ශ‍්‍රී ලංකා පාලන තන්ත‍්‍රය වෙනස්කිරීමේ එක්සත් ජනපද සම්බන්ධය පිලිබඳ තවත් සාක්ෂි

More evidence of US involvement in Sri Lankan regime-change

කේ. රත්නායක විසිනි, 2015 පෙබරවාරි 16

ජනවාරි 8 දා පැවති ලංකාවේ ජනාධිපති වරනයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කර මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති පදිවියට පති කෙරුනි. නව ආන්ඩුවේ නායකයින් හා ඔවුන්ගේ ව්‍යාජ වාම හෙංචයියන් මෙය “රාජපක්ෂගේ ඒකාධිපති පාලනයට” විරුද්ධ “ජනතා නැගිටීමක” ප‍්‍රතිපලය කැයි ප‍්‍රකාශ කල ද යථාර්තයේදී එය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් පමනක්ම පෙන්වා දුන් පරිදි පාලන තන්ත‍්‍ර මාරු කිරීමේ මෙහෙයුමක ප‍්‍රතිපලයකි.

ආරම්භයේ පටන් ම “විපක්ෂයේ පොදු අපේක්ෂකයා” ලෙස සිරිසේනගේ හදිසි මතුවීම, තිරයෙන් පිටුපස ප‍්‍රවේශමෙන් සූදානම් කල කුමන්ත‍්‍රනයක ප‍්‍රතිපලය බව පැහැදිලිව තිබුනි. රාජපක්ෂ මැතිවරනය දිනය ප‍්‍රකාශයට පත් කල නොවැම්බර් 20දා ට පසු දින සෞඛ්‍ය ඇමතිව සිටි සිරිසේන ආන්ඩුවෙන් ඉවත්වී, තමා විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) හා තවත් පක්ෂවල සහාය ඇතිව මැතිවරනයට ඉදිරිපත්වන බව ප‍්‍රකාශ කලේය.

මෙහි ලා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හරහා වොෂින්ටනයේ මැදිහත්වීම ගැන, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දැනටමත් කරුනු පැහැදිලි කර තිබේ. බීජිනය සමග පැවති රාජපක්ෂගේ සම්බන්ධකම් කෙරෙහි දැඩි ලෙස විරුද්ධ වූ ඔබාමා පාලනය ලංකාව ඇමරිකාවේ “ආසියාවට හැරීම” හා චීනයට එරෙහි මිලිටරි සූදානම තුලට මුලුමනින්ම රුවා ගැනීමට අදිටන් කරගෙන සිටියේය.

රාජපක්ෂ ඉවත්කිරීමේදී වොෂින්ටනයේ හස්තය ක‍්‍රියාත්මකවූ ආකාරය පිලිබඳ තවත් සාක්ෂි දැන් එලිමහනට පැමින තිබේ.

පෙබරවාරි 06දා ආන්ඩුවේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය විදේශ ඇමති මංගල සමරවීරගේ වොෂින්ටන් සංචාරය පිලිබඳ වාර්තාවක් පල කලේය. “දෙරට අතර මිත‍්‍ර සම්බන්ධකම් යලි පනගැන්වීම” අවධාරනය කල මෙම වාර්තාව, “විපක්ෂ නායකයා ලෙස සිටිය දී අගමැති රනිල් වික‍්‍රමසිංහ, [සහකාර රාජ්‍යලේකම්] බිස්වාල් හා මෙරට හිටපු තානාපති මිචෙල් සිසන් ද ඇතුලු, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවැත්වූ පලදායී සාකච්ඡාවන්හි ප‍්‍රතිපලයක්” බව පැහැදිලි කලේය.

වොෂින්ටනයේදී වික‍්‍රමසිංහ පැවැත්වූ ඉහල පෙලේ රැස්වීම් පිලිබඳ තවත් තොරතුරු ද එහි ඇතුලත් විය. “පසුගිය අපේ‍්‍රල් මාසය තුල එක්සත් ජනපදයේ සිටියදී වික‍්‍රමසිංහ, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙනේට් සභාවේ ද නියෝජිත මන්ත‍්‍රන සභාවේ ද සාමාජිකයින් හමුවී ඔවුන් සමග ශ‍්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිලිබඳව සාකච්ඡා පවත්වා තිබේ.”

යලි මෙරටට පැමිනි පසුව වික‍්‍රමසිංහ, මැයි 22දා ඇමරිකානු තානාපති සිසන්, එජාප පක්ෂ මූලස්ථානයේදී හමුවිය. එවක මාධ්‍ය වාර්තාවකට අනුව, සාකච්ඡාව පැවැත්වුනේ, “ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිලිබඳවය.”

පසුගිය වසරේ සිදුවූ වික‍්‍රමසිංහගේ දිගු ඇමරිකානු සංචාරය ගැන එජාප කල නිවේදනය සඳහන් කලේ එය, මැසෙචුසෙට්ස් තාක්ෂනික ආයතනයේ හා හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන චාරිකාවක් ලෙසය. එය වනාහි, රාජපක්ෂ බලයෙන් පහ කරන්නේ කෙසේ ද යන ඔවුන්ගේ පොදු අරමුන, එනම්, “ශ‍්‍රී ලංකාවේ දේශපාලන අනාගතය” පිලිබඳව රාජ්‍ය දෙපාර්තමේන්තු හා ධවල මන්දිර නිලධාරීන් සමග පැවැත්වූ දිගු සාකච්ඡා හුදෙක් වසං කිරීමක් බව පැහැදිලිය. ඇමරිකානු තානාපති සිසන් මෙම රැස්වීම් සම්බන්ධීකරනය කලාය.

මෙරට පැවති දිගු වර්ගවාදී යුද්ධයේදී බෙදුම්වාදී එල්ටීටීඊය මිලිටරිය විසින් පරාජයට පත්කල 2009 පටන්ම ඇමරිකාව, බීජිනය සමග පැවති රාජපක්ෂගේ බැඳීම් සිඳලන ලෙස ඔහුට බල කරමින් සිටියේය. යුද්ධයට පූර්න සහාය දෙමින් සිටි වොෂින්ටනය, රාජපක්ෂ ආන්ඩුව චීනයෙන් ඈත් කිරීම පිනිස ඔහුට බලකිරීමේදී, මිලිටරියේ යුද අපරාධ ගසා කමින් ඒවා ඔහුට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීමේ තර්ජනයක් ලෙස ඒවා නරුම ලෙස යොදා ගත්තේ ය.

රාජපක්ෂ වොෂින්ටනය හා බීජිනය අතර තුලනය වීමට උත්සාහ කලත් ඇමරිකාව, එය නොඉවසන බව පැහැදිලි කලේ ය. පසුගිය වසරේ මාර්තුවේදී වොෂින්ටනය, මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ යෝජනාවක් ගොනු කිරීමට කටයුතු කරමින් සිය නොඉවසිල්ල ප‍්‍රදර්ශනය කලේය. වික‍්‍රමසිංහගේ ඇමරිකානු සංචාරය හා සාකච්ඡා පැවැත්වුනේ අපේ‍්‍රල් මාසයේදීය.

කුමන්ත‍්‍රනයේ අනෙක් ප‍්‍රමුඛ චරිතය වූ කුමාරතුංග, රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් හා හිටපු නායිකාව ලෙස, ආන්ඩුවෙන් ඉවත්ව එජාපයේ ද සහාය ඇතිව විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා සිරිසේන එකඟකර ගැනීමේ ගනුදෙනුව කිරීමට සමත්වූවාය. ක්ලින්ටන් පදනම සමග ඇයට පැවති සම්බන්ධකම් හරහා, වොෂින්ටනය හා ධවල මන්දිරය සමග ඇය සමීප සම්බන්ධකම් ඇතිකරගෙන සිටියි. ඔබාමාගේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් “ආසියාවට හැරීමේ” පිලිවෙතේ නිර්මාතෘය. ඇය මේ පිලිවෙත මත මෙරට ද ඇතුලුව කලාපයේ සියලු තැන්වල කූට මැදිහත්වීම් වලට දැඩි ලෙස සම්බන්ධව සිටියාය.

පෙබරවාරි 03දා සිරස රූපවාහිනය සමග පැවති දිගු හමුවකදී කුමාරතුංග, සිය භූමිකාව පිලිගනිමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන ඉදිරියට ගෙන ඒමේ මෙහෙයුමෙහි ප‍්‍රධාන චරිතය තමා බව ඇය කියා සිටියාය. රාජපක්ෂට එරෙහිව මැදිහත්වන ලෙස බොහෝ දෙනා තමාගෙන් ඉල්ලා සිටි බව ඇය පැවසුවාය. “මේ පිලිබඳව විදේශ රටවල් දැඩි ලෙස (මා වෙත) යෝජනා ඉදිරිපත් කලේය.” ඇය වැඩි විස්තර කීම හෝ එම රටවල් කවරේදැයි කීම ප‍්‍රතික්ෂේප කල නමුත් ඇමරිකාව ඉන් එකක් බව පැහැදිලිය.

එජාප නායකයින් වන කරු ජයසූරිය, මංගල සමරවීර හා රවි කරුනානායක විසින් ඇමරිකානු හා බි‍්‍රතාන්‍ය ඉහල පෙලේ රාජ්‍යතාන්ත‍්‍රකයින්ට, මැතිවරනය සඳහා විපක්ෂයේ සැලසුම් දැනුම් දුන්නේය.

පෙබරවාරි 08දා සන්ඬේ ටයිම්ස් කතුවැකිය පැවසුවේ, “මෙරට හිටපු එක්සත් ජනපද තානාපති විපක්ෂයට, විශේෂයෙන්ම විපක්ෂයේ නායකයා (වික‍්‍රමසිංහ) වෙත සමීප වූ බව ප‍්‍රසිද්ධ රහසකි.” එසේම හිටපු ජනාධිපති රාජපක්ෂ සමග කටයුතු කිරීමෙන් ඇය ඈත්ව සිටියාය.

මෙම පාලන තන්ත‍්‍ර වෙනස්කිරීමේ මෙහෙයුම ක‍්‍රියාවට නැගීමේදී විරුද්ධ පක්ෂ, රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමෝපායන් හා කප්පාදු පිලිවෙත් කෙරෙහි කම්කරුවන්, තරුනයින් හා පීඩිත ජනතාව අතර පැවති ගැඹුරු විරුද්ධත්වය ගසාකෑවේය. “රාජපක්ෂගේ ඥාති මිත‍්‍ර සංග‍්‍රහයට හා ආඥාදායකත්වයට” එරෙහිව සටන්වදින බවත් ජනතාව සඳහා ආර්ථික සහන පිරිනමන බවත් සිරිසේන කියා සිටියේය.

සිරිසේන හා වික‍්‍රමසිංහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යයි ප්‍රෝඩාකාරී ලෙස පින්තාරු කල නව සමසමාජ පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන මෙම ඇමරිකානු ගැති ව්‍යාපාරයට ඉමහත් ලෙස උදව් කලේය. රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්ව සිටි සිරිසේන, ආන්ඩුවේ සියලු කම්කරු විරෝධී ප‍්‍රතිපත්ති වල වගකීම දරා සිටියි. එසේම වික‍්‍රමසිංහගේ එජාපය, කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කල ප‍්‍රහාර සම්බන්ධ දිගු ඉතිහාසයකට හිමිකම් කියයි.

සිරිසේන බලයට පත්කිරීමට උදව් කල ඇමරිකාව දැන්, මෙරට සමග සිය සම්බන්ධකම් වේගයෙන් පරිවර්තනය කිරීමට උත්සාහ ගනියි. ඉන්දියාවට කල මෑත සංචාරයේදී ඔබාමා පැවසුවේ, “අද දිනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ නව බලාපොරොත්තු දැල්වෙමින් ඇති මේ කලාපය තුල, බුරුමයේ සිට ශ‍්‍රී ලංකාව දක්වා වන රටවලට, යහපත් අනාගතයක් ගොඩනගා ගැනීම සඳහා උදව් කිරීමේදී ඉන්දියාවට ධනාත්මක ක‍්‍රියාකලාපයක් ඉටුකල හැකි” බවය.

ජාතික ආරක්ෂක මූලෝපාය පිලිබඳ බෲක්ලීන් ආයතනයේ කථාවක් කරමින් ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශක සුසානා රයිස් ද එවැනිම ප‍්‍රකාශයක් කලා ය: “බුරුමය, ටියුනීසියාව හා ශ‍්‍රී ලංකාව වැනි සංක‍්‍රමනික රටවලට, වඩා විවෘත, වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා වඩා පුලුල් සමාජයන් බවට පත්වීම සඳහා අපි උදව් කරන්නෙමු. පල්ලම් බැසීමේ අන්තරායට මුහුනදී සිටින තැන්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් පිහිටුවීමට අපි සහාය දෙන්නෙමු.”

වොෂින්ටනයේ කුමන්ත‍්‍රන වලට, මෙරට හෝ ලෝකයේ අන් කවර තැනකහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නගා සිටුවීම සමග කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත. ඒ වෙනුවට ඇමරිකාව උත්සාහ කරන්නේ, ග‍්‍රහ ලෝකය පුරාම, විශේෂයෙන්ම චීනයට එරෙහිව ආසියාව තුල, සිය ආධිපත්‍යය සහතික කර ගැනීමටය. ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග හරහා මූලෝපායික ලෙස මෙරට පිහිටීම, චීනයට එරෙහි පෙන්ටගනයේ යුද සැලසුම්වල තීරනාත්මක සාධකයක් වේ. නව ආන්ඩුව, ඇමරිකාවේ අවශ්‍යතා සමග පෙලගැසීමට ඇති සිය සූදානම පෙන්නුම් කිරීමේදී අනලස්ව කි‍්‍රයා කරයි. විදේශ ඇමති සමරවීර, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවී සමීප සම්බන්ධතා පිලිබඳව සාකච්ඡා කිරීමට මේ සතිය තුල වොෂින්ටනයට යයි.

යුකේ‍්‍රනය මුල් කරගෙන රුසියාව සමග ඉව බව නැති ගැටුමකට තල්ලු වෙමින් ඇමරිකානු අධිරාජ්‍යවාදය, යුරෝපය යුද්ධයක මුවවිටට ගෙනැවිත් ඇත. චීනයට එරෙහි වොෂින්ටනයේ ආක‍්‍රමනික පිලිවෙත් එවැනිම අනතුරු මතු කරයි. මෙරට ද ආසියාවේ හා ලෝකය පුරා ද කම්කරුවන් අවශ්‍ය නිගමන හා පාඩම් උපුටා ගනිමින්, ධනවාදයටත් යුද්ධයේ මූල සාධකය වන එහි යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතියටත් අවසන් තිත තබන ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය.

Share this article: