<em>ටර්මිනේටර් ජෙනිසිස්</em> සහ ඇමරිකානු ”ස්වාධීන” සිනමාකරනයේ ගමන් මග - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ටර්මිනේටර් ජෙනිසිස් සහ ඇමරිකානු ”ස්වාධීන” සිනමාකරනයේ ගමන් මග

Terminator Genisys and the trajectory of American “independent” filmmaking

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2015 ජුලි 8

අධ්‍යක්ෂනය ඇලන් ටේලර්ගෙනි; රචනය ලයේටා කාලෝග‍්‍රිඩිස් සහ පැටි‍්‍රක් ලූසියර් විසිනි

විද්‍යා ප‍්‍රබන්ධ ක‍්‍රියාදාම චිත‍්‍රපට මාලාවක පස් වැන්න වන Terminator Genisys හි චිත‍්‍රපටයේ ප‍්‍රධාන තේමාව වන්නේ මනුෂ්‍ය වර්ගයා ද මානව සංහතිය සහමුලින් විනාශ කර දැමීමට අදිටන් කර ගත් ස්කයිනෙට් නම් බුද්ධිමත් යන්ත‍්‍ර ජාලයක් ද අතර සිදු වන්නා වූ අරගලය යි. 1980 ගනන් මැද පටන් ගත් මේ සටන දශක ගනනාවක් තිස්සේ කෙරී ගෙන එයි.

Terminator Genisys

ටර්මිනේටර් චිත‍්‍රපට මාලාවේ දී යලි යලිත් හමු වන චරිත වනාහි, යන්ත‍්‍රය විසින් සැකසෙන ජන සංහාරක සැලසුම්වලට මානවයා පාන ප‍්‍රතිරෝධයේ නායකත්වය දරන ජෝන් කොනර්, ඔහුගේ මව් වන සාරා කොනර් හා ඔහුගේ දකුනත් සගයා වන කයිල් රීස් ද සාරා කොනර් හෝ ඇගේ පුතු මරා දැමීම නොහොත් ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීම සඳහා කාලය හරහා ආ පස්සට යවන ලද නානාවිධ කම්මුතුකාරයෝ (ටර්මිනේටර්වරු) හෙවත් නතර කළ නොහැකි තරම් ම යැයි කිව හැකි මනඃකල්පිත යාන්ත‍්‍රික ඝාතකයෝ ද වෙති. පලමු චිත‍්‍රපටයේ දී ආනෝල්ඞ් ස්වසෙනගර් විසින් රඟ දක්වන ලද මුල් ටර්මිනේටර්වරයාට ජීවය දුන් පරිගනක වැඩ සටහන පසුව කොනර් ආරක්ෂා කිරීම සඳහා සහ ස්කයිනෙට් සැලසුම්වලට විරුද්ධ වීම සඳහා යලි සකස් කරන ලදි.

සංසන්දනාත්මකව අඩු වියදමකින් නිර්මානය කරන ලද 1984 ටර්මිනේටර් චිත‍්‍රපටය තුල ගැබ් වූ තරමක විනෝදයක් ගෙන දුන් අංග වූයේ, ඕස්ටි‍්‍රයානු සම්භවයක් සහිත ස්වසෙනගර් නිරූපනය කල, මන්දස්මිතයෙන් තොර, මිනිස් පෙනුමක් ඇති යන්ත‍්‍රය සහ ලින්ඩා හැමිල්ටන් නිරූපනය කල පමනට වඩා සන්නද්ධ හා නුසූදානම් නමුත් අධිෂ්ඨාන සහගත සාරා කොනර්ගේ චරිතය යි. ජේම්ස් කැමරන් ඔහුට පුරුදු වෛෂයිකව අධ්‍යක්ෂනය කලත්, භයංකර සමාජ ශාලා, ඇඳුම් පැලඳුම් හා කොන්ඩා මෝස්තර සහිත 1980 ගනන්වල තෘප්තියෙන් කල දවස ගෙවුනු ලොස් ඇන්ජලිස් නුවර මුදා හැරෙන ප‍්‍රචන්ඩ අවුල් ජාලය, තරමක සතුටක් දැනවී ය. එම කෘතිය තුල ”වෙනස් කල නොහැකි” සේ පෙනුනු යමක් වූයේ නම් ඒ, රීගන්ගේ ඇමරිකාව තුල පැවති සමාජ හා සංස්කෘතික වාතාවරනය යි.

මාලාවේ දෙවැන්න වන Terminator 2: Judgement Day(1991) චිත‍්‍රපටයට ද ස්වසෙනගර් හා හැමිල්ටන් රංගනයෙන් හා කැමරන් අධ්‍යක්ෂනයෙන් දායක වූ අතර බොහෝ දුරට පලමු වැන්නේ ම දිගුවක් විය. එඩ්වඩ් ෆර්ලෝං 1995 වසරේ ලොස් ඇන්ජලිස්හි දිවි ගෙවන දස වයසැති ජෝන් කොනර් කෙනෙකුගේ චරිතයට පන පොවන අතර වැඩි දියුනු හා හැඩහුරුකම වෙනස් කර ගත හැකි ටර්මිනේටර්වරයෙකු (රොබට් පැටි‍්‍රක්) මූලික ඉලක්කය බවට පත් වෙයි.

ජොනතන් මොස්ටොව් අධ්‍යක්ෂනය කල Terminator 3: Rise of the Machines ,”අමන, කලකිරවන චිත‍්‍රපටයකි” යි 2003 දී මම සඳහන් කලෙමි. ”අනාගතයෙන් එවන ඝාතන විශේෂඥතාවක් සහිත යන්ත‍්‍රයක” ඉලක්කය බවට පත් වන්නේ ජෝන් කොනර් (මෙහි දී නම් නික් ස්ටාල්) සහ ඔහු සමග එක්ව සිටින ඔහුගේ අනාගත බිරිඳ (ක්ලෙයරි ඩේන්ස්) ය. මේ වතාවේ කතා ගෙත්තමෙහි සිදු වන එක ම අනපේක්ෂිත පෙරලිය නම් -- ප‍්‍රශ්නයක්ව තිබෙන ඝාතක යන්ත‍්‍රය ”‘ස්ත‍්‍රියක’ වීමත් -- බෙහෙවින් අකාරුනික තඹවන් හිසකෙස් ඇති සුපිරි මොඩල ටර්මිනේටර් කෘතියක් [ක‍්‍රිස්ටනා ලෝකන්] වීමත් -- ඇය ස්වසෙනගර් රොබෝවට වඩා නවීන වීමත්” පමනකි.

ටර්මිනේටර් 3 චිත‍්‍රපටයෙහි එන ප‍්‍රධාන චරිත තුන, සිය කාලයෙන් වැඩි හරිය ගත කරන්නේ, න්‍යෂ්ටික යුද්ධයක් නොහොත් අවසාන තීන්දුව දෙන මොහොතක් (Judgement Day) එලඹීම කල් තියා වැලැක්වීමට යත්න දරමිනි. ”විශේෂයෙන් ම අමිහිරි ලෙස සිදුවීම් දිග හැරීමේදී, ඔවුන් අසාර්ථක වන අතර චිත‍්‍රපටයේ අවසන් දෘශ්‍ය රූපවලින් නිරූපනය වන්නේ න්‍යෂ්ටික හොලෝකෝස්ටයකින් හෙවත් සමූල ඝාතනයකින් ප‍්‍රධාන නාගරික මධ්‍යස්ථාන විනාශ වී යන ආකාරය යි. කෙනෙකු මෙබඳු බාල හා නොබැරෑරුම් වුවත් මානව ද්වේෂී හා ව්‍යසන ලෝලී අවසානයක් නිර්මානය කිරීමට පෙලඹෙන්නේ කුමක් නිසා ද? ටර්මිනේටර් 4 වැන්නකුත් මග එන ලකුනු පෙනෙන අතර එම අනාගතය කල් තියා වැලැක්විය හැකි කිසි ක‍්‍රමයක් නැති තරම් ය.”

සිව් වන කොටස වූ (මැක්ජී අධ්‍යක්ෂනය කල) ක‍්‍රිස්ටියන් බේල්, හෙලේනා බොන්හැම් කාටර් හා තවත් අය රැඟූ Terminator Salvation (2009) අපි කිසි දා නැරඹුවේ වත් විචාරය කලේ වත් නැත.

නවතම චිත‍්‍රපටයේ දී ජෝන් කොනර් (ජේසන් ක්ලාක්) හා ඔහුගේ ප‍්‍රතිරෝධී සටන්කරුවන් යෙදී සිටින්නේල 2029 ආසන්නයේ දී ස්කයිනෙට් යන්ත‍්‍ර ජාලය පරාජය කිරීමේ සටනක ය. අවාසනාවන්ත හා බොහෝ අසාධාරනයන්ට ගොදුරු වූ සාරා කොනර් (එමීලියා ක්ලාක්) සහමුලින් ම වනසා දැමීම සඳහා දැරෙන අවසන් පරිශ‍්‍රමයක් ලෙස එම ජාලය නව ඝාතක යන්ත‍්‍රයක් 1984 වසර කරා ආ පස්සට යැවීමට අදහස් කර සිටින්නේ එම කාලයේ දී ය. එම නිසා කොනර්ගේ ලුතිනන්වරයා වන කයිල් රීස් (ජායි කර්ට්නි) සාරාට රැකවරනය සැලසීම සඳහා 1984ට වඩා ඈත අවධියකට පිටත් කර යැවේ. දැන් වයසට යමින් සිටින T-800 Guardian ලෙස ස්වසෙනගර් නැවතත් ප‍්‍රාදුර්භූත වෙයි.

රහසිගත අවිය තරමක් පහසුවෙන් තුරන් කර දමන සාරා හා රීස් ටී-800 සමග එක්ව සිය අවධානය තවත් ගැටලූවක් කෙරෙහි යොමු කරති: එනම්, අනාගතයේ යම් මොහොතක ස්කයිනෙට් යන්ත‍්‍ර ජාලය තෙමේ ම දැනුවත් වී, මිහිතලය මත තිබෙන සියලු පරිගනක, ජංගම දුරකථන හා ටැබ්ලට් සිය පාලනය යටතට ගෙන, න්‍යෂ්ටික යුද්ධයක් දියත් කිරීමට සූදානම් වෙයි. (බලගතු යන්ත‍්‍ර ජාලයට මිනිස් වර්ගයා ගැන එවැනි නොපහන්, මාරක දැක්මක් තිබිය යුත්තේ මන්දැයි කිසි විටෙක බැරෑරුම්ව පැහැදිලි නො කෙරේ.) සාරා හා රීස් යුගලයට දැන් 1997 කරා නො වේ නම් 2017 කරා ඉදිරියට ගමන් කොට එවැන්නක් සිදු වීම වැලැක්වීමට සිදු වේ.

බොහෝ පිපිරීම්, මෝටෝ රථ ලුහුබැඳීම් හා මුහුනට මුහුනලා කරන සටන් පසුවට ය. මිනිසුන් දෙදෙනා හා තනි මනුෂ්‍යරූපී යන්ත‍්‍රය එක්ව සයිබර්ඩින් නමැති දැවැන්ත සමායතනයක ප‍්‍රධාන පරිගනකය විනාශ කළ යුතු ය. ඔවුන් සාර්ථක වන බවක් පෙනෙන මුත් හය වන ටර්මිනේටර් ද ලඟ ලඟ ම ඒ යැයි කෙනෙකුට සිතේ.

මෙය වනාහි ඒත්තු නොයනසුලූ දෙබස්වලින් ද කතා වස්තුවෙහි සිදු වන නොපැහැදිලි හා ව්‍යාකුල පෙරලීම්වලින් ද වෙහෙසකර සටන් දර්ශනවලින් ද හෙබි දුර්වල චිත‍්‍රපටයකි. අයිමැක්ස් 3ඩී (IMAX 3D) ක‍්‍රමයට නැරඹුව හොත් හිස රුදාව ඇති විය හැකි යි.

Terminator Genisys

ටර්මිනේටර් ජෙනිසිස් මානව සංහතිය සමූලෝත්පාටනයකට මුහුන පා සිටිති යි පරිකල්පනය කර එම භයංකර උභතෝකෝටික ගැටලුව සුලබ නිසරු දෙයකැයි කිව හැකි තරමට ම පහත හෙලයි. ජෝන් කොනර් 2029 දී මෙසේ කියයි: ”ඔයාලා හැම කෙනෙක් ම දිහා බැලුවා ම මට පේන්නේ මේ දීර්ඝ භයංකර යුද්ධයේ සලකුනු. අපි අද රෑ මරුනොත් අපි එක්ක මනුෂ්‍ය වර්ගයාත් මියැදෙනවා.” සාරා කොනර් 1984 දී මෙසේ කියයි: ”ජෝන් ඔයාට එවාපු කාල ප‍්‍රස්තාරය දැන් නැහැ. හැම දේ ම වෙනස් වෙලා ... අපිට පුලුවන් අවසාන තීන්දුව දෙන මොහොත එලඹෙන එක නවත්තන්න.”

ක්ලාක් සැබෑ නොවන භූමිකාවක් තුල වුවත් මුලුමනින් ම අනුරාගී ය. එසේ වුවත් කර්ට්නි ලී කොටයක් මෙන් දරදඬු හා අනාකර්ෂනීය ය. ස්වසෙනගර් ටර්මිනේටර් ජෙනිසිස් චිත‍්‍රපටයේ දී වඩාත් ම මැනවින් වියන ලද (හා විනෝදජනක) රංගනය ඉදිරිපත් කිරීම චිත‍්‍රපටය මුහුන පාන්නට ඇතැයි සිතිය හැකි සමහර දුෂ්කරතා පිලිබඳ ඉඟියක් විය හැකි ය. අඩු ගනනේ ඔහු සැබෑ ජීවන අත්දැකීමක් ලද බවක ලකුනු පල කරයි.

Terminator Genisys

නවතම ටර්මිනේටර් කථාංගය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ ඇලන් ටේලර් විසිනි. ටේලර්ට බලාපොරොත්තු තැබිය හැකි ස්වාධීන සිනමාකරුවෙකු ලෙස ඉතිහාසයක් තිබෙන බැවින් මෙහි යම් වැදගත්කමක් ඇත. 1995 දී ඔහුPalookaville නමින් චිත‍්‍රපටයක් නිර්මානය කලේ ය. 1996 සැන් ෆ‍්‍රැන්සිස්කෝ චිත‍්‍රපට උලෙලේ දී මම එය නැරඹුවෙමි.

Palookaville (1995)

1950 ගනන්වල හා 1960 ගනන්වල බිහි වූ ඉතාලි විකට චිත‍්‍රපටවලින් -- විශේෂයෙන් ම මාරියෝ මොනිසෙලිගේ ඊසට Big Deal on Madonna Street චිත‍්‍රපටයෙන් -- ලිහිල් ආවේශයක් ලද මෙම චිත‍්‍රපටිය ගැන මම මෙසේ ලියුවෙමි: ” Palookaville දුර්ලභ ඇමරිකානු චිත‍්‍රපටයකි. එය වූ කලි -සානුකම්පික නමුත් නිර්දය හා යම් පරිකල්පනයකින් යුතුව - සාමාන්‍ය ජනතාව විෂය කර ගන්නකි. ඇලන් ටේලර්ගේ චිත‍්‍රපටය ලුහුබඳින්නේ ජර්සි නගරයේ වාසය කරන, හේතු ගනනාවක් නිසා අපරාධවල නිරත වන [විලියම් ෆෝසයිත්, වින්සන්ට් ගැලෝ හා ඇඩම් ටී‍්‍රස් විසින් රඟ දැක්වෙන] රැකියා විරහිත මිනිසුන් තිදෙනෙකුගේ ජීවිත ය.”

1996 මැයිවල සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවර දී කල කතාබහක් අතරතුර ටේලර් සමාජය තුල සිටින ”පීඩිතයන්” කෙරෙහි සහානුභූතියක් පල කලේ ය. ඔහු මෙසේ කීවේ ය: ”මේ චිත‍්‍රපටය තුල ඉන්න හැම බලධාරී පුද්ගලයෙක් ම දූෂිත යි, විශ්වාස කරන්න බැහැ. ... මේ චිත‍්‍රපටය මේ හාදයන් විසින් පාලනය කෙරෙන ජන කන්ඩායම කෙරෙහි මහත් දයාවක් හා භක්තියක් ගැබ් කර ගත් චිත‍්‍රපටයක් බව නිසැක වශයෙන් ම කිව හැකි යි.” එහි චරිත දිගටම නොමග ගොස් ඇමරිකානු සිහිනය කෙරෙහි විශ්වාසය තැබීම ගැන ද ඔහු සඳහන් කලේ ය: ”ඔවුන් හිතන්නේ ඒ ගැන විතර ම යි. ‘හරි, පොඩ්ඩක් අහන්නකෝ, අපි මේ මුලු අදහස ගැන ම මීට වඩා විවේචනාත්මක වෙන්න ඕන කියලා ද කියන්නේ කියලා හිතන තැනට එයාලා ඇවිත් නැහැ. ඔවුන් ඉන්නේ ඒ අදියරේ නොවේ.”

එපමනක් නො වේ. හොලිවුඩ් පුරය ගැන සහ ප‍්‍රචන්ඩත්වය හා පුරසාරම් සහිතව සමාජ ගැටලුවලින් වෙනතකට අවධානය යොමු කරවීමට එහි පවත්නා ප‍්‍රවනතාව ගැන ද ටේලර් සතුරු ආකල්පයක් පල කලේ ය: ”අප නරඹන බොහෝ හොලිවුඩ් චිත‍්‍රපට අපේක්ෂා භංගත්වයට හා භීතියටත් ආර්ථික අවිනිශ්චිතතාවට හා දේශපාලන අවිනිශ්චිතතාවටත් දක්වන ප‍්‍රතිචාර. ඒවායින් බොහොමයක් ඒ භීතියට මුහුන දෙන්නේ ඩිෂුම්! ඩිෂුම්! ඩිෂුම්! (වෙඩි පහරවල්) මගින්. තමන්ට ඒ තරම් ම පහසුවෙන් පාලනය නැවත ලබා ගන්න පුලූවන් කියලා හැඟෙන එක පේ‍්‍රක්ෂකාගාරයකට ඉතා ම සැනසිලිදායක දෙයක්.”

ඉන් දශක දෙකකට පසුව දැන්, ටේලර් හොලිවුඩයේ ”ඩිෂුම්! ඩිෂුම්! ඩිෂුම්!” සඳහා දායක වෙමින් සිටින්නේ නම් එය පෞද්ගලික දෝෂයක් වනවාට වඩා ඊනියා ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගේ හා රචකයන්ගේ පරම්පරාවකින් කොටසකට බැරෑරුම් දේශපාලන හා ඓතිහාසික ඉදිරි දර්ශනයක් නොමැතිකම ඇතුලු බරපතල සමාජ-සංස්කෘතික ගැටලුවල පිලිබිඹුවක් වන්නේ ය.

ටේලර් පරිශ‍්‍රමයක් දැරූ බවට සැකයක් නැත. ඔහු රූපවාහිනී මාලා නාටක කිහිපයක ම කොටස් අධ්‍යක්ෂනය කල අතර -- හරි හෝ වැරදි වේවා -- ඒවා අන් බොහෝ රූපවාහිනී නාටකවලට වඩා සැලකිය යුතු මට්ටමක ඇතැයි සලකනු ලැබින- Traders, Oz, Homicide: Life on the Street, The West Wing, The Sopranos යනු ඉන් කිහිපයකි. නැපෝලියන් පිටුවාහලේ ගත කල කාලය ගැන කියැවෙන The Emperor’s New Clothes(2001) මනහර වුවත් නොවැදගත් විය. ඔහු නිර්මානය කල 1980 ගනන්වල නිව් යෝක් නගරයේ ජීවිතය ගැන කියැවෙන Kill the Poor සමාජීය හෘදය සාක්ෂියක් පල කලේ ය. ඉන් පසුව ටේලර්ගේ ජීවිත කතාවෙහි වැඩියෙන් ම තිබෙන්නේ රූපවාහිනිය සඳහා නිර්මානය කල කෘති ය. Game of Thrones මාලාවේ කොටස් හය ද ඒ අතර වේ. අනතුරුව 2013 දී හදිසියේ ම Thor: The Dark Worldබිහි විය. දැන් මෙය ය ...

Palookaville තිරගත වූ කාලයේ ම Schizopolis(1996) චිත‍්‍රපටය නිසා ටොරොන්ටෝවේ දී අපි ස්ටීවන් සොඩර්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයෙමු. තමන් හොලිවුඩයේ රේඩාරය යටතේ සිටින්නේ සතුටින් බවත් එහි නතර වීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසුවේ ය. මේ සාකච්ඡාව සිදු වූයේ ඔහු යම් කලකට ජූලියා රොබට්ස්ගේ ”ප‍්‍රියතම අධ්‍යක්ෂවරයා” බවට පත් වීමටත් Ocean’s Eleven(2001), Ocean’s Twelve(2004) හා Ocean’s Thirteen(2007) රූගත කිරීම සඳහා සූදානම් වීමටත් යන්තම් වසර කිහිපයකට පෙර ය.

කොයික වෙතත් අදාල සිනමාකරුවාට හානි කරන බාල විහිලු කිරීම සුදුසු නැති බව නැවතත් කිව යුතු ය. ගැටලුව ඊට වඩා බරපතල ය.

විනෝදායන කර්මාන්තයේ ආධිපත්‍යය දරන සංගත අතලොස්සේ අවශ්‍යතාවන්ට හා අභිමතාර්ථයන්ට අනුකූල වීමට බල කෙරෙන්නේ අයෝමය දැඩි බවකිනි. ස්වාධීන චින්තනය, නිර්මානශීලිත්වය, නිරායාසය, විචාරය හා විවෘත විරුද්ධත්වය දැවැන්ත සංගතයන්හි සැලසුම් සමග නො ගැලපේ. එම සැලසුම් එකී ගුනාංගවලට නොහොත් මනෝගතීන්ට සතුරු වන්නේ ද ඒවා වටහා නොගන්නේ ද වේ. එසැනින් බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට තුඩු නොදෙන කුමක් වුවත් බෙහෙවින් සැකයට පාත‍්‍ර වේ. ඒවායේ විධායකයන්ගේ අදහස නම් වසරකට චිත‍්‍රපට නිෂ්පාදක සමාගම් විසින් කිසිවෙකු අමනාප නොවන හා කිසිවක් නොකියන, සිත පිනවන විනෝද උයනක සල්පිල් යනාදියෙහි සුව විඳිමින් ඇවිද යන්නාක් වැනි, මහා පරිමාන, තාක්ෂනිකව වැඩි දියුනු චිත‍්‍රපට කිහිපයක් නිපදවිය යුතු බව යි.

කිසි යම් ප‍්‍රවර්ගයකට අයත් කලාකරුවන් සමූහයක් බ්ලොක්බස්ටර් චිත‍්‍රපට දෙසට දැක්කීම සම්බන්ධයෙන් ද මේ තත්ත්වය හා බැඳි අර්ථ ශාස්ත‍්‍රය වගකිව යුතු ය. ටේලර්ට හා සොඩර්බර්ග්ට මෙන් බොහෝ විට ඔවුන්ට ද අපහැදිලි ප‍්‍රතිරෝධී හෝ ”වාම” අදහස් තිබෙන නමුත් නුවනක්කාර යයි ද මග හැරිය නොහැකි යැයි ද පෙනෙන ජීවිකා වෘත්තීන් තෝරා ගැනීමේ දී ඒ කිසිවක් ඔවුන්ට හරස් නොවනු ඇත. ජනගහනයේ පුලුල් කොටස්වලින් ද ඔහුන්ගේ දුක්් පීඩාවන්ගෙන් හා කැකෑරෙන කෝපයෙන් ද බෙහෙවින් දුරස්ත වී තනිවූ විට, නිශ්චිත සාමාජික හා ඓතිහාසික දැක්මක් නොමැති නම්, සිනමාකරුවෝ මේ අතිවිශාල වූත් ලාභ උපදවන්නා වූත් නිෂ්පාදන විසින් කෙරෙන අන්තරායකාරී කැඳවුම් මුලා විය හැකි ය.

එවැනි පරිමානයක් ගන්නා මෙහෙයුම් සිනමාකරුවෙකුට අභියෝගයක් සේ පෙනී යන බවට සැකයක් නැති අතර සෑම අධ්‍යක්ෂවරයෙකු ම තමන් ක‍්‍රියාදාමයන්ට හෝ සුපිරි වීරත්වයට පෞද්ගලික හා කලාත්මක සහ ඇතැම් විට සාමාජික වශයෙන් විවේචනාත්මක යමක් පවා දායක කරන්නෙමැයි තමන්ට ම කියා ගන්නා බවට ද සැකයක් නැත. එහෙත් අතිමහත් ඝෝෂාව හා කැලඹීම ඒවාට වඩා බෙහෙවින් වැදගත් වන හෙයින් එය කිසි දා සිදු නොවන්නේය, නැතහොත් සානුකම්පික හැඟීම් ජනනය කිරීම ඉතා නොවැදගත් දෙයක් බවට පත් වේ.

කෙසේ වුව ද ගෝලීයව ස්වාධීන සිනමාකරුවන් ”බ්ලොක්බස්ටර්” සුලිය තුලට පැනීම හැම තැනක ම පාහේ දක්නට ලැබෙන බැවින් ඒ ගැන අවධානය යොමු කිරීම සුදුසු ය.

තවත් උදාහරන කිහිපයක් මෙසේ දැක්විය හැකි ය:

මුල් කාලීන කෘති කිසි විටෙක ටේලර්ගේ කෘති තරම් සිත් ගන්නාසුලු නොවූ නමුත් ටේලර්ට යම් තරමකට සමාන්තරව යන දෙපලක් නම්, ඇන්තනි හා ජෝ යන රූසෝ සොහොයුරන් ය. ක්ලීව්ලන්ඩ්හි කම්කරු පන්තික වටාපිටාවක් ගැන කියැවෙන ඔවුන්ගේ Welcome to Collinwood(2002) Palookaville චිත‍්‍රපටයට මතුපිටින් සමාන සමහර ලක්ෂන ගැබ් කර ගත්තේ ය. ජෝ රූසෝ එකල මෙසේ අදහස් දැක්වූයේ ය: ”මේවා පීඩිතයින්ගේ චරිත, සිත් ගන්නාසුලු පරාජිත චරිත. හැම කෙනෙකු ම යම් දුරකට තමන් පීඩිතයෙකු ලෙස සලකා ගන්නවා කියා මා හිතනවා.” ඔහුගේ සොහොයුරා මෙසේ පැවසුවේ ය: ”විශේෂයෙන් ම ක්ලීව්ලන්ඩ්හි, කොලින්වුඞ් වැනි තදාසන්නයේ, පසු ගිය දශක කිහිපය තුල අයහපත් බිඳ වැටීම් රැසක් සිදු වී තිබෙනවා.”

2002 දී නිර්ව්‍යාජ, වඩා අවංක, වඩා විවෘත, වඩා සරල පුද්ගල චරිත සිනමා ඉතිහාසය තුල සොයමින් සිටි, රූසෝ දෙබෑයන් 2014 වන විට Captain America: The Winter Soldierඅධ්‍යක්ෂනය කරන තරමට දියුනු වී තිබින. ඊලඟ වසර කිහිපය තුල Civil war, Avengers: Infinity War Part I සහ Avengers: Infinity War Part II -- අධ්‍යක්ෂනය කිරීමට ඔවුන් සැලසුම් කොට තිබින.

ශේක්ස්පියර් වඩා පුලුල් පේ‍්‍රක්ෂක පිරිසක් අතරට රැගෙන යාමට අදහස් කල චිත‍්‍රපට මාලාව (Henry, Much Ado About Nothing, Hamlet, Love’s Labour Lost සහ As You Like It) නිසා ඉමහත් ප‍්‍රසිද්ධියක් ලබා සිටින බි‍්‍රතාන්‍ය නලූ-අධ්‍යක්ෂ කෙනත් බ‍්‍රැනාග් 2011 දී Thor අධ්‍යක්ෂනය කලේ ය.

1998 දී සැන් ෆ‍්‍රැන්සිස්කෝ ඇතුලු එකිනෙක ස්වාධීන චිත‍්‍රපට උලෙල වලට ගිය අඩු වියදම් Following නිර්මානය කල බි‍්‍රතාන්‍යයේ උපත ලද ක‍්‍රිස්ටෝෆර් නෝලන් ඉවසිය නොහෙන තරම් හෘදයංගම හා මන්දාලෝකිත බැට්මෑන් කථාංග කිහිපයක් ((Batman Begins (2005), The Dark Knight (2008) සහ The Dark Knight Rises (2012)) අධ්‍යක්ෂනය කරමින් ඊට බෙහෙවින් වැඩි නමක් දිනා ගෙන ඇත.

මධ්‍යම දකුනු ලොස් ඇන්ජලිස්හි ජීවිතය ගැන කියැවෙන Boyz n the hood (1991) නිර්මානය කල අප‍්‍රිකානු-ඇමරිකානු අධ්‍යක්ෂ ජෝන් සිංගල්ටන් The Fast and the Furious ව්‍යාපෘතියේ දෙවන කථාංගය වූ 2 Fast 2 Furious(2003) අධ්‍යක්ෂනය කිරීම සඳහා බඳවා ගැනුනේ ය.

නාගරික Maori පවුලක් වටා ගෙතුනු 2014 දී එදා මෙදා තුර නිර්මානය කෙරුනු හොඳ ම නවසීලන්ත චිත‍්‍රපටය ලෙස ඡන්දයෙන් තේරුනු Once Were Warriors අධ්‍යක්ෂනය කල නවසීලන්තයේ උපන් ලී ටමාහෝරි, ජේම්ස් බොන්ඩ් මනඃකල්පිතයන්හි විසි වැන්න වූ Die Another Day (2002) අධ්‍යක්ෂනය කිරීමට ගියේ ය.

තවත් සුලු වැයක් සහිත චිත‍්‍රපටයක් වන හෝල් බෙරී හා බිලී බොබ් තෝන්ටන් රඟපෑ බෙහෙවින් ගෞරවාදරයට පාත‍්‍ර වූ Monster’s Ball (2001) සහ ඇෆ්ඝනිස්ථානයේ ජීවිතය ගැන කියැවෙන The Kite Runner(2007) නිර්මානය කල ජර්මානු-ස්විස් අධ්‍යක්ෂ මාක් ෆෝස්ටර් ද 2008 දී බොන්ඩ් චිත‍්‍රපටයක් (Quantum of Solace) අධ්‍යක්ෂනය කිරීමට යොමු වූයේ ය.

(සුදුසු නැති මුත්) සම්මාන ලද American Beauty (1999) අධ්‍යක්ෂනය කල එක්සත් රාජධානියේ සෑම් මෙන්ඩෙස් Skyfall(2012) නම් මෑත ම බොන්ඞ් චිත‍්‍රපටයෙහි මෙන් ම නොවැම්බරයේ දී තිරගත වීමට නියමිතබි‍්‍රතාන්‍ය ඔත්තුකාරයා පිලිබඳ චිත‍්‍රපට මාලාවේ ඊලඟ කථාංගයෙහි ද ප‍්‍රධානත්වය ඉසිලීය.

සමූහ ඝාතක අයිලීන් වුවර්නොස්ගේ (චාලයිස් තෙරොන්) ජීවිතය ගැන කියූ Monster(2003) චිත‍්‍රපටය නිර්මානය කොට එහි ගැබ් විනැයි කියන ලද පීඩාකාරී හා වේදනාකාරී යථාර්ථවාදය නිසා බෙහෙවින් ගරු බුහුමන් ලද පැටී ජෙන්කින්ස් 2017 දී තිරගත වීමට නියමිත Wonder Woman අධ්‍යක්ෂනය කොට දරුනු විවේචනයකට ලක් වූවා ය.

.. . / මේ යනාදී වශයෙනි.

Share this article: