ග්‍රීසිය තුල යුරෝපීය සංගමයේ කප්පාදු පිලිබඳ සිරිසාවේ ජනමත විචාරන ප්‍රෝඩාව

The political fraud of Syriza’s referendum on EU austerity in Greece

2015 ජූලි 03

ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස්, ජූනි 30දා යුරෝපීය සංගමයේ කප්පාදු පිලිබඳව ජනමත විමසුමක් කැඳවූ තැන් පටන්, සමස්ත ව්‍යාපෘතියම දේශපාලන ප්‍රෝඩාවක් ලෙස හෙලිදරව් වී තිබේ. විමසුමේ ප්‍රතිපලය කුමක් වුවත්, යුරෝපීය සංගමයේ ඉල්ලීම් වලට තවදුරටත් හිස නැමීම එහි සැලසුම වී ඇත.

එහි ආරම්භයේ සිටම සිරිසා ආන්ඩුව මුලුමනින්ම පසු බසිමින් සිටියි. “ඔව්” යන ප්‍රතිපලය ලැබුනොත්, යුරෝපීය සංගමය කුමන හෝ ඉල්ලීමක් පරිදි ක්‍රියාකිරීමට සූදානම්ව සිටින, විවෘතවම දක්ෂිනාංශික රෙජිමයක් බලයට ගෙන ඒම සඳහා සිරිසා ආන්ඩුව ඉල්ලා අස්වීමට සූදානම්ව සිටියි. “නැත” යයි ඡන්දය දෙන ලෙස ඉල්ලා 30 දින පැවැත්වූ කථාවේදී සිප්‍රාස්, “ඔව්” යයි ඡන්දය දී තිබුනොත්, “අපට ඒ තීරනය පරිදි කටයුතු කිරීමට නොහැකි වුවත්, ඊට ගරු කරමින්” ආන්ඩුව ඉල්ලා අස්වනු ඇති බව ඇඟවුම් කලේය.

ජාතික රූපවාහිනී විකාශයක් හමුවේ සිප්‍රාස් 1දා ප්‍රකාශ කලේ, “නැත” යන තීරනය පල වුවහොත්, යුරෝපීය සංගමය සමග පවත්වන කප්පාදු සාකච්ඡාවන්හිදී තමන්ගේ ආස්ථානය පුම්බා ගැනීමට පමනක් එය යොදාගන්නා බවයි. කෙසේ වෙතත් යුරෝ බිලියන 30ක ඇප දීමට හිලව් වශයෙන් සිප්‍රාස්, යුරෝපීය සංගමයේ සියලු ඉල්ලීම් වුවත් ක්‍රියාත්මක කිරීමට තමන් නොපසුබට වන බව දැනටමත් පැහැදිලි කර තිබේ. ඔහු ඉල්ලා ඇත්තේ, ගැඹුරු විශ්‍රාම සහන කප්පාදුවේ වේගය අඩුකරන ලෙස හා ග්‍රීසිය මත පටවනු ලබන ප්‍රතිගාමී වැට් බදු ඉහල නැංවීමේ පාර්ශවයක් ඉවත් කරන ලෙස පමනි.

සිය මත විමසුමේ අන්තර්ගතය වැඩකරන ජනතාවට කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් සිප්‍රාස්ට පැවසිය හැක්කේ, යුරෝපීය සංගමයේ ඉස්මුදුන ජයග්‍රහනය කර ඇති බවත් ඔබගේ පරාජය එහි වලිගය බවත්ය. වසර පහක කප්පාදුව අවසන් කරන බවට පොරොන්දු දෙමින් සිරිසාව බලයට පත්වී මාස කිහිපයකින් මත විමසුම කැඳවනු ලැබ ඇත්තේ යුරෝපීය සංගමයට යටත්වීම වසං කරන දේශපාලන කඩතුරාවක් ලෙසය. සිරිසාව සටනක් කිරීමට අදහස්කර තිබුනේ නම්, දැනටමත් ග්‍රීක ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන යුරෝපීය සංගමය පිලිබඳ ජනමතය උරගා බැලීමක් ඔවුන්ට අවශ්‍ය නොවනු ඇත.

කප්පාදු සඳහා ඡන්දය ගැනීමට කොන්දේසි ඒ මගින් සකසා ඇති අතර ග්‍රීක වැඩකරන ජනතාවට එරෙහි පුලුල් කෙරෙන ප්‍රහාරය සඳහා ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී කවරයක් ඒ තුලින් ලබා දෙයි. වසර ගනනාවක රුදුරු කප්පාදු කෙරෙහි ගැඹුරින්ම පලවන විරුද්ධත්වය හමුවේ සිරිසාව ද යුරෝපීය සංගමය ද එය ව්‍යාකූල කර අධෛර්යමත් කිරීමට කල හැකි සියල්ල කර තිබේ.

කලින් කිවහැකි පරිදිම යුරෝපීය සංගමය, තියුනු කප්පාදු හා ග්‍රීසිය තුල රෙජිම් චේන්ජ් හෙවත් පාලන තන්ත්‍ර වෙනසක් සඳහා බල කරයි. ඉහල පෙලේ ජර්මානු කොන්සවේටිව් කාරයෙක් 01දා ලන්ඩන් ටයිම්ස් වෙත ප්‍රකාශ කලේ, ඡන්දය “ඔව්” ප්‍රතිපලය ගෙන නොආවොත් හා සිප්‍රාස් ද මුදල් ඇමති වෙරෝෆකිස් ද ඉල්ලා අස් නොවුනහොත් බර්ලිනය, ග්‍රීසිය සමග මොනම ගිවිසුමක් හෝ අවහිර කරන බවත් එරට යුරෝවෙන් පිටමං කරන බවත්ය.

ඊට ප්‍රතිචාර වශයෙන් වෙරෝෆකිස්ම 2දා පැවසුවේ, “ඔව්” ප්‍රතිපලය ලැබුනොත් තමා ද ඉල්ලා අස්වන බවය. යුරෝපීය සංගමය ඉල්ලා සිටින කවර හෝ කප්පාදු පැකේජයක් ක්‍රියාත්මක කිරීමට තමන් සිය අනුප්‍රාප්තිකයාට සහාය දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. තමන් “නැත” යන්න වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රසිද්ධියේ කියා සිටින අතර ඔහු, “කප්පාදු හා අවමාන තර්ජන එපා” යනුවෙන් සඳහන්, මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඔසවා තිබූ පුවරුව ඉවත් කරන ලෙස 01දා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දීම මගින් එම ආස්ථානය ආපසු කැරකවීය.

තම මේසය අස්පස් කරමින් වෙරෝෆකිස්, මත විමසුම මුවවිට තිබියදී කල නිවේදනය, සිරිසාවේ අශුභවාදය හා අපේක්ෂා භංගත්වය එලිපිට නිවේදනය කිරීමට සමානය. සිරිසාවේ නිල නිවේදනයට සවන් දෙමින් යමෙක්, ඔවුන් පරාජය අපේක්ෂා කලා පමනක් නොව, එමගින් අති විශාල මුදලක් උපයාගත හැකි බව දනිමින්, අඩු හෝ වැඩි වශයෙන් පරාජය ප්‍රාර්ථනා කල බව නිගමනය කරනු ඇත. මේ වර්ගයේ ධනේශ්වර ගැති ව්‍යාජ වාම පක්ෂයක දේශපාලන දෙපිටකාට්ටුකම හා කුනුවීම පිලිබඳව මෙය මහඟු නිදසුනකි.

සිරිසාව යවන එකිනෙකට පටහැනි සංඥා පෙන්නුම් කරන්නේ එය නියෝජනය කරන පන්ති අවශ්‍යතාය. එය වනාහි, යුරෝපීය සංගමයේ කප්පාදු කෙරෙහි පලවන පුලුල් ජනතා විරෝධයට හඬක් දෙන වාමාංශික පක්ෂයක් ලෙස මවාපෑමට, ප්‍රජාතන්ත්‍ර අපභ්‍රංස යොදාගන්නා, ධනපති මෙවලමකි. කෙසේ වෙතත් ඔවුන්, යුරෝ මුදල මෙන්ම යුරෝපීය සංගමය ද ඇතුලු යුරෝපීය ධනවාදයේ ව්‍යුහයන්ට ගැඹුරින්ම කැපවී සිටියි. සිරිසාවේ කප්පාදු විරෝධී මවාපෑම් පුහු දේශපාලන තර්ජන ලෙස යලි යලිත් හෙලිදරව්වී තිබියදී වුවත් සිය පාර්ශවයෙන් යුරෝපීය සංගමය, සිය කප්පාදු න්‍යායපත්‍රය කෙරෙහි කිසිදු විරුද්ධත්වයක් ඉවසන්නේ නැත.

බලයට පත්වීමෙන් පසුව සිරිසාව, ග්‍රීක හා යුරෝපීය කම්කරු පන්තියේ කප්පාදු විරෝධය අවමංගත කිරීමට තමන්ට කල හැකි සියල්ල කර තිබේ. සති ගනනක් තිස්සේ යුරෝපයේ අගනුවරවල් එකක් එකක් පාසා කරක් ගසමින් යුරෝපීය සංගමය සමග ගිවිසුමක් සඳහා නිස්කාරනේ කල් මැරූ සිප්‍රාස් හා වෙරොෆකිස්, තමන් මැතිවරනයේදී විරුද්ධව උද්ඝෝෂනය කල කප්පාදු වැඩසටහන දීර්ග කිරීමේ ගිවිසුමට පෙබරවාරියේදී අත්සන් තැබූහ. ඉන්පසුවත් ග්‍රීසියේ නය සැපයුම යලි ස්ථාපනය කිරීම යුරෝපීය සංගමය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ කල මෙම වසන්තයේදී සිරිසාව, සිය නය හිමියන්ට ගෙවීම පිනිස ග්‍රීසියේ පොදු අරමුදල් වලින් යුරෝ බිලියන ගනනක් කොල්ල කෑවෝය.

පසුගිය සතිය වන විට මේ අරමුදල් සිදී ගිය කල සිරිසාව, බොහෝකොටම යුරෝපීය සංගමයට දන ගැසීම සූදානම් කරන ආර්ථික ව්‍යසනයේ තත්වය තුල, එරට අනිවාර්ය බිඳ වැටීමකටත්, ග්‍රීක බැංකු වසාදැමීමටත් මුහුනදෙන තතු හමුවේ, මත විමසුම කැඳවනු ලැබීය. සමහර ග්‍රීක නිලධාරීහු මෙය තමන්ගේ අරමුන බව පවා පැවසූහ. ඊට ප්‍රතිචාර වශයෙන් යුරෝපීය නිලධාරීන්, ග්‍රීසිය සඳහා වන සිය ඇප දීමේ වැඩසටහන නිමාවකට ගෙන එමින් ග්‍රීසිය යුරෝවෙන් පිටමං කරන බවට තර්ජනය කල විට, කලබලයට පත්වූ වෙරෝෆකිස්, මත විමසුමට පෙරාතුව සිරිසාව, යුරෝපීය සංගමය සමග ගිවිසුමකට සූදානම් බව කියමින් වුවත් අවසානයේදී, “ඔව්” යන්නට පෙනී සිටීමට තීරනය කලේය. v

සිරිසාවේ බියගුලුකම හා වංකකම, ග්‍රීක ධනේශ්වරයේ හා එය නියෝජනය කරන වරප්‍රසාදිත මධ්‍යම පන්තියේ කොටස්වල දැක්මේ දේශපාලන ප්‍රකාශනයයි. යුරෝවෙන් නෙරපා හැරීම හා දුර්වල ග්‍රීක ජාතික මුදල කරා යලි පිවිසීම මගින් තමන්ගේ බැංකු ගිනුම් හා කොටස් හිමිකම්වල අගය කැපී යනු ඇතැයි බියට පත් මෙම ස්ථරයෝ, යුරෝපීය සංගමය හා යුරෝව මහත් උද්යෝගයෙන් යුතුව ආරක්ෂා කරති. සිරිසාව තුලම සිටින වරප්‍රසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ශාස්ත්‍රාලිකයින් හා වෘත්තීය සමිති නිලධාරීන් ද දරා සිටින්නේ මෙම මනෝ ගතීන්මය.

සිරිසා ආන්ඩුව හා ග්‍රීක ජනමත විමසුම, ග්‍රීක හා ජාත්‍යන්තර කම්කරු පන්තියට ඉමහත් අත්දැකීම් ගෙන එයි. සිරිසාව හා එහි ජාත්‍යන්තර සහචරයින් වන, වරප්‍රසාදිත මධ්‍යම පන්තියට ගැතිකම් කරන, ස්පාඤ්ඤයේ පැඩිමොස්, ඇමරිකාවේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, ප්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය හා ජර්මනියේ වාම පක්ෂය වැනි සංවිධානවල දේශපාලන බංකොලොත්කම යුරෝපයේ ද ලෝකය පුරා ද මිලියන ගනන් කම්කරුවෝ අත් විඳිමින් සිටිති.

යුරෝපීය සංගමය තම හිසට තුවක්කුවක් එල්ල කර තිබියදී ග්‍රීසියේ කම්කරුවන්ගෙන් විශාල කොටසක් “නැත” යනුවෙන් ඡන්දය දෙනු ඇති බව සැලකේ. සිරිසාවට එරෙහි අරගලය සම්බන්ධයෙන් නම්, එවන් ප්‍රතිපලයක් යුරෝපීය සංගමයේ කප්පාදු පිලිවෙත් වලට සැබෑ පහරක් වනු ඇත. මත විමසුමේ ප්‍රතිපලය කුමක් වුවත්, ග්‍රීසියේ හා යුරෝපය පුරා පාලක පැලැන්තීන්, කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර උත්සන්න කිරීමට එය කඩතුරාවක් කරගනු ඇත.

කම්කරු පන්තිය මුහුන දෙන්නේ, යුරෝපීය ධනවාදයට මෙන්ම සිරිසාව වැනි එහි ව්‍යාජ වාම ආරක්ෂකයින්ට ද එරෙහි අරගලයකට ය. එවන් අරගලයක් දියත් කිරීමේ ප්‍රධාන පූර්ව කොන්දේසිය වන්නේ, කම්කරු පන්තියේ නව විප්ලවවාදී දේශපාලන නායකත්වයක් ගොඩනැගීමයි. සිරිසාව වැනි වරප්‍රසාදිත මධ්‍යම පන්තියේ ප්‍රතිගාමී මෙවලම් වලට කම්කරු පන්තිය වෙත ගෙන දිය හැක්කේ විනාශය පමනි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: