ග්‍රීසියේ කම්කරුවන් ආරක්ෂා කරනු!
ෂෝබල්ගේ හා මර්කෙල්ගේ නියෝගයන්ට විරුද්ධ වනු!

Defend the Greek workers! Oppose the diktat of Schäuble and Merkel!

2015 ජූලි 14

ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය, එරට චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා මුදල් ඇමති වුල්ෆ්ගෑන්ග් ෂෝබල් විසින් පසුගිය 12දා පැවති යුරෝ කන්ඬායම් රැස්වීමේදී ග්‍රීසිය මත බලහත්කාරයෙන් පටවනු ලැබූ ගිවිසුම හෙලා දකියි.

ජර්මනියේ හා යුරෝපය පුරා කම්කරුවන්ට අප කියා සිටින්නේ, ග්‍රීසියේ කම්කරුවන්ට සිය සහයෝගය පල කරමින් ජර්මානු ආන්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහිව මහජන විරෝධතා සංවිධානය කරන ලෙසයි.

ග්‍රීක ආන්ඩුවේ අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් 13දා උදෑසන යටත්වූ නව කප්පාදු යෝජනා, යන්තම් සතියකට පෙර එරට ජනතාවගේ විශාල බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කරන ලද පියවරයන්ට ද වඩා බොහෝ දුර යයි. මිලියන සංඛ්‍යාත ග්‍රීකයින්ට මෙම යෝජනා ක්‍රියාවට නැංවීම යනු, දුප්පත්කම, විරැකියාව, වසංගත හා මරනයට පවා කොන්දේසි සැකසීමය. ග්‍රීසිය ජර්මනියේ හා අතිශය බලගතු යුරෝපීය මූල්‍ය අවශ්‍යතාවන්හි සැබෑ වැයික්කියක් බවට පිරිහෙලනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය මහ බැංකුව හා යුරෝ සංඟමය යන ත්‍රිත්වය ඇතන්ස් වෙත ලඟාවී, ආන්ඩුවේ පිලිවෙත නියම කරනු ඇත. ආන්ඩුව, කප්පාදු පියවරයන්ට හා ස්වයංක්‍රීය අයවැය කැපීම මත තබන රබර් මුද්‍රාවක මට්ටමට ඇද දමනු ඇත. යුරෝ බිලියන 50කට තක්සේරු කර තිබෙන රාජ්‍ය දේපොල, 1990දී නැඟෙනහිර ජර්මනියේ රාජ්‍ය දේපොල ඈවර කිරීම සඳහා පිහිටුවන ලද ට්‍රොයිහන්ඩ්අන්ස්ටල්ට් (Treuhandanstalt) හි මෝස්තරය අනුව යමින්, ඉහලම ලංසුවට විකුනා දැමෙන අරමුදලකට මාරුකරනු ලැබේ. ගිවිසුම ග්‍රීක කම්කරු පන්තිය නිර්දය ලෙස සූරාකෑම හා කොල්ලකෑම සඳහා පිදෙන නිදහස් වරපත්‍රයකට සමානවේ.

සංස්ථාපිතයේ විස්තර කථකයින්ට පවා ගිවිසුමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය විමසා බැලීමට ඉඩ නොලැබේ. ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ වොල්ෆ්ගෑන්ග් මුන්චාවු ග්‍රීසියේ නය හිමියන්ට දොස් පැවරුවේ, එරට “19 සියවසේ හා 20වන සියවසේ මුල ජාතිකවාදී යුරෝපීය බල අරගලයට” එලඹ සිටින බවටත්, යුරෝ කලාපය “ජර්මනියේ අවශ්‍යතාවන්ට අනුව දුවන” පද්ධතියක් බවට හරවන බවට හා “පවතින ක්‍රමයට අභියෝග කරන අයට පූර්න අසරන භාවයට වැටීමේ තර්ජනය ද එල්ල කරන” බවටය.

නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ පෝල් කෘග්මාන්, යුරෝ සංඟමයේ “තනිකරම පලිගැනීමේ චේතනාවෙන් යුත්, ජාතික ස්වෛරිත්වය මුලුමනින්ම විනාශ කරන හා කිසිම සහනදායී බලාපොරොත්තුවක් නැති” ස්වභාවය ගැන චෝදනා කරයි.

ෂෝබල් හා මර්කෙල්ගේ නිර්දය කටයුතු සිහියට නංවන්නේ, ජර්මානු ඉතිහාසයේ අඳුරුම අවධියයි. හිට්ලර්ගේ වේමාක්ට් පාලනය ග්‍රීසිය අල්ලාගෙන, කුරිරු රෙජිමයක් පිහිටුවා, රුදුරු ලෙස රට කොල්ලකෑමේ තැන් පටන් ගතව ඇත්තේ 75 වසරකටත් අඩු කාලයකි. ග්‍රීසියේ සියලු නිර්යාත කාර්මික භාන්ඩ අත්පත්කර ගැනීම, යන්ත්‍රෝපකරන හා වාහන සොරකම් කිරීම වැනි වාඩිලෑමේ අධික වියදම් එරට මත පැටවීම තුඩු දුන්නේ, මිනිසුන් ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගත් සාගතයටය.

පාටිසන් සටන්කරුවන්ගේ ප්‍රතිරෝධයට වේමාක්ට් පාලනය ප්‍රතිචාර දැක්වූයේ, ඩිස්ටමෝ, ලින්ගියාඩ්ස් හා කොමේනෝ ඇතුලු නොයෙකුත් ගම්මානවල වැසියන් සමූල ඝාතනය කිරීමෙනි. මෙම ප්‍රචන්ඩත්වයට අඩුම තරමින් පුද්ගලයින් 30,000ක් ගොදුරු විය. 8,000ක් යුදෙව්වන් පිටුවහල් කර ඝාතනය කරන ලදී. ලෝකයේ පැවති පැරනිතම යුදෙව් ජනාවාසයක් වූ තෙසලොනිකි හි ජනතාව මුලුමනින්ම අතුගා දමන ලදී. ගොදුරුවූ කිසිවෙකුටත් වන්දි ගෙවීමක් හෝ අපරාධකරුවන් කිසිවෙකුටත් කවදා හෝ දඬුවම් පැමිනවූයේ නැත.

ෂෝබල් හා මර්කෙල් දැන් යමින් සිටින්නේ සිය මුතුන්මිත්තන්ගේ අඩිපාරේය. අතීතයේ දිරවාගත නොහැකිවූ කුනු සියල්ල ජර්මානු පාලක පන්තිය දැන් වමාරා කති. ඔවුන්ගේ උද්ධච්චකම පෙන්නුම් කරන්නේ ඔවුන්, යලි වතාවක් යුරෝපයේ ප්‍රමුඛ වර්ගය තමන් යයි සලකා ගන්නා බවය.

කොන්දක් නැති මාධ්‍ය දේශපාලඥයින්ට සහාය දක්වති. ඔවුන් ග්‍රීක ජනතාව වෙත කුමකින් හෝ දමා ගැසීමට පැකිලෙන්නේ නැත. මාධ්‍ය ජාල, ජනතාව ව්‍යාකූල කිරීමට හා නොමඟ යැවීමට තමන්ට හැකි සියලු ප්‍රචාර යොදා ගනිති.

ආන්ඩුව, දෙවන ලෝක යුද්ධයේ ජර්මානු අපරාධ වලට සුදුහුනු ගෑමට හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ජොර්ග් බාබරොව්ස්කි වැනි ඉතිහාසඥයින් මත ද රැඳී සිටියි. අර්ථශාස්ත්‍රඥයෝ එයට සහාය දෙති. ඔවුන් කියන්නේ, ග්‍රීක කම්කරු පන්තියේ දුප්පත්කම, ඓතිහාසික අවශ්‍යතාවක් බවය. හර්ෆ්‍රිඩ් මුන්ක්ලර් වැනි දේශපාලන විද්‍යාඥයින්, යුරෝපය තුල ජර්මනියේ අධිකාරය සඳහා දේශපාලන තර්ක විතර්ක ගොතයි.

ජර්මානු පාර්ලිමේන්තුව තුල නියෝජනය වන සියලු පක්ෂ ආන්ඩුවට සහාය දෙති. ෂෝබල් හා මර්කෙල් දකුනෙන් පසුබැස්සවීමට උත්සාහ කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) නායක සිග්මා ගේබ්‍රියෙල්, ඊට නායකත්වය දෙයි.

ඉතිහාසය අමතකවී ඇතැයි ඔවුන් සියල්ලෝම කල්පනා කරන සෙයකි. එහෙත් ඔවුන් කරන්නේ ඔවුන්ම රවටා ගැනීමකි. ග්‍රීසියේ ද ජර්මනියේ හා යුරෝපයේ ද කම්කරු පන්තිය, ජර්මනියේ ඓතිහාසික අපරාධ යලි සිදුකිරීමට ඉඩ නොදෙනු ඇත. නොදිය හැක.

ජර්මානු ආන්ඩුව ග්‍රීසිය තුල සිය ආක්‍රමනික කටයුතු තුලින් අරමුනු දෙකක් හඹා යයි. ජර්මනියේ හා යුරෝපයේ සිය කප්පාදු මඟේදී හමුවන සියලු ප්‍රතිරෝධයන් පසුබැස්වීමේ ආදර්ශයක් පිහිටුවා ගැනීමට ද යුරෝපය තුල සිය අධිකාරවත් බලය ශක්තිමත් කර ගැනීමට ද ඔවුහු බලාපොරොත්තු වෙති.

2008 මූල්‍ය අර්බුදය වන විට ආන්ඩුව, ජර්මනියට සිය ආධිපත්‍යය තවදුරටත්, සම්මුතීන් හා මූල්‍ය ආධාර තුලින් පවත්වාගෙන යා නොහැකි යයි තීරනය කොට තිබුනි. මුන්ක්ලර්ගේ වචන වලට අනුව ජර්මනිය, යුරෝපයේ “ගෙවීම් නියමුවා”ගේ තැන සිට “කර්තව්‍යයේ නියමුවා” බවට පත්විය යුතුව තිබුනි. පසුගිය වසරේ මුල ආන්ඩුවේ ප්‍රමුඛ නිලධාරීන් ඉල්ලා සිටියේ, තමන්ගේ තථ්‍ය අනුහසට ගැලපෙන පරිදි ජර්මනිය, යුරෝපය තුලත් ලෝකයේත් භූමිකාවක් ඉටුකල යුතු බවය.

මෙම නව මහ බලවතාගේ දේශපාලනය පලමු වරට අත්හදා බැලුවේ යුක්‍රේනය තුලය. එහිදී ජර්මානු ආන්ඩුව, එරට සිවිල් යුද්ධයට ඇද දැමූ හා න්‍යෂ්ටික අවි බලවතෙකු වන රුසියාව සමඟ මිලිටරි ගැටුමක අද්දරට නේටෝව ගෙන ආ, බටහිර ගැති කුමන්ත්‍රනයට පිටුබලය දුන්නේය. ඇතන්ස්හි සිවිල් කුමන්ත්‍රනයකට සමාන තත්වයක් කරා මේ පිලිවෙත් දිගටම අනුගමනය කෙරේ.

මේ ක්‍රියාවලිය තුල යුරෝපීය සංඟමයේ මුහුනුවර ද පරිවර්තනය වී ඇත. එය පෙර නොවූ විරූ පරිදි පැහැදිලි කර ඇත්තේ යුසං, යුරෝපීය ජනතාවගේ සාමකාමී යහ පැවැත්ම සඳහා නොව, වඩාත් බලවත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ආධිපත්‍යයේ හා කම්කරු පන්තිය නිර්දය ලෙස සූරාකෑමේ මෙවලමක් සඳහා වන යාන්ත්‍රනයක් බවය. මහජනතාව දැන් යුසං දැකගන්නේ, පිලිකුල හා වෛරය මුසු හැඟීමක් සහිතවය.

ජර්මනිය ලෝක බලවතෙකුගේ තත්වය අත්කර ගැනීම පිනිස යුරෝපීය සංඟමය විවෘතව යොදාගන්නා කල, යුරෝපය තුල ජාතික ගැටුම්, විශේෂයෙන්ම ජර්මනිය හා ප්‍රන්සය අතර ගැටුම්, වඩාත් උත්සන්න වේ. 12දා සමුලුවට පෙරාතුව, දේශීය දේශපාලන සලකා බැලීම් හේතුකොටගෙන, ග්‍රීසිය කෙරේ වඩා ලිහිල් ආකල්පයකට කැමැත්ත දක්වන පැරිසිය, හා බර්ලිනය අතර තියුනු වචන හුවමාරුවක් සිදු විය. ජර්මනියේ ආධිපත්‍යයට වඩා තමන්ගේම කම්කරු පන්තියේ තර්ජනය කෙරේ බියට පත්ව සිටින ප්‍රන්ස ආන්ඩුව අවසානයේදී, ජර්මනියේ අනට යටත් විය. කෙසේ වෙතත්, යුරෝපය පාලනය කරන්නේ කවුරුන් විසින් ද යන්න මත ඇමරිකාව හා ජර්මනිය අතර ගැටුම වර්ධනය වෙද්දී, මේ ආතතීන් යලි හිස ඔසවනු ඇත.

කම්කරු පන්තිය ඛේදජනක දුගී භාවයටත්, මහාද්වීපය යලි වතාවක් යුද්ධයට හා ආඥාදායකත්වයටත් ඇද දැමීමට තර්ජනය කරන මෙම අනතුරුදායක කටයුතු වලට විරුද්ධවීම, ජර්මනියේත් යුරෝපයේත් කම්කරු පන්තියේ කර්තව්‍යය වන්නේය. මෙහිදී ග්‍රීසියේ සිදුවීම්වල හා සිරිසාව විසින් ඉටුකල භූමිකාවේ පාඩම් උකහා ගැනීම වැදගත්ය.

පසුගිය දින කිහිපය තුල සිප්‍රාස් හා ඔහුගේ ආන්ඩුව විසින් ගෙන ගිය බියගුලු හා නිර්ලජ්ජිත පාවාදීමට සමාන්තරයක් ඉතිහාසය තුලින් සොයාගැනීම දුෂ්කර ය. කප්පාදු අවසන් කරන බවට දුන් පොරොන්දුවක් මත පදනම්ව ජනවාරියේදී බලයට පත් තැන් පටන් සිප්‍රාස්ගේ පක්ෂය, එකකට පසුව තවෙකක් වශයෙන් බර්ලිනය හා බ්‍රසල්ස් වෙත සහන පිරිනැමීය.

අවසානයේදී ඔවුන් ජනමත විමසුමක් සංවිධානය කලේ, බහුතරය යුසං නිර්දේශ කරන කප්පාදු පියවරයන්ට කැමැත්ත පල කරනු ඇතැයි විශ්වාස කරමිනි. ඒ වෙනුවට ඉමහත් බහුතරය කප්පාදුවට විරුද්ධවීම හමුවේ ඔවුහු, සතියක් තුල ජර්මනියේ අනසකට මුලුමනින්ම දනනැමූහ. දක්ෂිනාංශික ධනපති ආන්ඩුවක් පවා ඒ දුර නොයනු ඇත.

මෙම යටත්වීම, සිරිසාව නිසැකවම වමේ, සමාජවාදී පක්ෂයක් නොව, තමන්ගේ පැවැත්ම ගැන පමනක් උත්සුක වන ප්‍රධානකොටම ධනවත්, ආත්මාර්ථකාමී මධ්‍යම පන්තික ස්ථරයන් නියෝජනය කරන ව්‍යාජ වාම සංවිධානයක් බවට සසප කල තක්සේරුව සනාථ කරයි. ඔවුන්ට ඇත්තේ තමන් බිය වන කම්කරු පන්තිය කෙරේ සතුරුකමක් මිස අනෙකක් නොවේ. ඔවුන්ගේ යටත්වීම, “වමේ” යයි කියාගන්නා සිරිසාවට වඩා බ්‍රසල්ස්හි හා බර්ලිනයේ අනට වඩාත් අධිෂ්ඨාන සහගත ලෙස විරුද්ධවූවන් ලෙස ප්‍රතිගාමී, ජාතිකවාදී ආස්ථානයකින් පෙනීසිටින ගෝල්ඩන් ඩෝන් වැනි අන්ත දක්ෂිනාංශිකයින්ගේ මෝලෙහි ඇඹරීමට ධාන්‍ය සැපයීමකි.

සිරිසාව සම්බන්ධයෙන් සත්‍ය වන දේ, ජර්මනියේ වාම පක්ෂය හා ස්පාඤ්ඤයේ පොඩිමොස් සංවිධානය ද ඇතුලු ඔවුන්ගේ ජාත්‍යන්තර සම චින්තකයින්ට ද එලෙසම අදාල වන්නේය.

ග්‍රීසියේ ඉරනම සඳහා වාම පක්ෂය ඉමහත් වගකීමක් දරා සිටියි. පෙබරවාරියේදී ඔවුන්, කප්පාදු පියවරයන් ද ඇතුලත්ව තිබූ ග්‍රීසියට “ආධාර වැඩසටහනට” ඡන්දය දුන්නේය. විශ්වාසනීයත්වයේ බිඳක් රැක ගැනීම පිනිස ඉඳ හිට ඔවුන්, ජර්මානු ආන්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන නමුත් ග්‍රීක කම්කරුවන්ට සහාය පිනිස කිසිවක්ම කලේ නැත.

ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වාම පක්ෂය කිසිදු පෙලපාලියක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කලේය. බර්ලිනය තුල වාම පක්ෂය බලයට පත්වුවහොත්, ඔවුන් ද අනුගමනය කරනු ඇත්තේ සිරිසාවේ මඟමය. ප්‍රාන්ත මටටමෙන් බලයට පත්වූ ඔවුන්ගේ වාර්තාවෙන් දැනටමත් මේ බව ඔප්පුකර තිබේ.

වාම පක්ෂය, දුම්රිය රියැදුරු, තැපැල් හා සහන සේවක, රෝහල් සේවක හා අනෙකුත් වෘත්තිකයින්ගේ වැඩවර්ජන අත්හිටුවා, විකුනා දමමින්, ජර්මානු ආන්ඩුවට සහාය වීමට උත්සාහ දරා තිබෙන වෘත්තීය සමිති සමඟ සමීපව කටයුතු කරයි.

ජර්මානු කම්කරු පන්තිය, ග්‍රීසියේ සිය පන්ති සහෝදරයින් හා සහෝදරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටිය යුතුය. සමාජ අරගලයන්හි යෙදීගත් සියලු කම්කරුවන්ගෙන් ද තරුනයින්ගෙන් හා සමස්ත වැඩකරන ජනතාවගෙන් ද සසප ඉල්ලා සිටින්නේ: ග්‍රීක කම්කරුවන්ට සහාය දෙනු! ෂෝබල් හා මර්කෙල්ගේ අනට එරෙහිව සහයෝගිතා වර්ජන සංවිධානය කරනු! වාම පක්ෂයෙන් හා එස්පීඩීයෙන් බිඳී ස්වාධීනව සංවිධානය වෙනු! යනුවෙන්ය.

අති මූලික ප්‍රශ්නය වන්නේ, ග්‍රීසියේ ද ජර්මනියේ ද යුරෝපීය මහාද්වීපය පුරා ද විප්ලවවාදී නායකත්වය ගොඩනැඟීමේ අවශ්‍යතාවයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජර්මානු ශාඛාව වන සසපට බැඳෙන්න, යුරෝපීය කම්කරු පන්තියේ එකමුතුව සඳහා ද එක්සත් යුරෝපීය සමාජවාදී සමූහාන්ඬුවක් සඳහා ද සටන් වදින හජාජාක ශාඛා යුරෝපය පුරා ගොඩනඟන්න!

ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය

Share this article: