සසප මැතිවරන උද්ඝෝෂකයෝ කම්කරුවන් හා දුගීන් සමග සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරති

අපේ වාර්තාකරුවන් විසිනි , 2015 ජනවාරි 07

ලංකාවේ ජනාධිපතිවරනය තුල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මැදිහත් වීම් වල කොටසක් ලෙස සසප හා සමාජවාදී සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සමාජිකයෝ පසුගිය දිනවල වනාතමුල්ල, නාරාහේනපිට, බුලත්සිංහල සහ වතු කම්කරුවන් පදිංචි හපුතලේ හා බන්ඩාරවෙල ආදී ප‍්‍රදේශ ගනනාවක උද්ඝෝෂනය කලහ.

සපස ජනාධිපතිවරන අපේක්ෂකයා ලෙස පානි විජේසිරිවර්දන ඉදිරිපත් කර ඇත. සසප මැතිවරනය තුල මැදිහත් වන්නේ වර්ධනය වන ලෝක යුද තර්ජනයට හා ජීවන කොන්දේසිවලට හා සමාජ අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ට විරුද්ධව කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස ය.

රූපවාහිනියේ විකාශය වූ සසප ජනාධිපති අපේක්ෂකයාගේ කතාවට සවන්දී තිබූ හපුතලේ වතු කම්කරුවෙකුට වත්මන් දේශපාලන තත්වය හා ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයට ඇති උත්සුකයන් වඩාත් පැහැදිලි කර දීමෙන් අනතුරුව කම්කරුවන් තුල ධනේශ්වරයට එරහිව සංවිධානය වීමට ඇති උවමනාව පිලිබිඹු කරමින් “අපි ඔක්කොම එකතු වුනොත් මේක පරාජය කරන්න පුලුවන්” යැයි ඔහු පැවසීය.

මෙම මැතිවරනයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව ඔහුගේ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වූ මෛතී‍්‍රපාල සිරිසේන ආන්ඩුවෙන් කැඩී විත් එක්සත් ජාතික පක්ෂය හා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුන්ග සමග එක්ව රාජපක්ෂට එරෙහිව තරග වදී. සිරිසේනගේ ඉදිරිපත් වීම ඇමරිකාවේ අනුදැනුම ඇතිව රාජපක්ෂ ආන්ඩුව ඉවත් කිරීම සඳහා කෙරෙන මැදිහත් වීමකි. රාජපක්ෂ ඇමරිකාව හා චීනය අතර තුලනය වීමේ විදේශ පිලිවෙතක් ගෙන යයි. ඔබාමා තන්ත‍්‍රය මෙම පිලිවෙතට සම්පූර්නයෙන්ම විරුද්ධය.

හපුතලේ වත්ත, ලැයිම් කාමරයක සිටි ගෘහනියක් සසප උද්ඝෝෂකයන් සමග පවසා සිටියේ මෙම පක්ෂ දෙක හෝ වෘත්තීය සමිති තමන්ගේ ජීවන හා සේවා කොන්දේසි පිලිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන බවය. “වැස්ස කාලෙට ගේ ඇතුලට වතුර එනවා. වහලෙන් වතුර කාන්දු වෙනවා. ලමයින්ට අධ්‍යාපන වැඩකටයුතු කරගන්න, අපිට ගේ දොර වැඩ කටයුතු කරගන්න විදිහක් නෑ. වෘත්තීය සමිති නායකයන්, කම්කරු කොන්ග‍්‍රස් නායකයන්, එන්නේ ඡන්ද කාලෙට විතරයි. ඇවිත් පොරොන්දු ගොඩක් දීල යනවා. ඒවා අපේ ඡන්ද ගන්න කරන දේවල් බව අපි දන්නවා. අවුරුදු ගනනකින් මේ පලාත් වල හරිහමන් සුභ සාධන කටයුත්තක් සිද්ධ වෙලා නෑ.” ඇය සසප වැඩපිලිවලට සහයෝගය පල කලාය.

බන්ඩාරවෙල නගරයේ උද්ඝෝෂනයේදී කතා කල අතැමෙක් රාජපක්ෂ විසින් කි‍්‍රයාවට නංවන ප‍්‍රහාරයන් ඔහුගේ පුද්ගලිකත්වයක් ලෙස දක්වමින් පොදුවේ දැක්වූ අදහස මෙයයි: “රාජපක්ෂ ගෙනියන්නේ පවුල් පාලනයක්. ඔවුන් එකතු වෙලා කොමිස් ගහනවා. හොරකම් කරනවා. එකයි මේ හැම ප‍්‍රශ්නෙකටම මුල.”

සසප උද්ඝෝෂකයන් පෙන්වා දුන්නේ රාජපක්ෂ ආන්ඩුවේ මෙම ප‍්‍රහාරවල හා පොලිස් පාලනයේ මූලය පවතින්නේ ජාත්‍යන්තරවම වර්ධනය වන ආර්ථික අර්බූදයේ බවයි. ඉහත අදහස් පල කල අයගෙන් ප‍්‍රකාශයට පත්වූයේ සිරිසේන ප‍්‍රමුඛ විපක්ෂය ගෙනයන ප‍්‍රචාරයේ බලපෑම යි. ඔවුහු ඇත්ත ප‍්‍රශ්න වසන් කිරීම සඳහාත් තම වැඩපිලිවෙල ආවරනය කිරීම සඳහාත් රාජපක්ෂ ඇතුලු පාලක කල්ලියේ දුෂ්ටත්වය හුවා දක්වති.

උද්ඝෝෂනයේදී හමුවූ ගුරුවරියන් දෙදෙනෙක් සාකච්චාවට එක් වූහ. එක් ගුරුවරියක් මෙසේ පවසුවා ය: “අපේ සීයල, තාත්තල, මාරුවෙන් මාරුවට ප‍්‍රධාන පක්ෂ දෙකට ඡන්ද දුන්න. මූනු මාරු වුනා විතරයි. කිසිම සාධනීය වෙනසක් අපේ ජීවිත වලට වෙලා නෑ. අනිවාර්යයෙන්ම ක‍්‍රමයේ වෙනසක් වෙන්න ඕනි.”

බුලත්සිංහල යනු අතීතයේ ට්‍රොට්ස්කිවාදී ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ ද ට්‍රොට්ස්කිවාදී කියා ගත් ලංකා සම සමාජ පක්ෂයේ ද (ලසසප) දේශපාලන අනුහසට නතු වී තිබුනු ප‍්‍රදේශයකි. ලසසපය 1964 ධනපති පක්ෂයක්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ආන්ඩුවක් පිහිටුවීමට ගත් තීන්දුවෙන් පසුව මහජනයා මෙම පක්ෂයෙන් ඉවත්වූයේ නමුදු ඇතැමෙකු තුල තවමත් සමාජවාදයට පවතින ලැදිකම එලෙසම පවතියි.

ජනාධිපතිවරනය සම්බන්ධ ව අදහස් දැක්වූ මැදිවියේ ගෘහනියක් මෙසේ පැවසූවාය: “අපිට තේරෙන විධිහට මේ ප‍්‍රධාන අපේක්ෂකයො දෙන්නම එකයි. මේ පැත්තෙ ප‍්‍රාදේශීය දේශපාලකයො හරියට දත කනව කෘතිම උනන්දුවක් හදන්න. ඒත් අපි හරියට කලකිරිල. ජනතා විමුක්ති පෙරමුන කාලයක් සන්ධානෙට හේත්තු වෙලා ඉඳල දැන් දෙපිටකාට්ටු කතා කිය කිය ඉන්නවා. අපි ජේවීපී එක ගැන කතා කරන්නෙ ඒගොල්ලොත් සමාජවාදෙ ගැන කතා කරපු හින්ද. 2008 ඉඳල කාටවත් ඡන්දෙ දුන්නෙ නැහැ. මේ පාරත් කාටවත් නොදී ඉන්නයි හිතන්නෙ. ඕගොල්ලන්ගෙ වැඩපිලිවෙල අධ්‍යයනය කරල බලනවා.” ජවිපෙ යනු කවර කලෙකවත් සමාජවාදී පක්ෂයක් නො වූ බව සසප සහෝදරවරු පෙන්වා දුන්හ.

තවත් කාන්තාවක් තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි මෙසේ විස්තර කලා ය: “බලන්න දැන් මේ ආන්ඩුව අනික් හැම දෙයක් වගේ ම දරුවන්ගෙ අධ්‍යාපනයත් අවුල් කරල. ලමයෙක් විභාගෙකට වාඩි වුනා ම නොයෙක් ප‍්‍රශ්න. ප‍්‍රශ්න පත්තර වැරදියට හදල එහෙම නැත්නම් ප‍්‍රතිඵල අසාධාරනයි. අපිට කිසිම පක්ෂෙකින් කිසිම දෙයක් ලැබිල නැහැ. අපි දාඩිය මහන්සියෙන් ලමයින්ට ඉගැන්නුව. ඒත් ඒගොල්ලන්ගෙ සුදුසුකම්වලට රස්සාවල් ලැබිල නැහැ. මේ ලඟදි මේ පැත්තෙ කාන්තාවන්ට එන්න කියල තිබුන ගෑස් ලිප් බෙදනව කියල ඡන්ද ගසාකෑම සඳහා. පෝලිම් ගැහිල සිය ගනනක් හිටිය. ඒත් කිසි දෙයක් හම්බ වුනේ නෑ. අන්තිමේ ඒගොල්ල ආන්ඩුවට දොස් කිය කියා ආපහු ගියා.” අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන එක දිගට ම කප්පාදු කිරීමට සෑම ආන්ඩුවක් ම කටයුතු කොට ඇති බවත් එය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීම පාලකයන්ගේ අරමුන බවත් සසප ආධාරකරුවෝ පැහැදිලි කලහ.

රට සංවර්ධනය කිරීම හා ඒක පුද්ගල ආදායම වැඩිකොට ආර්ථිකය වර්ධනය කිරීමට තමන් කටයුතු කොට ඇතැයි ජනාධිපති රාජපක්ෂ පම්පෝරි ගැසුවත් තමන්ට කිසිදු ප‍්‍රතිලාභයක් අත් වී නැති බව බොහෝ දෙනා ප‍්‍රකාශ කලහ. එක් වයස්ගත මවක් ප‍්‍රකාශ කලේ තමන් වසර 20ක් තිස්සේ කුලී නිවාසවල ජීවත් වන බව යි. තමන් ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බවත් ඒ නිසා මෙවර වෙනසක් බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවා ය. මෙලෙස වෙනසක් බලාපොරොත්තු වන බව කියන අය ඉන් අදහස් කරන්නේ විපක්ෂයේ “පොදු අපේක්ෂක” මෛතී‍්‍රපාල සිරිසේනට ඡන්දය ප‍්‍රකාශ කල යුතු බව යි.

සිරිසේන, ලංකාවේ විදෙස් පිලිවෙත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අවශ්‍ය ආකාරයට වෙනස්කිරීමට කැප වී සිටින අතර බලයට පත්වූවොත් රාජපක්ෂ මෙන් ම රුදුරු ලෙස ජීවන කොන්දේසි කපා දමනු ඇත. එහි යුද ධාවනය පිටුපස කම්කරුවන් හා තරුනයන් ගාල් කිරීම වෙනුවෙන් සෘජු ව පෙනී සිටින බව සසප පෙන්වා දුනි.

නාරාහේන්පිට දී සසප කන්ඩායමට නිවාඩුව ගත කිරීම සඳහා ලංකාවට පැමින සිටින ඕස්ටේ‍්‍රලියානු ජාතික තරුනයෙකු මුන ගැසුනි. පවත්නා සමාජ ක‍්‍රමය සාකල්‍යයෙන් ම අසාර්ථක ව ඇති බව ඔහු ප‍්‍රකාශ කලේ ය. ලංකාවේ මෙන් ඕස්ටේ‍්‍රලියාවේ ද ප‍්‍රධාන පක්ෂ දෙකක් තිබුන ද ඒවා අතර නිරීක්ෂනය කිරීමට තරම් ප‍්‍රතිපත්තිමය වෙනසක් නැති බව හෙතෙම කීවේ ය. සසප අදහස් කරන ආකාරයට කම්කරු පන්තිය හා තරුන ජනයා පවත්නා ක‍්‍රමය සම්බන්ධයෙන් උගන්වාගෙන සමාජය නව ක‍්‍රමයකට සංවිධානය කල හැකි යයි තමන් ද විශ්වාස කරන බව ඔහු කීවේ ය.

වනාතමුල්ල යනු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ කොලඹ නගරය නවීකරනය කිරීමේ එසේත් නැත්නම් නගරය ආයෝජකයන්ට පවරාදීමේ වැඩපිලිවෙල යටතේ නිවාස සිය ගනනක් කඩා ඉවත් කොට ඒවායේ වැසියන් වර්ග අඩි 380ක හුන්ඩු වැනි තට්ටු නිවාසවලට ගාල් කල ප‍්‍රදේශයකි. එහි දී අදහස් දැක්වූ බොහෝ ගෘහනීන් පැවසුවේ තමන්ට පවතින දේශපාලනය එපා වී ඇති බව යි. ජනවාරි 8දා කවුරුන් ජයග‍්‍රහනය කලත් තමන් මුහුන දෙන අසීරු ජීවන කොන්දේසි යහපත් අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තුවක් නොමැති බව ඔවුන්ගේ අදහස විය.

ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව මෙන් ලෝක පරිමාන ව සෑම ආන්ඩුවක් ම ධනේශ්වර ක‍්‍රමයේ ආර්ථික අර්බුදය යටතේ කම්කරු පන්තිය හා පීඩිත මහජනයා මත ප‍්‍රහාර එල්ල කිරීමේ සමාජ ප‍්‍රතිවිප්ලවයක නිරත ව සිටින බව සසප පැහැදිලි කල විට ”ඒක තමයි අපි කියන්නේ. ඔය ප‍්‍රධාන අපේක්ෂකයො දෙන්නගෙන් කවුරු දිනුවත් අපට ඇති වැඩක් නැහැ” යයි එක් ගෘහනියක් පැවසුවා ය.

නිවාසවලින් පලවා හරිනු ලැබ නව මහල් නිවාසවලට ගාල් කරනු ලැබ ඇති අයගේ කොන්දේසි පිලිබඳ ව විමසූ විට ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කලේ ලැබී ඇති නව නිවාස කිසිසේත් තමන්ට වාසයට නුසුදුසු බව බොහෝ දෙනා කියන බව යි. තමන්ගේ නිවාස ද කඩා දැමීමට නියමිත බවත් දෙන ගෙවල්වලට යාම හැර විකල්පයක් තමන්ට නැති බවත් ඔවුහු ප‍්‍රකාශ කලහ.

කොලඹ සංවර්ධනය කර ඇතැයි ද මහල් තට්ටු නිවාස පැල්පත්වාසීන්ට ලබාදුන් බවට ද රාජපක්ෂ කියාපාන පම්පෝරි කතා ගැන සඳහන් කරමින් දැන් මහල් නිවසක පදිංචි වී සිටින නිවැසියෙක් කියා සිටියේ “මේක හරිම අසාධාරනයක්. අපේ හදාගත් නිවාස කඩාදැමුවා බලෙන්ම. දැන් අපි හිටියට වඩා කුඩා මහල් නිවසක් ලබාදීල රු. ලක්ෂයකුත් මාසික කුලියකුත් ඉල්ලනවා. අපි නිවස කඩන නිසා රු. 50,000ක් දීල ගෙට ආවා. තවත් දෙන්න සල්ලි නැහැ. මාසික කුලිය බොහෝ අය ගෙවන්නෙ නහැ. සිරිසේන අපිට සියලු පහසුකම් සහිත නිවාස නොමිලේ ලබාදෙයි කියල විස්වාසයක් නහැ. කවුරු බලයට ආවත් ආරක්ෂා කරන්නෙ ධනපතියන්ව. අවසානයේ කුමක් වෙයිද දන්නැහැ. සමාජවාදී කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩනැගීම හැර විකල්පයක් නැති බව ඔහු පිලිගත්තේය.

Share this article: