ශ‍්‍රී ලංකාව: සමාජවාදී සමානතා පක්ෂය උතුරේ පලමු රැස්වීම පවත්ව යි

Socialist Equality Party holds first election meeting in Sri Lanka’s north

අපේ වාර්තාකරුවන් විසිනි ,2015 අගෝස්තු 01

සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සමාජිකයින් හා ආධාරකරුවන් 50ක් පමන කයිට්ස් පොදු වෙලඳපොල හා යාබද විවෘත උද්‍යානයේ දී බලගතු රැස්වීමක් පැවත්වූහ. වෙලඳසැල් වලට හා මහ මග ගමන්ගත් සිය ගනනක් නැවතී සිට සසප අපේක්ෂකයින්ගේ කතාවලට සවන් දුන්හ. රැස්වීමට පෙර සසප මැතිවරන නිවේදනයේ පිටපත් දහස් ගනනක් කයිට්ස් දූපත පුරා බෙදා හරින ලදී.

කයිට්ස් හි රැස්වීමට සහභාගි වූ සසප කන්ඩායමෙන් කොටසක්

සසප යාපනය දිස්ත‍්‍රික්කය තුල උද්ඝෝෂනය කරන්නේ බොහෝ සෙයින් කැලඹුනු දේශපාලන වාතාවරනයක් තුල ය. බෙදුම්වාදී එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් වසර පහකට පසු, දෙමල ජනගහනයේ බහුතරය මුහුන දෙන සියලුම මූලික සමාජ ප‍්‍රශ්න - විරැකියාව, දරිද්‍රතාව, නිවාස හිඟය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම්වල ඌනතාව - ඒ හැටියට ම පවතී. ශ‍්‍රී ලංකාවේ මිලිටරි හා ආරක්ෂක භටයෝ දසදහස් ගනනක් ප‍්‍රදේශයේ දිගට ම රඳවා සිටිති.

සසප අපේක්ෂකයෙකු හා දීර්ග කාලීන සාමාජිකයෙකු වන රසෙන්දිරන් සුදර්ශන් රැස්වීමේ මුලසුන ගත්තේ ය. දේශපාලන පක්ෂ හා ස්වාධීන කන්ඩායම් දුසිම් ගනනක් මැතිවරනයට තරඟ වැදුනත් ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන එකම සංවිධානය මෙන් ම “අධිරාජ්‍යවාදී යුද්ධය පිලිබඳව අනතුරු අඟවන එක ම පක්ෂය” සසප බව ඔහු පැවසී ය.

ඊ ලඟට සසප අපේක්ෂක රාසාරත්නම් බාලාගෞරි මෙලෙස අනතුරු ඇඟවූවා ය: “ලෝකය පුරා ආන්ඩු කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන්ට පහර දෙනවා. ශ‍්‍රී ලංකා ආන්ඩුව ද අනුගමනය කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ න්‍යායපත‍්‍රයයි.”

මැතිවරනය පැවත්වෙන්නේ තීරනාත්මක සන්ධිස්ථානයක බව යාපන දිස්ත‍්‍රික්කය සඳහා සසප ප‍්‍රධාන අපේක්ෂක පරමු තිරුඥාන සම්පන්දන් පැවසූවේ ය. තමන්ගේම ස්වාධීන විප්ලවවාදී නායකත්වයක් ගෙඩනැගීමට කම්කරු පන්තිය පෙරට ආ යුතුව තිබෙනවා යයි ඔහු පැවසී ය.

දෙමල ධනේශ්වර පක්ෂවල, විශේෂයෙන් ම දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) කාර්යභාරය පිලිබඳව ඔහු අදහස් දැක්වී ය. “දෙමල ජනතාව වෙනුවෙන් කතා කරන බව මවා පාන ගමන් දෙමල ප‍්‍රභූවේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටින ටීඑන්ඒ හෙවත් දෙමල ජාතික සන්ධානය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග පෙල ගැසී ඇත. එජාප නායකත්වය දෙන පාලක හවුල යහපත් ආන්ඩුවක් ලෙස ප‍්‍රචාරය කරමින් ටීඑන්ඒ, සිරිසේන හා වික‍්‍රමසිංහ විසින් අටවන ලද උපදේශක සභාවක් වන ජාතික විධායක සභාවට ද සහභාගී වෙයි.”

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් ධනේශ්වර පක්ෂවල අත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් ද කම්කරු පන්තිය ස්වාධීනව මෙහෙයවීම වැලක්වීමට උගුල් අටවමින් ද සිටිති” යි ඔහු පැවසී ය.

කොලඹ දිස්ත‍්‍රික්කය සඳහා සසප අපේකෂකයෙකු ද වන, පක්ෂයේ දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්.ඒ. සුනිල්, ග‍්‍රීසියේ දේශපාලන වර්ධනයන් ද ග‍්‍රීක කම්කරුවන් මත මූල්‍ය ප‍්‍රාග්ධනයේ බලපෑම ද අවධාරනය කලේ ය. “මෙය ශ‍්‍රී ලංකාවටත් කෙලින් ම අදාල වනවා” යි ඔහු පැවසී ය.

“ග‍්‍රීසිය තුල සිරිසාව බලයට පත්වුනේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය හා යුරෝපා මහබැංකුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කිරීමට පොරොන්දු වෙමින්” යැයි සුනිල් පැවසී ය. “එනමුත් මාස හතකට පසු සිරිසා මෙම පොරොන්දු කඩා දමා ඇති අතර දැන් රැකියා, විශ‍්‍රාම සහන, හා අනෙකුත් ශුභසාධන වියදම් කැපීමේ හා කප්පාදුවේ ප‍්‍රධාන වගකීම දරයි.”

ශ‍්‍රී ලංකා ධනේශ්වරයේ කොටස් ග‍්‍රීසියේ කප්පාදු පියවර සාකච්ඡා කරමින් සිටින බව පැවසූ සුනිල් මොන පක්ෂය බලයට ආවත් එය සමාජ සේවා කප්පාදු හා පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් අනුගමනය කරනු ඇති බවට ඔහු අනතුරු ඇඟවී ය.

“ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගය සඳහා සසප දශක ගනනාවක් තිස්සේ ගෙන ගිය අරගලය සහ බලයේ සිටි ආන්ඩු හා ඒවායේ දේශපාලන ඒජන්සි විසින් ගෙන යන ලද වර්ගවාදී යුද්ධයට දැක් වූ අචල විරුද්ධත්වය නිසා පක්ෂය කයිට්ස් දූපතේ කම්කරුවන්, ගොවීන් හා ධීවරයන් අතර බොහෝ ප‍්‍රසිද්ධ ය.”

“සසප සාමාජික නඩරාජා විමලේස්වරන් හා ඔහුගේ මිත‍්‍රයා වන සිවනාදන් මතියනාදන් 2007 මාර්තු මාසයේ දී අතුරුදහන් වූයේ පුංගුඩුතිව් දූපත හා කයිට්ස්වල වේලානි අතර දීර්ග දියමංකඩ දිගේ ඇවිදගෙන යන අතරතුර දී ය. සසප විසින් එකතු කරන ලද සාක්ෂි ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාව හා එකට වැඩ කරන පැරා මිලිටරි කන්ඩායම් හා ඊලම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) ඊට සම්බන්ධ බව ඔප්පුවී තිබේ.”

සසප ආධාරකරුවකු කරෙයි නගර් හි නිවැසියන් හමුවී

එල්ටීටීඊ පරාජයෙන් වසර පහකට පසු ද, ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ දහස් ගනනක් කලාපය තුල තවමත් රඳවා ඇති අතර බොහෝ ප‍්‍රාදේශීය දූපත් තවමත් නාවික හමුදාව හා ඊපීඩීපී ග‍්‍රහනය යටතේ පවතියි.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති හැටියට මෛත‍්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒම මගින් උතුරේ හා නැගෙනහිර ගොවීන්, ධීවරයන්, කම්කරුවන් හා තරුනයන්ගේ තත්වයෙහි කිසිදු වෙනසක් සිදුකර නැත. මිලිටරිය විසින් නියම කරන ලද අධි ආරක්ෂක කලාප මුල් අයිතිකරුවන්ට ආපසු ලබා දී නැත. පවුල් දහස් ගනනකට යහපත් නිවාස හා මූලික පහසුකම් නොමැත. දැවන්ත විරැකියාව හා දරිද්‍රතාව කැපී පෙනෙ යි.

මැයි මාසයේ දී පුන්ගුඩුතිව් හි දී පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂනයට ලක් කර මරා දැමීම ප‍්‍රදේශයේ වැසියන් දහස් ගනනකගේ විරෝධතා ඇවිලවූ අතර එය උතුරේ සමාජ තත්වය පිලිබඳව ජනතාව තුල පවතින කෝපය හා අසතුට පිලිබිඹු කලේය. පෙලපාලි මැඩීමට පොලීසිය හා මිලිටරිය බලමුලු ගන්වමින් ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ උසාවි සංකීර්නයට හානි කලා යැයි පුද්ගලයන් ගනනාවකට චෝදනා කරමිනි. ශිෂ්‍යයින් අන්තර්ජාල කැෆේ පාවිච්චි කිරීම තහම් කරමින් මෑත දී උසාවි නියෝගයක් නිකුත් කර ඇත.

සංචාරකයින් ආකර්ෂනය කර ගැනීමට ආන්ඩුව කයිට්ස් මාර්ගය නැවත පිලිසකර කරන අතර නිවැසියන් සඳහා මූලික ජීවන පහසුකම් වැඩි දියුනු කර නොමැත.

කයිට්ස්වලින් කිලෝමීටර් පහක් පමන ඈත පිහිටි, පෙර දී ඊපීඩීපී පැරා මිලිටරි හමුදා පාලනය කල මෙලින්චිමුනි ගම්මානයට සසප හා සසජාතශි සාමාජිකයෝ ගියහ. 300ක් පමන වන ධීවර ප‍්‍රජාවට බීමට සුදුස ජලය නොමැත, බීමට ඇත්තේ වැව්වල සීමිත ජලය පමනි.

දරුවන් දෙදෙනෙකුගේ තරුන මවක් ලෝසවෙඅට පැවසුවේ “ගම්මානය දිගට ම ඊපීඩීපී පාලනය යටතේ තිබුන බව යි.” ඔවුන් අනෙකුත් සියලු දෙනාට ගමට ඒම තහනම් කර තිබූ නිසා ඊපීඩීපී හැරුන කොට අපි වෙන කිසිම පක්ෂයක් ගැන දන්නේ නෑ” යි ඈ පැවසුවා ය. ”ඔවුන්ට ඡන්ද දෙන ලෙස අපට බල කලා...දේශපාලන පක්ෂ කියන්නේ ඔවුන් මිනිස්සුන්ට උදව් කරනව කියලා, නමුත් අපගේ කිසිම ප‍්‍රශ්නයක් විසඳිලා නෑ.”

සසප වැඩපිලිවෙල සාකච්ඡා කරමින්

ධීවරයෙක් මෙසේ පැවසී ය: “ඉලෙක්ෂන් එකක් තිබ්බොත් අපේක්ෂකයෝ එනවා අපි හම්බවෙන්න. ඊට පස්සේ ඔවුන් අතුරුදහන් වෙනවා, ඔවුන් හම්බවෙන්න පවා අපිට අවස්ථාවක් ලබාගන්ට බෑ. ඔවුන් මිනිස්සුන්ට සේවය කරන්නේ නෑ, නමුත් ආන්ඩුව ශක්තිමත් කරනවා, තමන්ටම වැඩකර ගන්නවා.”

කයිට්ස්වලට ආසන්න තවත් දූපතක් වන කරෙයිනගර් හි වැන්දඹු මවක් මෙසේ පැවසුවා ය: “මමයි මගේ ලමයිනුයි දුප්පත්කමට වැටුනා, ඒ නිසා මම අවුරුදු දෙකක් පිටරට වැඩ කෙරුවා. දැන් මගේ ලමයි ලොකුයි. මම ආයෙත් රට යන එක ආන්ඩුවේ නිලධාරීන් නතර කලා, අපි ආයෙත් දුප්පත්කමට වැටුනා. ආන්ඩුව වෙනස් වුනත් අපගේ ජීවිතවල කිසි දෙයක් වෙනස් වෙලා නෑ.”

තැපල් සේවකයෙකු වන ආර්. රසින්දරන් ද්‍රජාස හෙලා දුටුවේ ය. “හැමදාම ටීඑන්ඒ ඉස්සරහට දාන්නේ එකම ප්‍රෝග‍්‍රෑම් එක. පරාදවෙන්න ඉස්සෙල්ලා ඔවුන් වැඩ කලේ එල්ටීටීඊ එකත් එක්ක නමුත් පාර්ලිමේන්තුවේ දි ඒගොල්ලෝ එල්ටීටීඊ එකට කිව්වේ ත‍්‍රස්තවාදීන් කියලා. ටීඑන්ඒ එක මිනිස්සු රවට්ටනවා. ඒගොල්ලේ කිව්වා ඔවුන් උතුරු පලාත් සභාව දිනුවොත් දෙමල මිනිසුන්ගේ ජීවිත නඟාසිටුවනවා කියලා, නමුත් අපට කිසිම යහපතක් වෙලා නෑ.”

57 හැවිරිදි ගොවියෙකු වන දේවන් මෙසේ පැවසී ය: “ටීඑන්ඒ එකත් එක්ක ඔක්කොම දේශපාලකයෝ පොරොන්දු ගොඩක් දෙනවා, නමුත් ඡන්දෙන් පස්සේ ඒවා කුනු කූඩයට දානවා. ටීඑන්ඒ එක දෙමල ජනයා ගැන හෝ ඔවුන්ගේ ප‍්‍රශ්න ගැන උනන්දු නෑ.”

ආන්ඩුව “යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා, හැබැ යි අපේ එකම ප‍්‍රශ්නයක්වත් විසඳිලා නෑ. ආන්ඩුවේ දින 100 වැඩ සටහන, විධායක ජනාධිපති බලතල අඩුකිරීමේ පොරොන්දු ඔප්පු කරලා ඇත්තේ ඔක්කොම බොරු බවයි. ආන්ඩුව සමහර භාන්ඩවල මිල අඩු කරලා තියෙනවා, නමුත් ඉස්සර වගේ ආයෙත් ඡන්දෙන් පස්සේ ඔවුන්ට මිල වැඩි කරන්න පුලුවන්. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද්‍රවිඩ මිනිසුන් 130කු අත්අඩංගුවට ගත්තා වගේ ම මෙහේ මිලිටරිය රැඳවීමත් වැඩි කලා.

“ඔබ කිව්වා වගේ අපි ඉන්නේ තුන්වැනි ලෝක යුද්ධයක අනතුරේ. එජ චීනයේ සේද මාවත අවහිර කර ඇත. නමුත් චීනය ලෙහෙසියෙන් අතහරින්නේ නෑ. රාජපක්ෂ චීනයට ගැතියි, නමුත් සිරිසේන ආන්ඩුව ක‍්‍රියා කරමින් සිටින්නේ චීන උත්සුකයන්ට එරෙහි ඇමරිකානු මාවතේ. ඇමරිකාව රුසියාව වටා ද මිලිටරිය රඳවලා තියෙනවා. රුසියාවට විරුද්ධව යුද්ධයක් ඇති වුනොත්, ඒක න්‍යෂ්ටික යුද්ධයක් වනු ඇත.”

Share this article: