නව වසරේ ලෝක ආර්ථිකය තර්ජනයට ලක්වන බවට පවතින මනෝ භාවය - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

නව වසරේ ලෝක ආර්ථිකය තර්ජනයට ලක්වන බවට පවතින මනෝ භාවය

A New Year’s sense of foreboding over the global economy

2015 දෙසැම්බර් 30

සත් වසරකට පෙර ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා ගිය තැන් පටන් සෑම වසරකම අවසානයේ ධනපති වාර්තාකාරයන් අතර පොදුවේ පැතිර තිබුනේ, වඩා හොඳ ආර්ථික වටපිටාවක් එලඹෙනු ඇතැයි යන අදහසයි. එහෙත් මෙවර එය එසේ නොවේ.

“2015 තුල” යන හිසින් මේ සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස් ලියුම්කරු ගිඩියොන් රැක්මන්, පැතිර පවතින මනෝ භාවය කැටිකර දැක්වීය. “ලෝකයේ සෑම බල මධ්‍යස්ථානයක් තුලම මුල් බැස තිබුනේ අසහනය හා තර්ජනය පිලිබඳ හැඟීමයි. බීජිනයේ සිට වොෂින්ටනය, බර්ලිනය, බ‍්‍රසීලය, මොස්කව් හා ටෝකියෝව දක්වා වන ආන්ඩු, මාධ්‍ය හා පුරවැසියන්, යුදවාදයෙන් හා තිගැස්මෙන් පසු විය.”

ආර්ථික පෙරමුනේදී මෙම නැගී එන අසහනයට බලපෑ කරුනු දෙකකි. පලමුවැන්න, ලෝකයේ ප‍්‍රධාන මහ බැංකු විසින් ගෝලීය මූල්‍ය ක‍්‍රමය තුලට ඩොලර් ටි‍්‍රලියන ගනන් පොම්ප කල ද අවපාතයේ ප‍්‍රවනතා හිස ඔසවමින් තිබීමේ කාරනයයි. රැක්මන්ගේම වචන වලින් දෙවැන්න නම්, “අසම්භාව්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිවල වසර ගනනාවකට පසුව, තවත් මූල්‍ය හෝ ආර්ථික අර්බුදයක් මෝදු වෙමින් ඇති බවට පුලුල්ව පැතිර ඇති බියයි.”

2015 වසරේ පැවති මූලික ආර්ථික වර්ධනය, ගෝලීය පසුබෑම කරා වූ ගැඹුරු වන ප‍්‍රවනතාවයි. ඔක්තෝබරයේ පැවති රැස්වීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කලේ, මූල්‍ය අර්බුදයෙන් ඉක්බිත්තේ පැවති ගෝලීය ආර්ථික වර්ධනයේ පහතම අනුපාතය දැන් වාර්තා වන බවයි. එය අනතුරු ඇඟවූයේ සිය තක්සේරුව තවදුරටත් පහත වැටිය හැකි බවයි.

චීනය හා නැගී එන ආර්ථිකයන් ගෝලීය ධනවාදයට නව පදනමක් සපයනු ඇති බවට වසර ගනනාවක් තිස්සේ අනවරතයෙන් හුවාදැක්වූ මිත්‍යාව, මේ වසරේදී අවසන් වශයෙන් වල දමනු ලැබුවේ, 1990 ගනන් මුල පටන් චීනය එහි පහතම වර්ධන මට්ටම් අත්විඳීමත් සමගය. ප‍්‍රසාරනයකට අලුත් පදනමක් සම්පාදනය කිරීම කෙසේ වෙතත් චීන ආර්ථිකයේ නැගී එන ගැටලු සංලක්ෂිත වූ කොටස් වෙලඳපොල කඩාවැටීමත්, රෙන්මින්බි මුදල අවප‍්‍රමානය කිරීමත්, අවශේෂ ලෝකයට රිනාත්මක බලපෑමක් ඇති කරමින්, ප‍්‍රධාන ආර්ථික හා දේශපාලන ප‍්‍රතිවිපාක ජනනය කලේය.

ලතින් ඇමරිකානු දේශපාලනයේ “වමට” හැරීම, චීන වෙලඳපොලට අපනයනය කිරීමේ උත්පාතය පසුබෑමට පටන්ගැනීමත් සමග අවසන් විය. අනෙකුත් බි‍්‍රක්ස් කන්ඩායමේ රටවල් සමග එක්ව, ආර්ථික ප‍්‍රසාරනයේ උල්පතක් ලෙස වරෙක සැලකූ බ‍්‍රසීලය, අවපාතයකට කඩා වැටී ඇත. 1930 ගනන්වල අවපාතයේ පටන් විශාලම පසුබෑම වාර්තා කරමින් එරට ආර්ථිකය වසරේ අවසන් කාර්තුව තුල සියයට 4.5න් හැකිලූනි.

චීනයේ මන්දගාමී වන වර්ධනය, දියුනු ධනපති ආර්ථිකයන් කරා ද පැතිරෙමින් තිබේ. චීනයට අපනයනය කිරීම මත බෙහෙවින් වාරුවී සිටි කැනඩාව, ඔක්තෝබරයේ ආර්ථික හැකිලීමක් වාර්තා කරමින්, මේ වසරේ මුල් මාස දහයෙන් හතකම රිනාත්මක හෝ පල්වෙන වර්ධනයක් අත් විඳීය.

චීනය මන්දගාමී වීමේ ප‍්‍රතිපලය ලෙස පහත වැටෙන යපස් නිර්යාත ආදායම, ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත ආන්ඩු වලට මෙන්ම මධ්‍යම ආන්ඩුවට ද මූලික මූල්‍ය ගැටලු නිර්මානය කර තිබේ. සිය නවතම අයවැය යථාවත් කිරීම තුල ටර්න්බුල් ආන්ඩුව, බොහෝකොටම පහත වැටෙන යපස් මිල ගනන්වල ප‍්‍රතිපල වශයෙන්, මැයි මාසයේදී සකස් කල ඇස්තමේන්තු සමග සසඳන කල, එලඹෙන සිව් වසර තුල සිය ආදායම තවත් ඩොලර් බිලියන 7න් පහත වැටෙනු ඇති බව නිවේදනය කර තිබේ. යපස් මිල සිව් වසරකට පෙර පැවති ටොන් එකක් ඩොලර් 180 සිට දැන් 40නුත් පහතට රූටා ඇත. පතල් කර්මාන්තයේ ආදායම් අහිමිවීම නිසා මහා අවපාතයෙන් පසුව විශාලම ආදායම් වැටීම, බටහිර ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රාන්ත ආන්ඩුව නිවේදනය කලේය. වරෙක එය උත්පාතයක් තුලින් ගමන් කලේය.

යම් කාලයකදී ඇමරිකාව සලකන ලද්දේ ලෝක ආර්ථිකයේ දිදුලන ලක්ෂ්‍යයක් ලෙස ය. තවමත් එය එසේ වී ඇත්නම් එය සලකුනු කරන්නේ, අනෙකුත් තැන්වල පවතින බලාපොරොත්තු කඩවූ ස්වභාවයයි. ඇමරිකාවේ වැටුප් එක තැන පල් වෙයි. ආර්ථික වර්ධනය, පශ්චාත් ලෝක යුද්ධ වසරවල අත්කරගත් මට්ටම් වලට බොහෝ පහතින් රැඳී සිටියි. කාර්මික නිමැවුම පහත වැටෙමින් තිබේ. එම ක්ෂේත‍්‍රය පසුබෑමකට අවතීර්නවී ඇති බවට අනතුරු ඇඟවේ.

ආයෝජනයේ කිසිදු ප‍්‍රකෘතියක සලකුනු දක්නට නොතිබියදී යුරෝ කලාපය, මූල්‍ය අර්බුදයේ ආරම්භයට පෙර පැවති නිමැවුම් මට්ටම් කරා තවමත් ලඟාවී නැත.

ගෝලීය පසුබෑමේ ආක‍්‍රමනික ස්වභාවය පිලිබඳ වඩාත් ප‍්‍රමුඛ දර්ශකයක් වන්නේ, සියලු කාර්මික භාන්ඩවල මිල ගනන් තියුනු ලෙස කඩා වැටීමයි. පාරිභෝගික භාන්ඩ පිලිබඳ බ්ලූම්බර්ග් දර්ශකයේ අමුද්‍රව්‍ය 22ක මිල, මූල්‍ය අර්බුදයෙන් පසුව පහතම අගය කරා වැටී තිබේ. පසුගිය වසර මැද බැරලයක් ඩොලර් 100 ඉක්මවා ගිය තෙල් මිල දැන් ඩොලර් 36 තෙක් පහත වැටී තිබීම දැඩි අවධානයට ලක්ව තිබෙන අතර එය පොදු ප‍්‍රවනතාවේ වඩාත් මූලික ප‍්‍රකාශනය පමනි. යකඩ හා වානේ මිල නොකඩවා වැටෙන අතර මූලික කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් ලෝහ මිල ද තියුනු ලෙස පහත වැටී තිබේ.

මේ වසර ආරම්භයේදී, මල නොබැඳෙන වානේ නිෂ්පාදනයට යොදාගන්නා නිකල් මිල, සියයට 22න් ඉහල යනු ඇති බවට ගනන් බලා තිබුනි. එය දැන් තෙල් මිල කඩාවැටීමටත් වැඩි අගයකින්, එනම් සියයට 40ටත් වැඩියෙන් පහත වැටී ඇත. එසේම සියයට 16න් නගිනු ඇතැයි සලකන ලද තඹ මිල සියයට 28න් වැටී ගියේය.

තෙල් මිල වැටෙන්නට පටන් ගැනීමත් සමග පලවූ අදහස වූයේ, බලශක්ති පිරිවැය අඩුවීම නිසා එය ලෝක ආර්ථිකයට වාසිදායක වන බවය. එහෙත් ගැඹුරුවන පසුබෑම, කිසියම් සාධනීය බලපෑමක් මුලුමනින්ම අහෝසි කර තිබේ. අනාගත ප‍්‍රවනතා ඇඟවුම් කරමින් පෙට්රෝලියම් නිර්යාත කරන රටවල සංවිධානය, සිය ගෝලීය තෙල් ඉල්ලුම පිලිබඳ දිගුකාලීන ගනන් බැලීම් පහත හෙලමින් කියා සිටියේ, අඩුම තරමින් 2040 වන තුරුවත් තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවට ලඟා නොවනු ඇති බවයි.

පහත වැටෙන තෙල් මිල, මූල්‍ය වෙලඳපොලවල් හරහා කම්පනයක් ඇති කලේය. එය බලශක්තියට සම්බන්ධ ව්‍යාපෘතීන්හි ආයෝජනය කර ඇති, ඉහල ප‍්‍රතිලාභ සහිත ඊනියා “අඩමාන” බැඳුම්කර මෙන්ම අන්‍යොන්‍ය අරමුදල් වලට ද පහරක් වී ඇත. අතිශයින්ම අඩු පොලියකට මුදල් සපයාගත හැකි වීමත්, තෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉම පසුකිරීමත් හමුවේ සමපේක්ෂනය සඳහා ඕනෑ තරම් මුදල් තිබුනි. එහෙත් මිල ඩොලර් 40න් පහතට යාමත් සමග මේ ව්‍යාපෘතීන් තවදුරටත් ශක්‍ය නොවීය.

තෙල් නල මාර්ග හා වෙනත් ව්‍යුහාත්මක ව්‍යාපෘතීන්හි ආයෝජනය කල අන්‍යොන්‍ය අරමුදල් ද බරපතල ගැටලු වලට මුහුනපා ඇත. ෆිනෑන්ෂල් ටයිම්ස්හි උපුටා දක්වන ලද එක් විශ්ලේෂකයෙකුට අනුව “මෙම අරමුදල් මේ වසර වන තුරු බලශක්ති මිල කඩා වැටීමටකට මුහුපා නොතිබුනි.”

ගැටලු වඩාත් පුලුල් ආකාරයෙන් ඇමරිකානු බැංකු කරා පැතිර යා හැකිය. ඇමරිකාවේ විශාලතම බැංකුවක් වන වෙල්ස් ෆාගෝ දැනටමත් අනතුරු අඟවා ඇත්තේ, පහත් මිල ගනන්වල අර්ථය, ගවේෂන සමාගම් හා තෙල් නිෂ්පාදකයින්ට සිය නය ගෙවාගත නොහැකිවන බවයි. ඇමරිකානු නියාමකයින් ගනන් බලා ඇති ආකාරයට, වසරකට පෙර පැවතියාට වඩා පස් ගුනයකටත් වඩා තෙල් හා ගෑස් නය පැහැර හැරීමේ අවදානම මතුව ඇත.

2008-09 වසරේ මූල්‍ය අර්බුදය හටගත් කල, ප‍්‍රමුඛ ධනපති බලවතුන් අතර සම්බන්ධීකරනය හා සහයෝගිතාව පිලිබඳ කථා වලින් වටපිටාව පිරී පැවතුනි. එය දැනටමත් සාකච්ඡා මේස හැර ගොස් ඇති අතර වසර තුල දැකගත හැකි වූයේ වැඩෙන ප‍්‍රතිවිරෝධතාවන්ය.

ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව පොලී අනුපාත ඉහල නැංවීමට පටන් ගන්නා අතර යුරෝපීය හා ජපාන මහ බැංකු, අඛන්ඩව මූල්‍ය පද්ධතිය තුලට මුදල් පොම්ප කරමින් ශුන්‍යයට ආසන්න අනුපාත තවදුරටත් පවත්වාගෙන යාමත් සමග ලෝකයේ මහ බැංකු පිලිවෙත් ඛන්ඩනය වෙමින් තිබේ.

එක්සත් කමේ මුහුනුවර පවත්වාගන්නා අතර තුර බෙදීම්, විශේෂයෙන්ම චීනය සම්බන්ධයෙන් ගත් කල, ගැඹුරු වෙමින් තිබේ. මාර්තුවේදී, බි‍්‍රතාන්‍ය මූල්‍ය උත්සුකයන් වෙනුවෙන් කටයුතු කරන කැමරන් ආන්ඩුව, ඇමරිකාවේ ඉල්ලීම් නොතකා චීනයේ පිටුබලය ලත් ආසියානු යටිතල ආයෝජන බැංකුවට බැඳීමට තීරනය කිරීමත් සමග ඇමරිකාව හා එරට අතර ගැටුමක් හටගත්තේය. බි‍්‍රතාන්‍යයේ එම පියවර අනෙකුත් යුරෝපීය බලවතුන් ද එම මග ගැනීමට පෙලඹවීය.

ලෝක වෙලඳ සංවිධානය යටතේ චීනයට වෙලඳ ආර්ථිකයක තත්වය පිරිනැමීමට, බි‍්‍රතාන්‍ය හා ජර්මනිය ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටු කරන, යුරෝපීය බලවතුන් ගන්නා උත්සාහය වැලැක්වීමට ඇමරිකාව මැදිහත්වන බව වාර්තා වීමත් සමග, දැන් නව ගැටුමක් ආරම්භවී ඇත. චීනයට එම තත්වය පිරිනැමුවහොත් එමගින්, ලෝක වෙලඳපොලේ චීන අපනයනයන්ට තවදුරටත් දොර විවර කෙරේ. යුරෝපීය ආයෝජනයන්ට ලාභදායක මධ්‍යස්ථාන සොයා යාමේදී යුරෝපීය බලවතුන්, බීජිනයේ සහාය හිමිකර ගැනීම සඳහා දරන උත්සාහයක් ලෙස එම පියවර ඇමරිකාවේ හෙලාදැකීමට පාත‍්‍රවී තිබේ.

මේ මාසය මුලදී නයිරෝබියේදී පැවති ලෝක වෙලඳ සංවිධානයේ සාකච්ඡා වලදී ඩෝහා වෙලඳ සාකච්ඡා වටය වල දැමීම සමග මතභේද තවත් පුලුල් වනු ඇත. ආසියාව ආවරනය කරන අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය හා යුරෝපය ආවරනය කරන අන්තර් අත්ලාන්තික් වෙලඳ හා ආයෝජන හවුල්කාරිත්ව වැනි ගිවිසුම් වෙනුවෙන් බහු පාර්ශවික වෙලඳ ගිවිසුම් අනුගමනය කිරීම අතහැර දැමෙන මෙය, ප‍්‍රධානකොටම ඇමරිකාවේ අවශ්‍යතාව අනුව යයි. මෙහිදී වෙලඳ සහන (ඇමරිකානු වෙලඳපොලට පිවිසීම වැනි) සියලුම රටවලට හිමි නොවන අතර වොෂින්ටනයේ ඉල්ලීම් වලට අනුකූල වන රටවලට පමනක් හිමිවේ.

ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා නම් ගැඹුරුවන අර්බුදයේ ඇඟවුම වන්නේ, රැකියා, වැටුප් හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාර උග‍්‍ර කිරීම සමග තව තවත් කප්පාදුය.

මේ සතිය තුල ෆිනෑන්ෂල් ටයිම්ස් විසින් යුරෝ කලාපයේ අර්ථශාස්ත‍්‍රඥයින් අලලා කරන ලද මත විමසුමක්, වැටුප් හා සේවා කොන්දේසි නියාමනය කටුගා දැමීම වැනි ඊනියා “ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන” වෙනුවෙන් නව පියවර ඉල්ලා සිටින න්‍යායපත‍්‍රයක් සකසනු ලැබින. එහි අරමුන දුප්පත් කම්කරු බලඇනියක් නිර්මානය කිරීමට වඩා වෙනස් දෙයක් නොවේ.

2015 ආර්ථික වර්ධනයන් යලිත් සලකුනු කරන්නේ, 2008 අර්බුදය, අවසානයේ “ප‍්‍රකෘතියක්” මතු කරන පහතට නැඹුරුවක් නොව, ගෝලීය ධනවාදී ක‍්‍රමයේම කඩා වැටීමක්ය යන කාරනයයි.

එලඹෙන වසර, පසුගිය සත් වසර පුරා ගෙන ගිය ප‍්‍රහාරයේ තීව්ර වීමක් සනිටුහන් කරනු ඇත. එයට මුහුන දිය හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් තුලින් පමනි.

නික් බීම්ස්

Share this article: