බැංකොක් බෝම්බ ප‍්‍රහාරය ගසා කෑමට උත්සාහ කරන තායි ජුන්ටාව

Thai junta exploits Bangkok bombing

ටොම් පීටර්ස් විසිනි, 2015 අගෝස්තු 19

බැංකොක් නුවර ආකර්ශනීය සංචාරක ස්ථානයක් වන එරවන් පූජාස්ථානය වෙත සඳුදා (අගෝස්තු 17) රාත‍්‍රියේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් 22 ක් මරනයට පත් වූ අතර දල වශයෙන් පුද්ගලයින් 120 ක් තුවාල ලදහ. නගරය මැද රැචප්‍රාසෝං මංසන්ධියේ ජනාකීර්න හින්දු සහ බෞද්ධ පූජාස්ථානයේ සිදු වූ මෙම බෝම්බ ප‍්‍රහාරය උපරිම මිනිස් ඝාතනයක් සිදු කිරීමේ අරමුනින් සැලසුම් කරනු ලැබ තිබින. මෙම ප‍්‍රහාරයෙන් පසුව පුපුරා නො ගිය බෝම්බ දෙකක් සොයා ගැනින.

මෙම සිද්ධිය පිලිබඳව මුලින්ම නිරීක්ෂනය කල පරිපූරක වෛද්‍යවරයකු වූ මාකෝ කනින්හැම් මාධ්‍යයට මෙසේ කීවේ ය: “හැම දෙයක් ම -කොන්ක‍්‍රීට් කැබලිවල සිට මිනිස් සිරුරු දක්වා- කැබලි වුනා. ඇට කටුවලින් මස් ගැලවී ගියා. පැහැදිලි ව ම එය භයංකර දෙයක්... ඒක හුදෙක් බය කරන්න කරපු දෙයක් නෙවෙයි. මේක කරපු අයට ඇත්තට ම මිනිසුන් මැරීමටත් හානිකිරීමටත් උවමනා වෙලා තිබුනා.”

ප‍්‍රහාරයෙන් පැය 24 ක් ඇතුලත අඟහරුවාදා අපරභාගයේ තවත් බෝම්බ ප‍්‍රහාරයකට ප‍්‍රයත්නයක් දරන ලදී. සිඩ්නි මෝනින් හෙරල්ඩ් පුවත් පත “සාක්ෂිකරුවන් පැවසුවේ නාඳුනන පුද්ගලයකු චාඕ ෆාර්යා ගංගාව හරහා වැටී ඇති සෆාන් තාකිං පාලමේ සිට පදිකයින්ගෙන් ජනාකීර්න අඩිපාලමක් වෙතට බෝම්බයක් විසි කල බව යි. නමුත් ඔහුගේ එල්ලය අසාර්ථක වූ බවත් බෝම්බය ජලයට වැටී පුපුරා ගියේය. කිසිවෙකුටත් තුවාල සිදු නො වූ බව ඔවුන් කීවා" යයි වාර්තා කලේ ය.

කිසිදු ප‍්‍රහාරයකට වගකීම කිසිවෙක් භාර ගෙන නැත. පොලීසිය නිකුත් කල අපහැදිලි සීසීටීවී කැමරා දර්ශනයක සටහන් වූයේ කහ පැහැති ටී ෂර්ට් එකක් පැලඳ සිටි පුද්ගලයකු එරවන් පූජාස්ථානය අසල උරහිස පසු පස එල්ලන මල්ලක් තබා ගිය ආකාරය යි. “කහ කමීසය හැඳසිටි පුද්ගලයා හුදු සැක කරුවෙක් නෙවෙයි. ඔහු තමා බෝම්බකරු" යයි පොලිස් ලුතිනන් ජනරාල් ප‍්‍රවුත් තවොන්සිරි ඇසොෂියේටඩ් ප්‍රෙස් මාධ්‍යයට කීවේ ය. මෙම නිගමනයට ඔහු කෙසේ එලඹුනේද යන්න ඔහු විස්තර නො කලේ ය. එම පුද්ගලයාගේ අනන්‍යතාවය පිලිබඳ තොරතුරු වාර්තා කෙරී නැත.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන තායිලන්ත මිලිටරි ජුන්ටාව වන නීතිය හා සාමය සඳහා ජාතික කවුන්සිලය (එන්සීපීඕ) ක්ෂනික ව ම කි‍්‍රයාත්මක වෙමින් තම බලය තර කර ගැනීමටත් දේශපාලන විරුද්ධවාදීන් වෙත කඩා පැනීමටත් මෙම ප‍්‍රහාරය භාවිතා කරයි. නිව් යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කලේ සඳුදා ප‍්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුලත ජ්‍යෙෂ්ට හමුදා නිලධාරීන් “දකුනු තායිලන්තයේ දිගු කලක් පවතින මුස්ලිම් කැරැල්ලට ප්‍රහාරයේ සම්බන්ධයක් නැතැයි" පවසා ඇති බව යි.

ඒ වෙනුවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නො කර තායි ආඥාදායක හිටපු ජනරාල් ප‍්‍රයුත් චන් ඕචා ඇඟවූයේ 2014 මැයි මස හමුදා කුමන්ත‍්‍රනයකින් නෙරපනු ලැබූ හිටපු අගමැති යිංලක් ශිනවාත‍්‍රා සමඟ වගකිවයුත්තන් සම්බන්ධ බව යි. ඊයේ (අගෝස්තු 18) ඔහු මාධ්‍යයට පැවසුවේ අගෝස්තු 14 සිට 18 දක්වා “ප‍්‍රවේසම් විය යුතු" බවට මිනිසුන්ට අවවාද කල පුද්ගලයින් දෙදෙනකුගේ ෆේස් බුක් ලිපි ගැන පොලීසිය පරීක්ෂන පවත්වන බව යි. ඔහු පැවසුවේ එම දෙදෙනාගෙන් -ඔවුන්ගේ නම් හෙලි කොට නැත- එක් අයෙක් “ආන්ඩු විරෝධී කන්ඩායමකට අයත්" බව යි.

තවත් එන්සීපීඕ ප‍්‍රකාශකයෙක් වන මේජර් ජෙනරාල් සැන්සර්න් කැව්කැම්නර්ඩ් එ පරිද්දෙන් ම බැංකොක් පෝස්ට් පුවත්පතට මෙසේ කීවේ ය: “නිගමනවලට පැනීමට තවමත් ඉක්මන් වැඩියි. ඒත් අපරාධකරුවන් විය හැක්කේ දේශපාලන ප‍්‍රතිලාභ අහිමි වීම නිසා රටේ ඛේදවාචකයක් ඇති කිරීමට අවශ්‍යවී ඇති අයයි." මෙය පැහැදිලිවම රතු කමිසකරුවන් ලෙස හැඳින්වෙන ශිනවාත‍්‍රා-හිතවාදී ආඥාදායකත්වයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා එක්සත් පෙරමුන ගැන පැහැදිලි සඳහනකි.

දැවැන්ත හමුදා සහ පොලිස් බලමුලුගැන්වීමක් සිදුකෙරෙමින් පවතී. නේෂන් පුවත්පතට අනුව ජාතික පොලිස් ප‍්‍රධානියා වන ජෙනරාල් සොම්යොත් පූම්පැන්මුවං ඊයේ නිවේදනය කලේ “එවැනි පිපිරීමක් යලි සිදුවීම වැලැක්වීමට පොලීසිය හා හමුදාව තව තවත් මුර කපොලු ඉදි කරමින් හා පෙර-සූදානම්කාරී මෙහෙයුම් සිදු කරමින් බැංකොක් නුවර තුල වැඩ කටයුතු කරන" බව ය.

කොන් කැන් නගරය ද ඇතුලුව ඊසාන දිග ඉසාන් ප්‍රදේශය පුරා මුර කපොලු 30කට අධික ප්‍රමානයක් ඉදිකරන ලදී. මෙම පලාත යිංග්ලක් හා ඇගේ සහෝදරයා වන 2006 දී හමුදා කුමන්ත‍්‍රයකින් බලයෙන් පහ කරන ලද හිටපු අගමැති තක්සින් ශිනවාත‍්‍රාට සහයෝගය පවතින ප්‍රදේශයකි.

ෆියු තායි නමැති තම දේශපාලන පක්ෂය හා එහි විරෝධතා අංශය වන රතු කමිසකරුවන් සමඟ ශිනවාත‍්‍රාවරු තායි පාලක පන්තියේ එක් කන්ඩායමක් නියෝජනය කරති. සන්නිවේදන ව්‍යාපාර සතු බිලියනපතියකු වන තක්සින් විදේශ ආයෝජන සඳහා රට වඩ වඩා විවෘත කිරීමට ප‍්‍රයත්න දැරූ විට රාජාන්ඩුව, රාජ්‍ය නිලධරය හා හමුදාව වැනි සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පැලැන්තිය සමඟ ගැටුමකට යොමු වුනි. මෙම සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පැලැන්තිය ශිනවාත‍්‍රාවරුන් විසින් වී ගොවීන්ට සහනාධාර දීමටත් ග‍්‍රාමීය නය යෝජනා ක‍්‍රම හා අනෙකුත් සීමිත ප‍්‍රතිසංස්කරන සැලසීමටත් ප‍්‍රබල ලෙස සතුරු වූ හ. එවැනි ප්‍රතිසංස්කරන නිසා ශිනවාත‍්‍රාරුන්ට නාගරික හා ග‍්‍රාමීය දුගීන් අතර සහයෝගයක් වර්ධනය විය.

බි‍්‍රතාන්‍යයේ පලවන ටෙලිග‍්‍රාෆ් පුවත්පත ලිපියකදී මතු කල ප‍්‍රශ්නය වූයේ: “විශේෂයෙන් ම මතු වෙමින් පවතින රාජකීය අභියෝගයකට මුහුන පා සිටින මිලිටරිය තුල සිටින පිරිසක් ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා තමන් දිගට ම බලයේ සිටීම රටට අවශ්‍ය යයි ප‍්‍රදර්ශනය කිරීමට ‘රතු කොඩි′ ප්‍රහාරය සිදු කලා විය නො හැකි ද?" යන්න යි.

හමුදා පාලනය යුක්තිසහගත කිරීම සඳහා කරන එවැනි ප්‍රකෝපකරන නිශ්චිත ව ම අලුත් ඒවා නො වේ. 2014 හමුදා කුමන්ත‍්‍රනයට ක්ෂනික කඩතුරාව ලෙස දැක් වූයේ මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන කමිටුව (පීඩීආර්සී) විසින් මෙහෙයවන ලද විරෝධතා රැලි එල්ල කරමින් සිදු කෙරුනු ග්‍රෙනේඩ් ප්‍රහාර හා වෙඩි තැබීම් මාලාවකි. පීඩීආර්සී යනු හමුදාව හා රාජාන්ඩුව සමඟ සබඳතා ඇති සංවිධානයක් වන අතර එය හමුදා කුමන්ත‍්‍රනයට විවෘතව සහයෝගය දුන්නේ ය. ප‍්‍රහාරකයින් කෙදිනකවත් හඳුනා නො ගැනුනු අතර ආයුධ සන්නද්ධ සොල්දාදුවෝ පීඩීආර්සී හා රතු කමිසකරුවන් යන දෙගොල්ලන්ගේ ම රැලිවල සිටියහ.

බැංකොක් බෝම්බ ප‍්‍රහාරය කවුරු විසින් සිදු කල ද එය සිදු කල වේලාව ජුන්ටාවට දේශපාලනික ව වාසි සහගත ය. සැප්තැම්බර් 6 දින ජාතික ප‍්‍රතිසංස්කරන කවුන්සිලය ඉතා දරුනු ව්‍යවස්ථාවක් සම්මත කිරීමට බලාපොරොත්තු වන්නේ මැතිවරන පැවැත්වුව ද හමුදා පාලනය සුරක්ෂිත කිරීමේ එල්ලය ඇති ව ය. ව්‍යවස්ථාව පිලිබඳ ජනමත විචාරනය 2016 ජනවාරි මසට නියමිත වී ඇති තතු තුල මෙම බෝම්බ ප‍්‍රහාරය යොදා ගනු ඇත්තේ හමුදා සේනාංක බලමුලුගැන්වීමටත් කම්කරුවන්, නාගරික හා ග‍්‍රාමීය දුගීන් බිය ගැන්වීමටත් ය. මැතිවරනය 2016 සැප්තැම්බරයේ පැවැත්වීමට දැනට නියම කර ඇති නමුත් නව ව්‍යාවස්ථාව ප‍්‍රතික්ෂේප වුවහොත් හෝ දේශපාලන අස්ථාවරත්වයක් හෝ නොසන්සුන්තාවක් ඇති වුවහොත් මෙම මැතිවරනය 2017 ට කල් දමන බව ජුන්ටාව ඇඟවුම් කර තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාය පුනස්ථාපනය කිරීමේ අදහසක් නැති ජුන්ටාව දැඩි ලෙස බලය යොදා ගනිමින් සිටී. යිංලක් හා තක්සින් යටතේ ක‍්‍රියාවට නැගුනු සීමිත ප‍්‍රතිසංස්කරන සියල්ල ඉවත් කිරීමට අධිෂ්ඨානවත් ව සිටින ජුන්ටාව ආර්ථික අර්බුදයට වන්දි ගෙවීම කප්පාදු වැඩ පිලිවෙලක් හරහා කම්කරු පංතිය මතට දමා ඇත.

ගෝලීය සහල් මිල කඩා වැටීම, දශකයක් තුල රටේ ඇති වූ දරුනු ම ඉඩෝරය සමඟින් සහල් ගොවියන්ට ලබා දුන් සහන ඉවත් කිරීම මඟින් අවුලුවා ඇති වැඩෙන සමාජ ආතතීන්ට මිලිටරිය මුහුන දෙයි. තායි සහල් අපනයන කරුවන්ගේ සංගමය ජුලි මස තක්සේරු කලේ 2014 වසර අග සිට ඵලදාව සියයට 15-20 කින් පහත වැටී ඇති බව යි. සිටි ආර්ථික විද්‍යාඥ ජුන් ටි‍්‍රනිඩැඩ් ජුලි මස 26 දා සීඑන්බීසී වෙත පැවසුවේ ඉඩෝරය “ජුනි මාසයේ ගොවිපොල රැකියා 700,000 විනාශ කරද්දී ශ්‍රම වෙලඳපොල තත්වයන් නරක අතට හරවා තිබුනු බව ය."

“රටේ ජනගහනයෙන් සියයට 40ට වැඩි දෙනෙක් ගොවිතැනෙහි යෙදෙන තතු තුල මන්දගාමී වී ඇති නිෂ්පාදනය, හැකිලෙමින් පවතින අපනයන හා වැඩිවෙමින් පවතින බාහිර නය මගින් දැනටමත් පීඩනයට පත් වී ඇති ආර්ථික ගැටලු ඉඩෝරය මගින් තවත් නරක අතට හරවා ඇත" යනුවෙන් සීඑන්බීසී සඳහන් කලේ ය. සඳුදා රාජ්‍ය සැලසුම් ඒජන්සිය සියයට 3-4 සිට සියයට 2.7 – 3.2 දක්වා මෙම වසරේ දෙවන වතාවටත් වර්ධන අනාවැකිය පහත හෙලී ය. දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කට වග කියන සංචාරක කර්මාන්තය පසු බැස්සවීමට හේතුවෙමින් බැංකොක් බෝම්බ ප‍්‍රහාරය ආර්ථිකය මත තව තවත් පීඩනය ඇති කිරීමට නියමිත ය.

එන්සීපීඕ නොසන්සුන්තාව මත කඩා පැනීමට සූදානම් වෙමින් සිටී. එය යිංලක් ආන්ඩුවට සම්බන්ධ ශාස්ත්‍රාලිකයන්, මාධ්‍යවේදීන්, විරෝධතාකරුවන් හා දේශපාලන ක‍්‍රියාකාරීන් ඇතුලු සිය ගනන් ජනයා මිලිටරි කුමන්ත‍්‍රනයෙන් පසු දැනටමත් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත. මාධ්‍ය වාරනය කර ඇති පාලන තන්ත්‍රය බලධාරීන්ගෙන් කලින් අවසර නො ගෙන ප්‍රසිද්ධ රැස්වීම් තහනම් කරන නව නීතියක් මෙම මාසයේ සම්මත කලේ ය.

එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් පිලිබඳ කොමසාරිස් මේ මාසයේ නිකුත් කල වාර්තාවක පල කලේ කුමන්ත‍්‍රනයේ පටන් හමුදා උසාවිවල නඩු අසමින් රාජාන්ඩුවට අපහාස කිරීම මත අවම වසයෙන් 40 දෙනෙකු සිර අඩස්සියේ දමා තිබෙන බවයි. රාජාන්ඩුවට අපහාස කිරිම සඳහා ලැබෙන දඩුවම් පිලිබඳ නව පූර්වාදර්ශයක් සපයමින් ෆේස් බුක් වෙබ් අඩවියේ සිදු කල ලිපි හුවමාරු කිරීමේ චෝදනාව යටතේ එක් පුරුෂයකු හා කාන්තාවක පිලිවෙලින් වසර 30 සහ 28 දක්වා අගෝස්තු 7 දා සිර ගත කරන ලදී.

Share this article: