චීනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා යුරෝපය අතර වැඩෙන මත භේද මධ්‍යයේ ප්‍රන්ස ජනාධිපති ඔලොන්ද් ගේ ආසියානු සංචාරය

French President Hollande tours Asia as divisions mount between US and Europe over China

ඇලෙක්ස් ලැන්ටියර් හා කුමරන් ඊරා විසිනි , 2015 නොවැම්බර් 04

චීනය සමග මූල්‍ය හා මූලෝපායික සබඳතා තර කර ගැනීමේ සහ මෙම මස පැරිසියේ මුලු දෙන COP -21 දේශගුනික සමුලුව සඳහා සූදානම් වීමේ එල්ලය ඇතිව ප්‍රන්ස ජනාධිපති ප්‍රන්ෂුවා ඔලොන්ද් පසුගිය 29 දින චීනයේ සිදුකල දෙදින සංචාරය අවසන් කලේය. ප්‍රන්සය බලා ආපසු යාමට පෙරාතුව ඔහු දකුනු කොරියාවට ද ගියේය.

ඔලොන්ද් ගේ මෙම චීන සංචාරය චීනය සහ යුරෝපය අතර වඩා සමීප වෙමින් පවතින සබඳතා ඉස්මතුකර දක්වන ඉහල පෙලේ රාජ්‍ය සංචාර අතුරින් අලුත්ම එකය. ලන්ඩනය, චීන මුදල වන රෙන්මින්බිය සඳහා යුරෝපයේ ප්‍රධානතම විදේශීය වෙලඳ මධ්‍යස්ථානය ලෙස ගොඩනැඟීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් පසුගිය මස බ්‍රිතාන්‍යයට ගිය අතර, චාන්සලර් ලෙස පත්වීමෙන් පසු බීජීනයට කල තම අටවන සංචාරයේදී ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කල් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ගනුදෙනු ගනනාවක් නිවේදනය කලාය.

COP-21 සමුලුවේදී සම්මත කර ගත යුතු පරිසර දූෂන ඉලක්ක ගැන චීන නිලධාරීන් සමග සාකච්ඡාවන්ට සමගාමීව ඔලොන්ද් සහ ඔහුගේ පරිවාරක ප්‍රන්ස ව්‍යාපාරික නියෝජිතයෝ යුරෝ බිලියන ගනන් වටනා ගනුදෙනු වලට අත්සන් තැබූහ. න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රනය පිලිබඳ යුරෝ බිලියන 20 ක කාර්මික ගිවිසුමකට අත්සන් කල ඔවුහු, එන්ජී (Engie –කලින් Gaz de France-Suez) නම් ප්‍රන්ස උපයෝගිතා සේවාවේ සහ PSA නම් වාහන කර්මාන්තයේ විශාල හිමිකමක් චීනය විසින් මිලදී ගැනීමෙන් පසුව ,ඇරිවා (AREVA ) නම් යෝධ ප්‍රන්ස න්‍යෂ්ඨික ව්‍යවසායේ ආයෝජනය කිරීමට ද චීනයට පෙරැත්ත කලහ.

රෙන්මින්බිය සඳහා විදෙස් වෙලඳ මධ්‍යස්ථානයක් ලෙස පැරිසියේ ක්‍රියා කලාපය වැඩි කිරීම උදෙසා ද ප්‍රන්ස නිලධාරීන් සාකච්ඡා පැවැත්විය. 2013 දී චීනයේ ප්‍රන්ස සෘජු ආයෝජන යුරෝ බිලියන 17.9 පමන වූ අතර ප්‍රන්සයේ චීන සෘජු ආයෝජන බිලියන 4.9ක් විය. ප්‍රන්ස බැංකු තුල රෙන්මින්බි බිලියන දස දහස් ගනනින් පැවතීම, ඇමරිකානු ඩොලරය මගහැර ජාත්‍යන්තර ආයෝජන සම්බන්ධ ගනුදෙනු ඉටුකර ගැනීමට ආයෝජකයන්ට ඉඩ ප්‍රස්තා විවර කරයි.

චීන හා ප්‍රන්ස නිලධාරීන් අතර කලින් සිදු කෙරුනු ගනුදෙනු සාකච්ඡා සමග සසඳන කල මෙවර, චීනය සම්බන්ධයෙන් ඇමරිකානු හා යුරෝපීය මූලෝපායේ වැඩි වන වෙනස්කම් සැඟවීම වඩාත් දුෂ්කර විය.

පසුගිය මාර්තු මසදී චීනයේ ඩොලර් බිලියන 50 ආසියානු යටිතල ආයෝජන බැංකුවට (AIIB) සම්බන්ධ නොවී සිටිමට වොෂින්ටනය කල බලපෑම, ප්‍රන්සය ඇතුලු ප්‍රධාන යුරෝපීය බලවත්තු නොතකා හලෝය. AIIBය, “සේද මාවත ආර්ථික තීරුව” නැත්නම් එක තීරුවක් එක මාවතක් (One Belt,One Road-OBOR) ලෙස හඳුන්වනු ලැබ 2013 අවසාන සමයේ ප්‍රකාශයට පත්කල වඩාත් පෘථුල ආරම්භකත්වයක කොටසක් විය. ඩොලර් ට්‍රිලියන 1.4 ක තරම් අති විශාල ආයෝජනයක් වන මෙයින්, චීනයේ සිට යුරේසියාව තරනය කරමින් රුසියාව, මධ්‍යම ආසියාව, මැදපෙරදිග හා නැගෙනහිර යුරෝපය හරහා යුරෝපීය වෙලඳපොල වෙත සීඝ්‍රගාමී ගොඩබිම් මාවතක් ගොඩනැගීම සඳහා දුම්රිය හා මහාමාර්ග ඇතුලත් කරගන්නා යටිතල නිර්මානය කිරීමත් අපේක්ෂිතය.

චීනය වට කිරීම එල්ල කරගත් එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” ගැන ඔලොන්ද් මේ සතිය තුල මුනිවත රැකීය. එක්සත් ජනපද නාවික හමුදාව සහ චීන හමුදා අතර වර්තමානයේ දකුනු චීන මුහුදේ සිදුවන පුපුරන සුලු ගැටුම් මධ්‍යයේ තම නේටෝ සගයකු වන එරට වෙත ඔලන්ද් කිසිදු ප්‍රසිද්ධ සහයෝගයක් පල නොකලේය.

ඔලොන්ද ගේ සංචාරය පිලිබඳ ග්ලෝබල් ටයිම්ස් චීන පුවත්පත OBOR පිලිබඳ ප්‍රන්සයේ සහයෝගය ගැන ප්‍රශංසා කරමින් සඳහන් කල පරිදි, “ලෝක ආර්ථිකය තුල තම රටවල තාක්ෂනික හා මූල්‍ය ශක්තියේ වාසිය යොදා ගනිමින් එක තීරුවක් එක මාවතක් ආරම්භකත්වය යටතේ තුන්වන පාර්ශවයක වෙලඳ පොලවල් ගවේශනය කිරීමෙහි ලා සහයෝගී වීමට රටවල් දෙක උත්සාහ ගත්තේය.”

මේවා සිදු වන්නේ යුක්රේන අර්බුදය මුල්කරගෙන රුසියාව පිලිබඳව ඇමරිකාව අනුගමනය කරන පිලිවෙත ගැන යුරෝපීය විවේචන වැඩී යද්දීය. නේටෝව රුසියාව සමග “පූර්න යුද්ධයක් ” ඇවිලවිය හැකි බව ඔලොන්ද් නැවත නැවතත් අනතුරු අඟවා තිබේ; පසුගිය මස අවසාන දිනවල රුසියාවට ගමන් කල හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි, එක්සත් ජනපද පීඩනය යටතේ රුසියාවට එරෙහිව යුරෝපය පැනවූ මූල්‍ය සම්බාධක වලට ප්‍රසිද්ධියේ පහර දුන්නේය. ටෝටල් නම් ප්‍රන්ස බලශක්ති සමාගම රුසියාව තුල සිදුකර ඇති මහා පරිමාන ආයෝජන වැනි ප්‍රන්ස හිමිකම් වලට මෙකී සම්බාධක හරස්ව සිටී .

පසුගිය වසරේදී සම්බාධක මග හැරීමට උපකාරී වන ජීවිතාරක්ෂක රැහැනක් බඳු නය රුසියාව වෙත සම්පාදනය වැනි චීනයේ ප්‍රතිපත්ති සමග ප්‍රන්සයේ ප්‍රතිපත්ති සම්පාත වීම මෙවැනි විවේචන මගින් සිදුවේ.

චීනයේ AIIB/OBOR ව්‍යාපෘති පිලිබඳ ඇමරිකානු-යුරෝපා මතභේද මගින් වඩ වඩාත් පැහැදිලි වන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය හා එහි යුරෝපීය තරග කරුවන් අතර දුරස්ථ වන්නාවූ මූල්‍ය ප්‍රතිපත්ති පමනක් නොව, වැඩි වර්ධනය වන්නා වූ මූලොපායික ප්‍රතිඝතිතාය. ඇමරිකාවේ ‘ආසියාවට හැරීම’ (Pivot to Asia) හමුවේ එරට සමග ඇති තම සබඳතාවන්හි වියදමෙන් චීනය සමග සමීප මූලෝපායික සබඳතා වර්ධනය කර ගැනීම පිලිබඳව සලකා බැලීමට යුරෝපීය පාලක පන්තියේ කොටස් නැඹුරු වී ඇත.

මධ්‍යම ආසියාවට හා යුරෝපය දෙසට වූ චීනයේ OBOR ආරම්භකත්වය මුලින් පටන් ගැනුනේ 2011 දී ඔබාමා පාලනාධිකාරය ප්‍රකාශයට පත්කල ආසියාවට හැරීමට ප්‍රතිචාර වශයෙනි. පැසිපික් සාගරය හා මැදපෙරදිග චීන බල ශක්ති ප්‍රභව වෙතට ඉන්දියන් සාගරය හරහා වැටී ඇති නාවුක වෙලඳ මාර්ග සම්බන්ධයෙන් ගත් විට, වොෂින්ටනය විසින් පෙලගස්වන ලද ජපානය, ඕට්‍රේලියාව, පිලිපීනය, වියට්නාමය, සහ ඉන්දියාව ඇතුලත් කර ගත්තාවූ පස මිතුරු හවුලක් චීනයට දැකගත හැකි විය. නාවික බලයෙන් අති මහත් ලෙස පසුපසින් සිටින චීන රෙජිමය යුරේසියාව කරා විකල්ප වෙලඳ මාර්ගයක් ලෙස ගොඩබිම් හරහා යන මාර්ග තෝරා ගති.

2013 දී OBOR දියත් කිරීමේදී බීජීනය, 1990 ගනන්වල සෝවියට් සංගමය විසුරුවා හැරීමට ආසන්න කාලයේ සිට සලකා බලමින් සිටි මූලෝපායකට නැවත හැරීමක් සලකුනු කරයි. එම දශකයේදී, චීනයේ සිට මැදපෙරදිග කරා “සමස්ථ ආසියානු ගෝලීය බලශක්ති පාලම” යෝජනාව වැනි ගොඩබිම් මාර්ග සඳහා බීජීනය සැලසුම් වර්ධනය කලේය. 2001 දී එක්සත් ජනපද‍යේ ඇෆ්ගනිස්ථාන ආක්‍රමනය සහ එහි ප්‍රථිඵල ලෙස මධ්‍යම ආසියාව වෙත ඇමරිකානු බලපෑම් විහිද යෑම මඟින් මෙම සැලසුම් ක්ෂනිකවම නතර කෙරුනි.

එතැන් සිට අවුරුදු 14 ක් ගතවීමෙන් ඉක්බිතිව, ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ සහ වොෂින්ටනය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමට පටන් ගැනීමෙන් පසු, චීනයේ OBOR සැලසුම් වල වැදගත්කම මහත් ලෙස වර්ධනය වී ඇත. 2008 කඩාවැටීමෙන් පසු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සාපේක්ෂ ආර්ථික තත්ත්වය විශාල ලෙස දුර්වල වී තිබියදී, චීන ධනවාදය ද දුර්වල වන ආර්ථිකයකට මුහුන දෙන අතර එරට භාන්ඩ සඳහා වෙලඳපොලවල් සොයා ගැනීමට ඔවුන් යොමුව සිටියි. මේ සමග යුරෝපය මුහුනපා සිටින අඛන්ඩ ආර්ථික අර්බුදය හමුවේ යුරෝපීය අධිරාජ්‍යවාදය, චීනය සමග වාසි සහගත සම්බන්ධතා වෙත වඩ වඩාත් වාරු වෙමින් සිටින බව ඔලොන්ද ගේ චීන සංචාරය පෙන්නුම් කරයි.

භූ මූලෝපායික ආතතීන් උත්සන්නවීම එහි ප්‍රථිඵලය වි ඇත. 2013 දී සිරියාව හා 2014 දී යුක්රේනය මුල්කරගෙන රුසියාව සමග ද 2013 දී කොරියාව මුල් කරගෙන චීනය සමග ද ඇමරිකානු මැදිහත් වීම් වලින් පසුව ලොව පුරා ආන්ඩු, න්‍යෂ්ඨික බලවතුන් අතර සිදුවිය හැකි ගෝලීය යුද්ධයක අනතුර පිලිබඳව අවධානය යොමු කිරීමට පටන් ගෙන ඇත.

දැන් චීන පාලක ප්‍රභූවේ කොටස් ඇමරිකාවට එරෙහිව යුරෝපා සංගමයේ රටවල් සමග සන්ධාන ගොඩනැගීම ගැන සලකා බැලීමට පටන් ගෙන ඇත.

“යුරෝපීය සංගමය සමග සබඳතා, ඇමරිකානු-ජපන් සන්ධානය කඩාකප්පල් විය හැක”යන සෘජු මාතෘකාව යටතේ ග්ලෝබල් ටයිම්ස් ලියූ පරිදි, “චීන යුරෝපා සබඳතා වලදී ආරම්භකත්වය දැන් චීනය සතුව ඇත. මසක් ඇතුලත ප්‍රධාන යුරෝපීය රාජ්‍ය නායකයන් තිදෙනෙකු චීන නායකයන් හමුවීම අහම්බයකට වඩා වැඩි දෙයකි. ඇමරිකානු මාධ්‍ය තමන්ගේ අත් අඹරවා ගනිමින් මැසිවිලි නැගීම හා යුරෝපය තම ‘ප්‍රතිපත්ති’ අත හැරීම ගැන දොස් නැගීම නොනවත්වා කරගෙන යති. ඇමරිකානුවන්ගේ ක්‍රෝධයට හේතුව චීනය සමග සුහදශීලී සබඳතාවයන් පවත්වාගෙන යෑම සඳහා යුරෝපයට තිබෙන වඩා ඉහල අධිෂ්ඨානය ගැන ඇති ඊර්ෂ්‍යාව ය.”

මෙවැනි ප්‍රකාශ පවත්නා සමාජ පටිපාටියේ බංකොලොත්කම පිලිබඳව ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු අඟවයි. නිශ්පාදන බලවේගවල වර්ධනය සහ ජාතික රාජ්‍ය පද්ධතියේ අතාර්කිත බව අතර පරස්පරය තුල මුල් බැසගත් මහා ව්‍යසනකාරී ප්‍රතිවිරෝධයන් ලෝක ධනවාදයේ ව්‍යුහය තුල මතුවෙමින් ඇත.

සහතිකෙන්ම කල්පිත චීන-යුරෝ සංගම් සන්ධාන නැගී ඒමට අති විශාල බාධක තිබේ. ඇමරිකාව හා යුරෝපය අතර ඇති නේටෝ සන්ධානය, චීනය OBOR හරහා ඒකාබද්ධ කිරීමට උත්සාහ දරන ප්‍රදේශවල අස්ථාවරභාවය සහ යුරෝපය තුලම ඇති බෙදීම්, ග්ලෝබල් ටයිම්ස් පිලිගත් පරිදි, “ඇමරිකානු-යුරෝපීය සබඳතා අප සිතන තරම් නරක් වී නැති බව චීනය සලකා ගතයුතු අතර, චීනයේ ප්‍රසාදය සඳහා එක්සත් රාජධානිය, ප්‍රන්සය හා ජර්මනිය අතර තිබේ යයි කියන තරග කාරිත්වය අප බලාපොරොත්තුවන තරමට විශ්වාසය තැබිය හැක්කක් නොවේ .”

කෙසේ වුවත් චීනය හා විවිධ යුරෝපීය බලවතුන්, වොෂින්ටනයේ අභිලාෂයන්ට එරෙහිව යුරේසියානු භූමි ස්කන්ධය එක්සත් කිරීම සඳහා අවශ්‍ය ගමනා ගමන හා මූල්‍ය යටිතල ව්‍යුහයක කලලයක් සඳහා සැලසුම් කිරීමේදී සහයෝගී වන බව ඉෂ්ඨවූ කරුනක් ලෙස පවතී. එවැන්නක් එසේ වර්ධනය වුවහොත් තම එකම සැලකිය යුතු භූ මූලෝපායික පිලිමලා ලෙස ඇමරිකාවට මුහුන දීම පමනක් නොව, ජනගහනය හා කාර්මික ශක්තිය අතින් තීරනාත්මක ලෙස එරට අභිබවනු ද ඇත.

චීනය පිලිබඳව ඇමරිකාව හා යුරෝපා සංගමය අතර වර්තමාන මතභේද හේතුකොටගෙන ඉස්මතුවන කේන්ද්‍රීය අනතුරක් වන්නේ, විශේෂකොටම තමුන් දෙවන පංතියේ තැනකට ඇද වැටීම වලක්වා ගැනීමට ඇමරිකන් අධිරාජ්‍යවාදය දරන උත්සාහයේදී මෙම ප්‍රතිවිරෝධයන් යුද්ධය පුපුරා යෑමට තුඩු දීමේ අවදානමයි. සත්තකින්ම යුරේසියානු භූමි ස්කන්ධය එක්සත්වීම කෙසේ හෝ වලක්වාලීම එහි විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය එල්ලයක් ලෙස දිගුකාලයක සිට පැවතී ඇත.

හිටපු ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නිව් බ්‍රසින්ස්කි විසින් ලියන ලදුව බොහෝ පාඨක අවධානයට පාත්‍ර වූ, 1997 දී පලකල “මහා චෙස් ‍පෙත” (The Grand Chess Book ) නම් පොතේ ප්‍රධාන තේමාවක් වූයේ මෙවැනි ප්‍රථිඵලයක් ආක්‍රමනශීලී ලෙස වලක්වා ගන්නේ කෙසේද යන්නයි.

යුරේසියානු මහාද්වීපයේ දෙ කොනෙහිම ආර්ථික බලවතෙකු හිස එසවීම ගැන ඔහු අනතුරු ඇඟවීය: “ භූගෝලීයව ක්‍රියාත්මක වන ඇමරිකාවක්, සංකීර්න යුරේසියානු බල සබඳතා සමග කෙසේ පොරබදනු ඇත්ද?- සහ විශේෂයෙන්ම, පසමිතුරු අධිකාරිමය යුරේසියානු බලවතෙකු නැගී ඒම වලකා ගනු ඇත්ද ? යන කාරනාව , ගෝලීය ප්‍රමුඛත්වය දැරීමට ඇමරිකාවට ඇති හැකියාවට කේන්ද්‍රීයවේ....... ඒ අනුව යුරේසියාව ගෝලීය ප්‍රමුඛත්වය සඳහා වන අරගලය තව දුරටත් දිග හැරෙන චෙස් පෙත වන්නේය.”

රුසියාව ආධිපත්‍යය දරන යුරේසියාවක් පිලිබඳ ඇමරිකානු භීතිය, රුසියාව කැබලි කිරීමට වොෂින්ටනයට ඇති අභිලාෂයට හේතුව ලෙස ස්ට්‍රැට්ෆෝර් නම් ඇමරිකානු භූමූලෝපායික විශ්ලේෂන සමාගම 2005 ලිපියක සඳහන් කලේය. එය ලියූ පරිදි: “තව ද යුරේසියාව තනි ඒකාග්‍රිත මහාද්වීපික බලයක් ලෙස එක්සත් කිරීමේදී වෙනත් කිසිම බලවතෙකුට වඩා රුසියාවට අවස්ථාව සැලසෙයි. ඒ, එක්සත් ජනපදයේ සුපිරි බල තත්ත්වය අවසාන කිරීමේ හැකියාව තිබිය හැකි එකම බාහිර සාධකයයි. (සිද්ධියයි). මෙවැනි කුඩා සාධක ප්‍රතිපත්ති සම්පාදකයන් කිසිසේත් අමතක කරන හෝ සැහැල්ලුවට ගන්නා කාරනා නොවේ. රුසියාව කෙරේ ඇමරිකානු ප්‍රතිපත්තිය සරල මෙන්ම අවසාන එක ද වේ: ඒ විසුරුවා හැරීමයි.”

ප්‍රගතිශීලී විසඳුමක් ඉදිරිපත් කිරීමට නොහැකි, උග්‍රවන්නාවූ අර්බුදයකට මුහුන දෙන ප්‍රධාන බලවතුන් වඩ වඩාත් ආක්‍රමනශීලී ප්‍රතිපත්ති යොදාගනු ඇති බවට පවතින අන්තරාය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබේ.

Share this article: