චාලි හෙබ්ඩෝ වෙඩි තැබීමෙන් පසුව ලක්ෂ ගනන් ප‍්‍රන්ස ජනයා පෙලපාලි දක්වති

Millions march in France after Charlie Hebdo shooting

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2015 ජනවාරි 12

ඊයේ දිනයේදී දැවැන්ත ආරක්ෂක මැඩලීම් මධ්‍යයේ ලක්ෂ ගනන් ජනතාව සහ දුසිම් ගනනක් රාජ්‍ය ප‍්‍රධානීහු චාලි හෙබ්ඩෝ කාර්යාලයට පසුගිය සතියේ එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට විරුද්ධත්වය පලකරමින් ප‍්‍රන්සය හරහා නිල අනුග‍්‍රහය සහිතව පැවැත්වූ පෙලපාලි වලට එක්වූහ.

ප‍්‍රහාරයන් පිලිබඳ වැඩෙන සන්ත‍්‍රාසය හා ප‍්‍රන්සයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ සහ මාධ්‍ය ජාලයන් ජාතික සමගිය උදෙසා කල උන්මාදනීය ඉල්ලීම් මධ්‍යයේ කැඳවුම් කරන ලද පෙලපාලි, විස්මිත ස්වරූපයක් අත් කර ගත්තේය. පැරිසියේ පමනක් දහස් ගනන් පොලිසිය සහ හමුදා භටයින් යොදවා තිබුනි. හෙලිකොප්ටර් හිසට උඩින් පියාසර කල අතර ස්නයිපර් වෙඩික්කරුවන් වහලවල් මත රඳවා තැබුනි. මහ බලවතුන්ගේ ස්වදේශ කටයුතු අමාත්‍යවරු ආරක්ෂක ක‍්‍රියාමාර්ගයන් තරකිරීම ගැන සාකච්ඡා කිරීමට පැරිසියට රැස්ව සිටි අතර විදේශ රාජ්‍ය නායකයින් 50ක් පමන පිරිසක් පෙලපාලියට සම්බන්ධ වූහ.

ඉස්ලාම් ත‍්‍රස්තවාදයට එරෙහි අරගලය තුල භාෂනයට ඇති නිදහස ආරක්ෂා කීරීමේ සහ ජාතික සහ ජාත්‍යන්තර සමගිය විදහා දැක්වීමේ අංගයක් ලෙස මෙම පෙලපාලි නම්කර ගැනුනු නමුත් එම පෙලපාලිකරුවන් වුවත් දේශපාලන ගැටුම් වලින් වල්මත් කර දමා ඇත. මෙම ග‍්‍රීෂ්ම ඍතුවේදී 2000 කට අධික පලස්තීනුවන් මරාදමමින් ගාසා තීරයේ අනාරක්ෂිත ජනතාවට එරෙහිව මාස ගනනක් තිස්සේ යුද්ධයක් ගෙනගිය ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ද පෙලපාලියේ එකට ගමන් ගත්හ.

2014 පෙබරවාරි කුමන්ත‍්‍රනයෙන් පිහිටවූ රුසියානු විරෝධී අන්ත දක්ෂිනාංශික ආන්ඩුවේ නායක, යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරෂෙන්කෝ, පාලන තන්ත‍්‍ර මාරු කිරීමේ ප‍්‍රතිපත්තියක් ඔස්සේ රුසියානු ආන්ඩුව පෙරලා දැමීමට නේටෝව කටයුතු කරන බව ප‍්‍රකාශ කල රුසියානු විදේශ ඇමති සර්ගේ ලැව්රොව්ට පසෙකින් විය.

සිය රටවල් තුල ප‍්‍රන්ස හෝ නේටෝ මිලිටරි මැදිහත්වීමකට ආයාචනය කරමින් අප‍්‍රිකාවේ ප‍්‍රන්ස රූකඩ ආන්ඩුවල ප‍්‍රධානීහු කිහිප දෙනෙක්ද මීට සහභාගී වූහ. නයිජීරියානු ජනාධිපති මහමදු අයිසොෆු පැවසුවේ, ලිබියාව තුල නව නේටෝ යුද්ධයක් වර්ධනය කිරීම “කඩිනමින් කල යුතු” බවයි. “දකුනු ලිබියාව ත‍්‍රස්තවාදීන්ට අභයභූමියක් බවට පත් වෙලා. ලිබියාව මුලු සහෙල් කලාපයම අස්ථාවර කරනවා” අයිසොෆු පැවසීය.

මාලි ජනාධිපති ඉබ‍්‍රාහිම් කෙයිටා 2013 දී ඉස්ලාමීය කැරලිකරුවන් සමග සටන සඳහා සිය රට ආක‍්‍රමනය කිරීම පිලිබඳව ප‍්‍රන්ස හමුදාවන්ට ස්තුති කලේය.

දක්ෂිනාංශික හා ජාතිකවාදී පදනමක් මත යුරෝපා සංගමය හැරයාම පෙර නොවූ තරම් ආසන්නවී ඇති බි‍්‍රතාන්‍ය ආන්ඩුවේ අගමැති ඩේවිඩ් කැමරන්, මහාද්වීපය පුරා වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් වනසා දමන, යුරෝපා සංගමයේ අපකීර්තිමත් කප්පාදු පිලිවෙත් වල මුල් තැන දරන ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් සමග ගමන් ගත්තේය.

කෙසේ වුවද “ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ” මූලිකයා ලෙසින් සැලකෙන එක්සත් ජනපද ආන්ඩුව මෙහි නියෝජනය වූයේ නැත. ජනාධිපති බරක් ඔබාමා පෙලපාලිය ගැන තැකීමක් නොකලා පමනක් නොව, චාලි හෙබ්ඩෝ ප‍්‍රහාරයෙන් පසුව ආරක්ෂක විධිවිධාන තරකිරීම සම්බන්ධ සාකච්ඡාවට පැරිසියට පැමින සිටින නීතිපති එරික් හෝල්ඩර් ද ඊට සහභාගී වීමට අසමත් විය. ඇතැම් මාධ්‍ය වාර්තා අනුමාන කලේ යුක්රේන අර්බුදය මධ්‍යයේ රුසියාවට පනවා ඇති ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට පක්ෂපාතී වීම සම්බන්ධයෙන් ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රන්ශුවා හොලන්දේට දඬුවම් දීමට වොෂින්ටනය අරමුනු කර ඇති බවයි.

ප‍්‍රන්ස ආන්ඩුව සම්බන්ධයෙන්ම ගත් කල ජාතික සමගිය සහ නිදහසේ සුරක්ෂිත භාවය සඳහා එහි ආයාචනයන්, අගමැති මැනුවෙල් වෝල්ස් සෙනසුරාදා පෙලපාලියට සම්බන්ධවන ලෙස ප‍්‍රන්ස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් කල “අන්තවාදී ඉස්ලාම් වාදයට එරෙහි යුද්ධය” පිලිබඳ යුදවාදී ප‍්‍රකාශය මගින් බොරු කලේය.

නිල සංඛ්‍යාලේඛන වලට අනුව පැරිසියේ මිලියන 1.5ක් ජනයා පෙලපාලියේ ගමන් කල අතර ප‍්‍රන්සයේ අනෙකුත් ප‍්‍රදේශ වල පෙලපාලිවලට සහභාගී වූ ගනන මිලියන 2කි. මෙයට ලියෝන්හි 300,000ක්, රේනාහි 115,000ක්, බෝඩෝස්හි 100,000ක් සහ ගේ‍්‍රනොබල් සහ සෙන්ට් එතීනාහි 70,000ක් ඇතුලත් විය. ප‍්‍රන්සයේ ඕනෑම නගරයක සිටින වැඩිම මුස්ලිම් ජනගහනය වෙසෙන, ප‍්‍රන්සයේ දෙවන විශාලතම නගරය වන මාසෙලී යන මධ්‍යධර වරාය නගරයේ පෙලපාලියට සහභාගී වූයේ 60,000ක් පමනි.

පෙලපාලිවලට සහභාගී වූ මිලියන සංඛ්‍යාත ජනතාව නිසැකවම චාලි හෙබ්ඩෝ කාර්යාලයේදී පුද්ගලයින් 12ක් මරාදැමීමෙන් අවංකවම කම්පනයටත්, සන්ත‍්‍රාසයටත් පත්වූ අතර වෙඩිතැබීම සහ ඊට හොලන්දේ රජයේ ප‍්‍රතිචාරයෙන් මතු කෙරෙන බොහොමයක් දේශපාලන කාරනා පිලිබඳව සාවධාන වීමට ඔවුහු කාලයක් නොලදහ.

පනතාවගේ පුලුල් ස්ථරයක් වෙඩිතැබීමෙන් මතුකර ඇති ප‍්‍රශ්න පිලිබිඹු කරන ප‍්‍රමානයටම, චාලි හෙබ්ඩෝගේ කුරිරු මුස්ලිම් විරෝධී කාටූන් කෙරෙහි මෙන්ම විදේශයන්හි ප‍්‍රන්සය ගෙන යන යුද්ධ කෙරෙහි ද නොසතුටක් හා සතුරු කමක් පවා ප‍්‍රකාශ කෙරේ.v

ඝාතනයන්ට රජයේ පාසල් වලට නියෝග කෙරුනු විනාඩියක නිශ්ශබ්දතාවයකට පසුව බොහෝ උසස් පාසැල් සිසුහු මාධ්‍ය ඉදිරියේ විවේචනාත්මක ප‍්‍රතිචාරයක් දැක්වූහ. “මම එහි (විකට රූපයන්ගේ) අන්තර්ගතයට කැමති නැහැ. එහෙත් මම ප‍්‍රහාරයට විරුද්ධයි” යේසයින් ලේ මොන්ඩේ පුවත්පතට පැවසීය. “නමුත් කාටූන් ශිල්පීන් මේ සම්බන්ධයෙන් අහිංසක නැහැ.”

“දෙපැත්තේම වැරදි තියෙනවා” තමන් කතෝලික බව පැවසූ එරිකා ප‍්‍රකාශ කලාය. “දොලොස් දෙනෙකුගේ ජීවිත බිලිගැනීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” චාලි හෙබ්ඩෝ හි කාටූන් ශිල්පීන් “ගැටුමකට අත වනමින්” සිටි බව වැඩිදුරටත් පැවසීය.

අලෙන්දේ පැවසුවේ තත්වය “භයානක” බවයි. “ඔවුන් චාලි මරාදැමුවේ සඟරාව ආගමට ගරු නොකල නිසයි. ඔවුන් ඉස්ලාම් ආගමට පහර දුන්නා. චාලි දිගටම එය ගෙනගියා නම් මෙහි සිටින තරුන පිරිස් වුනත් යමක් කරන්න ඉඩ තිබුනා” ඔහු වැඩිදුරටත් පැවසීය.

ප‍්‍රන්ස දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය විසින් ඇවිලවූ මායාකාරී වාතාවරනය පසුපස නිශ්චිත සහ ප‍්‍රතිගාමී දේශපාලන න්‍යාය පත‍්‍රයකට අත තැබීමේ උත්සාහයක් ඇත. ලෝක යුද්ධ දෙකක් සහ අනේක විප්ලවීය අරගල අත්දැක ඇති රටක, 12 දෙනෙකුගේ මරනය පෙර නොවූ විරූ ජාතික ඛේදවාචාකයක මට්ටමට ඔසවා තිබෙන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප‍්‍රන්සයේ අපකීර්තිමත්ම ජනාධිපති වන හොලන්දේගේ වියැකී යන යසස යලි ප‍්‍රානවත් කරගැනීමේ උත්සාහයක් ලෙසිනි.

පොලිසිය සහ හමුදාව පසු පස්සේ සිට මෙලෙස ජාතික සමගියට ආයාචානා කරන හොලන්දේ, කප්පාදු පිලිවෙත් අරබයා ගර්හාවට ලක්ව ඇති සිය ආන්ඩුවේ විශ්වසනීයත්වය රැකගැනීමට මගක් සොයමින් සිටින අතර වොෂින්ටනය මූලිකත්වය ගෙන අප‍්‍රිකාවේ සහ මැදපෙරදිග කලාපයේ ගෙන යන ප‍්‍රතිගාමී “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය”ට ප‍්‍රන්සයේ සහභාගිත්වය යුක්තියුක්ත කිරීමට සහ දක්ෂිනාංශික දේශපාලන සංවිධාන වලට පහසුකම් සලසා රාජ්‍ය බලය තහවුරු කරගැනීමේ වියරු ප‍්‍රයත්නයක යෙදී සිටියි.

ජාතික පෙරමුනේ (එෆ්එන්) නායක මරීන් ලේ පෙන්ට එලිසී ජනාධිපති මන්දිරයට පැමිනීමට හොලන්දේ විසින් කල ආරාධනයත් සමග නව ෆැසිස්ට්වාදී ජාතික පෙරමුන ප‍්‍රන්ස ධනේශ්වර දේශපාලනයේ මුඛ්‍ය ධාරාවට තවදුරටත් ඒකාබද්ධ කිරීමක් සලකා බැලෙමින් පවතින බව පැහැදිලි කරයි. මෙයින් මතුකෙරෙන්නේ, යුරෝපා දේශපාලනයේ ඒකාධිකාරී සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විකාශනය සහ වාර්ගික හා ආගමික පෙලගැසීම් වලට එදිරිව සමාජවාදය සඳහා වන විප්ලවීය අරගලයක් තුල යුරෝපීය කම්කරු පන්තියේ එක්සත් කමේ අවශ්‍යතාවයි.

මහජනතාව චාලි හෙබ්ඩෝ වෙඩි තැබීම සමග බැඳී පවතින දේශපාලන කාරනා පිලිබඳ සාවධාන වන්නට පටන්ගත් විට, ප‍්‍රන්ස ආන්ඩුවමත් මෙහි දේශපාලන වගකීම දරා සිටින බව වටහා ගන්නවා ඇත.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය දියත් කල සෙයිඩ් සහ ෂෙරිෆ් කෞචි යන ඉස්ලාමීය තුවක්කු කරුවන් දෙදෙනා වුවත්, විශේෂයෙන්ම වැඩකරන ජනතාවට කිසිදු බලාපොරොත්තුවක් ලබාදීමෙහි නොසමත් මෙම ධනේශ්වර ක‍්‍රමයේම විසකුරු නිර්මානයන්ය.

කෞචි සොහොයුරන් සිය දිවි ගැටගසා ගැනීම සඳහා අඩු පඩි සහිත අතට අහුවන රැකියාවක නියුතු තරුනයින් විය. ප‍්‍රන්සයේ ඇතැම් උපනගරවල මුස්ලිම් තරුන කොටස් සියයට 40ක් වැනි ඉතා ඉහල මට්ටමක විරැකියාවෙන් පීඩා විඳිති. ඔවුහු බුර්කාව සහ ශීර්ෂාවරන තහනම් කිරීම වැනි ඉස්ලාම් භීතිකා පියවර මාලාවකට මුහුනදී සිටිති. මෙම ආතතීන්, ප‍්‍රන්ස අධිරාජ්‍යවාදය 2003 දී එක්සත් ජනපදයේ ඉරාක ආක‍්‍රමනයට පූර්වයෙන් පෑ විරුද්ධත්වය අත්හැර දමා ඒ වෙනුවට ඇෆ්ගනිස්තානයේ සිට ලිබියාවට සහ සිරියාවටත් නැවත වරක් ඉරාකයට එරෙහිව සිදුකල එක්සත් ජනපදය මූලිකත්වය ගත් යුද්ධ සමග පෙලගැසීම තුලින් තීව‍්‍ර කෙරින.

චාලි හෙබ්ඩෝ වෙඩි තැබීම වැනි බිහිසුනු අපරාධ කරා වඩාත් පසුගාමී සහ මංමුලාගත කොටස් උසිගන්වන තත්වයන් මේවාය.

Share this article: