ශ්‍රී ලංකාව: හිටපු ජානාධිපති වර්ගවාදී මැතිවරන ව්‍යාපාරයක් දියත් කරයි

Former Sri Lankan president mounts chauvinist election campaign

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි,2015 අගෝස්තු 7

ජනවාරි 8දා මැතිවරනයෙන් පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගෝස්තු 17දා පැවැත්වෙන මැතිවරනයෙන් යලි බලයට පැන ගැනීමේ ව්‍යායාමයක නිරතව සිටී. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙහෙයවන ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතරයක් දිනාගතහොත්, අගමැති වීමේ බලාපොරොත්තුවෙන් ඔහු පසුවෙයි.

ජනවාරියේදී රාජපක්ෂ ලත් පරාජය හුදෙක්, ඔහුගේ ආඥාදායක පාලන ක්‍රමයන්ට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන ක්‍රියාවට නැඟීමට එරෙහිව පලවූ ජනතාවගේ සතුරුකම්වල ප්‍රතිපලය නොවීය. තිරයට පිටුපසින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ වොෂින්ටනයේ ද පිටුබලය ඇතිව රාජපක්ෂගේ ප්‍රතිවාදියා ලෙස මෛත්‍රිපාල සිරිසේන පෙරට ගෙනාවෝය. මැතිවරනය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සිරිසේන ආන්ඩුවෙන් ඉවත්වී එජාපයේ හා තවත් පක්ෂ ගනනාවක සහාය ඇතිව, තමන් ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව නිවේදනය කලේය. රාජපක්ෂ කෙරෙහි වොෂින්ටනයේ සතුරුකම් මතුවූයේ, ඔහු චීනය සමඟ ගොඩනඟාගෙන සිටි සමීප සම්බන්ධකම් මුල්කරගෙනය. තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමෙහි ඉලක්කය වූයේ, කලාපය තුල චීනයේ අනුහසට වලකැපීම හා එරට මිලිටරිමය වශයෙන් වැටලීමේ “ආසියාවට හැරීම” පිලිබඳ ඇමරිකානු මූලෝපායේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව ඇමරිකාව පිටුපස පෙලගස්වා ගැනීමයි.

සිරිසේන ජනාධිපතිවරනයෙන් ජයගෙන වික්‍රමසිංහ අගමැති වශයෙන් පත්කරමින් එජාපයේ සුලුතර ආන්ඩුවක් පිහිටවූ පසුව, කොලඹ සමඟ බැඳීම් ශක්තිමත්කර ගැනීම පිනිස රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද ඇතුලු ඉහල පෙලේ ඇමරිකානු නියෝජිතයින් පෙලක් දිවයිනට පැමිනියහ.

සිරිසේන ශ්‍රීලනිපයේ සාමාජිකයෙක් ලෙස පමනක් නොව එහි නායකයා ලෙස ද පත්වීමෙන් පසුව, ඔහු නායක්තවය හෙබවූයේ නාමිකව වුවත්, උදාවූ තත්වය පක්ෂය තුල කාකොටාගැනීම් වලට තුඩුදුන්නේය. පසුගිය සතියේ ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ශ්‍රීලනිපය බහුතරයක් සහිතව ජයගත්ත ද තමා රාජපක්ෂ අගමැති ලෙස පත් නොකරන බවයි. එය මැතිවරනයෙන් පසුව බරපතල ව්‍යවස්ථාමය හා දේශපාලන අර්බුදයක් අවුලුවාලනු ඇත.

තමන්ගේ පැත්තෙන් රාජපක්ෂ, ජනවාරි මැතිවරනයේදී දුන් පොරොන්දු බොහොමයක් කඩකිරීමේ තතු තුල, සිරිසේන හා එජාප ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය ගසාකෑමේ උත්සාහයක යෙදී සිටියි. වර්ගවාදය හා සිංහල අධිපතිවාදය ඔහුගේ මැතිවරන ව්‍යාපාරයේ තේමාව බවට පත්ව ඇත. බෙදුම්වාදී එල්ටීටීඊය පරාජය කල බවට කයිවාරු ගසන රාජපක්ෂ, ජාතියේ ආරක්ෂකයා ලෙස තෙමේම පෙනී සිටින අතර රට දෙකඩ කිරීමේ තර්ජනය මතු කරමින් ජාතියේ ආරක්ෂාව අනතුරේ හෙලා ඇති බවට එජාපයට චෝදනා කරයි.

“අනාගතය සඳහා ප්‍රතිඥාවක්” යන හිසින් යුත් එජනිස මැතිවරන ප්‍රකාශනය, “රන විරුවන්ගේ ලේ හා කඳුලු වලින් දිනාගත් මේ භූමිය විනාශ කිරීමට, විදේශ බලවේගයන් විසින් දිරිමත් කරන බෙදුම්වාදීන්ට අපි ඉඩ නොදෙන්නෙමු” යයි කියා ඇත. පසුගිය සතියේ ප්‍රකාශනය එලි දක්වමින් රාජපක්ෂ පැවසුවේ, තමන් ඉදිරිපත් කරන්නේ “මාතෘ භූමියේ අනාගතය සඳහා වන අතිශයින්ම වැදගත් ලියවිල්ල” බවයි. සිංහල වර්ගවාදය ඇවිස්සීමට උත්සාහ කරමින් වාචාල ලෙස ඔහු විමසුවේ: මේ රට බෙදා අප ජිනීවා අධිකරනය හමුවට පැමිනවීමට ඔබ ඡන්දය දෙන්නේ ද? යනුවෙනි.

ඔහු අවසානයට සඳහන් කලේ, 2009 එල්ටීටීඊ පරාජය කල මාස කිහිපය තුල මිලිටරිය විසින් සිදුකරන ලද යුද අපරාධ හා ප්‍රචන්ඬ ක්‍රියා පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් කැඳවමින් පසුගිය වසරේ මාර්තුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, ඇමරිකාවේ අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කල යෝජනාව පිලිබඳවය. පරීක්ෂනයට දෙන ඇමරිකානු සහයෝගය අතිශයින්ම නරුමය. එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට පූර්න සහාය ලබාදුන් වොෂින්ටනය, “මානව හිමිකම්” පිලිබඳ ප්‍රශ්නය මතු කිරීමට පටන් ගත්තේ, ඔහු බීජිනය වෙතින් ඈත් කිරීමට පීඩනය යෙදීමේ තුරුම්පුවක් ලෙසය.

රාජපක්ෂ දස දහස් ගනනක් සිවිල් ජනතාවගේ මරන පිලිබඳව ආන්ඩුවේ වගකීම දැඩිලෙස ප්‍රතික්ෂේප කරයි. ලබන මාසයේදී එලිදැක්වීමට නියමිත පරීක්ෂන වාර්තාව, විවිධ දූෂන චෝදනා සේම රාජපක්ෂ හා ඔහුගේ ඇමතිවරුන්ගේ හිසට ඉහලින් එල්ලෙමින් තිබේ. මැතිවරන ජයග්‍රහනය තමා පිලිබඳ කුමන හෝ නීතිමය පියවරකට විරුද්ධව හරඹ කල හැකි වෙතැයි ඔහු බලාපොරොත්තු වේ.

උතුරු නැඟෙනහිරට වඩා වැඩි ස්වාධීනත්වයක් හා ෆෙඩරල් රාජ්‍යයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින දෙමල ප්‍රභූවේ ප්‍රධාන පක්ෂය වන දෙමල ජාතික සන්ධානයට එරෙහිව එජනිස, වර්ගවාදී ප්‍රහාරයක් දියත් කර ඇත. ඒ සමඟම එය, ටීඑන්ඒ ඉල්ලීම් වලට අනුගත වී “ජාතියේ ආරක්ෂාව” පරදුවට තබා ඇතැයි එජාපයට පහර දෙයි.

අගෝස්තු 03දා රාජපක්ෂ මෙසේ පැවසීය. “වික්‍රමසිංහ මහතා උතුර හා නැඟෙනහිර නැති නව රටක් නිර්මානය කරයි. ටීඑන්ඒහි ෆෙඩරල් රාජ්‍යයක් සඳහා වන යෝජනා සමඟ ගත් කල ඔහු අලුත් රටක් නිර්මානය කර ඇති බව අපට නිශ්චිතය. එසේ සිදුවුවහොත් රට ගොඩගත නොහැකි වනු ඇතැයි අපි කනස්සල්ලට පත්ව සිටිමු.

ඒ සමඟම එජනිස, 1987 ඉන්දු ලංකා ගිවිසුමේ කොටසක් ලෙස පනවන ලද 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් “ජාතික ප්‍රශ්නය විසඳනු ඇතිබව” කියා සිටින අතර දෙමල ධනේශ්වරයේ කොටස් වලට සහනයක් ද පිරිනමයි. පලාත් සභා මට්ටමින් සීමිත ස්වාධීනත්වයක් පිරිනමන ලද 13වන සංශෝධනය අනෙක් අතට, වැඩකරන ජනතාවගේ වියදමින් සිංහල හා දෙමල ධනේශ්වරය අතර බලය බෙදීමේ වැඩපිලිවෙලක් ද වන්නේය. සෑම කල්හිම ඊට දැඩිමතධාරී සිංහල අධිපතිවාදීන් දරුනු ලෙස විරුද්ධ වූ අතර කිසිවිටෙකත් පූර්න වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබුවේ නැත. බලයේ සිටියදී රාජපක්ෂ එය ක්‍රියාවට නැඟීම අවහිර කල අතර ඊලඟ ආන්ඩුවේ ද නායකත්වය ඔහුට ලැබුනොත් එයම කරනු ඇත.

එසේම රාජපක්ෂ, චීන ආයෝජන වලින් අරමුදල් සම්පාදනය කල ප්‍රධාන ව්‍යාපෘතීන් අත්හිටුවීම ගැන ද එජාපය විවේචනය කරයි. ප්‍රකාශනය එලිදක්වමින් ඔහු පැවසුවේ, “වික්‍රමසිංහ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය අඩපනකොට රට වසර 25ක් ආපස්සට තල්ලුකර තිබෙන” බවයි. එහි ප්‍රතිපලය වශයෙන් රැකියා 150,000ක් විනාශ කර තිබේ යයි ද ඔහු පැවසීය. රටේ ආර්ථිකය බරපතල දුෂ්කරතාවන්ට මුහුනපා ඇති තත්වය තුල එය, ව්‍යාපාරික ප්‍රභූව දෙස බලා කල ප්‍රකාශයක් බව පැහැදිලිය. කෙසේ වෙතත් රාජපක්ෂ, චීන ආයෝජන ව්‍යාපෘති යලි ආරම්භ කරන බවට දුන් පොරොන්දුව වොෂින්ටනයේ දැඩි නොසතුටට හේතුවනු ඇත.

කම්කරුවන්ගේ, ගොවීන්ගේ, තරුනයින්ගේ හා පීඩිතයින්ගේ තත්වය නඟාසිටුවන බවට දිව්රන, අනෙකුත් සියලු ධනපති පක්ෂවල මැතිවරන ප්‍රකාශන මෙන්ම එජනිස ප්‍රකාශනය ද මැතිවරනය අවසන් වීමත් සමඟ කුනු බාල්දියට දමනු ඇත. සිරිසේන හා වික්‍රමසිංහ මෙන්ම රාජපක්ෂ ද ජාමූඅ කප්පාදු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මුලුමනින්ම කැපවී සිටියි. එවක ජනාධිපති මෙන්ම මුදල් ඇමති වශයෙන් ද කටයුතු කල රාජපක්ෂ, සමාජ වියදම් කපාහරිමින්, රජයේ සේවකයින්ගේ වැටුප් කැටිකරමින්, කම්කරුවන්, සිසුන් හා ගම්බද පීඩිතයින් අතර පැවති ප්‍රතිරෝධය ආරක්ෂක හමුදාවන් යොදා මඬින ලදී.

රජයේ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 25,000 කරන බවට හා අමතරව රු. 10,000ක ජීවන වියදම් දීමනාවක්, පෞද්ගලික අංශයේ කම්කරුවන්ට රු.3000ක වැටුප් වැඩිවීමක්, වතු කම්කරුවන්ට රු.1000ක වැටුපක්, සිසුන්ට උසස් අධ්‍යාපනය වෙනුවෙන් රු.50000ක් හා ගොවීන්ට සහන නය හා නිෂ්පාදන සඳහා ඉහල මිලක්, එජනිස දිගු පොරොන්දු ලැයිස්තුවට ඇතුලත්ය.

එජාප හා අනෙකුත් මහ ව්‍යාපාරික පක්ෂවල පොරොන්දු වලට වඩා මෙම බේගල් කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇත. ප්‍රකාශනය තුල අන්තර්ගත යම් අර්ථයක් ඇති එකම පොරොන්දුව 2020 වන විට අයවැය හිගය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 දක්වා කපාහරින බවට දී ඇති ප්‍රතිඥාවයි. එම ඉලක්කය සපුරාගත හැක්කේ ඊලඟ ආන්ඩුව පිහිටුවනු ලබන්නේ කුමන පක්ෂ විසින් ද යන්න නොතකා, වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට එරෙහි අනවරත ප්‍රහාරයක් හරහා පමනි.

එවන් කප්පාදු පිලිවෙත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ක්‍රියාවට නැඟිය නොහැකිය. දශක ගනනක් ඇදී ගිය සිවිල් යුද්ධය අවධියේ එජාප හා ශ්‍රීලනිප ආන්ඩු විසින් ගොඩනඟන ලද පොලිස් රාජ්‍ය යාන්ත්‍රනය, කම්කරු පන්තියට හා පීඩිත ජනතාවන්ට එරෙහිව යොදාගන්නවා ඇත. නව “කාර්මික සංවර්ධන පනතක්” ගෙන එමින්, “යල්පැනගිය” කම්කරු නීති ඉවත් කර ආයෝජකයින්ට පැනවී තිබෙන බාධක ඉවත් කරන බව පැවසීමෙන් එජනිස ප්‍රකාශනය ඇඟවුම් කරන්නේ, පන්ති යුද්ධයේ දැඩි ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවයි.

එහි වැඩපිලිවෙල හා මැතිවරන ව්‍යාපාරය, මැතිවරනයෙන් පසුව ක්‍රියාත්මක කරනු ඇති ව්‍යාපාරික ගැති න්‍යායපත්‍රය පිලිබඳව කම්කරු පන්තියට කෙරෙන තවත් අනතුරු ඇඟවීමකි. එය පරාජය කල හැක්කේ, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් කරන අරගලය තුල ධනේශ්වරයේ සියලු කොටස් වලින් ස්වාධීනව කම්කරු පන්තිය එක්සත් කොට බලමුලු ගැන්වීමෙන් පමනි.

දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනඟමින්, ධනවාදය පෙරලා දමා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් මත සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට සටන් කරන එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂයයි.

කොලඹ, යාපනය හා නුවරඑලිය මැතිවරන දිස්ත්‍රික්ක සඳහා සසප අපේක්ෂකයින් 43 දෙනෙක් ඉදිරිපත් කර ඇත. අප කම්කරුවන්ගෙන්, පීඩිත ගොවීන්ගෙන්, තරුනයින්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, පක්ෂයේ ක්‍රියාමාර්ගය හදාරමින්, එහි මැතිවරන ව්‍යාපාරයට සහාය දෙමින් ඉහත දිස්ත්‍රික්ක වලදී පක්ෂයට ඡන්දය දෙමින් හා සියල්ලටත් වඩා, සසපට බැඳී එය ඉදිරියේ එලඹෙන අරගල වලදී අවශ්‍ය කෙරෙන විප්ලවවාදී නායකත්වය ලෙස ගොඩනඟන ලෙසයි.

Share this article: