සසප මැතිවරන උද්ඝෝෂනය ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක කෙරෙහි පැතිර පවතින කලකිරීම හෙලිකරයි

Sri Lanka: SEP election campaign reveals widespread disillusionment with main political parties

අපේ වාර්තාකරුවන් විසිනි, 2014 දෙසැම්බර් 22

ගෙවුනු දෙසතිය තුල සමාජවාදී සමානතා පක්ෂයේ සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ (සසජාතශි) සාමාජිකයන් සහ ආධාරකරුවන්, සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන වෙනුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසකදී තියුනු උද්ඝෝෂනයක් දියත් කලහ. දැනටම ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වා තිබෙන කොලඹ, මහනුවර, හලාවත, ගම්පහ සහ හැටන් යන නගර ද මීට අයත්ය. උද්ඝෝෂකයෝ මෙහිදී දහස් ගනනින් සසප මැතිවරන ප‍්‍රකාශනය සහ පක්ෂයේ අනෙකුත් පොත්පත් බෙදාහැරියහ.

ජනවාරි 8දා ජනාධිපතිවරනයට දින නියමව ඇත. විජේසිරිවර්දන හැරුනු කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂයේ "පොදු අපේක්ෂක” මෛත‍්‍රීපාල සිරිසේන ඇතුලු අපේක්ෂකයෝ 18ක් මෙවර තරග වදිති.

ජනප‍්‍රිය සිංහල රූපවාහිනී නාලිකාවක් වන දෙරන, දෙසැම්බර් 10 වන දින විකාශනය කල වාද පිටිය වැඩසටහනට සහභාගී වීමට විජේසිරිවර්ධනට අවස්ථාව සැලසීය. එහිදී විනාඩි 10ක පමන කාලයක් පුරා පක්ෂයේ ප‍්‍රතිපත්ති පැහැදිලි කිරීමට ඔහුට ඉඩ ලැබිනි. ඡන්ද අපේක්ෂකයන්ට සිය ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ප‍්‍රයෝජනයට ගනිමින් විජේසිරිවර්දන, ජාතික රූපවාහිනිය විසින් ලබා දුන් විනාඩි 30ක කාලය තුල පක්ෂයේ ස්ථාවරය පිලිබඳව ද සිංහලෙන් හා දෙමලෙන් කතා කලේය. ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ද ඔහුට විනාඩි 15ක කාලයක් ලැබුනි.

හලාවත උද්ඝෝෂනය

පාරිභෝගික භාන්ඩ වල මිල ඉහලයාම ද ධීවර බෝට්ටු සඳහා ඉන්ධන මිල වැඩි කිරීමෙන් ප‍්‍රදේශයේ බොහෝ ධීවරයන්ට සිදුවූ අයහපත් බලපැම ආදී කරුනු මත බොහෝ දෙනා රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි සිය විරෝධය පල කලහ.

හලාවත ධීවරයන් සමග කරුනු දක්වමින්

"මේක කලින් මැතිවරන වගේ නෙවෙයි. කවුරු ජනාධිපති වුනත් සාමාන්‍ය ජනතාවට ලැබෙන සෙතක් නැහැ. තත්වය තවත් නරක අතට හැරෙයි.” සිය පවුලේ අවශ්‍යතා පිරිමසා ගැනීමට කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන විශ‍්‍රාමික රජයේ සේවකයෙක් පැවසීය.

"රජයේ රූපවාහිනිය සංවර්ධන වැඩසටහන් ගැන දොඩවනවා. නමුත් අපිට අපේ ජීවිත ගෙනියන්න විධියක් නැහැ. ලමයෙක් ඉස්කෝලෙට දාගන්න විධියක් නැහැ. ලෙඩකට බෙහෙත් ගන්න වියදම දරාගන්න බැහැ. ඒ වුනාට ඉස්සර වගේ නෙවෙයි, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, ඇමතිවරු වගේම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුත් මැතිවරන ප‍්‍රචාරනයට මුදල් කන්දරාවක් යට කරනවා.”

සසප හැර අන් කිසි පක්ෂයක් තවත් ලෝක යුද්ධයක තර්ජනය මතු නොකරන බව ඔහු තවදුරටත් කියා සිටියේය. "නමුත් අපි රූපවාහිනියෙන් යුකේ‍්‍රනයේ සහ මැදපෙරදිග යුද තත්වයන් දකින විට සිද්ධවෙන දේ ගැන යමක් දැනගන්නවා. මේ රටේ දේශපාලන පක්ෂ හෝ මාධ්‍යය මේවට කිසි අවධානයක් දෙන්නේ නැහැ. යුද්ධය අවශ්‍ය ධනපතියන්ට මිසක් දුප්පත් ජනතාවට නොවෙයි.”

හලාවතට නුදුරු අලුත්වත්ත ප‍්‍රදේශයේ කුඩා බෝට්ටු හිමියෙක් ආන්ඩුව 2012 දී ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු ධීවරයන් මුහුන දුන් තත්වය පැහැදිලි කලේය. 50%කින් මිල ඉහල දැමීමට තමන් ගෙන ගිය විරෝධතාවයට, වෙඩි ප‍්‍රහාර එල්ල කල පොලිසිය තම සගයෙකු වන ඇන්තනී ප‍්‍රනාන්දු මරාදැමූ හැටි ඔහු සිහිපත් කලේය. "දැන් ඡන්දෙ කිට්ටු හින්ද ඔවුන් තෙල් මිල අඩු කලා” යැයි ඔහු අවඥා සහගතව කීය.

විශ්වවිද්‍යාල සිසුන්

කොලඹ විශ්වවිද්‍යාලයේ සිසුහු ලංකාවේ දේශපාලනය කෙරෙහි ඇමෙරිකාවේ මැදිහත්වීම පිලිබඳව අවධානය යොමු කලහ.

බදුල්ල ප‍්‍රදේශයෙන් පැමිනි දෙවන වසර සිසුවෙක් වන ධනුෂ්ක ගොවිතැනෙහි යෙදෙන සිය දෙමාපියන් දිගින් දිගට මුහුන පාන පාඩු නිසා සිය මාසික වියදම් රු.6000 දක්වා කප්පාදු කිරීමට සිදුව තිබෙන බව පැහැදිලි කලේය. "උපාධිය ගත්තට පස්සෙත් අපට හරිහමන් රැකියාවක් හොයාගන්න නැහැ. හොඳ අනාගතයක් හදාගන්න අපිට වරලත් ගනකාධිකාරී වැනි අමතර විභාග කරන්න වෙලා” ඔහු තවදුරටත් පැවසීය.

මැතිවරනය පිලිබඳව අදහස් දක්වමින් ධනුෂ්ක පැවසුවේ, "ආන්ඩුව යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රහනය (බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට විරුද්ධව ගෙන ගිය) ගසා කනවා. ඔවුන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනසන අතර මිනිස්සු විපක්ෂයේ පොදු අපේක්ෂකයට ඡන්දෙ දෙයි. ඒත් කවුරු බලයට ආවත් ජනතාව මුහුන දෙන්නේ පරාජයකටයි. ඔක්කොම ආන්ඩු මහජනතාව රවටනවා. මට දේශපාලනය අප‍්‍රිය වෙලා තියෙන්නේ” යනාදී වශයෙනි

ධනුෂ්ක පැවසුවේ මෙම යුද වියරුවට හේතුව අධිරාජ්‍යවාදී බලවතුන්ගේ බල තන්හාව බවයි. ධනේශ්වර ක‍්‍රමය තුල පෞද්ගලික දේපල සහ සමාජීය නිෂ්පාදනය අතර ඝට්ටනයෙන් ද ගෝලීය ආර්ථිකය සහ ජාතික රාජ්‍ය අතර ඝට්ටනයෙන් ද යුද්ධය පැනනගින බවට සසප කල පැහැදිලි කිරීම කෙරෙහි ඔහු පැහැදුනි.

සසජාතශි ආධාරකරුවෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලපෑම යටතේ ක‍්‍රියාත්මක කෙරුනු සමාජ වැඩසටහන් කප්පාදුවට ගොදුරු වූ සිසුන්ට ද කථා කලහ. කෙසේ වෙතත් ඉන් සමහරෙක්, විපක්ෂයේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාපය), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), සහ නව සමසමාජ පක්ෂය (නසසප) වැනි ව්‍යාජ වාම පක්ෂ වල ප‍්‍රචාරය තුලින් ”පොදු විපක්ෂයේ” අපේක්ෂක සිරිසේනට සහය පලකිරීමට යොමුවී සිටිති.

රාජපක්ෂ ආන්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරයෙකු වන සිරිසේන, වොෂින්ටනයේ නිහඬ සහය ලත් විපක්ෂ එජාපයේ නායක රනිල් වික‍්‍රමසිංහගේ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පෙලඹවීමෙන් පාලක පක්ෂයෙන් බිඳී ගියේය. ඔහුගේ අපේක්ෂකත්වය වනාහි චීනයට විරුද්ධව එක්සත් ජනපද මාවත ගන්නා ආන්ඩුවක් පිහිටුවීම සඳහා දැරෙන ප‍්‍රයත්නයකි.

රත්මලාන දුම්රිය සේවකයෝ

සසප උද්ඝෝෂන කන්ඩායමක් රත්මලාන දුම්රියපල වැඩ අංගනයන්ට යාබද දුම්රිය කම්කරුවන්ගේ නිවාස පිහිටි පෙදෙස් වෙත ගියහ. දුම්රිය කම්කරුවෝ සිය ගනනක් එම නිවෙස්වල වෙසෙති. එයින් බොහොමයක් අලුත්වැඩියා කල යුතු, අබලන් තත්වයේ පවතින අතර ආන්ඩුව ඒවා නොසලකා හැර අත.

උද්ඝෝෂනයේදී සසප පිලිවෙත් පිලිබද තරුන දුම්රිය කම්කරුවා වෙත පැහැදිලි කරමින්

දුම්රිය සේවකයෝ මූර්ත වැටුප් පහත හෙලීම පිලිබඳ සිය නොසතුට පලකලහ. බඩු මිල ඉහල ගිය ද තම වැටුප් අවුරුදු ගනනාවක්ම එකතැන පල්වෙන බව එක් අයෙක් පැවසීය. බොහෝ කම්කරුවෝ අමතර මුදලක් උපයා ගැනීමට දිවා රාත‍්‍රී දෙකෙහිම වැඩ කරති.

"අපි දන්නව මේ දෙන්නම එකයි කියල, ඒත් මොනවා කරන්නද කියල දැනගන්න බලන් ඉන්නවා. මම හිතන්නේ රාජපක්ෂ මොන විදියෙන් හරි බලය අරන් මේ පීඩනය දිගටම එල්ල කරයි. ප‍්‍රධාන අපේක්ෂකයන් දෙපල වන රාජපක්ෂ සහ සිරිසේන ගැන ඔහු දැරුවේ එවන් අදහසකි. තවද ඔහු, ”මම සුබ පතනවා කම්කරු පන්තියේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන ඔයාලගේ උත්සාහයට” යැයි කියමින් සසප අගය කලේය.

දුම්රියපල නිවාස තුල සිය සොහොයුරාගේ පවුල සමග ජීවත්වන ඩයලොග් ආයතනයේ සේවකයෙක් මෙසේ අදහස් දැක්විය. "ඩයලොග් ආයතනය අපි වගේ සේවකයන් බඳවාගැනීමට වෙනම මෑන්පවර් ඒජන්සි පිහිටුවල තියෙනවා. දැනට ඒ හරහා සිය ගනනින් සේවකයන් බඳවගෙන තියෙනවා.” ආයතනයේ වසර 8ක් සේවය කර ඇති ඔහු ඕනෑම මොහොතක රැකියාවෙන් ඉවත් කරනු ලැබිය හැකිය. සසප උද්ඝෝෂකයින්ට සවන් දීමෙන් පසුව "මේ පීඩාකාරී ක‍්‍රමය වෙනස් කිරීමට රාජපක්ෂ හෝ සිරිසේන කිසිවක් නොකරන බව මම තේරුම් ගත්තා.”යැයි ඔහු පැවසීය. සසප මැතිවරන අරමුදලට ආධාර කල ඔහු සසප වැඩපිලිවෙල කියවා බලා එහි අපේක්ෂකයාට ඡන්දය දීම පිලිබඳව සැලකිල්ල යොමුකරන බව ඔහු පැවසීය.

දුම්රිය සේවකයෙකුගේ බිරිඳ වන ප‍්‍රසාදිකා මෙසේ පැවසුවාය. "අනිවාර්යයෙන් වෙනසක් සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒත් කවුරු බලයට ආවත් ඒ දේ වෙයිද කියල සහතිකයක් නැහැ. අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අය පාසල් යවන්නයි වෙනත් වියදම් වලටයි 40,000ක් විතර යනවා. ජීවිතය දවස ගානෙම තව තවත් අමාරු අඩියකට යනවා.”

ලෝක යුද්ධයකට ඇති තල්ලුව පිලිබඳව ඇය පැවසුවේ "මමත් එකඟයි රටේ අභ්‍යන්තර තත්වය තීරනය කෙරෙන්නේ බාහිර ලෝකයේ තත්වය විසින් කියන එකට. මගේ ප‍්‍රශ්නය ලෝක යුද්ධයක් සිද්ධ වෙන්න යනව නම් ඒක වලක්වන්නේ කොහොමද කියන එකයි” යනුවෙනි. සමාජවාදී පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය සසප උද්ඝෝෂකයන් පැහැදිලි කරන විට ඇය එය සාවධානව අසා සිටියාය.

දුම්රිය සේවකයෙකුගේ පුතකු වන පාසල් සිසුවෙක් මෙලෙස පැවසීය."එක්සත් ජනපද හමුදා සිදුකරන විනාශකාරී බෝම්බ ප‍්‍රහාර රූපවාහිනියෙන් දකින විට ඒවා නැවැත්වීමට අපට කරන්න පුලුවන් මොකක්ද කියන එක ගැන මම හිටියේ කනස්සල්ලකින්. ඔයාලට ඇහුම්කන් දුන්නම මම තෙරුම් ගත්තා අපි සංවිධානය විය යුතු බව”. ඔහු තවදුරටත් කියා සිටියේ වෙබ් අඩවිය කියවන බවත් සසප රැස්වීම වලට සහභාගී වන බවත්ය.

Share this article: