සිරිසේන ආන්ඩුව මිලිටරි-පොලිස් මර්දනකාරී පාලනය ඉදිරියට ගෙනයෑමට සපථ වෙයි

සමන් ගුනදාස විසිනි, 2015 පෙබරවාරි 16

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා “යහපාලනය” පිලිබඳව කන් බිහිරි කරවන පච ප‍්‍රචාරයක යෙදෙමින් ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ පිටුබලය ඇතිව බලයට පැමිනි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ආන්ඩුව මේ වන විට මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් පවත්වා ගෙන යනු ලැබූ මිලිටරි – මර්දනකාරී පාලනය අඛන්ඩව ගෙන යෑමට ක‍්‍රියා කරමින් සිටියි.

සිරිසේන ආන්ඩුව විසින් වැඩ කරන ජනයාට එරෙහිව දිගටම ක‍්‍රියාවට දැමෙන මෙම මර්දනකාරී පියවර මෙසේය:

• උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්ගේ මිලිටරි වාඩි ලෑම අඛන්ඩව ගෙන යාම.

• රට පුරා මහජන උද්ඝෝෂන ආදියට එරෙහිව මිලිටරිය ඕනෑම අවස්ථාවක කැඳවීමට අවශ්‍ය වන පොලිස් බල තල දිගටම මිලිටරියට ලබා දීම. සෑම දිස්ති‍්‍රක්කයකම මිලිටරිය සීරුවෙන් තැබීමේ ගැසට් පත‍්‍රය පෙබරවාරි 2 දින ජනාධිපති සිරිසේන ගේ අත්සනින් නිකුත් කෙරිනි.

• වරෙන්තුවකින් තොරව සැක කරුවෙකු පොලිස් අත් අඩංගුවේ තබා ගත හැකි කාලය පැය 48 ලෙස දිගටම පවත්වා ගෙන යාම. මෙම පනත ඉදිරි වසර දෙකකට බලපාන ලෙස පෙබරවාරි 6 දින බල ගැන්විනි.

සිරිසේන ආන්ඩුවේ රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන සිය ධුරයේ වැඩ බාර ගත් පසුව කරමින් සිටින මූලික කටයුත්තක් වන්නේ උතුරු නැගෙනහිර ද ඇතුලුව රටපුරා මිලිටරි කඳවුරු වලට ගොස් ඒවා පිරික්සීම හා භටයන් දිරිදීමය. ඒ අතරම ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඞී බස්නායක ද මහනුවරදී මහ නායක භික්ෂූන් හමුවී උතුරු නැගෙනහිර හමුදා ආරක්ෂාව අඩු නොකරන බව අවධාරනය කලේ ය.

මෙලෙස මිලිටරිය උතුරු නැගෙනහිර පවත්වා ගෙන යෑම යුක්තිසහගත කර ඇත්තේ, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) විදේශයන්ගේ සංවිධානය වී යලි හිස එසවීමට එරෙහිව බවට, රාජපක්ෂ ආන්ඩුව කරගෙන ගිය ප‍්‍රචාරයම යොදා ගනිමිනි. සිරිසේන ආන්ඩුවට දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලබා දීමට හෝ සමාජ ආර්ථික ප‍්‍රශ්න විසඳීමට හැකියාවක් නොමැත. එබැවිනි එල්ටීටීඊ භීතිය ඉදිරියට දමා ඇත්තේ. ජාතික හෙල උරුමය වැනි වර්ගෝත්තමවාදී සංවිධාන සිරිසේන ආන්ඩුව තුල ප‍්‍රමුඛ ක‍්‍රියා කලාපයක් ඉටුකරයි. දෙමල විරෝධී ස්වෝත්තමවාදය පවත්වාගෙන යෑම කම්කරු පන්තිය ජාතික රේඛා ඔස්සේ බෙදා තැබීමේ මෙන්ම මර්දනය කිරීමේ ද විසකුරු ආයුධය ලෙස සිරිසේන ආන්ඩුව ද යොදා ගන්නා බව උතුරු-නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලා ගැනීම අඛන්ඩව තර කර තබා ගැනීමට ගෙන ඇති තීන්දුවෙන් පෙන්නුම් කෙරේ.

මෙහිදී ව්‍යාජ වමෙන් සිරිසේන ආන්ඩුවට ලැබෙන සහය තීරනාත්මකව විසකුරු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳව කෑ මොර දෙන ගමන් සිංහල ජනයාගේ ඡන්ද ලබා ගැනීම එල්ල කර ගෙන උතුරින් හා නැගෙනහිරෙන් මිලිටරිය ඉවත් නොකරන බව සිරිසේන සිය ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල දී පුන පුනා සඳහන් කලේ ය. දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කිඹුල් කඳුලු හලන නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ වම්මුන්ට සිරිසේනට සහය දීම සඳහා එය කිසිම බාධාවක් වූයේ නැත. දැන් බලයට පැමිනි පසු සිරිසේනගේ ආන්ඩුවේ රාජ්‍ය ආරක්ෂක ඇමති හා ආරක්ෂක ලේකම් මේ පොරොන්දුව එලෙසම ක‍්‍රියාත්මක කරන බව ප‍්‍රකාශ කරද්දී නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න ජාතික විධායක සභාවේ සිට විවෘතවම සිරිසේන ආන්ඩුවට සහය වී සිටියි.

උතුරෙන් නැගෙනහිරෙන් හමුදාව ඉවත් කල යුතු බවට දිගින් දිගටම උද්ඝෝෂනය කලේත් සිරිසේන පිහිටුවන ආන්ඩුවකින් දෙමල ජනයා සඳහා නාමික ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හෝ නොලැබෙන බව අවධාරනය කලේත් සමාජවාදී සමානතා පක්ෂයම පමනි.

මිලිටරියට පොලිස් බලතල දීම පසුගිය රාජපක්ෂ ආන්ඩුව විසින් යුද්ධ සමයේ හා ඉන් පසුවත් රට පුරාවටම යොදවනු ලැබිනි. එල්ටීටීඊ ට එරෙහි යුද්ධය අවසන් කර වසර දෙකකින් 2011දී හදිසි නීතිය ඉවත් කලද මහජන ආරක්ෂක පනත යටතේ මිලිටරියට පොලිස් බලතල පවරා දීම මාසිකව අඛන්ඩව සිදු කෙරිනි.

තම අර්ථසාධක අරමුදල රැක ගැනීමට සටන් වැදුනු නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට, ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව විරෝධය පෑ ධීවරයන්ට හා පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු රතුපස්වල ජනයාට ද එරෙහිව පොලීසිය හා මිලිටරිය පස් දෙනෙකු ඝාතනය කල ප‍්‍රහාරයකට මෙහෙය වීමට රාජපක්ෂ ආන්ඩුව යොදා ගත්තේ මෙම මර්දනකාරී නීතිය. මෙලෙස ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දනකාරී හස්තයකින් පාලනය ගෙන ගිය රාජපක්ෂ ආන්ඩුවට විකල්පව ප‍්‍රජාතන්ත‍්‍රවාදී “යහ පාලනයක්” තහවුරු කරන බවට ප‍්‍රතිඥා දුන් සිරිසේන දැන් මෙම නීති එලෙසින්ම පවත්වා ගෙන යන්නේ අහම්බයකින් හෝ යම් නොතැකීමකින් යයි යමෙක් සිතත් නම් එය මුලාවකි.

රාජපක්ෂ ආන්ඩු සමයේදී පොලීසි තුල සිදු කල වධ දීම් හා ඝාතන එලිදරව් වූයේ වරක් දෙවරක් නොවේ. මෙම සිද්ධීන් වලට එරෙහිව ප‍්‍රදේශබද ජනයා පොලිසි වටලා උද්ඝෝෂනය කලහ. වරෙන්තුවකින් තොරව පැය 48ක් පොලිසි තුල රඳවා ගැනීම අවශ්‍යවන්නේ මෙම පොලිස් මර්දනය දිගටම පවත්වා ගැනීමටය. සමාජ-ආර්ථික පීඩනයට එරෙහිව නැගෙන මහජන කෝපය පොලිස් භීෂනය යොදා යටපත් කිරීම මෙම නීති පවත්වා ගැනීමට සිරිසේන ආන්ඩුවට පවතින අවශ්‍යතාවයයි.

උතුරු නැගෙනහිර මෙන්ම සෙසු පලාත් වල ජනයාට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව ගෙන ගිය මිලිටරි-පොලිස් මර්දනයේ ප‍්‍රධාන හවුල්කරුවෙකු ලෙස එම ආන්ඩුවේ ප‍්‍රමුඛ කැබිනට් ඇමතියෙකු ලෙස ක‍්‍රියා කල සිරිසේන එම මර්දනයට වගකිව යුත්තෙකු පමනක් නොව දැන් එම මර්දනය නව වටයකින් දෙමල ජනයා ඇතුලු වැඩ කරන ජනතාව මතට දිගේලි කිරීමට සූදානම් වෙයි.

ජනවාරි 31දා පොලිස් අත් අඩංගුවේ සිටි දෙමල තරුනයෙකු මරනයට පත්වීමට එරෙහිව තලවකැලේ ප‍්‍රදේශයේ උද්ඝෝෂනය කල වතු කම්කරුවන් ගනනාවක් අත් අඩංගුවට ගෙන සිරගත කිරීම ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මධ්‍යම කාරක සභිකයෙකු වන කුමාර් ගුනරත්නම් පසුගිය ජනවාරි 29දින අත්අඩංගුවට ගැනීමට තැත් කිරීම ද ඇතුලුව එම පක්ෂයට එල්ල කර ඇති තර්ජනය ද මගින් සිරිසේන ආන්ඩුව යටතේ සූදානම්වන මර්දනකාරී පාලනය පිලිබඳ ආරම්භක සංඥාවන් ය.

ලෝකය පුරා කම්කරු පීඩිත ජනයා ගේ ජීවන මට්ටම් කප්පාදු කිරීම සඳහා කොන්දේසි පැනවීම පිලිබඳව කුප‍්‍රකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) සමග සිරිසේන ආන්ඩුවේ මුදල් ඇමති රවි කරුනානායක විසින් සාකච්චා අරඹනු ලැබුවේ මෙම ආන්ඩුව බලයට පත්වී සති දෙකක් ඉක්ම යාමටත් පෙරාතුවය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනය එල්ල කර ගනිමින් සොච්චම් සහන කිහිපයක් සහිත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කර එය ඔජ වැඩ වූවද ජාමූ අරමුදලේ මෘග කොන්දේසි කම්කරු පීඩිත ජනයා මත රුදුරු ලෙස පැටවීමට වැඩි කලක් ගත නොවනු ඇත.

අන්තර්කාලීන අයවැයෙන් පොහොසතුන් මත පැනවූ තාවකාලික බදු පිලිබඳව මුදල් ඇමති වෙලඳ මන්ඩල ඉදිරියේ සපථ කලේ ඒවා අතිශයින්ම තාවකාලික බැවින් ආන්ඩුව පිලිබඳව වරදවා වටහා නොගත යුතු බවයි. අගමැති රනිල් වික‍්‍රමසිංහ කෝපරේට් ධනපතියන්ගෙන් ඉල්ලා සිටියේ වසරක් ඉවසන ලෙසයි. 2001-2004 සමයේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිව පාලනය ගෙන යන විට ඔහු ජාමු අරමුදලේ පූර්න අනුබලය සහිතව ක‍්‍රියාවට දැමූ “යලි පුබුදමු ශ‍්‍රී ලංකා” වැඩ පිලිවෙල කෙතරම් පීඩනයක් මහජනයා මතට පාත් කලාද යත් ඉන්පසු එලඹි ජනාධිපතිවරනයෙන් ඔහුට තියුනු පරාජයක් අත් වීමට එය ඉවහල් වූ බව නොරහසකි.

සිරිසේනගේ ආන්ඩුවේ ප‍්‍රධාන කොටස්කරු වන ඇමරිකානු ගැති දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ මහ ධනේශ්වර ව්‍යාපාරිකයන්ට මිතුරු ආර්ථික වැඩ පිලිවෙල ජාමූ අරමුදලේ නිර්දය නිර්දේශ සමගින් වැඩ කරන ජනයාගේ ජීවන තත්වයන්ට පහර දීම සඳහා දිගේලි කිරීම මෙම මිලිටරි-පොලිස් මර්දන නීති පවත්වා ගැනීමේ ප‍්‍රධාන එල්ලයකි.

Share this article: