මහාචාර්ය සුමනසිරි ලියනගේ සරසවි සිසුන්ට ග‍්‍රීසියේ සිරිසා බඳු උගුලක් යෝජනා කරයි

කේ. රත්නායක විසිනි, 2015 දෙසැම්බර් 14

මහාචාර්ය ලියනගේ ධනවාදයේ ක්ෂමාලාපකයෙක් ලෙස මාක්ස්වාදයට හා සමාජවාදයට පහර ගැසීමේ න්‍යායන් ගොතන්නෙකි.

මහාචාර්ය සුමනසිරි ලියනගේ යනු, ගී‍්‍රසියේ බලයේ සිටින සිරිසා (රැඩිකල් වාමාංශිකයන්ගේ සභාගය) බඳු වාම පෙරමුනක් ලංකාව තුල ඇටවීමට අඛන්ඩව යෝජනා කරන එක් අයෙකි. ලියනගේ උත්කර්ෂයට නංවන සිරිසා ජනවාරි මාසයේ බලයට පත්ව යුරෝපා සංගමය පනවා ඇති රුදුරු කප්පාදු වැඩපිලිවෙල කම්කරුවන් ඇතුලු පලල් මහා ජනයා මත පටවමින් දැවැන්ත පාවාදීමක් සිදු කල වාම වෙස් ගත් ධනපති ගැති සංවිධානයකි.

පරිහානිගත සමයේ ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සාමාජිකයෙකු ලෙස දේශපාලන වැඩ පටන් ගත් ලියනගේ නව සම සමාජ පක්ෂය (නසසප) බඳු අවස්ථාවාදී සංවිධානවලට හවුල් වී සිටියේ ය. රාජ්‍ය විශ්වවිද්‍යාලවල සේවය කල ඔහු දැන් සනස පුද්ගලික සරසවියේ පීඨාධිපති ලෙස සේවය කරයි. මහාචාර්ය ලියනගේ ධනවාදයේ ක්ෂමාලාපකයෙක් ලෙස මාක්ස්වාදයට හා සමාජවාදයට පහර ගැසීමේ න්‍යායන් ගොතන්නෙකි.

ලියනගේ මෑතක සිට, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ද එය විසින් පාලනය කෙරෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) ද දේශපාලන හා න්‍යායික ගුරෙකු ලෙස ක‍්‍රියා කරයි. අවිශිබම විසින්, “අධ්‍යාපන පුද්ගලීකරනයට අප විරුද්ධ විය යුත්තේ මන්ද?” යන මතෘකාවෙන්, ඔක්තෝබර් මාසයේ සංවිධානය කල සම්මන්ත‍්‍රනයක ප‍්‍රධාන දේශකයා ලෙස ඔහු සිසුන්, තරුනයන් හා කම්කරුවන් අවමංගත කිරීම ඉලක්ක කර පැවැත්වූ කතාව පෙසප ජනරළ පුවත්පතේ පල කර දැන් අවිශිබම මුහුනුපොතේ ද ප‍්‍රමුඛව ප‍්‍රදර්ශනය කර තිබේ. ලියනගේ සිය කථාව මුලුමනින්ම යොමු කර තිබුනේ සිරිසා බඳු පෙරමුනක් සෑදීම හැර අධ්‍යාපන අයිතිය රැකගැනීමට වෙනත් කි‍්‍රයාමාර්ගයක් නැතැයි ව්‍යාජ න්‍යායන් ගෙතීමට ය.

සමූපකාර නම පට බැඳගත්, නමුත්, මූල්‍ය දේපොල හා කර්මාන්ත ක්ෂේත‍්‍රවල අඬු විහිදුවා ගත් සනස සමාගම් සමූහයට අයත් එක් ආයතනයකි සනස විශ්ව විද්‍යාලය. උපාධි පාඨමාලාවක් සඳහා සිසුවෙකුගෙන් අඩුම ගනනේ එක් වසරකට රුපියල් ලක්ෂයක් අය කරන මෙහි පීඨාධිපති පුටුවේ වාඩි වී සිටින ගමන් අධ්‍යාපනය වෙලඳ භාන්ඩයක් බවට පත් කිරීමට ද විරුද්ධ යයි ලියනගේ වංචනිකව කියා සිටී.

අවිශිබම සම්මන්ත‍්‍රනය සංවිධානය කර තිබුනේ ලංකාවේ පන්ති අරගලයේ නව අවධියක් ඇරඹෙමින් පවතින තතු තුල ය. අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දක්ෂිනාංශික ආන්ඩුව, පුද්ගලීකරනය ඇතුලු කප්පාදු වැඩපිලිවෙල පලල් කරමින් එහි කොටසක් ලෙස රාජ්‍ය අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාරය ද ගැඹුරු කරමින් සිටී. කම්කරුවන්, දුගීන් හා සිසුන් අතර එම ප‍්‍රහාරවලට විරුද්ධත්වය ඇවිලෙන්නට පටන් ගෙන ඇත.

සිසුන් හා කම්කරුවන් ආන්ඩුවට විරෝධතාව දැක්වීමේ පෙරමුනක කොටු කිරීම එල්ල කරගනිමින් ලියනගේ නිර්දේශ කලේ අවිශිබම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය හා ගුරුසංගම් තමන්ගේ හිතවත් පිරිස් සමග අධ්‍යාපන කප්පාදුවට විරුද්ධව “ලොකු මහජන සන්ධානයක්” ගොඩනැගිය යුතු බව යි. ඔහු පල කල අදහස් පෙසප සහ අවිශිබම දේශපාලනයට සාකල්‍යයෙන්ම සමාන ය.

ඔහුගේ යෝජනාවේ දේශපාලන අරමුන වන්නේ එවැනි පෙරමුනක් අටවා, එය, අධ්‍යාපන අයිතිය රැකගැනීමේ සක්‍ය ක‍්‍රියා මාර්ගය වන සමාජවාදී ප‍්‍රතිපත්ති මත කම්කරු පන්තිය ප‍්‍රමුඛව දුගීන් හා තරුනයන් බලමුලු ගැන්වීමේ අරගලයකට එරෙහිව පිහිටුවීම යි.

මාක්ස්වාදයට පහර දීම

ලියනගේ තම අදහස් වලට බර දැමීම සඳහා ඇමරිකාවේ මහාචාර්යවරුන් දෙදෙනෙකු වන ඩේවිඩ් හාවි සහ වෙන්ඩි බ‍්‍රවුන්ගේ න්‍යායන් හුවා දැක් වුයේ ය. මෙම මහාචාර්යවරුන් දෙදෙනා ධනපති ආන්ඩුවල නව-ලිබරල් ප‍්‍රතිපත්තිවල “විරුද්ධවාදීන්” ලෙස පෙනී සිටිති. හාවී, මාක්ස් හොඳ අදහස් ඉදිරිපත්කර ඇති කියමින් මාක්ස්වාදයට විරුද්ධව සිටින්නෙකි. බ‍්‍රවුන්, මාක්ස්වාද-විරෝධී පශ්චාත් නූතනවාදියෙකු වූ මිචෙල් ෆූකෝගේ අදහස් අනුමත කරන්නියකි.

මේ දෙදෙනාම -බොහෝ පශ්චාත් නූතනවාදීන් හා සමහර ධනපති විශ්ලේෂකයන් මෙන්ම- නව ලිබරල්වාදී වැඩපිලිවෙල දුෂ්ට ක‍්‍රියා මාර්ගයක් ලෙස දක්වන්නේ එය ඉවත් කර ධනපති ක‍්‍රමය යහපත් ලෙස පවත්වා ගෙන යා හැකි බවට මිත්‍යාවන් වැපිරීමට යි. ලියනගේ ද ඉන්නේ මේ බෝට්ටුවේ ය.

ලියනගේ සිය කතාව ආරම්භයේ ම මාක්ස්වාදයට පහර දුන්නේය. “ඕනෑම සංකීර්න දර්ශනවාදයක් ජයග‍්‍රහනය කරන්න නම් සමාජ තලයේ එම දර්ශනයෙන් කියවෙන දේ අපේ සාමාන්‍ය දැනුම බවට පත් කිරීම අවශ්‍යය යි” හාවි ප‍්‍රකාශ කල බව ලියනගේ සඳහන් කලේ ය. ඊට අටුවා එක් කල ලියනගේ “මාක්ස්වාදී වාමාංශය අසාර්ථක වී ඇත්තේ මෙම අදහස් පද්ධතිය හා දැනුම සාමාන්‍ය වැටහීම බවට පත් කිරීමට අසමත් වීම තුලයි,” යනුවෙන් පැවසුවේ ය.

ලියනගේ හා හාවි, මාක්ස්වාදය “සාමාන්‍ය දැනුම බවට” පත් කල හැකි පරිද්දෙන් සරල කල යුතු යයි ප‍්‍රකාශ කිරීමේ දී අලුත් දෙයක් කියා නැත. එය වනාහි සෑම අවස්ථාවාදියෙකු ම ද ඇතැම් බුද්ධිමතුන් ද “දෙන ලද තත්වයට” හෝ “සුවිශේෂී තත්වයන්ට” මාක්ස්වාදය ගැලපීමේ නමින් එය විකෘත කිරීම සඳහා ඉදිරිපත් කරන වැරහැලි වූ සූත‍්‍රයටම පලිප්පු දැමීමකි. හාවි මාක්ස්වාදයේ මූලිකම ප‍්‍රස්තුතය වන, යල්පිනූ ධනවාදය පෙරලා දමා සමාජය සමාජවාදී ආකාරයට ප‍්‍රතිසංවිධානය කිරීමේ ඓතිහාසික විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියේ කාර්යභාරය ප‍්‍රතික්ෂේප කල පුද්ගලයෙකි.

ඔහුගේ New Imperialism (නව අධිරාජ්‍යවාදය) යන කෘතියේ (171 පිටුව, 2003 ඔක්ස්ෆර්ඩ් මුද්‍රනය) මෙසේ ලියා ඇත: “මාක්ස්වාදයෙන් සහ කොමියුනිස්ට්වාදයෙන් දිරි ගැන්වුනු වමේ බොහෝ දෙනා අනෙකුත් අරගල බැහැර කර තැබීම සඳහා නිර්ධන පන්ති අරගලය ගැන තනිකර අවධානය යෙදීම මාරක වැරැද්දකි.” ඔහු යෝජනා කරන්නේ නව-ලිබරල්වාදී ප‍්‍රතිපත්ති මත මුදා හැරෙන ප‍්‍රහාරවලට එරෙහිව නැගෙන විවිධ විරෝධතා සංවිධානය කිරීම යි.

භාවිතයේදී හාවිගේ අදහස් කි‍්‍රයාත්මක වන ආකාරය 2011 එක්සත් ජනපදයේ පැන නැගී වෝල්වීදිය වාඩිලා ගැනීමේ ව්‍යාපාරය තුල දී ප‍්‍රකාශයට පත් විය -විශේෂයෙන් මධ්‍යම පන්තික කොටස් අරක්ගත් මෙම ධනපති-විරෝධී ව්‍යාපාරයට හාවි යෝජනා කලේ, ලාභය තකාම ක‍්‍රියාකාරී වන ඇමරිකාවේ මූල්‍ය කතිපයාධිකාරයේ මධ්‍යස්ථානය (වෝල්වීදිය “සිහි කල්පනාව ලබන තුරු හෝ දන ගස්වන තුරු” එය ගෙන යායුතු බව ය. යෝජනාවේ සාරය වූයේ ධනපති ක‍්‍රමය තුල ම එහි විසකුරු ප‍්‍රහාර මට්ටු කර “පොදු යහපත සඳහා” කොන්දේසි සකස් කර ගත හැකි බව අවධාරනය කිරීම ය. අධ්‍යාපනයට එල්ල වන ප‍්‍රහාරයන් මාධ්‍ය කරගෙන ලියනගේ සිසුන්ට හා කම්කරුවන්ට යෝජනා කරන්නේ එවැනි ක‍්‍රියාමාර්ගයකි.

විඤ්ඤානවාදී උඩු-යටිකුරුව

එක්සත් ජාතික පක්ෂය 1977 ජනාධිපති ජේ.ආර් ජයවර්ධන යටතේ බලයට පැමින නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමමින් අධ්‍යාපනය කප්පාදු කල හැටි ලියනගේ විස්තර කර යි. දැන් එය විශ්ව විද්‍යාල කරා ද පැතිරී ඇත. නව ලිබරල්වාදී අදහස් ශාස්ත‍්‍රාලිකයන්ට ද බලපා ඇතැයි ලියනගේ කියා සිටී. ඔහු තව දුරටත් සඳහන් කරන්නේ කලකට පෙර අධ්‍යාපනය ඇතුලු අයිතීන් ගනනාවක් අහිමි නොකල යුතු බවට බලවත් අදහස් පැවතුනත් පසු ගිය 35 වසරේ නව-ලිබරල්වාදී දෘෂ්ටියට යටවීමෙන් මහ ජනයාගේ විඤ්ඤානය වෙනස් වී ඇති බවයි.

තමන්ගේ සහයෝගයට ඔහු වෙන්ඩි බ‍්‍රවුන්ගේ විශ්ලේෂනයක් ගෙන එයි. මේ අවුරුද්ද මුල ඇය මේ අදහස් ඉදිරිපත් කරන අලුත්ම විශ්ලේෂනය ලෙස Undoing the Demos: Neo- Liberalism's Stealth Revolution (පොදු ජනයා අහෝසි කිරීම: නව ලිබරල්වාදයේ ගුප්ත විප්ලවය) නමින් පොතක් ලීවාය. බ‍්‍රවුන් සඳහන් කරන්නේ නව ලිබරල්වාදය යටතේ සෑම දෙයක් ම යම් නිශ්චිත ආකාරයකට “ආර්ථිකමය වී” ජීවිතයේ සෑම අංශයකට ම ද සිතනමතන ආකාරයට ද බලපා ඇති බවයි. කම්කරුවා දැන් “මානව සම්පතක්” ලෙස ද “මානව ප‍්‍රාග්ධනය” ලෙස ද නම් කෙරී ඇති නිසා ඔහු සිතන්නේ ද ඒ ආකාරයටයි.

ලියනගේ ඊට මෙසේ එකතු කරයි: “අප ගැන අප සිතන්නේ ප‍්‍රාග්ධන ස්කන්ධයේ කොටස් කාරයන් මිසක් ඒකෙන් පිටස්තර, ඒක සමග හැපෙන, ඒකෙන් ප‍්‍රතිවිරුද්ධ පිරිසක් නොවෙයි කියලා ... මෙම මානසික තත්වය සමග, මෙම සංස්කෘතික කොන්දේසි අප තුලට කාවැදී ඇති නිසා” මෙම තත්වයට විරුද්ධ වීම බරපතල දුෂ්කර කාර්යයක් යයි ඔහු කියයි.

මෙය, ධනවාදී පද්ධතිය තුල තත්වය තහවුරු කර ගත් නැතහොත් තහවුරු කර ගැනීමට මාන බලන, නව ලිබරල් ප‍්‍රතිපත්තිවලට අනුගත වූ සමෘද්ධිමත් ඉහල මධ්‍යම පන්තියේ ආස්ථානය යි. තත්වය බලාපොරොත්තු විරහිතය යි දේශනා කරන බ‍්‍රවුන් හා ලියනගේ කෲරතර කොන්දේසි සමහන් කර ගැනීමට “ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි අත් පත් කර ගැනීම” සඳහා බලපෑම් දැමිය යුතු බව කියති. ලියනගේ ගැවසෙන මධ්‍යම පන්තික කොටස් අතර නම් නිදහස් අධ්‍යාපනය නැතිවුනාට කමක් නැතැයි කියන අය සිටිනවා නිසැක ය. එහෙත් පොදුවේ ගත්කල කම්කරුවන් හා දුගීන් නම් රාජ්‍ය අධ්‍යාපනය විනාශ කරනවාට විරුද්ධ ය. ඔවුන්ට ද ශිෂ්‍යයන්ට ද ඇත්තේ ඊට විරුද්ධව සටන් කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය යි.

වෙන්ඩි බ‍්‍රවුන් හා ලියනගේ මහජනයා නව ලිබරල්වාදයට යටවී ඇතැයි තර්ක කරන්නේ කම්කරු පන්තියේ පන්ති ස්වභාවය ද පන්ති අරගලය ද අවලංගු වී ඇති බව කීමට යි. ඔවුන්ට අනුව, තමන් මානව ප‍්‍රාග්ධනය ලෙස හංවඩු ගසා ඇති නිසා කම්කරුවන් හිතන්නේ ද ක‍්‍රියා කරන්නේ ද ප‍්‍රාග්ධනයේ කෑල්ලක් ලෙස ය. ඔවුන්ට අනුව මිනිසුන්ගේ පැවැත්ම තීන්දුවී ඇත්තේ විඤ්ඤානයෙනි.

මේ වනාහි වෛෂයික තත්වය උඩු යටිකුරු කරන ආත්මීය විඤ්ඤානවාදය යි. මෙම ආත්මීය විඤ්ඤානවාදය තුඩු දෙන්නේ ධනපති පන්තියේ ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයන්ට යටවීමට යි. ලියනගේ හා බ‍්‍රවුන් හුදෙක් මෙම දෘෂ්ටිවාදයන්ට යටවුවෝ නොව ඒවා තනන්නෝ ය. මාක්ස්වාදය විකෘත කරමින් හා ඊට එරෙහිව ධනපතිවාදයට අනුගතවූ පශ්චාත් නුතනවාදීන් හා ව්‍යාජ-වම්මුන් කම්කරු පන්තියට එරෙහිව මේ කුතර්ක දැන් පෙල ගස්වා ඇත.

කම්කරුවා හෝ කම්කරු පන්තිය තමන් ගැන කුමක් “සිතුවත්” ඔවුන්ගේ විඥානය අවසන් වසයෙන් තීන්දු කෙරෙන්නේ ඔවුන්ගේ ද්‍රව්‍යමය පැවැත්ම විසිනි. කම්කරු පන්තිය නව-ලිබරල්වාදයට යටත්ව සිටිනවා නොව එහි ප‍්‍රහාරවලට එරෙහි අරගලයට එලඹවයි, දැනටමත් කම්කරුවන් රටක් රටක් පාසා අරගලවලට එලඹෙමින් පූර්ව විප්ලවවාදී කොන්දේසි වේගයෙන් නිර්මානය කරමින් පවතිනවා පමනක් නොව ඉහත කී කුතර්කද කීතු යවමින් තිබේ. නව ලිබරල්වාදය විසින් ප‍්‍රාග්ධනය හා වැටුප් ශ‍්‍රමය අතර පවතින පරස්පර විරෝධය අහෝසි කරනු ලැබ ඇතයි කරන ප‍්‍රකාශ ප‍්‍රලාපයන් ය. ධනවාදය පවතින තාක් කල් එම පරස්පරවිරෝධතාව අහෝසි කල නොහැක්කේ ය.

මාක්ස් සහ එංගල්ස් The Holy Family (ශුද්ධ වූ පවුල) කෘතියේ (ඉංග‍්‍රීසි මුද්‍රනය, 41පිටුව) සඳහන් කලාක් මෙන්: “මෙය වනාහි ඒ හෝ මේ කම්කරුවා, හෝ සමස්ත කම්කරු පන්තියම දෙන ලද මොහොතේ තම අරමුන කුමක්දැයි සලකා ගන්නා වූ දෙය පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එය, කම්කරු පන්තිය යනු කුමක්ද හා එහි පැවැත්මට අනුව ඊට ඓතිහාසිකව කරන්නට බල කෙරී ඇත්තේ කුමක්ද යන්න පිලිබඳ ගැටලුවකි. එහි (කම්කරු පන්තියේ) අරමුන සහ ඓතිහාසික ක‍්‍රියාව සිය ජීවන පැවත්මෙන් සේ ම අද දින ධනේශ්වර සමාජයේ සමස්ත සංවිධානයෙන් ද දෘශ්‍යමානව හා අනිවාර්යනීයව පෙර ඇඟවී තිබේ.”

ලියනගේ මෙම ඓතිහාසික භෞතිකවාදී ආස්ථානය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කරන්නෙකි.

පාවාදීමේ කි‍්‍රයාකලාපය

ඔහු තම ආස්ථානය ඉදිරිපත් කරමින් ධනපති පන්තිය විවෘත වෙලඳපොල ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීමට සමත් වූයේ කෙසේ ද යන්න ආවරනය කරන්නේ එය ඉබේ සිදුවූවක් ලෙස විස්තර කරමිනි. මෙය බොරුවකි, රැවටිල්ලකි.

ගෙවුනු දශක තුන හමාරේ ප‍්‍රාග්ධනයේ නව ප‍්‍රහාර සඳහා කොන්දේසි සැදුවේ ස්ටැලින්වාදීන්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, පැබ්ලෝවාදීන් සහ වෘත්තීය සමිති විසිනි. අධිරාජ්‍යවාදී පද්ධතිය දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1960 ගනන් අග සිට ගැඹුරු අර්බුදයක් තුලට ලුහුටා යද්දී ජාත්‍යන්තරව පුපුරා ගිය විප්ලවවාදී පරිමාවේ අරගල එම දුර් නායකත්වයන් විසින් පාවා දී මෙම නව ප‍්‍රහාරයට මාවත පාදා දුනි.

ලංකාව තුල පාලක පන්තිය කම්කරු පන්තියේ අරගල පැන නගිද්දී ඊට එරෙහිව දුර්-නායකත්වයන්ගේ සේවය ලබා ගැනීමේ කොටසක් ලෙස 1964 දී ලසසපය ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාග ආන්ඩුවකට කැඳවා ගත්තේ ය. මොවුන්ගේ පාවාදීම් නිසා කම්කරු පන්තියේ පසුබෑම් ගසා කා 1977 බලයට ආ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එජාප ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව නව ප‍්‍රහාරය ඇරඹීය.

මේ වර්ධනයන් සිදුවෙද්දී ලියනගේ සිටියේ කොහේ ද? අද උපාසක ලීලාවෙන් පෙනී සිට උගුල් ඇටවීමට ලනු දෙන ඔහු, නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය හා වෘත්තීය සමිති නිලධරයන් සමග මේ පාවාදීම්වල කේන්ද්‍රයේ ම සිටියේ ය. ඔහු දැන් අලුත් හවුලක් තැනීමට යෝජනා කරන්නේ ද මෙම කෛරාටිකයන් සමග යි.

ලසසපයේ සභාග දේශපාලනයෙන් පටන් ගත් ලියනගේට මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් නොවීය. නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධර පාලනයන් බිඳ වැටී ධනවාදී පුනස්ථාපනය ඇරඹීමත් සමග ප‍්‍රතිගාමීත්වය විසින් සමාජවාදයට එරෙහිව මුදාහැරි දෘෂ්ටිමය ප‍්‍රහාරය වැලඳගත් ඔහු, 1917 රුසියානු සමාජවාදී විප්ලවය අභව්‍ය එකක් බව ප‍්‍රකාශ කරන්නන්ට එක් විය.

සිය කතාව අවසානයේ මේ මහාචාර්යවරයා හදිසියේම ඇහැ ඇරියාක් මෙන් මෙසේ පවසයි: “මතක තබා ගන්න. අපි ඉන්නෙ 1985-2005 අතර අවුරුදු 25 තුල නොවෙයි. 2008 ලෝක අර්බුදයත් එක්ක ඇති විශාල වෙනසක් ජන මනස තුල, ජන ව්‍යාපාරය තුල විශේෂයෙන්ම ධනේශ්වර රටවල දකින්න ලැබෙනවා.... අපි ඉන්නේ ඉතාමත්ම ශක්තිමත්ව සංවිධානගතව මේ අභියෝගයට මුහුන දීමට හැකි කාලෙක.”

ලියනගේ බඳු වාම වෙස් ගත්තවුන්ගේ ද පශ්චාත් නූතනවාදීන්ගේ ද භීතියට තුඩු දී ඇත්තේ ධනවාදයේ අර්බුදය පුපුරා ඒමත් කම්කරු පන්තියේ නව අරගලවල කාල පරිච්ඡෙ‏දයක් විවෘත වීමත් පිලිබඳව යි. ඔවුන්ගේ කි‍්‍රයාකලාපය දැන් යොමුවී ඇත්තේ කම්කරු පන්ති ව්‍යාපාරය දඬු ගස්වා දීමට යි. ධනපති පෙරමුනු ඇටවීම සඳහා ඔවුන්ගේ තදියම එහි කොටසකි.

අභියෝගයට ශක්තිමත්ව මුහුන දිය හැකි සංවිධාන ලෙස ග‍්‍රීසියේ සිරිසා හා ස්පාඤ්ඤයේ පොඩෙමොස් යන වාම වෙස් ගත් අලුත් ධනපති පෙරමුනු ඔහු හුවා දක්වයි. මේ සියල්ලටම වඩා බි‍්‍රතාන්‍යයේ කම්කරු පක්ෂයේ ජෙරමි කෝබින් නමින් නායකයෙකු බිහිවී ඇතැයි ලියනගේ හුරේ දමයි. ධනේශ්වර කම්කරු පක්ෂයේ නායකත්වයට කෝබින් ආවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව වාචාල විවේචන සහ ඝෝෂාවන් කරමිනි. ව්‍යාජ වම්මුන්ගේ අලුත්ම වීරයා කෝබින් ය. තමන් බලයට ආවොත් විශ්ව විද්‍යාලවල ගාස්තු අය කිරීම අහෝසි කරන බවට කෝබින් නිර්භීත ප‍්‍රකාශයක් දී ඇතැයි ලියනගේ සඳහන් කරයි.

යුද්ධයට, ආක‍්‍රමනවලට සහ කප්පාදු වැඩ පිලිවෙලට විරුද්ධයයි කියා සිටි මේ කෝබින්, ප‍්‍රන්සයේ අයිඑස්අයිඑස් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ත‍්‍රස්තවාදීන්ට පහරදීමේ නමින් සිරියාව තුල බෝම්බ දැමීමට කැමරන්ගේ කොන්සර්වේටිව් ආන්ඩුව තීරනය කලවිට පාර්ලිමේන්තුවේ ඊට පක්ෂව ඡන්දය ලබා ගැනීමට හැකිවනසේ කම්කරු පක්ෂ මන්තී‍්‍රවරුන්ට විවෘතව ඡන්දය දීමට ඉඩදුන්නේ ය. කම්කරු පන්තියෙන් පැන නගින විරුද්ධත්වය කොටු කිරීමට කම්කරු පක්ෂය තුල මතු කරගත් කෝබින් එලිදරවු වීමට ඒ තරම් කල් යන්නේ නැත. කෙසේ වෙතත්, කෝබින් පසුගිය තිස්වසරක් තිස්සේ කම්කරු පක්ෂයේ හිඳිමින් එහි ධනපති වැඩපිලිවෙලට සහයෝගය දුන් පුද්ගලයෙකි.

ලියනගේගේ ගුරෙකු වන හාවී, සිරිසා හා පොඩෙමොස් ගැන සඳහන් කලේ “ඒවා සමග ගමන් ගන්නා කල නව ශක්‍යතාවන් විවෘත වනු ඇත” යනුවෙනි. වෙන්ඩි බ‍්‍රවුන් සිරිසාට සහයෝගය දුන්නේ එය “මහා ජනයා විසින්, මහා ජනයා වෙනුවෙන් පාලනය කරන යුරෝපයක් ඇති කිරීමට ක‍්‍රියා කරන්නේ ය” යි ප‍්‍රකාශ කරමිනි.

එහෙත්, කම්කරුවන්ගේ ශක්තිමත් පෙර ගමන ගසා කා බලයට පත් සිරිසා සංවිධානය ඔවුන් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට ගොදුරු කිරීම ග‍්‍රීක කම්කරුවන්ට අත්කර දුන් පරාජයකි. එය වටා රොද බැඳ ගත් සියලු ප‍්‍රවනතා මේ පරාජයට වග කිව යුතු ය. ලියනගේ විවිධ ව්‍යාජ වම්මුන් සමග එක්වෙමින් ලංකාව තුල කම්කරු පන්තියට එවැනි පරාජයක් අත් කර දීමට සුදානම් වේ.

පසුගිය දශක හතරේ සිය දේශපාලන ජීවිතය පටන් ගත් තැන් සිට සියලු පාවාදීම්වලට හවුල්වී සමාජවාදයට එරෙහිව ලියනගේ වැන්නන් ඉදිරිපත් කරන වංචනික දේශපාලන උගුල් කම්කරුවන් හා තරුනයන් පිලිකුලේ කෙවිටෙන් බැහැර කල යුතු ය. ඔවුන් හැරිය යුත්තේ විප්ලවවාදී මාක්ස්වාදී, එනම් ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය වෙතට ය.

2008 පුපුරා ගිය මුල්‍ය අර්බුදය ගැඹුරු වෙමින්ද ගෝලීය ආර්ථිකය පසු බැස්මක් තුලින් ගමන් කරමින් ද ධනවාදයේ නව බිඳ වැටීමක කාල පරිච්ඡෙදයක් විවෘත කර ඇත. සමාජ ප‍්‍රතිවිප්ලවයේ වැඩපිලිවෙලක් මගින් මේ අර්බුදයේ බර පැටවීමට එරෙහිව කම්කරුවන්ගේ විප්ලවවාදී අරගලවල කාලයක් මතුවෙමින් ඇති අතරම ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයෝ ලෝකය විනාශකාරී න්‍යෂ්ටික යුද්ධයක් තුලට ඇදගෙන යාමට තත් කරති.

කම්කරුවන්, තරුනයන් හා සමාජවාදයට ලැදි බුද්ධිමතුන් ලියනගේ වැනි ව්‍යාජ වාම දේශපාලන කාපාලුවන් ප‍්‍රතික්ෂේප කර, හැරිය යුත්තේ විප්ලවවාදී මාක්ස්වාදය හා එම ඉදිරිදර්ශනය වෙතට ය. ලංකාව තුල එම අරගලය ගෙනයන සමාජවාදී සමානතා පක්ෂයට හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට එක් වන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලමු.

කියවන්න:ග‍්‍රීසිය තුල සිරිසාව කල පාවාදීමේ දේශපාලන පාඩම්

Share this article: