්තාරු කර යි.

ශ‍්‍රීලනිප සිංහල වර්ගවාදයේ පදනම් මත ගොඩනැගුනු අතර, සිංහල භාෂාව “රාජ්‍ය භාෂාව” ලෙස හා බුද්ධාගම “රාජ්‍ය ආගම” ලෙස ප‍්‍රකාශ කල, 1972 කුප‍්‍රකට ව්‍යවස්ථාව වෙනුවෙන් එය වග කිව යුතු වන තතු හමුවේ මෙය අමූලික බොරුවකි. එජාප ආරම්භකල වර්ගවාදී යුද්ධයට ශ‍්‍රීලනිපය උද්යෝගීමත් ලෙස සහාය දුන් අතර, රාජපක්ෂ පමනක් නොව කුමාරතුංග බලයේ සිටි අතරතුර ද එය කුරිරු ලෙස ඉදිරියට ගෙන ගියේ ය.

ප‍්‍රතිගාමී සිංහල අන්තවාදය මත රාජපක්ෂ ඔහුගේ මැතිවරන ව්‍යාපාරයය ගෙන යන අතර, සිරිසේනගේ කයිවාරුවලින් කිසිවෙකු මුලා නො විය යුතු ය. රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සිරිසේන, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේදී දසදහස් ගනනක් සිවිල් වැසියන් ඝාතනය කිරීම මෙන් ම සිය ගනනක් පැහර ගැනීම් හා මිනීමැරුම් ඇතුලු එහි සියලුම අපරාධවලට හවුල් ය. සිරිසේන රාජපක්ෂගේ විශ්වාසවන්ත ලුතිනන්වරයා වූ අතර 2009 මැද භාගයේ දී ආරක්ෂක ඇමති වශයෙන් ද වැඩ බැලී ය.

රාජපක්ෂගේ වර්තමාන වර්ගවාදී උද්ඝෝෂනයට දක්වන සිරිසේනගේ විරුද්ධත්වය යොමුව ඇත්තේ, එජාපට දෙමල හා මුස්ලිම් ඡන්ද ගොනුකර දීම වෙත ය. කෙසේ නමුත් එජාප ආන්ඩුව දෙමල ජාතිකයන්ට එරෙහිව වෙනස්කම් කිරීමේ පිලිවෙත අඛන්ඩව ගෙනගිය අතර, ප‍්‍රමුඛ වශයෙන් දෙමල හා මුස්ලිම් බහුතරය වෙසෙන උතුරේ හා නැගෙනහිර මිලිටරි ග‍්‍රහනය එසේම ගෙන යයි.

පක්ෂය මැතිවරනය ජය ගත හොත් රාජපක්ෂ, ශ‍්‍රීලනිපයේ අනෙකුත් නායකයින්ට ද අවස්ථාවක් ලබා දිය යුතු යයි යෝජනා කරන සිරිසේනගේ ලිපිය ඉලක්ක කෙරෙන්නේ, රාජපක්ෂ කන්ඩායම තුල බෙදීම් වැඩි කිරීමට ය. ඔහු අවසන් කරන්නේ “වර්ගවාදය ඇවිස්සිය හැකි ප‍්‍රකාශ” කිරීම නතර කරන ලෙස ඉල්ලමිනි. පක්ෂය තුල බෙදීම් සමහන් කරන ලෙස ද ශ‍්‍රීලනිප හා එහි ආධාරකරුවන් මැතිවරනය ජය ගැනීම සහතික කිරීමට ඉදිරිපත්වන ලෙස ද සිරිසේන ඔහුගෙන් ඉල්ල යි. සැබවින් ම ලිපිය, අවසාන මොහොතේ එජාප ඡන්ද හා ශ‍්‍රීලනිපය තුල සිරිසේනගේ අනුහස වැඩි කර ගැනීමට දරන ලද උත්සාහයකි.

සිරිසේනගේ “පදනම් විරහිත විවේචන” ප‍්‍රතික්ෂේප කරමින් හා “2015 ජනවාරි 9වැනිදා ජනතාවගේ තීරනයට මා ගරු කල ආකාරයට ම, 2015 මහ මැතිවරනයේ දී ද ජනතාවගේ තීරනයට ගරු කරන” ලෙස ජනාධිපතිගෙන් ඉල්ලමින් රාජපක්ෂ කෙටි පිලිතුරක් යැව්වේ ය. සඳුදා කුමන පක්ෂය දිනුවත් ලිපි හුවමාරුව වේදිකාව සකසන්නේ, ශ‍්‍රී ලංකාවේ පාලක ප‍්‍රභූව අතර ගැඹුරු වන කන්ඩායමික ගැටුම සඳහා ය.

මැතිවරනයට තරඟ කරන සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ, පාලක පන්තියේ කන්ඩායම් දෙකම ප‍්‍රතික්ෂේප කරන ලෙස යි. එම කන්ඩායම් දෙක ම රටේ ආර්ථික අර්බුදයේ බර මහජනතාව මත පැටවීමට කැප වී ඇත. යුද්ධයට, කප්පාදුවට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන්ට විරුද්ධව සමාජවාදී විකල්පයකට සහාය දැක්වීම සඳහා අප තරඟ කරන දිස්ත‍්‍රික්ක වලදී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: