පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එල්ල කර ඇති තර්ජනයට එරෙහිවනු !

සමාජවාදී සමානතා පක්ෂය (ශී‍්‍ර ලංකාව), 2015 පෙබරවාරි 06

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මධ්‍යම කාරක සභිකයෙකු වන කුමාර් ගුනරත්නම් අත්අඩංගුවට ගැනීමට තැත් කිරීම ද ඇතුලුව එම පක්ෂයට එල්ල කර ඇති තර්ජනය සමාජවාදී සමානතා පක්ෂය තරයේ හෙලා දකී. එය ගුනරත්නම්ගේ ද ඔහු අයත් පෙසපයේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කර ඇති තර්ජනයකි.

ජනවාරි 28, 29, 30 යන තෙදිනේම ගුනරත්නආගමන-විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ජනවාරි 29 දින ඔහු අත්අඩංගුවට ගැනීමට දෙපාර්තමේන්තු බලධාරීන් තැත් කලත් ඔහුගේ නීතිඥයන්ගේ මැදිහත්වීම නිසා එය වැලකී ඇත. පෙසප විසින් නිකුත් කෙරුනු නිවේදන වලින් දක්වා ඇත්තේ සංචාරක වීසා මත පැමින දේශපාලන වැඩවල නිරතවීම ගුනරත්නම්ට එරෙහිව එල්ල කල චෝදනාව බවයි. වීසා ලබා ගැනීමේදී ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා බලධාරීන්ට තමන් දේශපාලන වැඩ කටයුතුවල යෙදෙන බව දැනුම් දුන්නත් ගුනරත්නම්ට ලබා දී ඇත්තේ සංචාරක වීසාවක් බව ද පෙසප සඳහන් කරයි.

කෙසේ වෙතත්, සංචාරක වීසාවක් මත පැමින දේශපාලන කටයුතුවල නිරත වීමට නොහැකි ලෙස අන පැනවීම ප‍්‍රතිගාමී ය. එය සෑම ධනපති රාජ්‍යයක් විසින්ම දේශපාලන විරුද්ධවාදීන් මැඩීමට පනවා ගෙන ඇති මර්දනකාරී නීතියකි. ගුනරත්නම්ට එරෙහි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ආගමන-විගමන පාලකයා වෙත පැමිනිලි කර තිබීමෙන් පෙන්නුම් කර ඇත්තේ ආන්ඩුවේ මර්දනකාරී හස්තයයි.

පොලිස් විධික‍්‍රම මගින් ඒකාධිපතිවාදී ස්වරූපයේ පාලනයක් ගෙනගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කර බලයට පත්ව සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යටතේ ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් කරා සංක‍්‍රමනය වී හෝ සංක‍්‍රමනය වෙමින් ඇති යන පචය පලල්ව ප‍්‍රචාරය කෙරේ. සිරිසේනගේ හා ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය පිලිබඳ එක් සලකුනකි, පෙසපට එල්ල කර ඇති තර්ජනය.

ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ පිටුබලය ඇතිව, ඊට ගැති පාලනයකට ප‍්‍රතිඥා දෙමින් බලයට ආ සිරිසේන, ඔහුගේ පුර්වගාමියා මෙන්ම, රුදුරු ලෙස ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට මෙන්ම ජීවන හා සමාජ අයිතීන්ට ද කොටන බව සමාජවාදී සමානතා පක්ෂය පමනක්ම ජනාධිපතිවරනයේදී අවධාරනය කලේය. ලෝක ධනවාදයේ අර්බුදයෙන් තවත් ඔද්දල්වී ගිය ආර්ථික අර්බුදයක බර පැටවීමට ද ලෝක යුද ධාවනයක් කරා දිවෙන භූ-දේශපාලන ආතතියක් මැද ලංකාව ඇමෙරිකානු යුද කරත්තයට බැඳ තැබීමට ද කැපවී සිටින සිරිසේනගේ ආන්ඩුව කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීමට අනිවාර්යයෙන්ම කි‍්‍රයා කරනු ඇත. දැන් සිදුකෙරෙන සොච්චම් බඩු මිල අඩුකිරීම් ආදී මවා පෑම් වලට යටින් ඇති ඇත්ත යථාර්තය එයයි.

සිරිසේන පැමිනීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට “සංක‍්‍රමනයක්” පිලිබඳව මුසා දොඩවන නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය බඳු ව්‍යාජ වම්මුන්ගේ ද ”විරාමයක්” ලැබීම ගැන මැත දොඩවන පෙසපයේ ද දේශපාලනය සමාජවාදී සමානතා පක්ෂය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. මෙම මුලාවන්ගෙන් ශක්තිමත් කෙරෙන්නේ සිරිසේන ආන්ඩුවය. නසසප විවෘතවම ආන්ඩුවේ ජාතික විධායක සභාවට එක්ව සිටී.

රාජපක්ෂ ආන්ඩුව පසුගිය අවුරුදු දෙකක් තිස්සේ රටේ දිස්ත‍්‍රික්ක 25 තුල පොලිස් බලතල සහිතව මිලිටරිය සීරුවෙන් තැබීම අඛන්ඩව ගෙනයමින් ජනාධිපති සිරිසේන පෙබරවාරි 2 දා ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අහම්බයක් නොවේ. ඕනෑම අවස්ථාවක පැනවිය හැකි හදිසි නීතිය ද හදිසි නීතිවල කොටස් ඇතුලු කර රාජපක්ෂ ආන්ඩුව විසින් මුවහත් කෙරුනු ත‍්‍රස්තවාදය වැලැක් වීමේ පනත ද දැවැන්ත හමුදාවක් හා සමාන්තර හමුදා ද සිරිසේන ආන්ඩුව අතේ පවතී. පන්ති අරගල පිපිරෙන තතු තුල සිරිසේන හා වික‍්‍රමසිංහ ක‍්‍රියා කරනු ඇත්තේ රාජපක්ෂට නොදෙවෙනි මුර්ග ආකාරයකට ය.

ගුනරත්නම් හා ඔහු අයත් පක්ෂයට එල්ලවී ඇති තර්ජනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහිව ආන්ඩුව විසින් සුදානම් කෙරෙන පුලුල් ප‍්‍රහාරයක කොටසක් නිසා ඊට එරෙහිවන ලෙස ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැක ගැනීමට ධනපති පන්තියේ සෑම කොටසකින් ම ස්වාධීනව සමාජවාදී ප‍්‍රතිපත්ති මත සුදානම් වන ලෙස ද සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

Share this article: