“හෙමිහිට වැඩි කිරීමේ” ක්‍රමයට ෆෙඩරල් මහ බැංකුව, වසර 9ට පසු පොලී අනුපාත නැංවීමේ පලමු පියවර තබයි - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

“හෙමිහිට වැඩි කිරීමේ” ක්‍රමයට ෆෙඩරල් මහ බැංකුව, වසර 9ට පසු පොලී අනුපාත නැංවීමේ පලමු පියවර තබයි

Federal Reserve begins “dovish tightening” with first rate hike in nine years

බැරී ග්‍රේ විසිනි, 2015 දෙසැම්බර් 17

පුලුල් ලෙස බලාපොරොත්තුවූ පරිදි, මහ බැංකුවේ තබා ඇති සංචිත වලින් එකිනෙක බැංකු අතර, එසැනින් සිදු කරන නය ගනුදෙනු සඳහා අය කරන පොලිය, සියයට 0.25න් වැඩි කරන බව 16දා ඇමරිකානු මහ බැංකු මන්ඩලය නිවේදනය කලේය. මූල්‍ය අර්බුදයේ උච්ඡතම අවස්ථාව වූ 2008 දෙසැම්බරයේ පටන් සියයට 0-0.50 අතර පරාසයක පැවති පාදක පොලී අනුපාතය, 2006 ජූනි මාසයෙන් පසු පලමු වතාවට, 0 සිට 0.25 දක්වා වන පරිදි මහ බැංකුව විසින් ඉහල නංවනු ලැබින.

බැංකුවේ ප්‍රතිපත්ති තීරනය කරන, ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව හා එහි සභාපති ජෙනට්, අනුපාතය තවදුරටත් වැඩි කරන්නේ ක්‍රමානුකූලව හා සුලු වශයෙන් බව පෙන්වා දීමට විශාල වෙහෙසක් දැරුවේය. අනියමිත කාලයකට සාමාන්‍යයට වඩා අනුපාත පහතින් තබා ගන්නා බවත් “ඔරොත්තු දෙන” තත්වයක මූල්‍ය පිලිවෙතක් අනුගමනය කරනු ඇති බවත් මහ බැංකුව විසින් අවධාරනය කෙරින.

මූල්‍ය වෙලඳපොල ඇසීමට බලාපොරොත්තු වුනේ එවන් දෙයක් බව ඇමරිකානු කොටස් දර්ශකයන්හි ප්‍රතිචාරයෙන් පැහැදිලි විය. “හෙමිහිට වැඩි කිරීම” ලෙස සටහන්වූ, දිගු කලක් අපේක්ෂා කල මාරුවට, එම වචන යෙදුම නිසාම පලවූ ප්‍රතිචාරය, දර්ශක තුනම ඉහල නැඟීමය.

මූල්‍ය කමිටුවේ ප්‍රකාශය නිකුත් වීමට පෙර ඒකක 76ක් ඉහල ගොස් තිබුන ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය, යෙලන්ගේ මාධ්‍ය හමුව පැවැත්වෙද්දී නොකඩවා ඉහල යමින් දිනය අවසානයේ ඒකක 224ක් නැතිනම් සියයට 1.28න් වැඩි විය. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් හා නැස්ඩැක් දර්ශක එම මඟෙහිම යමින් දිනය අවසානයේ පිලිවෙලින් ඒකක 29ක් හෙවත් සියයට 1.45න් හා ඒකක 75ක් හෙවත් සියයට 1.52න් ඉහල නැඟුනි.

2013 දෙසැම්බරයේ එවක මහ බැංකු අධිපතිව සිටි බෙන් බර්නන්කේ, මහ බැංකුව “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” යන සිය දැවැන්ත බැඳුම්කර මිලට ගැනීමේ හා මුදල් අච්චු ගැසීමේ වැඩසටහන කප්පාදු කරන බව අඟවමින් මූල්‍ය පිලිවෙත සාමාන්‍ය තත්වයට ගෙන ඒමට අදහස් කරන බව සඳහන් කිරීමෙන් පසුව බැංකු හා ආරක්ෂන අරමුදල් (hedge funds), පොලී අනුපාත කිසිදු ආකාරයකින් ඉහල නැංවීමට එරෙහිව බලපෑම් කරමින් සිටියේය.

ඉන් දෙවසරක් ගිය තැන ඔවුන්, සුලු හා ක්‍රමානුකූල වැඩිකිරීමකට පොදුවේ සූදානම් වීම, දැවැන්ත ලාභ හා ධනය ජනගහනයේ පතුලේ සිට ඉහලම කොටස අතට මාරු කිරීමට තුඩු දෙමින්, මුලුමනින්ම පාහේ නොමිලේ නය සම්පාදනය කල යාන්ත්‍රනය, යලි වතාවක් මූල්‍ය ක්‍රමය බිඳ දැමීමට තර්ජනය කල නව නය හා මූල්‍ය අර්බුදයක් නිර්මානය කිරීම සමඟ බැඳී ඇත.

2008 දෙසැම්බර් 16දා මහ බැංකුව පොලී අනුපාතය බිංඳුවට ආසන්න වන තෙක් පහත හෙලීමෙන් පසුව ඩව්, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 500, නැස්ඩැක් දර්ශක, පිලිවෙලින් සියයට 96, 124, හා 214න් ඉහල නැඟ තිබේ. මේ කාලය තුල මහ බැංකුව, බැංකු පද්ධතිය තුලට ඩොලර් ට්‍රිලියන 3.5ක් පොම්ප කර ඇත. පොහොසත්ම ඇමරිකානුවන් 400 ධනය දෙගුනවී තිබේ. මේ අතර ආර්ථිකය තුල යහපත් රැකියා විනාශය හා වැටුප් කැපීම, කම්කරු පන්තියේ ජීවන තත්වයන් කාබාසීනියා කර තිබේ.

එහෙත්, තෙල්, ගෑස්, ලෝහ හා අනෙකුත් මූලික භාන්ඩවල මිල ගනන් කඩා වැටීම, පිරිහෙන වෙලඳාම හා කාර්මික භාන්ඩ සඳහා ඉල්ලුමේ වැටීම පෙන්නුම් කරන, ගෝලීයව සිදුවෙමින් ඇති සැබෑ ආර්ථිකය මන්දගාමීවීම, දැන්, ඇමරිකානු බැඳුම්කර වෙලඳපොල අස්ථාවර කරමින් හා ඇමරිකානු මහ බැංකුව ද ඔබාමා පාලනය ද යුරෝපයේ හා ආසියාවේ ආන්ඩු හා මධ්‍යම බැංකුවල ද ප්‍රතිපත්ති වලට පින්සිදු වන්නට ගොඩනඟන ලද කඩදාසි මූල්‍ය නිවස, කඩා වැටීමේ තර්ජනය මතු කරයි.

පසුගිය සතිය පුරා ඇමරිකාවේ ඉහල අවදානම් හා ඉහල ප්‍රතිලාභ සහිත අඩමාන බැඳුම්කර වෙලඳපොලේ නැඟී එන අර්බුදය, බලශක්තිය මත පදනම්ව තිබූ අඩමාන බැඳුම්කර අරමුදල් තුනක් වසා දැමීමත් සමඟ මතුපිටට පැමිනියේය. ඒවායේ බිඳ වැටීම අවුලුවාලූයේ, තෙල් මිල බැරලයක් ඩොලර් 40න් පහලට ලුහුටා යාමත්, ගනුදෙනුකරුවන් මුදල් ආපසු ගැනීමේ රැල්ලක් පැන නැඟීමත් සමඟය. උත්තෝලන වාසි මත බෙහෙවින් පදනම්ව ඇති එම සමාගම් වලට එවැන්නකට මුහුන දිය නොහැකි විය.

තුන්වන මාවතේ ලුසිඩස් කැපිටල් පාට්නර්ස් හා ස්ටෝන් ලයන් කැපිටල් සමාගම් පාලනය කරන අරමුදල්, මුදල් ආපසු ගැනීම වැලැක්වීමත් සමඟ ඩොලර් ට්‍රිලියන 1.3ක් වූ අඩමාන බැඳුම්කර වෙලඳපොලේ විකුනා දැමීම් රැල්ලක් හටගත්තේය. ඉහල නය බරක් හා පහත් වර්ගීකරනයක් සහිත සමාගම් විසින් නිකුත් කරන ලද බැඳුම්කර මත පාදක ඉහල අවදානමකින් යුත් මෙම වෙලඳපොල, මහ බැංකුව පොලී අනුපාත ශුන්‍යයට ආසන්න මට්ටමකට පහත හෙලීමත්, දිගු කාලීන පොලී අනුපාත බලහත්කාරයෙන් පහත දැමීමේ වෙනත් පියවර ගැනීමෙනුත් පසුව, දැවැන්තව ප්‍රසාරනය විය.

එම ප්‍රතිපත්ති, සමපේක්ෂන හා පරපුටු මූල්‍ය ක්‍රියාවලීන් පාලනය කරනවා වෙනුවට, ඒවායේ ප්‍රසාරනයට අත්වැල සැපයීය. ආරක්ෂන අරමුදල් හා විනිමය වෙලඳාමට සම්බන්ධ එවැනි මූල්‍ය ක්‍රියාන්විත සමාගම්, අවමුඛ උකස්කර බුබුල පිපිරී යාමෙන් පසුව ඉහල ප්‍රතිලාභ අත්කර ගැනීමේ නව මං සොයා යන ගමනේදී, අඩමාන බැඳුම්කර වෙතට හැරුනි. ඇමරිකාවේ අඩමාන බැඳුම්කර නිකුත් කරන ඩීලොජික්ට අනුව සමාගම, මූල්‍ය අර්බුදයට පෙර වසරවල පැවති පරිමාව, 2013දී ඩොලර් බිලියන 361 දක්වා, දෙගුනයකටත් වඩා ඉහල නංවාගෙන ඇත.

සති 70ක් තුල පසුගිය සතියේ, අඩමාන බැඳුම්කර අරමුදල් වලින් ඩොලර් බිලියන 3.5ක් ඉවත්කර ගැනුනි. අර්බුදය එම ක්ෂේත්‍රෙයන් පිටතට ගමන් කරමින් තිබේ. ඖෂධ, මාධ්‍ය, සංනිවේදන, අර්ධ සන්නායක හා සිල්ලර වෙලඳාමට සම්බන්ධ සමාගම් විසින් නිකුත් කල බැඳුම්කර මිල ගනන් ද පසුගිය මාසවල පහත වැටී තිබේ.

16දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය,ඩබල් ලයින් කැපිටල්හි ගෝලීයව වර්ධනය කල නය කලමනාකාර බොනී බහා උපුටා දක්වමින් සඳහන් කලේ, “මෙම තත්වය අවුලුවා ඇත්තේ 2008 අත්දැකීම් හා සමාන දෙයකිනි. ඒ පිලිබඳ මතකය යලි වතාවක් පෙරමුනට පැමින තිබේ. පැහැර හැරීම් වැඩිවෙමින් තිබේ. බලශක්තිය එහි පෙරමුන ගෙන ඇති නමුත් අනෙක් ක්ෂේත්‍ර වලට ද එය පැතිරෙමින් තිබේ. එය හුදෙක් බලශක්තිය හෝ ඛනිජ හා පතල් කර්මාන්තය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ.” යනුවෙනි.

15දා ඇමරිකාවේ මූල්‍ය පරියේෂන කාර්යාලයේ වාර්තාවකින්, මූල්‍ය නොවන සමාගම් හා මතුවෙන වෙලඳපොල ගැනුම්කරුවන් අතර “පිම්බෙන හා නැඟෙන නය අවදානම්” පෙන්නුම් කලේය. නයේ ගුනය කෙරෙහි ඇති කරන සැලකිය යුතු බලපෑමක් “ඇමරිකාවේ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි” බවට එය අනතුරු ඇඟවීය.

වාර ගනනාවකදීම ප්‍රමාද කරන ලද මහ බැංකුවේ තීරනය කෙරෙහි, සමාගම්වල පුලුල් වෙමින් ඇති බැඳුම්කර අර්බුදය බලපෑමක් කර තිබෙන අතර අනුපාත වැඩිකිරීමට පටන් ගැනීම, මූල්‍ය කමිටුවේ ප්‍රකාශයෙහි භාෂාවෙන් සලකුනු කරයි. අනාගතයේ සිදුකරන අනුපාත වැඩිකිරීම ගැන කථා කරමින් ප්‍රකාශය, “මූල්‍ය හා ජාත්‍යන්තර වර්ධනයන්” පිලිබඳව සැලකිලිමත්වීම එක් සාධකයක් බව සටහන් කරයි. මූල්‍ය වර්ධනයන් ගැන කරන සඳහන විශේෂයෙන්ම කමිටුවේ පූර්ව ප්‍රකාශයන්ගෙන් වෙන්වීමකි.

එහි ප්‍රකාශය පොදුවේ ඇමරිකානු ආර්ථිකයේ ඉහල යාමක් ගැන අගැයීමක් අන්තර්ගත කර ගත් අතර යෙලන්, තම මාධ්‍ය හමුවේදී තරමක් ශුභවාදී ද විය. අනුපාත වැඩිකිරීමට පටන් ගැනීම, ඇමරිකානු ආර්ථිකය හා මහා පසුබෑමෙන් ඉක්බිතිව එහි ප්‍රකෘතිමත් වීම පිලිබඳව විශ්වාසය පල කරන ඡන්දයක් වූ බවත් ඇය පැවසුවාය.

යෙලන් හා මූල්‍ය කමිටුව මුලුමනින්ම පාහේ නොතකා හරිනු ලැබුවේ, මහ බැංකුව විසින් මූල්‍ය රෙගුලාසි දැඩි කරනු ඇතැයි යන බලාපොරොත්තුව නිසා ඩොලරයේ හුවමාරු අනුපාතය ඉහල යාම මඟින් උග්‍ර කරන ලදුව, මෑත මාසවල ඇමරිකාවේ නිෂ්පාදන හා කාර්මික නිෂ්පාදනය තියුනු ලෙස මන්දගාමී වී ඇතැයි යන කාරනයයි. වැඩි අගයකින් යුත් ඩොලරය, ඇමරිකාවේ නිර්යාත තවදුරටත් පහත හෙලනු ඇත. අනුපාත වැඩිකිරීම සැබවින්ම ක්‍රියාත්මක වීම, ඩොලරය තවත් ඉහලට තල්ලු කර අපනයන මත පීඩනය තවත් දැඩි කරනු ඇත.

මේ මාසය මුල සැපයුම් කලමනාකරනය පිලිබඳ ආයතනය වාර්තා කලේ, ඇමරිකාවේ නිෂ්පාදන 2009 ජූනි මාසයෙන් පසුව එහි පහතම අගය සලකුනු කරමින් නොවැම්බරයේදී හැකිලී ගිය බවයි. කාර්මික නිෂ්පාදනය පසුගිය සය මාසයේ මාස තුනකදීම හැකිලී ගියේය. 15දා නිකුත් කල සංඛ්‍යාවන්ට අනුව, දෙසැම්බර් දක්වා වන මාස පහ තුල නිව් යෝර්ක් ප්‍රාන්තයේ කම්හල් කටයුතු එක දිගට පිරිහීමක් සලකුනු කරයි.

ඇගේ මාධ්‍ය හමුවේදී, අඩමාන බැඳුම්කර වෙලඳපොලේ කඩා වැටීම හා පසුගිය 10දා තුන්වන මාවතේ නය අරමුදල වසා දැමීම ගැන යෙලන්ගෙන් විමසන ලදී. එක් සිද්ධියක් පමනක් බව කියමින් එය පසෙකට දැමූ ඇය, අඩමාන බැඳුම්කර මත යෙදෙන පීඩනය ගැන සැලකිලිමත් වූවාය.

තවත් මාධ්‍යවේදියෙක් මහ බැංකුවේ ප්‍රකාශ අභියෝගයට ලක් කලේය. තෙල් මිලෙහි දරුනු කඩා වැටීම හා පහත් උද්ධමන වේගය “සංක්‍රමනීය” සංසිද්ධියක් බවටත්, ඉදිරි මාස වලදී පහව යන අතර උද්ධමන වේගය බැංකුව බලාපොරොත්තු වන සියයට 2 මට්ටමට පැමිනෙනු ඇති බවටත් බැංකුව කරන තක්සේරුව, දෙවසරක් තිස්සේ කරන එකක් බව කියා සිටි ඔහු, එය කිසි විටෙකත් සාක්ෂාත්වී නැති බවත් පැවසීය.

යෙලන් අසීරුතාවට පත්වූ බවක් පෙනී ගිය අතර බොහෝකොටම ප්‍රශ්නය මඟහැරියාය. ඇයට පිලිගත හැකි පිලිතුරක් සැපයීමට නොහැකි වූයේ, තෙල් හා පාරිභෝගික භාන්ඩ මිල කඩා වැටීම හා ආන්තිකව පහත් උද්ධමන වේගයක් පැවතීගෙන යාම, බැංකු පද්ධතියට ඩොලර් ට්‍රිලියන ගනනින් පොම්ප කරද්දීත් සැබෑ ආර්ථිකයේ අව්‍යාජ ප්‍රකෘතියක් ඇති කිරීමට ඇමරිකානු හා අනෙකුත් මධ්‍යම බැංකු අසමත්වීම හා ආර්ථික පසුබෑමේ යථාර්තය එමගින් පිලිබිඹු කරන බැවිනි.

වෝල් වීදිය කඩා වැටීමේ තැන් සිට සත් වසරකටත් වැඩි කාලයක් පැවතීගෙන යන අවධමනයේ තර්ජනය, යෙලන්ට කිසි විටෙකත් පිලිතුරු සැපයිය හැකි හා පිලිගත හැකි නොවන යමක්, එනම්, ධනේශ්වර ක්‍රමයේම බිඳ වැටීමක් හා පද්ධතිමය අර්බුදයක් නිර්මානය කර ඇත.

Share this article: