ශ්‍රී ලංකාව: ජවිපෙ මැතිවරන ප්‍රකාශනය මහා ව්‍යාපාරිකයට කිට්ටු කරයි

Sri Lanka: JVP election manifesto woos big business

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 අගෝස්තු 04

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) අගෝස්තු ‍මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරනය සඳහා ඉදිරිපත්කරන සිය ප්‍රකාශනය පසු ගිය මස අවසානයේදී නිකුත් කලේ ය. “හෘදය සාක්ෂියේ සම්මුතිය” නම් එහි ප්‍රමුඛ එල්ලය වන්නේ තමන් පාලක ධනපති එක්සත් ජාතික පක්ෂයට හා විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශ්වාසදායි හා ශක්‍ය විකල්පයක් බව පාලක ප්‍රභූව හමුවේ ප්‍රදර්ශනය කිරීම ය.

ගම්බද සිංහල තරුනයන්ගේ “සන්නද්ධ අරගලයක්” දේශනා කරමින් 1960 ගනන්වල පිහිටුවන ලද ජවිපෙ, පාර්ලිමේන්තු ආසන සඳහා සිය ගරිල්ලා සලුපිලි හුවමාරු කර ගනිමින් දීර්ග කාලයට පෙරම කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍ර වී ඇත. එජාප හා ශ්‍රීලනිපට විරුද්ධව වැඩ කරන ජනතාව අතර පුළුල් ව පැතිර ඇති විරුද්ධත්වය හමුවේ එයටදේශපාලන ආරක්ෂක කපාටයක් ලෙස ක්‍රියාත්මක වීමට ඔවුහු උත්සාහ දරති.

එහෙත් ඒ වෙනුවෙන් ජවිපෙට ඇති හැකියාව, 2004දී ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවට එක්වී ව්‍යාපාර ගැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වීමෙන් පසුව පිරිහෙමින් ඇති සහයෝගය ද පක්ෂය තුල සිදුවූ ව්‍යසනකාරී බෙදීම් මාලාවක් ද හමුවේ බරපතල ලෙස ඛාදනය වී ඇත. 2004දී 39ක්ව පැවති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 2010 මහ මැතිවරනයේ දී 4දක්වා පහත වැටුනි. 2013 හා 2014 පැවති පලාත් සභා මැතිවරන වටයේ දී, මධ්‍යම, වයඹ, බටහිර හා දකුනු පලාත්වල එහි මුලු ආසන සංඛ්‍යාව 55 සිට 7ට බැස්සේ ය.

ප්‍රධාන පක්ෂ වෙතින් වියෝවන ජනතාව ආරක්ෂාකාරී පාර්ලිමේන්තු මාවත් වලට හරවා යැවීමේ දී ජවිපෙ කාර්යභාරය පිලිබඳව දැනුවත් කොලඹ මාධ්‍යය, 22වැනිදා එහි ප්‍රකාශනය එලිදැක්වීමට පුළුල් ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ය. රජයේ ස්වාධීන රූපවාහිනී ජාලය (අයිටීඑන්) වැඩසටහනකට සාමාන්‍යයෙන් අය කරන රුපියල් 200,000ක් පමන වන ගාස්තුව රුපියල් 54,600 දක්වා අඩුකර ඒ සම්පූර්න අවස්ථාව ම සජීවී ව විසුරුවා හැරියේ ය.

එම වට්ටම පිරිනමන්ට ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහට සපයන ලද සේවය වෙනුවෙන් බව ට සැකයක් නැත. ජනවාරි ජනාධිපතිවරනයේ දී ජවිපෙ සිරිසේන බලයට පත්කිරීමට සහාය දුන්නේ ය. සිරිසේන බලයට පත් කිරීම වනාහි, බීජීනයට ඕනෑවට වඩා සමීපව සිටින්නේ යයි වොෂින්ටනය විසින් සලකන ලද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට ඇමරිකාව විසින් ප්‍රවේශමෙන් පෙල ගස්වන ලද මෙහෙයුමක ප්‍රතිපලය විය. එජාප නායකත්වය යටතේ සුළුතර ආන්ඩුවක ප්‍රධානත්වය ගැනීම සඳහා සිරිසේන ඊට පසුව වික්‍රමසිංහ අගමැති ලෙස පත්කලේ ය

වර්තමාන මැතිවරන ව්‍යාපාරය තුල ජවිපෙ, තමන් එජාපයේ හා ශ්‍රීලනිපයේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටියි. විශේෂ පක්ෂ සමුළුවකට ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානයක, එජාප හා ශ්‍රීලනිප යන පක්ෂ දෙක ම විවේචනය කලේ මෙසේ පවසමිනි: “පසු ගිය වසර 67 තිස්සේ බලයට පත්වූ ආන්ඩු රට සංවර්ධනය කිරීමට කල දෙයක් නැත.”

කෙසේ නමුත් ජවිපෙ, ආරම්භයේ පටන්ම එක් හෝ තවත් ප්‍රධාන ධනේශ්වර පක්ෂයකට සහයෝගය දී ඇති අතර, වඩාත් මෑත දී සිරිසේන හා වික්‍රමසිංහ පාලනය ඇටවීම සඳහා සහයෝගය දීම මගින් එය යලි පෙන්නුම් කලේය. ජනවාරි මැතිවරනයෙන් පසුව ජ‍විපෙ, සාමාජිකයින් 13න් සමන්විත, ජනාධිපති හා අගමැති ඇතුලත් රටේ ඉහලම උපදේශක සභාව වූ ජාතික විධායක සභාවට පත්කරනු ලැබූනි. ආන්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අධීක්ෂනය කිරීමට එහිදී ඔවුන් සම්බන්ධ විය.

මැතිවරනයේ දී ජවිපෙ, එජාපයට තල්ලුව දෙන බවට සැකයක් නොමැත. සිය උද්ඝෝෂනය තුල දී වික්‍රමසිංහ පිලිබඳ සැර බාල විවේචන ඉදිරිපත් කරන අතර ජවිපෙ නායකයින්, ඔවුන්ගේ ප්‍රධාන වෙඩි මුරය එල්ල කරන්නේ “දූෂිත, ඥාතිමිත්‍ර සංග්‍රහයේ යෙදුන හා ඒකාධිපති ” රාජපක්ෂට එරෙහිව වන අතර ඔහු බලයට පැමිනීම වැලක්වීමට ප්‍රතිඥා දෙයි. කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා සමාජ කොන්දේසි වලට පහර ගැසීමේ දීර්ග ඉතිහාසයක් ඇති ශ්‍රීලනිප හා එජාප යන දෙකම ධනපති පක්ෂ වේ.

කස්ත්‍රෝවාදය, මාඕවාදය හා සිංහල ජනතාවාදය මත පදනම්වූ ජවිපෙ, පසුව සිය සමාජවාදී හා අධිරාජ්‍ය විරෝධී කයිවාරු අතහැර දැමීය. එහි මැතිවරන ප්‍රකාශනය කැපකර ඇත්තේ මහ ව්‍යාපාරිකයින් වෙනුවෙනි. “රජයේ-පුද්ගලික හවුල්කාරිත්වය”, ආයෝජකයින්ට පස් අවුරුදු බදු විරාමයක් හා අපනයනට නැඹුරුවූ කෘෂිකර්මය කාර්මිකකරනය ප්‍රවර්ධනය කිරීමට ජවිපෙ පොරොන්දු වෙයි. ලෝක වෙඳපොලේ ශ්‍රී ලංකාවේ පංගුව සියයට 0.45 දක්වා පහත හෙලීම ගැන දිසානායක අනුප්‍රාප්තික ආන්ඩුවලට දොස් නැගූ අතර එම ප්‍රවනතාව ආපසු හැරවීමට පොරොන්දු විය.

ධනේශ්වර ආරථික කඩාවැටීම හා භාන්ඩ මිල ගනන් පහල වැටෙන කොන්දේසි යටතේ, ජවිපෙ පොරොන්දුවල එකම අර්ථය විය හැක්කේ, වැටුප් කැපීම හා වඩා ඉහල නිෂ්පාදන ඵලදායිතාව, එනම් උග්‍ර සූරාකෑම සඳහා කෙරෙන මහා ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන අතර බලාත්මක කරනු ඇති බව යි. ලෝක වෙලඳපොලේ තරඟය වෙනුවෙන් සමාගම් වැටුප් වැඩි නොකර වැඩි වැඩ තොගයක් පැටවීමට බල කරන තේ වැවිලි අංශයේ මෙය දැනටමත් දැක ගත හැක.

රටේ ආර්ථිකය “නව සමාජවාදය” මත - ගෝලීය සංගත සඳහා චීනය දැවන්ත ලාභ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීම, “චීන ගතිලක්ෂන සහිත සමාජවාදය” ලෙස යුක්තිසහගත කරන ස්ටැලින්වාදී චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ඇහිඳ ගෙන ඇති වැකිකඩකි - පදනම් විය යුතු යැයි ජවිපෙ ප්‍රකාශනය ඉල්ලා සිටියි. තවමත් චීන කොමියුනිස්ට් පක්ෂය සමග පක්ෂ මට්ටමෙන් සම්බන්ධකම් පවත්වා ගෙන යන ජවිපෙ, චීන කම්කරුවන්ගේ ම්ලේච්ඡ සූරාකෑම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අනුකරනය කිරීමට පිලින දෙයි.

ජූලි 27වැනිදා සංගත නායකයින් සඳහා ජවිපෙ විශේෂ රැස්වීමක් කොලඹදී සංවිධානය කලේ ය. ජවිපෙ “ව්‍යාපාරික ප්‍රජාව සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම්” බව හා පක්ෂය ගැන සැක නො කරන ලෙස ව්‍යාපාරිකයින් ඒත්තු ගැන්වීමට රැස්වීම සංවිධානය කර තිබූ බව දිසානායක ප්‍රේක්ෂකයින්ට සහතික විය. “දුප්පතුන්ට දීමට පොහොසතුන්ගෙන් අර ගන්නා ආර්ථික ක්‍රමයක් ඇති කිරීමට ජවිපෙ පියවර ගන්නා බවට අදහසක් තියෙනවා” යයි පැවසූ ඔහු එය වැරදි බව අවධාරනය කලේ ය.

ජවිපෙ ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ දී දිසානායක, පාලක ප්‍රභූවට තවත් සහතිකයක් පිරිනැමුවේ ය, එනම් පක්ෂය නැවත ආයුධ අතට නො ගන්නා බව යි. “පක්ෂයක් විසින් නොකල යුතු දේ අපි කරලා තියෙනවා. අපි මෙම කටයුතු ගැන කනගාටු වෙනවා. අපි ආයුධ සහිතව සටන් කරන්නේ නෑ. අපගේ සටන වනවා ඇත්තේ අදහස් අතර” යයි ඔහු ප්‍රකාශ කලේ ය.

ජවිපෙ 1971දී අතිධාවනකාරී කැරැල්ලක් දියත්කල අතර එය ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලදී. නැවතත් 1980 ගනන්වල අග භාගයේ දී එහි තුවක්කරුවෝ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ඔවුන්ගේ වර්ගවාදී උද්ඝෝෂනයට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කල දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් සිය ගනනක් මරා දැමූහ. එම ගිවිසුම වානාහි, රටේ සිවිල් යුද්ධය තුල සටන් විරාමයක් බලගන්වා, බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානය නිරායුද කරඅඩුව පිරවීමට, පලාත් මට්ටමින් සීමිත බලය බෙදීමක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උතුරේ ඉන්දියානු “සාම සාධක හමුදා” රැඳවීමට ඉඩ සලසන, කොලඹ හා නව දිල්ලිය අතර ඇතිකරගත් එකඟතාවකි.

ඡන්දදායකයින්ට ඉදිරිපත් කරන ජවිපෙ හිස් පොරොන්දු, එජාප හා ශ්‍රීලනිප බේගල් වලට මූලික වශයෙන් වෙනස් නො වේ. සිය ඒකාධිපති පාලන ක්‍රමවේදයන්ට රුකුල් දීම පිනිස බලයට පත්වූ ජනාධිපතිවරුන් ප්‍රයෝජනයට ගත් රටේ විධායක ජනාධිපති ක්‍රමය තුරන් කරන බව පවසමින් ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන්නේ යයි ජවිපෙ ප්‍රකාශ කරයි.

අතීතයේ ජවිපෙ මෙම පොරොන්දුවම නැවත නැවතත් දී ඇතත්, ඔවුන් යලි යලිත් සිය විධායක බලතල යොදා ගැනීමට ජනාධිපතිවරුන් දිරිමත් කලේ ය. 2003දී එජාප ආන්ඩුවේ ආරක්ෂක හා ස්වදේශ කටයුතු අමාත්‍යවරුන්බලයෙන් පහ කිරීමට ද ඊ ලඟ වසරේ දී “ජාතික ආරක්ෂාව” පිලිබඳ කාරනා මත මුළු ආන්ඩුව ම නෙරපා හැරීමට ද ජවිපෙ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් උද්ඝෝෂනය කලේ ය. ඊට පසු ජවිපෙ, 2004 දී ශ්‍රීලනිපය සමඟ මැතිවරන උද්ඝෝෂනය ගෙන ගිය අතර ආන්ඩුව පිහිට වූ අවස්ථාවේ දී කැබිනට් අමාත්‍යංශ තුනක් භාර ගත්තේ ය.

ජවිපෙ දැන් “දූෂිත, ඥාති මිත්‍ර සංග්‍රහයේ යෙදුන හා ඒකාධිපති” යැයි රාජපක්ෂ හෙලා දකින නමුත් 2005දී එහි නායකයෝ, ඔහු ජනාධිපති තනතුරේ පිහිටුවීම සඳහා මැතිවරනය තුල උද්ඝෝෂනය කලහ. 2009දී එල්ටීටීඊ පරාජය වන තෙක් ම ජවිපෙ, රාජපක්ෂ හා ඔහුගේ විධායක බලතල ආරක්ෂා කල අතර, සිවිල් වැසියන් දස දහස් ගනනකගේ ජීවිත බිලිගත් මිලිටරියේ කුරිරු යුද්ධය වෙනුවෙන් හුරේ දමන්නෙකු විය.

ජනාධිපතිගේ බලතල අඩු කිරීම හා පාර්ලිමේන්තුවේ බලතල තර කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරනු ඇති බවට කරන ප්‍රකාශය ද බොරුවකි. අනෙකුත් රටවල දී මෙන් ම ශ්‍රී ලංකාවේ දී ද පාර්ලිමේන්තුව ධනේශ්වර පාලනයේ මෙන් ම කම්කරු පන්තියේ වියදමින් පුද්ගලික දේපල ආරක්ෂා කිරීමට රාජ්‍ය යාන්ත්‍රනය කුරිරු ලෙස යොදා ගැනීම සඳහා වන හුදු කඩතුරාවකි.

ජවිපෙ සිය ප්‍රචාරයට එකතු කර ඇති අළුත් ම බොරුව, අවුරුදු 30ක් තරම් කාලයක් ඇදී ගිය සිවිල් යුද්ධයෙන් නිර්මානය කරන ලද භේදයන් සමහන් කල හැකි පක්ෂය ජවිපෙ බවට කරන මවා පෑම යි. විශේෂ පක්ෂ සම්මේලනයේ දී ජවිපෙ නායක දිසානායක, “සිය බලය තර කර ගැනීමට වර්ගවාදය වැපිරීම” පිලිබඳව අතීත හා වර්තමන ආන්ඩුවලට චෝදනා කලේ ය.

මෙම ප්‍රකාශ එහි නරුමත්වය හා කුහකත්වය අතින් වාර්තා පිහිටුවයි. මුල් උත්පත්තියේ සිටම ජවිපෙ, සිංහල වර්ගවාදී මඩ ගොහොරුවේ ගිලී ඇත. බ්‍රිතාන්‍ය පාලනය යටතේ පොරොන්දුපත්‍රයක් මත කුලී ශ්‍රමිකයන් ලෙස ලංකාවට ගෙන එන ලද පීඩිත දෙමල වතු කම්කරුවන් “මාතෘභූමියට” තර්ජනයක් වූ “ඉන්දියානු සංස්කෘතික ආක්‍රමනයක්” ලෙස හංවඩු ගැසූ අවස්ථාවේ සිටම ජවිපෙ එසේ විය.

1983දී එජාප පටන්ගත් වර්ගවාදී යුද්ධයට ජවිපෙ හැමවිට ම හා මුලුමනින් ම පිටුබලය දුන්නේ ය. 1980 ගනන්වල අග ඉන්දු-ලංකා ගිවිසුමට ඔවුන් විරුද්ධ වුනේ එය කම්කරුවන්ට එරෙහිව එල්ල කල නිසා නො ව, ඉන්දියානු හමුදාවට දිවයින “ආක්‍රමනය” කිරීම සඳහා ඉඩ දීමෙන් එය “මව්බිම පාවාදුන්” බැවිනි. 2009 එල්ටීටීඊය පරාජය වන තෙක් ම ජවිපෙ ඉල්ලා සිටියේ “මාතෘභූමිය ආරක්ෂා කිරීම සඳහා” කම්කරු පන්තිය සියල්ල “කැපකල යුතු” බව යි. 2006දී රාජපක්ෂ යුද්ධය යලි ආරම්භ කල අවස්ථාවේ, ජවිපෙ මිලිටරියට බංකර හැදීම සඳහා උදව් කලේ ය, යුද අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර යුද්ධයට විරුද්ධ වූ සැමදෙනා “ද්‍රෝහීන්”හා “ ත්‍රස්තවාදයේ උදව්කරුවන්” ලෙස හෙලාදුටුවේ ය.

ජවිපෙ කොටියා සිය පුල්ලි වෙනස් කර නැත. “ජාතික එක්සත්කම” සඳහා එහි ආයාචනය හා වර්ගවාදයට දක්වන ව්‍යාජ විරුද්ධත්වය එල්ල කෙරෙන්නේ ඔවුන්අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති උතුර හා නැගෙනහිර දෙමල ජනතාවගේ සහාය දිනාගැනීම වෙත ය. ඒ අතර ම ෆෙඩරල් ව්‍යවස්ථාවක් වෙනුවෙන් කථා කිරීම නිසා ධනේශ්වර දෙමල ජාතික සංන්ධානයට ජවිපෙ පහර දෙන්නේ, එය කම්කරු පන්තිය බෙදීමට තුඩු දෙන්නේය යන ආස්ථානයෙන් නො ව එය “ජාතිය බෙදයි” යන වර්ගවාදී ආස්ථානයේ සිටය.

ජවිපෙ “වර්ගවාද විරෝධී” මවා පෑමේ ඉලක්කය ද කොලඹ පාලක කවයන් තුල හා ජාත්‍යන්තරව වඩා ගෞරවනීය ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමය. එය අනියම් ලෙසින් ඇමරිකාව අනුග්‍රහය දක්වන එජාප සමග පෙල ගැසේ. එල්ටීටීඊය පරාජයට පත්වන තුරුම වොෂින්ටනය යුද්ධයට සහාය දුන් නමුත් දැන් දිවයිනේ සිංහල හා දෙමල ප්‍රභූව අතර දේශපාලන සම්මුතියක් දිරිමත් කරමින් හා ශ්‍රී ලංකාව මත චීන බලපෑම අවසන් කිරීමට උත්සාහ කරයි.

තවමත් ජවිපෙ ප්‍රකාශනයේ “අධිරජ්‍ය විරෝධී” හා “යටත් විජිත විරෝධී” දෙඩවිලි අන්තර්ගතව ඇති නමුත් එය බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන් සමග කිට්ටු සම්බන්ධකම් ගොඩ නඟයි. එය ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු ආක්‍රමනයට සහාය දුන්නේ ය, වොෂින්ටනයේ “ත්‍රස්තවාදයට එරෙහි” ව්‍යාජ යුද්ධයට සහාය දුන් අතර, ජ්‍යේෂ්ට පරිපාලන නිලධාරීන් ඇතුළු කොලඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සාකච්ඡා මාලාවකට සහභාගී විය. වෙනත් වචනවලින් පවසතොත්, ජවිපෙ, ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සඳහා ප්‍රයෝජනවත් දේශපාලන උපකරනයක් වී ඇතිවා පමනක් නොව අධිරාජ්‍යවාදයට ද එහි සේවය පුද කරයි.

Share this article: