ජනාධිපති මෛත්රීපාල සිරිසේන යුද්ධයෙන් විපතට පත් නැගෙනහිර දෙමල ජනතාව ගැන කිඹුල් කඳුලු හෙලයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2015 අගෝස්තු 29

පසුගිය 22 දා නැගෙනහිර පලාතේ සාම්පුර්හි යුද්ධයෙන් අවතැන් කෙරුනු ජනයාගෙන් කොටසකට නැවත පදිංචි කිරීමේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිවිල් යුද්ධයෙන් එම ජනතාව මුහුන දුන් කටුක අත්දැකීම් පිලිබඳ ව්‍යාජ සංවේගයක් ආරුඪ කරගනිමින් දීර්ඝ කතාවක් කලේය. යුද්ධයේ නරක ප්‍රතිවිපාක ගැන බන දේශනාවක යෙදුනු සිරිසේන එදා තමන් යුද්ධයට සියයට සීයක් සහයෝගය දුන් බව දැනුවත්වම වසන් කලේය. සාම්පූර්හි උත්සවයට සහභාගී වීමට පෙර එදින පෙරවරුවේ සිරිසේන මුතූර් සහ කින්නියා ප්‍රදේශවල එවැනිම යුද විපත්වලට මුහුන දුන් මුස්ලිම් හා දෙමල වැසියන් මුනගැසීමේ සංචාරයක ද නිරත විය.

සාම්පූර් ප්‍රදේශයෙන් අවතැන් කෙරී අවුරුදු දහයක් පමන කාලයක් තිස්සේ කටුක ලෙස දිවි ගෙවන පවුල් 825කින් පවුල් 234කට මෙදින ඔවුන්ගේ ඉඩම්වල ඔප්පු ලබා දීම සිදුවිය. ඒ සඳහා අධි ආරක්ෂක කලාපයක් ලෙස නාවික හමුදාව අල්ල ගෙන සිටි භූමියෙන් අක්කර 818 ජනාධිපති නියෝගයකින් යලි ලබා ගත් අතර නාවික හමුදා පුහුනු කඳවුරකට අක්කර 200ක භූමියක් අසන්න පෙදසකින් ලබා දී ඇත. අවතැන්වූවන්ගෙන් ඉතිරි පවුල් 600ට ඉඩම් ලබා දීම පිලිබඳව කෙරෙන්නේ කුමක් දැයි පැහැදිලි කර නැත.

ජාතික ආරක්ෂාව පාවා දෙන්නේ යයි වර්ගවාදී කන්ඩායම් නැගූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් නැගෙනහිර පලාත් ආන්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු කියා සිටියේ නාවික කඳවුර වෙනත් තැනෙක පිහිටුවන බවයි. තාප බලාගාරයක් ඉදි කිරීමට ඉන්දියාවට දුන් ඉඩම් ද එලෙසම පවතින බව ඔහු කීවේය.

කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව නැගෙනහිර පලාතෙන් දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය 2006 ජුලි මස යලි ඇරඹීමෙන් සති කීපයකට පසු, යුද භටයන් දහස් ගනනක් ජෙට් යානාවලින් බෝම්බ දැමීමද උපයෝගී කරගෙන අගෝස්තු 26 සිට සිදු කල දවස් නවයක මුර්ග ප්‍රහාරයකින් සාම්පුර් අල්ල ගත්තේය. මියගිය ජනයා ගැන සංඛ්‍යා ලේඛන නැත. කාන්තාවන් හා ලමුන් ඇතුලු දහස් ගනන් ජනයා එක කඳවුරකින් තව එකකට පලා ගොස් ආපසු 2009 දී සාම්පුර් පෙදෙසට පැමිනියත් කඳවුරුවල යලි ගාල් කර දැමුනි. ඔවුහු තමන්ගේ වාස භුමි ඉල්ලා අඛන්ඩ උද්ඝෝෂනයක යෙදී ගත්හ.

“යුද්ධය පැවති අවස්ථාවේ ආරක්ෂක අංශ යුද කටයුතු සඳහා ඔබගේ ඉඩම් භාවිතයට ගනු ලැබුවා” සිරිසේන ප්‍රකාශ කලේ යුද්ධයේ දී එම ජනයා පලවා හැර මිලිටරිය බලහත්කාරයෙන් එම ඉඩම් අල්ලා ගත බව වසන් කරමිනි. “යුද්ධය ජීවිත විනාශ කරනවා. යුද්ධය මනුෂ්‍යත්වය විනාශ කරනවා. යුද්ධය සත්‍ය විනාශ කරනවා. යුද්ධය දයාව, කරුනාව, ආදරය විනාශ කරනවා. සියල්ල යුද්ධයෙන් විනාශ වෙනවා. ඒ නිසා යුද්ධයක් කිසිම ජනතාවකට සුදුසුවන්නේ නැහැ” යයි සාන්තුවර ලීලාවකින් සිරිසේන ප්‍රකාශ කර සිටියේය. “ඔබ මේ ගතකරන දුක්ඛිත ජීවිතය ගැන මම පෞද්ගලිකවත් කනගාටුව ප්‍රකාශ කරනවා. මේ තත්වයෙන් ඔබ මුදාගැනීම සඳහා කලයුතු සෑම කාර්යක්ම අප රජයක් විදියට කරනවා.” යනුවෙන් කිඹුල් කඳුලු වැගිරූ සිරිසේනගේ මෙම ප්‍රකාශ කුහකත්වයේ සහ වංචාවේ නිෂ්පාදිතයන් ය.

දැන් යුද්ධයේ විසකුරු ස්වභාවය ගැන මෙලෙස දෙස්දෙවොල් දෙන සිරිසේන, ඇමරිකානු පිටුබලය ලද තන්ත්‍ර මාරු වැඩපිලිවෙල සාර්ථක කරගැනීම සඳහා “පොදු අපේක්ෂකයා” ලෙස රාජපක්ෂ ආන්ඩුවෙන් පිටවන තුරුම එහි සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඉසිලූ අතර යුද්ධය, මුර්ග ලෙස කරගෙන යාමට මුල් පෙල උද්ඝෝෂකයෙක් ද වුයේය. ඔහු රාජපක්ෂ රටෙහි නොසිටි කිහිපවතාවකම වැඩබලන ආරක්ෂක ඇමති ලෙස වැඩ කටයුතු කල බවද දරුනු යුද අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල කෙරෙන සිවිල් යුද්ධයේ අවසන් සති දෙක තුල එම නිලය දැරූ බව ද ප්‍රකාශ කරන්නේ උජාරුවෙනි.

උතුරේ මෙන්ම නැගෙනහිර පලාත ඉහවහා ගොස් ඇති විරැකියා ප්‍රශ්නය විසඳීමට කර්මාන්ත ශලා අරඹන බව සිරිසේන ප්‍රකාශ කලේය. ඔහු සඳහන් කලේ දෙස් විදෙස් ආයෝජකයන්ට මෙම ප්‍රදේශවල ලාබ ශ්‍රම සුරා කෑමට කොන්දේසි හැදීම සඳහා කොලඹ ආන්ඩුව සුදානම් කර ඇති වැඩපිලිවෙල ගැනයි.

උතුරු හා නැගෙනහිර පලාත් වල සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් අක්කර දහස් ගනනක් අධි ආරක්ෂක කලාප ලෙස මිලිටරිය විසින් අල්ලාගෙන සිටීම යුද්ධය ගෙන ගිය සියලු ආන්ඩු අනුමත කලේය. සිරිසේන ජනාධිපති මෙම ඉඩම්වලින් සීමිත ප්‍රමානයක් ඒවායේ හිමිකරුවන්ට ලබාදීමට තීන්දු කර ඇත්තේ අලුත් උපායික කරනමක කොටසක් ලෙසය.

සිරිසේන හා ලබන සතියේ පිහිටුවීමට නියමිත එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආන්ඩුව දෙමල ධනපති පන්තියේ ප්‍රධාන සංවිධානය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සමග අලුත් මට්ටමක සහයෝගිතාවයකට යාමට ක්‍රියා කරයි. මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ඔබමා පරිපාලනය සිරිසේන-වික්‍රමසිංහ හවුලට ද ටීඑන්ඒයට ද දී ඇති අවවාදයකි. ඇමරිකාවේ මිත්‍ර කලාපීය බලවතා වන ඉන්දියාව එවන් පිලිවෙතකට සහයෝගය දෙයි.

එහි අරමුන වන්නේ, කොලඹ ආන්ඩුව චීනයට එරෙහිව ඇමරිකාව සමග පෙල ගැසීම තහවුරු කර ගැනීම මෙන්ම තම අයිතීන් වෙනුවෙන් නැගී සිටින සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ට එරෙහි ඒකාබද්ධ ප්‍රහාරයකට යාමට කොන්දේසි සකස් කර ගැනීමයි.

දැනටමත්, ඇමරිකානු උපදෙස් අනුව යමින් ටීඑන්ඒය ආන්ඩුවට සහයෝගය දෙන බව ප්‍රකාශ කර ඇත. ටීඑන්ඒ මෙවර මැතිවරනයෙන් ආසන 16 දිනාගෙන ඇත. ජනාධිපති සහභාගී වූ සාම්පුර් රැස්වීමේ ටීඑන්ඒ නායක ආර්. සම්බන්දන් කතා කලේ ප්‍රීතියෙන් ඉපිලී ගෙනය. සිරිසේන ජනාධිපතිවරයා “සත්‍යයේ, අවංකකමේ සහ සාධාරනත්වයේ සෙබලෙක්” යයි ඔජ වැඩු සම්බන්දන් නොපමාවම දෙමල ජනතාවගේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.

මෙය වනාහි සාමාන්‍ය දෙමල ජනයා වෙනුවෙන් කල ඉල්ලීමක් නොව ධනපති පන්තියට බලය බෙදීමේ නමින් වරප්‍රසාද ලබාගැනීමේ ආයාචනයකි. ටීඑන්ඒ කොලඹ ආන්ඩුවල යුධ අපරාධ ගැන විටින්විට කඳුලු සැලුවේ නම් ඒ තමන්ට වරප්‍රසාද ලබා ගැනීම සඳහා බලපෑම් දැමීමට මිස දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කැක්කුමකින් නොවේ. ටීඑන්ඒ උතුරෙන් හා නැගෙනහිරෙන් ශ්‍රී ලංකා හමුදා ඉවත් කිරීම ගැන ඉඳහිට කල ව්‍යාජ ප්‍රකාශද මුලුමනින්ම නතර කර ඇත. දෙමල ජනයා විඳින තාඩන පීඩන ගැන කතා කලත් සිරිසේන උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත් කිරීමට නම් සපුරා විරුද්ධ ය.

සිරිසේන ප්‍රමුඛ කොලඹ ආන්ඩුව හා ටීඑන්ඒ අතර සිදුවන පෙලගැස්ම සිංහල දෙමල හා මුස්ලිම් කම්කරුවන්ට බරපතල අනතුරු ඇඟවීමකි. කොලඹ ආන්ඩුවේ මවා පෑම් දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරන්නේ ද නැත. සිරිසේන පුච්චානම් මගින් යුද අපරාධ වහංගු කිරීම ද දිගින් දිගටම ගෙන යන උතුරු නගෙනහිර හමුදා වාඩිලා ගැනීම ද පිටුපස ඇත්තේ යුද්ධයට තුඩුදුන් සිංහල ස්වොත්තමවාදයයි. එය යොදා ගත්තේ සිංහල, දෙමල, මුස්ලිම් කම්කරුවන් වර්ගවාදී රේඛා ඔස්සේ බෙදා ධනපති පන්ති පාලනය රැක ගැනීමේ විසකුරු ආයුධය ලෙසයි. පන්ති සටන් පිපිරී එනවිට, සිරිසේන, වික්‍රමසිංහ සහ රාජපක්ෂ ඇතුලු පාලක පන්තියේ ඒ හෝ මේ කොටස නියෝජනය කරන කන්ඩායම් කම්කරු පන්තිය බෙදීමට, දුර්වල කිරීමට හා මැඩලීමට නිසැක ලෙසම වර්ගවාදය උසිගන්වනු ඇත.

Share this article: