ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරන උද්ඝෝෂකයින් නුවරඑලිය දිස්ත‍්‍රික්කයේ කම්කරුවන්ගේ සහාය දිනා ගනි යි

Socialist Equality Party campaigners win support in Sri Lanka’s plantation district

අපගේ වාර්තාකරුවන් විසිනි, 2015 ජුලි 27

අගෝස්තු 17වැනිදා පැවත්වෙන මහ මැතිවරනයේ දී මෙම දිස්ත‍්‍රික්ක තුන සඳහා සසප අපේක්ෂකයෝ තරඟ වදිති.

සසප හැරුනු විට, මැතිවරනයට තරඟ වදින සෑම පක්ෂයක් ම මෙරට මිලියන ගනන් කම්කරුවන් මුහුන දෙන ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්න වසන් කරන අතර මාධ්‍ය, මැතිවරනය එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තරඟයක් ලෙස හුවා දක්වති.

නව සම සමාජ පක්ෂය හා අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් අසත්‍ය ලෙස ප‍්‍රකාශ කරන්නේ මැතිවරනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ඒකාධිපතිත්වය අතර තරඟයක් බව ය. මෙම කන්ඩායම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය උලුප්පා දක්වමින්, එක්සත් ජනපද ගැති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” විකල්පය ලෙස නරුම ලෙස ප‍්‍රචාරය කරති.

සසප මෙම සියලු පක්ෂවලට විරුද්ධ වන අතර රැකියා, ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත දැඩි වන ප‍්‍රහාරයට හා වැඩෙන ලෝක යුද්ධයේ තර්ජනයට එරෙහිව සටන් කිරීමට සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කර යි.

පසු ගිය සතිය පුරා, සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ආධාරකරුවන් ලක්ෂ ගනනක් වතු කම්කරුවන් වෙසෙන නුවරඑලිය දිස්ත‍්‍රික්කයේ කම්කරුවන් හා තරුනයන් සමග සාකච්ඡා කලේය.

සසප ආධාරකරුවෝ කඳවල කොටසේ වතු කම්කරුවන් සමග සාකච්ඡා කරමින්

සසප හා සසජාතශි කන්ඩායම් අඹගමුව ගම්මානයේ හා කැරොලිනා, ඉන්ජස්ට්‍රේ හා ට්‍රිලේරි තේ වතුවල කම්කරුවන් අතර උද්ඝෝෂනය කලහ. ගම්මු හා කම්කරුවෝ ශ‍්‍රීලනිපය හා එජාපය කෙරෙහි ඔවුන්ගේ විරුද්ධත්වය කෙලින් ම ප‍්‍රකාශ කලහ. තේ වතු කම්කරුවෝ වෘත්තීය සමිති, විශේෂයෙන් ම මෑත දී රු.1,000ක දෛනික වැටුපක් සඳහා හෙමින් වැඩකිරීමේ කාර්මික උද්ඝෝෂනය අත්හිට වූ ලංකා කම්කරු කොන්ග‍්‍රසය හෙලා දුටුවෝ ය.

අඹගමුව ගම්මානය තේ වතු ගනනාවකට මායිම් වන අතර නුවරඑලිය මැතිවරන දිස්ත‍්‍රික්කයේ දෙවැනි විශාල ම නගරය වන හැටන් නගරය ආසන්නයේ පිහිටා ඇත. ගම්මානයේ බොහෝ දෙනෙක් සිංහල වැසියන් වන සුලු පිරිසක් රජයේ සේවයෙහි ද අනෙකුත් අය ආසන්න වතුවල ද රැකියාව කරති. බොහෝ නිවසියන් ශ‍්‍රීලනිපය හා එජාපය යන දෙකට ම තමන් විරුද්ධ බව සසපට පැවසූ අතර ඇතමෙකු පැවසුවේ ඔවුන් ඡන්දය වර්ජනය කිරීමට සිතා සිටින බව යි.

අඹගමුවේ කාර්මික නිලධාරියෙක් මෙසේ පැවසී ය: “ලෝක ආර්ථික අර්බුදය ගැන ඔබගේ පැහැදිලි කිරීමට මම එකඟ වෙනවා. ධනවාදය යටතේ කම්කරුවන්ගේ, පීඩිත මහජනතාවගේ ජීවන තත්වයන් නරකිනුත් නරකට හැරෙනවා. යූඑන්පී, සමසමාජ හා ජේවීපිය එක්ක මම එකඟ වන්නේ නෑ. ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය ධනවාදය රකින එක, නමුත් මම කනගාටු වන්නේ වාමාංශික ආන්ඩුවක් පිහිටුවීමට වමේ පක්ෂ එකතු වන්නේ නැති එක ගැන යි.”

වමේ පක්ෂ එකතු විය යුතු යැයි කාර්මික නිලධාරී කරන යෝජනාව අසාමාන්‍ය නො වේ. මෙම සංවිධාන අවංක සමාජවාදීන් නො වන බවත් ඔවුන් නිතර ම වාමාංශික කයිවාරු ගැසුවත් සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට විරුද්ධ වන අතර ධනේශ්වර පක්ෂවලට කම්කරුවන් හා තරුනයන් ගැට ගැසීමට උත්සාහ කරන බවත් සසප ආධාරකරුවෝ පැහැදිලි කලහ.

මැද පෙරදිග සේවය කල කාන්තාවක් මෙසේ අදහස් දැක්වූවා ය: “ඔක්කොටම ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනෑ මොකක්ද වෙන්නේ කියලා. ලංකාවේ ආර්ථිකය අන්තිමට ම සවුත්තු වෙලා. දුප්පත් ජනතාව මුහුන දෙන තත්වය තවත් පිරිහිලා.”

රජයේ සේවකයින් සඳහා සිරිසේනගේ මෑත සොච්චම් පඩි වැඩි කිරීම ගැන ඇය මෙසේ පැවසුවා ය: “රජයේ සේවකයින්ට යන්තම් පඩි වැඩි කරලා මදි. ආන්ඩුව අත්‍යාවශ්‍ය බඩුවල මිල අඩු කරන්න ඕනෑ, එතකොට යි අපට මුදල් ඉතිරි කරන්න පුලුවන්.”

“මම මැද පෙරදිග ඉන්න කොට රුපියල් 45,000ක් විතර හම්බ කලා” “මේ ගාන ලංකාවේ ෆැක්ටරියක වැඩ කරලා හොයන්න පුලුවන්. ඒත් මෙහේ ජීවන වියදම හරි සැරයි” ඇය පැහදිලි කලා ය. බොහෝ කාන්තාවන් එසේ පිටරටවල වැඩ කරන්නේ ඔවුන්ගේ ලමුන්ට හා ඥාතීන්ට යහපත් අනාගතයක් හදාගන්නටයි. පිටරට රැකියාවක් ලබා ගන්න කම්කරුවෙකු ඒජන්ත කොම්පැනිවලට රුපියල් ලක්ෂයක් විතර ගෙවන්න ඕනෑ, නමුත් ආන්ඩුව කිසිම පහසුකමක් ලබා දෙන්නේ නැති බව ඇය තවදුරටත් පැවසුවා ය.

“ඡන්දෙ දි මොකද කරන්නේ කියලා මම තවම හිතලා නෑ, ඒත් මම අත්දැකීමෙන් දන්නවා වැඩ කරන මිනිස්සු සූරා කන බව. පැය අටක බර වැඩකින් පැය හතක් යන්නේ හාම්පුතාට” ඇය පැවසුවා ය.

සීඩබ්ලිව්සීය එය නවතා දමන තෙක් කැරොලිනා වත්තේ කම්කරුවෝ මෑත පැවති “හෙමින් වැඩ කිරීමේ” වැටුප් වැඩි කර ගැනීමේ උද්ඝෝෂනයට සම්බන්ධ වූහ.

තේ වතු කම්කරුවකු සසප ආධාරකරුවන් සමග කරුනු දක්වමින්

පුද්ගලික සමාගමක වැඩ කරන සෙල්වී රූපවාහිනී නිලියක් ද වේ. වතු කම්කරුවෙකුගේ දියනියක වන ඇය මෙසේ පැවසුවා ය: “හැම වෘත්තීය සමිති නායකයෙක්ම වතු කම්කරුවන් පාවා දුන්නා, ඔවුන් වැටුප් අරගල යොදා ගන්නේ තමන්ගේ ඡන්ද අරමුනුවලට. මෑත එක් අවස්ථාවක දී සීඩබ්ලිව්සී පුංචි පඩි වැඩි කිරීමකට කොම්පැනියත් එක්ක හොර ගිවිසුමක් ගැහුවා.”

සීඩබ්ලිව්සී, කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය (එන්යූඩබ්ලිව්) හා කඳුරට මහජන පෙරමුනේ (යූපීඑෆ්) නායකයින් ගැන ඇය තදින් ම විවේචනශීලී වූයේ “ඔවුන් වෘත්තීය සමිති යොදා ගන්නේ පාර්ලිමේන්තුවට යාමට හා ඇමතිකම් ගන්නට”යයි පවසමිනි.

සෙල්වි තව දුරටත් මෙසේ පැවසුවාය: “කම්කරුවන්ගේ විමුක්තිය සඳහා නිවැරදි ප‍්‍රතිපත්තිය සමාජවාදය බව මම දන්නවා. ඒ ගැන මම ඔබ සමග එකඟ වනවා. නමුත් වාසුදේව නානායක්කාර (ලසසප හිටපු සාමාජික) වැනි දේශපාලකයින් සමාජවාදී කියිවාරු ගැසුවත් එයා දැන් මහින්ද රාජපක්ෂ පුම්බනවා විතරක් නොවෙයි දෙමල ජාතියට විරුද්ධ ජාතිවාදී උද්ඝෝෂනයටත් එකතු වෙලා ඉන්නේ.”

1964 ලසපපයේ දේශපාලන පාවාදීමට සහාය දුන් හා නසසප ගොඩනැගීමට උදව් කල නානායක්කාර හා වික‍්‍රමබාහු කරුනාරත්න වැනි දේශපාලඥයින්ගේ ඓතිහාසික වාර්තාව සසප ආධාරකරුවන් විසින් පැහදිලි කරන ලදී.

නසසපට සමාජවාදය සමග මෙලොව සම්බන්ධයක් නැති නමුත් එජාප, ශ‍්‍රීලනිප හා ශ‍්‍රී ලංකා ධනේශ්වරයේ අනෙකුත් කන්ඩායම් සමග ඔවුන් නොයෙක් ආකාරයෙන් හවුල් වී ඇතැ යි සසප ආධාරකරුවෝ පැවසූහ. සෙල්වී සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නම් ඉදිරි දර්ශන ලියවිල්ල මිල දී ගත්තා ය, එය මෙම ව්‍යාජ වාම කන්ඩායම්වලට එරෙහිව විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (සසප පූර්වගාමී) ගෙන ගිය ප‍්‍රතිපත්තිමය දේශපාලන අරගලය පැහදිලි කර යි.

සසප හා සසජාතශි උද්ඝෝෂකයෝ, හැටන් නගරය ආසන්නයේ ඉන්ජෙස්ටේ‍්‍ර හා ටි‍්‍රලේරි වතුවල දෙමල කම්කරුවන් සමග සාකච්ඡා කලහ. ඔවුහු සින්හාර හා වනාක වතුවල කම්කරුවන් සමග එක්ව සීඩබ්ලිව්සීය හෙමින් වැඩ කිරීම පාවාදීමට විරුද්ධ වූ අතර ජූලි 18වැනිදා දක්වා කාර්මික සටන ඉදිරියට ගෙන ගිය බව පැවසූහ. ජූලි 18වැනිදා වතු කලමනාකරුගේ බංගලාව පිටත ඔවුන් විරෝධතා දක්වන අවස්ථාවේ කලමනාකරනය ඔවුන් වීඩියෝ ගත කර පොලීසිය කැඳවී ය. පොලීසිය කම්කරුවන් හඳුනා ගැනීමට හා අත්අඩංගුවට ගැනීමට කලමනාකරනයේ වීඩියෝ පටය යොදා ගත්තේ ය.

කලමනාකරනය ආරක්ෂා කිරීමට දින කීපයක් විශේෂ කාර්ය බලකා පොලිස් කොමාන්ඩෝ භටයින් යෙදවූ අතර ඔවුහු තව දුරටත් මුර සංචාරය කරති. විරෝධතා දක්වන කම්කරුවන් දඩයම් කිරීමට වීඩියෝ කැමරා යොදා ගැනීම සමාගම්වල නව මර්දනකාරී උපක‍්‍රමයකි. එස්ටීඑෆ් කොමන්ඩෝ භටයින් යොදා ගැනීම පැහදිලි ව ප‍්‍රදර්ශනය කරන්නේ සිරිසේන ආන්ඩුව වැවිලි සමාගම්වලට තල්ලුව දෙන බව යි.

ඉන්ජෙස්ටේ‍්‍ර වත්තේ එන්යූඑම් සාමාජිකාවක වන ආර්.ලෙච්චමී මෙසේ පැවසී ය: “ඡන්දේ මුවාවෙන් අපේ සටන කල් දැම්මාට අපි විරුද්ධ වුනා. අපිට වහා ම පඩි වැඩි කිරීමක් ඕනෑ. කොම්පැනි, ආන්ඩුව, වෘත්තීය සමිති, මාධ්‍ය ඇතුලු සියලු ආයතන අප අමතක කරන්නේ ඇයි?. ඡන්දෙන් පස්සේ අපේ පඩි වැඩි කරයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ.”

ඇය මුහුන දෙන දුෂ්කර හා බරපතල ලෙස අප‍්‍රමනාවත් වැඩ කොන්දේසි ගැන ලෙච්චමී විස්තර කලා ය: “වැඩ කරන වතුවලට අපි පැය ගානක් ඇවිදින්න තියෙනවා, වාඩිවෙන්න හෝ අපේ කෑම කන්න තැනක් ඇත්තේ නෑ, වැසිකිලි නෑ, සමහර විට අපි බොන්නේ වැහි වතුර. ඡන්දෙන් පස්සේ යූනියන් කවදා වත් එන්නේ නෑ. ඡන්දෙ දාන්න අපි උනන්දු නෑ.”

ටි‍්‍රලේරි වත්තේ සීඩබ්ලිව්සී සාමාජික කේ. තනසේකරම් පැවසුවේ මෙය යි: “අපේ ඡන්දෙන් මිනිස්සු ගනනාවක් පාර්ලිමේන්තුවට ගියා, නමුත් කවුරුවත් අපගේ පඩි ප‍්‍රශ්නේ කතා කලේ නෑ. යූනියන් නායකයෝ ඇමතිකම් අරගෙන සැපට ජීවත්වනවා, නමුත් අපි බොහොම විඳවනවා. සමිතියට අපෙන් දිගටම රු.150ක් ගත්තත් ඔවුන් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ නෑ.”

ආන්ඩුව ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසී ය: “ආන්ඩුව වෙනස් වෙලා තියෙන්නේ, ඒත් අපි ලබා ගත්ත දෙයක් නෑ. වතු කම්කරුවන් බොහොමයක් ඡන්දේ දුන්නේ මෛත‍්‍රීපාල සිරිසේනට නමුත් එයාගේ දින 100 වැඩසටහනින් අපි කිසිවක් ලැබුවේ නෑ.”

Share this article: