ලංකාවේ ජනාධිපතිවරනයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය දෙපිටකාට්ටු රංගනයක

රොහාන්ත ද සිල්වා විසිනි , 2015 ජනවාරි 23

පසුගිය ජනාධිපතිවරනය ව්‍යාජ වම්මුන්ගේ මෙන්ම තමන් වාමාංශික හා සමාජවාදී යයි කියා ගන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ද ධනපති හා අධිරාජ්‍ය ගැති සැබෑ මුහුන එලිදරව්වූ තවත් අවස්ථාවක් විය.

ජනාධිපතිවරනයට “වමේ විකල්පයක්” යයි පාරම්බාමින් පෙසප තම අපේක්ෂකයා ලෙස පක්ෂ නායකයෙකු වන දුමින්ද නාගමුව ඉදිරිපත් කලේය. නව සම සමාජ පක්ෂයේ කන්ඩායමක් ද මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය හා සමාජවාදී පක්ෂය ද සමග අටවා ගෙන ඇති “වමේ පෙරමුන” නාගමුව ඉදිරිපත් කරන බව ද ප‍්‍රකාශ විය. එහෙත් ඔවුන් මැතිවරනය තුල කල මැදිහත්වීමෙන් පෙන්නුම් කෙරුනේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ඇමරිකානු ගැති ධනපති හවුලකින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛතී‍්‍රපාල සිරිසේන බලයට ගෙන ඒමට සහාය වීම හා ධනපති ක‍්‍රමය පවත්වා ගෙන යාමේ වැඩපිලිවෙලකට කැපවී සිටින ආකාරයයි.

පෙසප 2012 දී පිහිටුවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) කැඩී ගිය කන්ඩායමකි. වර්ගවාදී යුද්ධයට සහායදීම, 1989-1990 කාලයේ දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් ඝාතනය කිරීම, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග හවුල් ආන්ඩුවකට ඇතුලුවීම ආදී නිමක් නැති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා ධනපති ගැති කි‍්‍රයා නිසා ජවිපෙ අපකීර්තියට පත් වීමෙන් පසු - එම කි‍්‍රයාවන්ට හවුල්ව සිට - පක්ෂයෙන් බිඳුනු කන්ඩායමකි පෙසප පිහිටුවූයේ. ජවිපෙට එරෙහි වාගාලාප හැරුනු කොට පෙසප එහි දේශපාලනයෙන් මොනම මූලික බෙදීමක් වත් ඇති කර නොගත් සංවිධානයකි.

පෙසප නායකයා ලෙස කි‍්‍රයා කරන කුමාර් ගුනරත්නම් ජනාධිපතිවරනයට යන්තම් දින කීපයකට පෙර ලංකාවට පැමිනියේ පක්ෂයේ මැතිවරන උද්ඝෝෂනය පුම්බා තැබීමටයි. ධනපති මාධ්‍ය ද ඔහුට විශාල ප‍්‍රසිද්ධියක් දුනි. ද අයිලන්ඩ් ප‍්‍රකාශ කර සිටියේ සිරිසේනට සහයෝගය දෙන ජවිපෙට ඔහුගේ පැමිනීම බරපතල ප‍්‍රහාරයක් වනු ඇති බවයි. සිදුවුයේ එහි අනෙක් පැත්තයි. ජවිපෙ විවෘතව සිරිසේනට උද්ඝෝෂනය කල අතර පෙසප පුච්චානම්වලට මුවාවී ඔහුට සහාය දුන්නේය.

ගුනරත්නම් සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාවකදී සිලෝන් ටුඩේ පුවත්පත “ඔබේ අරමුන මෛතී‍්‍රපාලගේ චන්ද කඩන්නද” යනුවෙන් ඇසු ප‍්‍රශ්නයකට ඔහු මෙසේ පිලිතුරු දුනි: “නෑ. මහජනයාට ඇත්තටම ඕනා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ආර්ථික සමානතාවය ගොඩ නැගීම සහ ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීම. අපට ඕනා ඒ අවශ්‍යතාවය සඳහා චන්ද එකතු කරගන්න, අපට ඕන නෑ චන්ද බෙදන්න. ... නමුත් රාජපක්ෂ තන්ත‍්‍රය පරාජය කල යුතුමයි.”

ඔහු තමන්ගේ ආස්ථානය තව දුරටත් මෙසේ පැහැදිලි කලේය: “අපි පවුල් පාලනය, අධිපතිවාදය, මිලිටරීකරනය, ජනවාර්ගික වෛරය, බීජ පනත, ජල පනත සහ සියලු දුෂ්ප‍්‍රතිපත්ති පරාජය කලයුතුයි.” ඒවා කල කොටසක් ම මෙය කරන්නේ කෙසේදැයි අසන ගුනරත්නම් එය හරියට “අපායේ විරාමයක් වැනි යයි” හිටපු ජවිපෙ නායක රෝහන විජේවීරගේ නරුම කියමනක් උපුටා දැක්වීය. ඇඟවුම නම් විජේවීර මෙන්ම ගුනරත්නම්ට ද අපායේ විරාමයක් ලෙස සිරිසේන බලයට ආවාට කමක් නැති බවයි.

මේ වනාහි උගුරට හොරා බේත් කෑමකි. අනෙකුත් අවස්ථාවාදීන් මෙන්ම පෙසප ද සිරිසේන “විරාමයක්” ලෙස දැක්වුවේ රාජපක්ෂගේ ඒකාධිපතිවාදය කෙසේ හෝ පරාජය කලයුතුය යන ප්‍රෝඩාවකට මුවාවී ගෙනය.

පෙසප හා ගුනරත්නම් මෙලෙස පෙල ගැසුනේ, ක්ලින්ටන් පදනම හරහා ඔබාමා පාලන තන්ත‍්‍රය සමග සබඳතා පවත්වන කුමාරතුංග, ඇමරිකානු ගැති එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සමග එකතුව වොෂින්ටනයට අවශ්‍ය පරිදි කොලඹ ආන්ඩු මාරුවක් සඳහා ඉදිපත් කල සිරිසේන පසුපසය. වොෂින්ටනයට ලංකාවේ ආන්ඩු මාරුවක් අවශ්‍ය වූයේ රාජපක්ෂ තන්ත‍්‍රය බෙයිජිනය සමග පවත්වා ගෙන ගිය ආර්ථික හා මිලිටරි සබඳතා වලට වල කපා, චීනයට එරෙහිව රාජ්‍ය තාන්ති‍්‍රකවත් මිලිටරිමයවත් ගෙන යන “යුදවාදී ආසියාවට හැරීමේ” පිලිවෙත පිටුපස කලාපයේ අනෙක් රටවල් මෙන්ම ලංකාව ද ගාල් කර ගැනීමටයි.

මෙම තතු තුල, රාජපක්ෂගේ ඒකාධිපතිත්වය ගැන සිරිසේන හා එජාප නායකයන් මොරදීම චීනයට විරුද්ධ ප්‍රචාරයක් සමග ගැටගැසී තිබීම අහම්බයක් නොවේ. රාජපක්ෂ චීන අවශ්‍යතා අනුව ලංකාව එරට චන්ද්‍රිකාවක් බවට පත්කර ඇතැයි එජාපය කියා සිටි අතර බෙයිජිනය සමග ඇතිකර ගෙන තිබු වරාය නගර ගිවිසුම කටුගා දමන බවට වික‍්‍රමසිංහ තර්ජනය කලේය. සිරිසේන සිය මැතිවරන ප‍්‍රකාශයෙන් කීවේ රාජපක්ෂ ලංකාව චීනයට විකුනා දමා ඇති බවයි.

සිරිසේන කඳවුරේ මෙම ප‍්‍රචාරය සමග ද පෙසප පෙල ගැසී සිටී. පෙසප පුවත් පතක් වන ජනරළ දෙසැම්බර් 28 කලාපයේ “අපි මීගමු වැසියෝ” සංවිධානය හා සමස්ත ලංකා ධීවර වෘත්තිකයන්ගේ සංගමය “කොලඹ මුහුද ගොඩ කරන චීන අධිරාජ්‍යයේ වරාය නගරය” නමින් නිකුත් කල ලියවිල්ලක් පලකොට තිබුනි. එම ප‍්‍රකාශය දෝශාරෝපනය කර තිබුනේ රාජපක්ෂ ආන්ඩුව “නැගී එන චීන අධිරාජ්‍යයේ අවශ්‍යතාවන් ඉටු කරන්නට” මෙම නගරය ගොඩ නැගීමට ඉඩදී ඇති බවයි.

මෙම ප‍්‍රකාශය තම පුවත්පතේ පලකිරීමෙන් පෙසප පෙන්නුම් කලේ චීනය අධිරාජ්‍යවාදී රටක් ලෙස හංවඩු ගැසීම පෙසපයේ ද ආස්ථානය බවයි. චීනය අධිරාජ්‍යවාදී රටක් ලෙස හුවා දැක්වීම ඇමරිකාව සමග පෙල ගැසුනු ලොව පුරා ව්‍යාජ වම්මුන් ඇතුලු අවස්ථාවාදීන් තොරොම්බල් කරන බොරුවකි. මාඕවාදයේ අවසන් ප‍්‍රතිවිපාකයක් ලෙස, එම නිලධරය 1978 ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසු ඇතිවී තිබෙන චීනයේ ආර්ථික නැග්ම මුලුමනින්ම වාගේ රැඳී ඇත්තේ ලාබ ශ‍්‍රම වෙලඳ පොලක් ලෙසට එහි ගලා එන විදේශ ආයෝජන මතය. අඩු දියුනු රටක්වන චීනයේ ආර්ථික ශක්තිය බිඳ එය අර්ධ විජිතයක් ලෙස තම ආධිපත්‍යයට යට කර ගැනීම ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ඉලක්කයයි. රුසියාව සම්බන්ධයෙන් ද එවැනිම න්‍යාය පත‍්‍රයක් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට ඇති බව යුකේ‍්‍රනයේ එය විසින් සිදු කල ප‍්‍රකෝපකාරී මැදිහත්වීමෙන් පෙන්නුම් කෙරින.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මෙම මිලිටරිවාදී මැදිහත් වීම් ලෝක යුද තර්ජනය මතුකර ඇත. පෙසප එබඳු යුද තර්ජනයක් ඇති බවම ප‍්‍රතික්ෂේප කරන්නේ අධිරාජ්‍යවාදී පද්ධතිය පිලිසකර වී ඇති බව ඇනවුම් කරමිනි.

මෙම ආස්ථානය අතිශයින් විසකුරුය. අනෙකුත් හොර වම්මුන් මෙන්ම පෙසප ද චීනයට එරෙහිව ඇමෙරිකානු යුද සැලසුමට බිම් සකස් කරන්නාවූත් එහි කොටසක් ලෙස කොලඹ තන්ත‍්‍ර මාරුව සමග පෙල ගැසුනාවුත් සංවිධානයකි.

මෙම ආස්ථාන ගලා එන්නේ පෙසප නියෝජනය කරන ඉහල මධ්‍යම පන්තියේ වත්මන් හැඩගැස්මෙන් හා දෘෂ්ටි ආස්ථානයන්ගෙනි. ඔවුන් හැරී සිටින්නේ අධිරාජ්‍යවාදය වෙතටය. සෝවියට් සංගමය පැවති කාලයේ මොවුහු රැඩිකල් කතා පවත්වමින් ආවරනය වී සිටියහ. නව හැඩගැස්මෙන් ඔවුහු ලංකාවේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියට සතුරුය.

පෙසප මැතිවරනය නිමිත්තෙන් නිකුත් කර තිබු කුඩා කි‍්‍රයාමාර්ගික ලියවිල්ල පෙන්නුම් කෙරෙන්නේ, ධනපති ක‍්‍රමය “ප‍්‍රතිසංස්කරනය” කර පවත්වා ගෙන යාම එහි අරමුන බවයි. නව ලිබරල් ධනවාදයට එරෙහිව සටන් කිරීම යන්න මන්තරයක් ලෙස දෙඩවීම මගින් මෙය ආවරනය කරගෙන ඇත.

“වම විදියට අප ඉදිරිපත් කරන්නේ සියලු පීඩිත ජනතාව පාලනයට හවුල්වන රාජ්‍ය බලය ජනතාව විසින් අභ්‍යාස කරන ක‍්‍රමයක්,” යයි සූත‍්‍රයක් මැතිවරන ප‍්‍රකාශයේ සඳහන් වේ. මෙය ධනපතිවාදයත් නැති සමජවාදයටත් නැති ගුප්ත ක්‍රමයකි. ප‍්‍රකාශය තව දුරටත් මෙසේ කියයි: “වම අවධානය යොමු කරන්නේ ආර්ථිකයට දායකවන, ශ‍්‍රමය වගුරන ජනතාවට ප‍්‍රතිලාභ හිමිකර දෙන ආර්ථිකයක්.” මෙය පෙර කී වර්ගයේ තවත් ගුප්ත ක‍්‍රමයකි.

නව ලිබරල්වාදය හෙවත් වෙලඳපොල ආර්ථිකය යනු පිලිවෙතක් නොව ඉන් නියෝජනය වන්නේ, ලාභ ශ‍්‍රමය සුරා කෑම අලුත් මට්ටමකට ගෙනයාම සඳහා නිෂ්පාදනය ගෝලීයකරනයත් සමග ධනවාදයේ නව වෙනස් වීමයි. පෙසප යෝජනා කරන්නේ නියාමනය වූ ධනපති ක‍්‍රමයකි. රාජපක්ෂ පාලනය යටතේ එක් ප‍්‍රභූ ස්තරයක් ආර්ථිකය බදාගෙන කෑම නිසා කොන්වූ ඉහල මධ්‍යම පන්තියේ කොටසක් තමන්ට වරප‍්‍රසාද ලබාගැනීමට නම් තත්වය වෙනස් කරගත යුතු යයි කල්පනා කරති. සමාජවාදී ප‍්‍රතිපත්ති වලට හා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමට පෙසපයේ තරයේම සතුරු බව ගලා එන්නේ මේ මධ්‍යම පන්තික උවමනාවන් ගෙනි. රාජපක්ෂගෙන් කොන්වූ ධනපති හා මධ්‍යම පන්තික කොටස් සිරිසේන වටා එක් වූහ.

කම්කරු පන්තිය ධනපති ක‍්‍රමය තුල සිරකර තැබීමට “වාම විකල්පයක්” තැනීමට එක්වන ලෙස පසුගිය අවුරුද්දේ පෙසප සමාජවාදී සමානතා පක්ෂයට (සසප) ද ආරාධනයක් කලේය. සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් එය ප‍්‍රතික්ෂේප කරමින් මෙසේ ලීවේය: “වසර 45කට අධික කාලයක් ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කලා වූ ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වෙහෙස නොතකා සටන් කලා වූ ද සමාජවාදී සමානතා පක්ෂය ඔබ විසින් ක‍්‍රියාවට නගනු ලබන ප‍්‍රතිගාමී යලි කාන්ඩ ගැසීමකට වලංගුභාවයක් සැපයීමට අපේක්ෂා නොකරයි. මේ හෙයින් සමාජවාදී සමානතා පක්ෂය ඔබේ ආරාධනය අවධාරනයෙන් ප‍්‍රතික්ෂේප කරයි.”

දැන් අවුරුද්දක් ගත වී ඇත. ලෝක අර්බුදය ද භූ-දේශපාලන ආතතීන් ද තියුනුවී ඇත. ලංකාව තුල ඇමරිකානු මැදිහත්වීමට සම්බන්ධිතව ආන්ඩු මාරුවකට කි‍්‍රයා කෙරුනේ මේ තත්වය තුලයි. කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල පුපුරා ඒමේ කොන්දේසි වර්ධනය වී ඇත. කලින් මැතිවරනවලට සම්බන්ධ නොවූ පෙසප මෙවර ජනාධිපතිවරනයට තරග කිරීමට ඉදිරිපත් වුයේ ලංකාවේ මෙම පුපුරනසුලු තත්වය තුල තම පදනම් පුලුල් කර ගනිමින් කම්කරුවන් හා තරුනයන් ධනපති පන්තියේ හා අධිරාජ්‍යවාදීන්ගේ උවමනාකම් වලට යට කරන උගුලක් තර කිරීමටය.

ශී‍්‍ර ලංකාවේ සසප "වාමාංශිකයන්ගේ සංවාදයක්" සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරාධනය ප‍්‍රතික්ෂේප කරයි

Share this article: