ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අසාර්ථක වීම යුද්ධයට තුඩුදෙනු ඇති බවට කෙරී අනතුරු අඟවයි

Failure of Iran nuclear pact will lead to war, Kerry warns

තෝමස් ගේස්ට් විසින්, 2015 ජූලි 29

ඔබාමා පාලනය ඉරානය සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික හා දේශපාලන ගිවිසුම කොන්ග්‍රසයෙන් ප්‍රතික්ෂේප වුවහොත්, එය දෙරට අතර යුද්ධයට තුඩුදෙනු ඇති බවට 28දා මන්ත්‍රී මන්ඩලයේ විදේශ කටයුතු කමිටුව හමුවේ සාක්ෂි දෙමින්, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අනතුරු ඇඟවීය.

ඒකාබද්ධ පුලුල් ක්‍රියාකාරී සැලැස්ම හෙවත් JCPOA නම් යෝජිත ගිවිසුම විමර්ෂනය කිරීම සඳහා කොන්ග්‍රසයට දින 60ක කාලයක් ලැබේ. ජනාධිපති සතු නිෂේධ බලය ඉක්මවා යාමට කොන්ග්‍රසයේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන අතර ගිවිසුම ප්‍රතික්ෂේප වීම, ඉරානය හා ඇමරිකාව අතර මිලිටරි ගැටුමක් ඇතිවීම නොවැලැක්විය හැකි බව සහතික යයි කෙරී තර්ක කලේය.

“ඒ වෙනුවට ඔවුන් (ඉරානය) මිලිටරි ගැටුමකට බල කෙරෙන විභවය සහිත තැනකට මෙම වැඩසටහන තල්ලු කරනු ඇත. සාමකාමී අයුරින් මෙම ගැටලුව විසඳීම සඳහා අපට ලැබී තිබෙන හොඳම අවස්ථාව අප නාස්තිකරගත්තා වනු ඇත.” තව ද ටෙහෙරානය සමඟ ගිවිසුම බිඳ වැටුනොත් එක්සත් ජනපදයට, ඉරානයට මුහුන දෙන්ට සිදුවන්නේ සිය යුරෝපීය “හවුල්කරුවන්ගේ” සහයෝගය නොමැතිව බව කෙරී පැවසීය.

“කොන්ග්‍රසය මෙය ප්‍රතික්ෂේප කලහොත් ඉරානය, සිය (යුරේනියම්) සුපෝෂනය යලි පටන්ගනු ඇත. අයතොල්ලා යලි සාකච්ඡා මේසයට නොපැමිනෙනු ඇත. සම්බාධක වැඩසටහන ක්ෂනිකවම කඩා හැලනු ඇත. අප ඉවත්වුවහොත් අපගේ සහකරුවන් අප සමඟ ඉවත්ව නොයනු ඇත. ඒ වෙනුවට, ක්‍රියාත්මක කිරීම සඳහා අපට උදව් කල දැඩි බහුපාර්ශවික සම්බාධක වැඩසටහනෙන් ඔවුන් ඉවත්ව යනු ඇත. එය තනිවම ගෙනයන තැනට අප පත්වනු ඇත.” කෙරී පැවසීය.

කෙරීගේ ප්‍රකාශ ඔබාමා පාලනයෙන් මෑත සතිවල නිකුත්වූ අලුත්ම යුද තර්ජනය පමනි. “ෆේස් ද නේෂන්” වැඩසටහනට එක් වෙමින් පෙර සතියේ ඔහු කර තිබෙන ප්‍රකාශයන්හි කෙරී පවසා තිබුනේ, ගිවිසුමෙහි අසාර්ථකත්වය, “ඔබ යුද්ධයට යනු ඇතැයි පෙර දිනයේදී ජනාධිපති ඔබාමා පැවසූ දෙය” කරා ගමන් කරනු ඇති බවයි. සියලු යුදවාදයන්ට අනුකූලවන පරිදි ඉදිරිපත් කෙරුනු කෙරීගේ ආස්ථානය, ඉරාන පිලිවෙත මත වාද විවාද කරන අය අතර “සාමවාදී” යයි කියන කොටස වෙනුවෙන් සකස් කල එකකි. අද දිනයේ ඇමරිකානු දේශපාලනයේ අන්ත ප්‍රතිගාමී රාමුව තුල සිදුවන සාකච්ඡා, යුද වාදී හා වඩාත්ම යුදවාදී යන පරාසයක විහිද යයි.

සිය ආරම්භක ප්‍රකාශනයෙන් කැලිෆෝනියාවේ නියෝජිත එඩ් රොයිස්, ඔබාමා පාලනයේ ඉරාන ගිවිසුම තියුනු ලෙස, දකුනෙන් විවේචනයට ලක් කලේය. විශේෂයෙන්ම යුදවාදී කොටස වෙනුවෙන් කථා කරමින් රොයිස්, ටෙහෙරානය සමඟ පූර්න පරිමානයේ යුද්ධයක් වෙනුවෙන් පාලක පන්තියේ ප්‍රමුඛ කොටස් තුල පවතින අධිෂ්ඨානය පෙන්නුම් කලේය.

“මේ ගිවිසුමෙන් ඉරානය මත උත්සන්න පීඩනයක් යෙදීමේ සම්බාධක ජාලය කඩාකප්පල් කෙරේ. සියලු ආර්ථික, මූල්‍යමය හා බලශක්ති සම්බාධක මුලුමනින්ම පාහේ අතුරුදහන් වනු ඇත. ඉන් ගලා එන මුදල් යන්නේ කොහාට ද? මිහිතලයේ තිබෙන විශාලතම ත්‍රස්ත ජාලය වෙතය. අත්සන් තබා ඇති සියලු ගිවිසුම් ඉරානය විසින් කඩකර ඇත.” රොයිස් පැවසීය.

කලාපය තුල ඇමරිකාව ද යුරෝපීය හා ආසියානු බලවතුන් ද අතර ඟැඹුරු වන ගැටුම් ඇඟවුම් කරමින් රොයිස්, “රාජ්‍යයන් හා සමාගම් ඉරානය තුල ආයෝජනය කිරීමෙන් වලක්වන” තව තවත් සම්බාධක වෙනුවෙන් හඬ නැඟීය.

සභාවේ අනෙක් පසින් ඩිමොක්‍රටික් නියෝජිත එලියට් එන්ජල්, ඉරානය “ගෝලීය තර්ජනයක්” බව කියා සිටියේය. ගිවිසුම මඟින් ටෙහෙරානයට, “සුපෝෂනයේ ඊලඟ අදියර වෙත ඉක්මනින්ම යොමු වීම සඳහා” දොර විවර කරනු ඇතැයි ඔහු පැවසීය. ඊස්රායල් ආන්ඩුව හා ඇමරිකාවේ සියොන්වාදී සංවිධානයන්හි ආක්‍රමනකාරී බලපෑම්වල කොටසක් වශයෙන් මන්ත්‍රී මන්ඬල දෙකේම ඩිමොක්‍රටික් මන්ත්‍රීන් සංඛ්‍යාවක් ගිවිසුමට විරුද්ධව ඡන්දය දෙනු ඇතැයි සැලකේ.

මෙම ද්විපාර්ශික යුදවාදයට ප්‍රතිචාර වශයෙන් කෙරී, න්‍යෂ්ටික ගිවිසුම වනාහි ටෙහෙරානය සමඟ වඩාත් තීව්ර කෙරුනු ගැටුමක් සඳහා වන පිනුම් පිත්තක් පමනක් බව කියමින් සිය කොන්ග්‍රස් විවේචකයින් ඒත්තු ගැන්වීමට ප්‍රබල උත්සාහයක් දැරීය. “අප ඉරානයේ අනෙකුත් කටයුතු පසුබැස්සවීමට මැදිහත් වන්නෙමු. න්‍යෂ්ටික අවියකින් සන්නද්ධවී නැති ඉරානය පසුබැස්සවීම වඩා පහසුය.” කෙරී පැවසීය. කලාපය තුල ඉරාන අනුහස පසුබැස්වීමට හා වැලැක්වීමට “ගල්ෆ් රාජ්‍යයන් සමඟ වැඩකිරීමේ සවිස්තරාත්මක පිලිවෙතක්” ධවල මන්දිරය විසින් වර්ධනය කර තිබෙන බව ද ඔහු කියා සිටියේය.

ඉරාන රාජ්‍යයේ තීරනාත්මක තැන්වල අරක් ගැනීමට ඇමරිකාවේ පිටුබලය ලබන දේශපාලන ක්‍රියාකාරිකයින්ට මඟ හෙලිකරන යෝජිත JCPOA පරීක්ෂන වැඩසටහන, “සෑමකල්හිම” පවතිනු ඇතැයි කෙරී කොන්ග්‍රස් සභිකයන්ට සහතික විය.

ඔබාමාගේ ගිවිසුම නිල වශයෙන් න්‍යෂ්ටික ප්‍රශ්නය මත කේන්ද්‍රගතවන නමුදු, භාවිතයේදී එය පවතින තන්ත්‍රයේ කොටස් ඇමරිකානු අනුහස් වැයික්කියට ඒකාග්‍ර කරගත හැකි ද යන්න විමසා බැලීමේ අරමුන සහිත දේශපාලන පරීක්ෂනයකි. ඇමරිකානු මූලෝපායඥයින්ට අනුව වොෂින්ටනය බලාපොරොත්තු වන්නේ, න්‍යෂ්ටික ගිවිසුමේ අත්‍යන්ත කොටසක් ලෙස, යම් ආකාරයක තන්ත්‍ර වෙනසක් වන “තන්ත්‍ර පරිවර්තනයකි”.

ප්‍රජාතන්ත්‍රයන්ගේ ආරක්ෂාව සඳහා වන පදනමේ මාර්ක් ඩුබොවිට්ස්ට අනුව, “ඔවුන් (ගිවිසුමේ මූලිකයින්) එය තන්ත්‍ර පරිවර්තනයක් ලෙස හැඳින්වුවත් ඉදිරි දශකය තුල ටෙහෙරානයේ තන්ත්‍ර වෙනසක් සිදුවන බව විශ්වාස නොකර ඔබට ඉරානය සමඟ එකඟවූ න්‍යෂ්ඨික ගිවිසුම වටහාගත නොහැකිය. එය ඔවුන්ගේ හිස මතට දමන ලද තන්ත්‍ර වෙනසකි .”

ඇමරිකානු පාලක පැලැන්තියේ වඩාත් යුදවාදී කොටස්වල විරුද්ධත්වය මධ්‍යෙය් ගිවිසුම අනුමත වේ යයි සිතා ගත්තා වුවත් මෙය නියෝජනය කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදී පිලිවෙතේ සැලකිය යුතු උපායික වෙනසකි. එසේ ද වුවත් ඉරාන විප්ලවයෙන් මතුවආ, ආන්ඩුව පෙරලා දමා අධිරාජ්‍යවාදයට පක්ෂපාතී රෙජිමයක් යලි අටවා ගැනීමේ අඛන්ඩ උත්සාහයේ කොටසක් ලෙස, ඉරානයට එරෙහිව දශක ගනනාවක් තිස්සේ වොෂින්ටනය විසින් ගෙනගිය සමස්ත මූලෝපායික ආක්‍රමනකාරී පිලිවෙතේ කිසිදු වෙනසක් ඇඟවුම් නොකරන බව කෙරීගේ ප්‍රකාශන්ගෙන් පැහැදිලි වේ.

2000 ගනන්වලදී බුෂ් පාලනය දෙවතාවක්ම ඉරානයට එරෙහි පූර්න යුද්ධයක් දියත් කරන බවට තර්ජනය කලේය. ඒ, සැප්තැම්බර් 11 සිදුවීම් වලින් ඉක්බිති වසරවල හා “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” ප්‍රකාශයට පත් කල වෙනස් අවස්ථා දෙකක කාලය තුලය.

ඔබාමාගේ ඉරාන පිලිවෙත දිගහැරෙන්නේ ද මෙම රේඛා ඔස්සේමය. සෘජු අධිරාජ්‍යවාදී පාලනයක් යලි ඇටවීම අරමුනුකර ගන්නා නමුත් එම ප්‍රතිපලය පූර්න පරිමාන යුද්ධයකට මඳක් අඩු උපක්‍රමයන් ගෙන් සාක්ෂාත්කර ගැනීම මෙම පිලිවෙතයි. 2009 වසරේදී ඉරාන රෙජිමයට විරුද්ධව අධිරාජ්‍ය ගැති සුලු ධනපති කොටස් බලමුලු ගැන්වීමට උත්සාහ කල “ග්‍රීන් රෙවලූෂන්“ හෙවත් හරිත විප්ලවයකට ඔබාමා පාලනය පිටුබලය දුන්නේය. 2011දී ඇමරිකානු හා යුරෝපීය බලවතුන් යුද්ධ කාලයකදී හැරෙන්නට යොදා නොගන්නා, පෙර නොවූ විරූ ආර්ථික සම්බාධක ඉරානයට එරෙහිව පනවනු ලැබුනි.

පූර්ව පිලිවෙතින් කිසිදු තීරනාත්මක බිඳීමක් නොවන ටෙහෙරානය සමඟ සාකච්ඡාවන් වෙත ඔබාමාගේ හැරීම සිදුව ඇත්තේ, ඇමරිකාවේ කලාපීය අධිකාරී අවශ්‍යතාවන්ට ගැලපෙන පිලිවෙත් සමඟ ඉරානයේ දේශාපාලන පර්යාය හැඩගැස්වීමට බලපෑම් කිරීමටය. සාකච්ඡා පැවැත්වෙන අතර පවා පූර්න පරිමානයේ යුද්ධය ද ඇතුලු ඉරානයට එරෙහි මිලිටරි මැදිහත්වීමේ හැකියාව අවසන්වී නැති බව ඔබාමා හා ඔහුගේ ඉහල නිලධාරීන් විසින් පැහැදිලිව ප්‍රකාශකර තිබුනි.

ඔබාමා පාලනයේ 2015 සඳහා වන ජාතික ආරක්ෂක මූලෝපාය සඳහන් කර ඇත්තේ, “ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන තනිකරම සාමකාමී අරමුනු සඳහා වන බව සැක හැර දැනගන්නා, සවිස්තරාත්මක හා පරික්ෂාවට බඳුන්කල හැකි ගිවිසුමක් ඇතිකර ගැනීම අපගේ අභිප්‍රායයි.“ යනුවෙනි. “කෙසේ වෙතත් ඉරානය න්‍යෂ්ඨික අවි නිෂ්පාදනයෙන් වැලැක්වීමේ අරමුන සාක්ෂාත් කර ගැනීම පිනිස අප සියලු විකල්ප යොදාගනු ඇත.“

පර්සියානු ගල්ෆ් කලාපය වෙත එකම නාවික ප්‍රවිෂ්ටය වන හෝමුස් සමුද්‍රසන්ධිය මත ඉරානයේ භූගෝලීය අනසක හා යුරේසියාව හරහා යන එහි පිහිටීම, ඇමරිකාවේ භූ-මූලෝපායික ආස්ථානයේ මූලික උත්සුකයකි.

ඉරානයේ නිර්බාධිත පාලනය මඟින් වොෂින්ටනයට, චීනය, ජපානය, රුසියාව හා යුරෝපීය බලවතුන් ඇතුලු ඉරාන බලශක්ති සම්පත් හා වෙලඳාම මත ඔට්ටු අල්ලන සිය ප්‍රතිවාදී බලවතුන් මත සිය ලීවරය දැවැන්තව ශක්තිමත් කිරීමට ඉඩ සලසයි. මෙම න්‍යායපත්‍රය අනුගමනය කරමින් ඇමරිකාව, සව්දි අරාබිය, යූඒඊ හා කටාර් ඇතුලු කලාපයේ අතිශයින්ම ප්‍රතිගාමී රාජ්‍යයන් මූලිකත්වය ගන්නා මිලිටරිවාදී හවුලක් ගොඩනඟයි. මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයනය පිලිබඳ මධ්‍යස්ථානය, ඉරානය සමඟ න්‍යෂ්ඨික ගිවිසුම හා අරාබි ගල්ෆ් රටවල් සමඟ ඇමරිකාවේ මූලෝපායික හවුල්කාරිත්වය යන මැයෙන් 27දා නිකුත් කල වාර්තාවකින් පෙන්නුම් කරන්නේ, ඉරාන ගිවිසුම පිලිබඳව එක්සත් ජනපදයේ ගල්ෆ් සහචරයින් අතර නොසංසුන්තාවක් ඇතිවීමට හේතුවක් නැති බවයි.

ඇමරිකාව, ඉරානයට එරෙහි යුද්ධයකට ගල්ෆ් රටවල් සන්නද්ධ කරමින් ද බලමුලු ගන්වමින් ද සිටින අතර වාර්තාව කියන්නේ “ඇමරිකාවේ පවත්නා මූලෝපායික හවුල්කාරිත්වයේ දුර ද මෑතකදී කලාපය තුල ඉහල නංවා තිබෙන ක්‍රියාකලාපය ද අරාබි ගල්ෆ් රටවල් සමඟ එරට ගොඩනඟමින් සිටින මිලිටරි බැඳීම්වල පරිමාව හා ගැඹුර ද එහි ප්‍රති ත්‍රස්තවාදී සහයෝගිතාව ද ඉරානයට අත්කරගත නොහැකි නවීන අවි හා මිලිටරි තාක්ෂනය ගල්ෆ් රටවල් වෙත සැපයීම ද ගැන වටහාගෙන ඇත්තේ ගල්ෆ් රටවලින් අතලොස්සක් පමනි.” යනුවෙනි.

“ශක්තිමත් මූලෝපායික හවුල්කාරිත්වයක් ද ඉරානයට එරෙහිව ගල්ෆ් රටවල මිලිටරි සුපිරි ශක්තිය ද ගොඩනැඟීමට ඇමරිකාව උත්සාහ දරමින් සිටියි. මේ අනුව 2020 වනතෙක් අරාබි මිලිටරි ශක්තිය ගොඩනැඟීමට නව ආයුධ අඛන්ඩව සැපයෙනු ඇත.” වාර්තාව සඳහන් කරයි.

Share this article: