ජල සම්පාදන සේවක වර්ජනය නතර කරයි- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ජල සම්පාදන සේවක වර්ජනය නතර කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 දෙසැම්බර් 30

ප‍්‍රසාද දීමනාව කප්පාදුවට විරුද්ධව හා තවත් ඉල්ලීම් ගනනාවක් මත ජාතික ජල සම්පාදන හා අපවහන මංඩලයේ සේවකයන්ගේ වර්ජනය හා විරෝධතා උද්ඝෝෂනය ඊයේ දහවල් 11 සිට නතර කර ඇත. වර්ජනය අත් හිටුවීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ නායකයන් විසින් තීන්දු කර ඇත්තේ රුපියල් 37,500 ප‍්‍රසාද දීමනාව ගෙවීමට මංඩලයේ පාලනාධිකාරය දුන් වාචික පොරොන්දුවක් මත ය.

ජනාධිපති, අගමැති හා ඇමති සමග කල සාකච්චාවේ දී ඉල්ලීම ඉටු කිරීමට එකඟ වීමත් මංඩලයේ පාලානාධිකාරය ප‍්‍රසාද දීමනාව අද දවස ඇතුලත සේවකයන්ගේ ගිනුම් වලට බැර කරන බව ප‍්‍රකාශ කිරීමත් නිසා වර්ජනය නතර කල බව ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති ඩබ්ලිව්. එම්. රුවන් කුමාර ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුට පැවසුවේය.

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, ජල සම්පාදන පොදුසේවක සංගමය සහ ඉංජිනේරු සංගමය ඇතුලු වෘත්තීය සමිති 36 එකතුවකි. මේ සමිතිවලින් බහුතරය ඍජුව හෝ වක‍්‍රව වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන් ඒවාය. විරෝධතා උද්ඝෝෂනය සහ වර්ජනය කැඳවුම් කිරීමට ඔවුන්ට බල කෙරුනේ සේවකයන්ගේ ප‍්‍රසාද දීමනාව 25,000 දක්වා කප්පාදු කිරීම, දින 180 සේවා කාලයක් සහිත සේවකයන් ස්ථීර නොකිරීම, මාස තුනක හිඟ වැටුප් නොගෙවීම ඇතුලු හේතු මත සේවකයන් අතර බරපතල නො සන්සුන්තාවයක් වර්ධනය වන තතු තුලය.

ප‍්‍රසාද දීමනාව ගෙවන බවට දුන් පොරොන්දුව පිලි ගත් සමිති නායකයෝ සෙසු ඉල්ල්ලීම් පසෙකට දමා ඇත. “මේ අවස්ථාවේ අපේ මූලික ඉල්ලීම වුනේ බෝනස් එක” බව සෙසු ඉල්ලීම් පසෙක තැබීම ගැන නිදහසට කරුනක් ලෙස ඔව්හු කියති. සමිති නායකයන් කර ඇත්තේ එම ඉල්ලීම් අත හැර දමා ආන්ඩුවට සහ මංඩලයේ පාලනාධිකාරයට සහනයක් දීමකි. ආන්ඩුවට එරෙහිව යන අරගලයකට වෘත්තීය සමිති මුලුමනින්ම විරුද්ධ ය.

ඉල්ලීම් නොලැබුනොත් “දැඩි වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගයකට යන” බවට සමිති නායකයන් පාරම් බෑ නමුත් සම්මුතියකට ඒමට ඔවුන්ගේ ඇති සුදානාම ප‍්‍රකාශ කරමින් ඉතා සීමිත කි‍්‍රයාවල සේවකයන් හිර කිරීමට ඔවුහු වග බලා ගත්හ. ජනවාරි මාසයේ සිට මාස තුනක හිඟ වැටුප් තවමත් නොගෙවා සිටීමට පාලානාධිකාරියට ඉඩහැර ඇත්තේ සමිති නායකයන් විසිනි. ප‍්‍රසාද දීමනාව ලැබෙන්නේ නම් සෙසු ඉල්ලීම් දෙවනුව විසඳා ගැනීමට සුදානම් බව ඔවුන් මුල සිට ම අවධාරනය කලේ ය.

සෙනසුරාදා සහ ඉරිදා නඩත්තු හා අලුත් වැඩියා කටයුතු වලින් හා අතිකාල වලින් බැහැරව අකුරට වැඩකිරීමේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ කම්කරුවන් 28 වෙනිදා පෙරවරු 9 සිට දහවල් 1 දක්වා සංකේත වර්ජනයක නිරත වූහ. ඉංජිනේරු, නඩත්තු, ලිපිකරු, රියදුරු ඇතුලු සියලුම ශ්‍රේනි වලට අයත් 10,000 පමන වූ සේවකයෝ ඊට සම්බන්ධ වූහ.

විරෝධතාවය මර්දනය කිරීම සඳහා මංඩලයේ පාලනාධිකාරය දුෂ්ට උත්සාහයක

විරෝධතාවය මර්දනය කිරීම සඳහා මංඩලයේ පාලනාධිකාරය දුෂ්ට උත්සාහයක යෙදුනි. සේවකයන් ඇතුලු වීම වැලැක්වීම සඳහා සඳුදා උදේ රත්මලාන ප‍්‍රධාන කාර්යාලයේ ගේට්ටුව වසා තබන ලෙස ආරක්ෂක අංශයට උපදෙස් දී තිබුන අතර අතිරේක ආරක්ෂක සේවකයන් 20 පමන වෙනත් සේවා ස්ථාන වලින් ගෙන්වාගෙන තිබුනි. වෘත්තීය සමිති නායකයෙකුට ඇතුලට යාමට ඉඩ දීම නිසා ආරක්ෂක අංශයේ ස්ථාන භාර නිලධාරියාගේ වැඩ තහනම් කර ඒ වෙනුවට හමුදාවේ සේවය කල ආරක්ෂක නිලධාරියෙකු සේවයේ යොදවා තිබුනි. මාධ්‍ය වේදීන්ට ඇතුලට යාමට ඉඩ නොදෙන ලෙස ද ආරක්ෂක අංශයට නියෝග කොට තිබුනි.

ප‍්‍රසාද දීමනාව කප්පාදු කිරීමට සහ සෙසු ඉල්ලීම් නොදීමට කටයුතු කරන පාලානාධිකාරය සුඛෝපභෝගී වාහන, ඉහල වැටුප් සහ දීමනා ඇතුලු සියලු වරප‍්‍රසාද භුක්ති විඳින බවට සේවකයෝ චෝදනා කරති.

වසර තුනකට වරක් කෙරෙන වැටුප් වැඩිකිරීම් යටතේ පසුගිය වසරේ සේවක වැටුප් වැඩි කෙරී ඇත්තේ රුපියල් 10,000 කිනි. එය ඉහල යන ජීවන වියදමත් සමග කිසිසේත් නොගැලපෙන බව සේවකයෝ කීහ. මෙම වැටුප් වැඩි වීමත් සමග අතිකාල සේවා කප්පාදුවක් කි‍්‍රයාවට දමා ඇත. ගෙවීම් කරන්නේ වැඩ කරන අතිකාල පැය ගනනින් හරි අඩකට පමනකි. එනම් පැය 150 ට 75ක්, පැය 100 ට 50ක් ආදී වසයෙනි. නඩත්තු අංශයේ අතිකාල මාසයකට පැය 20 සීමා කර ඇති බව නඩත්තු සේවකයෝ කීහ.

පේ‍්‍රමලාල්

ජීවන වියදම පිම්මේ ඉහල යන තතු තුල දැනට ලැබෙන වැටුප් කිසිසේත් ප‍්‍රමානවත් නොවන බව සේවකයෝ පවසති. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කල සැලසුම් අංශයේ සේවකයෙකු වන බී.ඩී. පේ‍්‍රමලාල් තමන්ට ලැබෙන මාසික වැටුපෙන් පවුලේ වියදම පිරිමසා ගැනීමට නොහැකි බව පැවසුවේය.

“මගේ සේවා කාලය වසර 23 ක්. සියලු දීමනා සමග මාසික වැටුප රුපියල් 42,000 පමන ලැබෙන්නේ. අඩු කිරීම් වලින් පසුව අතට ලැබෙන්නේ රුපියල් 18,000 විතර. බිරිඳට රක්ෂාවක් නැහැ. පදිංචි වෙලා ඉන්න සේවක නිල නිවසට මාසික කුලිය රුපියල් 5200 ගෙවන්න ඕනා. 2010 ගෙව්වේ රුපියල් 400 යි. දහගුනයකටත් වඩා වැඩි කරලා. වතුර බිලට රු.900-1000 සහ විදුලි බිලට රු. 2000 පමන මාසෙකට ගෙවන්න වෙනවා. ඉතුරු මුදලෙන් තමයි පුතත් එක්ක අපි තුන් දෙනෙකුට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ” ඔහු පැවසුවේය.

ඔහුගේ මුලික වැටුප රුපියල් 19,000 හා සියල්ල එකතුව මාසික දල වැටුප රුපියල් 40,000 වැඩි නො වන බව නඩත්තු අංශයේ සේවකයෙකු කීවේ ය. “අඩුකිරීම් වලින් පස්සේ අතට ලැබෙන්නේ 20,000 වගේ මුදලක්. කප්පාදුවෙන් පස්සේ අතිකාල පැය දහයක්වත් සමහර මාසවලට ලැබෙන්නේ නැහැ, ලමයි තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉස්කෝලේ යනවා. ඒ අයට සෑහෙන වියදමක් යනවා. බිරිඳ රක්ෂාවක් කරන්නෙත් නැහැ. ඒ නිසා වියදම පිරිමහ ගන්නේ හරිම අමාරුවෙන්,” යයි ඔහු සඳහන් කලේය.

මිනිස් බල සමාගම් මගින් කොන්ත‍්‍රාත් කම්කරුවන්ට ගෙවන්නේ සේවාවට අනුව රුපියල් 700, 800 ආදී වසයෙන් දෛනික වැටුපකි. ඔවුන්ට ස්ථීර කම්කරුවන් සිය අරගල මගින් දිනාගෙන ඇති මාසික වැටුපක්, නිවාඩු හෝ සෙසු දීමානා හිමි නැත.

ජල සම්පාදන මංඩලයේ ප‍්‍රසාද දීමනා කප්පාදුව ආන්ඩුව කම්කරු පන්තියට එල්ල කරන පොදු ප‍්‍රහාරයෙන් වෙන් කර එය හුදෙක් මංඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරී ඇතුලු පාලනාධිකාරයේ වැඩක් ලෙස හුවා දැක්වීමට සමිති නායකයෝ උත්සුක වූහ. එමගින් ජල සම්පාදන මංඩලයේ සේවකයන්ගේ වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුව පිටුපසින් පවතින සැබෑ හේතුන් වසන් කිරීමට සමිති නායකයෝ දැනුවත් ව ම කි‍්‍රයා කරති.

බරපතල ආර්ථික ප‍්‍රශ්නවලට මුහුන දී සිටින ආන්ඩුව හැරී ඇත්තේ කම්කරු පන්තියේ අයිතීන් කපා දැමීමටය. “ස්වෙච්චා විශ‍්‍රාම ගැන්වීමේ” සැලසුම් යටතේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දස දහස් ගනනක් සේවකයන් නුදුරු අනාගතයේ දොට්ට දැමෙනු ඇත. කම්කරු පන්තියේ බරපතල විරුද්ධත්වය මධ්‍යයේ තාවකාලිකව හකුලා ගත් බවක් පෙන්නුව ද රාජ්‍ය සේවකයන් දැන් භුක්ති විඳින විශ‍්‍රාම වැටුප් අයිතිය අහෝසි කර දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය කි‍්‍රයාවට දැමීමට නියමිතය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ යටතේ රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ ආර්ථික ප‍්‍රතිසංස්කරන කඩිනම් කිරීමට වර්තමාන ආන්ඩුව තීන්දු කර ඇත. ජල සම්පාදන මංඩලය, විදුලි බල මංඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලු“මූලෝපායාත්මකව” වැදගත් ආයතන ලෙස විශේෂයෙන් නම් කර ඇත. ජල සම්පාදන මංඩලය ඇතුලු “පාඩු ලබන රාජ්‍ය ආයතන” ලෙස හඳුනාගෙන ඇති ආයතන 245 ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් දැනටමත් කි‍්‍රයාවට දමා ඇති බව මුදල් ඇමති රවී කරුනානායක අගෝස්තු 11 මාධ්‍ය වලට ප‍්‍රකාශ කලේ ය. පසුගිය වසර කිහිපය තුල කානු කැපීම, බට එලීම ඇතුලු අංශ ගනනාවක් ජල සම්පාදන මංඩලය විසින් පුද්ගලික කොන්ත‍්‍රාත්කරුවන්ට පවරා තිබේ. මෙම කි‍්‍රයාවලිය යටතේ ජල සම්පාදන මංඩලයේ සේවකයන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාරය වඩා තීව‍්‍ර වනු ඇත.

Share this article: