ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ සිට හැත්තෑ පස් වසරක්

Seventy-five years since the assassination of Leon Trotsky

2015 අගෝස්තු 20

අදට වසර 75කට පෙර 1940 අගෝස්තු 20වැනිදා, රුසියානු විප්ලවයේ සම නායකයා ද හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භකයා ද වූ ලියොන් ට්‍රොට්ස්කිට ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කාඩර් විසින් අයිස් පොරවකින් පහර දෙන ලදී. පහරදීම සිදු වූයේ, ට්‍රොට්ස්කි සිය පිටුවහල් ජීවිතය ගත කල අවසන් ස්ථානය වූ මෙක්සිකෝවේ කොයෝආකාන්හි සිය නිවසේ දී ය. තුවාල හේතු කොට ගෙන ශ්‍රේෂ්ට විප්ලවවාදියා ඊ ලඟ දිනයේ දී මිය ගියේය. ඒ වන විට ඔහු 60 වන වියේ පසු විය.

ට්‍රොට්ස්කි ඝාතනය සිදු වුනේ 1933දී ජර්මනියේ ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනය, 1936-38 ස්පාඤ්ඤ විප්ලවයේ පරාජය, මොස්කව් හොර නඩු හා 1936-38 මහා භීෂනය සහ 1939 සැප්තැම්බරයේ දෙවැනි ලෝක යුද්ධය පිපිරීම ඇතුළු ජාත්‍යන්තර දේශපාලන ප්‍රතිගාමිත්වයේ උච්ච අවස්ථාවේ දී ය. ට්‍රොට්ස්කි සටන් කල මාක්ස්වාදී ප්‍රතිපත්ති තුලින් මතු කල අන්තරාය කෙරේ අධිරාජ්‍යවාදයේ ඒජන්තයින් යැයි ට්‍රොට්ස්කි පැහැදිලිව පෙන්වා දුන් ස්ටැලින්වාදී නිලධරය ප්‍රතිචාර දැක්වූයේ ඔහු ඝාතනය කිරීමෙනි. ට්‍රොට්ස්කි ජීවත් වූ තාක් දුරට, තමන්ගේ ඉතා නිර්දය විරුද්ධවාදියා සමග ස්ටැලින්ට සටන් වැදීමට සිදුව තිබුනි.

කෙසේ නමුත්, ඇදහිය නො හැකි බාධක හමුවේ ට්‍රොට්ස්කි, ඔහුගේ ඝාතකයින්ට වඩා වැඩි කාලයක් ජීවත් වන හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීමට සමත් විය. වසර හැත්තෑපහකට පසු ද ජාත්‍යන්තර සමාජවාදයේ ඉතිහාසය තුල ට්‍රොට්ස්කිගේ අසමසම ස්ථානය අවිවාදිත ය. අන් කවරදාකටත් වඩා පැහැදිලි ලෙස ඔහු ලෝක ඓතිහාසික නායකයෙකු ලෙස ඉස්මතු වන්නේ, 20වැනි සියවසේ ක්‍රියා සන්තතිය කෙරේ ඇති කල බල පෑම නිසා පමනක් නොව, කම්කරු පන්තිය පන්ති අරගලයන්ගේ නව අවධියකට එලඹීමත් සමග ඔවුන් ඒ දෙසට යොමු කිරීම සඳහා ඔහුගේ ලියවිලි හා අදහස් සාරභූත මගපෙන්වීමක් ලෙස ජීවමානව පවතින හෙයිනි.

ට්‍රොට්ස්කිගේ ජීවිතය හා ඉරනම, 20වැනි සියවසේ පලමු භාගයේ ශ්‍රේෂ්ට සිදුවීම් සමඟ අවිසර්ජනීය ලෙස බැඳී ඇත. ට්‍රොට්ස්කි හා ලෙනින්, ධනවාදී කොල්ලයට හා පලමු ලෝක යුද්ධයේ බියකරු සංහාරයට විරද්ධව ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ අති දැවන්ත නැගිටීමක කූඨප්‍රාප්තිය වූ රුසියානු විප්ලවයේ ප්‍රමුඛ නායකයෝ වූහ. රුසියානු විප්ලවයේ ම දේශපාලන න්‍යාය සපයන ලද්දේ ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය මගිනි, 1905 විප්ලවය මධ්‍යයේ පෙරට ගෙන එන ලද එම න්‍යාය, රුසියාව වැනි නො දියුනු රටවල ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සම්පූර්න කල හැක්කේ ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස බලය ගන්නා කම්කරු පන්තියට පමනක් බව පැහැදිලි කලේය.

1917 ඔක්තෝබරයේ සිදුවීම් මගින් ස්ථාපිත කෙරුනු කම්කරු රාජ්‍යය සංවිධානය හා ආරක්ෂා කිරීමේ දී, සෝවියට් රුසියාවේ විදේශ කටයුතු පිලිබඳ පලමු කොමිසාර් ලෙස ද රතු හමුදාවේ ආරම්භකයා ලෙස ද ට්‍රොට්ස්කි වසර හයක් පුරා නැතුවම බැරි කාර්ය භාරයක් ඉටු කලේ ය.

38වැනි වියට එලඹීමත් සමඟ සිදුවුන රුසියානු විප්ලවය තුල ඔහුගේ භූමිකාව වෙනුවෙන් ට්‍රොට්ස්කි කම්කරු පන්තියේ ශ්‍රේෂ්ඨත ම විප්ලවවාදීන්ගෙන් අයෙකු ලෙස ඉතිහාසය තුල ස්ථානයක් අත්කරගන්නා නමුත් ට්‍රොට්ස්කි පසුව සඳහන් කල පරිදි, ඔහු කල බෙහෙවින්ම වැදගත් හා චිරස්ථායි දේශපාලනික ප්‍රතිපදානය, හතරවැනි ජාත්‍යන්තර පිහිටුවීම තුල කුළුගැන්වුනු, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානියට එරෙහි අරගලයයි.

ස්ටැලින් හා ට්‍රොට්ස්කි අතර මතුවුනු ගැටුම පුද්ගලික බලය මත පුද්ගලයන් දෙදෙනෙකු අතර ආත්මීය සටනක් නො ව, නො පෑහිය හැකි දේශපාලන ක්‍රියාමාර්ග අතර පැවති අතිමූලික අරගලයක් විය. ස්ටැලින් හා ඔහු පුද්ගලාරෝපනය කල නිලධාරිවාදී ඒකාධිපතිත්වය බලය තහවුරුකර ගැනීම, රුසියානු විප්ලවයේ අනිවාර්ය ප්‍රතිඵලය නො වී ය. ඊට වෙනස් ව, එය වර්ධනය වූයේ ලෝක විප්ලවයේ පරාජයන් මඟින් හුදකලා කෙරුනු, ආර්ථික වශයෙන් පසුගාමී කම්කරු රාජ්‍යයක විශේෂිත කොන්දේසි තුලිනි. (ලෝක) යුද්ධය හා අධිරාජ්‍යවාදීන් තල්ලුව දුන් සිවිල් යුද්ධයේ වසර හතක කාලය, විප්ලවයේ සමාජ පදනම වූ කම්කරු පන්තිය මත අති දැවන්ත බලපෑමක් ඇති කර තිබුනි. බලය කරා ස්ටැලින්ගේ නැගීම, ලෙනින්ගේ අසනීපය හා අභාවය මගින් පහසු කලේය. ලෙනින් ඔහුගේ අවසාන වසරවල දී, සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානියට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ පියවර ගැනීම සඳහා ට්‍රොට්ස්කිගෙන් ඉල්ලීමක් කර තිබුනි.

කම්කරු පන්තියෙන් බලය පැහරගත් ගතානුගතික පර්යායේ උත්සුකතා එකට සම්බන්ධ කල ස්ටැලින්, රුසියානු විප්ලවය හා ජාත්‍යන්තර පන්ති අරගලය අතර අත්‍යාවශ්‍ය සම්බන්ධය ප්‍රතික්ෂේප කලේ ය. 1924දී පලමුවරට ප්‍රකාශ කෙරුනු “තනි රටක සමාජවාදයේ” ක්‍රියාමාර්ගය පදනම් කෙරුනේ රුසියානු දේශසීමාවෙන් පිටත විප්ලවයෙන් ස්වාධීනව සෝවියට් සංගමය තුල සමාජවාදය අත්පත් කර ගත හැකිය යන සාවද්‍ය හා මාක්ස්වාදයට පටහැනි ප්‍රකාශනය මත ය. එය සෝවියට් නිලධරයේ ජාතික උත්සුකයන් වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු පන්තිය යටපත් කිරීම නීත්‍යානුකූල කල අතර, 1926 බ්‍රිතාන්‍ය මහා වැඩවර්ජනය හා 1925-27 චීන විප්ලවය පරාජය කිරීමට මං පෑදූ ප්‍රතිපත්ති යුක්ති සහගත කිරීමට උදව් කලේ ය. ට්‍රොට්ස්කි පසුව ඔහුගේ චරිතාපදානයේ එය නැවත සිහිපත් කලේ ය,“ ‘සියල්ල හා හැම විට ම විප්ලවය සඳහා නො ව, අමතරව තමා සඳහා ද යමක්’ පිලිබඳ මනෝගතිය ප්‍රකාශයට පත් වූයේ ‘නො නවතින විප්ලවය භංගවේවා’ යනුවෙනි.”

ස්ටැලින්වාදය පිලිබඳ සිය විවේචනය තුල ට්‍රොට්ස්කි වර්ධනය කල ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ න්‍යාය, ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රයේ තත්කාර්යවාදී උපාමාරුවලට වඩා නො මිනිය හැකි තරම් දුරදක්නා බව ඔප්පු කලේ ය. නො නවතින විප්ලවය න්‍යාය මත පදනම් ව 1923දී ඔහු ආරම්භ කල වාම විරුද්ධ පාර්ශ්වය අවධාරනය කලේ, සෝවියට් සංගමය තුල සමාජවාදය කරා වන ප්‍රගතිය රඳා පවතින්නේ ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනය මත බව යි. එදාටත් වඩා මහා බලයක් සහිතව අදට අදාල වන, 1930 ලියන ලද ඡේදයක ට්‍රොට්ස්කි මෙසේ පැහදිලි කලේ ය:

ජාතික සීමාවන් ඇතුලත සමාජවාදී විප්ලවය සම්පූර්න කිරීම සිතා ගැනීමටවත් නො හැක. ධනේශ්වර සමාජයේ අර්බුදයට එක් මූලික හේතුවක් වන්නේ, එය නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේග තව දුරටත් ජාතික රාජ්‍ය රාමුව සමග පෑහිය නො හැකි වීමයි. එත් අතකින් අධිරාජ්‍යවාදී යුද්ධ හා අනෙක් අතින් ධනේශ්වර යුරෝපීය එක්සත් ජනපදයක් පිලිබඳ මනෝරාජ්‍යය පිලිබඳ අදහස මින් ගලා එයි. සමාජවාදී විප්ලවය ජාතික තලයේ ඇරඹී, ජාත්‍යන්තර තලයේ දිග හැරෙන අතර පරිපූර්නත්වයට පත් වන්නේ ලෝක තලයේ ය. මේ අයුරින් ලෝකය පිලිබඳ වඩා නව්‍ය හා පුළුල් අර්ථයකින් සමාජවාදී විප්ලවය නො නවතින විප්ලවයක්ම වෙ යි: එය පරිසමාප්තියට පත් වන්නේ අපගේ සම්පූර්න ග්‍රහලෝකය මත අවසාන ජයග්‍රහනය තුල පමනි.

ස්ටැලින්වාදී නිලධරය විසින් සමාජවාදී ජාත්‍යන්තරවාදය ප්‍රතික්ෂේප කරනු ලැබීම සඳහා, ට්‍රොට්ස්කිගේ දේශපාලන බලපෑම වැනසීම සහ ඔහු සටන් කල ඉදිරිදර්ශනය හා රුසියානු විප්ලවයට මග පෙන්වනු ලැබූ ඉදිරිදර්ශනය අතර සම්බන්ධය ප්‍රතික්ෂේප කිරීම එල්ල කරගත් ඓතිහාසික මුසාකරනයේ ව්‍යාපාරයක් අවශ්‍ය විය. ‍ට්‍රොට්ස්කි හා ඔහුගේ ආධාරකරුවන්ට එරෙහිව පෙර නො වූ විරූ ඍජු හා ප්‍රචන්ඩ උද්ඝෝෂනයක් සමඟ මෙය අත්වැල් බැඳ ගත්තේය.

1927 නොවැම්බරයේ දී, ට්‍රොට්ස්කි රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපන ලදී, මාසයක් ඇවෑමෙන් වාම විරුද්ධ පාර්ශ්වයේ සියළු ආධාරකරුවන් ද නෙරපා හැරුනි. 1928 ජනවාරියේදී, වර්තමාන කසක්ස්තානයේ කඳුකර අල්මා අටා වෙත ඔහු පිටුවහල් කරන ලදී. වසරකට පසුව 1929 පෙබරවාරියේ දී, ට්‍රොට්ස්කි සෝවියට් සංගමයෙන් පිටුවහල් කරන ලද අතර ඔහු තුර්කියේ ප්‍රින්කිපෝ වල තාවකාලිකව නවාතැන් ගත්තේ ය. ස්ටැලින්වාදීන්ගේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඒකාබද්ධ විරෝධය නිසා, ඔහු පසුව සඳහන් කල “වීසාවක් නැති ග්‍රහලෝකයක” තත්වයට මුහුන දෙමින්, 1933දී තුර්කියේ සිට ප්‍රන්සයට ද 1935 නෝර්වේ රටට ද අවසාන වශයෙන් 1937දී මෙක්සිකෝවට ද යාමට ට්‍රොට්ස්කිට බල කෙරුනි.

සෝවියට් සංගමයෙන් ට්‍රොට්ස්කි පිටුවහල් කිරීමේ තැන් සිට මෙක්සිකෝවට ඔහුගේ පැමිනීම දක්වා වූ අට වසර තුල කම්කරු පන්තිය අත්දුටුවේ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන් විසින් ඇති කරන ලද පරාජයන් මාලාවකි. 1933 ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනය පසුපස පැමිනියේ, “මහජන පෙරමුන” ධජය යටතේ ධනේශ්වර පන්තියේ දේශපාලන බලයට කම්කරු පන්තිය යටත් කරන ලද ප්‍රන්සය හා ස්පාඤ්ඤය තුල විප්ලවවාදී නැගිටීම්වල ගෙල හිරකිරීම යි.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විනාසකාරී ප්‍රතිපත්ති මඟින් ශඛ්‍ය කරන ලද්දා වූ ද ජර්මන් හා ජාත්‍යන්තර කම්කරු පන්තියට අතිවිශාල විනාසයක් වූ ද හිට්ලර් බලයට පත්වීමෙන් ඉක්බිත්තේ, නව, හතරවැනි ජාත්‍යන්තරයක් පිහිටුවීම සඳහා ට්‍රොට්ස්කි ඉල්ලීමක් නිකුත් කලේ ය. රුසියානු විප්ලවයේ ජයග්‍රහනයන් ආරක්ෂා කල හැක්කේ ජාතිකවාදී නිලධරය පෙරලා දමන දේශපාලන විප්ලවයක් මගින් පමනක් යයි ඔහු අනතුරු ඇඟවී ය.

ට්‍රොට්ස්කි හා හතරවැනි ජාත්‍යන්තරය නියෝජනය අභියෝග හමුවේ භීතියට පත් ස්ටැලින් පෙර නො වූ විරූ ලෙස සෝවියට් සංගමය තුල හා ජාත්‍යන්තරව, ම්ලේච්ඡ ප්‍රචන්ඩත්වයේ හා මර්දනයේ පිහිට පැතී ය. 1936-38 මොස්කව් හොර නඩු ස්ටැලින්වාදී තන්ත්‍රයට එරෙහි සියළුම දේශපාලන විරුද්ධවාදීන්ට එල්ල කෙරුනු අතර, එහි ප්‍රධාන ඉලක්ක වූයේ ට්‍රොට්ස්කිගේ ආධාරකරුවන් ය. රුසියාව තුල විප්ලවවාදී සංස්කෘතියේ දැවැන්ත සම්ප්‍රදායක නිර්මිතයන් වු සමාජවාදීන් සිය දහස් ගනනක් දේශපාලන සංහාරයකට ගොදුරු කරන ලදී.

තන්ත්‍රය ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ දැවන්ත ප්‍රචන්ඩත්වය නිසැක ලෙස තහවුරු කලේ, ස්ටැලින්ගේ පාලනය රුසියානු විප්ලවයේ අඛන්ඩත්වයක් නො ව, එහි මිනීවල හාරන්නාගේ රෙජිමයක් වූ බව යි. ස්ටැලින්වාදය හා අව්‍යාජ මාක්ස්වාදය වෙන් කෙරුනේ “හුදෙක් රුධිර රේඛාවකින් නො ව සම්පූර්න ලේ ගංගාවකින්” බව 1937දී ට්‍රොට්ස්කි සඳහන් කලේ ය.

ස්ටැලින්වාදයේ බොරු නඩු හා දේශපාලන අපරාධ හෙලිකිරීමට ට්‍රොට්ස්කි නිර්භීත ව්‍යාපාරයක් ගෙන ගියේ ය. එයට ප්‍රතිචාර වශයෙන්, ස්ටැලින්වාදී ජීපීයූ ව (රාජ්‍ය රහස් පොලීසිය) ක්‍රමානුකූලව වැඩ කරමින් ට්‍රොට්ස්කි ගේ කිට්ටු ආධාරකරුවන් කායිකව විනාශ කලේ ය. ස්ටැලින්වාදී ඒජන්තයින් විසින් ඝාතනය කරන ලද ට්‍රොට්ස්කි ගේ ආධාරකරුවන් අතර, 1937 ජූලියේ ට්‍රොට්ස්කිගේ දේශපාලන ලේකම්වරුන්ගෙන් අයෙකු වන අර්වින් වුල්ෆ්; 1937 සැප්තැම්බරයේ ජීපීයූවෙන් පලා ගොස් ට්‍රොට්ස්කිට සහයෝගය ප්‍රකාශ කල ඉග්නාස් රයිස්; 1938 ෆෙබරවාරියේ ට්‍රොට්ස්කිගේ පුත්‍රයා මෙන් ම කිට්ටු සහකරුවෙකු වූ ලියොන් සෙඩෝව්; 1938 ජූලියේ පැහර ගෙන, මරා දමන ලද හතරවැනි ජාත්‍යන්තරයේ ලේක්ම් රුඩෝල්ෆ් ක්ලෙමන්ට් වූහ.

ඝාතන වලට කොන්දේසි සකසන ලද්දේ, සෙඩෝව්ගේ විශ්වාසය දිනාගත් හා ඔහුගේ ලේකම් ලෙස සේවය කල මාක් ස්බොරොව්ස්කි ඇතුළු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනිවිද ගොස් සිටි ජීපීයූ ඒජන්තයින් විසිනි.

එහෙත් ට්‍රොට්ස්කි ජීවත්ව සිටිතාක් කල්, ස්ටැලින්වාදී තන්ත්‍රයට විවේකයක් තිබුනේ නැත. 1937දී වික්ටර් සර්ජ් මෙලෙස සඳහන් කලේ ය: “ වෛරය හා භීතිය හැරුනු කොට තන්ත්‍රයේ ව්‍යුහය විනාස කරමින් පවතින වියරු පිටුවහල් කිරීම සඳහා වෙනත් පැහදිලි කිරීමක් නොමැත...ආදේශක කන්ඩායම දඩයම් කෙරී ඇත්තේ පූර්වාරක්ෂාවක් ලෙස ය. ජීවත්ව සිටින්නේ මහලු මිනිසා පමනි... මහලු මිනිසා ජීවත්වන තාක් දුරට, ජය්‍රගාහී නිලධරයට රැකවරනයක් නොමැත.”

යන්තම් මාස දෙකකට පෙර සිදුවූ ක්ලෙමන්ට්ගේ ඝාතනය ද ඇතුළු අසාමාන්‍ය දුෂ්කරතා නො තකමින් 1938 සැප්තැම්බරයේ දී, හතරවැනි ජාත්‍යන්තරය එහි ආරම්භක සම්මේලනය පැවත් වී ය. ට්‍රොට්ස්කි විසින් ලියන ලද පදනම් ලියවිල්ල මෙසේ අනතුරු ඇඟවී ය: “කම්කරු පන්තියේ විප්ලවය සඳහා වෛෂයික පූර්ව කොන්දේසි “මෝරා” ඇතිවා පමනක් නොව; ඒවා එක්තරා දුරකට කුනුවීමට ද පටන් ගෙන ඇත. ඊ ලඟ ඓතිහාසික කාලපරිච්ඡේදයේ දී සමාජවාදී විප්ලවයක් සිදු නො වුන හොත්, මහා විනාසයක් සමඟින් මානව වර්ගයාගේ සියළු සංස්කෘතීන්ට තර්ජනය කරනු ඇත. දැන් කම්කරු පන්තියේ වාරය යි, උදාහරන වශයෙන් ප්‍රධාන ලෙස ම එහි පෙරමුනු බලඇනියට (වාරය යි). මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය කරා සිඳී ඇත.”

අධිරාජ්‍යවාදී යුද තල්ලුව මඟින් නව විප්ලවවාදී නැගිටීම් රැල්ලක් නිර්මානය කිරීමේ තර්ජනය ගෙන ආවේ ය. සිය ස්ටැලින්වාදී ඒජන්තයින් හරහා ලෝක අධිරාජ්‍යවාදය, හතරවැනි ජාත්‍යන්තරයේ නායකත්වය සිඳලීමට උත්සාහ ගත්තේ නිශ්චිතව ම මෙම හේතුව නිස යි. 1938දී ලියන ලද ලියවිල්ලක් තුල, ලඹදෙන යුද්ධය හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහිව එල්ල කෙරුනු ප්‍රචන්ඩත්වය අතර සම්බන්ධය ට්‍රොට්ස්කි මෙසේ සලකුනු කලේ ය: ‍

පසු ගිය යුද්ධය ආරම්භයේ දී, ජීන් ජොරෙස් ඝාතනය කරන ලදී, එමෙන් ම යුද්ධය අවසානයේ දී, කාල් ලිබ්නෙක්ට් හා රෝසා ලක්ෂම්බර්ග්...ජාත්‍යන්තරවාදීන් මුලිනුපුටා දැමීමේ කාර්ය දැනටමත්, යුද්ධය පිපිරීමටත් පලමුව, ලෝක පරිමානව ඇරඹී ඇත. අධිරාජ්‍යවාදයට තව දුරටත් “සතුට දනවන අනතුරක්” මත යැපෙන්නට අවශ්‍ය නැත. විප්ලවවාදීන් ක්‍රමානුකූලව මුලිනුපුටා දැමීම සඳහා ස්ටැලින්වාදී මාෆියාව තුල සකසා සූදානම් කල ජාත්‍යන්තර ඒජන්සියක් ඇත... ස්ටැලින්වාදී මැරයන් හරහා යුද්ධ කාලයේ දී, මොන පැත්තෙන් තමන්ට මාරක තර්ජනය එනු ඇත් දැ යි අධිරාජ්‍යවාදය කල් තියා ම ඇඟවුම් කර යි. අධිරාජ්‍යවාදීන් නො මඟ ගියා නොවේ.

යුරෝපය තුල විනාසය කෙරෙහි ලෝක ජනමතයේ අවධානය යොමු වීමත් සමග 1939 සැප්තැම්බරයේ දී, දෙවැනි ලෝක යුද්ධයේ පුපුරා යාම, ස්ටැලින්වාදීන් දැක ගත්තේ, ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ ව්‍යාපාරය වේගවත් කිරීමට අවස්ථාවක් ලෙස ය. 1940 මැයි 24වැනිදා ඔහුගේ ජීවිතය තුරන් කිරීමේ පලමු උත්සාහය ගනු ලැබුවේ ස්ටැලින්වාදී චිත්‍රශිල්පියෙකු වන ඩේවිඩ් අල්ෆාරෝ සික්විරෝස් විසින් නායකත්වය දෙන ලද ඝාතක කල්ලියක් විසිනි.

ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ ප්‍රහාරයෙන් දිවි රැක ගත්ත ද එය අවසාන උත්සාහය නො වන බව ට්‍රොට්ස්කි දැන සිටියේ ය. “මා මේ මිහිපිට ජීවත් වන්නේ පාලනයට අනුකූලව නො ව පාලනයට ව්‍යතිරේකව ය.” ඊට සති දෙකකට පසු අසාමාන්‍ය වෛෂයික තක්සේරුවක් සහිතව ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේ ය: “අපේ යුගය වැනි ප්‍රතිගාමී කාලපරිච්ඡේදයක දී, විප්ලවවාදියෙකුට බල කෙරෙන්නේ ප්‍රවාහයට එරෙහිව පිහිනීමට ය. මගේ උපරිම හැකියාවෙන් මම මෙය කරමින් සිටිමි. ලෝක ප්‍රතිගාමිත්වයේ පීඩනය බෙහෙවින් ක්ෂමා විරහිත ලෙස ප්‍රකාශ කෙරී ඇත්තේ සමහර විට මගේ පුද්ගලික ඉරනම හා මට ආසන්න අයගේ ඉරනම තුල ය. මම කිසි සේත් මෙය මා පිලිබඳ කිසියම් කුසලතාවක් ලෙස නො දකිමි: මෙය ඓතිහාසික තත්ත්වයන් එකිනෙක වෙලීමේ ප්‍රතිඵලය යි. ”

ඊට පසු 1940 අගෝස්තු 20වැනිදා, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආධාරකරුවෙකු ලෙස මවා පෑ ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කාඩර් විසින් ට්‍රොට්ස්කි බිම හෙලන ලදී .

1975දී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිගේ ඝාතනය පිටුපස වූ පසුබිම පිලිබඳ විමර්ශනයක් දියත් කල අතර එය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ජීපීයූවේ විනිවිදීම හෙලිදරව් කලේ ය. මෙම විමර්ශනය, ස්බොරොව්ස්කිගේ පමනක් නො ව, සිල්වියා කැලන්ගේ ( එවක එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වූ සමාජවාදී කම්කරු පක්ෂයේ ජාතික ලේකම් ජේම්ස් පී. කැනන්ගේ ලේකම් කෙනෙකු ලෙස ඇය සේවය කලා ය), රොබට් ෂෙල්ඩන් හාර්ටගේ (පලමු ඝාතන ප්‍රයත්න දින රාත්‍රියේ දී ඔහු (ට්‍රොට්ස්කිගේ නිවසෙහි) මුර රාජකාරියේ යෙදුනි), ජෝශප් හැන්සන්ගේ(ට්‍රොට්ස්කිගේ ලේකම් මෙන් ම ඔහු ඝාතනය කරන අවස්ථාවේ ආරක්ෂකයා ද සමාජවාදී කම්කරු පක්ෂයේ දේශපාලන පරිහානි යුගයේ දී එහි ඊලඟ නායකය ද වූ) කාර්යභාරය ද වාර්තා ගත කලේ ය.

ආරක්ෂාව හා හතරවැනි ජාත්‍යන්තරයේ විමර්ශනය, සමාජවාදී කම්කරු පක්ෂය හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සියළු දේශපාලන භ්‍රෂ්ටයින් විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර ඊට සතුරුකම් ද දක්වන ලදී. කෙසේ නමුත් සෝවියට් සංගමයේ ලේඛනාගාරය මගින් නිකුත් කරන ලද පසු ලියවිලි, මෙම මහා දේශපාලන අපරාධය සූදානම් කිරීමට හා ක්‍රියාත්මක කිරිමට උදව් දුන් පුද්ගලයන් පිලිබඳව හජාජාක විසින් කරන ලද සියළු නිගමන තහවුරු කර ඇත.

මියයන අවස්ථාව වන විට ට්‍රොට්ස්කි, විසිවැනි සියවසේ පලමු දශකයේ විප්ලවවාදී නැගිටීම් වලින් මතු වූ සම්භාව්‍ය මාක්ස්වාදී සම්ප්‍රදායේ ශ්‍රේෂ්ටත ම නියෝජිතයා විය. ඔහුගේ ඝාතනය ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයට දැවන්ත ප්‍රහාරයක් එල්ල කල නමුත්, ඔහු තබා ගිය දේශපාලන හා න්‍යායික උරුමය හතරවැනි ජාත්‍යන්තරයේ වර්ධනය සඳහා ස්ථීර පදනමක් සැකසී ය. සැබවින් ම, ඔහුගේ ජීවිතයේ අවසාන වසරවල දී ට්‍රොට්ස්කි පොර බැදුවේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සමාජවාදී ව්‍යාපාරය මුහුන දෙමින් සිටි කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්න සමග යි.

හතරවැනි ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ දී ට්‍රොට්ස්කිට පොර බැදීමට සිදුව තිබුනේ, ස්ටැලින්වාදය හා අධිරාජ්‍යවාදය සමග පමනක් නො ව, 1930 ගනන්වල පරාජයන්ගේ නිගමනය, සමාජවාදී විප්ලවයක් ක්‍රියාවට නැගීමට කම්කරු පන්තියේ අසමත්කම බව නිගමනය කල සුළු-ධනේශ්වරයේ සමස්ත ස්ථරයක් ද සමගය. තමන් සමාජවාදය සඳහා සටන අතහැර දැමීම යුක්ති සහගත කිරීමට ඔවුහු, එහි නායකත්වයේ පාවාදීම සඳහා වගකීම කම්කරු පන්තිය මත පැටවූහ. “පරාජයේ හේතුව මුල් බැස ඇත්තේ කම්කරු පන්තියේ සමාජ තත්ත්වයන් තුලය යන්න සත්‍ය ලෙස අප බාර ගන්නේ නම්, නූතන සමාජයේ තත්ත්වය බලාපොරොත්තු රහිත යැයි පිලිගන්නට සිදු වෙනවා ඇතැයි” ට්‍රොට්ස්කි සඳහන් කලේ ය.

සමාජවාදය පිලිබඳ දිරිසුන් නො පිලිගැනීම හා කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප්‍රතික්ෂේප කිරීම් දෙවැනි ලෝක යුද්ධයට පසු දශකවල නැවත නැවතත් මතුවීමට නියමිත විය. හතරවැනි ජාත්‍යන්තර තුල ඒවා ප්‍රකාශනය අත්කර ගත්තේ පැබ්ලෝවාදය තුල යි, එය ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයට හා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයට අනුගතවීමකි.

පන්ති ගැටුම්වල තීව්‍රවීම මධ්‍යයේ මෙම බලවේග තියුනු ලෙස දකුනට ගමන් කර ඇත්තේ, ග්‍රීසිය තුල ඔවුන් කර ඇති ආකාරයට, පෙර නොවූ විරූ ලෙස ඍජුවම රාජ්‍ය බලයේ වගකීම බාර ගැනීමට උත්සාහ කරමිනි. ආත්මාර්ථකාමී හා ස්වයං ග්‍රස්ත ඉහල මධ්‍යම පන්තිය පතුරු ගැසීමට ට්‍රොට්ස්කි ඔහුගේ සාක්ෂරතාව හා ගිනිය නො හැකි වාග් විධග්ගතාව පෙල ගස්වස්වන්නට ඉඩ ඇත්තේ කෙසේ ද ඔහු සිරිසා හා පොඩෙමෝ සංවිධානවල කුනු වූ දේශපාලනය හෙලිදරව් කරන්නට ඉඩ ඇත්තේ කෙසේ ද, ඔහු බුද්ධිමය බොරුකාරයන් හා ස්ලවොජ් සීසෙක් වැනි ව්‍යාජ-වාම වාචාලයින් පට්ට ගසන්නට ඉඩ ඇත්තේ කෙසේ දැ යි යමෙකුට සිතා ගත හැකිවා පමනි.

අසමාන පැහදිලිකමකින් යුක්තව ට්‍රොට්ස්කි අවබෝධ කර ගත් හා ප්‍රකාශ කල දෙය නම්, නායකත්වයේ තීරනාත්මක කාර්යභාරය යි. රුසියානු විප්ලවයේ සාධනීය ජයග්‍රහන හා එය පසු පස පැමිනි පරාජයන්ගෙන් ඔහු උකහා ගත් පාඩම, සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය හා ඒ හේතුවෙන්, මනුෂ්‍යවර්ගයාගේ පැවත්ම සඳහා විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමට නිර්දය අරගලයක් අවශ්‍ය කෙරෙන බව යි. ඔහුගේ මරනින් මතු දශකවල මෙම අතිමූලික සත්‍ය නැවත නැවතත් මතුපිටට පැමිනියේය.

විප්ලවවාදී නායකත්වයේ අර්බුදය පිලිබඳ කේන්ද්‍රීය ප්‍රශ්නය ඇඟවූයේ දේශපාලන අරගලය ඉහලම කර්තව්‍ය වූ බව යි. පුද්ගලික නිදහසේ ධජය යටතේ දේශපාලන වගකීම් පැහැර හැරියවුන් වෙනුවෙන් ට්‍රොට්ස්කිට පිලිකුල මිස වෙන යමක් නො වීය. “හිස් අවකාශයේ ඔවුන්ගේ ම පෞද්ගලිකත්වය සොයා ගැනීමට පිලිස්තීනුවන්ට ඉඩ දෙනු” යි හතරවැනි ජත්‍යන්තරය ආරම්භ කිරීම සලකුනු කරන කතාවක දී ඔහු පැවසී ය.“ඔව්, අපේ පක්ෂය අප එකිනෙකා සමස්ත වශයෙන් ගන්නෙමු. ඊට හිලව් වශයෙන් එය අපට ආපසු දෙන්නේ ඉහල ම සන්තුෂ්ටිය යි: එනම්, යමෙකු වඩා යහපත් අනාගතයක් ගොඩනැගීමේ දී සහභාගී වන, යමෙකු මානවවර්ගයාගේ ඉරනමේ අංශුවක් තම උර මත ගෙන යන, හා යමෙකුගේ ජීවිතය නිකරුනේ වැයවී නො තිබෙනු ඇති බව පිලිබඳ දැනුවත්කම යි. ”

ට්‍රොට්ස්කිගේ චිරස්ථායි වැදගත්කම පිලිබිඹු වන්නේ ඔහුගේ කීර්තියට නිර්දය ලෙස එල්ල කෙරෙන ප්‍රහාරය තුල ය. එහෙත් අද තවමත් ඔහුට බැන වදින අය සාර්ථක නො වෙනු ඇත. ඉතිහාසය ප්‍රතිරක්ෂා කර ඇත්තේ ධනවාදයේ මරලතෝනිය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය යි. ඔහුගේ අදහස්වල බලය හා ඔහු නියෝජනය කල ඓතිහාසික සම්ප්‍රදායන් කාලයේ පරීක්ෂාවට ලක්ව ඇත. ඔහු ආරම්භකල ව්‍යාපාරය එකම අව්‍යාජ හා ශඛ්‍ය විප්ලවවාදී ප්‍රවනතාව බව ඔප්පු කර ඇත.

සියල්ලටත් වඩා ට්‍රොට්ස්කි සටන් කල මූලික කර්තව්‍යය පවතින්නේ අද කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස ය: එනම්, විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම ලෙස ය.

මෙම ප්‍රතිපත්ති රැකෙන්නේ, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල ය. ඔහුගේ ඝාතනයේ සංවත්සරය ඔහු පිලිබඳ මතකයට ගෞරව දැක්වීමට අවස්ථාවක් ලෙස පමනක් නො ව, එය යෝග්‍ය වනවාක් මෙන් ම, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැගීම තීව්‍ර කිරීම මගින් ඔහුගේ මතකයට ගෞරව දැක්වීමේ අවස්ථාවක් විය යුතු ය.

ජෝශප් කිෂෝර්

Share this article: