ග්‍රීසියෙන් පාඩම්: ව්‍යාජ වම බලය ගත්කල

Lessons from Greece: The pseudo-left in power

2015 ජූලි 15

“රැඩිකල් වමේ සන්ධානයේ” කටයුතු, කම්කරු පන්තිය පාවාදීම පිලිබඳ මෑත දසකයේ ඇවැන්ත සිදුවීම් අතරට ගැනේ. යුරෝපිය සංගමයේ (යුසං) ආඥා වන්ට එරෙහි පොදුජන විරෝධයක රැල්ලකින් බලයට පත් සිරිසා ආන්ඩුව දැන් පිලිගෙන ඇත්තේ ජර්මන් සහ යුරෝපිය අධිරාජ්‍යවාදයේ යටත් විජිතයක් බවට ග්‍රීසිය පරිවර්තනය කිරීමට නො අඩු සැලස්මකි.

මෙම පාවාදීම වඩාත් නිර්ලජ්ජිත වන්නේ, නරුම දේශ පාලන උපාමාරුවක් ලෙස ආන්ඩුව විසින් ම කැඳවනු ලැබූ ජනමත විචාරයකදී යුසං අන්තිම නිවේදන, ජනතාව විසින් දැවැන්තව ප්‍රතික්ෂේප කරනු ලැබ දින කිහිපයක් වත් ගත වීමට පෙර එය සිදුවූ හෙයිනි. ගිය සඳුදා අගමැති අලෙක්සිස් සිප්‍රාස් ද හිටපු මුදල් ඇමති යානිස් වරූෆාකිස් ද ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි සමාගමට දුන් සාකච්ඡාවකදී තහවුරු කලපරිදි , ඔවුන් ජුලි 5 ජනමත විචාරයේ දි ප්‍රසිද්ධියේ යුසං කප්පාදු ප්‍රතිෂේප කරන ලෙස ඡන්ද දායකයින්ට කී නමුත්, විරෝධ ඡන්දයක් අපේක්ෂා කලේ වත්, එවැන්නකට කැමති වුයේ වත් නැති බව පිලිගත්තෝය. ඔවුන්ගේ සැබෑ අරමුන වුයේ කප්පාදුවලට “ඔව්” ඡන්දයක් ලබාගෙන, එමඟින් සිරිසාව යටත් වීමේ වරදට ජනතාවටම දොස් පැවරීමය.

සාකච්චාකරු ෆිලිප් ඇඩම්ස් විසින් සිප්‍රාස් විරුද්ධ ඡන්දයක් අපේක්ෂා කලේ නැතැයි යන්න සත්‍යදැයි අසන ලදුව වරූෆාකිස්ගේ පිලිතුර වුයේ මාත් විරුද්ධ ඡන්දයක් අපේක්ෂා කලේ නැතැයි යන්නය. ඔහු මෙස් ද කීය, “ සතියක්ම බැංකු දොර වසාතිබුනි. ඒටීඑම් කවුළු වලින් එක පුද්ගලයෙකුට දිනකට ගත හැකි වූයේ යුරෝ 60ක් පමනි. එහෙයින් මා පමනක් නොව අගමැති ද සිතාගත්තේ ද විස්වාස කලේ ද “විරුද්ධ” චන්දය තියුනු ලෙස පහත වැටෙනු ඇත කියාය. ...”

ජනගහනයෙන් සියයට 61ක් යුස කප්පාදු නිර්දේශයන්ට විරුද්ධව චන්දය දුන් බව පැහැදිලි වූ තතු තුල, අගමැති වරයාගේ කාර්යාලයේ “එක්තරා පසුබෑමේ හැඟීමක්”, “ පරාජිත ගතියක්” දක්නට ලැබුනු බවය.

එම සම්මුඛ සාකච්ඡාවෙන් තහවුරු වුයේ ඊට පෙර ලෝක සමාජ වාදී වෙබ් අඩවිය විසින් කරන ලද විශ්ලේෂනය පෙන්නුම් කල පරිදි සිරිසා ආන්ඩුව ජනමත විචාරයක් කැඳවූයේ ග්‍රීසිය කොල්ල කැමට ප්‍රතිගාමී බැංකු වලට ඉඩලබාදීම යුක්තිසහාගත කිරීම සඳහා යොදාගත් ප්‍රෝඩාවක් ලෙස ය. පසු ගිය සතියේ ඩේලි ටෙලී ග්‍රාෆ් පුවත් පතේ තීරුරචක එවන්ස් ප්රිකචාර්ඩ් ගේ ගිය සතියේ ලිපියේ පලවූ කරුන එනම් , “ හොඳ සටනක් කොට , ( ජනමත විචාරයේ දි ) ගෞරවනීය පරාජයක් පිලිගෙන මක්සිමොස් මන්දිරයට වැඩය බාර දීම” සැලසුම වූ බවය යන්න නිවැරදි වූ බවය.

ග්‍රීක කම්කරු පන්තිය බරපතල දේශපාලන පරාජයක් ලබා තිබේ. ග්‍රීසියේද ජාත්‍යන්තරවද මෙයට දැක්වෙන්නේ කම්පාව සහ කෝපයයි. වාමාංශික, පමනක් නොව සමාජවාදීයයි පවා කියාගත් ආන්ඩුවක් මෙයට කලින් පැවති ප්‍රහාර පවා ඉක්මවන ප්‍රහාරයන් කම්න්කරු පන්තියට දැන් එල්ල කිරිම ට සහයෝගය දෙන්නේ කෙසේ ද? මෙම ප්‍රහාරයෙන් ලද හානිය අබිබවමින් , ඒ හා සමාන පරාජයන් ජාත්‍යන්තරව ද යුරෝපය පුරාද සිදුවිම වලක්වාලීම සඳහා හැකියාව කම්කරු පන්තියට අත්කර ගත හැක්කේ අදාල දේශපාලන බලවේගයන් පිලිබඳව වටහාගැනීමෙනි.

සියල්ලටත් වඩා මෙහි තේරුම නම්, ලොසවෙඅ විසින් “ව්‍යාජ වම” යයි නම්කරනු ලැබ ඇති සිරිසාවේ ද එහි දේශපාලන සම-චින්තකයන්ගේ ද ස්වභාවය වටහා ගැනීම ය. සිප්‍ප්‍රාස් විසින් කරනු ලබන ක්‍රියා අනිවාර්යයෙන් ම ගලා එන්නේ සිරිසාවේ පන්ති මූලයන්ගෙනි; එය වනාහි ඉහල මධ්‍යම පන්තියේ වඩාත් වරප්‍රසාදිත ස්ථරයන්මත රැඳි ගන්නාවූ ධනේශ්වර පක්ෂයකි. සිරිසාවට යුරෝපිය බැංකු වල ඉල්ලීම් වලට එරෙහි වීමට නොහැකි වුයේ එසේ කිරීම ග්‍රීසිය තුලම , යුරෝපිය අධිරාජ්‍යවාදයේ එජන්තයා ලෙස කටයුතු කරන ජාතික ධනේශ්වරයට එරෙහිව කම්කරු පන්තිය අවශ්‍ය කෙරෙන හෙයිනි.

සිරිසාව වැනි කන්ඩායම් සමහර විටෙක රැඩිකල් ගෝසාවේ නැතහොත් මාක්ස්වාදී වාග් හරඹයේ යෙදෙති. නමුත් ඔවුන් එසේ කරන්නේ සිය දක්ෂිනාංශික පිලිවෙත් ද තමන් විසින් ධනේශ්වරය ආරක්ෂා කිරීම ද වසන් කිරීම සඳහා ය. ග්‍රීසියේ ව්‍යාජ වම බලයට පැමින ඇති අතර එහි ස්වභාවය තීරනාත්මකව එලිදරව් කරනු ලැබ ඇත.

මෙම තත්වයට ප්‍රතිචාර වශයෙන්, සිරිසාවේ උඩ අත්තේ තබන්නෝ එය විසින් කර ඇති හරිය යුක්ති යුක්ත කිරීමට සහ සිරිසාව පිලිබඳ විවේචනය මෙම ව්‍යසනය උත්පාද කලාවූ සුළු ධනේශ්වර දේශපාලනයෙන් බිඳීමක් කරා මග නො පාදතියි සහතික කර ගැනීම ට වියරු වැටී සිටිති. ඔවුහු, ආත්මාරක්ෂක පියවරක් ලෙස , තමන් ගේ ම භූමිකාව ට සුදුහුනු ගාගැනීමට පටන්ගෙන සිටිති, ගිලෙන නැවෙන් පලායාම සඳහා , දේශපාලනික ජීවිතාරක්ෂක ජැකට් ඇඟ ලා ගනිමින් සිටිති.

ඔවුන්ගේ උපායයන්ගෙන් එකක් සිරිසාව තුලම ඉනියා “වමේ පිලක්” සඳහා හිඟමනේ යෙ දීමය. එක්සත් ජනපදයේ ඉන්ටර් නැෂනල් සෝෂලිස්ට් ඕගනයිසේසෂන් (අයි එස් ඕ ) කරන්නේ සිරිසාව තුල ඉනියා , “ලෙෆ්ට් ප්ලැට්ෆෝම්(වාම වේදිකාව)” කට සහය දෙන ඉන්ටර්නැෂනල් වර්කර්ස් ලෙෆ්ට් (ඩිඊඒ) සංවිධනයේ අදහස් ප්‍රචාරය කිරීමය. සිරිසවේ මැතිවරන ජයග්‍රහනයෙන් මාස හයක් ගත වෙන තෙක් , ලේෆ්ට් ප්ලැට්ෆෝම් යෙදී සිටියේ සිප්‍රස්ගේ බොරු සහ උපාමාරු වසන් කරීමේ ය. එම පුහු විවේචන එල්ල කෙරුනේ සිරිසාව වටේ තල්ලු කල හැකිය යන මායාව කම්කරු පන්තිය මත පැට වීමටය.

ගතවූ දෙසතිය තුල ලෙෆ්ට් ප්ලැට්ෆෝම් හි ක්‍රියා විදහා දක්වන්නේ එහි වංචනික හා ප්‍රතිපත්ති විරහිත භුමිකාවයි. ජුලි 1 දා , අයි එස් ඕ සංවිධනයේ වෙබ් අඩව්යේ පලවුනු එහි ප්‍රකාශයක මෙසේ සඳහන් විය, “ උග්‍ර කෙරුනු -කප්පාදුව පැටවීමට නව ගිවිසුමක් අත්සන් කලයුතුයි ඉල්ලු නය හිමියන්ගේ අන්තිම නිවේදනය ප්‍රතික්ෂේප කිරීම ද , ජුලි 5 වෙනිදා ජනමත විචාරනය මගින් මහජනයා ගේ අධිෂ්ඨානයට ප්‍රකාශනය ලබ දීමට ක්‍රියා කිරීමද වනාහි ග්‍රීක දේශපාලනය ප්‍රතිවර්තනය කරන්නාවූ තීන්දු ය.”

එම ප්‍රකාශයේ මෙසෙ ද සඳහන් විය. , ජනමත විචාරය විසින් “නය හිමියන් සමග කරමින් පවත්නා නිමක් නැති සාකච්චා වල ආපසු හැරීමක් නැති තැනින් සිරිසාව සහ වෙනසක් සඳහාවූ මහජන අපේක්ෂාවන් මුදවා හරි.” එය තව දුරටත් කියා සිටියේ ජන විචාරය සඳහා කැඳවුම “ඔප්පු කරන්නේ සිරිසව තුල ඉතාම විවේචන ශීලී අප මැතිවරනයෙන් පසු ගතවූ මාසවලදී අවධාරනය කල දෙය යි : එනම් , සිරිසාව කප්පාදුවේ පක්ෂයක් බවට පහසුවෙන් පරිවර්තනය කල නොහැකි බවයි. ... ජුලි 5 දා ජයග්‍රහනය, නය හිමියන්ගේ අවසාන නිවේදන ද සමග තත්වය, සාකච්චා බිඳ වැටීමට පෙර සමය කරා ආපසු නොයනු ඇත.”

මෙවන් කියාපැම කොයිතරම් ඉක්මනින් එලිදරව් වුනේද !

ජුලි 5 ජන මතයෙන්ඉක්බිති සිරිසාව යුස සමග සාකච්චා වලට ආපසු ගොස් ජනමතයේ දි ප්‍රතික්ෂේපිත කැපිලි වලට ද වඩා උග්‍ර කප්පාදු වලට එකඟ වීමේ සූදානම ප්‍රකාශ කල පසු ද ඩි ඊ ඒ නායක අන්ටෝනිස් දෙනේල්ලොස් ජුලි 10 දා ප්‍රකාශ කලේ , “ කප්පාදු විරෝධී චන්දයේ අනපේක්ෂිත පරිමාව සිරිසා නායකත්වයට සහ ආන්ඩුවට වාසියක් ලබාදී ඇති බව’ය. දෙනේල්ලොස් තවදුරටත් කිවේ “ ගෞරවනීය සම්මුතියක් පතා ආන්ඩුව නයහිමියන් සමග සාකච්චාවලට එලඹීමට අවශ්‍ය යයි නිගමනය කිරීම මුලුමනින්ම සාධාරන නිගමනයක් ‘ ය කියාය.

සිරිසාව කෙසෝ හෝ ආරක්ෂාකර ගත යුතුයයි දවෙල්ලොස් කියාසිටියේය,” විරුද්ධ චන්දයෙන් ප්‍රකාශිත පරිදි මහජනයාගේ බලය සහ ජනමත විචාරයෙන් උද්ගත වූ නව තත්වයන්ට මුහුන දීම සඳහා අවශ්‍ය වූ රැඩිකල් වාම මූලෝපාය සහ උපාය පැනනැගිය හැක්කේ සිරිසා පක්ෂය තුලින් හැර අන් කිසි වකින් නොවේ.”

මේ ජාතියේ ම තවත් කතා , ඉන්ටනැෂනල් වීව් පොයින්ට් නම් ප්‍රති-ට්‍රොට්ස්කිවාදී ව්‍යාජ-වාම සඟරාවේ ද දක්නට ලැබේ. හතරවන ජාත්‍යන්තරයෙන් අඩ සියවසකටත් වඩා පෙර බිඳි ගිය, ග්‍රීසියේ අන්තර්ස්ය (ප්‍රති-ධනවාදි පෙරලිය සඳහාවූ සංගමය ) කන්ඩාමට සහය දෙන මෙම සඟරාව , ජුලි 7 දා මෙසේ ලිවීය:” “ ස්පාඤ්ඤ රාජ්‍යයේ පොදෙමොස් සංවිධානය මෙන්ම ග්‍රීසියේ සිරිසා ව ද ලබන ජයග්‍රහන යුරෝපයේ සෑම රටක්ම ගතයුතු මාවත හෙලි කරයි.”

ජුලි 13 දා , සිප්‍රාස් ගේ හිරිකිත යටත්වීමෙන් පසුව ද , අන්තර්ස්යා සාමජික ආනාඕට සොටිරිස් ජකොබින් නම් සඟරාවට ලියු ලිපියක සිරිසාව විවේචනය කරන උදවිය හෙලා දුටුවේය. ගත වූ දින කිහිපය “සිරිසව සහ සිප්‍රාස් ගේ පාරේ අවසානය සලකුනු කරන “ බව කියන අතර ඔවුන් ” කට්ටිවාදයේ රෝග ලක්ෂන සහ රැඩිකල් වමේ සුක්ෂම -කුමන්ත්‍රන” වල යෙදී සිටින්නේ යයි පහර දෙයි.

ඉතුරු කරගත හැකි කුමක්හෝ ඇත් දැයි බලන්නට සිරිසාවේ දුගඳ ගොහොරුවට බැසිය යුතු යයි කියමින් ඔහු මෙසේ තර්ක කලේ ය, “අපට අවශ්‍ය වන්නේ එක්තරා ආකරයකින් , පලල් පෙරමුන ලෙස සිරිසාවේ උරුමය අපොහකව අන්තර්ගතකර ගත හැකි වූ ද ඒ සමඟම ඉක්මවායා හැකිවූ ද දේශපාලන බලවේග සහ ව්‍යාපාර ගතිකයන් ද වේ. එසේම ප්‍රති-ධනවාදී එකමුතුවක් ලෙස අන්තර්ස්යාවේ අත්දැකීම ද ව්‍යාපාරයේ සියලුම සංවිධාන ස්ව්රුපයන්ගේ අත්දැකීම ද අවශ්‍ය වේ.”

සිරිසාවේ ක්‍රියා ජාත්‍යන්තරව වැඩකරන ජනතාවට විදහා දක්වාඇත්තේ මේ සකල “ප්‍රති ධනවාදී “ කණ්ඩායම් සහ ව්‍යාපාර වනාහි කම්කරු පන්තියට මාරක උගුල් බවය. ඔවුන් එකෙකු හෝ සිරිසාවේ තත්වයට පත් වී නම් ඔවුන්ද කරනු ඇත්තේ සිප්‍රාස් කල දේමයි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන ව විශ්ලේශ්නය මෙම සිද්ධීන් විසින් ඔප්පුකර ඇත්තේ ය. සිරිසාව පසුගිය ජනවාරියේ දි ලත් මතිවරන ජයග්‍රහනයට පෙර සිටම ලෝක සමාජවාදී වෙබ් අඩවිය එම සංවිධානය ග්‍රීක් කම්කරුවන් හා තරුනයන් ගේ අපේක්ෂාවන් පාවාදෙනු ඇති ධනේශ්වර පක්ෂයක් බව පැහැදිලි කළේය. එහි ඉතිහාසයේ මුල පටන් සැම විටම ජාත්‍යන්තර කමිටුව එවන් දේශපාලන සංවිධාන නිර්දය ලෙස විවේචනය කරමින් ඒවාට ප්‍රතිවිරුද්ධව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි වන්නේ එවන් විවේචනයක් මත පමනක් බව අවධාරනය්කලේ ය.

ග්‍රීසිය තුල අවසාන නිගමනය තවමත් ප්‍රකාශයට පත් වී නැත. ඉදිරියේදී තව තවත් අරගල එලඹෙනු ඇත. මෙවන් පරාජයක් කම්මරු පන්තියට අත්වූයේ කම්කරුවන්ට සටන් කරන්නට නොහැකි නිසා හෝ, ඔවුන් සටන් නොකල නිසා යයි කිසිවෙකුටත් පැවසිය හැක්කේ නැත. අඩුව වුයේ දේශපාලන නායකත්වයයි. මෙම සිද්ධීන් ගෙන් පසුව ,ඉදිරි දර්ශනයේ, න්‍යායේ, සහ ක්‍රියාමාර්ගයේ අත්‍යවශය භාවය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි වේ. අප ග්‍රීසියේ ද ජාත්‍යන්තරවද අපගේ පාඨකයින් ගෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාමාර්ගය සහ ගතවූ මාස හයේ පාඩම් තරයේ අධ්‍යයනය කරන ලෙසද ජාත්‍යන්තරව කම්කරු පන්තියේ නායකත්වය ගොඩ නැගීමේ කර්තව්‍යට සහභාගිවන ලෙස ද ය.

ජෝසෙප් කිශෝර්

Share this article: