එක්සත් ජනපද ඉහල රාජ්‍යතාන්ත‍්‍රිකයා ශ‍්‍රී ලංකාවේ නව ආන්ඩුව ඉහලින්ම වර්නනා කරයි

Top US diplomat heaps praise on new Sri Lankan government

දීපාල් ජයසේකර විසිනි, 2015 පෙබරවාරි 06

ඇමරිකාවේ දකුනු ආසියානු සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් මේ සතිය තුල මෙරට කල සංචාරය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති වූ පසුව කොලඹ ආන්ඩුව කෙරෙහි වොෂින්ටනයේ වෙනස් වූ ආකල්පයයි.

චීනය සමග රාජපක්ෂ ආන්ඩුව ගොඩනගා ගෙන සිටි සමීප සම්බන්ධතා හේතුකොටගෙන ඔබාමා පාලනාධිකාරය දැඩි ලෙස ඔහුට සතුරුවූ අතර සිරිසේනගේ මැතිවරන ව්‍යාපාරයට සහය දැක්වීය. ක්ලින්ටන් පදනම හරහා ඔබාමා පාලන තන්ත‍්‍රය සමග සබඳතා ගොඩනගාගෙන ඇති හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, සිරිසේන ආන්ඩුවෙන් ඉවත් කර ඇමරිකානු ගැති එජාප ය ද ඇතුලු විපක්ෂයේ සහාය ඔහු වටා ගොනු කිරීමට මූලිකත්වය ගත්තාය.

මැතිවරනයෙන් පසුව සිරිසේන, මෙරට විදේශ පිලිවෙත වේගවත් ලෙස බීජීනයෙන් ඉවතට සහ වොෂින්ටනය හා නවදිල්ලිය දෙසට හරවා ඇත. කලාපය පුරා ඇති චීනයේ බලපෑම වල පල්ලට යවා මිලිටරිමය වශයෙන් එරට වටලෑම ඉලක්ක කරගත් ඔබාමාගේ “ආසියාවට හැරීම” සමග මෙය සම්පූර්නයෙන්ම පෙල ගැසී ඇත.

බිස්වාල් සිය සංචාරය අතරතුර ජනාධිපති සිරිසේන, අග‍්‍රාමාත්‍ය සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම් සහ මෙරට ප‍්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන දෙමල ජාතික සංධානයේ (ටීඑන්ඒ) නියෝජිතයන් හමුවිය.

උද්දාමයෙන් යුතුව නව ආන්ඩුව පැසසූ බිස්වාල්, “ජනවාරි 8 ඓතිහාසික මැතිවරනය තුලින් ශ‍්‍රී ලංකාවේ ජනතාව පල කල උද්යෝගිමත් හා ශුභවාදී ප‍්‍රතිචාරය සියැසින්ම දැක බලා ගැනීම සඳහා කොලඹට පැමිනීමට ලැබීම ගෞරවයක් වුනා” යැයි පැවසීය. ඇය පැමින තිබුනේ, වොෂින්ටනයේ අනුග‍්‍රහය ඇතිව සිදුවූ පාලන තන්ත‍්‍ර වෙනසේ ප‍්‍රතිපල විමසා බැලීමට සහ ආසියාවේ එක්සත් ජනපද යුද වැඩපිලිවෙලට කොලඹ ඈඳා ගැනීමට ය.

බිස්වාල් තව දුරටත් මෙසේ පැවසීය: “ශ‍්‍රී ලංකාවට පැමිනීමට ලැබීමෙන් මා දිරිමත් වූ අතරම, ශ‍්‍රී ලංකාව සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලෝකයා නිවැරදිව පවසන සියල්ලෙහි ශක්තිය සියැසින්ම දැකගතහැකි වුනා.” මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ ඇගේ ප‍්‍රකාශය මුලුමනින්ම නරුම එකකි. වොෂින්ටනය රාජපක්ෂට විරුද්ධ වුනේ ඔහුගේ අත්තනෝමතික පිලිවෙත් නිසා නොව ඔහු චීනය සමග පෙලගැසීම නිසා ය. ඇමරිකාව දැන් වැලඳගෙන සිටින සිරිසේන සම්බන්ධයෙන් ගත් විට ඔහු, සති ගනනාවකට පෙර රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ අතර එහි සියලු අපරාධ සහ අවභාවිතයන් පිලිබඳව වගකිවයුතු අයෙකි.

විදේශ අමාත්‍ය සමරවීර සමග එක පෙලට සිටිමින් බිස්වාල් නව ආන්ඩුවට පූර්න සහාය පල කලාය. “ශ‍්‍රී ලංකාවේ ඉදිරි මග තුලදී මිතුරෙකු සහ සගයෙකු ලෙස එක්සත් ජනපදය ගැන විශ්වාසය තැබිය හැකි” යයි ඇය පැවසුවාය. මෙය එක්සත් ජනපද ආකල්පයේ පූර්න වෙනසකි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරහි යුද්ධයට පූර්න සහයෝගය දුන් වොෂින්ටනය, 2009 එහි පරාජයෙන් පසුව හමුදාවේ යුද අපරාධ, චීනය සමග සම්බන්ධතා බිඳ දැමීමට රාජපක්ෂ වෙත බලකිරීම සඳහා යොදා ගත්තේය.

සිවිල් යුද්ධය අවධියේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ පරීක්ෂනයක් ඉල්ලන යෝජනා මාලාවක් ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුලින් ගෙන ඒමට මුල් විය. එය මෙරට දේශපාලන හා මිලිටරි නායකයන්ට එරහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ තර්ජනයකි. දැන් රාජපක්ෂ ඉවත්කොට ඇත. එක්සත් ජනපදය සිය නව “සහකරුවා සහ මිතුරා” වැලඳගැනීමත් සමග “යුද අපරාධ” ප‍්‍රශ්නය මැකී යනු ඇතැයි කෙනෙකුට කිව හැක. රාජපක්ෂ සහ ඔහුගේ හෙංචයියන් නව ආන්ඩුව අස්ථාවර කිරීමෙන් වැලක්වීමට සහ සිරිසේන තම පිලේ රඳවා ගැනීමට උපකාරී වනතාක් ඇමරිකාව සිය “මානව හිමිකම්” ප‍්‍රශ්නය යොදාගනු ඇත.

පසුගිය වසරේ මාර්තුවේ මානව හිමිකම් කොමිසම හමුවට ඇමරිකාවේ අනුග‍්‍රහය ඇතිව ගෙන ආ යෝජනාව අනුව මෙරට යුද අපරාධ ගැන පිහිටවූ ජාත්‍යන්තර පරීක්ෂනයේ වාර්තාව ලබන මාර්තුවේදී ඉදිරිපත් වීමට නියමිතය. “අභ්‍යන්තර පරීක්ෂනයක්” සිදු කරන බවට පොරොන්දුවෙමින් සිරිසේන ආන්ඩුව, ජාත්‍යන්තර පරීක්ෂනය ඉවත දමන ලෙස එක්සත් ජනපදයෙන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත. “මානව හිමිකම්” පිලිබඳ මේ සියලු උපාමාරු වල නිරතව සිටින එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමයේ එහි විවිධ සහචරයින් කිසිවෙකුටත්, ආරක්ෂක හමුදාවේ ගොදුරු බවට පත් වූවන් හෝ මරා දැමුනු දස දහස් ගනන් සිවිල් වැසියන්ට යුක්තිය ඉටු කිරීම පිලිබඳ සුලු හෝ තැකීමක් ඇත්තේ නැත.

“ඉදිරියට අසීරු කටයුතු විශාල ප‍්‍රමානයක් සහ දුෂ්කර අභියෝග සමහරක්” ඇති බව සඳහන් කරන අතරතුර බිස්වාල්, සිරිසේන ආන්ඩුව දැනටමත් ගෙන ඇති “බොහෝ ධනාත්මක පියවරයන්” සම්බන්ධයෙන් ප‍්‍රශංසා කලාය. ඇය අදහස් කල “ධනාත්මක පියවරයන්” නම්, සියල්ලටත් වඩා විදේශ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයට සම්බන්ධ කරුනුය. සිරිසේන ඇමරිකානු ගැති එජාප නායක වික‍්‍රමසිංහ අගමැති ලෙස පත් කල අතර, දකුනු ආසියාවේ එක්සත් ජනපද ප‍්‍රධාන මූලෝපායික සහචරයා වන ඉන්දියාව සමග පලුදුවී තිබුන සම්බන්ධතා පිලිසකර කර ගැනීමට දැනටමත් යොමුවී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය සමරවීර සති දෙකකට පෙර ඉන්දියාවේ සංචාරය කල අතර, සිරිසේන පෙබරවාරි 16 වනදා නව දිල්ලියට යාමට නියමිත ය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මුනගැසීම සඳහා සමරවීර පෙබරවාරි 12 වන දින එක්සත් ජනපදයට යනු ඇත. බීජිනයට විශාල ආර්ථික සහ මූලෝපායික සහන ලබා දුන් රාජපක්ෂගේ ප‍්‍රතිපත්ති සමාලෝචනය කිරීමට ඇති සිය සූදානම පිලිබඳව නව ආන්ඩුව දැනටමත් ඇඟවුම් කර ඇත.

බි‍්‍රතාන්‍යයත් නව රජයට ප‍්‍රසංශා කලේය. ජනවාරි 31දා නිමාවූ දෙදින සංචාරය තුල එරට කනිෂ්ට විදේශ අමාත්‍ය හියුගෝ ස්විරි, සිරිසේන, වික‍්‍රමසිංහ සහ තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වරුන් කිහිප දෙනෙක් හමුවිය. “ශ‍්‍රී ලංකාවට දීර්ඝ කාලීන සාමයක් ගෙන ඒමටත්, ප‍්‍රජාවන් සමාදාන කරන්නටත් අලුතින් හටගත් අභිලාෂයන් දකින්නට ලැබීම දිරිගන්වන සුලුයයි” පවසමින් ඔහු ආන්ඩුවේ ප‍්‍රතිපත්ති පැසසීමට ලක් කලේය.

වොෂින්ටනයේ විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතය තුල ශ‍්‍රී ලංකාව සම්බන්ධ ආකල්පමය වෙනස කැපී පෙනෙන්නක්. බ්රූකින් ආයතනයට යොමු කල “උපදේශාත්මක ලිපියක” කොලඹ හිටපු එක්සත් ජනපද තානාපති තෙරෙසිටා ස්කැෆර්, ශ‍්‍රී ලංකාවේ “මානව හිමිකම් පිලිබඳව සද්දය” අඩු කරගන්නා ලෙස දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

ස්කැෆර් මෙසේ ප‍්‍රකාශ කලාය: “ඔහුගේ [සිරිසේනගේ] ජයග‍්‍රහනය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සමග ශ‍්‍රී ලංකාවේ සබඳතා යලි පිහිටුවා ගැනීමට අවස්ථාවක් උදාකර ඇත. මෙය කිරීමට ඔහුට සහ ඔහුගේ විදේශීය මිතුරන්ට ප‍්‍රඥාව සහ නිර්මානශීලීත්වය අවශ්‍ය වන අතර සභාගය එකමුතුව තබා ගැනීම සඳහා ඔහුගේ සියලුම දේශපාලන හැකියාවන් අවශ්‍ය වනු ඇත. නව කන්ඩායම සමතුලිත වන තෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාව පිලිබඳ යෝජනාව ගැන ක‍්‍රියා කිරීම අත් හිටුවීම හොඳ ආරම්භයක් වනු ඇත.”

දේශපාලන, මිලිටරි සබඳතා පිලිබඳ හිටපු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කාරා බූ හා දක්ෂිනාංශික හෙරිටේජ් පදනමේ ලීසා කර්ටිස් සමග සම කතෘත්වයෙන් හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ් වෝල් ස්ටී‍්‍රට් ජර්නලයේ පලකල ප‍්‍රකාශයකින් සිරිසේනට සහාය දීම පිටුපස ඇති එක්සත් ජනපද අභිප‍්‍රායන් එක එල්ලේ පවසා ඇත.

ලිපිය මෙසේ ප‍්‍රකාශ කරයි: “මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම, මෙන්ම වෙලඳාම හා කලාපීය ආර්ථික ඒකාග‍්‍රතාවය ද ඉන්දු-ශාන්තිකර සුරක්ෂිත භාවය ඇතුලු ඇමරිකා එක්සත් ජනපදයේ පුලුල් අවශ්‍යතා මාලාවක් පිලිබිඹු කරන ශ‍්‍රී ලංකාව සමග බැඳීම් නැවත පනගැන්වීම සඳහා මාර්ග සිතියමක් නිර්මානය කරගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට දැන් කාලය උදාවී තිබෙනවා.

“එක්සත් ජනපද - ශ‍්‍රී ලංකා සබඳතා නැවත පිහිටුවා ගැනීමේ සැලසුම් වලින් තොරවූ කල වොෂින්ටනය, මූලෝපායිකව පිහිටා ඇති මිලියන 21 ජනගහනයක් සහිත දිවයින සමග බැඳීම් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාව අනතුරට ලක් කරයි. ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ගොඩනැගීමේදී දිගු පියවරක් ඉදිරියට ගෙන තිබේ. සිරිසේන මහතා යටතේ ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ චීන මුතු පොටින් ඉවත් වීමට පියවර ගනිමින් තිබේ.”

බිස්වාල්ගේ සංචාරය පැහැදිලිවම මූලෝපායික පිහිටීමක් සහිත දිවයින සුරක්ෂිත කර ගැනීමේ උවමනාව වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සමග එක්සත් ජනපද සබඳතා ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා සිදුවූවකි. ඉන්දියානු සාගරය හරහා සිදුවන තීරනාත්මක නව මුහුදු මාර්ග ආරක්ෂා කිරීම ඉලක්ක කර ගත් වරාය පහසුකම් සඳහා සිය “මුතු පොට” ව්‍යාපෘතියේ කොටසක් ලෙස හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනය මුදල් යොදවා ඇත.

අප‍්‍රිකාවෙන් සහ මැදපෙරදිගින් ආනයනය කරන අත්‍යවශ්‍ය සැපයුම්, බල ශක්තිය සහ අමුද්‍රව්‍ය පිවිසුම කපා දැමීම මගින් එක්සත් ජනපදය, සිරිසේන යටතේ ශ‍්‍රී ලංකාව, චීනය ආර්ථිකමය වශයෙන් වටලෑම අන්තර්ගත කරගත් පෙන්ටගනයේ යුද සැලසුම් තුලට වඩාත් සමීප ලෙස ඒකාග‍්‍ර වෙමින් තිබේ. මෙය දකුනු ආසියාවේත් ලෝකය පුරාත් කම්කරු පන්තියට සහ පීඩිත ජනතාවන්ට බරපතල අනතුරක් මතු කරයි.

Share this article: