වැලිවේරිය ජල දූෂනයට එරෙහි උද්ඝෝෂනය පීලි පැන්නවීමට ව්‍යාජ වාම පක්ෂ ඉටු කල කි‍්‍රයා කලාපය

රොහාන්ත ද සිල්වා,(ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාවට මෙම ප‍්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “වැලිවේරිය ජල දූෂනයට එරෙහි උද්ඝෝෂනය පීලි පැන්නවීමට ව්‍යාජ වාම පක්ෂ ඉටු කල කි‍්‍රයා කලාපය” මැයෙන් රොහාන්ත ද සිල්වා ඉදිරිපත් කල වාර්තා ව මෙහි දැක්වේ.මෙය හයවැන්නයි.පලමු වැන්නට , දෙවැන්නට තුන්වැන්නට,සිව්වැන්නට හා පස්වැන්නට පිවිසීම සඳහා මෙතැනින්. අනුපිලිවෙලින් අනෙකුත් වාර්තා ද පලකරමු.

රොහාන්ත ද සිල්වා

රතුපස්වල ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කම්හල විසින් සිදු කෙරෙන ජල දූෂනයට එරෙහිව ප‍්‍රදේශයේ ජනතාව පෑ විරෝධතාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවේ හමුදාව විසින් වෙඩි තබා මාස 11ක කාලයක් ගතව ඇතත් ජල දූෂනය පිලිබඳ ප‍්‍රශ්නයට කිසිදු විසඳුමක් නැත. ආන්ඩුවේ අරමුන මර්දනය මගින් මහජන විරෝධය යටපත් කර ආයෝජකයන්ට ඉහල ම ලාභයක් සහතික කිරීම ය.

පසු ගිය අවුරුද්දේ අගෝස්තු 1 දා එල්ල කල මිලිටරි ප‍්‍රහාරයෙන් තිදෙනෙකු මිය ගියත් මහජන විරෝධය වාෂ්ප කර දැමීමට ආන්ඩුවට හැකි වූයේ නැත. කම්හලේ ප‍්‍රතිකාරක පද්ධතියෙහි මොන ම වෙනසක් වත් නො කර පැවති ලෙසින් ම එය නැවත විවෘත කිරීමට ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පාලකයන් උත්සාහ දරන්නේ යැයි හැඟී ගිය සෑම අවස්ථාවක දී ම මහජනයා - විශේෂයෙන් ම ගෘහනියෝ - නැවත නැවතත් කම්හල වට කලහ.

මෙලෙස යටපත් කල නොහැකි වූ මහජන විරෝධය පීලි පන්නා ආන්ඩුව ආරක්ෂා කිරීම සඳහා මූලික ම කි‍්‍රයා කලාපයක් ඉෂ්ට කලේ පැබ්ලෝවාදී නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය යි.

නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්නගේ මූලික එල්ලය වූයේ විරෝධතාව දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) යටතට ගෙන කුජීත වී ඇති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය ශක්තිමත් කිරීම යි.

මෙය එජාපයේ අවශ්‍යතාවක් සමග සම්පාත විය. මහජන විරෝධය ගසා කෑමට තැත් කරමින් වෙඩි තැබීම සිදු වූ දින රාත‍්‍රියේ ම වික‍්‍රමසිංහ වැලිවේරියට ගියේ ය. කතෝලික දේවස්ථානය තුල දී මහජනයාට පහර දීම ගැන වික‍්‍රමසිංහ සමග එහි ගිය එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන ජෝන් අමරතුංග කිඹුල් කඳුලු හෙලී ය. “පල්ලිය තුල දී හමුදාව හැසිරුනු ආකාරය ගැන කතෝලිකයෙකු ලෙස තමන් කම්පා වන්නේ ය”යි ඔහු කියා සිටියේ ය. ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වන කරූ ජයසූරිය පැවසුවේ “මිනිස්සු ඉල්ලුවේ වතුර, නමුත් හමුදාව උත්තර දුන්නෙ වෙඩි උන්ඩවලින්” යනුවෙනි.

විවෘත ආර්ථික පිලිවෙත් හඳුන්වා දුන්, 1988-89 කාලයේ දී 70,000ක් පමන ගම්බද ජනයා ඝාතනය කල හා දෙමල ජනතාවට එරෙහි ජන ඝාතක යුද්ධය පටන් ගත් එක්සත් ජාතික පක්ෂය තමන් බලයේ සිටින සෑම විටක ම ගෙන ගිය විනාශකාරී වැඩ පිලිවෙල ගැන දන්නා මහජනයා එජාප නායකයන්ගේ මෙම පූච්චානම් ගැන වැඩි තැකීමක් කලේ නැත.

පසු ගිය අවුරුද්දේ අගෝස්තු 14 දා කොලඹ කොටුවේ දුම්රිය පොල ඉදිරිපිට එජාපයේ නායකත්වයෙන් විරෝධතා පැවැත්වූ කරුනාරත්න සඳහන් කලේ“අද ජනතාවට සත්‍ය වැටහී” මේ රජයට එරෙහිව අද ජනතාව පෙල ගැසෙමින් සිටිනවා. අද ජනතාව විපක්ෂය එජාපය වටා රොක් වෙමින් සිටිනවා. ලඟ දී ම මෙම ජනතාව සතු ශක්තිය රජයට දැන ගන්නට ලැබේවි” යනුවෙනි.

නසසපයේ මෙම වැඩ කටයුතු අහම්බයක් නො වේ, කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල මුලුමනින් ම ගිලී සිටින මොවුන් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට මුලමනින් ම හතුරු ය, එක්සත් ජාතික පක්ෂය සමග ගොඩ නගා ඇති “නිදහසේ වේදිකාව” මගින් එජාපය ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදයේ ආරක්ෂකයෙකු යැයි පින්තාරු කරයි.

ජනතා විමුක්ති පෙරමුනේ ධනපති ගැති ස්වෝත්තමවාදී වැඩ පිලිවෙලට එරෙහිව “සමාජවාදී විකල්පය” ඉදිරිපත් කරන්නේ යැයි ප‍්‍රකාශ දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) “ලංකාව වැනි පසුගාමී ආර්ථිකයක් සහිත සමාජයක නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරන දියත් කිරීමේ දී” මතු වන ගැටලුවක තත්වයකට සීමා කලේ ය.

පෙසප සඳහන් කලේ ජල දූෂනය පිලිබඳ ප‍්‍රශ්නය දැන් රට පුරා ව්‍යාප්තව ඇති බවත් එයට එරෙහිව “හුදෙකලා වියුක්ත අරගල ද” මතු වී ඇති බවත් ය. එමගින් මර්දනයට ඉඩ සැලසෙන බව ප‍්‍රකාශ කල පෙසප ඉදිරි මාවත ලෙස එම අරගල සියල්ල “ඒකාබද්ධ කිරීමට සහ එයට සහාය පල කිරීමටත්” “විකල්ප කි‍්‍රයා මාර්ග සඳහා ප‍්‍රවේශයක් ගැනීමටත් මේ මොහොතේ සමස්ත සමාජයේ මැදිහත් වීම අවශ්‍ය යැයි අපි සිතමු” යි සඳහන් කලේ ය.

මෙහි දී අප දකින්නේ අරගල හුදෙකලා කිරීම ගැන “සමස්ත සමාජයට” එනම් කම්කරු-පීඩිත මහජනයාට දොස් පැවරීමකි. ප‍්‍රශ්නය පවතින්නේ කම්කරු-පීඩිත මහජනයාගේ පැත්තෙන් නො වේ. වැලිවේරියේ දීත් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ විශ‍්‍රාම වැටුපට එරෙහි අරගලයේ දීත් ඩීසල් මිල වැඩි කිරීමට එරෙහි ධීවරයන්ගේ අරගලයන්හි දීත් ධෛර්යමත්ව සටන් කිරීමට ඇති තම අධිෂ්ඨානය කම්කරුවන් හා පීඩිත ජන කොටස් පෙන්වා ඇත.

නමුත් මූලික ප‍්‍රශ්නය කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය යි. නසසප, එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වම්මුන් හා වෘත්තීය සමිති වැඩ කලේ මේ අරගලයන් පාවා දීමට යි. පෙසප මහජනතාවට දොස් කීම ඔවුන්ගේ දේශපාලනයේ කොටසකි. ව්‍යාජ වම්මුන් සමග පෙල ගැසී ඔවුන් සමග ගී‍්‍රක සයිරිසා වැනි අවස්ථාවාදී කාන්ඩ ගැසීමක් යලි සංවිධානය කිරීමට අර අඳින මොවුන් පාවා දීම්වල වගකීම ද්‍රෝහී නායකයන්ගේ කර මතින් ඉවත් කර මහජනතාව වෙත පටවයි.

“සියලු අරගල ඒකාබද්ධ කිරීම” යන සූත‍්‍රය ඉදිරියට දමා ගෙන පෙසප සූදානම් වන්නේ කම්කරු පන්තිය මත ලැග සිටින අවස්ථාවාදීන් ඒකාබද්ධ කර කැරලිකාරී මහජනතාව ඔවුන් යටතට ගෙන ඒමට ය. මෙය කම්කරු පන්තියේ ඒකාබද්ධතාව තහවුරු කිරීමට මාක්ස්වාදීන් කරන සටනට ප‍්‍රතිවිරුද්ධ ය. මාක්ස්වාදීන්ට අනුව කම්කරු පන්තියේ එකමුතුකම ඇති කල හැක්කේ ව්‍යාජ වම්මුන් ඇතුලු අවස්ථාවාදීන්ට හා වෘත්තීය සමිතිවලට එරෙහි දේශපාලන අරගලයක් මගින් ධනපති පන්තියට එරෙහිව කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය තහවුරු කිරීමෙනි. එය කම්කරු පන්තිය සමාජවාදී කි‍්‍රයා මාර්ගය මත බලමුලු ගැන්වීම පිලිබඳ කාරනයක් වන අතර වැඩි සටන්කාමිත්වයක් වර්ධනය කිරීම පිලිබඳ ප‍්‍රශ්නයක් නො වේ.

වැලිවේරියේ සිද්ධියෙන් පසු පැවති විරෝධතා උද්ඝෝෂනයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහට වික්‍රමබාහු කරුනාරත්න මයික්‍රෆෝනය අල්ලා ගෙන සිටී

වැලිවේරියේ දී මහජනතාව මුහුන දී සිටින්නේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව හරහා ලංකාවේ ධනපති පන්තිය ගෙන යන කප්පාදු වැඩ පිලිවෙලට ය. මෙය මූල්‍ය ප‍්‍රාග්ධනය ලෝක පරිමානව ක‍්‍රියාවට දමා ඇති සමාජ ප‍්‍රතිවිප්ලවය යටතේ අයිතීන් උදුරා ගැනීමේ කොටසකි.

මෙයට මුහුන දී ගත හැක්කේ ධනපති පන්තියේ සැලසුම්වලට එරෙහිව අවසානය දක්වා ම හිතා මතා වර්ධනය කෙරුනු කම්කරු පන්තියේ මූලෝපාය ඉදිරිපත් කිරීමෙන් පමනි. එය නම් ජාත්‍යන්තර සමාජවාදයේ වැඩ පිලිවෙල ය.

නමුත් පෙසපයේ අරමුන වන්නේ “විකල්ප ක‍්‍රියා මාර්ග සඳහා ප‍්‍රවේශයක් ගැනීමේ” නමින් මහජනතාව ව්‍යාජ වම්මුන්ගේ බොරු විරෝධතාවලට කොටු කර සමාජ ප‍්‍රතිගාමිත්වයට පාර කැපීම ය. මෙසේ ඉදිරිපත් කරන්නේ වර්තමානයේ විප්ලවවාදීන් මුහුන දෙන කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන කම්කරු පන්තියේ නායකත්වයේ අර්බුදය විසඳා ජාත්‍යන්තර සමාජවාදයට සටන් කිරීමට ප‍්‍රතිවිරුද්ධව ය.

පෙසප ප‍්‍රකාශනය තව දුරටත් සඳහන් කරන්නේ “ජලයට විස මිශ‍්‍ර කිරීමේ කි‍්‍රයාවලිය වහා නතර කරන ලෙස” හා “ජීවිත සුරක්ෂිතතාව අනතුරේ නොහෙලන්නැයි බල කිරීමකි.” එනම් මේ පිටුපස ඇත්තේ පොදු පෙරමුනු ආන්ඩුවට හා ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් ආයතනයට බල කිරීම මගින් ප‍්‍රශ්නය විසඳා ගත හැකි ය යන ධනපති ක‍්‍රමය ගැන ම අන්ධ විශ්වාසයක් පැතිරවීමකි.

මොවුන් විසින් අනුග‍්‍රහය දක්වන ග‍්‍රීක සයිරිසා දෙස බැලූ විට මෙය මනාව පෙනී යයි. කප්පාදු වැඩ පිලිවෙලට විරුද්ධ යැයි පෙනී සිටිමින් මහජනතාවගේ විරුද්ධත්වය ගසා කන නමුත් වෘත්තීය සමිති නිලධරයේ කොටස්, වෘත්තිකයන් හා බුද්ධිමතුන් කොටසක් මත පදනම් වූ සයිරිසාහි අරමුන ගී‍්‍රසියේ “ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම” නමින් ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම ය. තමන් බලයට පත් වූ විට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවන්ට ඇති නය ආපසු ගෙවන බවට පොරොන්දු වී ඇති මොවුන්ගේ වාම වාගාලාප කම්කරු පන්තිය හා තරුනයන් පීලි පැන්නවීම සඳහා කරනු ලබන බොරු පූච්චානම් ය.

සම්භාව්‍ය මාක්ස්වාදයට එරෙහිව “මාක්ස්-විද්‍යාව” ඉදිරිපත් කරන්නේ යැයි ව්‍යාජ ප‍්‍රකාශ දෙන දීප්ති කුමාර ගුනරත්නගේ පශ්චාත් නූතනවාදී ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ මාක්ස්වාදයට හා මහජනතාවට හතුරු දක්ෂිනාංශික දේශපාලනය විශද ලෙස ප‍්‍රකාශයට පත් කල අවස්ථාවකි වැලිවේරිය ඝාතන හා මර්දනය.

ගුනරත්නට අනුව වැලිවේරිය වෙඩි තැබීම යනු මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් උතුරේ පලාත් සභා ඡන්දය තැබීම හරහා සිදු වන දේශපාලන “බලය බෙදීම” පිලිබඳ මහජන අවධානය වෙනතක යොමු කිරීම සඳහා කල මාධ්‍ය මෙහෙයුමකි. එනම් ඔහු සඳහන් කරන්නේ මෙය “මාධ්‍ය විසින් මවපු අතථ්‍ය යථාර්ථී (virtual reality) ලෝකයේ සිදුවීමක්” මිස “මෙවැන්නක් වැලිවේරියේ සිදු වෙලා නැති” බව ය. ඔහු මෙම ප‍්‍රකාශ කර ඇත්තේ අන්තර්ජාලයේ යූටියුබ් තුලිනි.

ගුනරත්නගේ ප‍්‍රකාශ රාජපක්ෂ තන්ත‍්‍රයේ අවශ්‍යතාවන් සමග සම්පාත වේ. ගුනරත්නට අනුව යථා ලෝකයේ එවැනි වෙඩි තැබීමක් සිදුව නැත. එය අතාත්වික යථාර්ථයක් නොහොත් මනෝ විකාරයකි. ‘චින්තනයට පිටින් වෛෂයික ලෝකයක් පවතින්නේ නැත’ යැයි ද්‍රව්‍යමය ලෝකයේ ප‍්‍රාථමිකත්වය ප‍්‍රතික්ෂේප කරන පශ්චාත් නූතනවාදය ධනපති පන්තිය විසින් තමන්ගේ සේවයට කැඳවා ඇත්තේ මෙසේ ය.

වෙඩි තැබීම මගින් තම සමාජ ජීවිතය යන්තමින් ආරම්භ කල තරුනයෙක් මිය ගියේ ය. දීප්තිමත් ශිෂ්‍යයන් දෙදෙනෙකුට පාසල් අධ්‍යාපනය අවසාන කිරීමටත් පෙර ජීවිතය නැති විය. මිතුරන්ට සොඳුරු මිතුරන් තිදෙනෙකු නැති විය. තරුන බිරිඳකට තම සැමියා නැති විය. දෙමව්පියන්ට ලමයින් නැති විය. නමුත් ගුනරත්නට මෙය මේ ලෝකයේ සිදුවීමක් නො වේ. මෙය අතාත්වික සිදුවීමක් යැයි මහජනතාව ගැන තැකීමක් තිබෙන සංවේදී පුද්ගලයෙකුට ප‍්‍රකාශ කල හැකි ද?

රාජපක්ෂ ආන්ඩුවට “උතුරට බලය බෙදීමක්” සඳහා අභිලාෂයක් ඇති බව ද ආන්ඩුව ශක්තිමත් බව ද ගුනරත්න කියා සිටී. ආන්ඩුවේ ශක්තීන් ගැන ගුනරත්නට පවතින්නේ විශාල මිථ්‍යාමය විශ්වාසයකි. රාජපක්ෂ ආන්ඩුව මෙන් ම ඊට පෙර පැවති ධනපති ආන්ඩු විසින් ද ගෙන ගිය දෙමල ජන ඝාතක යුද්ධය පෙන්නුම් කලේ දෙමල මහජනයාට මොන යම් ම හෝ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියක් දීමට කොලඹ ධනපති පන්තියේ කුමන කොටසක් වත් සූදානම් නැති බව ය.

උතුරේ ගෙන ගිය යුද්ධයේ දී ගොඩ නැගූ මිලිටරිය හා විධික‍්‍රම දැන් දකුනේ කම්කරු-පීඩිත ජනයාට එරෙහිව විවෘතව හා රුදුරු ලෙස මුදා හැරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටී. එසේ නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවන් නියෝග කර ඇති වෙලඳ පොල ප‍්‍රතිසංස්කරන තවත් ගැඹුරු කිරීමක් හෝ කම්කරු පන්තියේ අරගල පිපිරීම මැඩලා ගැනීමක් කල නොහැකි බවට ආන්ඩුව ගනන් බලයි.

ධනපති ක‍්‍රමයට එරෙහිව සටන් කිරීම මගින් මහජනතාව ම තමන් මතට විනාශයක් කඩා පාත් කර ගන්නා බවට නරුම ප‍්‍රකාශ දීමේ දී ගුනරත්න වැලිවේරිය වෙඩි තැබීම් virtual reality හි (අතාත්වික යථාර්ථයෙහි) සිදු වූවක් ය යන මනෝ විකාරය පසෙක තබා නග්නව සිට ගනී. තම දක්ෂිනාංශික ස්වභාවය විශදව දක්වමින් ගුනරත්න ඝාතනයන් ගැන සඳහන් කරනුයේ “අපිට කියන්න තියෙන්නේ කරන්න දෙයක් නෑ. උතුරේ යුද්ධය දිනූ විට කිරි බත් කෑව නම් ඕක තමයි වෙන්නේ” යනුවෙනි. එනම් වෙඩි ප‍්‍රහාරයන්ට ලක් වී ඝාතනය වීම මගින් සිදු වූයේ වැලිවේරිය ජනයාට සුදුසු දේ ලැබීම බව යි. වෙඩි තැබීම මෙසේ යුක්ති සහගත කිරීම මගින් ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ඔප්පු කර ඇත්තේ තමන් රාජපක්ෂ තන්ත‍්‍රයේ බත් බැලයන් ය යන්න ය.

මහජනතාව වෙඩි කෑම අනුමත කරන ගමන් ම වෙඩි තැබීම සිදුව ඇත්තේ virtual reality (අතාත්වික යථාර්ථයෙහි) යැයි ප‍්‍රකාශ කිරීමේ කිසිදු ගූඪ භාවයක් නැත. එය ඔවුන්ගේ සුලු ධනපති පන්ති ස්වභාවයෙන් පැන නගින්නකි. ධනපති පන්තිය ඉදිරියේ වැඳ වැටී කන්නලව් කරන අතර කම්කරු අරගලවලින් තම සුලු දේපොලවලට තර්ජනයක් එල්ල වේ යැයි බියෙන් මෙම කන්ඩායම් කම්කරු පන්තියට මාරකව හතුරුව සිටී.

මෙම පරපුටු මධ්‍යම පන්තිකයන්ට පන්ති අරගලයෙන් ගව් ගනන් ඈත්ව තමන්ගේ සුලු ජීවිතය ගැට ගසමින් මෙසේ යථාර්ථය ප‍්‍රතික්ෂේප කල හැකි වුවත් කම්කරු පන්තියට එසේ කල නොහැකි ය. වැලිවේරියේ පමනක් නො ව අනෙකුත් ප‍්‍රදේශවල මහජනයා ද තම ජීවන අත්දැකීම මගින් වෛෂයිකව අත්දකින්නේ ප‍්‍රතිගාමී රාජපක්ෂ තන්ත‍්‍රය විස්ථාපනය කරමින් කම්කරු-ගොවි ආන්ඩුවක් (බලයට) ගෙන ඒමේ අවශ්‍යතාව යි.

මේ සියලු කරුනු සලකා බැලූ විට එක් දෙයක් පැහැදිලි ය. වැලිවේරිය ජනයා පිරිසිදු පානීය ජලය සඳහා කරන අරගලය පීලි පැන්නවීම සඳහා තීරනාත්මක ක‍්‍රියා කලාපයක් ව්‍යාජ වාම සංවිධාන හා පශ්චාත් නූතනවාදීන් විසින් ඉටු කරන ලදී. පානීය ජලය ඇතුලු මහජනයාගේ සියලු මූලික අයිතිවාසිකම් ආරක්ෂා කල හැක්කේ කම්කරු පන්තිය ඇතුලු පීඩිත ජනයා සමාජවාදී වැඩ පිලිවෙල මත විප්ලවවාදීව බලමුලු ගැන්වීමෙන් වන අතර ව්‍යාජ වම්මුන් හෙලිදරව් කිරීම එම අරගලයේ තීරනාත්මක කොටසකි.

මතු සම්බන්ධයි

Share this article: