පේරු දේශගුනික විපර්යාස සාකච්ඡා වල නැවතත් මහ බලවතුන්ගේ එදිරිවාදිකම් රජ කරයි

Peru climate change negotiations again dominated by great power rivalries

පැටි‍්‍රක් කෙලී විසිනි , 2014 දෙසැම්බර් 16

දෙසැම්බර් මස 2 වන සති අන්තයේ දී එක්සත් ජාතීන්ගේ නවතම දේශගුනික සමුලුවල එනම් පාර්ශ්වකරුවන්ගේ 20 වන සාකච්ඡා සමුලුව ගෝලීය කාබන් විමෝචන අඩුකිරීම පිලිබඳ කිසිදු එකඟ තාවයකින් තොරව පේරු අගනුවර වන ලීමා හිදී අවසන් විය.

මෙසේ නිරතුරුවම වැඩි වර්ධනය වන පාරිසරික අර්බුදයකට විසඳුම් සෙවීම සඳහා සැලකිය යුතු කිසියම් පියවරක් ගැනීමට අසමත් වීම නිසා 2009 දී කෝපන්හේගන්හි මුලුමනින්ම අසාර්ථක වූ එක්සත් ජාතීන්ගේ දිගු සමුලු වැලට ලීමා ද එක්වනු දකිය හැකිවිය. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඇතුලු ලෝක නායකයන් මහත් කාහලනාද මධ්‍යයේ එම අවස්ථාවේ මුන ගැසුන ද චීනය හා රුසියාව ඇතුලු ප‍්‍රතිමල්ල බලවතුන් සහ එක්සත් ජනපදය අතර කටුක බෙදීම් හමුවේ ඒකාබද්ධ පශ්චාත් කියෝටෝ ගිවිසුමක් සඳහා එකඟතාවක් ඇතිකර ගැනීමට අසමත් වූහ.

ලබන දෙසැම්බර් මාසයේදී පැරිසියේදී ඉහල පෙලේ සමුලුවක් පැවැත්වීමට නියමිත වුව ද ඒකාබද්ධ ගිවිසුමක් පිලිබඳ උත්සාහ දැරීම පිලිබඳ යෝජනා වොෂිංටනය කල් තියාම ඈවර කර දැමීය. මීට ප‍්‍රතිකූලව හරිතාගාර වායු විමෝචන අඩු කිරීමේ ස්වේච්ඡා සැලසුම් ඒ ඒ ජාතික ආන්ඩු විසින් පිලියෙල කරනු ඇත.

අවසානයේ දී පැරිසියේ සිදුවීමට ඉඩ ඇති දේ ගැන දල චිත‍්‍රයක් ලීමා හිදී දැකගත හැකි විය. ප‍්‍රධාන බලවතුන් කිසිවකට හෝ බැඳී නොසිටින නමුත් ඔවුන්ගේ ප‍්‍රතිවාදී උත්සුකතා තුලනය කිරීමට උත්සාහ දැරූ ප‍්‍රකාශනයකට, පේරුවියානු සමුලුව දින දෙකකින් දීර්ඝ කිරීමෙන් පසුව අවසනයේදී නියෝජිතයෝ එකඟ වූහ.

දේශගුනික ක‍්‍රියාන්විත සඳහා ලීමා කැඳවුම ලෙස නම්කල, පිටු 5 ක ප‍්‍රකාශනය, “එසේ කිරීමට සූදානම්” ආන්ඩු මාර්තු මස 31 වනදා වනවිට, තමන්ගේ විමෝචන අඩුකිරීම සඳහා වූ ඉලක්ක ඇතුලත් සැලසුම් ඉදිරිපත් කරන බව පැහැදිලි කරයි. ඒ හා සමගම එම කපාහැරීම් සාක්ෂාත් කරගැනීම උදෙසා ක‍්‍රියාත්මත කලයුතු දේශීය නීති රීති පිලිබඳ විස්තර ද ඇතුලත් කෙරේ. කිසිවක් සඳහා බැඳීමක් නොමැත.

ආන්ඩු වලින් ඉදිරිපත් කරන විමෝචන සැලසුම්ල අධීක්ෂනය හා සත්යේක්ෂනය කිරීමේ යාන්ත‍්‍රනයන් සඳහා යුරෝපා සංගමය විසින් නිකුත් කල ප‍්‍රබල ඉල්ලීම්, තම ස්වෛරීත්වයට තර්ජන කරන බැව් පවසා සිටි චීනය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. වාර්ෂික ඉලක්ක සහ ජාතික විමෝචන ගනනය කිරීමේ විධික‍්‍රම පිලිබඳ පැහැදිලි කිරීම් ද ඇතුලත් විවිධ විස්තර ආන්ඩු විසින් “සැපයිය යුතු” බව සඳහන් කෙරෙන මුල් කෙටුම්පතෙහි කොටසක් ලීමා ලියවිල්ලේ දියාරු කර තිබේ. අවසන් සංස්කරනය පවසන්නේ “සැපයිය හැකි” බවට සඳහනක් පමනි.

චීනය, ඉන්දියාව හා බ‍්‍රසීලය ඇතුලු ඊනියා සංවර්ධනය වෙමින් පවතින රටවල්’ විමෝචන අඩුකිරීමට එකඟවන තරමට පමනක් තම රටවල් තුල එම අඩු කිරීම් සිදු කිරීමට එකඟවීමේ තම ඉලක්කය ලඟාකර ගැනීමට වොෂිංටනය ඔස්ටේ‍්‍රලියාව හා කැනඩාව ඇතුලු එහි සහචර රටවල් සමත් විය.

“වෙනස් ජාතික තත්වයන් සැලකිල්ලට ගන්නාවූ, පොදු නමුත් විශේෂනය කල වගකීම් සහ (ඒ ඒ පාර්ශ්වයන්ගේ) හැකියා පිලිබඳ මූලධර්මය” මත පාදක වූ 2015 ගිවිසුමක් පිලිබඳ සඳහනක් ලීමා ප‍්‍රකාශනයේ අඩංගුවේ ගිවිසුම්ගත විමෝචන අඩුකිරීමේ ඉලක්ක පවරාදුන් සෑම රටක්ම පාහේ දියුනු ධනපති රටවල් වු හා අනෙක් රාජ්‍යයන් සඳහා ස්වේච්ඡා පියවර ගැනීම පමනක් ඉල්ලා සිටි, කියෝටෝ ප්‍රොටොකෝලයෙන් (ගිවිසුමෙන්) මෙය වෙනස් වේ.

මෙම වෙනස්කම අහෝසි කල යුතු බවට ඔබාමා පරිපාලනය දිගු කලක් තිස්සේ එක දිගටම ඉල්ලා සිටියේය. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලීමා හි පැවැත්වූ කථාවේ දී කියා සිටි පරිදි, “ඇත්ත කරුන නම්, ක‍්‍රියාත්මක කිරීමට වගකීම ඇත්තේ කාටද යන්න පිලිබඳව දෙපසට අදිමින් සිටීමට අපට කාලයක් නැති බවයි.... අද දින ගෝලීය විමෝචන වලින් අඩකට වඩා සිදු කරනු ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මගිනි, එම නිසා ඔවුන්ගේ කි‍්‍රයාකාරීත්වය ද අත්‍යාවශ්‍ය කෙරී ඇත.”

වොෂිංටනයේ සැබෑ න්‍යාය පත‍්‍රය නම්, ගෝලීය දේශගුන විපර්යාස පිලිබඳ ඵලදායී එකඟතාවක් ඇතිකර ගැනීම නොව, කියෝටෝ ගිවිසුමෙන් පසුව ඇතිකර ගැනෙන ගිවිසුමකින් තම ප‍්‍රතිමල්ල බලයන් කිසියම් ආර්ථික හෝ භූ - දේශපාලන වාසියක් ලබාගැනීම වැලැක්වීමයි. ඇමරිකානු ධනවාදයේ ගැඹුරුවන අර්බුදයට හා ඛාදනයට ලක්වන ලෝක ආධිපත්‍යයට ප‍්‍රතිචාරයක් ලෙස, චීනයට වල කැපීම සහ එහි මිලිටරිමය වටලෑම එල්ල කරගත් ප‍්‍රකෝපකාරී ආසියා-ෆැසිපික් කලාපය වෙත “හැරීම” ඔබාමා පාලනාධිකාරය විසින් දියත් කර තිබේ. ඒ හා සමඟම යුක්රේනය තුල ෆැසිස්ට්වාදීන්ගේ සහභාගිත්වයෙන් ආන්ඩුවක් පිහිටුවීමෙන් පසු එය රුසියාවට ආක‍්‍රමනශීලි ලෙස අභියෝග කරන අතර යුරේසියානු භූතලය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනුහසට රුකුලක් ලෙස නැගෙනහිර යුරෝපය සිසාරා යුද ආතතිය ඇවිලවීමේ යෙදී සිටියි.

නව දේශගුනික විපර්යාස ගිවිසුමක් සඳහා වූ අසාර්ථක සාකච්ඡා පැවැත්වුනු භූ දේශපාලන සන්දර්භය මෙය වේ. සෑම ජාතික පාලක පන්තියක්ම තමන්ගේ සංගතවල උත්සුකයන් ප‍්‍රවර්ධනය කිරීමට හා තම ප‍්‍රතිවාදීන්ට එරෙහිව මූලෝපායික පදනම් වැඩි දියුනු කර ගැනීමට උත්සාහ කරද්දී, මානව සංහතිය මුහුන පාන මහා පාරිසරික විනාශය පිලිබඳ සාක්ෂි ගොඩ ගැසෙමින් තිබේ.

පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුනික වෙනස්කම් පිලිබඳ මන්ඩලය හෙවත් අයිපීසීසී ලොවපුරා දේශගුන විද්‍යඥයන් දහස් ගනනකගේ නවතම පර්යේෂන වල සම්පින්ඩනයක් නිකුත් කරන ලදී. පවතින තත්වයන් යටතේ ලෝකයේ සාමාන්‍ය උෂ්නත්වය මෙම සියවස අවසානයේ දී 4 කින් පමන ඉහල යනු ඇති බව එය වාර්තා කලේය. මෙහි ප‍්‍රතිඵල වශයෙන් “තර්ජනයට ලක්වූ පද්ධති මත අධික හා පුලුල් බල පෑම් ද, ජීවී විශේෂ සෑහෙනු පමන වඳවී යෑම ද, ගෝලීය හා ප‍්‍රාදේශීය ආහාර සුරක්ෂිතතාව සඳහා විශාල වූ අවදානම් ඇතිවීම ද, විපාක වශයෙන් සාමාන්‍ය මිනිස් කි‍්‍රයාකාරකම් කෙරෙහි සිමාවන් ද, පෙරලුම් ලක්ෂ්‍ය ගැස්සී යෑම සඳහා වැඩිපුර අවස්ථා ද, සමහර ස්ථානවල අනුවර්තන ශක්‍යතාව සීමිත වීම ද” සිදුවේ.

නියෝජිතයන් ලීමා හිදී මුනගැසේද්දී ම 2014 වර්ෂය මේ වනවිට, (ඓතිහාසිකව) ඉහලම උෂ්නත්වයක් වාර්තා කල වසර බවට පත්ව ඇති බව ලෝක කාලගුනික සංවිධානය වාර්තා කලේය.

පූර්ව කාර්මික යුගවලට වඩා සෙල්සියස් 2 කට අඩුවෙන් ගෝලීය උනුසුම් වීම පවත්වා ගැනීමට නම්, 2010 සිට 2050 අතර කාලය තුල 40% - 70% අතර ප‍්‍රමානයකින්, ගෝලීය විමෝචන අඩුවිය යුතු බව ද, ශුද්ධ කාබන් විමෝචන වසර 2100 වන විට ශුන්‍යය කරා අඩුකල යුතු බවට ද අයිපීසීසී තක්සේරු කර ඇත. එසේ වුවද, සෙල්සියස් 2 ක උෂ්නත්වය ඉහල යෑමකට ඉඩ දීම නිසා උග‍්‍ර පාරිසරික ගැටලු ඇතිවීම පිලිබඳ අවදානමට මුහුන පෑමට සිදුවනු ඇතැයි ද එමනිසා කාබන් විමෝචන වඩා ශීඝ‍්‍රලෙස කප්පාදු කලයුතු යයි ද දේශගුන විද්‍යාඥයන් කිහිප දෙනෙකුම අනතුරු අඟවා තිබේ.

මෙවැනි බියදනවන විද්‍යාත්මක සාක්ෂි කිසිවකින්, ප‍්‍රධාන ධනපති රටවල ස්ථාවරය වෙනස් වී නැත. ලාභය සඳහා වූ පද්ධතියක රාමුව තුල දේශගුනික විපර්යාස පිලිබඳ අර්බුදය විසඳාලීමේ නොහැකියාව, ලීමා සාකච්ඡා තුලින් සහ ලබන අවුරුද්දේ පැවැත්වීමට නියමිත පැරිස් සමුලුව සඳහා වන සූදානම තුලින් ද සලකුනු කරයි. එවැනි පද්ධතියක් තුල, ඒ සඳහා අවශ්‍ය කරන ගෝලීය ආර්ථික ප‍්‍රතිසංවිධානය මෙන්ම පවත්නා හා ශක්‍ය තාක්ෂනවේදයන් තර්කානුකූල ලෙස යොදා ගැනීම සිදුකල නොහැක්කේ, සංගතවල උත්සුකතාවන් සහ අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිඝතිතා විසින් මැඩ පවත්වනු ලැබෙන බැවිනි.

Share this article: