ශ්‍රී ලංකා ජනාධිපතිවරනයේදී දෙමල ජාතිකවාදීහු ඇමරිකාවේ පිටුබලය ලත් විපක්ෂයට සහය දෙති

Tamil nationalists support US-backed opposition in Sri Lankan election

කේ. නේසන් විසිනි, 2015 ජනවාරි 07

මෙම ජනාධිපතිවරනයේදී ප්‍රධාන දෙමල ජාතිකවාදී පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), ඇමරිකාවේ සහය ලබන මෛත්‍රිපාල සිරිසේනට කොන්දේසි විරහිතව සහය පලකරයි.

පක්ෂ සාමාජිකයින්, දෙමල විද්වතුන් සහ ශාස්ත්‍රාලිකයින් සමඟ සාකච්ඡා කල යුතු බව කියා සිටිමින් ටීඑන්ඒ, මැතිවරනය පිලිබඳ සිය ස්ථාවරය නිවේදනය කිරීම සති ගනනක් පමා කලේය. ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ඉන්දියාවේ සිට පැමිනීමෙන් පසුව දෙසැම්බර් 30 දින පැවති මාධ්‍ය හමුවකදී, එම පක්ෂය සිරිසේනට තම සහාය ලබාදෙන බව නිවේදනය කලේය.

සම්බන්ධන් නවදිල්ලියේ රැඳී සිටීමට හේතුව සහ ඔහු උපදෙස් ගත්තේ කාගෙන්ද යන වග මාධ්‍යයට හෙලිදරව් කලේ නැත.

ටීඑන්ඒ මාධ්‍ය ප්‍රකාශය සිරිසේනට සහය දක්වමින්, මහින්ද රාජපක්ෂ යටතේ පෙර නොවූ විරූ පරිමානයේ ප්‍රහාරයන්ගෙන් විනාශයට පත්වුනු, “ප්‍රජාතන්ත්‍ර සාරධර්ම, යහ පාලනය සහ නීතියේ අධිපත්‍යය” ප්‍රතිස්ථාපනය කිරීමේ මෙහෙයුමේදී ඔහු නිකැලැල් අපේක්ෂකයෙකු ලෙස අවිවේචනාත්මකව අනුමත කලේය. එම ප්‍රකාශය “ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනයෙන් ඉක්බිත්තෙහි වර්ධනය වන පොදු එකඟතා මත පදනම් වන උපදේශක දේශපාලන සංස්කෘතියක් ” වග වර්නනා කලේය.

“අපි හිතනවා මෛත්‍රිපාල සිරිසේන රටම එක් ජාතියක් ලෙස එකමුතු කරයි කියල. අතීත වාර්තාවන් දෙස බලද්දී මහින්ද රාජපක්ෂ දෙමල ජනතාවට සාධාරනයක් කරයි කියල විශ්වාස කරන්න අපිට කිසිම හේතුවක් තිබුනේ නැහැ” ඩේලි මිරර් පුවත් පත සමඟ කල සම්මුඛ සාකච්ඡාවකදී සම්බන්ධන් යලිත් පැවසීය.

ඇත්තවශයෙන්ම, රාජපක්ෂගේ වාර්තාව මෛත්‍රිපාල සිරිසේනගේ වාර්තාවෙන් වෙනස් නොවේ. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසද රාජපක්ෂ නොසිටින ඇතැම් අවස්ථාවල ආරක්ෂක ඇමති ලෙසද ක්‍රියාකල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසඉදිරිපත් වීම පිනිස ආන්ඩුවෙන් ඉවත් විය. සිවිල් යුද්ධය අතරතුර සිදුවූ අපරාධ සහ කම්කරු පන්තියට එල්ල කල ප්‍රහාරයන් වලට ඔහු ද එලෙසම වගකිව යුතුය. සිරිසේන 1967 සිට පාලක ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සාමාජිකයෙක් වූ අතර ඉන් අවසන් වසර 10 එහි මහලේකම් ලෙස සේවය කලේය.

සිංහල වර්ගවාදය හුවා දක්වමින් 1951දී පිහිටුවන ලද ශ්‍රීලනිපය 1956දී පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කර 1958 දී ද්‍රවිඩ ජනයාට එරෙහි පලමු මහා වර්ගවාදී ප්‍රචන්ඩත්වය දියත් කරමින් සුලුජාතීන්ට එරෙහි වෙනස්කම් කිරීම වැඩිදුරටත් සංස්ථාගත කල සිංහල පමනක් පනත ක්‍රියාවට නැංවීය.

ප්‍රජාතන්ත්‍රවාදය මුලිනුපුටා දැමීම, ඥාති මිත්‍ර සංග්‍රහය , එකාධිපතිත්වයක් දෙසට ගමන් කරමින් ජනාධිපති බලය අයථා ලෙස භාවිත කිරීම ගැන සිරිසේන රාජපක්ෂට චෝදනා කලේය. කෙසේ වෙතත් 2009 දී එල්ටීටීඊය පරදා මහා ජන සංහාරයකින් අවසන් කල, දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධය යලි ඇරඹීමට රාජපක්ෂ 2006 දී ගත් තීරනය සම්බන්ධයෙන් ඔහු මුනිවත රකී. දහස්ගනනක් සිවිල් වැසියන් සංහාරය කිරීමෙන් සහ හමුදා විසින් පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරු වලට 280 000 කට වැඩි ජනතාවක් ගාල් කරමින් කෙලවර වුනු කුරිරු මිලිටරි ප්‍රහාරය එක්සත් ජනපදයේ, ඉන්දියාවේ සහ යුරෝපයේ මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය ඇතිව සිදු විය.

ප්‍රකාශයන් කිහිපයකදීම සිරිසේන ඔහුගේ පරිපාලනය උතුරේ මිලිටරි මැදිහත් වීම් ලිහිල් නොකරන බවත් ,අන්තර්ජාතික යුද අපරාධ පරීක්ෂනයකට ඉඩ නොදෙන බවත් , උතුරේ සහ නැගෙනහිර බලය බෙදීම සඳහා සාකච්ඡා අරඹන්නේ නැති බවත් අවධාරනය කලේය.

ජනවාරි 5 වන දින පැවති මාධ්‍ය හමුවකදී සිරිසේන නිවේදනය කලේ, සුලුජාතික පක්ෂ වන දෙමල ජාතික සන්ධානයේ සහ ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහයෝගය පදනම් වුයේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ තවත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන සඳහා ප්‍රතිඥා දී ඇති සිය දින 100 මැතිවරන ප්‍රකාශනය මත බවයි. ඔහු සුලුජාතික පක්ෂ සමඟ ඔවුන්ගේ ඉල්ලීම් සඳහා වන කිසිඳු දේශපාලන යෝජනාවක් සඳහා කිසිඳු ගිවිසුමකට අත්සන් කර නොමැත. “උතුරෙන් හමුදා ඉවත්කිරීමට මගේ කිසිඳු අදහසක් නැහැ. ජනාධිපති වශයෙන් ජාතික ආරක්ෂාව මගේ වගකීමයි” ඔහු පැවසීය. දෙමල සහ මුස්ලිම් සුලුතරය කෙරෙහි සිරිසේනගේ ආකල්පය රාජපක්ෂගේ ආකල්පයෙන් වෙනස් නොවේ. ඔහුගේ ප්‍රකාශන පෙන්නුම් කරන්නේ, වඩාත් දැඩි පිලිවෙතකි; ඔහු බලයට පත්වුවහොත්, සුලුජාතීන් කෙරෙහි මෙන්ම වැඩකරන ජනතාව කෙරෙහි ද රාජපක්ෂටත් වඩා නිර්දය පිලිවෙතක් අනුගමනය කරනු ඇත.

එතකුදු නොව සිරිසේන කෙරෙහි දෙමල ජාතික සන්ධානයේ කොන්දේසි විරහිත සහයෝගය පෙන්නුම් කරන්නේ තන්ත්‍ර මාරුවක් සඳහා වොෂින්ටනය මෙහෙයවන ලද සැලසුමේ ඔවුන් ද කොටස්කරුවන් බවයි. “මෛත්‍රිපාල සිරිසේනට සහය දැක්වීමට පිටස්තර බලවේගයන්ගෙන් ටීඑන්ඒ නායකයින්ට උපදෙස් ලැබුනි. මාරුව සඳහා ටීඑන්ඒ දායකත්වය පිලිබඳව එහි නායක ආර්.සම්බන්ධන් සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රහසිගත ගිවිසුමකට එලඹී තිබේ.”යනුවෙන් ටැමිල්නෙට් පවසයි.

2010 ජනාධිපතිවරනයේදී ද වොෂින්ටනය, විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ, යුද්ධය අවධියේ හමුදා නායකයාව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දැක්වූ පක්ෂ සමඟ ඒකාබද්ධතාවක් ගොඩනඟාගෙන තිබුනි. ආසන්න විකිලීක්ස් ලේඛනයන් හෙලිදරව් කලේ රාජපක්ෂ පැරදවීම සඳහා ඔහුගේ ඉදිරිපත් වීම ද වොෂින්ටනයේ මෙහෙයුමක් වූ බවයි.

එක්සත් ජනපද තානාපති පැට්‍රිකා ඒ. බියුටෙනිස් සහ ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ (ශ්‍රීලමුකො) සභාපති බෂීර් සේගු දාවුඩ් එජාප, ශ්‍රීලමුකො, ටිඑන්ඒ සහ ෆොන්සේකාට සහය පලකල අනිකුත් විරුද්ධ පක්ෂයන්ගෙන් යුතු සන්ධානයක් ගොඩනැඟීය. ටීඑන්ඒ සභාගයට එක්වීමට කැමැත්තෙන් සිටි නමුත් මුලදී ෆොන්සේකා පිලිගැනීමට අකමැති වුයේය. සම්බන්ධන් බියුටෙනිස්ට පැවසුවේ තමන් “අඩු නපුර ලෙස සලකා ෆොන්සේකාට පෙර රාජපක්ෂට සහයෝගය දෙන බවයි”. බියුටෙනිස් විසින් සම්බන්ධන් ෆොන්සේකාට සහයෝගය දීමට පොලඹවා ගත්තේ කෙසේද යන්න ලියකියවිලිවලින් හෙලිදරව් වූයේ නැත.

යුද්ධය අවසානයේ සිට ටීඑන්ඒ, චීනයට එරෙහි ඔබාමා පරිපාලනයේ මිලිටරි සුදානම සහ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම වන “ආසියාවට හැරීම”, සමඟ පෙලගැසී සිටියි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා වලට අනුග්‍රහ දක්වමින්වොෂින්ටනය, රාජපක්ෂ ආන්ඩුව යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය තුල එක්සත් ජනපද සහය ද ඇතිව සිදුකල මානව අයිතීන් උල්ලංඝනය සහ යුද අපරාධ වලට නින්දිත ලෙස අත පොවා ඇත. 2014 මාර්තු මස යෝජනාව සම්මත කරගත් අතර මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය 2014 ජුනි මස මූලික පරීක්ෂන ආරම්භ කලේය.

පරීක්ෂනයේ අරමුන වූයේ වොෂින්ටනයමත් සම්බන්ධ වුනු යුද අපරාධ වල‍ට දඬුවම් කිරීම නොව චීනයත් සමඟ ඇති සම්බන්ධතා බිඳ එක්සත් ජනපදය සමඟ පෙලගැසීමට ශ්‍රීලංකා ආන්ඩුවට යොදන පීඩනය දැඩි කිරීමය.

ද්‍රවිඩ සංධානය එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් යෝජනාවලියට සහයෝගය දුන්නේය. 2011 නොවැම්බර් මාසයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනාව මත එක්සත් ජනපදයේ දින 10ක සංචාරයක් සඳහා ගිය නියෝජිත කන්ඩායමකට සම්බන්ධන් නායකත්වය දුන්නේය. එක්සත් ජනපද නිලධාරීහු ලංකාවේදී නිතර නිතර ටීඑන්ඒ නායකයන් හමුවූහ. කොන්දේසි විරහිතව සිරිසේනට සහයෝගය දීමේ ද්‍රවිඩ සන්ධාන තීරනය නිසැකවම රාජපක්ෂ යටතේ ලබාගත නොහැකිවූ දේශපාලන විසඳුම ලාබාගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මත බලාපොරොත්තු තැබීමේ වැඩිදුර උත්සාහයකි.

දූෂිත දෙමල ධනේශ්වරයට ද්‍රවිඩ කම්කරුවන් සහ පීඩිතයින් සූරාකෑමට පුලුල් ඉඩකඩ සලසා දෙන අධිරාජ්‍යවාදය සමඟ දේශපාලන සමතයක් වෙනුවෙන් දෙමල සන්ධානය වෑයම් කරයි. එය දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් වල බලය විමධ්‍යගත කිරීමක් තුලින් ලඟා කරගන්නා සිංහල සහ දෙමල ප්‍රභූවන් අතර වර්ගවාදී පදනමකින් යුතු බලය බෙදීමේ සැකැස්මක් ඉලක්ක කරයි.

මෙහිදී සමාජවාදී සමානතා පක්ෂය දෙමල කතා කරන කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ ටීඑන්ඒ අනුමැතිය ලත් අපේක්ෂකයා වන සිරිසේන මෙන්ම රාජපක්ෂ ද ප්‍රතික්ෂේප කරමින් අපේ අපේක්ෂක පානි විජේසිරිවර්දනට ඡන්දය දෙන ලෙසයි.

Share this article: