පිව් වාර්තාව: ලෝක ජනගහනයෙන් සියයට 84ක් ජීවත් වන්නේ, දිනකට ඩොලර් 20කට වඩා අඩු ආදායමකිනි

Pew report: 84 percent of world population subsists on under $20 per day

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි, 2015 ජුලි 11

පිව් පරියේෂන ආයතනය මේ සතියේ පල කල ගෝලීය ආදායම් පිලිබඳ වාර්තාවකට අනුව, සන්නිවේදනයේ, කෘෂිකර්මයේ සහ ජෛව තාක්ෂනයේ අර්ථභාරී ප‍්‍රගමනයන් තිබියදීත්, පසුගිය වසර 15 පුරා, ලෝක ජනගහනයේ අති මහත් බහුතරය ජීවත් වන්නේ, ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය.

“ගෝලීය මධ්‍යම පන්තියක් යනු යතාර්ථය ඉක්මවා ගිය පොරොන්දුවකි.” යන ශීර්ෂයෙන් යුත් වාර්තාව, ලෝක ජනගහනයෙන් සියයට 71ක්, ඩොලර් 10කට වඩා අඩු ආදායමකින් යැපෙන, දුප්පත් හෝ අඩු ආදායම් ලාභීන් ලෙස වර්ගකරයි. ජනගහනයෙන් සියයට 84ක් ජීවත් වන්නේ, සංවර්ධිත රටවල “ගැඹුරු දරිද්‍රතාවය” ලෙස සලකන ආදායම් මට්ටමක් වන, දිනකට ඩොලර් 20 හෝ වසරකට ඩොලර් 7,300 වඩා අඩු මුදලකින් බව වාර්තාව නිගමනය කරයි.

වාර්තාව “ඉහල” ආදායමක් ලෙස හඳුන්වන දිනකට ඩොලර් පනහට වැඩි හෝ වසරකට ඩොලර් 18,000ට වැඩි මුදලක් සහිතව දිවි ගෙවන්නේ, ලෝක ජනගහනයෙන් සියට හතක් පමනි. මොවුන්ගෙන් අති මහත් බහුතරය ජීවත් වන්නේ යුරෝපයේ හා ඇමරිකාවේය.

සහස‍්‍රකය එලඹීමෙන් පසු අවරුදු වල සහ විශේෂයෙන්ම 2008 මුල්‍ය අර්බුදයට පෙර, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල, කියනු ලබන නව ගෝලීය මධ්‍යම පන්තියක මතුවීම, ආසියාවේ, ලතින් ඇමරිකාවේ සහ අප‍්‍රිකාවේ දරිද්‍රතාවයෙන් ජීවත් වන මිනිසුන්ට ආර්ථික සමෘද්ධිය ගෙන ඒමට ධනේශ්වර පද්ධතිය සමත්ය යන්නට සාක්ෂියක් ලෙස දේශපාලන සංස්ථාපිතය විසින් තොරම්බල් කලේය.

පිව් වාර්තාව මෙවැනි ප‍්‍රකාශ හෑල්ලූවට ලක් කරයි. “ගෝලීය මධ්‍යම පන්තිය අප සිතුවාට වඩා කුඩාය. එය අප සිතුවාට වඩා සශ‍්‍රීකත්වයෙන් අඩුය. එමෙන්ම එය අප සිතුවාට වඩා කලාපීයව සංකේන්ද්‍රනය වී ඇතැයි” අධ්‍යනයේ ප‍්‍රධාන ලේඛක රාකේෂ් කොච්හාර් ෆයිනෑන්ෂියල් ටයිම්ස් පත‍්‍රයට පැවසීය.

දරිද්‍රතාවයේ නරකම තත්වය “තියුනු ලෙස” අවම කල රටවල් පවා, “මධ්‍ය ආදායම් ලබන ජනගහනය සතු පංගුවේ සිදුව ඇත්තේ කුඩා වෙනසක් බව අත්දැක ඇත” යන්න වාර්තාව සඳහන් කරයි. දිනකට ඩොලර් 2 කට වඩා අඩු ආදාමක් සහිතව ජීවත් වන මිනිසුන්ගේ ප‍්‍රමානයෙහි අඩුවීමක් ඇතැයි වාර්තාව සඳහන් කරන විට පවා එය ඉස්මතු කරන්නේ, පහලම මට්ටමේ සිට ඉහල නැග ඇති අය බොහෝ කොටම වැටී ඇත්තේ, එක්සත් ජනපද ප‍්‍රමිතීන්ට අනුව අන්ත දරිද්‍රතා මට්ටමක් ලෙස වර්ගීකරනය කර ඇති දිනකට ඩොලර් 2-10 “අඩු ආදායම්” ප‍්‍රවර්ගය තුලට බවයි.

ලෝකය පුරා ආදායම් බෙදී යාම විශ්ලේෂනය කිරීමට සහ සංසන්දනය කිරීමට, නවතම ක‍්‍රය ශක්ති සමානත්ව දත්ත වාර්තාව ප‍්‍රයෝජනයට ගෙන ඇත. එය ලෝක ජනගහනයෙන් සියයට 88ක් සහිත රටවල් 111ක් ආවරනය කරන අතර 2001 සිට 2010 දක්වා කාල පරාසයක විහිද යයි.

එම කාලය තුල “ඉහල මධ්‍යම පන්තික ආදායම” ලෙස වර්ගීකරනය කල දිනකට ඩොලර් 20 - 50 අතර ආදායමක් ලබන, ලෝක ජනගහනයේ කොටස, සියයට 7 සිට සියයට 9 දක්වා වර්ධනය වී ඇත. මෙය දිනකට ඩොලර් 10ත් 20ත් අතර ආදායමක් ලබන, 2001 සහ 2011 අතර සියයට 7 සිට සියයට 13 දක්වා වර්ධනය වූ ජනගහනයට වඩා අර්ථභාරී ලෙස අඩුය.

“මධ්‍ය ආදායම්ලාභී” ජනගහනය වැඩිවීමේ අතිමහත් බහුතරය, මෙම කාලය තුල ආර්ථිකය සීඝ‍්‍රයෙන් ප‍්‍රසාරනය වී තිබෙන, චීනයේ සහ අනෙකුත් ෆැසිෆික් කලාපීය ඉහල වර්ධනයක් සහිත රටවල සිදුවිය.

“2001 සිට 2011 දක්වා ගෝලීය මධ්‍ය ආදායම් ලබන ජනගහනයට එකතු වූ අයගෙන් හරි අඩකට එනම් බිලියන 1.3 කට වඩා, නැතිනම් ලෝක ජනගහනයෙන් සියයට විස්සකට, නිවහන වන්නේ චීනය යි.” අප‍්‍රිකාව, ඉන්දියාව, මධ්‍යම ඇමරිකාව, ගිනිකොනදිග ආසියාව වැනි අනෙකුත් “සංවර්ධනය වෙමින් පවතින” රටවල “මධ්‍ය ආදායම්” උපයන්නන් සංඛ්‍යාවෙහි වර්ධනයක් සිදුවී ම නැති තරම්ය.

වාර්තාව මෙසේ සඳහන් කරයි, “චීනය මෙන් නොව අනෙකුත් බොහෝ ආසියානු රටවල මධ්‍යම පන්තිය තුල ඇත්තේ, සාපේක්ෂව කුඩා වර්ධනයකි. ඉන්දියාව මීට නිදසුනකි. ඉන්දියාවේ දරිද්‍රතා අනුපාතය 2001දී සියයට 35 සිට 2011 දී සියයට 20 දක්වා පහත වැටුන නමුත් මධ්‍යම පන්තිය ලෙස සැලකිය හැකි ඉන්දියානු ජනගහනයේ කොටස ඉහල ගියේ සියයට 1 සිට සියයට 3 දක්වා පමනි. වර්ධනය වන මධ්‍යම පන්තියක් වෙනුවට, ඉන්දියාවේ ශ්‍රේනිගත අඩු ආදායම් උපයන්නන් වැඩිවී ඇත.”

අප‍්‍රිකාවේ තත්වය සුලු වශයෙන් යහපත්ය. එම මහාද්වීපය සම්බන්ධයෙන් වාර්තාව මෙසේ සඳහන් කරයි: “සංචලනයන් බොහෝ ප‍්‍රමානයක් සිදු වී ඇත්තේ දරිද්‍රතා මට්ටමේ සිට අඩු ආදායම් තත්වයටය.” එය මෙසේද කියයි: “උදාහරනයකට ඉතියෝපියාව සැලකුවහොත් එය, දුප්පත් යැයි සැලකිය හැකිව තිබූ මිනිසුන්ගේ කොටසින් සියයට විසි හතක අඩුවීමක් අත්දැක ඇත. මෙය රටේ අඩු ආදායම් උපයන්නන්ගේ කොටස සියයට 26කින් වැඩිවීමක් සහ මධ්‍ය ආදායම් උපයන්නන් සියයට එකකින් පමනක් වැඩිවීමක් බවට පරිවර්තනය විය.”

මීට සමානව “කලාපයේ වඩාම ගතික ආර්ථිකයන්ගෙන් එකක් වන නයිජීරියාවේ දුප්පතුන්ගේ කොටස 2001 සිට 2011 දක්වා සියයට 18කින් පහල වැටී ඇති අතර අඩු ආදායම් උපයන්නන් සියට 17කින් සහ මධ්‍යම පන්තියයි සැලකිය හැකිවූ ජනගහනයේ කොටස සියට 1කින් පමනක් ඉහල ගොස් ඇත.

2001 සිට දක්නට ඇති අර්ථභාරී සමාජ සහ ආර්ථික වෙනස්කම් තිබියදීත්, ඉහල ආදායම් ලබන මිනිසුන්ගෙන් අති මහත් බහුතරය උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සංවර්ධිත රටවල වාසය කිරීම අඛන්ඩව පවත්නා සංසිද්ධියයි. 2011 දී, අඩු තරමින් දිනකට ඩොලර් 50 ක් හෝ වසරකට ඩොලර් 18,250 මත යැපෙන “ඉහල ආදායම් ලාභීන්ගෙන්” සියයට 87ක් මෙම රටවල ජීවත් වූහ.

ලෝකයේ ඇතැම් ප‍්‍රදේශ වල ජීවන තත්වයන්ගේ නවීන වර්ධනයන් සිදුව තිබුනද එක්සත් ජනපදයේ ආදායම් පහත වැටී ඇත. වාර්තාව සඳහන් කරන ආකාරයට “ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය 2001- 2011 දක්වා දශකය තුල සියයට එකකට වඩා අඩු වර්ධනයකින් සහිතව, ඇන හිට ඇත. මෙම කුඩා ප‍්‍රතිලාභයන් පවා, 2001 සිට 2011 දක්වා මධ්‍යම ආදායම ඇත්ත වශයෙන්ම අඩුවූ, ඇමරිකානු පවුල් වලට ලඟා වූයේ නැත.”

එක්සත් ජනපදයේ ආදායම් වැටීම සහ ලෝකය පුරා දැවැන්ත ලෙස දරිද්‍රතාවය පැවතෙන තත්වයක් මධ්‍යයේ ගෝලීය මුල්‍ය කතිපයාධිකාරයේ ධනය ඉහල නැගෙමින් තිබේ. පිව් වාර්තාව දක්වනවාට වඩා, පසුගිය වසරේ ලෝකයේ බිලියනපතියන්ගේ ධනය ඩොලර් ටි‍්‍රලියන 7කරා, දෙගුනයකටත් වැඩි ප‍්‍රමානයකින් ඉහල ගියේය. මෙම සමාජ තට්ටුවේ ඉහල නැගීම ලෝකයේ කම්කරුවන් හිඟමනට වැටීමත් සමග අවියෝජනීයව බැඳී තිබේ.

ධනේශ්වර පද්ධතිය, ලෝකයේ මිනිසුන්ගෙන් අති මහත් බහුතරයකට සෑහීමකට පත් විය හැකි ජීවන කොන්දේසි සැපයීමට අපොහොසත් බව ඔප්පු කොට ඇත, යන මූලික කරුන, පිව් වාර්තාව තුල ඉදිරිපත් කෙරෙන සංඛ්‍යාන දත්තයන් විසින් මතු කරයි.

Share this article: