නිව් යොර්ක් කොටස් වෙලඳපොල පැය හතරක පමන කාලයක් වසා තැබේ

New York Stock Exchange halts operations for nearly four hours

බැරී ග්‍රේ විසිනි , 2015 ජූලි 09

චීන වෙලඳපොලෙහි සිදුවෙමින් ඇති කඩාවැටීම හා ග්‍රීසිය නය පැහැරහැරීම අද්දරට පැමිනීමත් මඟින් අවුලුවන ලද කොටස් විකුනා දැමීම මධ්‍යයේ නිව් යෝර්ක් කොටස් හුවමාරුව 08දා පැය හතරක පමන කාලයකට වෙලඳාම අත්හිටුවීය.

පසුගිය සති තුන තිස්සේ සියයට 30ක කඩාවැටීමට අමතරව ෂැන්හයි සංයුක්ත දර්ශකය එදින සියයට 5.9න් පහත වැටීම, ඇමරිකානු කොටස් මිල වෙලඳාම ආරම්භයේදීම තියුනු ලෙස පහල යාමට බලපෑ මූලිකම කාරනයයි.

2001 සැප්තැම්බර් 11දා නිව් යෝර්ක් හා වොෂින්ටනයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එරට කොටස් හුවමාරුව සතියක කාලයකට වසා දැමීමෙන් පසු වැඩිම වේලාවක් වෙලඳාම අත්හිටවූ එදින පෙ.ව 11.32ට වසා දැමූ එය යලි වෙලඳාම පටන් ගත්තේ ප.ව 3.10ටය. ඊට හේතුව “පරිගනක දෝෂයක්” බව කියා සිටි හුවමාරුවේ නිලධාරීන් තවදුරටත් පැවසුවේ, එය බාහිර සයිබර් ප්‍රහාරයක් හෝ වෙනත් “දුෂ්ඨ ක්‍රියාවක” ප්‍රතිපලය නොවන බවය.

එසේම එම වසාදැමීම, පරිගනක ගැටලුවක් නිසා මේ දක්වා වෙලඳාමේ සිදුවූ දිගම ඇනහිටීමය.

ධවල මන්දිරය, ඇමරිකානු දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව හා සුරැකුම් හා හුවමාරු කොමිසම යන සියල්ල ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ, එරට ලොකුම හුවමාරුවට සතුරු ප්‍රහාරයක් එල්ලවූ බවට කිසිදු ඇඟවුමක් නොමැති බවය. එෆ්බීඅයි සංවිධානය පැවසුවේ පරීක්ෂනයක් ඇරඹීමට හේතුවක් නැති බවයි.

මේ කාලය තුල නිව් යෝර්ක් හුවමාරුවේ ලියාපදිංචි කර ඇති කොටස් අනෙකුත් හුවමාරු මධ්‍යස්ථාන වලදී වෙලඳාම් කෙරුනි. නිව් යෝර්ක් හුවමාරුව වසා දමන අවස්ථාවේදී ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 200න් ද නැස්ඩැක් හා එස්ඇන්ඩ්පී 500 දර්ශක සියයට 1ට වැඩි ප්‍රමානයන්ගෙන් ද පහත වැටී තිබුනි. වසා දැමුන කාලය අතරතුර කොටස් මිල දිගටම පහත වැටුන අතර හුවමාරුව යලි විවෘත කිරීමෙන් පසුව අවසන් විනාඩි 50 ඇතුලත වැටීම වේගවත් විය.

ඩව් ජෝන්ස් දර්ශකය දිනය අවසානයේ ඒකක 261න් හෙවත් සියයට 1.47ක් ද එස්ඇඩ්පී 500ඒකක 34න් හෙවත් සියයට 1.67න් ද නැස්ඩැක් 87න් හෙවත් සියයට 1.75න් ද පහත ගියේය.

දිනයේ වෙලඳාම අවසන් වන තෙක්ම හදිසි ඇනහිටීමෙන් සිදුව ඇති ආර්ථික හානිය කෙතෙක් දැයි පැහැදිලිවී නොතිබුනි. වසා දැමීමට හේතුව පිලිබඳව වැඩිමනත් පැහැදිලි කිරීමක් ද සිදු නොවීය. කෙසේ වෙතත් තැරැව්කරුවන් වාර්තා කලේ, ආරම්භක සීනු හඬත් සමඟ තාක්ෂනික ගැටලු මතුවෙමින් තිබුනු බවය.

“ආරම්භයේ පටන්ම එය අවුලක් විය” යනුවෙන් පැවසූ තැරැව්කරුවෙක් රොයිටර් විසින් උපුටා දක්වන ලදී. ඔහු පැවසුවේ, නිව් යොර්ක් හුවමාරුවේ පරිගනක කවුලු එක්කෝ සමබන්ධ කරගත නොහැකිවීම නැත්නම් හදිසියේම විසංධිවීම නිලධාරීන් කටයුතු අත්හිටුවීමට තීරනය කරන තෙක්ම පැවතුනු බවයි.

වසා දැමීම පිලිබඳ සැකසාංකා හා කලබලය 8දා එම වේලාවටම සිදුවූ තවත් ප්‍රධාන බිඳවැටීම් දෙකක් නිසා වැඩි විය. පෙ.ව 8ට යුනයිටඩ් එයාලයින්ස් “රවුටර් ක්‍රියා විරහිතවීම” නිසා “ජාල සම්බන්ධතා ප්‍රශ්නයක්” ඇතිවූ බවත් එහි ප්‍රතිපලය වශයෙන් ලෝකය පුරා එහි ගුවන් ගමන් නතර කර ගුවන් යානා ගොඩබැස්වූ බවත් පැවසීය. ගුවන් සේවය පෙ.ව 9.49 දක්වා යලි ක්‍රියාත්මක නොවීය.

කොටස් හුවමාරුව එහි මෙහෙයුම් නතර කල වේලාවටම වාගේ වෝල් ස්ට්‍රීට් ජර්නලයේ වෙබ් අඩවිය අඩාල විය. පැය දෙකක් තිස්සේ එහි මාර්ග අපගතවී තිබුනි.

නිව් යෝර්ක් කොටස් වෙලඳපොලේ හා ආන්ඩුවේ නිලධාරීන් පැවසුවේ සිදුවීම් තුන එකිනෙකට අසම්බන්ධ බවයි.

Share this article: