යුරෝපීය සංඟමය කැබලි වීම- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

යුරෝපීය සංඟමය කැබලි වීම

The fracturing of the European Union

2015 දෙසැම්බර් 28

යුරෝපයේ විශාල කොටසක් නටඹුන් කල තැන් පටන් 70 වසරක් ගතව ඇත. පසුගිය සියවසේ මහ බලවතුන්ගේ අභිලාෂයන් ද ජාතිකවාදය හා ෆැසිස්ට්වාදය ද මිලියන 100ක් තරම් මිනිසුන්ගේ ජීවිත බිලිගත් ලෝක යුද්ධ දෙකකට මහාද්වීපය ඇද දැමීය. දැන් එම ප්‍රවනතාවන්ම යලි පුලුල් වෙමින් තිබේ.

යුරෝපයේ සෑම තැනකම පාලක පන්තීහු වේගයෙන් දකුනට ගමන් කරමින් සිටිති. ඔවුහු, මිලිටරි වැය ඉහල නංවමින් ද මැද පෙරදිග හා අප්‍රිකාවේ අධිරාජ්‍යවාදී යුද්ධයන්හි කොටස් කරුවන් වෙමින් ද දේශසීමා වසා දමමින් සරනාගතයින්ට එරෙහිව විදේශික විරෝධී මනෝ ගතීන් අවුස්සති. ආඥාදායක පාලන ක්‍රමවේදයන් වර්ධනය කරන ඔවුහු, වැඩෙන සමාජ ආතතීන් මැඬීමේ අටියෙන් පොලිස් රාජ්‍යයන් ගොඩනඟමින් සිටිති.

පැරිස් ප්‍රහාරයන්ගෙන් ඉක්බිතිව සමාජවාදී පක්ෂ ආන්ඩුව, තෙමසක කාලයකට හදිසි නීතිය පනවමින්, දහස් ගනන් සෙබලු වීදිවල රඳවා ඇති අතර ගුවන් යානා වලින් සන්නද්ධ මිලිටරිය සතු එකම යුද නැව සිරියානු ප්‍රහාර වලට යෙදවීම පිනිස පර්සියානු ගල්ෆ් කලාපයට යවා ඇත. මෙම ප්‍රතිපත්තියේ වාසිය ලබාගන්නා දක්ෂිනාංශික ජාතික පෙරමුන, මෑතකදී පැවැත්වූ ප්‍රාදේශීය මැතිවරන වල පලමු වටයේදී, ප්‍රබලම පක්ෂය බවට පත්ව තිබේ.

හංගේරියාවේ හා පෝලන්තයේ ආන්ඩු, 1920 හා 30 ගනන් වල ආඥාදායක තන්ත්‍ර, විවෘතවම හුවා දක්වති.

ජර්මනියේ ප්‍රමුඛ දේශපාලඥයින් හා ශාස්ත්‍රාලිකයින්, නාසි තන්ත්‍රයේ අපරාධ කිසි දිනෙක සිදු නොවූවාක් සේ, යුරෝපයේ “විනයගත කරන්නා” හා “පරමාධිපතියාගේ” භූමිකාව යලි පවරා ගනිමින් ජර්මනිය, ලෝක බලවතෙකු ලෙස කටයුතු කල යුතු බව කියා සිටියි. වසර ගනනාවක් තිස්සේ යුරෝ සංඟමයේ දුබල සාමාජිකයින් මත බර්ලිනය විසින් පටවන ලද කප්පාදු පිලිවෙත්, යුරෝපය පුරා සමාජ හා දේශපාලන ආතතීන් උග්‍ර කර ඇත.

නොඑසේ නම් ජර්මානු චාන්සලර් වරියගේ දේශපාලන අනුගාමිකයෙක් වන, ඉතාලි අගමැති මැටියෝ රෙන්සි පවා, ඇන්ජිලා මර්කෙල් විවේචනය කලේය. මේ සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස්හි පල කල ලිපියක් තුල, ජනතාවාදයේ ගිනිදලු අවුලුවන හා මහාද්වීපය පුරා ආන්ඩු වලට හානි සිදුකරන, ජර්මනියට වාසිදායක හා ඉතාලියට රිදෙන දෙපිටකාට්ටු ආස්ථානයක් මත පදනම්ව ඇති ආර්ථික පිලිවෙත් ඔහුගේ විවේචනයට ලක් විය. වෝර්සෝවේ, ඇතන්ස්හි, ලිස්බන්හි හා මැඩ්රිඩ්හි ආන්ඩු වලට තමන්ගේ රැකියා අහිමිව තිබේ. මක්නිසා ද යත්, ඔවුන් සැබෑ වර්ධනයකින් තොර මූල්‍ය විනය සම්බන්ධ පිලිවෙත් අනුගමනය කිරීම නිසාය. රෙන්සි එසේ පැමිනිලි කරයි.

වර්ධනය වන ප්‍රතිවිරෝධයන් හා ආතතීන්ගේ පීඩනය යටතේ යුරෝපීය සංඟමය කැබලි වීමේ හැකියාව පෙන්නුම් කරන විවිධ මාධ්‍ය ප්‍රකාශ මෑතකදී පලව තිබේ.

රොයිටර් වාර්තාකාර පෝල් ටේලර්, “නිරයේ සිට පැමිනෙන ඊලඟ යුරෝපීය වසර තවත් නරක් වනු ඇත” යන ශීර්ෂය යටතේ මෙසේ ලියා ඇත. “2015 වසරේ අර්බුද, සංඟමය කැබලි කර, පලුදු කර, හානි කර නව බාධක මඟින් අධෛර්යමත් කර ඇත.”

යුරෝ පාර්ලිමේන්තු සභාපති මාටින් සූල්ස්, ඩි වෙල්ට් පත්‍රය තුල මෙසේ අනතුරු අඟවයි. “මේ ආකාරයෙන් යුරෝ සංඟමය තවත් දශකයක් පවතී යයි” කිසිවෙකුටත් කිව නොහැකිය. විකල්පය වී ඇත්තේ, “ජාතිකවාදයේ යුරෝපයක්, දේශසීමා හා තාප්ප වලින් යුත් යුරෝපයක්” බව ඔහු පවසයි. “එය විනාශකාරීය, මක්නිසා ද යත්, එවන් යුරෝපයක් අතීතයේදී අපගේ මහාද්වීපය යලි යලිත් විනාශයට ඇද දමා ඇති බැවින්ය.”

සුඩෙයුට්ස්ෂෙ සේටුං කතුවැකිය ඊටත් එහාට ගොස්, යුරෝපය කැබලිවීමේ තත්වයක් තුල “ප්ලෑන් බී” වෙනුවෙන් කථා කරයි. ග්‍රීසියෙන්, සංක්‍රමනික අර්බුදයෙන් හෝ බ්‍රිතාන්‍ය සංඟමයෙන් ඉවත්වීමට වඩා ප්‍රධාන අනතුර මතු වන්නේ, “නව-ජාතිකවාදයෙන්” බව එය සඳහන් කරයි.

මේවා සහ තවත් ප්‍රකාශ යුරෝ සංඟමය කැබලිවී යාම හා එයින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිලිබඳව අනතුරු අඟවන නමුත් යුරෝපය තුල ජාතිකවාදය හා මිලිටරිවාදය හිස ඔසවන්නේ කුමක් නිසා ද යන්න ගැන කිසිවක් නොකියයි. සැබවින්ම ඔවුන්, එම ප්‍රශ්නය පවා නඟන්නේ නැත.

නිල ප්‍රචාරනය කෙසේ වෙතත් යුරෝ සංඟමය, යුරෝපය ලෝක යුද්ධ දෙකක මධ්‍යස්ථානය බවට පත් කල ගැටුම් කවර කලෙකවත් ජයගෙන ඇත්තේ නැත. යුරෝ සංඟමය යුරෝපීය ජනතාවන් එක්සත් කලේ නැති අතර හැම විටම පැවතී ඇත්තේ, රටවල් තුල කම්කරු පන්තියට සතුරු බලගතු ආර්ථික හා මූල්‍ය අවශ්‍යතාවන්හි ද විදේශයේදී සිය ජාත්‍යන්තර එදිරිවාදීන්ට සතුරු අවියක් ද ලෙසය. එය ජාතිකවාදයේ ද අසමානතාවයේ ද ආඥාදායකත්වයේ හා යුද්ධයේ දමධ්‍යස්ථානයක්ව ඇත.

මහාද්වීපය ධනවාදී පදනමක් මත එක්සත් කිරීමේ නොහැකියාව කියා පාන ජීවමාන නිදසුනකි, යුරෝපීය සංඟමය. යුරෝපීය සංඟමයේ ගිවිසුම්වල යොමුව බවට පත්ව තිබෙන, ප්‍රාග්ධනයේ හා ලාභයේ නිදහස් සංචලනයෙහි ද ධනපති පෞද්ගලික දේපොල ආරක්ෂා කිරීමේ ද අනිවාර්ය ප්‍රතිවිපාකය, එහි බලගතු සංගතවල තානයට අනුව බලගතු රාජ්‍යයන් ඔවුන්ගේ අභිමතය දුබලයා මත පැටවීමය. ජාතික හා සමාජ ප්‍රතිඝතිතා අහෝසි කරනවා වෙනුවට යුරෝපීය සංඟමය, ඒවා ආන්තික ලෙස උත්සන්න කර ඇතුවා පමනි.

දශකයකට පෙරාතුව එය නැඟෙනහිර යුරෝපය කරා ද පැතිර යාම, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍යය ලඟාකර දුන්නේ නැත. නැඟෙනහිර අලුත් සාමාජිකයින් සේවය කර ඇත්තේ, ප්‍රමුඛ යුරෝපීය සංගතවල ලාභ ශ්‍රම මූලාශ්‍රයක් ලෙසය. එම රටවල ශුභසාධන වැඩසටහන් විනාශ කර, වැටුප් පහත මට්ටමක ද විරැකියාව ඉහල මට්ටමක ද රඳවා ගත් අතර දූෂිත කුඩා ප්‍රභූ කොටසක් සෞභාග්‍යයේ පල නෙලා ගත්හ.

යුරෝපීය සංඟමය හා විශේෂයෙන් ජර්මනිය, 2008 මූල්‍ය අර්බුදයේ වාසිය ගනිමින්, මූල්‍ය ස්ථාවරත්වයේ නාමයෙන් පෙර නොවූ විරූ සමාජ කප්පාදු අන කරන ලදී. නිදසුනක් ලෙස හඳුන්වන ලද ග්‍රීසියේ ජීවන තත්වයේ සාමාන්‍ය මට්ටම වසර කිහිපයක් තුල සියයට 40න් පහත වැටුනි.

වැඩෙන සමාජ ආතතීන් කෙරෙහි යුරෝ සංඟමය හා එහි සාමාජිකයින් ප්‍රතිචාර දක්වා ඇත්තේ, මිලිටරිවාදය හා වැඩිවන මර්දනය සමඟින්ය. සැබෑ හෝ සමහර විට සංකල්පිත ත්‍රස්තවාදී ප්‍රහාර, තව තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර ගැනීම පිනිස නිමිත්ත කරගෙන තිබේ.

මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ අධිරාජ්‍යවාදී යුද්ධයන්ගේ ප්‍රතිපල යුරෝපයට ගලා ආවේ සංක්‍රමනික අර්බුදය ලෙසින්ය. සරනාගත ප්‍රශ්නය යුරෝපය තවත් ධ්‍රැවාන්තගත කලේය. ජනගහනයේ විශාල කොටසක් සහයෝගිතාව දක්වමින් ප්‍රතික්‍රියා කල අතර පාලක පන්ති කොටස්, එකිනෙකා සමඟ සටන් කරමින් ද දේශසීමා වැට කඩොලු තර කරමින් ද සරනාගතයින්ට එරෙහිව රුදුරු ව්‍යාපාරයක් දියත් කලහ.

යුරෝ සංඟමය බිඳී යාමෙන් මතු කෙරෙන අන්තරායන් සැබෑ ඒවාය. යුරෝපය තුලම පවා නව යුද්ධ හා ආඥාදායකත්වයේ තර්ජනය ලඹදෙයි. මෙම තර්ජනය යුරෝ සංඟමය රැක ගැනීමෙන් වලක්වාගත හැකි නොවේ. එය කල හැක්කේ, ඊට එරෙහි හා එය මුල්බැස ඇති ධනපති ක්‍රමයටම එරෙහි අනවරත අරගලයකින් පමනි.

යුරෝපය එහි වසන ජනතාවගේ අවශ්‍යතා පරිදි ද එහි ඇති දැවැන්ත සම්පත් සියල්ලන් සඳහා ප්‍රයෝජනයට ගන්නා පරිදි ද එක්සත් කල හැකි හා තවත් යුද්ධ වැලැක්වීමේ එකම මඟ වැටී ඇත්තේ, එක්සත් සමාජවාදී යුරෝපීය සංඟමයක් හරහා පමනි. යුරෝපීය කම්කරු පන්තිය, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනක්, එලඹෙමින් තිබෙන ව්‍යසනය වැලැක්විය හැකිය.

පීටර් ෂ්වාස්

Share this article: