සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුවකට කැපවන බවට “පුරවැසි බලය” සංවිධානය සපථ කරයි

එම්. දර්ශන විසිනි, 2015 ජුලි 31

“ජනවාරි 08 ජනවරම පාවාදීමට, දූෂනයට, මර්දනයට, පවුල්වාදයට එරෙහිව පුරවැසි බලය” යන තේමාවෙන් යුක්තව පුරවැසි බලය සංවිධානය විසින් ජූලි 15 දා නුගේගොඩ නගරයේ රැස්වීමක් පැවැත් වීය. කථිකයන් සිය ප‍්‍රකාශ මගින් තහවුරු කර සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂ අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙන ආන්ඩුවක් ස්ථාවර කර ගැනීමට මුලුමනින්ම කැපවන බවයි.

පුරවැසි බලය රැස්වීම සංවිධානය කිරීමට ආසන්න හේතුව වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි මැතිවරනයේ දී තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (එජනිස) නාම යෝජනා ලබා දීමට සිරිසේන ජූලි 3 දා ගනු ලැබූ තීන්දුව හෙලා දැකීම හා විරුද්ධත්වය පල කිරීමයි. රැස්වීමට පෙර දින සිරිසේන මාධ්‍ය හමුවේ දීර්ඝ කථාවක් පවත්වමින් තමන් රාජපක්ෂට නාම යෝජනා දීමට කැමති නො වූ බවත්, එජනිස මැතිවරනයෙන් දිනුවත් රාජපක්ෂට අගමැති කම නොදෙන බවත් ප‍්‍රකාශ කිරීම නිසා කලින් සූදානම් කර ගත් කථා වෙනස් කර උද්දාමයෙන් හා ජයග‍්‍රාහී ලීලාවෙන් රැස්වීම ඇමතීමට කථිකයන්ට හැකි විය.

ඉකුත් ජනාධිපතිවරන සමයේ දී පුරවැසි බලය සංවිධානය පිහිටුවා ගත්තේ එක්සත් ජනපදයේ පිටුබලය ලැබ ගොඩනැගුනු සිරිසේන - වික‍්‍රමසිංහ හවුල බලයට ගෙන ඒම සිය ඒකායන පරමාර්ථය කර ගත් ව්‍යාජ වම්මුන්, විවිධාකාර ලිබරල් කන්ඩායම් සහ මධ්‍යම පන්තික ඊනියා බුද්ධිමතුන් එකතුවකිනි. තම ජීවන කොන්දේසිවලට සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරුනු ප‍්‍රහාරයන් හේතුවෙන් රාජපක්ෂ තන්ත‍්‍රයට එරෙහිව වැඩී ආ කම්කරු පීඩිත මහජන විරෝධය අවමන්ගත කොට එය එක්සත් ජනපදයේ පිටුබලය ලත් ජනාධිපතිවරන මෙහෙයුමට යටත් කිරීම සඳහා ප‍්‍රධාන භූමිකාවක් මොවුහු ඉටු කලහ.

පුරවැසි බලයට එක්වූ බොහෝ දෙනා කලක සිට ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සිය මූලෝපායික අවශ්‍යතා සඳහා පෙරට දැමූ “මානුෂික අයිතීන්” හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය ඇති කිරීමට ගෙන ගිය ප‍්‍රචාරය සමග එක්ව සිටි අයයි.

බීජිනය සමග සම්බන්ධතා තර කර ගත් රාජපක්ෂ තන්ත‍්‍රය බලයෙන් ඉවත් කර ආසියාවට හැරීමේ නමින් චීනයට එරෙහි ගෙන යන සිය යුද සූදානමේ කක්ෂය තුල ලංකාව පිහිටුවා ගැනීම සඳහා ඇමරිකාවේ මැදිහත්වීම සිදුවිය. සිරිසේන පෙරටු කර ගෙන එම මෙහෙයුම කිරීමට දීර්ඝකාලීන ඇමරිකානු ගැත්තෙකු වූ වික‍්‍රමසිංහගේ ද වොෂිංටනය සමග සබඳතා තර කර ගත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ද සහාය ලබා ගැනුනි.

පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සහ ප‍්‍රවීන කලාකරුවකු වන ධර්මසිරි බන්ඩාරනායක රැස්වීම අමතා මෙසේ ප‍්‍රකාශ කලේ ය. “මේ රටේ ඒකාධිපති විදිහට පාලනය කරන ම්ලේච්ඡයෝ බිහිවෙයි කියලා අපි එදා නිර්මානවලින් කිව්වා. අපි නාට්‍ය චිත‍්‍රපටවලින් කතා කලාට වැඩි දෙයක් කියන්නයි මේ වේදිකාවට ආවේ. අපේ ජනාධිපතිතුමාව [සිරිසේන] ආරක්ෂා කරන්න මගේ ජීවිතය දෙන්න හරි මං ලෑස්තියි. එතුමා ඊයේ කතා කලේ එදා අපි ඉස්සරහ කරපු කතාව. ඒක වචනයක් නෑර කිව්වා. මෙතන වේදිකාවේ පාවාදීම කියන වචනය දාලා තියෙනවා. මං ඇහුවා එහෙම දැම්මේ ඇයි කියලා.”

සිරිසේන, රාජපක්ෂට ඉඩදීම හෙලා දැකීම සඳහා රැස්වීම සූදානම් කල නිසා වේදිකාවට දමා තිබූ “පාවාදීම” යන වචනය තවමත් තිබීමෙන් බන්ඩාරනායක කම්පා විය. කලා ප‍්‍රතිභානයෙන් අනූන අයෙකු වුවත් දේශපාලනිකව ධනපති පන්තියේ අවශ්‍යතාවන්ට අතිශයින් සංවේදී බන්ඩාරනායක 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති කරවීම සඳහා “නිදහසේ කලාකරුවන්ගේ” වේදිකාවට ගොඩ විය. බන්ඩාරනායක කියා සිටියේ දෙමල ජාතියට එරෙහි යුද්ධය නතර කොට ජාතීන් අතර සමානතාව තහවුරු කිරීම සඳහා කුමාරතුංග බලයට ගෙන එන ලෙස ය. අවසානයේ කුමාරතුංග වර්ගවාදී යුද්ධය යලි අරඹා කම්කරු පීඩිත මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට ප‍්‍රහාර එල්ල කරන විට යුද විරෝධී තේමාවන් රැගත් කලාකෘතීන් වාරනයටත් කලාකරුවන් රාජ්‍ය හමුදා සහ මැරයින්ගේ ප‍්‍රහාරයන්ටත් ලක් විය. බන්ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවෝ නම් වූ ප‍්‍රශස්ත නාට්‍යය ද එලෙස ප‍්‍රහාරයට ලක් වූ වේදිකා නාට්‍යයකි.

රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස 2002 දී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ඇතිව දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) ගිවිසුමකට එක් කර ගැනීමට දියත් කල සාම කි‍්‍රයාවලියට සහාය පල කල බන්ඩාරනායක දෙමල ධනපති පක්ෂ සමග ද සමීප සම්බන්ධයකම් ඇති කර ගත් අයෙකි. රාජපක්ෂගේ කෲර ඒකාධිපති පාලන විධීන්ට එරෙහිවීමේ නමින් ඔහු වොෂින්ටනයේ සහාය ඇතිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා ගිය උද්ඝෝෂනයට සහාය දීම කෙලවර වූයේ සිරිසේන-වික‍්‍රමසිංහ හා කුමාරතුංග හරහා සිදු වූ කොලඹ සිදු කෙරුනු ඇමරිකානු ගැති තන්ත‍්‍ර මාරුවට සහාය දීමෙනි.

රැස්වීම පැවැත්වීමට පෙර දින ජනාධිපති සිරිසේන ප‍්‍රකාශ කල “ප‍්‍රජාතන්ත‍්‍රවාදය මල්පල ගැන්වීම සහ දෝරේ ගලා යාම” ප‍්‍රතිරාවය කරමින් රාවය කර්තෘ නීතිඥ ජනරංජන රැස්වීමේ දී මෙසේ කියා සිටියේ ය: “විධායක බලය තියෙන ජනාධිපති ඉස්සරහට ගිහිල්ලා තමුන්නාන්සේ අපට රජෙක් නොවෙයි කියලා කියන්න පුලුවන් වුනේ තමුන්නාන්සෙලාගේ ශක්තිය උඩයි. ජනවාරි අට වෙනිදට කලින් හිටියේ රජ්ජුරුවෝ සහ වහල්ලු. දෙසැම්බර් දෙක අපි කිව්වා රජය ගෙදර යවනවා කියලා. අපි ඒක ජනවාරි 8 කලා. පවුල්වාදය සහ ගජමිතුරු ධනවාදය අවසන් කරනවා කියලා එතුමා අපිට පොරොන්දු වුනා.”

පුරවැසි බලය වේදිකාවේ කතා කල සෙසු කථිකයෝ ද යත්න දරනු ලැබුවේ පසුගිය ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ කප්පාදු ඉල්ලීම් කි‍්‍රයාත්මක කරමින් එල්ල කල ප‍්‍රහාර මහින්ද රාජපක්ෂ නමැති පුද්ගලයාට ඌනනය කොට කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව අධිරාජ්‍ය ගැති ධනේශ්වරය විසින් මුදා හැර ඇති සමාජ ප‍්‍රතිවිප්ලවයේ සැබෑ ස්වාභාවය වසං කිරීම සඳහා ය. ඔවුන් දැන් බලයට ගෙන ඒමට කැසකවන එක්සත් ජාතික පක්ෂය 1977 සිට 1994 දක්වා කාලය තුල වර්ගවාදී යුද්ධය අවුලවමින් ද උතුරේ සහ දකුනේ පීඩිත තරුනයින් දහස් ගනනක් ඝාතනය කරමින් ද වර්ධනය කල ආඥාදායක ක‍්‍රමෝපායන් ඔවුන් විසින් දැනුවත්වම අමතක කර ඇත.

ජනරංජන ඇතුලු පුරවැසි බලයේ මධ්‍යම පන්තිකයින් සිරිසේනට බලකර සිටියේ රාජපක්ෂ සහ ඔහුගේ ආධාරකරුවන්ට මැතිවරනයට තරග කිරීම වැලැක්වීම සඳහා සන්ධානයේ සහ ශි‍්‍රලනිපයේ නායකයා ලෙස තමන්ගේ බලතල පාවිච්චි කරන ලෙස ය. එමගින් පෙන්නුම් කෙරෙන්නේ තම දේශපාලන අවශ්‍යතාවන් මුදුන් පමුනුවා ගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස සිරිසේන කටයුතු කල ද ඊට ඊනියා පුරවැසි බලයේ ආශිර්වාදය හිමි වන බව ය. ඔවුන් විරුද්ධ බව කියන මහින්ද රාජපක්ෂ ද ජනාධිපතිව සිටි කාලයේ තම විරුද්ධවාදීන් සම්බන්ධයෙන් අනුගමනය කලේ ද මෙම ප‍්‍රතිපත්තිය ම ය. පුරවැසි බලය දැන් ඉල්ලා සිටින්නේ රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය වෙනුවට සිරිසේනගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය යි.

මෑතක සිට දේශපාලන විචාරකයෙකු ලෙස ධනපති මාධ්‍ය මගින් පුම්බනු ලබන සාහිත්‍ය කෘති පරිවර්තකයෙකු වන පුරවැසි බලය සංවිධානයේ සමකැඳවුම්කරු ගාමිනී වියන්ගොඩ තම කතාව කැප කලේ පුරවැසි බලය සංවිධානය වර්තමාන දේශපාලන වර්ධනයන් පිලිබඳව පාලක පන්තිය තුල පවතින තිගැස්ම තේරුම් ගෙන සිටින බවත් පවතින ක‍්‍රමය ආරක්ෂා කිරීම සඳහා ශූක්ෂමව කි‍්‍රයාත්මක වීමට තමන්ට සුදුසුකම් පවතින්නේය යන්න පාලක පන්තියට ඒත්තු ගැන්වීම සඳහා ය.

පසුගිය ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ පරාජය කිරීම සඳහා සටන පටන් ගත් තැනට ම යලිත් පැමිනීමට සිදුව ඇති බවත් ජනවාරි 08 දා පරාජය කල මහින්දව නැවත වරක් පරාජය කරන්නට සිදුව ඇත්තේ මේ රටේ කාලකන්නී දේශපාලන ක‍්‍රමය නිසා බවත් කියූ වියන්ගොඩ මෙසේ ද ප‍්‍රකාශ කලේ ය. “මෛති‍්‍රපාල අපේ කෙනෙක් කියලා අපි පිලිගන්නවා. රාජපක්ෂ විරෝධී කඳවුර 2005 ඉඳලා තියෙනවා. මෛති‍්‍රපාල එන්නේ 2014. අපි ඔහුව එදා විශ්වාස කලා. තවමත් විශ්වාස කරනවා. ...... දැන් වෙනකොට මේ රටේ ඡන්දදායකයෝ ඇවිල්ලා තියෙනවා කිසිම දේශපාලකයෙක් විශ්වාස නොකරන තැනකට. දේශපාලකයා ගැන අනවශ්‍ය විදිහට අධිතක්සේරුවක හිටිය නිසා අපි අහුවෙලා තියෙනවා.”

කොලඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය සිය කථාව තුලින් මවා පෙන්වන්නට තැත් කලේ වර්තමානයේ පෙර නොවූ විරූ ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් විවර වී ඇති බවත් මැතිවරනයේ දී නාමයෝජනා ලබා ඇති දූෂිත පුද්ගලයින්ට ලබා දෙන මනාප අඩු කර ඔවුන් පරාජය කොට පිරිසිදු පාර්ලිමේන්තුවක් ලබාගැනීම “නීතිගරුක පුරවැසියන්ට” ඉඩකඩ ලැබී ඇති බව තහවුරු කිරීමට ය. මහාචාර්ය විජේසූරිය සිය කතාව අවසන් කලේ මෙසේ ය: “එලඹෙන පාර්ලිමේන්තුවේ වැදගත් විපක්ෂයක් තියෙන්න ඕන. පත්වන ආන්ඩුව දෙස අවදියෙන් සිටින විපක්ෂයක් තියෙන්න ඕන. මහින්ද දූෂනය කලේ සන්ධානය සහ තමන්ගේ පක්ෂය විතරක් නොවේ විපක්ෂයත් දූෂනය කලා. මගේ එක සිහිනයක් තමයි ඊලඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා නොවී අනුර කුමාර දිසානායක වීම.”

මහාචාර්යවරයාගේ සිහිනයේ සිටින අනුර කුමාර දිසානායක හා ජනතා විමුක්ති පෙරමුන වර්ගවාදී යුද්ධයේ ඉදිරියෙන්ම සිටි කසකරුවන් ය. ජවිපෙ, 1988-1990 කාලයේ යූඇන්පී භීෂනයට සමගාමීව ෆැසිස්ට් පන්නයේ ප‍්‍රහාර කම්කරුවන්ට හා සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මුදා හැර සිය ගනනක් බිලි ගත්තේ ය. රාජපක්ෂගේ යුද්ධයට ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩීමට ද දුෂ්ටතම සහය ලැබුනේ ජවිපෙනි.

පසුව ජෙනරාල් ෆොන්සේකාට 2010 ජනාධිපති වරනයේ දී සහාය දුන් මෙම පක්ෂය පසුගිය ජනාධිපතිවරනයේ දී සිරිසේන බලයට ගෙන ඒමට කර උර දුන්නේය. සිය පාලනය දේශපාලනිකව ආවරනය කර ගැනීම සඳහා සිරිසේන විසින් පත් කරන ලද ජාතික විධායක සභාවට එක්වූ ජවිපෙ එහි සියලු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන්ට සහයෝගය දුන්නේ ය.

ජනවාරි 8 දා කොලඹ තන්ත‍්‍ර මාරුවෙන් උද්දාමයට පත්ව සිටි පුරවැසි බලය හා ව්‍යාජ වම්මු ඇතුලු ඉහල මධ්‍යම පන්තික තට්ටුවේ සංවිධාන ගතවූ මාස හය තුල නො ඉවසිල්ලෙන් නලියමින් සිටියේ ය. විජේසූරිය, බන්ඩාරනායක, වියන්ගොඩ, වැන්නන් පුවත්පත් සාකච්ඡා පවත්වමින් ඇතිතරම් වේගයෙන් රාජපක්ෂ කල්ලිය මැඩීමට පියවර නොගැනීම ගැන සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි කනස්සල්ල පල කලහ.

ආන්ඩුව විසුරුවා හැරීමෙන් පසු රාජපක්ෂ යලි බලයට ගෙන ඒමට ඔහුගේ ආධාරකරුවන් වන වර්ගවාදීන් හා මඩි තරකරගත් මහ ව්‍යාපාරික කල්ලි හරහා කි‍්‍රයා කරන විට එය මැඩ ගැනීමට මෙම මධ්‍යම පන්තික කන්ඩායම් සිරිසේනට බලපෑම් දැමීමේ ව්‍යාපාරයක නිරත වූහ. මහින්ද රාජපක්ෂට නාම යෝජනා දුන් බව ප‍්‍රකාශ වීමෙන් පසු ලංකාව තුල අන් සියල්ලන්ටමත් වඩා කුපිත වූයේ මෙම කන්ඩායම් ය.

මේ කුපිත වීමට යටින් පැවතුනේ දුෂ්ටතම හේතුවකි. එය නම් ජනවාරි 8 දා සිදු කල අධිරාජ්‍යගැති තන්ත‍්‍ර මාරුව අර්බුදයට යෑම වලක්වා ගැනීම යි. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් මෙන්ම මොවුන් ද ඒ නිසා රාජපක්ෂ බලයට පැන ගැනීමට දරන තැත ගැන කුලප්පු වී සිටියි. මාදුලුවාවේ සෝභිත නායකත්වය දෙන සමාජ සාධාරනත්වය සඳහා ව්‍යාපාරයඇතුලු සංවිධාන ගනනාවක් සමග එක් වී පුරවැසි බලය දැන් එක්සත් ජාතික පක්ෂයප‍්‍රමුඛ ආන්ඩුවක් බලයට ගෙන ඒමට කැපවී ඇත්තේ තන්ත‍්‍ර මාරුව ආරක්ෂා කිරීම සඳහා ය.

ජනවාරි 8 දා රාජපක්ෂ පාලනය ඉවත් කර ගැනීමට නොහැකි වූයේ නම් මෙම කන්ඩායම් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ පිටු බලයෙන් “වර්න විප්ලවයටකට” උත්සාහ දැරීමට ඉඩ තිබුනි. දැන් අගෝස්තු 17 මැතිවරනයෙන් රාජපක්ෂ තන්ත‍්‍රයකට ඉඩ සැලසුනොත් මෙම කන්ඩායම් “වර්න විප්ලවයකට” ඒමට අර අඳිනු ඇත. බන්ඩාරනායක සිරිසේන රැක ගැනීමට “ජීවිතය දීමට” සහතික වන්නේ එබඳු ව්‍යාපාරයක් උසි ගැන්වීමට සූදානම ප‍්‍රකාශ කරමිනි.

මෙම ඉහල මධ්‍යම පන්තික කන්ඩායම් රාජපක්ෂ ප‍්‍රමුඛ කල්ලිය සමග විරසක වී සිටින්නේ ඔහුගේ පාලන සමයේ ජාතික ධනයෙන් විශාල ප‍්‍රමානයක් සිය පාලනයට නතු කර ගැනීම හේතුවෙන් තමන්ට වරප‍්‍රසාදිත අවස්ථාවන් සීමා වී හෝ නැතිවී ගිය නිසා ය. යහ පාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමින් මෙම පංගුව ලබා ගැනීමේ කොන්දේසි සොයන මොවුහු එක්සත් ජනපදයේ වංචනික මානවහිමිකම් රැකීමේ අධිරාජ්‍යවාදය සමග පෙල ගැසී සිටිති.

Share this article: